දකුණු ආසියාවේ ජීවිත අභියෝග ජය ගැනීම
මට නැවත සෙමින් සෙමින් සිහිය එන විට, මගේ වම් පාදය පුදුම විධියට හිරි වැටී තිබුණු බව මට දැනුණා. මම මගේ හිස හැරෙව්වා. මගේ දයාබර හෙන්රිගේ ජීවිතය කාටත් හොරා පහවෙමින් තිබුණා. එනමුත්, එය බලාපොරොත්තු අත්හැර දැමීමට අවස්ථාවක්ව තිබුණේ නෑ. මට සටනක යෙදෙන්නට සිදුවුණා—එනම් අපට බොහෝදේ දී ඇති දෙවියන්වහන්සේට මගේ අඛණ්ඩතාවය පවත්වා ගැනීම සඳහා සටන් කිරීමට සිදුවුණා.
එදින 1982 මැයි 17වනදායි. ශ්‍රී ලංකාවේ, දෙමළ භාෂාව කථා කරන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභා වෙනුවෙන් මගේ ස්වාමිපුරුෂයා සංචාරක අවේක්ෂකයෙකුව සිටියා. අප සේවය කරමින් සිටියේ විශාලම නගරය වන කොළඹින් ඉතා ඈත්ව පිහිටි සභාවකයි. මෙම රටේ බොහෝ දෙනෙකු කරන ආකාරයට, එක පාපැදියක ගමන් කරමින් සිටි අපට සෙසු සාක්ෂිකරුවෙකු බැහැදැකීමට යාම සඳහා තිබුණේ කෙටි දුරක් පමණයි. එවිට, කොහෙන්දෝ මතුවුණු නයෙකු මෙන් ට්‍රක් රථයක් පැමිණ අපව හැප්පුවා.
වෛද්‍යවරුන් හෙන්රිගේ ජීවිතය බේරීමේ බලාපොරොත්තුව අත්හැරීමත් සමඟම, ඔවුන් සිය සම්පූර්ණ අවධානය මා වෙත යොමු කළා. මා කෙතරම් දුර්වලව සිටියත්, රුධිරයෙන් වළකින්න යන යෙහෝවඃවහන්සේගේ නීතියට ගරු කිරීම සඳහා වූ මගේ අධිෂ්ඨානය ඔවුනට දැන්වීමේ අවශ්‍යතාවයෙන් මගේ හෘදය පිරුණා. (ක්‍රියා 15:28, 29) මා ඔවුන්ට දැන්විය යුතුමයි. මට කථා කිරීමට තිබුණු සුළු ශක්තියෙන් මම වචන කීපයක් අමුණා ගත්තා: “කරුණාකරලා මට කොළ කෑල්ලක් දෙන්න.” මම මහත් පරිශ්‍රමයක් යොදා මගේ විශ්වාසයන් ලියා, කොළය අත්සන් කළා. එවිට සටන ඇරඹුණා.
මට ප්‍රථමාධාර දී තිබුණා. මා ඉතා දරුණු ලෙස තුවාල ලැබ සිටි බව අමුතුවෙන් කිව යුතු නෑ. සැබෑ ක්‍රිස්තියානියෙකු වශයෙන් ක්‍රියා කිරීමට තිබූ මගේ අධිෂ්ඨානය මා තුළ පිරී තිබුණා—මෙය දුක්වෙමින් සිටිය යුතු අවස්ථාවක්ව තිබුණේ නෑ.
ඔවුන් රුධිරය නොමැතිව ශල්‍යකර්මය කිරීමට ප්‍රතික්ෂේප කළා
රුධිර ප්‍රවේශනයක් සම්බන්ධයෙන් සටන දවස් නවයක් පුරා පැවතුණා—එය ප්‍රතික්ෂේප කිරීමෙන් මගේ හෘදය සාක්ෂියට එකඟව ජීවත්වීමට මම සටන් කළා, එය පිළිගන්න යයි මට ඒත්තු ගැන්වීම සඳහා වෛද්‍යවරු සටන් කළා. ඔවුනට දක්ෂතාවයන් තිබුණත්, රුධිරය නොමැතිව ශල්‍යකර්මය කිරීමට ඔවුන් ප්‍රතික්ෂේප කළා. තුවාලය ඉතා බරපතළ එකක් වූ බැවින් ඔවුන්ගේ ක්ෂණික අවධානය අවශ්‍යව තිබුණා.
