දේශනාකාරයා
1 දාවිත්ගේ පුතා සහ යෙරුසලමේ රජ වුණ+ උපදේශකයාගේ*+ වචන තමයි මේ.
3 මිනිසෙක් වෙහෙස මහන්සි වෙලා කරන කිසිම දේකින් ප්‍රයෝජනයක් තියෙනවාද?
මහන්සි වෙලා ඉර යට කරන කිසිම දේකින් වැඩක් තියෙනවාද?+
6 හුළඟ දකුණු දෙසට හමාගෙන ගිහින් කැරකිලා උතුරු දෙසට හමයි.
හුළඟ කැරකි කැරකි දිගටම හමා යයි. නොනැවතී වට රවුමේ යයි.
7 හැම දිය පහරක්ම මුහුදට ගලා බසියි. ඒත් මුහුද පිරිලා ඉතිරිලා යන්නේ නැහැ.+
ඒ ජලය දිය දහරා පටන්ගත්ත තැනටම නැවතත් යයි. එහෙම යන්නේ ආපහු ගලා බහින්නයි.+
8 කරන හැම දේකින්ම කෙනෙක් වෙහෙසට පත් වෙයි.
කාටවත් ඒ ගැන විස්තර කරන්න බැහැ.
ඇහැ කොච්චර දේවල් දැක්කත් සෑහීමට පත් වෙන්නේ නැහැ.
කොච්චර දේවල් ඇහුවත් කන සෑහීමට පත් වෙන්නේ නැහැ.
9 කලින් සිද්ධ වුණ දේවල්මයි ආයේ ආයේ වෙන්නේ.
කලින් කරපු දේවල්මයි ආයේ ආයේ කරන්නේ.
ඉර යට කිසිම අලුත් දෙයක් නැහැ.+
10 “මේ බලන්න! මේක අලුත් දෙයක්” කියලා කිසිම දෙයක් ගැන කියන්න පුළුවන්ද?
ඉස්සර ඉඳන් ඒක තිබුණා.
අපි ඉපදෙන්න කලින් ඉඳන් ඒක තිබුණා.
11 අතීතයේ හිටපු අයව දැන් කාටවත් මතක නැහැ.
ඉස්සරහට එන අයවත් අමතක වෙලා යනවා.
එයාලට පස්සේ එන අයවත් අමතක වෙලා යනවා.+
12 උපදේශකයා වන මම තමයි යෙරුසලමේ ඉඳන් පාලනය කරන ඊශ්‍රායෙල් දේශයේ රජ.+ 13 මගේ ප්‍රඥාව+ පාවිච්චි කරලා අහස යට තියෙන හැම දෙයක් ගැනම+ අධ්‍යයනය කරන්න මං අදිටන් කරගත්තා. දෙවියන් මිනිස්සුන්ට කරන්න දීලා තියෙන කිසි තේරුමක් නැති වැඩ ගැන මම හොඳට හොයලා බැලුවා. ඒ වැඩ ගැන මිනිස්සු හැමදාම කරදර වෙනවා.
14 ඉර යට කරන හැම වැඩක් දිහාම මම හොඳට බැලුවා.
ඇත්තටම ඒ හැම දෙයක්ම කිසිම තේරුමක් නැති දේවල්. හරියට හුළඟ පස්සේ එළවගෙන යනවා වගෙයි.+
15 ඇද දෙයක් කෙළින් කරන්න බැහැ.
නැති දෙයක් ගණන් කරන්නත් බැහැ.
16 මම මටම මෙහෙම කියාගත්තා. “මට කලින් යෙරුසලමේ හිටපු අනිත් හැමෝටම වඩා මම ප්‍රඥාවන්ත කෙනෙක් වුණා.+ මම ලබාගත්ත ප්‍රඥාව සහ දැනුම ගැන මගේ හිතේ ලොකු අගයක් ඇති වුණා.”+ 17 මම ප්‍රඥාවන්ත දේවල් ගැන විතරක් නෙමෙයි හිතන්නේ බලන්නේ නැතුව කරන වැඩ ගැනත් මෝඩකම්* ගැනත් තේරුම්ගන්න උත්සාහ කළා.+ ඒකත් හුළඟ පස්සේ එළවගෙන යනවා වගේ දෙයක්.
2 ඊටපස්සේ මම මටම මෙහෙම කියාගත්තා. “විනෝද වෙලා බලමු ඒකෙන් ජීවිතේට හොඳක් වෙනවාද කියලා.” ඒත් ඒකත් කිසි තේරුමක් නැති වැඩක්.
2 “හිනා වෙන එක මහ මෝඩකමක්” කියලා මම කිව්වා.
“විනෝද වෙන එකේ ඇති වැඩේ මොකක්ද” කියලා මම ඇහුවා.
3 වයින් බීලා සතුටු වෙන එකෙන් ජීවිතේට හොඳක් වෙයිද කියලා බලන්න මම හොඳට වයින් බිව්වා.+ ඒත් මම ප්‍රඥාවන්තව වැඩ කරන්න බැරි වෙන තරමටම බිව්වේ නැහැ. අහස යට ජීවත් වෙන කෙටි කාලේදී මිනිස්සු කරන්න ඕනෙ හොඳම දේ මොකක්ද කියලා තේරුම්ගන්න මම මෝඩ වැඩ පවා කරලා බැලුවා. 4 මම ගොඩක් ශ්‍රේෂ්ඨ දේවල් කළා.+ මම මටම කියලා ගෙවල් හදාගත්තා.+ මිදිවතු වවාගත්තා.+ 5 වතු සහ උයන් හදාගත්තා. ඒවාවල එක එක විදිහේ පලතුරු ගස් වැව්වා. 6 මගේ වතුවල සරුවට වැඩෙන ගස් වැල්වලට වතුර සපයන්න මම පොකුණු හදාගත්තා. 7 මට හිටපු සේවක සේවිකාවන්ගේ ගාණ මම වැඩි කරගත්තා.+ මගේම ගෙදර ඉපදුණ සේවකයොත් මට හිටියා. මම ගව රැළවල්, එළු බැටළු රැළවල් සල්ලිවලට ගත්තා.+ යෙරුසලමේ මට කලින් හිටපු කිසිම කෙනෙක්ට වඩා වැඩියෙන් මට සතුන් හිටියා. 8 මම රන් රිදී ගොඩක් රැස් කරගත්තා.+ රජවරුන්ගෙන් සහ විවිධ පළාත්වලින් මට ගොඩක් වස්තුව ලැබුණා.+ ගායක ගායිකාවන්ව මම රැස් කරගත්තා. පිරිමින්ගේ හිතට ලොකු සතුටක් ගේන කාන්තාවන් මට හිටියා. ඇත්තටම කාන්තාවන් හුඟදෙනෙක් හිටියා. 9 මට කලින් යෙරුසලමේ හිටපු හැම කෙනෙක්ටම වඩා මම ශ්‍රේෂ්ඨ කෙනෙක් වුණා.+ හැම වෙලාවෙම ප්‍රඥාවන්තව වැඩ කරන්න මට පුළුවන් වුණා.
10 මං කරන්න ආසාවෙන් හිටපු හැම දෙයක්ම මම කළා.+ මගේ හිතට සතුටක් ගේන කිසිම දෙයක් මම නොකර හිටියේ නැහැ. මම මහන්සි වෙලා කරපු හැම වැඩකින්ම මගේ හිතට සතුටක් දැනුණා. මං මහන්සි වෙලා කරපු හැම වැඩකටම මට ලැබුණ තෑග්ග ඒකයි.+ 11 ඒත් මම මගේ අත්වලින් කරපු හැම දෙයක් දිහාමත් මං ඉටු කරගන්න මහන්සි වුණ හැම දෙයක් දිහාමත් බැලුවාම+ ඒ ඔක්කොම කිසි තේරුමක් නැති දේවල් කියලා මට තේරුණා. ඒක හරියට හුළඟ පස්සේ එළවගෙන යනවා වගේ දෙයක්.+ ඉර යට කරන කිසිම දේක සැබෑ වටිනාකමක් නැහැ.*+
12 ඊටපස්සේ මම ප්‍රඥාවන්ත දේවල් ගැනත් හිතන්නේ බලන්නේ නැතුව කරන වැඩ ගැනත් මෝඩකම් ගැනත් තේරුම්ගන්න උත්සාහ කළා.+ (රජගෙන් පස්සේ එන කෙනාට කරන්න පුළුවන් මොනවාද? කලින් කරපු දේවල් ඇරෙන්න කරන්න වෙන දෙයක් තියෙනවාද?) 13 අඳුරට වඩා ආලෝකයෙන් ප්‍රයෝජනයක් තියෙනවා වගේ මෝඩකම් කරනවාට+ වඩා ප්‍රඥාවන්තව වැඩ කරන එකෙන් ප්‍රයෝජනයක් තියෙනවා කියලා මම තේරුම්ගත්තා.
