ලෙවී කතාව
14 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 2 “ලාදුරු රෝගය නිසා අපවිත්‍ර වෙලා හිටපු කෙනෙක් පවිත්‍ර වෙන දවසේ පූජකයා ළඟට ගෙනියද්දී+ ඒ කෙනා පිළිපදින්න ඕනෙ නීතිය මේකයි. 3 පූජකයා කඳවුරෙන් පිටතට ගිහිල්ලා ඒ කෙනාව පරීක්ෂා කරලා බැලිය යුතුයි. ලාදුරු රෝගය සුව වෙලා නම් 4 පවිත්‍ර වීම සඳහා පවිත්‍ර කුරුල්ලන් දෙන්නෙකුයි, දේවදාර අත්තකුයි, තද රතු රෙද්දකුයි, හිසොප්* මිටියකුයි ගේන්න+ කියලා පූජකයා ඔහුට අණ කළ යුතුයි. 5 ඊළඟට දිය පහරකින් වතුර ටිකක් මැටි භාජනයකට අරගෙන එක කුරුල්ලෙක්ව ඒ භාජනයට උඩින් අල්ලලා මරන්න කියලා පූජකයා අණ කළ යුතුයි. 6 අනිත් කුරුල්ලාවයි, දේවදාර අත්තයි, තද රතු රෙද්දයි, හිසොප් මිටියයි අරගෙන වතුර භාජනයට උඩින් අල්ලලා මරපු කුරුල්ලාගේ ලේවල ගිල්විය යුතුයි. 7 ඊටපස්සේ පූජකයා ලාදුරු රෝගයෙන් සුව වුණ කෙනා මත ලේ හත් පාරක් ඉහලා ඔහු පවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි. පණ ඇති කුරුල්ලාට නිදැල්ලේ යන්න හරින්න.+
8 “පවිත්‍ර වෙන කෙනා තමන්ගේ ඔළුව බූ ගාලා ඇඟේ ඔක්කොම රෝම කපලා ඇඳුම් හෝදගෙන නාගන්න ඕනේ. එතකොට ඔහු පවිත්‍රයි. ඊටපස්සේ කඳවුර ඇතුළට එන්න ඔහුට පුළුවන්. ඒත් ඔහු දවස් හතක් යන කල් ඔහුගේ කූඩාරමෙන් පිට සිටිය යුතුයි. 9 හත්වෙනි දවසේදී ඔහු ආයෙත් ඔළුව බූ ගාන්න ඕනේ. රැවුල සහ ඇහිබැමිත් සම්පූර්ණයෙන්ම කපන්න ඕනේ. ඊටපස්සේ ඔහු ඇඳුම් හෝදගෙන නාගන්න ඕනේ. එතකොට ඔහුව පවිත්‍ර කෙනෙක් විදිහට සලකන්න පුළුවන්.
10 “ඔහු අටවෙනි දවසේදී කැළලක් නැති බැටළු පැටව් දෙන්නෙකුයි, අවුරුද්දක් විතර වයස කැළලක් නැති බැටළුදෙනකුයි,+ ධාන්‍ය පූජාවක්+ විදිහට තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටස් තුනකුයි,* තෙල් කෝප්පයකුයි* ගෙනා යුතුයි.+ 11 ඔහු පවිත්‍රයි කියලා ප්‍රකාශ කරන පූජකයා ඔහුවයි, ඔහු පූජා කරන්න ගෙනාපු දේවලුයි හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ඒ කියන්නේ යෙහෝවා ඉස්සරහට ගෙනා යුතුයි. 12 පූජකයා එක බැටළු පැටියෙක්ව තෙල් කෝප්පයත් එක්ක වන්දි පූජාවක් විදිහට ඔප්පු කළ යුතුයි.+ ඒක සොලවන පූජාවක් හැටියට යෙහෝවා ඉස්සරහා ඒ මේ අත සෙලවිය යුතුයි.+ 13 ඊටපස්සේ ඔහු ශුද්ධ තැනකදී ඒ බැටළු පැටියාව මැරිය යුතුයි. ඌව මරන්න ඕනෙ පාප පූජා සහ දවන පූජා සඳහා ඔප්පු කරන සතුන්ව සාමාන්‍යයෙන් මරන තැනදිමයි.+ පාප පූජාව වගේම වන්දි පූජාව අයිති වෙන්නෙත් පූජකයාට.+ ඒක ඉතා ශුද්ධයි.+