එහෙත් මට තනිවම සටන් කිරීමට සිදු වී තිබුණේ නෑ. යෙහෝවඃවහන්සේ සෑම මොහොතකම මා සමඟ සිටියා. එමෙන්ම යෙහෝවඃවහන්සේගේ සෙනඟගේ සහෝදරත්වය ප්‍රේමනීය සැලකිල්ලෙන් පිරී තිබුණා. කොළඹ තිබුණේ සැතපුම් 250ක ඈතකින්. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් වූ වෛද්‍ය පෙරින් ජයසේකර, කොළඹ මහ රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකු වන සිය බාල සහෝදරයා ලවා මාව එයට ඇතුළත් කිරීමට කටයුතු පිළියෙළ කළා.
රළු මාර්ගවලින් වෑන් රථයේ පැය 24කට ආසන්න කාලයක් ගත කළ එම ගමන මගේ ජීවිතයේ දීර්ඝතම ගමන මෙන් පෙනෙන්නට තිබුණා. එහෙත්, මගේ මව් රටේදී මා ප්‍රථමයෙන්ම සත්‍යය ඉගෙන ගත්දා පටන් තිබුණා වාගේම, මගේ හෘදය යෙහෝවඃවහන්සේගේ ප්‍රේමනීය සැලකිල්ල වෙනුවෙන් කෘතගුණයෙන් පිරී තිබුණා. කෙසේවුවත්, මගේම කිසිවෙකු මෙවිට මා අසළ සිටියේ නෑ. එහෙත් මා ශ්‍රී ලංකාවට පැමිණීමට මූලික හේතුව වුණේ කුමක්ද?
මා ඉපදුණේ ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ රෝමානු කතෝලික දෙමව්පියන්ටයි. අප කථා කළේ මලයාලම් භාෂාවයි. ඉංග්‍රීසි, පාසල් විෂයක්ව තිබුණා. එය හොඳින් ඉගෙන ගැනීමට මා අවස්ථාව යොදාගැනීම ගැන මා කොතරම් සතුටු වෙනවාද! ඉන්දියාවේ එම කොටසේ ක්‍රිස්තියානින් යයි කියන ඉමහත් සෙනඟක් ඉන්නවා. පළමුවෙනි ශතවර්ෂයේදී කේරල වෙත කිතු දහම ගෙන ආවේ ප්‍රේරිත තෝමස් කියලයි සම්ප්‍රදායන් කියන්නේ. කෙසේනමුත්, වර්ෂ 1400කට වැඩි කලකට පසුව, වස්කෝ ද ගාමා ප්රමුඛ රෝමානු කතෝලික ජනපද වාසීන් කේරලට පැමිණි විට, එහි බොහෝ දෙනෙකු ඒ වන විටත් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා දැකීමෙන් පුදුමයට පත්වුණා.
අභියෝගාත්මක තීරණ ගැනීමට සිදු වී
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ උපකාරයෙන් ඥානාලෝකය ගෙනෙන සත්‍යයන් බයිබලයෙන් ඉගෙනීමට මගේ පවුල පටන් ගත් විට, මගේ ඉමහත් ආශාව වුණේ සමාජයේ ක්‍රිස්තියානින් යයි කියා ගන්නා අය සමඟ මෙම සත්‍යය බෙදා ගැනීමටයි. එනිසා මගේ කැපවීමෙන් හා බව්තීස්මයෙන් ටික කලකට පසු, මා පුරෝගාමියක, එනම් පූර්ණ-කාලීන දේව සේවිකාවක බවට පත්වුණා. මෙයින් අදහස් වුණේ මාගේම ප්‍රාන්තයේ ගුරුවරියක වීමට පිරිනමන ලද විශිෂ්ට තත්ත්වයක් ප්‍රතික්ෂේප කිරීමට සිදුවීමයි. බොහෝ යෞවන ඉන්දියානුවන්ගේ ඉලක්කය වන්නේ සුරක්ෂිත යයි පෙනෙන්ට තිබෙන එවන් විශ්‍රාම වැටුප් ලබන තත්ත්වයක් ඇතිව සිටීමට වූ නමුත් මගේ ජීවිතයේ අරමුණ වෙනස් වී තිබුණා. මට සැබෑ සුරක්ෂිතය අවශ්‍ය වූ අතර, එය සොයා ගත හැකිව තිබුණේ යෙහෝවඃවහන්සේගේ සුරක්ෂිත හස්තය යටතේ පමණයි.
