ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bi12 2056-2058 පි.
  • 6 “වධකණුව”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 6 “වධකණුව”
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • සමාන තොරතුරු
  • යේසුස්ව ඇණ ගැසුවේ කුරුසයකද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ ක්‍රිස්තියානීන් නමස්කාරයේදී කුරුසය භාවිත නොකරන්නේ ඇයි?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • යේසුස් මිය ගියේ කුරුසයක් මතද?
    2006 පිබිදෙව්!
  • යේසුස්ව ඇණ ගැසුවේ කුරුසයකද?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
6 “වධකණුව”

6 “වධකණුව”

යේසුස්ව හිස්කබල නම් ස්ථානයේදී මරා දැමීමට යොදාගත් දේ විස්තර කිරීමට මෙම පරිවර්තනයේ “වධකණුව” යන වචනය භාවිත කර තිබේ. (මතෙව් 27:40) මුල් ග්‍රීක පිටපත්වල ඒ සඳහා භාවිත කර තිබෙන්නේ ස්ටාව්රොස් යන වචනයයි. එම වචනයෙන් කුරුසය යන අදහස ලබා දෙන බවට කිසිම පදනමක් නැත. කුරුසය, ක්‍රිස්තුස් ජීවත් වූ කාලයට පෙර සියවස් ගණනාවක් පුරා මිථ්‍යා ආගමික සංකේතයක් ලෙස භාවිත කරන ලදි.

ස්ටාව්රොස් යන වචනය උගත් ග්‍රීකවරුන් භාවිත කළ සම්භාව්‍ය ග්‍රීක භාෂාවට අයත් වචනයකි. එහි අර්ථය වූයේ කණුවක් නැත්නම් ආධාරක කණුවක් යන්නයි. එම කණුව හරහා තවත් කණුවක් බැඳ තිබුණේ නැත. බයිබල් ලේඛකයන් යොදාගත් පොදු ජනයා භාවිත කළ ග්‍රීක භාෂාවේද (කීනි) ස්ටාව්රොස් යන වචනය ඒ අර්ථයෙන්ම භාවිත කරන ලදි. පේතෘස් සහ පාවුල් යන බයිබල් ලේඛකයෝ යේසුස්ව මරණයට පත් කළ ආකාරය ගැන විස්තර කරන විට තවත් ග්‍රීක වචනයක් වන ක්සිලොන් භාවිත කළෝය. එම වචනය ස්ටාව්රොස් යන වචනයේ අර්ථයට සමානයි. (ක්‍රියා 5:30; 10:39; 13:29; ගලාති 3:13; 1 පේතෘස් 2:24) ක්සිලොන් යන වචනය ග්‍රීක සෙප්ටුඅජින්ට් පරිවර්තනයේද භාවිත කර ඇත. (එස්රා 6:11) එහි එය භාවිත කර තිබෙන්නේ ක්‍රියා 5:30; 10:39හි ක්සිලොන් භාවිත කර ඇති අයුරින්මය.

ස්ටාව්රොස් යන වචනයේ අර්ථය ගැන විශාරදයෙකු වන ඩබ්.ඊ. වයින් පවසන්නේ මෙයයි. “ස්ටාව්රොස් යන වචනය භාවිත කර තිබෙන්නේ අපරාධකරුවන්ව එල්ලා මරා දැමීමට භාවිත කළ කණුව විස්තර කිරීමටය. මුලින් එම වචනය භාවිත කළ ආකාරය ගැන සලකා බලන විට කෙළින් සිටවූ කණුවක් හරහා තවත් කණුවක් බැඳ තිබූ බවක් එයින් අදහස් නොවූ බව පැහැදිලිය. කුරුස සංකල්පය බිහි වූයේ පුරාණ කල්දිය (බැබිලෝනිය) දේශයේය. එය භාවිත කළේ තම්මුස් නම් දෙවියාගේ සංකේතයක් ලෙසය. එම සංකේතය කල්දිය දේශයේ හා ඊජිප්තුව ඇතුළුව අවට දේශවල භාවිත කරන ලදි. ක්‍රිස්තු වර්ෂ දෙසිය ගණන්වල මැදභාගය වන විට ක්‍රිස්තියානි සභාවන් ඇතැම් සත්‍ය ඉගැන්වීම්වලින් බැහැර වී තිබිණ. අන්‍යාගමිකයන්ව තම ආගමට බඳවාගෙන තම අණසක පැතිර වීමේ අදහසින් ඔවුහු ඇතැම් මිථ්‍යා ආගමික සංකේත හා විශ්වාසයන් ක්‍රිස්තියානි ආගමට එකතු කරගැනීමට කැමති වූහ. ඒ අනුව ඔවුන් තම්මුස්ගේ සංකේතය වූ කුරුසය ක්‍රිස්තුස්ගේ සංකේතයක් ලෙස හඳුන්වා දෙන ලදි.”—An Expository Dictionary of New Testament Words (1966 reprint), Vol. I, p. 256.