14 ප්‍රඥාවන්තයාට තමන් යන මඟ පැහැදිලිව පේනවා.+ ඒත් මෝඩයා ඇවිදින්නේ අඳුරේ.+ අන්තිමට ඒ හැමෝටම වෙන්නේ එකම දේ කියලත් මම තේරුම්ගත්තා.+ 15 මම මටම මෙහෙම කියාගත්තා. “අන්තිමේදී මට වෙන්නෙත් මෝඩයාට වෙන දේම නම් මෙච්චර ප්‍රඥාවන්ත වෙන එකේ ඇති වැඩේ මොකක්ද?”+ ඉතින් “ඒකත් කිසි තේරුමක් නැති දෙයක්” කියලා මම මටම කියාගත්තා. 16 මෝඩයාව වගේම ප්‍රඥාවන්තයාවත් මිනිස්සුන්ගේ මතකයෙන් මැකිලා යනවා.+ හැම කෙනෙක්වම අමතක වෙලා යන දවසක් එනවා. ප්‍රඥාවන්තයා මැරෙන විදිහටම මෝඩයත් මැරිලා යනවා.+
17 මට ජීවිතේ එපා වුණා.+ මොකද ඉර යට කරන හැම දේකින්ම ලැබෙන්නේ දුක් කරදර විතරයි. කරන කිසිම දේක තේරුමක් නැහැ.+ හරියට හුළඟ පස්සේ එළවගෙන යනවා වගේ.+ 18 ඉර යට වෙහෙස මහන්සි වෙලා මම කරපු හැම දෙයක්ම මට එපා වුණා.+ මොකද මම ලබාගත්ත ඒ හැම දෙයක්ම මගෙන් පස්සේ එන කෙනාට දීලා යන්න මට සිද්ධ වෙනවා.+ 19 එයා ප්‍රඥාවන්තයෙක් වෙයිද මෝඩයෙක් වෙයිද කියලා කවුද දන්නේ?+ ඒ කොහොමවුණත් ඉර යට මං ගොඩක් මහන්සි වෙලා, ප්‍රඥාවන්තව වැඩ කරලා ලබාගත්ත හැම දෙයක්ම අන්තිමේදී එයාට අයිති වෙනවා. ඒකත් කිසි තේරුමක් නැති දෙයක්. 20 ඉතින් ඉර යට මං මෙච්චර මහන්සි වෙලා කරපු හැම දෙයක් ගැනම මට දැනුණේ ලොකු කලකිරීමක්. 21 මොකද කෙනෙක් ප්‍රඥාව, දැනුම, දක්ෂතා පාවිච්චි කරලා ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. ඒත් එයා ලබාගන්න හැම දෙයක්ම ඒ වෙනුවෙන් කිසිම මහන්සියක් දැරුවේ නැති කෙනෙක්ට දීලා යන්න වෙනවා.+ ඒකත් කිසි තේරුමක් නැති දෙයක්. ඒක හරිම කනගාටුදායක දෙයක්.
22 මනුස්සයෙක් ඉර යට කොච්චර මහන්සි වෙලා වැඩ කළත් ඉලක්ක තියලා ඒවා පස්සේ ගියත් ඇත්තටම එයා ලබාගන්න දෙයක් තියෙනවාද?+ 23 එයාගේ ජීවිත කාලේ පුරාම එයා කරන හැම වැඩකින්ම එයාට ලැබෙන්නේ වේදනාව සහ කලකිරීම විතරයි.+ රාත්‍රියේදීවත් හිතට කිසිම සහනයක් නැහැ.+ ඒකත් කිසි තේරුමක් නැති දෙයක්.
24 කෙනෙක් කන බොන එක, මහන්සි වෙලා තමන් කරන වැඩවලින් සතුටක් ලබන එක තරම් හොඳ දෙයක් තවත් නැහැ.+ ඒකත් සැබෑ දෙවියන්ගෙන් ලැබුණ දෙයක් කියලා මම තේරුම්ගත්තා.+ 25 මොකද මට තරම් හොඳ කෑම බීම තියෙන වෙන කෙනෙක් ඉන්නවාද?+
26 දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන කෙනෙක්ට ඔහු ප්‍රඥාව, දැනුම සහ සතුටින් ඉන්න අවස්ථාව දෙනවා.+ ඒත් පව්කාර ජීවිතයක් ගත කරන කෙනාට සැබෑ දෙවියන් භාර දීලා තියෙන වැඩේ තමයි දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන කෙනා වෙනුවෙන් දේවල් රැස් කරන එක.+ ඒකත් හුළඟ පස්සේ එළවගෙන යනවා වගේ කිසි තේරුමක් නැති වැඩක්.
3 හැම දේකටම නියමිත කාලයක් තියෙනවා.
අහස යට වෙන හැම දේකටම නියමිත කාලයක් තියෙනවා.
2 ඉපදෙන්න වගේම මැරෙන්න කාලයකුත්
හිටවන්න වගේම හිටවපු දේ උදුරලා දාන්න කාලයකුත් තියෙනවා.
3 මරලා දාන්න වගේම සුව කරන්න කාලයකුත්
කඩලා දාන්න වගේම ගොඩනඟන්න කාලයකුත් තියෙනවා.
4 අඬන්න වගේම හිනා වෙන්න කාලයකුත්
වැලපෙන්න වගේම නටන්න* කාලයකුත් තියෙනවා.
5 ගල් අයින් කරන්න වගේම ගල් එකතු කරගන්න කාලයකුත්
වැලඳගන්න වගේම වැලඳගන්නේ නැතුව ඉන්න කාලයකුත් තියෙනවා.
6 හොයන්න වගේම හොයන දේ නැති වුණා කියලා හිතන්න කාලයකුත්
ළඟ තියාගන්න වගේම වීසි කරලා දාන්න කාලයකුත් තියෙනවා.
7 ඉරලා දාන්න+ වගේම මහන්න කාලයකුත්
නිහඬව ඉන්න+ වගේම කතා කරන්න කාලයකුත් තියෙනවා.+
8 ආදරේ කරන්න වගේම වෛර කරන්න කාලයකුත්+
යුද්ධ කරන්න වගේම සමාදානයෙන් ඉන්න කාලයකුත් තියෙනවා.
9 වැඩ කරන කෙනාට එයා දරන මහන්සියෙන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද?+ 10 මිනිස්සු හැමදාම කරදර වෙන වැඩ ගැන වගේම දෙවියන් එයාලට දීලා තියෙන හැම වැඩක් ගැනමත් මම හොඳට හොයලා බැලුවා. 11 ඔහු හැම දෙයක්ම හරිම ලස්සනට,* නියමිත වෙලාවට සිද්ධ වෙන විදිහට හැදුවා.+ ඔහු සදාකල් ජීවත් වෙන්න තියෙන ආසාව මිනිස්සුන්ගේ හිතේ තිබ්බා. ඒත් සැබෑ දෙවියන් මුල ඉඳන් අග වෙන කල් කරලා තියෙන දේවල් සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න මිනිසාට කවදාවත් බැහැ.
12 ජීවිත කාලේ පුරාම යහපත් දේවල් කරලා සතුටින් ඉන්න එක තරම් හොඳ දෙයක් තවත් නැහැ කියලා මම තේරුම්ගත්තා.+ 13 ඒ වගේම කන බොන එක, මහන්සි වෙලා කරන වැඩවලින් සතුටක් ලබන එක හොඳ දෙයක්. ඒක දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්.+
14 සැබෑ දෙවියන් හදන හැම දෙයක්ම සදහටම තියෙනවා කියලා මම තේරුම්ගත්තා. ඒවාට දෙයක් එකතු කරන්නවත් ඒවායින් දෙයක් අඩු කරන්නවත් අවශ්‍ය නැහැ. සැබෑ දෙවියන් හැම දෙයක්ම ඒ විදිහට හැදුවේ මිනිස්සුන්ට ඔහු ගැන ගරුබියක් ඇති වෙන්නයි.+
15 දැන් සිද්ධ වෙන දේවල් කලිනුත් වෙලා තියෙනවා. ඉස්සරහට වෙන්න තියෙන දේවලුත් කලින් වෙලා තියෙනවා.+ ඒත් මිනිස්සු ලබාගන්න උත්සාහ කරන දේ* සැබෑ දෙවියන් ඉටු කරලා දෙනවා.
16 ඉර යට සිද්ධ වෙන තවත් දෙයක් මම දැක්කා. යුක්තිය තියෙන්න ඕනෙ තැන තියෙන්නේ දුෂ්ටකම. ධර්මිෂ්ඨකම තියෙන්න ඕනෙ තැන තියෙන්නෙත් දුෂ්ටකම.+ 17 ඉතින් මම මටම මෙහෙම කියාගත්තා. “සැබෑ දෙවියන් හරි දේ කරන කෙනාව වගේම දුෂ්ටයාවත් විනිශ්චය කරනවා.+ මොකද හැම වැඩකටම, හැම පියවරකටම නියමිත කාලයක් තියෙනවා.”
