ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • nwt රූත් 1:1-4:22
  • රූත්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • රූත්
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
රූත්

රූත්

1 ඊශ්‍රායෙල් දේශය විනිශ්චයකරුවන් යටතේ තිබුණ* කාලයේ+ ඒ රටේ සාගතයක් ඇති වුණා. ඒ නිසා මිනිසෙක් යූදා දේශයේ බෙත්ලෙහෙමෙන්+ පිටත් වෙලා මෝවබ් දේශයට+ ගිහින් ජීවත් වුණා. එයා ගියේ එයාගේ බිරිඳයි, පුත්තු දෙන්නායි එක්ක. 2 ඒ මිනිසාගේ නම එලිමෙලෙක්.* එයාගේ බිරිඳ නායොමි.* පුත්තු දෙන්නා මාලන්* සහ කිලියොන්.* එයාලා යූදා දේශයේ එෆ්‍රාතාවල ඒ කියන්නේ බෙත්ලෙහෙම් නුවරේ ඉඳන් ඇවිත් මෝවබ් දේශයේ පදිංචි වුණා.

3 කාලෙකට පස්සේ නායොමිගේ සැමියා වුණ එලිමෙලෙක් මිය ගියා. නායොමි පුත්තු දෙන්නා එක්ක තනි වුණා. 4 එයාගේ පුත්තු මෝවබ් ජාතික කාන්තාවන් වුණ ඕපා සහ රූත්+ එක්ක විවාහ වුණා. එයාලා තවත් අවුරුදු දහයක් විතර එහේ හිටියා. 5 ඊටපස්සේ මාලන් සහ කිලියොනුත් මිය ගියා. නායොමිට සැමියා වගේම දරුවෝ දෙන්නාත් අහිමි වුණා. 6 මෝවබ් දේශයේ ඉද්දී නායොමිට ආරංචි වුණා යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට ආශීර්වාද කරලා තිබුණ නිසා එයාලට කෑමෙන් අඩුවක් නැහැ කියලා. ඒ නිසා ලේළිලා දෙන්නාත් එක්ක එයා මෝවබ් දේශයෙන් පිට වෙලා එයාගේ මව්රටට යන්න සූදානම් වුණා.

7 නායොමි එයාගේ ලේළිලා දෙන්නා එක්ක පදිංචි වෙලා හිටපු තැන අත්හැරලා යූදා දේශයට යන්න පිටත් වුණා. එයාලා යන අතරතුරේදී 8 නායොමි ලේළිලට මෙහෙම කිව්වා. “ඔයාලා දැන් ආපහු ගෙදර යන්න. ගිහින් අම්මලා එක්ක ජීවත් වෙන්න. ඔයාලා දෙන්නාට යෙහෝවා හැමදාම ආදරෙන්* සලකන්න ඕනේ.+ මොකද ඔය දෙන්නා මටයි, මගේ පුතාලටයි හැමදාමත් හරිම ආදරෙන් සැලකුවා. 9 යෙහෝවාගේ ආශීර්වාදයෙන් ඔය දෙන්නාට ආයෙත් විවාහ වෙලා සතුටින් ජීවත් වෙන්න* ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.”+ ඊටපස්සේ නායොමි ලේළිලව සිපගත්තා. එයාලා ගොඩක් ඇඬුවා. 10 ලේළිලා නායොමිට මෙහෙම කිව්වා. “අනේ, අපිට ආපහු යන්න කියලා නම් කියන්න එපා. ඔයාත් එක්ක ගිහින් ඔයාගේ සෙනඟ එක්ක ජීවත් වෙන්නයි අපිට ඕනේ.” 11 ඒත් නායොමි මෙහෙම කිව්වා. “අනේ මගේ දරුවෙනි, ආපහු යන්න. මාත් එක්ක ආවා කියලා ඔයාලට මොනවාද ලැබෙන්නේ? ඔයාලට විවාහ කරලා දෙන්න දරුවෝ හදන්න මට ආයෙත් පුළුවන්ද?+ 12 ඉතින් ඔයාලා ආපහු යන්න. මං ගොඩක් වයසයි. මට ආපහු විවාහ වෙන්න බැහැ. මං අදම විවාහ වෙලා පුතාලා හැදුවත් 13 එයාලා උස් මහත් වෙන කල් ඔයාලා බලන් ඉන්නවාද? එච්චර කාලයක් විවාහ වෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනේ මගේ දරුවෙනි, මට මේ දුක දරාගන්න බැහැ.* මොකද ඔයාලට මෙහෙම වුණේ යෙහෝවාගේ ආශීර්වාදය මට නැති වුණ නිසයි.”+

