ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • nwt එස්රා 1:1-10:44
  • එස්රා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එස්රා
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එස්රා

එස්රා

1 පර්සියාවේ රජ වුණ සයිරස්+ පාලනය කරපු පළවෙනි අවුරුද්දේදී* යෙහෝවා දෙවියන් සයිරස් රජගේ හිත පෙලඹුවා යෙරෙමියා මාර්ගයෙන් යෙහෝවා කියපු දේ+ ඉටු කරන්න. ඒ නිසා සයිරස් රජ තම රාජධානිය පුරාම පණිවිඩයක් යැව්වා. ලිඛිතවත් දැනුම් දුන්න ඒ පණිවිඩයේ+ මෙහෙම සඳහන් වුණා.

2 “පර්සියාවේ සයිරස් රජ මෙසේ දැනුම් දෙයි. ‘ස්වර්ගය පාලනය කරන දෙවි වන යෙහෝවා පොළොවේ සියලු රාජ්‍යයන් මට භාර දීලා තියෙනවා.+ ඔහු යූදා දේශයට අයිති යෙරුසලමේ ඔහු වෙනුවෙන් දේවමාලිගාවක් ගොඩනඟන්න මට අණ කළා.+ 3 ඔබ අතරේ ඉන්න ඒ දෙවියන්ට නමස්කාර කරන සියලුදෙනාට ඔහුගේ රැකවරණය ලැබේවා! සැබෑ දෙවියන් ඔහුයි. ඒ නිසා යූදා දේශයට ගිහිල්ලා යෙරුසලමේ තිබුණ* ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ මාලිගාව නැවත ගොඩනඟන්න මම ඔබට අවසර දෙනවා. 4 විදේශිකයන් විදිහට+ රාජධානියේ ඕනෙම තැනක ජීවත් වෙන යුදෙව්වන්ට ආයෙත් යෙරුසලමට යන්න පුළුවන්. අසල්වාසීන්ට* පුළුවන් ගමනට අවශ්‍ය උදව් එයාලට ලබා දෙන්න. යෙරුසලමේ තිබුණ සැබෑ දෙවියන්ගේ මාලිගාව වෙනුවෙන් දේවල් කැමැත්තෙන්ම පරිත්‍යාග කරන්නත්+ රන්, රිදී, බඩු බාහිරාදිය සහ සතුන් එයාලට ලබා දෙන්නත් පුළුවන්.’”

5 යූදා සහ බෙන්ජමින් ගෝත්‍රවල ප්‍රධානියෝ, පූජකයෝ, ලෙවීවරු සහ තවත් බොහෝදෙනෙක් යෙරුසලමේ තිබුණ යෙහෝවාගේ මාලිගාව ආයෙත් හදන්න යන්න සූදානම් වුණා. මොකද සැබෑ දෙවියන් ඒ ගමන යන්න එයාලාගේ හිතේ ලොකු ආශාවක් ඇති කළා. 6 අවට ජීවත් වුණ හැමෝගෙන්ම එයාලට ලොකු සහයෝගයක් ලැබුණා.* එයාලා දෙවියන්ගේ මාලිගාව වෙනුවෙන් කැමැත්තෙන්ම දේවල් පරිත්‍යාග කළා විතරක් නෙමෙයි රන් රිදී භාණ්ඩ, වෙනත් වටිනා දේවල්, බඩු බාහිරාදිය සහ සතුන් ලබා දුන්නා.

7 සයිරස් රජ යෙහෝවාගේ මාලිගාවට අයිති භාණ්ඩත් ආපහු භාර දුන්නා. නෙබුකද්නෙෂර් රජ යෙරුසලමේ ඉඳලා ගෙනාපු ඒ භාණ්ඩ තියලා තිබුණේ එයා අදහපු දෙවියන්ගේ දේවාලයේ.+ 8 ඒ භාණ්ඩ නැවත භාර දීමේ වගකීම පර්සියාවේ සයිරස් රජ පැවරුවේ භාණ්ඩාගාරික මිත්රෙදාත්ට. එයා ඒ භාණ්ඩවල ලේඛනයක් හදලා ඒවා යූදා ගෝත්‍රයේ ප්‍රධානියෙක් වුණ ෂෙෂ්බෂර්ට*+ භාර දුන්නා.

9 ඒ ලේඛනයේ සඳහන් වුණ භාණ්ඩ මේවායි. රන් කූඩ 30යි. රිදී කූඩ 1,000යි. ඒ වගේ වෙනත් භාජන 29යි. 10 කුඩා රන් බඳුන් 30යි. කුඩා රිදී බඳුන් 410යි. වෙනත් භාණ්ඩ 1,000යි. 11 රන් සහ රිදී භාණ්ඩවල මුළු එකතුව 5,400යි. බැබිලෝනියේ වහලුන් විදිහට හිටපු අය+ යෙරුසලමට යද්දී ෂෙෂ්බෂර් ඒ හැම භාණ්ඩයක්ම අරගෙන ගියා.

2 බැබිලෝනියේ ඉඳලා ආපු යුදෙව්වන්ගේ+ නම් පහත සඳහන් වෙනවා. එයාලා පළාත* පුරාම පදිංචි අයයි. එයාලාගෙන් සමහරදෙනෙක්ව බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර් බැබිලෝනියට වහලුන් විදිහට අරන් ගිහින් තිබුණා.+ ඒ අය බැබිලෝනියේ ඉඳන් ඇවිත් යෙරුසලමේ සහ යූදා දේශයේ එයාලට අයිති නුවරවල්වල පදිංචි වුණා.+ 2 ඒ ගමනේදී එයාලට මඟ පෙන්නුවේ සෙරුබාබෙල්,+ යේෂුවා,+ නෙහෙමියා, සෙරායා, රෙයලායා, මොර්දෙකයි, බිල්ෂාන්, මිස්පාර්, බිග්වායි, රෙහුම් සහ බානාහ් කියන අය.

මේ තමයි ආපහු ආව ඊශ්‍රායෙල් පුරුෂයන්ගේ ගණන:+ 3 පාරොෂ්ගේ පුතුන්* 2,172යි. 4 ෂෙපටියාගේ පුතුන් 372යි. 5 ආරාහ්ගේ+ පුතුන් 775යි. 6 පාහත්මෝවබ්+ පෙළපතට අයිති යේෂුවාගේ සහ යෝවාබ්ගේ පුතුන් 2,812යි. 7 ඒලාම්ගේ+ පුතුන් 1,254යි. 8 සට්ටුගේ+ පුතුන් 945යි. 9 ෂක්කායිගේ පුතුන් 760යි. 10 බානිගේ පුතුන් 642යි. 11 බෙබායිගේ පුතුන් 623යි. 12 අස්ගාද්ගේ පුතුන් 1,222යි. 13 අදොනිකාම්ගේ පුතුන් 666යි. 14 බිග්වායිගේ පුතුන් 2,056යි. 15 ආදින්ගේ පුතුන් 454යි. 16 හෙසකියාගේ පෙළපතින් ආපු ආටෙර්ගේ පුතුන් 98යි. 17 බේෂායිගේ පුතුන් 323යි. 18 යෝරාගේ පුතුන් 112යි. 19 හාෂුම්ගේ+ පුතුන් 223යි. 20 ගිබ්බාර්ගේ පුතුන් 95යි. 21 බෙත්ලෙහෙමේ පුරුෂයන් 123යි. 22 නෙටොෆාවල පුරුෂයන් 56යි. 23 අනාතොත්වල+ පුරුෂයන් 128යි. 24 අෂ්මාවෙත්වල පුරුෂයන් 42යි. 25 කිර්යත්යෙයාරීම්, කෙෆීරා සහ බෙයේරොත්වල පුරුෂයන් 743යි. 26 රාමා+ සහ ගෙබාවල+ පුරුෂයන් 621යි. 27 මික්මාස්වල පුරුෂයන් 122යි. 28 බෙතෙල් සහ ආයි+ නුවරවල්වල පුරුෂයන් 223යි. 29 නෙබෝවල+ පුරුෂයන් 52යි. 30 මග්බිෂ්ගේ පුතුන්* 156යි. 31 ඒලාම් කියලා හඳුන්වන තවත් කෙනෙක්ගේ පුතුන් 1,254යි. 32 හාරිම්ගේ පුතුන් 320යි. 33 ලොද්, හාදිද් සහ ඕනෝගේ පුතුන් 725යි. 34 යෙරිකෝවේ පුරුෂයන් 345යි. 35 සෙනායාගේ පුතුන්* 3,630යි.

36 පූජකයන්ගේ+ ගණන: යේෂුවාගේ+ පවුලට අයිති යෙදායාගේ+ පුතුන් 973යි. 37 ඉම්මේර්ගේ+ පුතුන් 1,052යි. 38 පෂ්හූර්ගේ+ පුතුන් 1,247යි. 39 හාරිම්ගේ+ පුතුන් 1,017යි.

40 ලෙවීවරුන්ගේ+ ගණන: හෝදවියාගේ පවුලට අයිති යේෂුවාගේ සහ කද්මියෙල්ගේ+ පුතුන් 74යි. 41 ගායකයන්ගේ+ ගණන: ආසාෆ්ගේ+ පුතුන් 128යි. 42 දොරටු පාලකයන්ගේ+ පුතුන්ගේ ගණන: ෂල්ලුම්, ආටෙර්, ටල්මොන්,+ අක්කුබ්,+ හටීටා සහ ෂෝබයි කියන අයගේ පුතුන්ගේ මුළු ගණන 139යි.

43 දේවමාලිගාවේ සේවකයන්ගේ*+ නම්: ෂීහාගේ පුතුන්, හසුෆාගේ පුතුන්, ටබ්බාවොත්ගේ පුතුන්, 44 කෙරොස්ගේ පුතුන්, සියාහාගේ පුතුන්, පාදොන්ගේ පුතුන්, 45 ලෙබානාගේ පුතුන්, හගාබාගේ පුතුන්, අක්කුබ්ගේ පුතුන්, 46 හාගාබ්ගේ පුතුන්, සල්මයිගේ පුතුන්, හානාන්ගේ පුතුන්, 47 ගිද්දෙල්ගේ පුතුන්, ගහර්ගේ පුතුන්, රෙයායාගේ පුතුන්, 48 රෙෂින්ගේ පුතුන්, නෙකෝදාගේ පුතුන්, ගෂ්ෂාම්ගේ පුතුන්, 49 උස්සාගේ පුතුන්, පාසේයාගේ පුතුන්, බේසයිගේ පුතුන්, 50 අස්නාගේ පුතුන්, මෙයූනිම්වරුන්ගේ* පුතුන්, නෙෆූසිම්ගේ* පුතුන්, 51 බක්බුක්ගේ පුතුන්, හකූෆාගේ පුතුන්, හර්හූර්ගේ පුතුන්, 52 බෂ්ලූත්ගේ පුතුන්, මෙහිදාගේ පුතුන්, හර්ෂාගේ පුතුන්, 53 බාකොස්ගේ පුතුන්, සිසෙරාගේ පුතුන්, තෙමාගේ පුතුන්, 54 නෙෂියාගේ පුතුන්, හටීෆාගේ පුතුන්.

55 සලමොන්ගේ සේවකයන්ගේ පුතුන්ගේ නම්: සෝටයිගේ පුතුන්, සොෆෙරෙත්ගේ පුතුන්, පෙරුදාගේ+ පුතුන්, 56 යයලාහ්ගේ පුතුන්, දර්කොන්ගේ පුතුන්, ගිද්දෙල්ගේ පුතුන්, 57 ෂෙපටියාගේ පුතුන්, හට්ටිල්ගේ පුතුන්, පොකෙරෙත් හෂ්ෂෙබායිම්ගේ පුතුන්, ආමීගේ පුතුන්.

58 දේවමාලිගාවේ සේවකයන්ගේ සහ සලමොන්ගේ සේවකයන්ගේ පුතුන්ගේ මුළු ගණන 392යි.