18 මම මෙහෙමත් හිතුවා. සැබෑ දෙවියන් මිනිස්සුන්ව සෝදිසි කරලා බලලා මිනිස්සු සහ සත්තු අතරේ වෙනසක් නැහැ කියලා එයාලට පෙන්නලා දෙනවා. 19 මොකද අන්තිමේදී මිනිස්සුන්ට වෙන දේම තමයි සතුන්ටත් වෙන්නේ. මිනිස්සු මැරෙන විදිහටම තමයි සත්තුත් මැරෙන්නේ.+ ඒ දෙගොල්ලන්ටම දීලා තියෙන ජීවන හුස්ම* එක සමානයි.+ ඉතින් මිනිස්සු සතුන්ට වඩා උසස් නැහැ. ඇත්තටම හැම දේකම කිසිම තේරුමක් නැහැ. 20 හැමෝම යන්නේ එකම තැනට.+ හැමෝවම හැදුවේ දූවිල්ලෙන්.+ හැමෝම ආපහු දූවිල්ලටම හැරිලා යනවා.+ 21 මිනිස්සුන්ගේ ජීවන හුස්ම ඉහළට යනවාද කියලවත් සතුන්ගේ ජීවන හුස්ම පොළොව දිහාවට යනවාද කියලවත් කවුද දන්නේ?+ 22 මිනිසෙක් තමන් කරන වැඩවලින් සතුටක් ලබන එක තරම් හොඳ දෙයක් තවත් නැහැ කියලා මම දැක්කා.+ ඒක තමයි එයාට ලැබෙන තෑග්ග. මොකද එයා මැරුණාට පස්සේ ජීවතුන් අතරේ වෙන දේවල් එයාට පෙන්නන්න පුළුවන් කාටද?+
4 ඉර යට ජීවත් වෙන මිනිස්සුන්ට කරන හැම තාඩන පීඩනයක් ගැනම මම ආපහු කල්පනා කරලා බැලුවා. පීඩාවට පත් වුණ අයගේ කඳුළු මම දැක්කා. එයාලව සනසන්න කවුරුත් හිටියේ නැහැ.+ එයාලට පීඩා කරන අයට බලය තිබුණා. ඇත්තටම එයාලව සනසන්න කවුරුත්ම හිටියේ නැහැ. 2 ඉතින් ජීවත් වෙන එකට වඩා මැරිලා ඉන්න එක හොඳයි කියලා මට හිතුණා.+ 3 ඇත්තටම ඒ දෙකටම වඩා ඉපදුණේ නැත්නම් හොඳයි.+ මොකද ඉපදිලා නැති කෙනා ඉර යට සිද්ධ වෙන දුක් කරදර දකින්නේ නැහැ.+
4 තරඟකාරිත්වය නිසා ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්නත් දක්ෂතා දියුණු කරගන්නත් මිනිස්සු පෙලඹෙන විදිහ මං දැකලා තියෙනවා.+ ඒකත් හුළඟ පස්සේ එළවගෙන යනවා වගේ කිසි තේරුමක් නැති වැඩක්.
5 අත් දෙක බැඳගෙන ඔහේ බලාගෙන ඉන්න මෝඩයා තමන්වම විනාශ කරගන්නවා.+
6 වැඩ කන්දරාවක් කරලා හුළඟ පස්සේ එළවගෙන යනවාට වඩා පොඩි විවේකයක් ගන්න එක හොඳයි.+
7 ඉර යට කරන කිසි තේරුමක් නැති තවත් දෙයක් ගැන මං කල්පනා කළා. 8 එක මනුස්සයෙක් ඉන්නවා. එයා ඉන්නේ තනියම. එයාට යාළුවෙක්වත් පුතෙක්වත් සහෝදරයෙක්වත් නැහැ. ඒත් එයා ඉවරයක් නැතුව මැරීගෙන වැඩ කරනවා. එයා කොච්චර සල්ලි හම්බ කළත් සෑහීමට පත් වෙන්නේ නැහැ.+ ‘මං සැප විඳින්නෙවත් නැතුව මෙච්චර මැරීගෙන වැඩ කරන්නේ කවුරු වෙනුවෙන්ද’ කියලා එයා පොඩ්ඩකට නතර වෙලා හිතන්නේ නැහැ.+ එයාගේ ජීවිතේ කිසි තේරුමක් නැහැ. ඉතුරු වෙන්නේ කලකිරීමක් විතරයි.+
9 එක් කෙනෙක්ට වඩා දෙන්නෙක් හොඳයි.+ මොකද ඒ දෙන්නාගේ වෙහෙසට හොඳ ප්‍රතිඵල ලැබෙනවා.* 10 එයාලාගෙන් එක් කෙනෙක් වැටුණොත් අනිත් කෙනාට පුළුවන් එයාව නැඟිට්ටවන්න. ඒත් තනියම ඉන්න කෙනෙක් වැටුණොත් එයාට මොනවා වෙයිද?
11 දෙන්නෙක් එක ළඟ නිදාගත්තොත් එයාලට උණුසුම ලැබෙනවා. ඒත් තනියම ඉන්න කෙනෙක් උණුසුම ලබාගන්නේ කොහොමද? 12 තනියම ඉන්න කෙනෙක්ව පරද්දන්න තව කෙනෙක්ට පුළුවන්. ඒත් දෙන්නෙක්ට පුළුවන් ඒ කෙනාට විරුද්ධව ඉන්න. තුන්පට ලණුවක් ලේසියෙන් දෙකට කඩන්න බැහැ.
13 අවවාදයක් හිතට ගන්න කිසිම වුවමනාවක් නැති+ මෝඩ, මහලු රජෙක්ට වඩා දුප්පත් වුණත් ප්‍රඥාවන්ත දරුවෙක් හොඳයි.+ 14 කෙනෙක්* හිරෙන් නිදහස් වෙලා රජකම භාරගන්න ගියා.+ එයා, රජ පාලනය කරපු කාලේ දුප්පත් පවුලක ඉපදුණ දරුවෙක්.+ 15 ඉර යට ජීවත් වෙන හැම කෙනෙක් ගැනම මං හිතුවා. කලින් හිටපු රජ වෙනුවට අලුතින් රජ වෙන තරුණයාට වෙන දේ ගැනත් මං කල්පනා කළා. 16 එයාට සහය දෙන්න වැල නොකැඩී මිනිස්සු එනවා. ඒත් පස්සේ කාලෙක මිනිස්සු එයා ගැන සතුටු වෙන්නෙත් නැහැ.+ ඒකත් හුළඟ පස්සේ එළවගෙන යනවා වගේ කිසි තේරුමක් නැති වැඩක්.
5 සැබෑ දෙවියන්ගේ ගෘහයට යද්දී ඔයා කරන දේවල් ගැන සැලකිලිමත් වෙන්න.+ එහෙට යන්න ඕනෙ කියන දේවල්වලට ඇහුම්කන් දෙන්න මිසක්+ මෝඩයෝ වගේ පූජාවක් ඔප්පු කරන්න විතරක් නෙමෙයි.+ මොකද තමන් කරන්නේ වරදක් කියලා මෝඩයන් තේරුම්ගන්නේ නැහැ.
2 කතා කරන්න ඉක්මන් වෙන්න එපා. සැබෑ දෙවියන් ඉස්සරහා හිතන්නේ බලන්නේ නැතුව දේවල් කියන්න ඔයාගේ හිතට ඉඩ දෙන්න එපා.+ සැබෑ දෙවියන් ඉන්නේ ස්වර්ගයේ. ඒත් ඔයා ඉන්නේ පොළොවේ. ඒකයි ඔයාගේ කට පරෙස්සම් කරගන්න ඕනේ.+ 3 කෙනෙක් දේවල් ගැන වුවමනාවට වඩා හිතන්න ගියාම* එයා හීන දකින්න පටන්ගන්නවා.*+ තොරතෝංචියක් නැතුව කතා කරද්දී මෝඩ වචන පිට වෙනවා.+ 4 ඔයා දෙවියන්ට පොරොන්දුවක් දුන්නොත් ඒක ඉටු කරන්න ප්‍රමාද වෙන්න එපා.+ මොකද පොරොන්දු ඉටු කරන්නේ නැති මෝඩයන් ගැන ඔහු පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැහැ.+ ඒ නිසා දෙන පොරොන්දුව ඉටු කරන්න.+ 5 පොරොන්දුවක් දීලා ඒක ඉටු කරන්නේ නැතුව ඉන්නවාට වඩා ඒ පොරොන්දුව නොදී ඉන්න එක හොඳයි.+ 6 වරදක් කරන්න ඔයාව පොලඹවන්න ඔයාගේ දිවට ඉඩ දෙන්න එපා.+ ඒ පොරොන්දුව දුන්නේ වැරදීමකින් කියලා දේවදූතයා* ඉස්සරහා කියන්න එපා.+ ඔයා කියන දේවලින් සැබෑ දෙවියන්ව කේන්ති ගස්සන්නේ ඇයි? එහෙම කළොත් ඔයා කරන හැම දෙයක්ම ඔහු විනාශ කරලා දායි.+ 7 දේවල් ගැන වුවමනාවට වඩා හිතන්න ගියාම ඒ ගැන හීන දකින්න* පටන්ගන්නවා වගේ+ ඕනෑවට වඩා කතා කරන්න ගියාම තේරුමක් නැති දේවල් කටින් පිට වෙනවා. ඉතින් සැබෑ දෙවියන් ගැන ගරුබියක් ඇතුව ඉන්න.+
8 ඔයා ඉන්න දේශයේ නිලධාරියෙක් දුප්පත් අයට හිරිහැර කරනවාත් යුක්තිය කණපිට පෙරළලා එයාලට අසාධාරණකම් කරනවාත් දැක්කොත් ඒ ගැන පුදුම වෙන්න එපා.+ මොකද ඒ නිලධාරියා කරන දේවල් එයාට වඩා උසස් කෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ දෙන්නාට වඩා තව උසස් අයත් ඉන්නවා.