14 එයාලා ආයෙත් හොඳටම ඇඬුවා. ඊටපස්සේ ඕපා, නැන්දම්මාව ඉඹලා එයාගෙන් සමුගත්තා. ඒත් රූත් නායොමි එක්කම හිටියා. 15 නායොමි රූත්ට මෙහෙම කිව්වා. “දුවේ, ඔයාගේ නෑනා එයාගේ සෙනඟ ගාවටත් එයාගේ දෙවිවරුන් ගාවටත් ආපහු ගියා. ඉතින් ඔයාත් එයා එක්ක යන්න.”

16 ඒත් රූත් මෙහෙම කිව්වා. “ඔයාව දාලා යන්න කියලා නම් මට කියන්න එපා. ඔයා යන තැනකට මාත් එනවා. ඔයා නිදියන තැනම මාත් නිදියනවා. ඔයාගේ සෙනඟ තමයි මගෙත් සෙනඟ. ඔයාගේ දෙවියන් මගෙත් දෙවියන්.+ 17 ඔයා මැරෙන තැනම තමයි මාත් මැරෙන්නේ. මාව තැන්පත් කරන්න ඕනෙත් එතනමයි. මරණය හැර වෙන කිසිම දෙයක් නිසා අපි දෙන්නා වෙන් වුණොත් යෙහෝවා මට දරුණු විදිහට දඬුවම් කරන්න ඕනේ!”

18 රූත් එයාගේ තීරණය කොහොමටවත් වෙනස් කරන්නේ නැහැ කියලා තේරුම්ගත්තාම නායොමි ඒ ගැන එයාට ආයෙත් කියන්න ගියේ නැහැ. 19 ඔය විදිහට එයාලා බෙත්ලෙහෙමටම ගියා.+ එයාලා බෙත්ලෙහෙමට ආවාම නුවරේ ඉන්න හැමෝම වගේ පුදුම වුණා. “මේ නායොමි නේද” කියලා කාන්තාවන් කතා වෙන්න පටන්ගත්තා. 20 ඒත් නායොමි එයාලට මෙහෙම කිව්වා. “මට දැන් නායොමි* කියලා කියන්න එපා. සියලු බලය තියෙන දෙවියන් මාව අත්හැරලා. මගේ ජීවිතෙත් දැන් මට තිත්ත වෙලා.+ ඒ හින්දා මට මාරා* කියලා කියන්න. 21 මෙහෙන් යද්දී මට හැම දේම තිබුණා. ඒත් යෙහෝවා අද මාව මෙහෙට ගෙනාවේ හිස් අතින්. යෙහෝවා දෙවියන් මට විරුද්ධව වැඩ කළා. සියලු බලය තියෙන දෙවියන් තමයි මට මේ හැම දේම කළේ. ඉතින් මට නායොමි කියලා කියන්න පුළුවන්ද?”+

22 ඒ විදිහට නායොමි එයාගේ ලේළි වුණ මෝවබ් ජාතික රූත් එක්ක මෝවබ් දේශයේ+ ඉඳන් ආවා. එයාලා බෙත්ලෙහෙමට ආවේ බාර්ලි අස්වැන්න නෙළන්න පටන්ගත්ත කාලයෙදියි.+

2 නායොමිට බෝවස්+ කියලා නෑදෑයෙක් හිටියා. එයා ගොඩක් පොහොසත්. එයා නායොමිගේ සැමියා වුණ එලිමෙලෙක්ගේ පවුලේ කෙනෙක්.