59 ටෙල්මේලා, ටෙල්හර්ෂා, කේරුබ්, අද්දොන් සහ ඉම්මේර් කියන නුවරවල්වලින් ආපු අයට එයාලාගේ පෙළපත ඊශ්‍රායෙල්ගෙන් පැවතෙනවා කියලා ඔප්පු කරන්න බැරි වුණා.+ එයාලාගේ නම්: 60 දෙලායාගේ පුතුන්, ටොබියාගේ පුතුන් සහ නෙකෝදාගේ පුතුන්. එයාලාගේ ගණන 652යි. 61 පූජකයන්ගේ පුතුන් අතරේ හබායාගේ පුතුන්, හක්කොෂ්ගේ+ පුතුන්, බාසිල්ලයිගේ පුතුන් හිටියා. බාසිල්ලයිගේ+ පුතුන්ට ඒ නම ලැබුණේ එයාලාගේ මුතුන්මිත්තා ගිලියද්වරයෙක් වුණ බාසිල්ලයිගේ දුවෙක්ව විවාහ කරගෙන එයාගේ මාමණ්ඩිගේ නම ලබාගත්ත නිසයි. 62 එයාලා පෙළපත් වාර්තාවල එයාලාගේ පවුල්වල නම් තියෙනවාද කියලා හොයලා බැලුවත් ඒවා හොයාගන්න බැරි වුණා. ඒ නිසා පූජකයන් විදිහට සේවය කරන්න එයාලට අවසර ලැබුණේ නැහැ.*+ 63 ඌරීම් සහ තුම්මීම්+ යොදාගෙන දෙවියන්ගෙන් තීන්දුවක් ලබාගන්න පුළුවන් පූජකයෙක් හොයාගන්න කල් දෙවියන්ට කැප කරපු ශුද්ධ ආහාර කන්න එපා+ කියලා ආණ්ඩුකාරයා* එයාලට කිව්වා.

64 ආපහු ආව අයගේ මුළු ගණන 42,360යි.+ 65 ඒ අයට අමතරව එයාලාගේ දාස දාසීන් 7,337ක් සහ ගායක ගායිකාවන් 200ක් එයාලත් එක්ක ආවා. 66 එයාලට අශ්වයන් 736ක්, කොටළුවන් 245ක්, 67 ඔටුවන් 435ක් සහ බූරුවන් 6,720ක් හිටියා.

68 එයාලා යෙරුසලමේ යෙහෝවාගේ මාලිගාව තිබුණ තැනට ආවාම පෙළපත්වල ප්‍රධානීන්ගෙන් සමහරදෙනෙක් සැබෑ දෙවියන්ගේ මාලිගාව ආයෙත් එතනම හදන්න+ කැමැත්තෙන්ම දේවල් පරිත්‍යාග කළා.+ 69 ඉදි කරන වැඩේ සඳහා එයාලා එයාලාගේ වත්කමට අනුව රන් ඩ්‍රැක්මා* 61,000ක්, රිදී මීනා* 5,000ක් භාර දුන්නා.+ පූජකයන්ට අවශ්‍ය ඇඳුම් 100කුත් දුන්නා. 70 පූජකයන්, ලෙවීවරුන්, සාමාන්‍ය ජනයා අතරින් පිරිසක්, ගායකයන්, දොරටු පාලකයන්, දේවමාලිගාවේ සේවකයන් සහ අනිත් සෙනඟ එයාලාගේ නුවරවල්වල පදිංචි වුණා. මේ විදිහට සියලුම ඊශ්‍රායෙල්වරු තමන්ගේ නුවරවල්වලට ගිහිල්ලා පදිංචි වුණා.+

3 අවුරුද්දේ හත්වෙනි මාසේ+ වෙද්දී තම තමන්ගේ නුවරවල්වල පදිංචි වෙලා හිටපු ඊශ්‍රායෙල්වරුන් හැමෝම එක අරමුණක් වෙනුවෙන් යෙරුසලමේ රැස් වුණා. 2 යෙහොෂාදාක්ගේ පුතා වුණ යේෂුවා+ සහ අනිත් පූජකයනුයි, ෂෙයල්ටියල්ගේ+ පුතා වුණ සෙරුබාබෙල්+ සහ එයාගේ සහෝදරයනුයි එකතු වෙලා පූජාසනය ආයෙත් හැදුවා. එහෙම කළේ සැබෑ දෙවියන්ගේ සේවකයෙක් වුණ මෝසෙස්ට දුන්න නීතියේ තියෙන විදිහට+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ට දවන පූජා ඔප්පු කරන්නයි.

3 අවට හිටපු ජාතීන්ට බයෙන් හිටියත්+ එයාලා කලින් තිබුණ තැනම පූජාසනය ගොඩනඟලා ඒ මත යෙහෝවා දෙවියන්ට දවන පූජා ඔප්පු කළා. උදේ සහ හවස ඔප්පු කරන දවන පූජා+ එයාලා ඒ මත ඔප්පු කළා. 4 ඊටපස්සේ එයාලා නීතියේ තිබුණ විදිහටම+ පැල්* උත්සවය පැවැත්තුවා. හැම දවසකම ඒ ඒ දවසට නියමිත දවන පූජා ගාණත් වරද්දන්නේ නැතුව ඔප්පු කළා.+ 5 ඒ කාලේ ඉඳලා එයාලා දිනපතා ඔප්පු කරන දවන පූජාවලට+ අමතරව නව සඳ පායන දවස්වල+ සහ යෙහෝවා දෙවියන් වෙනුවෙන් පවත්වන උත්සව දවස්වල+ ඔප්පු කරන පූජාත් පූජාසනය මත ඔප්පු කළා. සෙනඟ කැමැත්තෙන්ම ගෙනාපු පූජාත්+ යෙහෝවාට ඔප්පු කළා. 6 මේ විදිහට එයාලා හත්වෙනි මාසේ පළවෙනිදා+ ඉඳලා යෙහෝවාට දවන පූජා ඔප්පු කරන්න පටන්ගත්තා. ඒ වෙද්දී යෙහෝවාගේ මාලිගාව ආපහු ගොඩනඟන්න අත්තිවාරම දාලා තිබුණේ නැති වුණත් එයාලා එහෙම කළා.

7 ගොඩනැඟීමේ වැඩ පටන්ගන්න ගල් කඩන අයට+ සහ කැටයම්කරුවන්ට+ අවශ්‍ය මුදල් එයාලා ලබා දුන්නා. ලෙබනොන්වල ඉඳලා යොප්පාවට+ මුහුදෙන් දේවදාර ලී ගෙනත් දුන්න නිසා එයාලා සීදොන් සහ තීර් වැසියන්ට කෑම බීම සහ තෙල් ලබා දුන්නා. මේ දේවල් වුණේ පර්සියාවේ සයිරස් රජගේ අවසරය ඇතුවයි.+

8 යෙරුසලමේ සැබෑ දෙවියන්ගේ මාලිගාව තිබුණ තැනට ආවාට පස්සේ දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසේ ගොඩනැඟීමේ වැඩ පටන්ගත්තා. ෂෙයල්ටියල්ගේ පුතා වුණ සෙරුබාබෙල්, යෙහොෂාදාක්ගේ පුතා වුණ යේෂුවා, එයාලාගේ සහෝදරයන් වුණ අනිත් පූජකයන් සහ ලෙවීවරුන් වගේම නිදහස් වෙලා යෙරුසලමට ආපු අනිත් හැමෝමත්+ එකතු වෙලා ඒ වැඩේ පටන්ගත්තා. එයාලා යෙහෝවාගේ මාලිගාව ගොඩනැඟීමේ වැඩ බලන්න ලෙවීවරුන්ව පත් කළා. ඒකට එයාලා තෝරගත්තේ අවුරුදු 20ක් හෝ 20කට වඩා වැඩි වයසක හිටපු ලෙවීවරුන්වයි. 9 යේෂුවායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි, යූදාගේ පුතාලා වුණ කද්මියෙල් සහ එයාගේ පුතාලයි සැබෑ දෙවියන්ගේ මාලිගාවේ ගොඩනැඟීමේ වැඩ බලන්න හවුල් වුණා. ලෙවී ගෝත්‍රයට අයිති හෙනාදාද්ගෙන්+ පැවත ආපු අයත් එයාලාගේ පුතාලා සහ සහෝදරයනුත් ඒකට හවුල් වුණා.

10 යෙහෝවාගේ මාලිගාවේ අත්තිවාරම දාපු වෙලාවේ+ නිලඇඳුම් ඇඳගෙන හොරණෑ+ අතේ තියාගෙන හිටපු පූජකයන් සහ අත්තාළම් අතේ තියාගෙන හිටපු ආසාෆ්ගේ පුතුන් වුණ ලෙවීවරුන් එතනට ආවා. එයාලා එතනට ආවේ ඊශ්‍රායෙල්වල රජ වුණ දාවිත් උපදෙස් දීලා තිබුණ විදිහට යෙහෝවාට ප්‍රශංසා කරන්නයි.+ 11 එයාලා යෙහෝවාට ස්තුති ප්‍රශංසා කරකර+ මාරුවෙන් මාරුවට මෙහෙම ගායනා කළා. “දෙවියන් යහපත්. ඔහු ඊශ්‍රායෙල්ට පෙන්නන ඉමහත් ආදරේ* කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.”+ යෙහෝවාගේ මාලිගාවේ අත්තිවාරම දැම්ම නිසා එකතු වෙලා හිටපු අනිත් හැමෝම මහත් හඬකින් යෙහෝවාට ප්‍රශංසා කළා. 12 පූජකයන්, ලෙවීවරුන් සහ පෙළපත්වල ප්‍රධානීන් අතරේ කලින් තිබ්බ දේවමාලිගාව දැකලා තිබුණ මහලු අය හිටියා.+ අත්තිවාරම දාද්දී එයාලා හුඟදෙනෙක් හයියෙන් අඬන්න පටන්ගත්තා. තවත් ගොඩක් අය සතුටින් කෑගහන්න පටන්ගත්තා.+ 13 එතන හිටපු අයගේ සද්දේ නිසා එයාලා අඬනවාද සතුටින් කෑගහනවාද කියලා හොයාගන්න බැරි වුණා. එයාලාගේ සද්දේ සෑහෙන දුරකට ඇහුණා.

4 නිදහස් වෙලා ආව අය+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් මාලිගාවක් හදනවා කියලා යූදා සහ බෙන්ජමින්වරුන්ගේ සතුරන්ට+ ආරංචි වුණා. 2 ඒක දැනගත්ත ගමන්ම එයාලා සෙරුබාබෙල් සහ පෙළපත්වල ප්‍රධානීන් ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. “ඇසිරියාවේ රජ වුණ ඒසර්හද්දොන්+ අපිව මේ දේශයට ගෙනාපු කාලේ+ ඉඳලා මේ වෙන කල් අපි නමස්කාර කරන්නේ ඔයාලාගේ දෙවියන්ට.+ පූජා ඔප්පු කරන්නෙත් ඔහුටයි. ඉතින් මේ මාලිගාව ගොඩනඟන වැඩේට ඔයාලා එක්ක එකතු වෙන්න අපිටත් ඉඩ දෙන්න.” 3 ඒත් සෙරුබාබෙල්, යේෂුවා ඇතුළු ඊශ්‍රායෙල්වරුන්ගේ පෙළපත්වල ප්‍රධානීන් එයාලට මෙහෙම කිව්වා. “අපිත් එක්ක එකතු වෙලා අපේ දෙවියන්ට මාලිගාවක් ගොඩනඟන්න ඔයාලට කිසිම අයිතියක් නැහැ.+ පර්සියාවේ රජ වන සයිරස් අපිට නියෝග කරපු විදිහට අපි තමයි ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ මාලිගාව ගොඩනඟන්නේ.”+

4 එදා ඉඳන් අවට හිටපු ජාතීන් යූදා සෙනඟව අධෛර්යය කරන්නත් බය කරන්නත් නිතරම උත්සාහ කළා. ගොඩනැඟීමේ වැඩේ නවත්තන්නයි එයාලට ඕනෙ වුණේ.+ 5 එයාලා යූදා සෙනඟට විරුද්ධව වැඩ කරන්නත් සැලසුම් කඩාකප්පල් කරන්නත්+ නිලධාරීන්ව පවා කුලියට ගත්තා. පර්සියාවේ රජ වුණ සයිරස් පාලනය කරපු කාලේ ඉඳලා දාරියුස්ගේ*+ පාලනය පටන්ගන්න කල්ම මේ තත්වය තිබුණා. 6 අහෂ්වේරොෂ්* රජ පාලනය කරපු මුල් කාලේදී එයාලා යූදා සහ යෙරුසලමේ වැසියන්ට විරුද්ධව චෝදනා කරලා ලිපියක් ලියලා යැව්වා. 7 පර්සියාවේ රජ වුණ අර්තක්ෂස්තාගේ* පාලන කාලේදී බිෂ්ලාම්, මිත්රෙදාත්, ටාබෙයෙල් සහ එයාගේ සගයෝ එකතු වෙලා අර්තක්ෂස්තා රජට ලිපියක් ලිව්වා. ඒක ඇරමයික භාෂාවට+ පරිවර්තනය කරලා ඇරමයික අකුරුවලින්* රජට ලියලා යැව්වා.