ලතින් භාෂාවේ ඒ සඳහා භාවිත කළ වචනය කෘක්ස් යන්නයි. ලුවිස් සහ ෂෝට් යන විශාරදයන් දෙදෙනා පිළියෙල කළ ලතින් ශබ්දකෝෂයට එකඟව කෘක්ස් යන වචනය මුලින් භාවිත කළේ, “ගසක කඳක් හෝ අපරාධකරුවන්ව එල්ලා මරා දැමීම සඳහා භාවිත කළ කණුවක් හා සමාන ලීයෙන් සෑදූ දෙයක්” විස්තර කිරීමටය. අපරාධකරුවන්ව මරා දැමීමට භාවිත කළ තනි කණුවක් සඳහා කෘක්ස් සිම්ප්ලෙක්ස් යන ලතින් යෙදුම භාවිත කරන ලදි. එහි රූප සටහනක් ජස්ටස් ලිප්සියස් (1547-1606) නම් ලේඛකයාගේ පොතක දක්නට ලැබේ. (පින්තූරය බලන්න.) කෘක්ස් යන වචනයට කුරුසය යන අර්ථය ලැබුණේ පසු කාලයකදීය.—De cruce libri tres, Antwerp, 1629, p. 19.

හේර්මාන් ෆුල්ඩා නම් ලේඛකයා එක් පොතක මෙසේ සඳහන් කරයි. “අපරාධකරුවන්ව ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමූ සෑම අවස්ථාවකදීම ගස් සොයාගත නොහැකි වූ නිසා කණුවක් භාවිත කරන ලදි. අපරාධකරුවන්ගේ අත් දෙක ඔසවා කණුවට බැඳ තබන ලදි. පාදද කණුවට බඳින ලදි. එසේ නැතහොත් ඔවුන්ව කණුවට ඇණ ගසන ලදි. ඉන්පසු එම කණුව වළක් හාරා පොළොවේ සිටවනු ලැබේ. යේසුස්ව මරා දමනු ලැබුවේද එයාකාරයටය. ඒ බවට සාක්ෂි එවකට අපරාධකරුවන්ව මරා දැමීමට භාවිත කළ ක්‍රම, යේසුස්ව මරා දැමූ ආකාරය ගැන තිබෙන අමතර වාර්තා සහ මුල් කාලයේ සිටි ක්‍රිස්තියානි නායකයන්ගේ අදහස් යනාදිය පරීක්ෂා කිරීමෙන් සොයාගත හැක.”—Das Kreuz und die Kreuzigung (The Cross and the Crucifixion), by Hermann Fulda, Breslau, 1878, p. 109, 219, 220.

ස්විට්සර්ලන්තයේ බේසෙල් සරසවියේ මහාචාර්යවරයෙකු වූ පෝල් විල්හෙල්ම් ෂ්මිට් යේසුස්ගේ ඉතිහාසය ගැන ලියූ කෘතියක ස්ටාව්රොස් යන ග්‍රීක වචනය ගැන පුළුල් විග්‍රහයක් කළේය. එම පොතෙහි මෙසේ සඳහන් වේ. “ස්ටාව්රොස් යන වචනය භාවිත කළේ තනි කණුවක් හෝ ගසක කඳක් විස්තර කිරීමටය.” යේසුස්ව මරා දැමූ ආකාරය ගැන එහි මෙසේද සඳහන් වේ. “සුවිශේෂවල තිබෙන වාර්තාවලට අනුව කසයෙන් තැළූ යේසුස්ව මරා දැමීම සඳහා රෝමවරුන් යොදාගත්තේ අපරාධකරුවන්ව මරා දැමීම සඳහා පොදුවේ භාවිත කළ ක්‍රමයයි. ඒ අනුව ඔවුහු යේසුස්ගේ ඇඳුම් ඉවත් කර ඔහුව කණුවක එල්ලා තැබුවෝය. ඊට පෙරාතුව යේසුස්ව තවත් නින්දාවට පත් කිරීමේ අදහසින් එම කණුව තමාව මරා දමන ස්ථානය වෙත ඇදගෙන යෑමට ඔවුහු ඔහුට බල කළෝය. අපරාධකරුවන්ව මරා දැමීමට තනි කණුවක් මිස වෙනත් කිසිවක් භාවිත නොකළ බව බාහිර මූලාශ්‍ර කිහිපයකින්ම පැහැදිලි වේ. නිදසුනකට වාරුස් නමැත්තාගේ අධීක්ෂණය යටතේ 2,000දෙනෙකුව එසේ මරා දමන ලදි. (Jos. Ant. XVII 10. 10), ක්වොඩ්‍රාටස් නමැත්තාද (Jewish Wars II 12. 6), ආණ්ඩුකාර ෆීලික්ස්ද (Jewish Wars II 15. 2 [13.2]), ටයිටස්ද (Jewish Wars VII. 1 [V 11. 1]) එසේ කළ බවට සාක්ෂි ඇත.”—Die Geschichte Jesu, Vol. 2, Tübingen and Leipzig, 1904, pp. 386-394.

ඉහත සඳහන් කරුණුවලින් පැහැදිලි වන්නේ යේසුස්ව මරා දැමීමට කුරුසයක් භාවිත කළ බවට කිසිදු සාක්ෂියක් නැති බවය. ශුද්ධ වූ දේවවචනයට කිසිදු මිථ්‍යාදෘෂ්ටික අදහසක් ඇතුළත් නොකිරීම අපගේ ස්ථාවරයයි. ඒ අනුව ස්ටාව්රොස් සහ ක්සිලොන් යන වචන “වධකණුව” හෝ “කණුව” ලෙස පමණක් පරිවර්තනය කිරීමට තීරණය කර ඇත. මීට අමතරව තම ගෝලයන්ට මුහුණ දීමට සිදු වන වධ හිංසා හා ලැජ්ජාව විස්තර කිරීමටද යේසුස් ස්ටාව්රොස් යන වචනය භාවිත කළේය.—මතෙව් 16:24.

[2057වන පිටුවේ පින්තූරය]

කෘක්ස් සිම්ප්ලෙක්ස්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න