2 දවසක් මෝවබ් ජාතික රූත්, නායොමිගෙන් මෙහෙම ඇහුවා. “කෙත්වල අත්හැරුණු කරල් එකතු කරන්න මං යන්නද?+ මට අනුකම්පා කරන අය ඉන්න කෙතකට ගිහින් මං කරල් අහුලන්නම්.” නායොමි “යන්න දුවේ” කියලා එයාට කිව්වා. 3 රූත් අස්වැන්න කපන අය පිටිපස්සේ ගිහින් අත්හැරුණු කරල් ඇහින්දා. එහෙම යද්දී එයා අහම්බෙන් වගේ එලිමෙලෙක්ගේ පවුලට අයිති+ බෝවස්ගේ+ කෙතට ආවා. 4 ඔය අතරේ බෝවසුත් බෙත්ලෙහෙමේ ඉඳලා එතනට ආවා. “ඔයාලට යෙහෝවා දෙවියන්ගේ උදව් ලැබේවා” කියලා එයා අස්වැන්න නෙළන අයට ආචාර කළා. එයාලත් “ඔබට යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාද ලැබේවා” කියලා බෝවස්ට කිව්වා.

5 බෝවස් අස්වැන්න නෙළන අයගේ වැඩ බලන තරුණයාගෙන් ඇහුවා “මේ තරුණිය කාගේ කවුද” කියලා. 6 ඒ තරුණයා මෙහෙම කිව්වා. “එයා මෝවබ් ජාතික තරුණියක්.+ එයා නායොමි එක්ක මෝවබ් දේශයේ ඉඳලයි මෙහෙට ඇවිත් තියෙන්නේ.+ 7 එයා මගෙන් ඇහුවා ‘මං අස්වැන්න කපන අය දාලා ගිය කරල්* අහුලගත්තාට කමක් නැද්ද’+ කියලා. එයා උදේ ඉඳන් මේ වෙන කල්ම කෙතේ කරල් ඇහින්දා. දැන් ටිකකට ඉස්සෙල්ලා තමයි එයා පැලට ඇවිත් ඉඳගත්තේ.”

8 බෝවස් රූත්ට මෙහෙම කිව්වා. “මේ අහන්න දුවේ. මේ කෙත අත්හැරලා යන්න එපා. මගේ සේවිකාවන් එක්කම ඉඳලා කරල් අහුලන්න.+ 9 එයාලා අස්වැන්න එකතු කරන්නේ කොහෙද කියලා බලලා එයාලා එක්ක එතනට යන්න. ඔයාට කිසිම කරදරයක් කරන්න එපා කියලා මම තරුණයන්ට කියලයි තියෙන්නේ. ඔයාට තිබහක් දැනුණාම වතුර ඇදලා දෙන තරුණයන් පුරවලා තියෙන භාජනවලින් අරන් බොන්න.”

10 එතකොට රූත් දණින් වැටිලා ඔළුව පහත් කරලා බෝවස්ගෙන් මෙහෙම ඇහුවා. “මං වෙනත් දේශයක කෙනෙක් වෙලත් ඔබ මං ගැන මෙච්චර හොයලා බලන්නේ ඇයි? මට උදව් කරන්නේ ඇයි?”+ 11 බෝවස් මෙහෙම උත්තර දුන්නා. “ඔයාගේ මහත්තයා මැරුණාට පස්සේ නැන්දම්මා වෙනුවෙන් ඔයා කරපු හැම දේම මට ආරංචි වුණා. ඔයා ඔයාගේ අම්මාවයි, තාත්තාවයි, ඉපදුණ දේශයයි අත්හැරලා දන්න අඳුරන කවුරුත් නැති මේ දේශයට ආවා කියලා මං දන්නවා.+ 12 ඔයා කරපු හැම දේකටම යෙහෝවාගෙන් ඔයාට ආශීර්වාද ලැබෙන්න ඕනේ!+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ පියාපත් සෙවණේ රැකවරණය+ හොයන ඔයාට දෙවියන්ගෙන් හොඳම තෑග්ග ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා!” 13 එතකොට රූත් මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, මං ඔබේ සේවිකාවක්වත් නෙමෙයි. ඒත් ඔබ මාව සනසලා මගේ හිතේ බය නැති කළා.* හැමදාටම මේ විදිහට ඔබේ සේවිකාව වන මට කරුණාවෙන් සලකන්න කියලා මං ඔබෙන් ඉල්ලනවා.”