වර්ෂ දෙකකට පසු, අලුත් අභියෝගයක්. දේශනාකරුවන්ගේ ඉමහත් අවශ්‍යතාවයක් තිබූ ඉන්දියාවේ වෙනත් කොටසකට උපකාර කිරීම සඳහා යාමට මා කැමැත්තෙන් සිටිනවාද? එය අලුත් භාෂාවක්, එනම් දෙමළ භාෂාව ඉගෙනීමේ සහ මේ අවස්ථාවේදී ඉතා වෙනස් ආගමික පසුබිමක් තිබෙන හින්දු භක්තිකයන්ට උපකාර කිරීමේ අභියෝගය ඉදිරිපත් කළා. එසේය, යෙහෝවඃවහන්සේට මගේ අගය දැක්වීම සඳහා වූ ප්‍රස්තාව, සියලු වෙනස් කිරීම් ඵලදායි වීමට සැලසුවා. හින්දු පසුබිමක සිටි එම උණුසුම්, මිත්‍රශීලී ජනයාට සාක්ෂි දැරීම ඇත්තෙන්ම ප්‍රීතියක් වුණා. අප කලි යුගයේ (දුෂ්ට යුගයේ) අවසානයට ළඟා වෙමින් සිටින බවත්, දැන් ධර්මිෂ්ඨව ක්‍රියා කරන අය සඳහා මීට වඩා හොඳ දෙයක් ඉදිරියේ තිබෙන බවත් ඔවුනට පහසුවෙන්ම පිළිගත හැකි වුණා. කෙසේවුවද, සැබෑ ක්‍රිස්තියානි ධර්මය සහ බටහිරෙන් ඔවුන්ට ලැබී තිබුණු ක්‍රිස්තියානි ධර්මය අතර වෙනස දැකීමට ඔවුනට උපකාර කිරීම මහත් අභියෝගයක්ව තිබුණා. කොතරම් වාරයක් මම මගේ බයිබලය මතෙව් 7:21-23ට පෙරලුවාද: “ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය. ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකීයෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත. එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් [නොපනත්කම්, NW ] කරන්නෙනි, මා කෙරෙන් අහක්ව පලයල්ලායයි ඔවුන්ට කියන්නෙමි.” මොහන්දාස් ගාන්ධි මේ ගැන හොඳින් පවසා තිබෙනවා: ‘මා ක්‍රිස්තුස්වහන්සේට ප්‍රේම කරනවා, නමුත් ක්‍රිස්තුස්වහන්සේ ජීවත් වූ ආකාරයට ක්‍රිස්තියානින් ජීවත් නොවන නිසා මා ඔවුන්ව හෙලා දකිනවා.’
එම ප්රකාශනයේ මහත් සැබෑවක් තිබෙන බව මා සොයා ගෙන තිබෙනවා වාගේම බොහෝ හින්දු භක්තිකයන්ද සොයා ගනිමින් සිටිනවා. ඔවුන්ගේ බොහෝ සෙසු හින්දු භක්තිකයන්, කුහක ලෙස ක්‍රිස්තියානින් යයි කියා ගන්නා බටහිර අයට වඩා එතරම් වෙනස් නොවන බවද ඔවුන් දැන් නිරීක්ෂණය කරමින් සිටිනවා. එහෙත් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ඊට වඩා බෙහෙවින් වෙනස් අයයි. දහස් ගණන් හින්දු භක්තිකයන්ට එය වැටහෙන්නට පටන් ගෙන තිබෙනවා.
