1 සාමුවෙල්
11 අම්මොන්+ ජාතික නාහාෂ් ගිලියද් ප්‍රදේශයේ පිහිටි යාබෙෂ් නුවරට+ විරුද්ධව යුද්ධ කරන පිණිස එහි කඳවුරු බැඳගත්තේය. එවිට යාබෙෂ්හි සියලු පුරුෂයෝ, “අපි ගිවිසුමක් ඇති කරගමු. අපි ඔබට සේවය කරන්නම්”+ කියා නාහාෂ්ට කීවෝය. 2 නමුත් අම්මොන් ජාතික නාහාෂ් මෙසේ කීවේය. “මම නුඹලාගේ දකුණු ඇස් උගුල්ලා+ දමා මුළු ඊශ්‍රායෙල් ජාතියවම නින්දාවට ලක් කරනවා.+ ඒ දේ කළාට පස්සේ මම නුඹලා සමඟ ගිවිසුමක් ඇති කරගන්නම්.” 3 එවිට යාබෙෂ්හි වැඩිමහල්ලෝ මෙසේ කීවෝය. “අපිට දවස් හතක් කල් දෙන්න. අපි ඊශ්‍රායෙල් දේශයේ සෑම පළාතකටම මේ ගැන දන්වා යවන්නම්. අපිව ගලවගන්න කවුරුත් ආවේ නැත්නම්+ අපි ඔබට යටත් වෙන්නම්.” 4 පසුව පණිවිඩකාරයෝ සාවුල් සිටි දේශය වන ගිබෙයා+ වෙතට පැමිණ එහි වැසියන්ට ඒ ගැන කීවෝය. එය අසා මුළු සෙනඟ ශබ්ද නඟා හැඬුවෝය.+
5 ඒ අවස්ථාවේ සාවුල් ගව රැළ දක්කාගෙන කෙතේ සිට එතැනට ආවේය. එවිට ඔහු, “මිනිස්සු ඇයි මේ විදිහට අඬන්නේ” කියා ඇසුවේය. යාබෙෂ්හි පණිවිඩකරුවන් කී සියල්ල ඔවුහු ඔහුට දැන්වූවෝය. 6 මේ වචන ඇසූ විට දෙවිගේ බලය+ සාවුල් තුළ ක්‍රියාත්මක විය. ඔහු මහත් සේ කෝප වී+ 7 ගවයන් දෙදෙනෙකු මරා උන්ව කෑලි කෑලිවලට කපා පණිවිඩකරුවන් අතේ ඊශ්‍රායෙල් දේශයේ සියලු පළාත්වලට යැව්වේය.+ ඔවුන්ට මෙසේ දන්වන ලෙසද ඔහු කීවේය. “සාවුල්ගේ හා සාමුවෙල්ගේ පැත්ත නොගන්න ඕනෑම කෙනෙක්ගේ ගවයන්ට කරන්නෙත් මේ දේමයි!”+ යෙහෝවා දෙවි+ සෙනඟ තුළ මහත් භීතියක්+ ඇති කළේය. එබැවින් ඔවුහු එකා මෙන් ඉදිරියට ආවෝය.+ 8 සාවුල් සටනට ආ සෙනඟ කොතෙක්ද කියා බෙෂෙක්හිදී ගණන් කළේය.+ ඊශ්‍රායෙල් සෙනඟගේ ගණන තුන්ලක්ෂයක්ද යූදාහි පුරුෂයන්ගේ ගණන තිස්දහසක්ද විය. 9 පසුව ඔවුහු යාබෙෂ්හි පණිවිඩකරුවන්ට මෙසේ කීවෝය. “යාබෙෂ්-ගිලියද්හි වැසියන්ට මෙහෙම කියන්න. ‘හෙට ඉර මුදුන් වෙද්දී ඔබට ගැලවීම අත් වෙයි.’”+ පණිවිඩකරුවන් යාබෙෂ්හි මනුෂ්‍යයන්ට ඒ ගැන පැවසූ විට ඔවුහු ප්‍රීතියෙන් ඉපිල ගියෝය. 10 පසුව යාබෙෂ්හි මනුෂ්‍යයෝ, “හෙට අපි ඔබ ඉදිරියට එන්නම්. ඔබට හොඳයි කියා සිතෙන ඕනෑම දෙයක් කරන්න”+ යයි අම්මොන්වරුන්ට කීවෝය.
11 පසුවදා සාවුල්+ සෙනඟ කණ්ඩායම් තුනකට බෙදුවේය.+ ඔවුහු අන්තිම රැකවල් යාමයේ+ අම්මොන්වරුන්ගේ කඳවුර මැදට ගොස් ඉර මුදුන් වන වේලාව දක්වාම ඔවුන්ට පහර දුන්නෝය.+ ඉතුරු වූ ස්වල්පදෙනාව ඔවුහු විසුරුවාහැරියෝය. දෙදෙනෙකුට එක ළඟ සිටීමට ඔවුහු කිසිසේත් ඉඩහැරියේ නැත.+ 12 එවිට සෙනඟ සාමුවෙල්ට මෙසේ කීවෝය. “‘අපේ රජු වෙන්න සාවුල්ට පුළුවන්ද’+ කියා පැවසූ මිනිසුන්ව මෙතැනට ගෙනෙන්න. අපි ඔවුන්ව මරලා දාමු.”+ 13 නමුත් සාවුල්, “අද ඊශ්‍රායෙල් දේශයට ගැලවීම දුන්නේ යෙහෝවා දෙවියි.+ ඒ නිසා අද කිසි කෙනෙක්ව මරන්න එපා”+ යයි කීවේය.
14 පසුව සාමුවෙල් සෙනඟට මෙසේ කීවේය. “එන්න, අපි ගිල්ගාල් නුවරට+ යමු. එහිදී අපි සාවුල්ගේ රජකම ස්ථිර කරමු.”+ 15 එබැවින් සෙනඟ ගිල්ගාල් වෙතට ගොස් යෙහෝවා දෙවි ඉදිරියේ සාවුල්ව රජකමට පත් කළෝය. පසුව ඔවුහු යෙහෝවා දෙවි ඉදිරියේ හවුල් පූජා ඔප්පු කළෝය.+ සාවුල්ද ඊශ්‍රායෙල්හි සියලු පුරුෂයෝද බොහෝ සෙයින් ප්‍රීති වූවෝය.+