9 දේශයෙන් ලැබෙන ලාභය හැමෝම අතරේ බෙදිලා යනවා. රජට අවශ්‍ය දේවල් ලැබෙන්නෙත් කෙත්වතුවලින්.+
10 රිදීවලට ඇලුම් කරන කෙනා කොච්චර රිදී ලැබුණත් සෑහීමට පත් වෙන්නේ නැහැ. ධන සම්පත්වලට ඇලුම් කරන කෙනාත් කොච්චර ලැබුණත් සෑහීමට පත් වෙන්නේ නැහැ.+ ඒකත් කිසි තේරුමක් නැති වැඩක්.+
11 වස්තුව වැඩි වෙද්දී ඒවා භුක්ති විඳින අයත් වැඩි වෙනවා.+ අයිතිකරුට වස්තුව දිහා බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන ප්‍රයෝජනයක් තියෙනවාද?+
12 සේවකයෙක්ට කන්න ටිකක් තිබුණත් ගොඩක් තිබුණත් එයා සැපට නිදාගන්නවා. ඒත් ගොඩක් ධන සම්පත් තියෙන පොහොසත් කෙනාට නින්ද යන්නේ නැහැ.
13 ඉර යට සිද්ධ වෙන තවත් කනගාටුදායක දෙයක් මම දැක්කා. කෙනෙක් ධන සම්පත් ගොඩගහගන්න එකෙන් තමන්ටම හානියක් කරගන්නවා. 14 තව හම්බ කරන්න හිතාගෙන අත ගහන වැඩේ අසාර්ථක වුණොත් එයාට තියෙන ධන සම්පත් නැති වෙලා යනවා. එයාට පුතෙක් ලැබුණ කාලෙක උරුමයක් විදිහට දෙන්න කිසිම දෙයක් නැහැ.+
15 කෙනෙක් මව්කුසෙන් ඉපදෙද්දී එයාට කිසිම දෙයක් නැහැ. එයා මැරිලා යන්නෙත් කිසිම දෙයක් නැතුවයි.+ එයා මහන්සි වෙලා කරන වැඩවලින් ලැබෙන කිසිම දෙයක් එයාට ගෙනියන්න බැහැ.+
16 එයා ආපු විදිහටම තමයි යන්නේ. කෙනෙක් මැරීගෙන වැඩ කළත් එයා මහන්සි වෙලා කරන හැම දෙයක්ම හුළඟට ගහගෙන යනවා නම් එයා වැඩ කරන එකේ ඇති ප්‍රයෝජනය මොකක්ද?+ ඒකත් හරිම කනගාටුදායක දෙයක්. 17 හැම දවසකම එයා කෑම කන්නේ හරියට අඳුරේ ඉන්න කෙනෙක් වගෙයි. එයාගේ දවස් ගෙවෙන්නේ කලකිරීමෙන්, අසනීපයෙන් සහ කේන්තියෙන්.+
18 මම දැක්ක විදිහට සැබෑ දෙවියන් කෙනෙක්ට දීලා තියෙන මේ කෙටි ජීවිතේදී කාලා බීලා, මහන්සි වෙලා තමන් කරන වැඩවලින් සතුටක් ලබන එක තමයි යහපත් වගේම සුදුසුම දේ.+ ඉර යට එයා මහන්සි වෙලා කරන වැඩවලට එයාට ලැබෙන තෑග්ග ඒකයි.+ 19 සැබෑ දෙවියන් මිනිසෙක්ට ධන සම්පත් සහ ඒවායින් සතුටක් ලබන්න අවස්ථාව දුන්නාම+ එයා තමන්ට ලැබෙන ඒ තෑග්ග පිළිගන්න ඕනේ. මහන්සි වෙලා කරපු වැඩ ගැන සතුටු වෙන්න ඕනේ. ඒක දෙවියන්ගෙන් ලැබෙන තෑග්ගක්.+ 20 සැබෑ දෙවියන් එයාට හිතේ සතුටින් ඉන්න අවස්ථාව දීලා තියෙන නිසා ජීවිතේ දවස් ගෙවිලා ගියත් ඒ ගැන එයා එච්චර හිතන්නේ නැහැ.+
6 ඉර යට සිද්ධ වෙන තවත් කනගාටුදායක දෙයක් මං දැක්කා. ඒක මිනිස්සු අතරේ නිතරම වෙන දෙයක්. 2 මිනිසෙක් ආස කරන හැම දෙයක්ම ඒ කියන්නේ ධන සම්පත්, ගෞරවය සැබෑ දෙවියන් එයාට දීලා තියෙනවා. ඒත් ඒවායින් සතුටක් ලබන්න සැබෑ දෙවියන් එයාට අවස්ථාවක් දෙන්නේ නැහැ. අඳුරන්නේ නැති කෙනෙක් තමයි ඒවා භුක්ති විඳින්නේ. ඒකත් කිසි තේරුමක් නැති දෙයක්. හරිම කනගාටුදායක දෙයක්. 3 මිනිසෙක් ගොඩක් කල් ජීවත් වෙලා දරුවන් සියදෙනෙක් හැදුවත් මැරෙන්න කලින්* එයාට තියෙන හොඳ දේවල්වලින් සතුටක් ලබන්න බැරි නම් ඒකෙන් වැඩක් තියෙනවාද? ඉපදෙන කොටම මැරිලා ගිය දරුවෙක් එයාට වඩා හොඳයි කියලා මං හිතනවා.+ 4 ඒ දරුවා ඉපදුණ එකෙන් කිසිම වැඩක් නැහැ. එයා අඳුරේම මැරිලා ගියා. එයාට නමක්වත් නැහැ. 5 ඒ දරුවාට හිරු එළිය දකින්නවත් කිසිම දෙයක් ගැන දැනගන්නවත් ලැබුණේ නැහැ. ඒ වුණත් කලින් කතා කරපු මිනිසාට වඩා සාමයක් එයාට තියෙනවා.*+ 6 අවුරුදු දෙදාහක් ජීවත් වුණත් ජීවිතෙන් සතුටක් ලබන්නේ නැත්නම් ඇති වැඩේ මොකක්ද? අන්තිමේදී හැමෝම යන්නේ එකම තැනට නෙමෙයිද?+
7 මිනිසෙක් වෙහෙස මහන්සි වෙලා හැම දෙයක්ම කරන්නේ තමන්ගේ බඩ කට පුරවගන්නයි.+ ඒත් එයා කවදාවත් සෑහීමට පත් වෙන්නේ නැහැ. 8 මෝඩයාට වඩා ප්‍රඥාවන්තයාට තියෙන වාසිය මොකක්ද?+ කරදර මැද ජීවිතේ ගැටගහගන්න දුප්පතා දන්නවා වුණාට ඒකෙන් ඇති වැඩේ මොකක්ද? 9 ඉටු කරගන්න බැරි ආසාවන් පස්සේ යනවාට වඩා ඇහැට පේන දෙයින් සෑහීමට පත් වෙන එක හොඳයි. ඒකත් හුළඟ පස්සේ එළවගෙන යනවා වගේ කිසිම තේරුමක් නැති දෙයක්.
10 දැන් තියෙන හැම දේකටම නමක් දීලා තියෙනවා. මිනිස්සුන්ගේ සැබෑ ස්වභාවයත් හෙළි කරලා තියෙනවා. තමන්ට වඩා බලවත් කෙනෙක් ඉස්සරහා තමන් හරියි කියලා ඔප්පු කරන්න* මිනිසාට බැහැ. 11 කතාව වැඩි වෙද්දී හිස් වචන පිට වෙන එක වැඩි වෙනවා.* ඒකෙන් මිනිස්සුන්ට කිසි ප්‍රයෝජනයක් තියෙනවාද? 12 හෙවණැල්ලක් වගේ නැති වෙලා යන, කිසිම තේරුමක් නැති මේ කෙටි ජීවිත කාලේදී මිනිසෙක් කරන්න ඕනෙ හොඳම දේ මොකක්ද කියලා කවුද දන්නේ?+ කෙනෙක් නැති වුණාට පස්සේ ඉර යට සිද්ධ වෙන්න යන දේවල් ගැන එයාට කියන්න පුළුවන් කාටද?