8 * ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වුණ රෙහුම් සහ ලේකම් වුණ ෂිම්ෂයි යෙරුසලමේ වැසියන්ට විරුද්ධව අර්තක්ෂස්තා රජට යවපු ලිපියේ මෙහෙම සඳහන් වුණා. 9 (මේ ලිපිය ලියලා එවන්නේ ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වුණ රෙහුම්, ලේකම් වුණ ෂිම්ෂයි සහ සෙසු නිලධාරීන් වුණ විනිශ්චයකරුවන්, නියෝජ්‍ය ආණ්ඩුකාරයන්, ලේකම්වරුන් සහ බැබිලෝනියට අයිති ඒරෙක්වල+ වැසියන්, සූසාවල+ වැසියන් වුණ ඒලාම්වරු,+ 10 ගරු අසනපර් රජතුමා වහලුන් විදිහට අරන් ගිහින් සමාරියේ නගරවල පදිංචි කරපු ජාතීන් වගේම මහ ගඟෙන් එගොඩ* ප්‍රදේශවල ඉන්න+ අනිත් ජාතීන් විසිනුයි.) 11 පහත සඳහන් වෙන්නේ එයාලා යවපු ලිපියේ තිබුණ දේවල්.

“අර්තක්ෂස්තා රජ්ජුරුවන් වෙතටයි. මේ ලිපිය ලියන අපි මහ ගඟෙන් එගොඩ ජීවත් වෙන ඔබේ සේවකයන්. 12 රජතුමනි, ඔබ ඉන්න පළාතේ ඉඳන් ආව යුදෙව්වන් දැන් යෙරුසලමට ඇවිල්ලා ඒ කැරලිකාර, දුෂ්ට නුවර ආපහු ගොඩනඟනවා. ඒ ගැන ඔබට දන්වන එක සුදුසුයි කියලා අපිට හිතුණා. එයාලා මේ වෙද්දී අත්තිවාරම් අලුත්වැඩියා කරලා පවුරු නැවත ගොඩනඟමින් ඉන්නවා.+ 13 ඒ නුවර ගොඩනඟලා, පවුරු සම්පූර්ණයෙන් හදලා ඉවර කළොත් එයාලා ඇඟ බද්ද, භාණ්ඩ බද්ද+ සහ මාර්ග බද්ද ගෙවන එක නවත්තයි. ඒකෙන් රාජකීය භාණ්ඩාගාරයට ලොකු අලාභයක් වෙන්න පුළුවන් කියලා අපි රජ්ජුරුවන්ට දන්වන්න කැමතියි. 14 රජ්ජුරුවන්ට ඒ වගේ පාඩුවක් වෙන එක අපිට බලාගෙන ඉන්න බැහැ. ඒ නිසයි ඔබෙන් යැපෙන* අපි මේ ලිපිය මාර්ගයෙන් රජ්ජුරුවන්ට ඒ ගැන දන්වන්න හිතුවේ. 15 ඔබතුමාගේ මුතුන්මිත්තන් ගැන සඳහන් වෙලා තියෙන ලියවිලි+ පරීක්ෂා කරලා බලන්න කියලත් අපි රජ්ජුරුවන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා. එතකොට ඒ නුවර කොච්චර කැරලිකාර නුවරක්ද කියලත් රජවරුන්ට සහ ඔවුන් යටතේ තිබුණ පළාත්වලට ඒ නුවරේ වැසියන් කොච්චර ප්‍රශ්න ඇති කළාද කියලත් අතීතයේ ඉඳලාම එහේ වුණ කුමන්ත්‍රණ ගැනත් ඒ ලියවිලිවලින් ඔබතුමන්ට දැනගන්න පුළුවන්. ඒ නුවර විනාශ කළෙත් ඒ හේතු නිසාමයි.+ 16 ඒ නුවර ආපහු ගොඩනඟලා පවුරු සම්පූර්ණයෙන්ම හදලා ඉවර කළොත් මහ ගඟෙන් එගොඩ තියෙන මුළු ප්‍රදේශයම+ රජ්ජුරුවන්ට අහිමි වෙනවා කියලා දන්වන්න අපි කැමතියි.”

17 ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වුණ රෙහුම්ටත් ලේකම් වුණ ෂිම්ෂයිටත් සමාරියේ ජීවත් වුණ එයාලාගේ සගයන්ටත් මහ ගඟෙන් එගොඩ ප්‍රදේශවල ජීවත් වුණ අනිත් සියලුදෙනාටත් රජ මෙහෙම දන්වලා යැව්වා.

“ඔබ සැමට සුබ පැතුම්! 18 ඔබ එව්ව ලිපිය පැහැදිලිව මා ඉදිරියේ කියෙව්වා.* 19 ඔබ සඳහන් කරපු කාරණය ගැන හොයලා බලන්න මම මගේ සේවකයන්ට නියෝග කළා. ඒ නුවරේ මිනිස්සු අතීතයේ ඉඳලා රජවරුන්ට විරුද්ධව වැඩ කරලා තියෙනවා කියලත් එයාලා හරිම කැරලිකාර ජාතියක් කියලත් මට දැනගන්න ලැබුණා.+ 20 මහ ගඟෙන් එගොඩ ඇති සියලු ප්‍රදේශ පාලනය කරපු බලවත් රජවරුන් යෙරුසලම පාලනය කළා කියලත් මිනිස්සු ඒ රජවරුන්ට ඇඟ බද්ද, භාණ්ඩ බද්ද සහ මාර්ග බද්ද ගෙව්වා කියලත් දැනගන්න ලැබුණා. 21 මම ආයෙත් නියෝගයක් නිකුත් කරන කල් ඒ නුවර ගොඩනැඟීමේ වැඩ සම්පූර්ණයෙන්ම නතර කළ යුතුයි කියලා එයාලට අණ කරන්න. 22 රජ්ජුරුවන්ට වෙන පාඩුව තව වැඩි වෙන්න කලින් මේ කාරණය ඉක්මනින්ම ඉටු කරන්න.”+

23 අර්තක්ෂස්තා රජ එව්ව රාජකීය ලියවිල්ලේ පිටපතක් ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වුණ රෙහුම්ටත් ලේකම් වුණ ෂිම්ෂයිටත් එයාලාගේ සගයන්ටත් ඇහෙන්න කියෙව්වා. ඒ වෙලාවෙම එයාලා යෙරුසලමේ හිටපු යුදෙව්වන් ගාවට ගිහිල්ලා එයාලා කරකර හිටපු ගොඩනැඟීමේ වැඩේ බලෙන්ම නවත්තලා දැම්මා. 24 යෙරුසලමේ තිබුණ දෙවියන්ගේ මාලිගාව ගොඩනැඟීමේ වැඩ නතර වුණේ ඒ විදිහටයි. පර්සියාවේ රජ වුණ දාරියුස් පාලනය කරපු දෙවෙනි අවුරුද්ද වෙන කල්ම ගොඩනැඟීමේ වැඩ නතර වෙලා තිබුණා.+

5 ඒ කාලේ අනාගතවක්තෘවරුන් වුණ හග්ගයි+ සහ ඉද්දෝගේ+ මුනුපුරා වුණ සෙකරියා+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ගේ නාමයෙන් අනාවැකි කිව්වා. දෙවියන්ගේ රැකවරණය යටතේ හිටපු යෙරුසලමේ සහ යූදාවල ජීවත් වුණ යුදෙව්වන්ටයි එයාලා අනාවැකි කිව්වේ. 2 ප්‍රතිඵලයක් විදිහට ෂෙයල්ටියල්ගේ පුතා වුණ සෙරුබාබෙල්+ සහ යෙහොෂාදාක්ගේ පුතා වුණ යේෂුවා+ යෙරුසලමේ තිබුණ දෙවියන්ගේ මාලිගාව ආයෙත් ගොඩනඟන්න පටන්ගත්තා.+ දෙවියන්ගේ අනාගතවක්තෘවරුනුත් එයාලා එක්ක ඉඳලා එයාලට ලොකු හයියක් වුණා.+ 3 මේ ගැන ආරංචි වුණාම මහ ගඟෙන් එගොඩ* ප්‍රදේශයේ ආණ්ඩුකාරයා වුණ තත්තෙනයි, ෂේතාර්බෝසෙනයි සහ එයාලාගේ සගයෝ යුදෙව්වන් ළඟට ඇවිල්ලා මෙහෙම ඇහුවා. “ආයෙත් මේ මාලිගාව හදන්නයි, ඒකේ වැඩ ඉවර කරන්නයි* ඔයාලට අවසර දුන්නේ කවුද? 4 මේ මාලිගාව හදන අයගේ නම් අපිට කියන්න.” 5 ඒත් යුදෙව්වන් අතරේ හිටපු වැඩිමහල්ලන්ට දෙවියන්ගේ උදව් තිබුණ නිසා+ ගොඩනැඟීමේ වැඩේ නතර කරන්න එයාලට බැරි වුණා. ඒ හින්දා එයාලා ඒ ගැන ලිපියකින් දාරියුස් රජට දන්වලා ඒකට පිළිතුරක් ලැබෙන කල් බලාගෙන හිටියා.

6 මහ ගඟෙන් එගොඩ ප්‍රදේශයේ ආණ්ඩුකාරයා වුණ තත්තෙනයි, ෂේතාර්බෝසෙනයි සහ එයාලාගේ සගයන් වුණ මහ ගඟෙන් එගොඩ ප්‍රදේශයේ නියෝජ්‍ය ආණ්ඩුකාරයන් එකතු වෙලා දාරියුස් රජට යවපු ලිපිය තමයි මේ. 7 ඒකේ මෙහෙම සඳහන් වුණා.

“දාරියුස් රජතුමනි,

“ඔබතුමාට සමාදානය ලැබේවා! 8 යූදා පළාතේ තියෙන ශ්‍රේෂ්ඨ දෙවියන්ගේ මාලිගාවට ගියාම අපි දැක්කා සෙනඟ විශාල ගල්වලින් ඒ මාලිගාව ආයෙත් ගොඩනඟමින් ඉන්නවා. මේ වෙද්දී ලී දාලා බිත්ති බඳින්නත් පටන් අරන් තියෙනවා කියලා රජ්ජුරුවන්ට දන්වන්න අපි කැමතියි. සෙනඟ හරිම උනන්දුවෙන් වැඩ කරන නිසා ගොඩනැඟීමේ වැඩේ වේගයෙන් කෙරීගෙන යනවා. 9 එහේ හිටපු වැඩිමහල්ලන්ගෙන් අපි ඇහුවා ‘ආයෙත් මේ මාලිගාව හදන්නයි, ඒකේ වැඩ ඉවර කරන්නයි ඔයාලට අවසර දුන්නේ කවුද’+ කියලා. 10 මේකට මුල් වෙලා වැඩ කරන අයගේ නම් මොනවාද කියලත් අපි ඇහුවා. අපි එහෙම කළේ ඒ තොරතුරු ඔබතුමාට ලියලා එවන අදහසින්.