14 කෑම කන වෙලාවේ බෝවස් රූත්ට මෙහෙම කිව්වා. “එන්න, මෙතන තියෙන රොටි අරන් කන්න. ඒවා මේ ඇඹුල් වයින්වල පොඟවලා කන්න.” ඉතින් රූත් ගිහින් අස්වැන්න කපන අය ළඟ ඉඳගත්තා. බෝවස් බැදපු ධාන්‍ය ටිකකුත් එයාට දුන්නා. ඒකෙන් එයා ඇති තරම් කෑවාට පස්සෙත් තව ඉතුරු වුණා. 15 රූත් එතනින් නැඟිටලා කරල් අහුලන්න ආපහු ගියාම+ බෝවස් සේවකයන්ට මෙහෙම අණ කළා. “එයාට මුකුත් කියන්න යන්න එපා.+ ඕන තරම් කරල්* අහුලගන්න එයාට ඉඩ දෙන්න. 16 එයාට අහුලගන්න මිටිවලින් කරල් කීපයකුත් අරන් බිමට දාන්න. කරල් අහුලන්න එපා කියලා එයාට කියන්න එපා.”

17 රූත් හවස් වෙන කල්ම කෙතේ කරල් ඇහින්දා.+ එයා අහුලගත්ත කරල් තළලා සුද්ද කරගත්තාම එතන බාර්ලි ඒපාවක්* විතර තිබුණා. 18 එයා ඒකත් අරගෙන නුවරට ගිහින් ඒක එයාගේ නැන්දම්මාට පෙන්නුවා. දවල්ට ඇති වෙන්න කෑවාට පස්සේ ඉතුරු වුණ ධාන්‍ය ටිකත් එයා නායොමිට දුන්නා.+

19 නායොමි රූත්ගෙන් මෙහෙම ඇහුවා. “දුව අද කරල් ඇහින්දේ කොහෙද? අද ඔයා වැඩ කළේ කාගේ කෙතේද? ඔයාට හොඳින් සලකපු කෙනාට ආශීර්වාද ලැබෙන්න ඕනේ!”+ එතකොට රූත් “මං අද වැඩ කළේ බෝවස් කියන කෙනාගේ කෙතේ” කියලා නැන්දම්මාට කිව්වා. 20 එතකොට නායොමි එයාගේ ලේළිට මෙහෙම කිව්වා. “ජීවත් වෙලා ඉන්න අයව වගේම මිය ගිය අයවත් අමතක කරන්නේ නැතුව එයාලට නොසැලෙන ආදරයක් පෙන්නන යෙහෝවාගෙන් එයාට ආශීර්වාද ලැබෙන්න ඕනේ!”+ නායොමි මෙහෙමත් කිව්වා. “බෝවස් අපේ නෑදෑයෙක්.+ එයාට පුළුවන් නෑදෑයෙක්ගේ වගකීම් ඉටු කරලා අපිව මේ කරදරවලින් බේරගන්න.”*+ 21 එතකොට රූත් මෙහෙම කිව්වා. “‘අස්වැන්න කපලා ඉවර වෙන කල්ම මගේ සේවකයන් එක්ක ඉන්න’+ කියලත් එයා මට කිව්වා.” 22 ඒ වෙලාවේ නායොමි “ඒක නම් හොඳයි දුවේ. වෙන කෙතකට ගියොත් ඔයාට කරදරයක් වෙයි. ඒ හින්දා බෝවස්ගේ සේවිකාවන් එක්කම ඉන්න” කියලා රූත්ට කිව්වා.

23 බාර්ලි සහ තිරිඟු අස්වැන්න කපලා ඉවර වෙන කල්ම රූත් බෝවස්ගේ සේවිකාවන් එක්කම ඉඳලා කරල් ඇහින්දා.+ එයා දිගටම එයාගේ නැන්දම්මා එක්ක ජීවත් වුණා.+