අලුත් සහකරුවෙක්, අඛණ්ඩතාවයේ නව පරීක්ෂණයක්
වර්ෂ දෙකහමාරක් ගත වුණා. වර්ෂ 1963දී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ “එවර්ලාස්ටිං ගුඩ් නිව්ස් (සදාකල් ශුභාරංචිය)” නමැති එක්රැස්වීම ලොව පුරා පැවැත්වෙමින් තිබුණා. ඉන් එකක් පැවැත්වූයේ රටේ උතුරෙහි පිහිටි නව දිල්ලියෙහියි. කෙතරම් අමතක නොවන සමුළුවක්ද! එහිදී මට හෙන්රි ඒබ්‍රහැම් මුණගැසුණා. අප දෙදෙනාම සිටියේ යෙහෝවඃවහන්සේට කැප කරන ලද අපගේ ජීවිත හවුලේ බෙදා ගැනීමට කෙනෙකු සොයමින්. මාස පහකට පසු අප විවාහ වුණා.
නිව් යෝර්ක්වල වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් පාසලේ පුහුණුව ලබා සිටි ඔහුව, වැඩි අවශ්‍යතාවයක් තිබූ ඔහුගේම ජන්ම භූමිය වන ශ්‍රී ලංකාවට යවා තිබුණා. ඉන්දියාවේ වඩාත් වැඩි අවශ්‍යතාවයක් තිබෙනවා යයි මට හැඟුණු නිසා මා බලාපොරොත්තු වුණේ ඔහු ඉන්දියාවට ඒමට කැමති වෙයි කියායි. එහෙත් එය එසේ සිදුවුණේ නෑ. ඔහු සිටි තැනට ඔහුව අවශ්‍යව තිබුණා. මෙනිසා මෙම සුන්දර ශ්‍රී ලංකාව මගේ නිවස බවට පත්වුණා. මෙහිදී දෙමළ සහ ඉංග්‍රීසි ඉතා ප්රයෝජනවත්වීම සතුටට කරුණක්. එනිසා ඒ වන විට මට වෙනත් භාෂාවක් ඉගෙනීමට අවශ්‍යව තිබුණේ නෑ. ට්‍රක් රථය වේගයෙන් පැමිණ එම ඛේදවාචකය සිදුවීමට පෙර අප යෙහෝවඃවහන්සේගේ සේවයෙහි සන්තෝෂවත් වර්ෂ 18ක් එකට භුක්තිවින්දා.
එහෙත් මේ වන විට මා සිටියේ කොළඹ, රුධිර ප්‍රවේශනයකින් මගේ අඛණ්ඩතාවය පාවා නොදී ජීවත්වීම සඳහා මගේ සටන දිගටම පැවතුණා. රුධිරය සම්බන්ධයෙන් වූ මගේ ස්ථාවරය නිසා නොව, නමුත් ප්‍රතිකාරය ප්‍රමාද වීමේ හේතුවෙන් එවිට මගේ ජීවිතය උපද්‍රවයකට භාජනය වී තිබුණා.
බෞද්ධ පසුබිමකින් යුත් විකලාංග ශල්යවේද විශේෂඥයෙක් හා හින්දු පසුබිමකින් යුත් සන්ධ්යස්ථික ශල්‍ය විශේෂඥයෙක් මා වෙනුවෙන් ඔවුන්ගේ දක්ෂතාවයන් පිරිනැමීමට හවුල් වුණා. මගේ රුධිරාණු ගිණුම (හීමොග්ලෝබින්) මේ වන විට හතරට බැස තිබුණා.