11 “එයාලා දුන්න උත්තරේ මේකයි. ‘අපි දෙවියන්ගේ සේවකයන්. ඔහු තමයි ස්වර්ගයෙත් පොළොවෙත් දෙවියන්. ගොඩක් කාලෙකට කලින් ඊශ්‍රායෙල් දේශයේ රජකම් කරපු ශ්‍රේෂ්ඨ රජෙක් ගොඩනඟපු දේවමාලිගාව තමයි අපි මේ ආයෙත් හදන්නේ.+ 12 ඒත් අපේ මුතුන්මිත්තන් ස්වර්ගය පාලනය කරන දෙවියන්ව උදහස් කරන දේවල් කරපු නිසා+ දෙවියන් එයාලව බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර්ගේ+ අතට භාර දුන්නා. කල්දිය ජාතික නෙබුකද්නෙෂර් රජ මේ මාලිගාව සම්පූර්ණයෙන්ම විනාශ කරලා+ සෙනඟව වහලුන් විදිහට බැබිලෝනියට අරන් ගියා.+ 13 ඒත් බැබිලෝනියේ රජකම් කරපු සයිරස්ගේ පාලනයේ පළවෙනි අවුරුද්දේදී සයිරස් රජ්ජුරුවෝ දේවමාලිගාව ආයෙත් ගොඩනඟන්න කියලා නියෝගයක් දුන්නා.+ 14 ඒ විතරක් නෙමෙයි නෙබුකද්නෙෂර් රජ යෙරුසලමේ දෙවියන්ගේ මාලිගාවෙන් අරන් ගිහින් තිබුණ රන් රිදී භාණ්ඩත් සයිරස් රජ ආපහු දුන්නා. නෙබුකද්නෙෂර් රජ ඒවා තියලා තිබුණේ බැබිලෝනියේ දේවාලයක.+ ඒවා යෙරුසලමට අරන් යන්න සයිරස් රජ ආණ්ඩුකාරයා විදිහට+ පත් කරපු ෂෙෂ්බෂර්ට*+ භාර දුන්නා. 15 “මේ භාණ්ඩ යෙරුසලමට අරන් යන්න. ඒවා දෙවියන්ගේ මාලිගාවේ තියන්න. දෙවියන්ගේ මාලිගාව කලින් තිබුණ තැනම ආයෙත් ගොඩනඟන්න”+ කියලා සයිරස් රජ්ජුරුවෝ ඒ වෙලාවේ එයාට කිව්වා. 16 ඊටපස්සේ රජ කියපු විදිහටම ෂෙෂ්බෂර් කියන කෙනා යෙරුසලමට ඇවිල්ලා එහේ තිබුණ දෙවියන්ගේ මාලිගාවේ අත්තිවාරම් දැම්මා.+ එදා පටන්ගත්ත මේ ගොඩනැඟීමේ වැඩේ තාමත් ඉවර නැහැ.’+

17 “රජතුමනි, ඔබට සුදුසුයි කියලා හිතෙනවා නම් බැබිලෝනියේ රාජකීය භාණ්ඩාගාරයේ තියෙන වාර්තා පරීක්ෂා කරලා බලන්න නියෝගයක් දෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. එතකොට යෙරුසලමේ තිබුණ දෙවියන්ගේ මාලිගාව ආයෙත් හදන්න සයිරස් රජ ඇත්තටම අවසර දුන්නාද කියලා+ ඔබතුමාට දැනගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් රජතුමාගේ තීරණය අපිට දන්වලා එවන්න කියලත් අපි ඉල්ලා සිටිනවා.”

6 ඊටපස්සේ දාරියුස් රජගේ නියෝගයට අනුව එයාලා බැබිලෝනියේ රාජකීය භාණ්ඩාගාරයේ තිබුණ වාර්තා* පරීක්ෂා කරලා බලන්න පටන්ගත්තා. 2 එතකොට මේදිය පළාතේ එක්බටානාවල තියෙන බලකොටුවේ තිබිලා ලියවිල්ලක් හම්බ වුණා. ඒකේ මේ නියෝගය ගැන සඳහන් වුණා.

3 “සයිරස් රජ පාලනය කරපු පළවෙනි අවුරුද්දේදී යෙරුසලමේ තිබුණ දෙවියන්ගේ මාලිගාව සම්බන්ධයෙන් සයිරස් රජ මේ නියෝගය නිකුත් කළා.+ ‘දෙවියන්ගේ මාලිගාව ආයෙත් ගොඩනඟන්න අවසර ලැබෙනවා. එතකොට යුදෙව්වන්ට පුළුවන් එතන පූජා ඔප්පු කරන්න. ඒකේ අත්තිවාරම් ශක්තිමත්ව දැමිය යුතුයි. මාලිගාවේ උස රියන් 60ක්* සහ පළල රියන් 60ක්+ විය යුතුයි. 4 විශාල ගල් තට්ටු තුනක් අතරට ලී දාලා බිත්ති බඳින්න.+ මාලිගාව හදන්න යන වියදම රාජකීය භාණ්ඩාගාරයෙන් පියවන්න කියලා රජ්ජුරුවන් වන මම නියෝග කරනවා.+ 5 නෙබුකද්නෙෂර් රජ යෙරුසලමේ දෙවියන්ගේ මාලිගාවෙන් බැබිලෝනියට අරන් ආව+ රන් සහ රිදී භාණ්ඩ ආයෙත් එයාලට භාර දෙන්න. එතකොට එයාලට පුළුවන් දෙවියන්ගේ මාලිගාවේ නියමිත තැන්වල ඒවා තියන්න.’+

6 “ඒ අනුව මහ ගඟෙන් එගොඩ*+ ප්‍රදේශයේ ආණ්ඩුකාරයා වන තත්තෙනයිටත් ෂේතාර්බෝසෙනයිටත් සෙසු නිලධාරීන් වන නියෝජ්‍ය ආණ්ඩුකාරයන්ටත් එතනට යන්න එපා කියලා මම නියෝග කරනවා. 7 ඒ මාලිගාව ගොඩනඟන වැඩවලට කිසිම විදිහකින් බාධා කරන්න එපා. යුදෙව්වන්ගේ ආණ්ඩුකාරයා සහ එයාලාගේ වැඩිමහල්ලන් දෙවියන්ගේ මාලිගාව තිබුණ තැනම ආයෙත් ගොඩනඟයි. 8 දෙවියන්ගේ මාලිගාව ගොඩනඟන වැඩේ වෙනුවෙන් කරන්න ඕන දේ ගැන මම ඔයාලට මේ නියෝගය දෙනවා. මහ ගඟෙන් එගොඩ ප්‍රදේශවලින් රාජකීය භාණ්ඩාගාරයට+ ලැබෙන බදු වහාම යුදෙව්වන්ගේ වැඩිමහල්ලන් අතට භාර දෙන්න. එතකොට කිසිම බාධාවක් නැතුව එයාලට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්.+ 9 ඒ වගේම යෙරුසලමේ ඉන්න පූජකයන් ඉල්ලන ඕනෙම දෙයක් එයාලට ලබා දෙන්න. තිරිඟු,+ ලුණු,+ වයින්,+ තෙල්+ වගේම ස්වර්ගය පාලනය කරන දෙවියන්ට දවන පූජා ඔප්පු කරන්න අවශ්‍ය වස්සන්,+ බැටළුවන්+ සහ බැටළු පැටව්+ හැමදාම වරද්දන්නේ නැතුව ලබා දෙන්න. 10 එතකොට ස්වර්ගය පාලනය කරන දෙවියන් සතුටු වෙන විදිහේ පූජා දිගටම ඔප්පු කරන්නත් රජ්ජුරුවන්ගේ සහ රජ්ජුරුවන්ගේ පුතුන් වෙනුවෙන් යාච්ඤා කරන්නත් එයාලට පුළුවන් වෙයි.+ 11 කෙනෙක් මේ රාජ නියෝගය කඩ කළොත් ඒ කෙනාගේ නිවසෙන් ලී කණුවක් ගලවලා ඒකේ එයාව උල තියන්න කියලත් එයාගේ නිවස වැසිකිළියක්* කරන්න කියලත් මම නියෝග කරනවා. 12 රජ කෙනෙක් හරි සෙනඟක් හරි මේ නියෝගය කඩ කරලා යෙරුසලමේ තියෙන ඒ මාලිගාව විනාශ කරන්න හැදුවොත් තමන්ගේ නම දරන්න ඒ ස්ථානය තෝරගත්ත දෙවියන්+ අතින්ම ඒ අය විනාශ වේවා! මේ නියෝගය පනවන්නේ දාරියුස් රජ වන මමයි. ඒක වහාම ක්‍රියාත්මක කළ යුතුයි.”

13 ඊටපස්සේ මහ ගඟෙන් එගොඩ ප්‍රදේශයේ ආණ්ඩුකාරයා වුණ තත්තෙනයි, ෂේතාර්බෝසෙනයි+ සහ එයාලාගේ සගයෝ දාරියුස් රජ නියෝග කරපු හැම දෙයක්ම ඒ විදිහටම කරන්න ඉක්මනින්ම පියවර ගත්තා. 14 අනාගතවක්තෘ හග්ගයි+ සහ ඉද්දෝගේ මුනුපුරා වුණ සෙකරියා+ කියපු අනාවැකිවලින් දිරිගැන්වුණු යුදෙව් වැඩිමහල්ලන් ගොඩනඟන වැඩ සාර්ථකව කරගෙන ගියා.+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන් දුන්න ආඥාවට අනුව+ එයාලා දේවමාලිගාව ගොඩනඟලා අවසන් කළා. සයිරස් රජ,+ දාරියුස් රජ+ සහ පර්සියාවේ රජ වුණ අර්තක්ෂස්තා*+ දුන්න නියෝගවලට අනුව එයාලා ඒ වැඩේ කරලා ඉවර කළා. 15 එයාලා දාරියුස් රජ පාලනය කරපු හයවෙනි අවුරුද්දේ ආදාර්* මාසේ තුන්වෙනිදා වෙද්දී දේවමාලිගාව ගොඩනඟලා අවසන් කළා.

16 ඊටපස්සේ පූජකයන්, ලෙවීවරුන්+ සහ නිදහස් වෙලා ආපු ඊශ්‍රායෙල්වරුන් හැමෝම දේවමාලිගාව කැප කරන උත්සවය හරිම සතුටින් පැවැත්තුවා. 17 එයාලා ගවයන් 100ක්, බැටළුවන් 200ක් සහ බැටළු පැටව් 400ක් පූජා කරලා දේවමාලිගාව කැප කළා. ඒ වගේම ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර ගාණට අනුව+ ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් පාප පූජාවක් විදිහට එළුවන් 12දෙනෙකුත් ඔප්පු කළා. 18 මෝසෙස්ගේ නීතියේ සඳහන් වෙලා තිබුණ විදිහට+ පූජකයන්ව සහ ලෙවීවරුන්ව එයාලා අයිති කණ්ඩායම් අනුව බෙදලා යෙරුසලමේ ඉඳලා දෙවියන්ට සේවය කරන්න එයාලව පත් කළා.+

19 නිදහස් වෙලා ආව සියලුදෙනාම පළවෙනි මාසේ 14වෙනිදා පාස්කු උත්සවය පැවැත්තුවා.+ 20 පූජකයන් සහ ලෙවීවරුන් හැමෝම පවිත්‍ර වෙලයි හිටියේ.+ එයාලා පාස්කු උත්සවයට ඔප්පු කරන්න ගෙනාපු සතුන්ව මැරුවා. තමන් වෙනුවෙනුත් අනිත් පූජකයන් වෙනුවෙනුත් නිදහස් වෙලා ආව සියලුදෙනා වෙනුවෙනුත් එයාලා ඒ දේ කළා. 21 ඊටපස්සේ නිදහස් වෙලා ආව ඊශ්‍රායෙල්වරුන් එයාලට එකතු වුණ සියලුදෙනාවත් හවුල් කරගෙන පාස්කු පූජාවෙන් කෑවා. එහෙම එකතු වුණ අය ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට නමස්කාර කරන්න තියෙන කැමැත්ත නිසා අවට ජාතීන්ගේ අපවිත්‍ර දේවලින් ඈත් වෙලයි හිටියේ.+ 22 එයාලා දවස් හතක් පුරා මුහුන් නොදැමූ රොටි උත්සවයත්+ හරිම සතුටින් පැවැත්තුවා. එයාලා ඒ වගේ සතුටක් අද්දැක්කේ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා නිසයි. සැබෑ දෙවියන්ගේ මාලිගාව ගොඩනඟන වැඩේට සහය දෙන්න* දෙවියන් ඇසිරියාවේ රජගේ හිත පොලඹවපු නිසාත්+ එයාලා සතුටු වුණා.