3 දවසක් රූත්ගේ නැන්දම්මා වන නායොමි රූත්ට මෙහෙම කිව්වා. “දුවට හොඳ කෙනෙක්ව* හොයලා බන්දලා දෙන එක මගේ යුතුකමක්.+ එතකොට දුවට සතුටින් ඉන්න පුළුවන්. 2 බෝවස් අපේම නෑයෙක්නේ.+ ඔයා මෙච්චර දවසක් වැඩ කළේ එයාගේ සේවිකාවන් එක්ක. අද රෑ එයා කමතේ බාර්ලි පොළනවා.* 3 දුව ඇඟපත හෝදගෙන ඇඟේ සුවඳ තෙල් ටිකක් ගාගන්න. ඊටපස්සේ හොඳ ඇඳුමක් ඇඳගෙන කමතට යන්න. බෝවස් කාලා බීලා ඉවර වෙන කල් ඔයා එතන ඉන්නවා කියලා එයාට දැනගන්න දෙන්න එපා. 4 එයා නිදාගන්නේ කොහෙද කියලා බලාගන්න. ඊටපස්සේ එයාගේ කකුල්වලින් පොරවන රෙද්ද අයින් කරලා එයාගේ කකුල් දෙක ළඟ නිදාගන්න. කරන්න ඕන දේ එයා දුවට කියයි.”

5 එතකොට රූත් “ඔයා කියන විදිහටම මං කරන්නම්” කියලා නායොමිට කිව්වා. 6 ඊටපස්සේ රූත් කමතට ගිහින් නැන්දම්මා කියපු විදිහටම කළා. 7 ඔය අතරේ බෝවස් හොඳට කාලා බීලා හිතේ සතුටින් ධාන්‍ය ගොඩ කෙළවරට ගිහින් නිදාගත්තා. ඊටපස්සේ රූත් හෙමින් සැරේ එතනට ගිහින් එයාගේ කකුල්වලින් පොරවන රෙද්ද අයින් කරලා එයාගේ කකුල් දෙක ළඟ ඇල වුණා. 8 මැදියම් රෑ බෝවස් ගැස්සිලා ඇහැරුණා. හැරිලා බලද්දී එයා දැක්කා එයාගේ කකුල් දෙක ළඟ ගැහැනු කෙනෙක් නිදාගෙන ඉන්නවා. 9 එතකොට බෝවස් “ඔයා කවුද” කියලා ඇහුවා. රූත් එයාට මෙහෙම කිව්වා. “මං ඔබේ දාසිය වන රූත්. අනේ, ඔබේ දාසිය වන මට ඔබේ රැකවරණය දෙන්න.* ඔබ අපේ නෑදෑයෙක්.* ඉතින් නෑදෑයෙක් අතින් වෙන්න ඕන වගකීම් ඉටු කරන්න කියලා මං ඔබෙන් ඉල්ලනවා.”+ 10 එතකොට බෝවස් මෙහෙම කිව්වා. “යෙහෝවාගෙන් ඔයාට ආශීර්වාද ලැබෙන්න ඕනෙ දුවේ! ඔයා කලින් කරපු හැම දේකටම වඩා+ ඔයා දැන් කරපු මේ දෙයින් ඔයාගේ හිතේ කොච්චර ලොකු ආදරයක්* තියෙනවාද කියලා පේනවා. ඔයාට ඕනෙ නම් තිබුණා පොහොසත් නැත්නම් දුප්පත් තරුණයෙක්ව තෝරගන්න. ඒත් ඔයා එහෙම කළේ නැහැ. 11 ඉතින් දුවේ, බය වෙන්න එපා. ඔයා කියන හැම දෙයක්ම මං කරන්නම්.+ මොකද නුවරේ* හැමෝම දන්නවා ඔයා කොච්චර ගුණ යහපත් කෙනෙක්ද කියලා. 12 ඇත්ත, මං ඔයාගේ නෑදෑයෙක් තමයි.+ ඒත් මට වඩා ළඟින් නෑ වෙන කෙනෙක් ඔයාලට ඉන්නවා.+ 13 අද රෑ ඔයා මෙහේ නවතින්න. හෙට උදේට මං ගිහින් එයා එක්ක කතා කරන්නම්. නෑදෑයෙක්ගෙන් වෙන්න ඕන වගකීම් ඉටු කරන්න එයා කැමති වුණොත් එයා ඔයාව බේරගනී.+ ඒත් එයා ඒකට කැමති වුණේ නැත්නම් මං ඒ වගකීම භාරගන්නම්. මං ඒක ජීවමාන දෙවි යෙහෝවා ඉස්සරහා දිවුරලා පොරොන්දු වෙනවා. ඔයා උදේ වෙන කල් මෙහේ ඉන්න.”