14 “පූජකයා වන්දි පූජාවට ගෙනාපු සතාගේ ලේවලින් ටිකක් අරගෙන පවිත්‍ර වෙන්න ආපු කෙනාගේ දකුණු කන් පෙත්තෙයි, දකුණු අතේ සහ දකුණු කකුලේ මාපටැඟිල්ලෙයි ගාන්න ඕනේ. 15 ඊටපස්සේ පූජකයා තෙල් කෝප්පෙන් ටිකක්+ තමන්ගේ වම් අතේ අල්ලට වක් කරගත යුතුයි. 16 පූජකයා ඔහුගේ වම් අතේ තියෙන තෙල් ටිකක් දකුණු අතේ ඇඟිල්ලකින් අරගෙන යෙහෝවා ඉස්සරහා හත් පාරක් ඒක ඉසිය යුතුයි. 17 ඊටපස්සේ පූජකයා ඔහුගේ අල්ලේ ඉතුරු වෙලා තියෙන තෙල්වලින් ටිකක් ඒ කෙනාගේ දකුණු කන් පෙත්තෙයි, දකුණු අතේ සහ දකුණු කකුලේ මාපටැඟිල්ලෙයි ගාන්න ඕනේ. තෙල් ගාන්න ඕනෙ වන්දි පූජාවට ගෙනාපු සතාගේ ලේ ගාපු තැන්වලමයි. 18 පූජකයා ඔහුගේ අල්ලේ ඉතුරු වුණ තෙල් ටික ඒ කෙනාගේ ඔළුවේ ගාන්න ඕනේ. ඒ විදිහට පූජකයා යෙහෝවා ඉස්සරහා ඒ කෙනා වෙනුවෙන් සමාව ලබාගත යුතුයි.+
19 “පූජකයා පාප පූජාව ඔප්පු කරලා+ අපවිත්‍ර වෙලා හිටපු කෙනා වෙනුවෙන් සමාව ලබාගත යුතුයි. ඊටපස්සේ පූජකයා දවන පූජාවට ගෙනාපු සතාව මැරිය යුතුයි. 20 ඔහු දවන පූජාව සහ ධාන්‍ය පූජාව+ පූජාසනය මත ඔප්පු කරලා ඒ කෙනා වෙනුවෙන් සමාව ලබාගත යුතුයි.+ ඊටපස්සේ ඒ කෙනාව පවිත්‍ර කෙනෙක් විදිහට සලකනවා.+
21 “ඒ දේවල් ගේන්න තරම් වත්කමක් ඔහුට නැත්නම් ඔහු වන්දි පූජාවට එක බැටළු පැටියෙක්ව ගෙනා යුතුයි. ඒක ඔප්පු කරන්නේ සොලවන පූජාවක් විදිහට. ඒ පූජාව ඔප්පු කරන්නේ ඔහු වෙනුවෙන් සමාව ලබාගන්න. ඒකත් එක්ක ඔහු ධාන්‍ය පූජාවකුත් ගෙනා යුතුයි. ඒකට සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටසකට තෙල් මිශ්‍ර කරලා ගේන්න ඕනේ. තෙල් කෝප්පයක් 22 සහ ඔහුගේ වත්කමේ හැටියට කොබෙයියන් දෙන්නෙක්ව හරි පරෙවියන් දෙන්නෙක්ව හරි ගෙනා යුතුයි. එක කුරුල්ලෙක් පාප පූජාවටත් අනිකා දවන පූජාවටත් ගත යුතුයි.+ 23 පවිත්‍ර වීම සඳහා අටවෙනි දවසේදී+ ඔහු හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ඇවිත් යෙහෝවා ඉස්සරහා ඒ දේවල් පූජකයාට භාර දිය යුතුයි.+
24 “පූජකයා වන්දි පූජාවට ගෙනාපු බැටළු පැටියාවයි,+ තෙල් කෝප්පයයි අරගෙන සොලවන පූජාවක් හැටියට යෙහෝවා ඉස්සරහා ඒවා ඒ මේ අත සෙලවිය යුතුයි.+ 25 ඊටපස්සේ පූජකයා වන්දි පූජාවට ගෙනාපු බැටළු පැටියාව මරලා උගේ ලේ ටිකක් අරගෙන ඒ කෙනාගේ දකුණු කන් පෙත්තෙයි, දකුණු අතේ සහ දකුණු කකුලේ මාපටැඟිල්ලෙයි ගාන්න ඕනේ.+ 26 ඊටපස්සේ පූජකයා තෙල්වලින් ටිකක් තමන්ගේ වම් අතේ අල්ලට වක් කරගත යුතුයි.+ 27 ඔහුගේ වම් අතේ තියෙන තෙල් ටිකක් දකුණු අතේ ඇඟිල්ලකින් අරගෙන යෙහෝවා ඉස්සරහා හත් පාරක් ඒක ඉසිය යුතුයි. 28 ඊටපස්සේ පූජකයා ඔහුගේ අල්ලේ තියෙන තෙල්වලින් ටිකක් ඒ කෙනාගේ දකුණු කන් පෙත්තෙයි, දකුණු අතේ සහ දකුණු කකුලේ මාපටැඟිල්ලෙයි ගාන්න ඕනේ. තෙල් තවරන්න ඕනෙ වන්දි පූජාවට ගෙනාපු සතාගේ ලේ ගෑව තැන්වලමයි. 29 පූජකයා තමන්ගේ අල්ලේ ඉතුරු වෙලා තියෙන තෙල් ටික ඒ කෙනාගේ ඔළුවේ ගාන්න ඕනේ. ඒ කෙනා වෙනුවෙන් යෙහෝවා ඉස්සරහා සමාව ලබාගන්න පූජකයා එහෙම කළ යුතුයි.