7 ඒ දේවල් වෙලා කාලෙකට පස්සේ එස්රා*+ බැබිලෝනියේ ඉඳන් ආවා. ඒ පර්සියාවේ රජ වුණ අර්තක්ෂස්තා+ පාලනය කරපු කාලේදී. එස්රාගේ පියා සෙරායා.+ සෙරායාගේ පියා අෂරියා. අෂරියාගේ පියා හිල්කියා.+ 2 හිල්කියාගේ පියා ෂල්ලුම්. ෂල්ලුම්ගේ පියා සාදොක්. සාදොක්ගේ පියා අහිතුබ්. 3 අහිතුබ්ගේ පියා අමරියා. අමරියාගේ පියා අෂරියා.+ අෂරියාගේ පියා මෙරායොත්. 4 මෙරායොත්ගේ පියා සෙරහියා. සෙරහියාගේ පියා උස්සි. උස්සිගේ පියා බුක්කී. 5 බුක්කීගේ පියා අබිෂුවා. අබිෂුවාගේ පියා පිනෙහාස්.+ පිනෙහාස්ගේ පියා එලියාසර්.+ එලියාසර්ගේ පියා නායක පූජක ආරොන්.+ 6 බැබිලෝනියේ ඉඳන් ආපු එස්රා ශුද්ධ ලියවිල්ල පිටපත් කරපු කෙනෙක්. ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෝසෙස්ට දුන්න නීතිය+ ගැන එයාට හොඳ අවබෝධයක් තිබුණා.* එස්රාට එයාගේ දෙවි වන යෙහෝවාගේ උදව් ලැබුණ නිසා රජ එයාගේ හැම ඉල්ලීමක්ම ඉටු කළා.

7 අර්තක්ෂස්තා රජ පාලනය කරපු හත්වෙනි අවුරුද්දේ ඊශ්‍රායෙල් සෙනඟගෙන්, පූජකයන්ගෙන්, ලෙවීවරුන්ගෙන්,+ ගායකයන්ගෙන්,+ දොරටු පාලකයන්ගෙන්+ සහ දේවමාලිගාවේ සේවකයන්ගෙන්*+ සමහරදෙනෙක් එස්රා එක්ක යෙරුසලමට ගියා. 8 එස්රා යෙරුසලමට ආවේ අර්තක්ෂස්තා රජ පාලනය කරපු හත්වෙනි අවුරුද්දේ පස්වෙනි මාසේදී. 9 එස්රා බැබිලෝනියේ ඉඳන් යෙරුසලමට එන්න පිටත් වුණේ පළවෙනි මාසේ පළවෙනිදායි. ඒ ගමනට එයාගේ දෙවියන්ගේ උදව් එයාට ලැබුණා.+ ඒ නිසා පස්වෙනි මාසේ පළවෙනිදා වෙද්දී එයා යෙරුසලමට ආවා. 10 යෙහෝවාගේ නීතිය සෝදිසි කරලා බලන්නත් නීතියේ තියෙන දේවල් පිළිපදින්නත්+ නීතියේ තියෙන අණපනත් සහ මඟ පෙන්වීම් ඊශ්‍රායෙල්වල ඉන්න සෙනඟට උගන්වන්නත් එස්රා මුළු හිතින්ම අධිෂ්ඨාන කරගත්තා.*+

11 යෙහෝවා ඊශ්‍රායෙල් සෙනඟට දුන්න ආඥා සහ අණපනත් ගැන ඉතා හොඳ අවබෝධයක් තිබුණ, පූජකයෙක් සහ පිටපත්කරුවෙක් වුණ එස්රාට අර්තක්ෂස්තා රජ දුන්න ලිපියේ මෙහෙම සඳහන් වුණා.

12 * “රජවරුන්ගෙත් රජ වන අර්තක්ෂස්තාගෙන්+ පූජක එස්රා වෙතටයි. ස්වර්ගය පාලනය කරන දෙවියන්ගේ නීතිය පිටපත් කරන ඔබට සමාදානය නොඅඩුව ලැබේවා! 13 මගේ රාජධානියේ ජීවත් වෙන ඊශ්‍රායෙල්වරුන් අතරේ ඉන්න පූජකයන් සහ ලෙවීවරුන් ඇතුළුව කැමති හැමෝටම ඔබත් එක්ක යෙරුසලමට යන්න මම අවසර දෙනවා.+ 14 රජ්ජුරුවන් වන මම සහ මගේ උපදේශකයන් හත්දෙනා ඔබව යෙරුසලමට යවනවා. ඔබ ළඟ තියෙන ඔබේ දෙවියන්ගේ නීතියට අනුව යූදා දේශයේ සහ යෙරුසලමේ ඉන්න අය වැඩ කරනවාද කියලා බලන්නයි ඔබව යවන්නේ. 15 ඒ වගේම යෙරුසලමේ ඉන්න ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන් වෙනුවෙන් රජ්ජුරුවන් වන මම සහ මගේ උපදේශකයන් කැමැත්තෙන්ම දුන්න රන් සහ රිදී අරගෙන යන්නයි. 16 බැබිලෝනිය පළාතට අයිති සියලු ප්‍රදේශවලින් ඔබට ලැබෙන රන් රිදී වගේම සෙනඟ සහ පූජකයන් යෙරුසලමේ තියෙන එයාලාගේ දෙවියන්ගේ මාලිගාව වෙනුවෙන් කැමැත්තෙන්ම පරිත්‍යාග කරන දේවලුත් අරගෙන යන්න.+ 17 පූජා ඔප්පු කරන්න අවශ්‍ය ගවයන්,+ බැටළුවන්+ සහ බැටළු පැටව්+ වගේම ඒවා එක්ක ඔප්පු කරන ධාන්‍ය+ සහ පාන පූජාවලට+ අවශ්‍ය හැම දෙයක්ම මේ මුදල්වලින් වහාම මිල දීලා ගන්න. යෙරුසලමේ තියෙන ඔබේ දෙවියන්ගේ මාලිගාවේ පූජාසනය මත ඒවා ඔප්පු කරන්න.

18 “ඔබේ දෙවියන්ගේ කැමැත්තට අනුව තවත් දේවල් කරන්න අවශ්‍යයි කියලා ඔබටත් ඔබේ සහෝදරයන්ටත් හිතෙනවා නම් ඉතුරු වෙලා තියෙන රන් සහ රිදී ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න. 19 ඔබේ දෙවියන්ගේ මාලිගාවේ නමස්කාර වැඩවලට පාවිච්චි කරන්න දීපු හැම භාජනයක්ම යෙරුසලමට අරගෙන ගිහිල්ලා ඔබේ දෙවියන් ඉදිරියේ භාර දෙන්න.+ 20 ඔබේ දෙවියන්ගේ මාලිගාවට ඕන කරන වෙන ඕනෙම දෙයක් ලබාගන්න අවශ්‍ය මිලමුදල් රාජකීය භාණ්ඩාගාරයෙන් ගන්න ඔබට අවසර තියෙනවා.+

21 “අර්තක්ෂස්තා රජ වන මම මහ ගඟෙන් එගොඩ* ප්‍රදේශවල ඉන්න භාණ්ඩාගාර නිලධාරීන්ට නියෝගයක් නිකුත් කළා. ඒ නියෝගයට අනුව ස්වර්ගය පාලනය කරන දෙවියන්ගේ නීතියේ පිටපත්කරුවෙක් සහ පූජකයෙක් වන ඔබ*+ ඉල්ලන හැම දෙයක්ම වහාම ඔබට ලබා දිය යුතුයි. 22 රිදී තලෙන්ත* 100ක් දක්වාත් තිරිඟු කෝර් මිනුම්* 100ක් දක්වාත් වයින්+ බාත් මිනුම්* 100ක් දක්වාත් තෙල්+ බාත් මිනුම් 100ක් දක්වාත් ලුණු+ ඕනෙම ප්‍රමාණයකුත් ඔබට ලබාගන්න පුළුවන්. 23 ස්වර්ගය පාලනය කරන දෙවියන් ඔහුගේ මාලිගාව+ වෙනුවෙන් කරන්න අණ කරලා තියෙන හැම දෙයක්ම උද්‍යෝගයෙන් ඉටු කරන්න වහාම පියවර ගන්න. එතකොට රජගේ පුතුන් සහ රාජධානියේ ඉන්න සෙනඟ එක්ක ස්වර්ගය පාලනය කරන දෙවියන් උදහස් වෙන එකක් නැහැ.+ 24 මේ දේවලට අමතරව පූජකයන්ගෙන්, ලෙවීවරුන්ගෙන්, ගායකයන්+ සහ වාදකයන්ගෙන්, දොරටු පාලකයන්ගෙන්, දේවමාලිගාවේ සේවකයන්ගෙන්+ සහ දේවමාලිගාවේ සේවය කරන අනිත් අයගෙන් ඇඟ බද්ද, භාණ්ඩ බද්ද+ හෝ මාර්ග බද්ද අය කරන්න එපා කියලා මම දැනුම් දුන්නා.

25 “ඔබේ දෙවියන් ඔබට දීලා තියෙන නුවණ පාවිච්චි කරලා මහ ගඟෙන් එගොඩ ජීවත් වෙන සියලුදෙනා අතරේ නීතිය ක්‍රියාත්මක කරන්න නිලධාරීන්ව සහ විනිසුරුවරුන්ව පත් කරන්න. එයාලට ඔබේ දෙවියන්ගේ නීති ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. නීතිය ගැන අවබෝධයක් නැති කෙනෙක් ඉන්නවා නම් ඔබ ඒ අයව දැනුවත් කළ යුතුයි.+ 26 කෙනෙක් ඔබේ දෙවියන්ගේ නීතිය සහ රජ්ජුරුවන්ගේ නීති පිළිපදින්නේ නැත්නම් එයාට වහාම දඬුවම් කළ යුතුයි. ඒ කෙනාට මරණ දඬුවම දෙන්න හරි එයාව පිටුවහල් කරන්න හරි සිරභාරයට ගන්න හරි එයාගෙන් දඩ මුදලක් අය කරන්න හරි ඔබට පුළුවන්.”

27 යෙරුසලමේ තියෙන යෙහෝවාගේ මාලිගාව අලංකාරවත් කරන්න රජ්ජුරුවන්ගේ හිතේ ආසාවක් ඇති කරපු අපේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා!+ 28 දෙවියන් දිගටම මාත් එක්ක ඉඳලා මට උදව් කරපු* නිසා+ රජ්ජුරුවන්ගෙත් ඔහුගේ උපදේශකයන්ගෙත්+ උසස් නිලධාරීන්ගෙත් හිත දිනාගන්න එස්රා වන මට පුළුවන් වුණා. මගේ දෙවි වන යෙහෝවා මාත් එක්ක හිටපු නිසා මට ලොකු ධෛර්යයක් ලැබුණා. ඒ නිසා මම ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටපු ප්‍රධානීන්ව එකතු කරගෙන යෙරුසලමට යන්න සූදානම් වුණා.

8 අර්තක්ෂස්තා රජ පාලනය කරපු කාලේ මාත් එක්ක බැබිලෝනියෙන් පිටත් වෙලා ආව පෙළපත්වල ප්‍රධානීන් සහ එයාලාගේ පවුල්වලට අනුව ලියාපදිංචි කරපු අය+ ගැන වාර්තාව තමයි මේ. 2 පිනෙහාස්ගේ පුතුන්*+ අතරින් ගේර්ෂොම්. ඉතමාර්ගේ+ පුතුන් අතරින් දානියෙල්. දාවිත්ගේ පුතුන් අතරින් හට්ටුෂ්. 3 පාරොෂ්ගෙන් පැවත ආව ෂෙකනියාගේ පුතුන් අතරින් සෙකරියා සහ එයාගේ පෙළපත යටතේ ලියාපදිංචි කරපු පුරුෂයන් 150යි. 4 පාහත්මෝවබ්ගේ පුතුන්+ අතරින් සෙරහියාගේ පුතා එලිහෝඒනයි සහ එයා එක්ක පුරුෂයන් 200යි. 5 සට්ටුගේ පුතුන්+ අතරින් යහෂියෙල්ගේ පුතා ෂෙකනියා සහ එයා එක්ක පුරුෂයන් 300යි. 6 ආදින්ගේ පුතුන්+ අතරින් යොනාතාන්ගේ පුතා ඒබෙද් සහ එයා එක්ක පුරුෂයන් 50යි. 7 ඒලාම්ගේ පුතුන්+ අතරින් අතලියාගේ පුතා යෙෂායා සහ එයා එක්ක පුරුෂයන් 70යි. 8 ෂෙපටියාගේ+ පුතුන් අතරින් මිකායෙල්ගේ පුතා සෙබදියා සහ එයා එක්ක පුරුෂයන් 80යි. 9 යෝවාබ්ගේ පුතුන් අතරින් යෙහීයෙල්ගේ පුතා ඔබදියා සහ එයා එක්ක පුරුෂයන් 218යි. 10 බානිගේ පුතුන් අතරින් යොසිෆියාගේ පුතා ෂෙලොමිත් සහ එයා එක්ක පුරුෂයන් 160යි. 11 බෙබායිගේ පුතුන්+ අතරින් බෙබායිගේ පුතා සෙකරියා සහ එයා එක්ක පුරුෂයන් 28යි. 12 අස්ගාද්ගේ පුතුන්+ අතරින් හක්කාටාන්ගේ පුතා යෝහානාන් සහ එයා එක්ක පුරුෂයන් 110යි. 13 අදොනිකාම්ගේ පුතුන්+ අතරින් අන්තිමට ආවේ එලිෆෙලෙත්, යෙයීයෙල් සහ ෂෙමායා. එයාලා එක්ක පුරුෂයන් 60යි. 14 බිග්වායිගේ පුතුන්+ අතරින් ඌතයි සහ සබ්බූද්. එයාලා එක්ක පුරුෂයන් 70යි.