14 රූත් අලුයම වෙන කල් බෝවස්ගේ කකුල් දෙක ළඟ නිදාගෙන හිටියා. ඊටපස්සේ කාටවත් එයාව අඳුරගන්න බැරි වෙන්න, එළිය වැටෙන්න කලින්ම එයා එතනින් පිට වෙලා යන්න ලෑස්ති වුණා. ඒ වෙලාවේ බෝවස් කිව්වා “කමතට ස්ත්‍රියක් ආවා කියලා කිසිම කෙනෙක්ට දැනගන්න ඉඩ තියන්න හොඳ නැහැ” කියලා. 15 එයා රූත්ට කිව්වා “ඔයාගේ සළුව දිගඅරින්න” කියලා. රූත් එයාගේ පිට සළුව දිගඇරියාම බෝවස් බාර්ලි මිනුම් හයක්* ඒකට දාලා එයාට දුන්නා. ඊටපස්සේ බෝවස් නුවරට ගියා.

16 රූත් එයාගේ නැන්දම්මා ගාවට ගියාම නායොමි ඇහුවා “කොහොමද දුවේ?* ඊයේ රෑ මොකද වුණේ” කියලා. එතකොට රූත් බෝවස් කරපු කියපු හැම දේම එයාට කිව්වා. 17 “‘ඔයාගේ නැන්දම්මා ළඟට හිස් අතින් යන්න එපා’ කියලා එයා මට මේ බාර්ලි මිනුම් හය දුන්නා” කියලත් රූත් කිව්වා. 18 ඊටපස්සේ නායොමි මෙහෙම කිව්වා. “ඊළඟට මොකද වෙන්නේ කියලා අපි ටිකක් ඉවසලා බලමු දුවේ. එයා කොහොමහරි අදම මේ කාරණය විසඳයි කියලා මට විශ්වාසයි.”

4 බෝවස් නුවර දොරටුව ළඟට+ ගිහින් ඉඳගත්තා. ටික වෙලාවකට පස්සේ බෝවස් රූත්ට කියපු ඒ නෑදෑයා*+ එතනට ආවා. එතකොට බෝවස් “පොඩ්ඩක් ඇවිල්ලා මෙතන ඉඳගන්නවාද” කියලා ඒ කෙනාට* කිව්වා. ඒ කෙනා එතනට ගිහින් ඉඳගත්තා. 2 ඊටපස්සේ බෝවස් නුවරේ වැඩිමහල්ලන්+ දහදෙනෙක්ට එන්න කියලා එයාලටත් කිව්වා “මෙතන ඉඳගන්න” කියලා. එයාලත් එතන ඉඳගත්තා.

3 බෝවස් ඒ නෑදෑයාට+ මෙහෙම කිව්වා. “මෝවබ් දේශයෙන් ආපු නායොමිට+ සිද්ධ වෙලා තියෙනවා අපේ නෑයෙක් වුණ එලිමෙලෙක්ගේ+ ඉඩම විකුණන්න. 4 ඔයාට ඒ ගැන කියන එක මගේ යුතුකමක් කියලා මට හිතුණා. මෙතන ඉන්න අය ඉස්සරහත් වැඩිමහල්ලන් ඉස්සරහත් ඒ ඉඩම මිල දී අරන්+ ඒක බේරගන්න ඔයාට පුළුවන්. ඒ ඉඩම බේරගන්න වැඩි අයිතිය තියෙන්නේ ඔයාටයි. ඔයාට පස්සේ ඒ අයිතිය තියෙන්නේ මට. ඔයා ඒක මිල දී ගන්නවා නම් එහෙම කරන්න. ඒත් ඔයා ඒකට අකමැති නම් මට කියන්න.” එතකොට ඒ කෙනා “මං ඒක මිල දී ගන්නම්”+ කියලා කිව්වා. 5 බෝවස් එයාට මෙහෙම කිව්වා. “ඒ කෙත නායොමිට විතරක් නෙමෙයි මිය ගිය එයාගේ පුතාගේ බිරිඳ වුණ මෝවබ් ජාතික රූත්ටත් අයිතියි. ඒ නිසා ඔයා ඒ දෙන්නාගෙන්ම කෙත මිල දී ගන්න ඕනේ. එතකොට මිය ගිය කෙනාගේ නමින්ම උරුමය දිගටම ගෙනියන්න පුළුවන්.”+ 6 ඒත් ඒ නෑදෑයා මෙහෙම කිව්වා. “මට ඒක මිල දී ගන්න බැහැ. මොකද එහෙම කළොත් මගේ උරුමයට පාඩුවක් වෙයි. ඒ නිසා ඒක මිල දී ගන්න මට තියෙන අයිතිය මං ඔයාට පවරනවා. ඔයාම ඒක මිල දී ගන්න.”