7 හොඳ නමක්* අනර්ඝ තෙල්වලට වඩා වටිනවා.+ ඉපදුණ දවසට වඩා මැරෙන දවස හොඳයි. 2 උත්සව ගෙදරකට යනවාට වඩා මරණ ගෙදරකට යන එක හොඳයි.+ මොකද අන්තිමේදී හැම කෙනෙක්ම මැරෙනවා. ජීවත් වෙලා ඉන්න අය ඒක හිතට ගන්න එක වැදගත්. 3 හිනාවෙන්ම ජීවිතේ ගෙවනවාට වඩා දුකක් අද්දකින එක හොඳයි.+ මොකද අද්දකින දුක නිසා කෙනෙක් තවත් හොඳ පුද්ගලයෙක් වෙනවා.+ 4 මරණ ගෙදරකට යන ප්‍රඥාවන්තයා ජීවිතය ගැන බැරෑරුම් විදිහට හිතනවා. ඒත් මෝඩයාගේ හිත තියෙන්නේ උත්සව ගෙදර.*+
5 මෝඩයෙක්ගේ ප්‍රශංසාවලට* ඇහුම්කන් දෙනවාට වඩා ප්‍රඥාවන්තයෙක් දෙන තරවටුවට ඇහුම්කන් දෙන එක හොඳයි.+ 6 මෝඩයාගේ හිනාව ලිපට දාන කටු අතු පුපුරන ශබ්දය වගෙයි.+ ඒකත් කිසි තේරුමක් නැති දෙයක්. 7 ප්‍රඥාවන්තයෙක් දුක් කරදරවලින් මිරිකිලා ඉද්දී මෝඩයෙක් වගේ හැසිරෙන්න පුළුවන්. අල්ලසක් නිසා කෙනෙක්ගේ හිත දූෂිත වෙනවා.+
8 මොනවා හරි දේක ආරම්භයට වඩා අවසානය හොඳයි. උඩඟු විදිහට වැඩ කරනවාට වඩා ඉවසිලිවන්තව ඉන්න එක හොඳයි.+ 9 අමනාප වෙන්න* ඉක්මන් වෙන්න එපා.+ මොකද හිතේ අමනාපයක් පැහැවන්න ඉඩ දෙන්නේ මෝඩයෝ.*+
10 “ඉස්සර කාලේ මීට වඩා කොච්චර හොඳද” කියලා කියන්න එපා. එහෙම කියන එක ඥානවන්ත දෙයක් නෙමෙයි.+
11 ප්‍රඥාවන්ත කෙනෙක්ට උරුමයක් ලැබෙද්දී ඒකේ වටිනාකම වැඩියි. පොළොවේ ජීවත් වෙන හැමෝටම ප්‍රඥාවෙන් ප්‍රයෝජන ලැබෙනවා. 12 මුදලින් ආරක්ෂාවක් ලැබෙනවා වගේ+ ප්‍රඥාවෙනුත් ආරක්ෂාවක් ලැබෙනවා.+ ප්‍රඥාව ඒක තියෙන කෙනාගේ ජීවිතේ ආරක්ෂා කරනවා. කෙනෙක්ට තියෙන දැනුමට එකඟව වැඩ කරන එකේ වාසිය ඒකයි.+
13 සැබෑ දෙවියන් කරලා තියෙන දේවල් ගැන කල්පනා කරලා බලන්න. ඔහු ඇද කරපු දෙයක් කෙළින් කරන්න පුළුවන් කාටද?+ 14 කරදර නැති දවසේදී සතුටින් යහපත් දේවල් කරන්න.+ ඒත් දුක් කරදර අද්දකින දවසේදී මතක තියාගන්න සතුට වගේම දුක් කරදරත් ඇති වෙන්න ඉඩහැරියේ දෙවියන් කියලා.+ ඔහු එහෙම කළේ අනාගතයේදී මොනවාද වෙන්නේ කියලා මිනිස්සුන්ට දැනගන්න බැරි වෙන්නයි.+
15 මගේ මේ කෙටි ජීවිතේදී*+ මම හැම දෙයක්ම දැකලා තියෙනවා. ධර්මිෂ්ඨයා යහපත් දේවල් කළත් විනාශ වෙලා යන විදිහත්+ නපුරු දේ කරන දුෂ්ටයා ගොඩක් කල් ජීවත් වෙන විදිහත් මම දැකලා තියෙනවා.+
16 ඕනෑවට වඩා ධර්මිෂ්ඨ වෙන්න එපා.+ ඕනෑවට වඩා ප්‍රඥාවන්ත වෙන්නත් එපා.+ එහෙම කරලා ඔයාටම හානියක් කරගන්න හදන්නේ ඇයි?+ 17 පව්කාරකම සැහැල්ලුවට අරන් දුෂ්ට වැඩ කරන්න එපා. මෝඩයෙක් වෙන්නත් එපා.+ එහෙම කරලා අකාලේ මැරිලා යන්නේ ඇයි?+ 18 ඒ අවවාද දෙකම හිතට ගන්න එක හොඳයි. ඒ දෙකෙන් එකක්වත් ප්‍රතික්ෂේප කරන්න එපා.+ දෙවියන්ට ගරුබිය දක්වන කෙනා ඒ දෙකම හිතට ගන්නවා.
19 නගරයක ඉන්න ශක්තිමත් මිනිස්සු දහදෙනෙක්ට වඩා කෙනෙක්ට තියෙන ප්‍රඥාව බලවත්.+ 20 කවදාවත් වරදක් නොකර හැම වෙලේම හරි දේ කරන ධර්මිෂ්ඨ කෙනෙක් පොළොවේ නැහැ.+
21 මිනිස්සු කියන හැම දෙයක්ම හිතට ගන්න එපා.+ එහෙම කළොත් ඔයාගේ සේවකයා ඔයා ගැන කියන නපුරු දේවල්* ඔයාගේ කනට වැටෙයි. 22 ඔයාත් අනිත් අය ගැන නපුරු දේවල් කොච්චර කියලා තියෙනවාද කියලා ඔයාගේ හිත දන්නවා.+
23 මට තියෙන ප්‍රඥාව පාවිච්චි කරලා මම මේ හැම දෙයක් ගැනම සෝදිසි කරලා බැලුවා. “මම ප්‍රඥාවන්ත කෙනෙක් වෙනවා” කියලා මං කිව්වා. ඒත් ඒක මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. 24 සිද්ධ වෙලා තියෙන හැම දෙයක්ම තේරුම්ගන්න අමාරුයි. ඒවා හරියට පතුල පේන්නේ නැති ගැඹුරු තැනක තියෙන දෙයක් වගේ. ඒවා තේරුම්ගන්න පුළුවන් කාටද?+ 25 මම ප්‍රඥාව ගැනත් හැම දෙයක්ම වෙන්න හේතු ගැනත් දැනගන්න සහ හොයන්න තීරණය කළා. මං ඒ දේවල් ගැන ගවේෂණය කළා. ඒ වගේම මෝඩයෝ කරන දුෂ්ට වැඩ ගැනත් පිස්සන්ගේ තේරුමක් නැති වැඩ ගැනත් තේරුම්ගන්න මං උත්සාහ කළා.+ 26 එතකොට මම මේ කාරණය දැනගත්තා. එක ස්ත්‍රියක් ඉන්නවා. එයා දඩයක්කාරයෙක් එළන දැලක් වගෙයි. එයාගේ හිත මාදැල් වගෙයි. එයාගේ අත් විලංගු වගෙයි. ඒ ස්ත්‍රිය මරණයට වඩා අන්තයි. සැබෑ දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන කෙනා ඒ ස්ත්‍රියගෙන් ගැලවෙනවා.+ ඒත් එයා පව්කාරයාව අල්ලගන්නවා.+
27 උපදේශකයා+ මෙහෙම කිව්වා. “මං හොයාගත්තේ මේකයි. නිගමනයකට එන්න මම දේවල් එකින් එක හොයලා බැලුවත් 28 මං හොයපු දේ මට හොයාගන්න බැරි වුණා. මිනිස්සු දාහක් අතරින් එක නිර්දෝෂ පුරුෂයෙක්ව හොයාගන්න පුළුවන් වුණත් එක නිර්දෝෂ ස්ත්‍රියක්වත් හොයාගන්න මට බැරි වුණා. 29 මම හොයාගත්තේ මේක විතරයි. සැබෑ දෙවියන් මිනිසාව පිරිසිදු හිතක් ඇතුව හැදුවා.+ ඒත් මිනිසා එයාලා කැමති කැමති දේවල් පස්සේ ගියා.”+
8 ප්‍රඥාවන්තයෙක්ට සමාන කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද? ප්‍රශ්නයකට විසඳුම දන්නේ කවුද? කෙනෙක්ට තියෙන ප්‍රඥාව එයාගේ මූණෙන් පේනවා. සැරපරුෂ පෙනුම වෙනුවට ඒකෙන් එයාගේ පෙනුම ප්‍රියමනාප වෙනවා.
2 මම කියන්නේ මේකයි. “ඔයා දෙවියන් ඉස්සරහා දුන්න දිවුරුම නිසා+ රජගේ නියෝගවලට කීකරු වෙන්න.+ 3 රජ ඉස්සරහින් අයින් වෙලා යන්න ඉක්මන් වෙන්න එපා.+ වැරදි දේකට සම්බන්ධ වෙන්නත් එපා.+ මොකද තමන් කැමති දේ කරන්න රජට පුළුවන්. 4 රජගේ වචනයට ඉහළින් යන්න කාටවත් බැහැ.+ ‘ඔබ මොනවාද මේ කරන්නේ’ කියලා රජගෙන් අහන්න පුළුවන් කාටද?”
5 නීතියට කීකරු වෙන කෙනාට අනතුරක් වෙන්නේ නැහැ.+ ප්‍රඥාවන්ත හදවතක් තියෙන කෙනා දන්නවා කාරණයක් සම්බන්ධයෙන් කරන්න ඕනෙ මොකක්ද සහ ඒක කරන්න ඕනෙ හරි වෙලාව මොකක්ද කියලා.+ 6 මිනිස්සුන්ට දහසකුත් ප්‍රශ්න තියෙනවා. ඒ හැම කාරණයක්ම විසඳන්න හරි වෙලාවක් සහ හරි ක්‍රමයක් තියෙනවා.+ 7 අනාගතයේදී වෙන්නේ මොනවාද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒ නිසයි ඒක වෙන්නේ කොහොමද කියලා කාටවත් කියන්න බැරි.
8 මනුස්සයෙක්ට තමන්ගේ පණ* අල්ලලා තියාගන්නවත් මැරෙන දවස කල් දාන්නවත් බැහැ.+ යුද්ධ කාලේදී කාටවත් හමුදා සේවයෙන් නිදහස් වෙන්න බැහැ. දුෂ්ටකම් කරන කෙනෙක්ටත් එයා කරන දේවල්වල ප්‍රතිඵලවලින් ගැලවෙන්න බැහැ.*
9 ඉර යට සිද්ධ වෙන හැම දෙයක් ගැනම මම හිතලා බැලුවාට පස්සේ මං දැක්කේ මේකයි. ඒ මුළු කාලය පුරාම මිනිසා තමන්ගේ බලය පාවිච්චි කරලා තියෙන්නේ අනිත් අයට හානියක්* වෙන විදිහටයි.+ 10 ශුද්ධස්ථානයට* ආව ගිය දුෂ්ටයන්ගේ මරණය මම දැක්කා. එයාලා දුෂ්ට වැඩ කරපු නගරයේ අයට එයාලව ඉක්මනින්ම අමතක වෙලා ගිය විදිහත් මං දැක්කා.+ ඒකත් කිසි තේරුමක් නැති දෙයක්.