15 අහාවාවලට+ ගලාගෙන එන ගංගාව ළඟ මම එයාලව රැස් කළා. අපි එතන කූඩාරම් ගහගෙන දවස් තුනක් හිටියා. ඒත් එතන හිටපු පූජකයන් සහ සෙනඟ අතරේ බැලුවත් මට කිසිම ලෙවීවරයෙක්ව* හොයාගන්න බැරි වුණා. 16 ඒ නිසා මම ප්‍රධානීන් වුණ එලියේසර්, අරියෙල්, ෂෙමායා, එල්නාතාන්, යාරිබ්, එල්නාතාන්, නාතන්, සෙකරියා සහ මෙෂල්ලම්ටයි, නීතිය උගන්වපු යෝයාරීබ් සහ එල්නාතාන්ටයි එන්න කිව්වා. 17 මම එයාලව කසිෆියාවල ප්‍රධානියා වුණ ඉද්දෝ ළඟට යැව්වා. ඉද්දෝ එක්කයි, කසිෆියාවල හිටපු එයාගේ සහෝදරයන් වුණ දේවමාලිගාවේ සේවකයන්* එක්කයි කතා කරලා අපේ දෙවියන්ගේ මාලිගාවේ වැඩ කරන්න සේවකයන්ව ගේන්න කියලා මම එයාලට කිව්වා. 18 දෙවියන්ගේ උදව් අපිට ලැබුණු නිසා එයාලට පුළුවන් වුණා ඊශ්‍රායෙල්ගේ පුතා වුණ ලෙවීගේ මුනුපුරෙක් වුණ මාලීගේ+ පුතුන් අතරින් නුවණැති කෙනෙක් වුණ ෂෙරෙබියාවයි,+ එයාගේ පුතුන්වයි, සහෝදරයන්වයි එක්කගෙන එන්න. ඒ අයගේ ගාණ 18යි. 19 මේ අයට අමතරව හෂබියාවයි, මෙරාරීගේ+ පුතුන් අතරින් යෙෂායාවයි, එයාගේ සහෝදරයන් සහ එයාලාගේ පුතුන්වයි එක්කගෙන ආවා. ඒ අයගේ ගාණ 20යි. 20 ලෙවීවරුන්ට උදව් කරන්න දාවිත් සහ එයාගේ අධිපතීන් පත් කරලා හිටපු දේවමාලිගාවේ සේවකයන් අතරින් 220දෙනෙකුත් ආවා. ඒ හැමෝගෙම නම් පෙළපත් වාර්තාවලට ඇතුළත් කරලා තිබුණා.

21 ඊටපස්සේ මම අහාවා ගඟ ළඟ රැස් වෙලා හිටපු හැමෝටම කිව්වා නිරාහාරව ඉඳලා අපේ දෙවියන්ට මුළු හදවතින්ම කන්නලව් කරන්න කියලා. ඒ වගේම අපේ ගමනට මඟ පෙන්නන්න කියලත් අපිවයි, අපේ දරුවන්වයි, අපි ගෙනියන දේවලුයි ආරක්ෂා කරලා දෙන්න කියලත් දෙවියන්ගෙන් ඉල්ලන්න කිව්වා. 22 මීට කලින් අපි රජ්ජුරුවන්ට මෙහෙම කියලා තිබුණා. “අපේ දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරන හැම කෙනෙක්ටම ඔහුගෙන් උදව් ලැබෙනවා.+ ඒත් ඔහුව අත්හරින අය ගැන ඔහු ගොඩක් උදහස් වෙලා එයාලට දඬුවම් කරනවා.”+ ඒ නිසා අපි යද්දී අපේ ආරක්ෂාවට සෙබළුන්ව සහ අසරුවන්ව දෙන්න කියලා රජ්ජුරුවන්ගෙන් ඉල්ලන්න මට ලැජ්ජා හිතුණා. 23 ඉතින් අපි නිරාහාරව ඉඳලා අපේ දෙවියන්ට කන්නලව් කළාම ඔහු අපිට සවන් දුන්නා.+

24 මම පූජකයන් අතරේ හිටපු ප්‍රධානීන් 12දෙනෙක්ව තෝරගත්තා. ඒ අයට ෂෙරෙබියා, හෂබියා,+ සහ එයාලාගේ සහෝදරයන් දහදෙනෙක් ඇතුළත් වුණා. 25 ඊටපස්සේ රජ්ජුරුවන්, ඔහුගේ උපදේශකයන්, උසස් නිලධාරීන් සහ ඒ ප්‍රදේශයේ හිටපු ඊශ්‍රායෙල්වරුන් අපේ දෙවියන්ගේ මාලිගාව වෙනුවෙන් සම්මාදම් කරපු ඔක්කොම භාණ්ඩ සහ රන්, රිදී කිරලා මම එයාලට භාර දුන්නා.+ 26 මම එයාලට භාර දුන්නේ රිදී තලෙන්ත* 650ක්, තලෙන්ත 2ක් බර රිදී භාණ්ඩ 100ක්, රන් තලෙන්ත 100ක්, 27 දරික්* 1,000ක් වටින කුඩා රන් බඳුන් 20ක් සහ රත්තරන් තරම් වටින රන්වන් පාටට දිලිසෙන හොඳම තඹවලින් හදපු භාජන 2ක්.

28 මම එයාලට මෙහෙම කිව්වා. “යෙහෝවා ඔයාලව සලකන්නේ ශුද්ධ පිරිසක් විදිහට.+ ඔයාලට භාර දුන්න භාජනත් ශුද්ධයි. ඔයාලට භාර දුන්න රන් සහ රිදී ඔයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් කැමැත්තෙන්ම පරිත්‍යාග කරපු දේවල්. 29 ඔයාලා යෙහෝවාගේ මාලිගාවේ තියෙන කාමරවලදී* නායක පූජකයන්, ලෙවීවරුන්, ඊශ්‍රායෙල්වරුන්ගේ පෙළපත්වල අධිපතීන් ඉදිරියේ මේ දේවල් කිරලා භාර දෙන්න ඕනේ.+ මේ දේවල් යෙරුසලමට ගිහින් භාර දෙන කල් පරෙස්සමින් බලාගන්න එක ඔයාලාගේ වගකීමක්.” 30 යෙරුසලමේ අපේ දෙවියන්ගේ මාලිගාවට අරගෙන යන්න කිරලා භාර දුන්න රන්, රිදී සහ භාජන පූජකයන් සහ ලෙවීවරු භාරගත්තා.

31 අහාවා ගඟ+ ළඟ රැස් වෙලා හිටපු අපි පළවෙනි මාසේ 12වෙනිදා+ යෙරුසලමට යන්න පිටත් වුණා. අපේ දෙවියන් අපිත් එක්ක ඉඳලා අපිව ආරක්ෂා කරපු නිසා සතුරන්ගෙන් සහ මංකොල්ලකාරයන්ගෙන් බේරෙන්න අපිට පුළුවන් වුණා. 32 අපි යෙරුසලමට ඇවිල්ලා+ දවස් තුනක් එහේ හිටියා. 33 හතරවෙනි දවසේ අපි අපේ දෙවියන්ගේ මාලිගාවට+ ගියා. එහෙදී රන්, රිදී සහ භාජන කිරලා උරියාහ්ගේ පුතා වුණ පූජක මෙරේමොත්ට+ භාර දුන්නා. එයා එක්ක පිනෙහාස්ගේ පුතා වුණ එලියාසර්, ලෙවීවරුන් වුණ යේෂුවාගේ පුතා යෝෂාබාද්+ සහ බින්නුයිගේ+ පුතා නොවදියා හිටියා. 34 භාර දුන්න හැම දෙයක්ම ගණන් කරලා, ඒවාවල බර කිරලා ඒ හැම දෙයක්ම වාර්තා කළා. 35 වහල්කමින් නිදහස් වෙලා ආව අය ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ට දවන පූජා ඔප්පු කළා. අපි මුළු ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් ගවයන් 12ක්+ ඔප්පු කළා. බැටළුවන් 96ක්,+ බැටළු පැටව් 77ක් සහ පාප පූජාවක් විදිහට එළුවන් 12කුත්+ ඔප්පු කළා. ඒ ඔක්කොම යෙහෝවාට ඔප්පු කළේ දවන පූජාවක් විදිහට.+

36 ඒකෙන් පස්සේ අපි රජ්ජුරුවන්ගේ නියෝග ඇතුළත් ලියවිල්ල+ මහ ගඟෙන් එගොඩ*+ ප්‍රදේශයේ දිසාපතීන්ට* සහ ආණ්ඩුකාරයන්ට දුන්නා. ඊටපස්සේ එයාලා ඊශ්‍රායෙල් සෙනඟට සහයෝගය දුන්නා වගේම සැබෑ දෙවියන්ගේ මාලිගාව වෙනුවෙන් දේවල් පරිත්‍යාග කළා.+

9 ඒ ඔක්කොම වැඩ ඉවර වුණාට පස්සේ අධිපතීන් මං ළඟට ඇවිල්ලා මෙහෙම කිව්වා. “පූජකයන්, ලෙවීවරුන් සහ ඊශ්‍රායෙල් සෙනඟ තාමත් අවට ජාතීන්වල අයව කිට්ටුවෙන් ආශ්‍රය කරනවා. එයාලා කානානිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, යෙබූසිවරුන්, අම්මොන්වරුන්, මෝවබ්වරුන්, ඊජිප්තුවරුන්+ සහ අමෝරිවරුන්+ කරන පිළිකුල් දේවල්ම කරනවා.+ 2 එයාලයි, එයාලාගේ පුතාලයි අවට ජාතීන්වල ස්ත්‍රීන්ව විවාහ කරගෙන.+ ඒ නිසා දැන් ශුද්ධ ජාතිය+ අනිත් ජාතීන් එක්ක මිශ්‍ර වෙලා.+ මුලින්ම මේ විදිහට ද්‍රෝහි වෙලා වැඩ කළේ අධිපතීන් සහ නිලධාරීන්.”

3 එයාලා කියපු දේවල් ඇහුවාම මට අදහාගන්න බැරි වුණා. මම මගේ ඇඳුම් ඉරාගෙන, හිසකෙස් සහ රැවුල්ගස් උගුල්ලගෙන බිම ඉඳගත්තා. 4 හවස ධාන්‍ය පූජාව ඔප්පු කරන වෙලාව+ එන කල්ම මම එහෙම්මම හිටියා. නිදහස් වෙලා ආව අය කරපු මේ ද්‍රෝහිකම් ගැන දුක් වුණ, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන් කියපු දේවල් ලොකු ගෞරවයකින් සලකපු* හැමෝම මං ළඟට ආවා.