7 ඒ දවස්වලදී යම් දෙයක්* මුදවගන්න තියෙන අයිතිය තව කෙනෙක්ට පවරන්න ඕනෙ වුණාම එහෙම නැත්නම් අයිති වෙනත් දෙයක් තව කෙනෙක්ට පවරන්න ඕනෙ වුණාම කෙනෙක් කළේ මෙහෙමයි. ඒ කාරණය ස්ථිර කරගන්න එයා එයාගේ පාවහනක් ගලවලා+ අනිත් කෙනාට දුන්නා. ඒක ඊශ්‍රායෙල් දේශයේ තිබුණ චාරිත්‍රයක්. 8 ඒ නිසා “ඔයාම ඒක මිල දී ගන්න” කියලා බෝවස්ට කියද්දී ඒ කෙනා එයාගේ පාවහන ගැලෙව්වා. 9 ඒ වෙලාවේ වැඩිමහල්ලන්ටයි, එතනට ඇවිල්ලා හිටපු හැමෝටමයි බෝවස් මෙහෙම කිව්වා. “එලිමෙලෙක්ටයි, කිලියොන්ටයි, මාලන්ටයි අයිති හැම දේම මං නායොමිගෙන් මිල දී ගන්නවා කියන දේට ඔයාලා හැමෝම අද සාක්ෂිකරුවන්.+ 10 මාලන්ගේ බිරිඳ වුණ මෝවබ් ජාතික රූත්වත් මගේ බිරිඳ විදිහට මං මිල දී ගන්නවා. එතකොට මිය ගිය කෙනාගේ උරුමය දිගටම ඒ කෙනාගේ නමින්ම පවතියි.+ එයාගේ සහෝදරයන් අතරෙනුත් එයාගේ නුවරෙනුත් එයාගේ නම මැකිලා යන්නේ නැහැ. මේකට අද ඔයාලා හැමෝම සාක්ෂිකරුවන්.”+

11 එතකොට නුවර දොරටුවේ හිටපු හැමෝමත් වැඩිමහල්ලොත් මෙහෙම කිව්වා. “අපි සාක්ෂිකරුවෝ. ඔයාගේ ගෙදරට එන බිරිඳට යෙහෝවාගෙන් ආශීර්වාද ලැබේවා! එයා ඊශ්‍රායෙල් පෙළපත ගොඩනැඟුව රාකෙල් සහ ලෙයා වගේ වේවා!+ එෆ්‍රාතාවල+ ඔයාගේ ජීවිතේ හැම අතින්ම සාර්ථක වෙන්න කියලත් ඔයාට බෙත්ලෙහෙමේ+ හොඳ නමක් ඇති කරගන්න ලැබෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. 12 යෙහෝවා දෙවියන් මේ තරුණියගෙන් ඔයාට දෙන දරුවන් නිසා+ ඔයාගේ පවුලත් යූදා සහ තාමර්ගේ දරුවා වුණ පේරෙස්ගේ+ පවුල වගේම වේවා!”