11 වරදකට නියම කරපු දඬුවම ඉක්මනින් ක්‍රියාත්මක කළේ නැති වුණාම+ මිනිස්සු කිසි බයක් නැතුව වැරදි දේ කරන්න පෙලඹෙනවා.+ 12 පව්කාරයෙක් සිය පාරක් වැරදි කරලා ගොඩක් කල් ජීවත් වුණත් සැබෑ දෙවියන් ගැන ගරුබියක් තියෙන අයට අන්තිමේදී යහපතක් වෙනවා කියලා මං දන්නවා. මොකද එයාලට ඇත්තටම දෙවියන් ගැන ගරුබියක් තියෙනවා.+ 13 ඒත් දුෂ්ටයාට නම් කිසිම යහපතක් වෙන්නේ නැහැ.+ හෙවණැල්ලක් වගේ නැති වෙලා යන එයාගේ ජීවිතේ දික් කරගන්න එයාට බැහැ.+ මොකද එයාට දෙවියන් ගැන ගරුබියක් නැහැ.
14 පොළොවේ සිද්ධ වෙන කිසි තේරුමක් නැති* තවත් දෙයක් මං දැක්කා. සමහර ධර්මිෂ්ඨ අයව සලකන්නේ දුෂ්ට දේවල් කරපු අය විදිහට.+ අනිත් අතට දුෂ්ට අයව සලකන්නේ හොඳ දේවල් කරපු අය විදිහටයි.+ ඒකත් කිසි තේරුමක් නැති දෙයක් කියලා මම කියනවා.
15 සතුටු වෙන්න කියලා මම අනිත් අයට කිව්වා.+ මොකද මිනිසෙක් කාලා බීලා සතුටින් ඉන්න එක තරම් හොඳ දෙයක් ඉර යට තවත් නැහැ. සැබෑ දෙවියන් කෙනෙක්ට ඉර යට ජීවත් වෙන්න දීලා තියෙන කාලය පුරාම එයා මහන්සි වෙලා වැඩ කරන ගමන් කාලා බීලා සතුටින් ඉන්න ඕනේ.+
16 ප්‍රඥාවන්තව වැඩ කරන්නත් පොළොවේ සිද්ධ වෙන හැම දෙයක් ගැනම හොයලා බලන්නත් මම උත්සාහ කළා.+ රෑ දවල් දෙකේ නින්දක් නැතුව මම ඒ දේ කළා.* 17 මම සැබෑ දෙවියන් කරලා තියෙන හැම දෙයක් ගැනම හිතලා බැලුවාට පස්සේ මට තේරුණා ඉර යට සිද්ධ වෙන දේවල් මිනිස්සුන්ට තේරුම්ගන්න බැහැ කියලා.+ මිනිස්සු කොච්චර උත්සාහ කළත් එයාලට ඒක කරන්න බැහැ. ඒ දේවල් තේරුම්ගන්න තමන්ට ප්‍රඥාව තියෙනවා කියලා මිනිස්සු කිව්වත් ඇත්තටම ඒක කරන්න එයාලට බැහැ.+
9 මම හැම දෙයක් ගැනම හොයලා බලලා මේ නිගමනයට ආවා. ධර්මිෂ්ඨයන් සහ ප්‍රඥාවන්තයන් ඉන්නේ සැබෑ දෙවියන්ගේ අතේ. එයාලා කරන දේවල් තියෙන්නෙත් ඔහුගේ අතේ.+ තමන්ට කලින් හිටපු අය අනිත් අයට කොච්චර ආදරේ කළාද කොච්චර වෛර කළාද කියලා මිනිස්සු දන්නේ නැහැ. 2 හැමෝටම අන්තිමේදී වෙන්නේ එකම දේ.+ ධර්මිෂ්ඨයාට වගේම දුෂ්ටයාටත්+ යහපත් සහ පවිත්‍ර කෙනාට වගේම අපවිත්‍ර කෙනාටත් පූජා ඔප්පු කරන කෙනාට වගේම පූජා ඔප්පු කරන්නේ නැති කෙනාටත් වෙන්නේ එකම දේ. යහපත් කෙනාට වෙන දේම තමයි පව්කාරයාට වෙන්නෙත්. දිවුරලා පොරොන්දුවක් දෙන කෙනාට වෙන දේම තමයි දිවුරලා පොරොන්දුවක් දෙන්න හදිස්සි වෙන්නේ නැති කෙනාටත් වෙන්නේ. 3 අන්තිමේදී හැමෝටම එකම දේ වෙන නිසා+ මිනිස්සුන්ගේ හිත නරක දේවලින් පිරිලා. ජීවිත කාලේ පුරාම එයාලා මෝඩ විදිහට හිතනවා. ඊටපස්සේ එයාලා මැරිලා යනවා. ඉර යට සිද්ධ වෙන ඒ දේ හරිම කනගාටුදායකයි.
4 ජීවත් වෙන අයට බලාපොරොත්තුවක් තියෙනවා. මැරුණ සිංහයෙක්ට වඩා පණපිටින් ඉන්න බල්ලෙක් හොඳයි.+ 5 ජීවත් වෙලා ඉන්න අය දන්නවා එයාලා කවදා හරි මැරෙනවා කියලා.+ ඒත් මැරුණ අය කිසිම දෙයක් දන්නේ නැහැ.+ එයාලට කිසිම දෙයක්* ලැබෙන්නේ නැහැ. මොකද එයාලා ගැන තියෙන මතකය නැති වෙලා යනවා.+ 6 එයාලාගේ ආදරයත් වෛරයත් ඊර්ෂ්‍යාවත් නැති වෙලා ගිහින්. ඉර යට කරන කිසිම දේකට එයාලා තවත් සම්බන්ධ වෙන්නේ නැහැ.+
7 සැබෑ දෙවියන් ඔයා කරන දේවල් ගැන සතුටු වෙන නිසා+ දැන් ගිහින් සතුටින් කෑම කන්න. සතුටින් වයින් බොන්න.+ 8 හැම වෙලේම ලස්සන* ඇඳුම්වලින් සැරසිලා ඉන්න. ඔළුවට තෙල් ගාන්න අමතක කරන්නත් එපා.+ 9 ඉර යට ජීවත් වෙන්න දෙවියන් ඔයාට දීලා තියෙන කෙටි ජීවිතය* පුරාම ඔයාගේ ආදරණීය බිරිඳ එක්ක සතුටින් කල් ගෙවන්න.+ කිසි තේරුමක් නැති ඔයාගේ ජීවිත කාලේ පුරාම එහෙම කරන්න. ඒක තමයි ඔයාගේ ජීවිත කාලේදී ඔයාට ලැබෙන තෑග්ග. ඉර යට ඔයා මහන්සි වෙලා කරන වැඩවලට ලැබෙන ආශීර්වාදය.+ 10 ඔයාට කරන්න පුළුවන් හැම දෙයක්ම ඔයාගේ මුළු උත්සාහයෙන්ම කරන්න. මොකද ඔයා යන මිනී වළේදී කිසිම වැඩක් කරන්නවත් කිසිම දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔයාට බැහැ. දැනුම සහ ප්‍රඥාව ලබාගන්නත් බැහැ.+
11 ඉර යට සිද්ධ වෙන තවත් දෙයක් මම දැක්කා. වේගවත්ම අය හැම වෙලේම තරඟය දිනන්නේ නැහැ. බලවත් අය හැම වෙලේම සටනින් ජය ගන්නේ නැහැ.+ ප්‍රඥාවන්ත අයට හැම වෙලේම කෑම ලැබෙන්නේ නැහැ. බුද්ධිමත් අය ළඟ හැම වෙලේම ධන සම්පත් තියෙන්නේ නැහැ.+ දැනුම තියෙන අය හැම වෙලේම සාර්ථක වෙන්නෙත් නැහැ.+ මොකද නොහිතන වෙලාවක බලාපොරොත්තු නොවුණ දේවල් ඕනෙම කෙනෙක්ට වෙන්න පුළුවන්. 12 තමන් මැරෙන වෙලාව කිසිම මනුස්සයෙක් දන්නේ නැහැ.+ හදිස්සියේ දැලකට අහු වෙන මාළුවන් වගෙත් උගුලකට අහු වෙන කුරුල්ලන් වගෙත් නොහිතන වෙලාවක මිනිස්සු විපතකට අහු වෙනවා.