30 “තමන්ගේ වත්කමේ හැටියට+ ඒ කෙනා ගෙනාපු එක පරෙවියෙක්ව හරි එක කොබෙයියෙක්ව හරි පූජකයා ඔප්පු කළ යුතුයි. 31 වත්කමේ හැටියට ඔහු ගෙනාපු කුරුල්ලන්ගෙන් එකෙක්ව පාප පූජාවක් හැටියටත් අනිකාව දවන පූජාවක්+ හැටියටත් ඔප්පු කළ යුතුයි. ඔහු ඒවා ඔප්පු කළ යුත්තේ ධාන්‍ය පූජාවත් එක්ක. පවිත්‍ර වෙන්න යෙහෝවා ඉස්සරහට ආපු කෙනාට සමාව ලබාගන්න පූජකයා ඒ විදිහට කළ යුතුයි.+
32 “ලාදුරු රෝගය හැදිලා හිටපු කෙනෙක්ට පවිත්‍ර වීම සඳහා අවශ්‍ය දේවල් ගේන්න තරම් වත්කමක් නැත්නම් ඔහු පිළිපැදිය යුතු නීතිය ඒකයි.”
33 යෙහෝවා දෙවියන් මෝසෙස්ටයි, ආරොන්ටයි මෙහෙම කිව්වා. 34 “මං උරුමයක්+ හැටියට දෙන කානාන් දේශයට+ ඔබ ආවාම ඔබේ ගෙයක ලාදුරු රෝගය ඇති කරන විෂබීජය* ඇති වෙන්න මං ඉඩහැරියොත්+ 35 ඒ ගෙදර අයිතිකාරයා පූජකයා ළඟට ගිහිල්ලා මෙහෙම කියන්න ඕනේ. ‘මගේ ගෙදර බිත්තියේ පැල්ලමක් තියෙනවා. ඒක මොකක් හරි විෂබීජයක් වෙන්න පුළුවන්.’ 36 පූජකයා ඒ ගෙදර පරීක්ෂා කරලා බලන්න එන්න කලින් ගෙදර තියෙන ඔක්කොම බඩු මුට්ටු අයින් කරන්න කියලා අණ කළ යුතුයි. එහෙම කළේ නැත්නම් ඔහුට වෙයි ගෙදර තියෙන ඔක්කොම බඩු අපවිත්‍රයි කියලා ප්‍රකාශ කරන්න. ඔක්කොම බඩු අයින් කළාට පස්සේ පූජකයා ඇවිත් ගෙදර පරීක්ෂා කරලා බැලිය යුතුයි. 37 කොළ පාටට හුරු හරි රතු පාටට හුරු හරි පැල්ලමක් බිත්තිවල තියෙනවා නම් ඒක බිත්තිය ඇතුළටම කාවැදිලා කියලා පේනවා නම් 38 පූජකයා ගෙදරින් එළියට ගිහිල්ලා ඒක දවස් හතක් වහලා තියන්න කියලා අණ කළ යුතුයි.+
39 “හත්වෙනි දවසේදී පූජකයා ආයෙත් ඇවිල්ලා පැල්ලම පරීක්ෂා කරලා බැලිය යුතුයි. පැල්ලම බිත්තිවල පැතිරිලා නම් 40 පැල්ලම පැතිරිලා තියෙන ගඩොල් ගලවලා ඒවා නගරයෙන් පිට අපවිත්‍ර දේවල් වීසි කරන තැනකට ගිහින් දාන්න කියලා පූජකයා අණ කළ යුතුයි. 41 ඊටපස්සේ ගෙදර ඇතුළේ තියෙන බිත්තිවල බදාම ඔක්කොම හූරන්න කියලත් හූරලා අයින් කරපු හැම දෙයක්ම නගරයෙන් පිට අපවිත්‍ර දේවල් වීසි කරන තැනකට ගිහින් දාන්න කියලත් ඔහු අණ කළ යුතුයි. 42 අලුත් බදාම සහ අලුත් ගඩොල් පාවිච්චි කරලා බිත්තිවල කඩපු තැන් ආයෙත් බැඳලා කපරාරු කළ යුතුයි.