13 බෝවස් රූත්ව බිරිඳ විදිහට භාර අරගෙන එයාත් එක්ක ජීවත් වෙන්න පටන්ගත්තා. යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදයෙන් රූත්ට පුතෙක් ලැබුණා. 14 ඉතින් කාන්තාවන් නායොමිට මෙහෙම කිව්වා. “යෙහෝවාට ප්‍රශංසා වේවා! ඔයාට පිහිට වෙන්න නෑදෑයෙක්* දෙන්න ඔහු අමතක කළේ නැහැ. එයාගේ* නම ඊශ්‍රායෙල් දේශයේ ඉන්න හැමෝටම දැනගන්න ලැබේවා! 15 මේ දරුවා නිසා ඔයාට අලුත් ජීවිතයක් ලැබුණා. ඔයා වයසට ගියාම එයා ඔයාව බලාගනියි. මොකද දරුවාව බිහි කළේ ඔයාට ආදරේ කරන,+ පුත්තු හත්දෙනෙක්ටත් වඩා වටින ඔයාගේ ලේළියි.” 16 නායොමි දරුවාව අතට අරන් තුරුල් කරගත්තා. දරුවා රැකබලා ගත්තේ එයායි. 17 අසල්වැසි කාන්තාවන් “නායොමිට පුතෙක් බිහි වෙලා” කියලා කිව්වා. ඒ දරුවාට ඕබෙද්* කියන නම දුන්නා. ඕබෙද්+ යෙස්සේගේ පියා. යෙස්සේ+ දාවිත්ගේ පියා.

18 පේරෙස්ගේ පෙළපත්+ වාර්තාව මේකයි. පේරෙස්ගේ පුතා හෙස්‍රොන්.+ 19 හෙස්‍රොන්ගේ පුතා රාම්. රාම්ගේ පුතා අමිනදාබ්.+ 20 අමිනදාබ්ගේ+ පුතා නාෂොන්. නාෂොන්ගේ පුතා සල්මොන්. 21 සල්මොන්ගේ පුතා බෝවස්. බෝවස්ගේ පුතා ඕබෙද්. 22 ඕබෙද්ගේ පුතා යෙස්සේ.+ යෙස්සේගේ පුතා දාවිත්.+

මූ.අ., “විනිශ්චයකරුවන් විනිශ්චය කරපු.”

තේරුම, “මගේ දෙවියන් රජයි.”

තේරුම, “ප්‍රියමනාපයි.”

සමහරවිට ඒ නම හැදිලා තියෙන්නේ “දුර්වල වෙනවා; අසනීප වෙනවා” කියන තේරුම තියෙන හෙබ්‍රෙව් වචනයකින් වෙන්න ඇති.

තේරුම, “දුර්වල වීගෙන යන; ටිකෙන් ටික අවසානයට ළං වෙන.”

හෝ, “නොසැලෙන ආදරෙන්.” “පැහැදිලි කිරීමක්” බලන්න.

මූ.අ., “ආරක්ෂිතව ඉන්න පුළුවන් නිවහනක්.”

හෝ, “මගේ ජීවිතය තිත්ත වෙලා.”

තේරුම, “ප්‍රියමනාපයි.”

තේරුම, “තිත්ත.”

හෝ සමහරවිට, “මිටි ළඟ තියෙන කරල්.”

මූ.අ., “හිතට කතා කළා.”

හෝ සමහරවිට, “මිටි ළඟ තියෙන කරල්.”

ඒපාවක් කියන්නේ ලීටර් 22ක් (කි.ග්‍රෑ. 13ක්) විතර. උප. B14 බලන්න.

හෝ, “එයා අපිව මුදවගන්න අයිතිය තියෙන නෑදෑයෙක්.”

මූ.අ., “ආරක්ෂිතව ඉන්න පුළුවන් නිවහනක්.”

පොළනවා කියන්නේ ඇටවලින් ඉවත් කරපු පොතු වෙන් කරන එකටයි.

මූ.අ., “ඔබේ ඇඳුමෙන් ඔබේ දාසියව වහන්න.”

හෝ, “අපිව මුදවගන්න අයිතිය තියෙන නෑදෑයෙක්.”

හෝ, “නොසැලෙන ආදරයක්.”

මූ.අ., “මගේ නුවරේ දොරටුව ළඟ.”

සමහරවිට සෙයා මිනුම් හයක් වෙන්න ඇති. ඒ කියන්නේ කි.ග්‍රෑ. 25ක් විතර. උප. B14 බලන්න.

මූ.අ., “ඔයා කවුද?”

හෝ, “මුදවගන්න අයිතිය තියෙන නෑදෑයා.”

එයාගේ නම සඳහන් කරලා නැහැ.

හෝ, “යම් කෙනෙක්.”

හෝ, “මුදවගන්න අයිතිය තියෙන නෑදෑයෙක්.”

ඒ කියන්නේ දරුවාගේ.

තේරුම, “සේවය කරන්නා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න