13 ඉර යට සිද්ධ වෙන දේවල් දැක්කාම ප්‍රඥාව ගැන මට තවත් දෙයක් තේරුණා. ඒක මගේ හිතට තදින් වැදුණා. 14 පුරුෂයන් ටිකදෙනෙක් හිටපු පොඩි නගරයක් තිබුණා. බලවත් රජ කෙනෙක් ඒ නගරයට විරුද්ධව ඇවිත් ඒක වටලලා ඒක වටේට බැම්මක් හැදුවා. 15 ඒ නගරේ හිටියා දුප්පත් ඒත් ප්‍රඥාවන්ත මනුස්සයෙක්. එයා ඥානවන්තව වැඩ කරලා නගරේ බේරගත්තා. ඒත් හැමෝටම ඒ දුප්පත් මනුස්සයාව අමතක වෙලා ගියා.+ 16 ඉතින් මම මටම මෙහෙම කියාගත්තා. “බලයට වඩා ප්‍රඥාව හොඳයි.+ ඒත් දුප්පත් කෙනෙක්ට තියෙන ප්‍රඥාව කවුරුත් ගණන් ගන්නේ නැහැ. එයා කියන දේවල් කිසිම කෙනෙක් අහන්නෙත් නැහැ.”+
17 මෝඩයන් අතරේ කෑගහන පාලකයෙක්ට සවන් දෙනවාට වඩා ප්‍රඥාවන්තයෙක් සන්සුන්ව දෙන උපදෙස්වලට ඇහුම්කන් දෙන එක හොඳයි.
18 අවිආයුධවලට වඩා ප්‍රඥාව ගොඩක් වටිනවා. ඒත් වැරදි වැඩ කරන එක් කෙනෙක්ට පුළුවන් හැම යහපත් දෙයක්ම විනාශ කරලා දාන්න.+
10 මළ මැස්සන් නිසා සුවඳ තෛලයක් නාස්ති වෙලා ගඳ ගහන්න පටන්ගන්නවා. ගෞරවය දිනාගත්ත ඥානවන්තයෙක්ගේ අතින් වෙන පොඩි මෝඩකමක් නිසා එයාගේ හොඳ නම නැති වෙලා යනවා.+
2 ප්‍රඥාවන්තයාගේ හිත එයාට හරි පාර පෙන්නලා දෙනවා. ඒත් මෝඩයාගේ හිත එයාට පෙන්නලා දෙන්නේ වැරදි පාර.+ 3 මෝඩයා මොන දේ කළත් එයාගේ මෝඩකම* හොඳට පේනවා.+ එයා කොච්චර මෝඩද කියලා හැමෝම ඉස්සරහා ප්‍රදර්ශනය කරනවා.+
4 පාලකයෙක් ඔයාත් එක්ක කේන්ති ගත්තොත් ඔයා ඉන්න තැනින් අයින් වෙලා යන්න එපා.+ මොකද සන්සුන්ව ඉන්න එකෙන් බරපතළ වැරදි වෙන එක අඩු කරගන්න පුළුවන්.+
5 ඉර යට සිද්ධ වෙන කනගාටුදායක දෙයක් මම දැක්කා. ඒක සාමාන්‍යයෙන් බලතල තියෙන අය අතින් වෙන වරදක්.+ 6 උසස් තනතුරුවල වැඩිපුර ඉන්නේ මෝඩයෝ. ඒත් දක්ෂ* අය ඉන්නේ පහත් තනතුරුවල.
7 සේවකයන් අශ්වයන් පිටේ නැඟලා යනවාත් අධිපතීන් සේවකයන් වගේ පයින් යනවාත් මම දැකලා තියෙනවා.+
8 වළක් හාරන කෙනා ඒ වළටම වැටෙන්න පුළුවන්.+ ගල් පවුරක් කඩලා දාන කෙනාට සර්පයෙක් දෂ්ට කරන්න පුළුවන්.
9 ගල් කඩන කෙනාට ඒ ගල්වලින් හානියක් වෙන්න පුළුවන්. දර පළන කෙනාටත් දර කෑලි වැදිලා අනතුරක් වෙන්න පුළුවන්.*
10 මොට්ට යකඩ ආයුධයක් මුවහත් කරන්නේ නැතුව පාවිච්චි කරද්දී ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඒත් ප්‍රඥාවන්තව වැඩ කරනවා නම් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
11 නයාව නටවන්න කලින් ඌ දෂ්ට කළොත් නයි නටවන කෙනාගේ දක්ෂතාවෙන් කිසිම වැඩක් නැහැ.
12 ප්‍රඥාවන්තයා කියන දේවල්වලින් හිත් දිනාගන්නවා.+ ඒත් මෝඩයා කියන දේවල් එයාටම විනාශයක් ගේනවා.+ 13 එයා කට ඇරලා කියන මුල් වචන ටිකම මෝඩයි.+ එයා අන්තිමට කියන්නෙත් ලොකු විනාශයකට අත වනන විකාර කතා. 14 ඒත් මෝඩයා කියවන එක නම් නවත්තන්නේ නැහැ.+
ඉස්සරහට වෙන්නේ මොනවාද කියලා මිනිසෙක් දන්නේ නැහැ. කෙනෙක් නැති වුණාට පස්සේ වෙන දේවල් ගැන එයාට කියන්න පුළුවන් කාටද?+
15 මෝඩයා මහන්සි වෙලා වැඩ කළත් එයා හෙම්බත් වෙනවා. අඩුම තරමේ නගරයට යන්නේ කොහොමද කියලවත් එයාට හොයාගන්න බැහැ.
16 රජ පොඩි දරුවෙක් නම් දේශයට මොකක් වෙයිද?+ අධිපතීන් උදේම කාලා බීලා සතුටු වෙන්න පටන්ගත්තොත් තත්වය කොච්චර දරුණුද! 17 ඒත් රජ වංශවත් කෙනෙක්ගේ පුතෙක් නම් දේශයට කොච්චර හොඳක් වෙයිද! අධිපතීන් බේබදුකම නිසා නෙමෙයි ශක්තිය ලබාගන්න ඕනෙ නිසා වෙලාවට කන අය නම් දේශයේ ඉන්න අයට කොච්චර සතුටින් ඉන්න පුළුවන් වෙයිද!+
18 කම්මැළි කෙනෙක්ගේ වහලේ පරාල කැඩිලා බිමට පහත් වෙයි. එයා අත් දෙක බැඳගෙන බලාගෙන හිටියොත් ගේ තෙමෙයි.+
19 කෑම* පිළියෙල කරන්නේ හිත සතුටු කරන්නයි. වයින්වලින් ජීවිතයට සතුටක් ගේනවා.+ ඒත් සල්ලිවලින් හැම අවශ්‍යතාවක්ම පිරිමහගන්න පුළුවන්.+
20 ඔයාගේ හිතින්වත්* රජට ශාප කරන්න එපා.+ නිදන කාමරේ ඉද්දී ධනවතෙක්ට ශාප කරන්න එපා. මොකද කුරුල්ලෙක්ට ඒක ඇහිලා ඒක දැනුම් දෙයි. තටු තියෙන පුංචි සතෙක්ට ඒක ඇහිලා ඌ ඒක ගිහින් කියයි.
11 ඔයාගේ කෑම වතුරට දාන්න.*+ දවස් ගාණකට පස්සේ ඔයාට ඒවා ආපහු හම්බ වෙයි.+ 2 ඔයාට තියෙන දෙයින් කොටසක් හත්දෙනෙක්ට, අටදෙනෙක්ට වුණත් දෙන්න.+ මොකද ඉස්සරහට පොළොවේ මොන වගේ විපතක්* වෙයිද කියලා ඔයා දන්නේ නැහැ.
3 වලාකුළු වතුරෙන් බර වෙලා නම් පොළොවට වැස්ස ඇද හැලෙනවා. ගහක් දකුණු පැත්තට හරි උතුරු පැත්තට හරි වැටෙන්න යනවා නම් ඒක වැටෙන පැත්ත වෙනස් කරන්න බැහැ.
4 හුළඟ දිහා බලාගෙන ඉන්න කෙනා වපුරන්නේ නැහැ. වලාකුළු දිහා බලාගෙන ඉන්න කෙනා අස්වැන්න නෙළාගන්නේ නැහැ.+
5 මව්කුසේ ඉන්න බිලිඳෙක්ගේ වර්ධනයට ජීව බලය* උදව් වෙන විදිහ ඔයා දන්නේ නැහැ වගේ+ හැම දෙයක්ම කරන සැබෑ දෙවියන් වැඩ කරන්නේ කොහොමද කියලත් ඔයා දන්නේ නැහැ.+
6 උදෑසනම ඔයා ළඟ තියෙන බීජ වපුරන්න. හවස් වෙන කල්ම විවේක ගන්න එපා.+ මොකද කොයි එක පැළ වෙයිද කියලා ඔයා දන්නේ නැහැ. ඒක පැළ වෙයිද මේක පැළ වෙයිද නැත්නම් දෙකම පැළ වෙයිද කියලා ඔයා දන්නේ නැහැ.