එවැනි සුළු රුධිර ප්‍රමාණයක් සමඟින් කලවය ළඟින් කපන්නේ කෙසේද? මගේ අධිෂ්ඨානය ස්ථිරව තිබුණ නමුත් කලින් මට දීමට ප්‍රතික්ෂේප කර තිබුණු සහයෝගය මට දෙන්න මෙම ශල්‍ය වෛද්‍යවරු කැමති වනු ඇත්ද? මගේ හෘදය සාක්ෂිය පාවා දෙන්න කියා මට බල කිරීමට වෑයම් නොකර මෙම බැරෑරුම් අභියෝගය පිළිගැනීමට තිබූ ඔවුන්ගේ ධෛර්යය කැපී පෙනෙන දෙයක්. මට මගේ පාදය අහිමි වුණා, නමුත් මගේ ජීවිතය බේරුණා, එමෙන්ම යෙහෝවඃවහන්සේ වෙත වූ මගේ අණ්ඩතාවය නොබිඳී පැවතුණා.
මා බෙහෙවින් ප්‍රේම කළ මගේ ස්වාමිපුරුෂයා නොමැතිව, මගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම අලුත් පරිච්ඡේදයක් ආරම්භ වෙමින් තිබුණා. ප්‍රථමයෙන් කිහිලිකරුවලින්, ඉන්පසු කෘත්‍රිම පාදයකින් (පසුව, බොහෝ සහෝදර සහෝදරියන්ගේ කරුණාවන්තකමින් ලබා දුන් වඩා හොඳ කෘත්‍රිම පාදයකින්), මට මගේ දේව සේවය දිගටම කරගෙන යාමට හැකි වුණා. ශෝකය සෙමින් සෙමින් ක්‍රියාශීලී වීමට මඟ පෑදුවා.
මා ඉන්දියාවට නැවත ගොස් ඇදහිලිවන්ත නොවූ නෑදෑයන් අතර ජීවත් විය යුතුද? රූත් නමැති වෙනත් වැන්දඹුවකගේ මවිතකර බයිබල් ආදර්ශය සක්සුදක්සේ පැහැදිලිව තිබුණා. යම් ආකාරයකින් හැකියාව අඩු වී තිබුණත් මට හැකි උපරිමයෙන් යෙහෝවඃවහන්සේට සේවය කළ හැකි තැනක සිටීමටත් මට ඕනෑ වුණා. ශ්‍රී ලංකාව තවමත් මගේ නිවසයි.—රූත් 1:16, 17.
අභියෝගාත්මක බල ප්‍රදේශයක්
ඉකුත්ව ගිය මෙම වර්ෂ 11 ඉතා ඉක්මනින් ගත වී තිබෙනවා. “ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා [බොහෝ, NW ]” දේ කිරීමට හැකි වී තිබෙනවා. (1 කොරින්ති 15:58) මා ක්ෂේත්‍ර සේවයේ කඩිසරව නිරතව සිටින්නේ කොළඹ ප්‍රදේශයෙයි. මෙහි සිටින අය—හින්දු, මුස්ලිම්, බෞද්ධ, ක්‍රිස්තියානි යයි කියන අය හා වෙනත් භක්තිවලට අයත් නානාප්‍රකාර ආගමික පසුතලයන් ඇති අයයි. දිගටම අභියෝග පවතිනවා.
අප ස්වල්ප දෙනෙක් සෑම මසකම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ කණ්ඩායම් නොමැති දකුණේ නගරවලට ගොස් සති අන්තයන් ගත කරනවා. වැඩි දෙනෙකු බෞද්ධ බැතිමතුන් වන අතර ඔවුන්ගේ භාෂාව වුණේ සිංහල භාෂාවයි. මෙම අයට උපකාර කිරීමට නම් මාගේ ඉගෙන ගැනීම ඉතා වැදගත් දෙයක් වී තිබෙනවා.