43 “පැල්ලම පැතිරිලා තිබුණ ගඩොල් ගලවලා, බිත්ති හූරලා, අලුතින් කපරාරු කළාට පස්සෙත් පැල්ලමක් ආයෙත් මතු වුණොත් 44 පූජකයා ආයෙත් ඇවිල්ලා ගෙදර පරීක්ෂා කරලා බැලිය යුතුයි. පැල්ලම බිත්තිවල පැතිරිලා නම් ඒක ඉක්මනින් පැතිරෙන විෂබීජයක්.+ ඒ ගෙදර අපවිත්‍රයි. 45 ඔහු සම්පූර්ණ ගේම කඩලා දාලා ඒකේ ගඩොල්, ලී සහ බදාම ටික ඔක්කොම නගරයෙන් පිට අපවිත්‍ර දේවල් වීසි කරන තැනකට ගිහින් දැමිය යුතුයි.+ 46 ගෙදර වහලා තියපු කාලේ+ කවුරු හරි ඒක ඇතුළට ගියොත් ඔහු එදා හවස් වෙන කල් අපවිත්‍ර වෙනවා.+ 47 කවුරු හරි කෙනෙක් ඒ ගෙදර නිදාගත්තොත් හරි කෑම කෑවොත් හරි ඔහු තමන්ගේ ඇඳුම් හෝදගන්න ඕනේ.
48 “ගෙදර අලුතින් කපරාරු කළාට පස්සේ පූජකයා ඇවිල්ලා ඒක පරීක්ෂා කරලා බලද්දී පැල්ලම බිත්තිවල පැතිරිලා නැහැ කියලා පේනවා නම් ඔහු ඒ ගෙදර පවිත්‍රයි කියලා ප්‍රකාශ කළ යුතුයි. මොකද විෂබීජය ගෙදරින් නැති වෙලා. 49 ගෙදර පවිත්‍ර කරන්න කුරුල්ලන් දෙන්නෙකුයි, දේවදාර අත්තකුයි, තද රතු රෙද්දකුයි, හිසොප් මිටියකුයි අවශ්‍යයි.+ 50 දිය පහරකින් වතුර ටිකක් මැටි භාජනයකට අරගෙන එක කුරුල්ලෙක්ව ඒ භාජනයට උඩින් අල්ලලා මැරිය යුතුයි. 51 ඊටපස්සේ අනිත් කුරුල්ලාවයි, දේවදාර අත්තයි, තද රතු රෙද්දයි, හිසොප් මිටියයි අරගෙන වතුර භාජනයට උඩින් අල්ලලා මරපු කුරුල්ලාගේ ලේවල ගිල්විය යුතුයි. පූජකයා ඒ ලේ ගේ දිහාවට හත් පාරක් ඉසිය යුතුයි.+ 52 ඒ විදිහට ඔහු කුරුල්ලාගේ ලේයි, දිය පහරකින් ගත්ත වතුර ටිකයි, පණ ඇති කුරුල්ලායි, දේවදාර අත්තයි, තද රතු රෙද්දයි, හිසොප් මිටියයි අරගෙන ගෙදර පවිත්‍ර කළ යුතුයි. 53 ඊටපස්සේ ඔහු පණ ඇති කුරුල්ලාව නගරයෙන් එළියට අරන් ගිහින් ඌට නිදැල්ලේ යන්න හැරිය යුතුයි. ඒ විදිහට ඔහු ඒ ගෙදරින් අපවිත්‍රකම අයින් කළ යුතුයි. ඊටපස්සේ ඒක පවිත්‍රයි කියලා සලකන්න පුළුවන්.
54 “ලාදුරු රෝගය හැදුණොත් හරි ඔළුවේ නැත්නම් රැවුලේ රෝගයක් ඇති වුණොත් හරි+ 55 ඇඳුමක+ නැත්නම් ගෙදරක+ ලාදුරු රෝගය ඇති කරන විෂබීජය මතු වුණොත් හරි 56 දදයක් වගේ දෙයක්, තුවාලයක් නැත්නම් ලපයක් මතු වුණොත්+ හරි 57 ඒ කෙනාව නැත්නම් ඒ දේ පවිත්‍රද අපවිත්‍රද කියලා තීරණය කරන්න+ පිළිපැදිය යුතු නීතිය ඒකයි. ලාදුරු රෝගය ගැන නීතිය ඒකයි.”+