7 ආලෝකය අපිව ප්‍රාණවත් කරනවා. හිරු එළිය දකින්න ලැබෙන එක හොඳ දෙයක්. 8 මිනිසෙක්ට අවුරුදු ගාණක් ජීවත් වෙන්න ලැබෙනවා නම් එයා ඒ හැම දවසක්ම සතුටින් ගත කරන්න ඕනේ.+ හැබැයි අඳුරු දවස් ගොඩක් තියෙන්න පුළුවන් කියලත් එයා මතක තියාගන්න ඕනේ. ඉදිරියේදී එන ඒ හැම දවසක්ම කිසි තේරුමක් නැති දවස්.+
9 තරුණයෙනි, යෞවන කාලය සතුටින් ගත කරන්න. තරුණ වයසේ ඉද්දී ජීවිතේ සතුටින් ගත කරන්න. ඔයාගේ හිතේ ආශාවන් ඉටු කරගන්න. ඔයාට හරියි කියලා පේන දේ කරන්න. ඒත් ඔයා කරන ඒ හැම දෙයක් ගැනම සැබෑ දෙවියන්ට වග කියන්න ඕනෙ* කියලා මතක තියාගන්න.+ 10 ඔයාගේ හිතට දුකක් ගේන දේවලින් වැළකෙන්න. ඔයාගේ ශරීරයට හානියක් වෙන දේවලින් ආරක්ෂා වෙන්න. මොකද තරුණ කාලෙනුත් තරුණ ශක්තියෙනුත් කිසි තේරුමක් නැහැ.+
12 තරුණයෙනි, තරුණ කාලේදී ඔයාගේ ශ්‍රේෂ්ඨ නිර්මාතෘව සිහි කරන්න.+ දුෂ්කර දවස් එන්න කලින්+ “මට ජීවිතෙන් කිසි සතුටක් නැහැ” කියලා කියන දවස් එන්න කලින් එහෙම කරන්න. 2 ඉර, හඳ සහ තරු අඳුරු වෙන්න කලින්,+ වැස්සකින් පස්සේ ආයෙත් වැහි වලාකුළු එන්න කලින්* එහෙම කරන්න. 3 එදාට ගෙදර මුරකරුවෝ වෙවුලයි. ශක්තිමත් පුරුෂයන්ට කෙළින් හිටගන්න බැරි වෙයි. අඹරන ස්ත්‍රීන්ගේ ගාණ අඩු වෙන නිසා අඹරන වැඩ නවතියි. ජනේලයෙන් එළිය බලන කාන්තාවන්ට හැම දෙයක්ම අඳුරු වෙලා පෙනෙයි.+ 4 පාරට විවෘත වෙන දොරවල් වැහිලා තියෙයි. ඇඹරුම් ගලේ ශබ්දය අඩු වෙලා යයි. එදාට කුරුල්ලෙක්ගේ ශබ්දයට පවා ඔයා ඇහැරෙයි. ගායිකාවන්ගේ ගී හඬ ඇහෙන්නේ නැති තරම්.+ 5 ඔයා ඉහළ තැන්වලට බය වෙයි. පාරට බහින්නත් බය වෙයි. ආමන්ඩ් ගහේ මල් පිපෙයි.+ තණකොළ පෙත්තා ගාටගාට ඇවිදියි. කෑම රුචියත් නැති වෙයි.* මොකද සෑහෙන කාලයක් පුරා විවේක ගන්න තැනට මිනිසා ඇවිදගෙන යනවා.+ වැලපෙන අය පාරවල් දිගේ ඇවිදගෙන යනවා.+ 6 රිදී ලණුව ලිහිලා යන්නත් රන් භාජනය කුඩු වෙන්නත් දිය උල්පත ළඟ තියෙන බඳුන බිඳෙන්නත් ළිඳෙන් වතුර අදින බොලොක්කය කැඩෙන්නත් කලින් ඔයාගේ නිර්මාතෘව සිහි කරන්න. 7 දූවිල්ලෙන් ආපු මිනිසා ආපහු දූවිල්ලටම හැරිලා යනවා.+ ජීවන හුස්ම* ඒක ලබා දුන්න සැබෑ දෙවියන් ළඟට යනවා.+
8 “කිසිම දේකින් පලක් නැහැ” කියලා උපදේශකයා+ කියනවා. “හැම දෙයක්ම නිෂ්ඵලයි.”+
9 උපදේශකයා ප්‍රඥාවන්ත කෙනෙක් වුණා විතරක් නෙමෙයි එයා දන්න දේවල් දිගටම මිනිස්සුන්ට කියලා දුන්නා.+ එයා කාරණා ගැන හොඳට හිතලා බැලුවා. හැම දෙයක් ගැනම ගැඹුරට හොයලා බැලුවා. එහෙම කළේ හිතෝපදේශ ගණනාවක් හරි පිළිවෙළට සකස් කරන්නයි.+ 10 උපදේශකයා ප්‍රිය වචන+ හොයන්නත් නිවැරදි වගේම සත්‍ය වචන වාර්තා කරන්නත් උත්සාහ කළා.
11 ප්‍රඥාවන්තයන්ගේ වචන කෙවිටක් වගේ.+ එකතු කරලා තියෙන එයාලාගේ වදන් හොඳට සවි කරපු ඇණ වගේ. ඒවා ලැබුණේ එක එඬේරෙක්ගෙන්. 12 මගේ පුතේ, ඒ දේවලට අමතරව ලියලා තියෙන දේවල් ගැන මම දෙන මේ අවවාදය හිතට ගන්න. පොත් පත් ලියන එකට කෙළවරක් නැහැ. ඒවා අධ්‍යයනය කරන්න කැප වෙන එකෙන් වෙන්නේ වෙහෙසක් දැනෙන එක විතරයි.+
13 හැම දෙයක්ම ඇහුවාට පස්සේ මගේ නිගමනය මේකයි. සැබෑ දෙවියන්ට ගරුබිය දක්වන්න.+ ඔහුගේ ආඥා පිළිපදින්න.+ මිනිසෙක් කරන්න ඕනෙ වැදගත්ම දේ ඒකයි.+ 14 මොකද සැබෑ දෙවියන් මිනිස්සු කරන හැම දෙයක්ම, සැඟවිලා තියෙන දේවල් පවා විනිශ්චය කරනවා. ඒවා හොඳද නරකද කියලා ඔහු විනිශ්චය කරනවා.+
හෝ, “සෙනඟව එක් රැස් කරන කෙනාගේ; කැඳවන කෙනාගේ.”
හෝ, “පිස්සු වැඩ.”
හෝ, “කිසිම දේකින් නියම ප්‍රයෝජනයක් නැහැ.”
මූ.අ., “උඩ පැනපැන නටන්න.”
හෝ, “පිළිවෙළට.”
හෝ සමහරවිට, “මිනිස්සුන්ට නැති වෙලා ගිය දේ.”
හෝ, “ජීව බලය.”
හෝ, “වැඩියෙන් ප්‍රයෝජන ලැබෙනවා.”
සමහරවිට මේකෙන් අදහස් කරන්නේ ප්‍රඥාවන්ත දරුවා ගැන වෙන්න ඇති.
හෝ, “ගොඩක් දේවල් ගැන වධ වෙද්දී.”
හෝ, “එයාට දවල් හීන පේනවා.”
හෝ, “පණිවිඩකරු.”
හෝ, “දවල් හීන පේන්න.”
හෝ, “මිනී වළට යන්න කලින්.”
මූ.අ., “වැඩි විවේකයක් ලැබිලා තියෙනවා.”
හෝ, “වාද කරන්න.”
හෝ සමහරවිට, “දේවල් වැඩි වෙද්දී තේරුමක් නැති දේවලුත් වැඩි වෙනවා.”
හෝ, “හොඳ නමක් දිනාගන්න එක.”
හෝ, “විනෝද වෙන්න තියෙන තැන.”
මූ.අ., “ගීතයකට.”
හෝ, “හිත රිද්දවගන්න.”
හෝ සමහරවිට, “අමනාප වෙන එක මෝඩයෙක්ගේ ලක්ෂණයක්.”
හෝ, “කිසි තේරුමක් නැති ජීවිතේදී.”
මූ.අ., “ඔයාට ශාප කරනවා.”
හෝ, “ජීවන හුස්ම.”
හෝ සමහරවිට, “දුෂ්ටයාව ගලවගන්න එයා කරන දුෂ්ටකම්වලට බැහැ.”
හෝ, “හිංසාවක්; පාඩුවක්.”
පේන විදිහට මෙතන කතා කරන්නේ යෙරුසලම සහ දේවමාලිගාව ගැනයි.
හෝ, “ලොකු කලකිරීමක් ඇති කරන.”
හෝ සමහරවිට, “මිනිස්සු රෑ දවල් නිදාගන්නේ නැතුව කරන දේවල් ගැන දැනගන්නත් මම උත්සාහ කළා.”
හෝ, “කුලියක්.”
මූ.අ., “සුදු.” ඒ කියන්නේ මළ ගෙදරකට අඳින ඇඳුම් නෙමෙයි. ඒ වෙනුවට කෙනෙක් සතුටින් ඉද්දී අඳින දීප්තිමත් පාට තියෙන ඇඳුම්.
හෝ, “කිසි තේරුමක් නැති ජීවිතය.”
ඒ කියන්නේ එයාට හිතලා මතලා වැඩ කරන්නවත් හොඳ තීරණ ගන්නවත් බැහැ කියලා.
මූ.අ., “පොහොසත්.”
හෝ සමහරවිට, “දර පළන කෙනාත් පරෙස්සම් වෙන්න ඕනේ.”
මූ.අ., “රොටි.”
හෝ සමහරවිට, “ඔයා ඇඳේ ඉද්දී.”
හෝ, “වතුරේ පා කරලා යවන්න.”
හෝ, “ආපදාවක්.”
මේකෙන් දෙවියන්ගේ බලයත් අදහස් වෙන්න පුළුවන්.
හෝ, “සැබෑ දෙවියන් ඔයාව විනිශ්චය කරයි.”
හෝ සමහරවිට, “වලාකුළු ආපහු වැස්ස අරගෙන එන්න කලින්.”
මූ.අ., “කේප බෙරි පැළිලා යයි.” ඒකෙන් අදහස් කරන්නේ කෑම රුචිය ඇති කරන මේ ගෙඩි වර්ගයෙන් වැඩක් වෙන්නේ නැහැ කියලා.
හෝ, “ජීව බලය.”