5 මම දුකෙන් ඇඳුම් ඉරාගෙන හවස් වෙන කල්ම බිම ඉඳගෙන හිටියා. හවස ධාන්‍ය පූජාව ඔප්පු කරන වෙලාවේ+ මම එතනින් නැඟිට්ටා. ඊටපස්සේ මම දණගහලා අත් දෙක උස්සලා මගේ දෙවි වන යෙහෝවාට කන්නලව් කළා. 6 මම දෙවියන්ට මෙහෙම කිව්වා. “අනේ මගේ දෙවියනි, මට දැනෙන්නේ ලොකු ලැජ්ජාවක්. ඔබ එක්ක කතා කරන්න තරම්වත් මම වටින්නේ නැහැ. අනේ දෙවියනි, අපි කරපු වැරදි අපේ හිසටත් ඉහළින් ගිහින්. ඒවා අහස උසටම ගොඩගැහිලා.+ 7 අපේ මුතුන්මිත්තන්ගේ කාලේ ඉඳලා මේ වෙන කල් අපි ගොඩක් වැරදි කරලා තියෙනවා.+ ඒ නිසයි වෙනත් දේශවල රජවරුන්ට අපිවයි, අපේ රජවරුන්වයි, පූජකයන්වයි යටත් කරගන්න ඔබ ඉඩහැරියේ. එයාලා සෙනඟට කඩුවෙන් පහර දුන්නා.+ අපිට තිබුණ හැම දෙයක්ම පැහැරගත්තා.+ අපිව වහලුන් කරගත්තා.+ අපිට නින්දා කළා. අද වෙන කල්ම අපි ඒවා අද්දකිනවා.+ 8 යෙහෝවා, අපේ දෙවියනි, ඔබ අපිට දයාව පෙන්නුවා. අපෙන් සුළු පිරිසකට හරි නිදහස් වෙලා ඔබේ ශුද්ධ දේශයට* ආපහු ඇවිත්+ කිසි බයක් සැකක් නැතුව සතුටින් ජීවත් වෙන්න පුළුවන් වුණේ ඒ නිසයි. අනේ දෙවියනි, වහලුන් වෙලා හිටපු අපිට සුළු මොහොතකට හරි සහනයක් ලැබුණේ ඔබ නිසයි. 9 අපි තාමත් ඉන්නේ වහලුන් විදිහට.+ ඒත් දෙවියනි, ඔබ අපිව අත්හැරියේ නැහැ. ඔබ අපිට නොසැලෙන ආදරයක් පෙන්නුවා. අපිට පර්සියාවේ රජවරුන්ගේ හිත දිනාගන්න පුළුවන් වෙලා තියෙනවා.+ අපේ දේශයට ඇවිත් නටබුන් වෙලා තිබුණ ඔබේ මාලිගාව ආයෙත් හදන්නත්+ යූදා දේශය සහ යෙරුසලම සුරක්ෂිත තැනක්* කරන්නත් ඔබ අපිව ශක්තිමත් කරලා තියෙනවා.

10 “අපේ දෙවියනි, දැන් අපි ආයෙත් ඔබේ ආඥා පිළිපදින එක අත්හැරලා. නිදහසට කියන්න අපිට කිසිම දෙයක් නැහැ. 11 ඔබේ සේවකයන් වුණ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඔබ අපිට මෙහෙම කිව්වා. ‘ඔයාලා අයිති කරගන්න යන දේශය අපවිත්‍ර වෙලා. එහේ ඉන්න මිනිස්සු හරිම පිළිකුල්සහගත දේවල් කරනවා. දේශයේ බලන බලන හැම තැනක්ම පිළිකුල් දේවල්වලින් පිරිලා.+ 12 ඒ නිසා ඔයාලාගේ දුවලව එයාලාගේ පුතාලට විවාහ කරලා දෙන්න එපා. එයාලාගේ දුවලව විවාහ කරගන්නත් එපා.+ ඒ දේශයේ ඉන්න අයගේ යහපතයි, දියුණුවයි වෙනුවෙන් කවදාවත් කිසිම දෙයක් කරන්න එපා.+ මට කීකරු වුණොත් ඔයාලා බලවත් ජාතියක් වෙයි. දේශයෙන් ලැබෙන හොඳම දේවල් කන්න බොන්න ඔයාලට පුළුවන් වෙයි. දේශය හැමදාටම ඔයාලාගේ පුතාලට උරුම වෙයි.’ 13 ඒත් අපේ දෙවියනි, අපි ඔබට අකීකරු වුණා. ගොඩක් නරක දේවල් කළා. ඒකට අපිට දඬුවම් ලැබුණා. ඇත්තටම අපි කරපු වැරදි එක්ක බලද්දී ඔබ අපිට දීපු දඬුවම මදි.+ වහල්කමින් නිදහස් වෙලා එන්න ඔබ අපිට ඉඩ දුන්නා.+ 14 අපි කරපු දේවල්වලට දඬුවම් ලැබිලා තියෙද්දීත් අපි ආයෙත් ඔබේ ආඥා කඩ කරන එක මොන තරම් මෝඩකමක්ද! පිළිකුල් දේවල් කරන අවට ජාතීන් එක්ක අපි විවාහ ගිවිසුම් ඇති කරගෙන.+ දෙවියනි, අපි දිගටම මේ විදිහට වැඩ කළොත් ඔබ අපි එක්ක උදහස් වෙලා අපිව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දායි. අපි නැත්තටම නැති වෙලා යයි. 15 ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා, ඔබ ධර්මිෂ්ඨයි.+ වහල්කමින් නිදහස් වෙලා ඇවිත් මේ වෙන කල් අපෙන් සමහරදෙනෙක් ඉතුරු වෙලා ඉන්නේ ඔබ නිසයි. අද අපි ඔබ ඉදිරියේ ඉන්නේ වරදකරුවන් හැටියටයි. ඇත්තටම අපේ වැරදි නිසා ඔබ ඉදිරියට එන්න අපිට කිසිම අයිතියක් නැහැ.”+

10 එස්රා සැබෑ දෙවියන්ගේ මාලිගාව ඉස්සරහා බිම දිගා වෙලා, කරපු වැරදි ගැන කියලා අඬඅඬ යාච්ඤා කරද්දී+ ඊශ්‍රායෙල්වරුන් ලොකු පිරිසක් එයා ළඟට ආවා. ආපු අය අතරේ පුරුෂයන්, ස්ත්‍රීන් සහ දරුවන් හිටියා. එයාලත් ගොඩක් ඇඬුවා. 2 ඒ වෙලාවේ ඒලාම්ගෙන්+ පැවත ආපු යෙහීයෙල්ගේ+ පුතා වුණ ෂෙකනියා එස්රාට මෙහෙම කිව්වා. “අවට ඉන්න ජාතීන්ගේ ස්ත්‍රීන් එක්ක විවාහ වෙලා* අපි අපේ දෙවියන්ට අකීකරු වුණා.+ ඒත් අපිට තවමත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. 3 දැන් අපි අපේ දෙවියන් එක්ක ගිවිසුමක් ඇති කරගමු.+ විදේශීය භාර්යාවන්වයි, එයාලට ඉපදුණ දරුවන්වයි පිටත් කරලා යවන්න අපි පොරොන්දු වෙමු. ඒක යෙහෝවා දීලා තියෙන මඟ පෙන්වීමට එකඟයි. අපේ දෙවියන්ගේ ආඥා ලොකු ගෞරවයකින් සලකන අයත් ඒකට කැමති වෙයි.+ අපි දැන් නීතියේ කියන විදිහට වැඩ කරමු. 4 දැන් නැඟිටලා කරන්න ඕනෙ දේ කරන්න. ඒක ඔයාගේ වගකීම. බය වෙන්න එපා. අපිත් ඔයා එක්ක ඉන්නවා.”

5 එස්රා එතනින් නැඟිටලා නායක පූජකයන්ටයි, ලෙවීවරුන්ටයි, ඊශ්‍රායෙල් සෙනඟටයි කිව්වා ෂෙකනියා කියපු දේ කරන්න දිවුරලා පොරොන්දු වෙන්න කියලා.+ එයාලා හැමෝම එහෙම කළා. 6 ඊටපස්සේ සැබෑ දෙවියන්ගේ මාලිගාව ඉස්සරහා හිටපු එස්රා දේවමාලිගාවේ එලියාෂිබ්ගේ පුතා වුණ යෙහෝහානන් යටතේ තිබුණු කාමරයට* ගියා. එතනට ගියාට එස්රා කෑම කෑවෙවත් වතුර බිව්වෙවත් නැහැ. මොකද එයා හිටියේ නිදහස් වෙලා ආපු සෙනඟ කරපු වැරදි ගැන ගොඩක් දුක් වෙවී.+

7 නිදහස් වෙලා ඇවිත් යෙරුසලමේ සහ යූදා දේශයේ පදිංචි වෙලා හිටපු හැමෝටම යෙරුසලමට රැස් වෙන්න කියලා ඊටපස්සේ එයාලා පණිවිඩයක් යැව්වා. 8 දවස් තුනක් ඇතුළත යෙරුසලමට එන්නේ නැති අයගේ බඩු මුට්ටු පවරගන්නත් නිදහස් වෙලා ආපු සෙනඟ අතරින් එයාලව පිටමං කරන්නත්+ අධිපතීන් සහ වැඩිමහල්ලන් තීරණය කරලා තියෙනවා කියලත් දැනුම් දුන්නා. 9 දවස් තුනක් ඇතුළත යූදා සහ බෙන්ජමින් ගෝත්‍රවලට අයිති හැමෝම යෙරුසලමට එකතු වුණා. ඒ නමවෙනි මාසේ 20වෙනිදා. එයාලා හැමෝම සැබෑ දෙවියන්ගේ මාලිගාවේ මළුවක ඉඳගෙනයි හිටියේ. හයියෙන් වැස්ස නිසා එයාලා හිටියේ සීතලේ ගැහිගැහී. එතනට රැස් වුණ හේතුව නිසා එයාලට ලොකු බයකුත් දැනුණා.

10 ඒ වෙලාවේ පූජක එස්රා සෙනඟ ඉස්සරහා හිටගෙන මෙහෙම කිව්වා. “ඔයාලා දෙවියන්ට අකීකරු වෙලා. විදේශීය ස්ත්‍රීන්ව විවාහ කරගෙන+ ඊශ්‍රායෙල් සෙනඟගේ වැරදි තවත් වැඩි කරලා. 11 දැන් ඔයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔයාලාගේ වැරදි පිළි අරන් දෙවියන් සතුටු වෙන විදිහට වැඩ කරන්න. ඔයාලාගේ විදේශීය භාර්යාවන්ව පිටත් කරලා යවන්න. අවට ජාතීන්වල අයව ආශ්‍රය කරන එක නවත්තන්න.”+ 12 එතකොට රැස් වෙලා හිටපු හැමෝම මෙහෙම කිව්වා. “ඔයා කියන විදිහටම අපි කරනවා. 13 ඒත් මෙතන ලොකු සෙනඟක් ඉන්නවා. දැන් වැහි කාලේ නිසා එළිමහනේ ඉන්නත් හරි අමාරුයි. අනික මේ වරද දවසකින් දෙකකින් හරිගස්සන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද මේකට හුඟදෙනෙක් සම්බන්ධයි. 14 ඉතින් අපි අපේ අධිපතීන්ට කියමු මෙතන ඉඳලා අවශ්‍ය දේවල් කරන්න කියලා.+ විදේශීය ස්ත්‍රීන්ව විවාහ කරගෙන ඉන්න අයට කියමු නියමිත දවසක එයාලාගේ නුවරේ වැඩිමහල්ලන් සහ විනිශ්චයකරුවන් එක්ක මෙතනට එන්න කියලා. ඒ විදිහට අපි මේ ප්‍රශ්නේ විසඳගමු. එතකොට දෙවියන්ගේ මහත් කෝපය නිවලා දාන්න අපිට පුළුවන් වෙයි.”

15 ඒ යෝජනාවට අසහෙල්ගේ පුතා වුණ යොනාතාන් සහ තික්වාගේ පුතා වුණ යාෂෙයා කැමති වුණේ නැහැ. ලෙවීවරුන් වුණ මෙෂල්ලම් සහ ෂබ්බෙතයි+ එයාලාගේ පැත්ත ගත්තා. 16 ඒත් නිදහස් වෙලා ආපු අනිත් හැමෝම යෝජනා කරපු විදිහටම කළා. දහවෙනි මාසේ පළවෙනිදා පූජක එස්රා සහ පෙළපත් වාර්තාවල නම් සඳහන් වෙලා තිබුණ පවුල්වල ප්‍රධානීන් ඒ ගැන හොයලා බලන්න වෙනම රැස් වුණා. 17 එයාලා පළවෙනි මාසේ පළවෙනිදා වෙද්දී විදේශීය ස්ත්‍රීන්ව විවාහ කරගෙන හිටපු හැමෝටම තීන්දුවක් දීලා ඉවර කළා. 18 විදේශීය ස්ත්‍රීන්ව විවාහ කරගෙන හිටපු අය අතරේ පූජකයන්ගේ පුතුන් කීපදෙනෙකුත් ඉන්නවා කියලා හෙළි වුණා.+ ඒ අයට යෙහොෂාදාක්ගේ පුතා වුණ යේෂුවාගේ පුතාලා+ වගේම යේෂුවාගේ සහෝදරයන් වුණ මයසේයා, එලියේසර්, යාරිබ් සහ ගෙදලියා ඇතුළත් වුණා. 19 එයාලාගේ භාර්යාවන්ව පිටත් කරනවා කියලා එයාලා පොරොන්දු වුණා.* එයාලාගේ වරදට එයාලා එක් එක් කෙනා බැටළුවෙක් ගාණේ පූජා කරන්නත් සූදානම් වුණා.+

20 වරද කරපු පූජකයන් අතරේ ඉම්මේර්ගේ පුතුන්+ අතරින් හනානි සහ සෙබදියා, 21 හාරිම්ගේ පුතුන්+ අතරින් මයසේයා, එලියා, ෂෙමායා, යෙහීයෙල්, උසියා වගේම 22 පෂ්හූර්ගේ පුතුන්+ අතරින් එලියෝනේයයි, මයසේයා, ඉෂ්මායෙල්, නෙතනෙල්, යෝෂාබාද් සහ එලෙයාසා හිටියා. 23 ඒ වරද කරපු ලෙවීවරුන් වුණේ යෝෂාබාද්, ෂිමෙයි, කේලායා (ඒ කියන්නේ කෙලීටා), පෙතහියා, යූදා සහ එලියේසර්. 24 ගායකයෙක් වුණ එලියාෂිබ් සහ දොරටු පාලකයන් වුණ ෂල්ලුම්, ටෙලෙම්, උරී කියන අයත් ඒ වරද කළා.

25 ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ඒ වරද කළේ පාරොෂ්ගේ පුතුන්+ වුණ රමියා, ඉෂ්ෂියා, මල්කියා, මියමින්, එලියාසර්, මල්කියා, බෙනායා. 26 ඒලාම්ගේ පුතුන්+ අතරින් මත්තනියා, සෙකරියා, යෙහීයෙල්,+ අබ්දී, යෙරෙමොත්, එලියා. 27 සට්ටුගේ පුතුන්+ අතරින් එලියෝනේයයි, එලියාෂිබ්, මත්තනියා, යෙරෙමොත්, සාබාද්, අසීසා. 28 බෙබායිගේ පුතුන්+ අතරින් යෙහෝහානන්, හනනියා, සබ්බයි, අත්ලයි. 29 බානිගේ පුතුන් අතරින් මෙෂල්ලම්, මල්ලුක්, අදායා, යාෂුබ්, ෂෙයාල්, යෙරෙමොත්. 30 පාහත්මෝවබ්ගේ පුතුන්+ අතරින් අද්නා, චෙලාල්, බෙනායා, මයසේයා, මත්තනියා, බෙසලෙල්, බින්නුයි, මනස්සේ. 31 හාරිම්ගේ පුතුන්+ අතරින් එලියේසර්, ඉෂ්ෂියාහ්, මල්කියා,+ ෂෙමායා, ෂිමෙයොන්, 32 බෙන්ජමින්, මල්ලුක්, ෂෙමරියා. 33 හාෂුම්ගේ පුතුන්+ අතරින් මත්තෙනයි, මත්තත්තා, සාබාද්, එලිෆෙලෙත්, යෙරෙමයි, මනස්සේ, ෂිමෙයි. 34 බානිගේ පුතුන් අතරින් මයදයි, අම්රාම්, ඌයෙල්, 35 බෙනායා, බෙදේයා, කෙලුහයි, 36 වනියා, මෙරේමොත්, එලියාෂිබ්, 37 මත්තනියා, මත්තෙනයි, යයසූ. 38 බින්නුයිගේ පුතුන් අතරින් ෂිමෙයි, 39 ෂෙලෙමියා, නාතන්, අදායා, 40 මක්නදෙබයි, ෂාෂයි, ෂාරයි, 41 අෂරෙල්, ෂෙලෙමියා, ෂෙමරියා, 42 ෂල්ලුම්, අමරියා, යෝසෙප්. 43 නෙබෝගේ පුතුන් අතරින් යෙයීයෙල්, මත්තිතියා, සාබාද්, සෙබිනා, යද්දයි, යෝවෙල්, බෙනායා. 44 ඒ හැමෝම විදේශීය ස්ත්‍රීන්ව විවාහ කරගෙන හිටියා.+ එයාලා එයාලාගේ භාර්යාවන්ව සහ දරුවන්ව පිටත් කරලා යැව්වා.+

පේන විදිහට මෙතන කතා කරන්නේ සයිරස් බැබිලෝනිය පාලනය කරන්න පටන්ගත්ත පළවෙනි අවුරුද්ද ගැනයි.

හෝ සමහරවිට, “යෙරුසලමේ ඉන්න.”

හෝ, “නතර වෙලා ඉන්න අයට.”

මූ.අ., “හැමෝම එයාලාගේ දෑත් සවිමත් කළා.”

සමහරවිට එස්රා 2:2 සහ 3:8 සඳහන් සෙරුබාබෙල් වෙන්න පුළුවන්.

මෙතන කතා කරන්නේ බැබිලෝනිය පළාත හෝ යූදා පළාත ගැන වෙන්න පුළුවන්.

මේ පරිච්ඡේදයේ “පුතුන්” කියද්දී පැවතෙන අයවත් අදහස් වෙන්න පුළුවන්. සමහර තැන්වල ඒකෙන් ප්‍රදේශයක ජීවත් වුණ අයවත් අදහස් වෙන්න පුළුවන්.

හෝ සමහරවිට, “මග්බිෂ්වල පුරුෂයන්.”

හෝ සමහරවිට, “සෙනායාවල පුරුෂයන්.”

හෝ, “නෙතිනිම්වරු.” මූ.අ., “දෙනු ලැබූවන්.”

හෝ සමහරවිට, “මෙයූනිම්ගේ.”

හෝ සමහරවිට, “නෙෆූසිම්වරුන්ගේ.”

හෝ, “එයාලව අපවිත්‍ර අය විදිහට සලකපු නිසා පූජකයන් විදිහට සේවය කරන්න ඉඩ දුන්නේ නැහැ.”

හෝ, “තිර්ෂාතා.” පර්සියානු භාෂාවෙන් පළාත් ආණ්ඩුකාරයාව හැඳින්නුවේ එහෙමයි.

මෙතන සඳහන් වෙන්නේ ග්‍රීක ලියවිලිවල සඳහන් වෙන ඩ්‍රැක්මා ගැන නෙමෙයි. මෙතන කතා කරන්නේ පර්සියානු ජාතිකයන් පාවිච්චි කරපු දරික් කියලා හඳුන්වපු රන් කාසියක් කියලා විශ්වාස කරනවා. ඒකේ බර ග්‍රෑම් 8.4ක්. උප. B14 බලන්න.

හෙබ්‍රෙව් ලියවිල්ලේ කතා කරන මීනා එකක බර ග්‍රෑම් 570ක්. උප. B14 බලන්න.

හෝ, “තාවකාලික මඩු.”

හෝ, “නොසැලෙන ආදරේ.” “පැහැදිලි කිරීමක්” බලන්න.

පළවෙනි දාරියුස් හෝ මහ දාරියුස්.

දෙවෙනි කැම්බිසස් වෙන්න පුළුවන්.

එස්රා 6 සිට 8 දක්වා පරිච්ඡේදවල සඳහන් වෙන අර්තක්ෂස්තා රජ නෙමෙයි.

හෝ සමහරවිට, “ඇරමයික භාෂාවෙන් ලියලා පරිවර්තනය කළා.”

එස්රා 4:8 සිට 6:18 දක්වා මුලින් ලියලා තිබුණේ ඇරමයික භාෂාවෙන්.

ඒ කියන්නේ යුප්‍රටීස් ගඟට බස්නාහිර පැත්තෙන් තියෙන පළාත.

මූ.අ., “රජමාලිගාවේ ලුණු කන.”

හෝ සමහරවිට, “පරිවර්තනය කරලා කියෙව්වා.”

ඒ කියන්නේ යුප්‍රටීස් ගඟට බස්නාහිර පැත්තෙන් තියෙන පළාත.

හෝ, “ලී නියමිත තැන්වලට දාන්නයි.”

සමහරවිට එස්රා 2:2 සහ 3:8 සඳහන් සෙරුබාබෙල් වෙන්න පුළුවන්.

හෝ, “ලේඛනාගාරය.”

මීටර් 26.7ක් (අඩි 87.6ක්) විතර. උප. B14 බලන්න.

ඒ කියන්නේ යුප්‍රටීස් ගඟට බස්නාහිර පැත්තෙන් තියෙන පළාත.

හෝ සමහරවිට, “කුණු ගොඩක්; ගොම කන්දක්.”

ඒ කියන්නේ පළවෙනි අර්තක්ෂස්තා. එස්රා 4:7 සඳහන් අර්තක්ෂස්තා ගෝමාටා නෙමෙයි.

උප. B15 බලන්න.

මූ.අ., “එයාලාගේ දෑත් සවිමත් කරන්න.”

තේරුම, “උදව්.”

හෝ, “එයා දක්ෂ පිටපත්කරුවෙක්.”

හෝ, “නෙතිනිම්වරු.” මූ.අ., “දෙනු ලැබූවන්.”

හෝ, “මුළු හිතම යොමු කළා.”

එස්රා 7:12 සිට 7:26 දක්වා මුලින් ලියලා තිබුණේ ඇරමයික භාෂාවෙන්.

ඒ කියන්නේ යුප්‍රටීස් ගඟට බස්නාහිර පැත්තෙන් තියෙන පළාත.

හෝ, “එස්රා.”

තලෙන්තයක් කියන්නේ කි.ග්‍රෑ. 34.2ක්. උප. B14 බලන්න.

කෝර් මිනුමක් කියන්නේ ලීටර් 220ක්. උප. B14 බලන්න.

බාත් මිනුමක් කියන්නේ ලීටර් 22ක්. උප. B14 බලන්න.

හෝ, “නොසැලෙන ආදරයක් පෙන්නපු.”

මේ පරිච්ඡේදයේ “පුතුන්” කියද්දී පැවතෙන අයවත් අදහස් වෙන්න පුළුවන්.

මෙතන කතා කරන්නේ පූජකයන් නොවන ලෙවීවරු ගැනයි.

හෝ, “නෙතිනිම්වරු.” මූ.අ., “දෙනු ලැබූවන්.”

තලෙන්තයක් කියන්නේ කි.ග්‍රෑ. 34.2ක්. උප. B14 බලන්න.

දරික් කියන්නේ පර්සියාවේ පාවිච්චි කරපු රන් කාසියක්. උප. B14 බලන්න.

හෝ, “කෑම කාමරවලදී.”

ඒ කියන්නේ යුප්‍රටීස් ගඟට බස්නාහිර පැත්තෙන් තියෙන පළාත.

පර්සියානු අධිරාජ්‍යයට අයිති පළාත් බලාගන්න රජ පත් කරපු අය.

මූ.අ., “දෙවියන් කියපු දේවල් ගැන බයෙන් ගැහුණ.”

මෙතන කතා කරන්නේ යෙරුසලම සහ දේවමාලිගාව ගැන වෙන්න පුළුවන්.

හෝ, “ගල් පවුරක්.”

හෝ, “ස්ත්‍රීන්ව අපේ ගෙවල්වලට අරගෙන.”

හෝ, “කෑම කාමරයට.”

මූ.අ., “අතට අත දුන්නා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න