බටහිර සිටින ක්‍රිස්තියානි බැතිමතුන් යයි කියා ගන්නා අයගේ හැසිරීම නිසා ඉන්දියාවේ හින්දු භක්තිකයන් වාගේම ශ්‍රී ලංකාව පුරා සිටින බෞද්ධ බැතිමතුන්ද බයිබලයෙන් ඈත්වී තිබෙනවා. එහෙත්, යහපත් දැකීම, යහපත් කල්පනාව, යහපත් වචනය, යහපත් ක්‍රියාව, යහපත් දිවි පෙවෙත, යහපත් උත්සාහය (වෑයම), යහපත් සිහිය, යහපත් සමාධිය යන ඔවුන්ගේ මූලික බෞද්ධ ප්‍රතිපත්ති වන, ආර්ය අෂ්ටාංගික මාර්ගය බයිබලයෙහි තිබෙන දිව්‍ය ප්‍රතිපත්ති සමඟ සැසඳීමේදී එය හුදෙක් සම්පූර්ණ නැති මිනිස් ප්රඥාවයි. බයිබලයේ වැඩිහරියක් ලියන ලද්දේ ගෞතම බුදුන්වහන්සේට සියවස් ගණනකට කලිනුයි.
කාලාම සූත්‍රයේ සඳහන් කර තිබෙන පරිදි, ගෞතම බුදුන්වහන්සේ කාලාමට කථා කළ විට, මෙසේ පැවසුවා: “අසන්ට ලැබෙන දේවල්; හෝ සම්ප්‍රදායන් විශ්වාස කරන්නට එපා.” අදදින එම මඟ පෙන්වීම අදාළ කරගන්නවා නම් කිසිවෙකුට පරිණාමයේ මිථ්‍යාව විශ්වාස කිරීමට හෝ මැවුම්කරුවෙකුගේ පැවතීම ප්‍රතික්ෂේප කිරීමට හෝ නොහැකි බව අවංක බෞද්ධ බැතිමතුන් බොහෝ දෙනෙකුට සිහිගැන්වීමේ වරප්‍රසාදය මට තිබිය යුතු වීම කෙතරම් අපූර්ව දෙයක්ද!
දුෂ්ටකමේ අවසානය ආසන්නය
කල්ප විනාශය ගැන, එනම් ඉතා ආසන්නයේ පවතින දුෂ්ටකමේ අවසානය ගැන මෙම අයට බයිබලයෙන් බොහෝ දේ පැවසීමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්හට තිබෙනවා. වර්ෂ 1,900ක් පැරණි මෙම බයිබල් අනාවැකිය 2 තිමෝති 3:1-5, 13 තුළ තිබෙනවා. එම පරිච්ඡේදයේ 16වෙනි පදයේ පෙන්වන ආකාරයට මෙම කාලවලදී ආරක්ෂාව සඳහා යොමු විය යුතු වන්නේ බටහිර හෝ නැගෙනහිර ආගම් වෙතට නොව නමුත් යෙහෝවඃවහන්සේගේම වචනය වන බයිබලය වෙතට බව පෙන්වීමේ වරප්‍රසාදයද අපට තිබෙනවා.
බෞද්ධ ධර්මය වනාහි ඥානාලෝකය සඳහා සොයා යාමකි. දුක්විඳීමට සැබෑ හේතුව, ගෞතම බුදුන්වහන්සේ විසින්ම සෙවීමට බොහෝ කලකට පෙර බයිබලයේ පැහැදිලිවම ඒ ගැන පැහැදිලි කර තිබුණා. (උත්පත්ති 3:1-19) මිනිස් ඉතිහාසයේ පටන්ගැන්මේදීම ධර්මිෂ්ඨ නීතියට විරුද්ධව කැරළිගැසීම අසන්තෝෂ ප්‍රතිඵල ගෙන ආවා—එනම් සියලු පෘථග්ජන මිනිසා සඳහා අනිවාර්යයෙන්ම පැතිර ගිය, අසනීපය හා මරණය අත්වීමයි. හබක්කුක් 1:3 [NW ] පවසන පරිදි, බොහෝ දෙනෙකුගේ මනස්වලට වදදෙන ප්‍රශ්න ඇති වෙනවා—එනම් “ඔබවහන්සේ මට වේදනා ගෙන දෙන දේ බලා සිටින්නට සලස්වා, තාඩන පීඩන දෙස බලා සිටින්නේ මන්ද? නාස්ති කිරීම සහ ප්රචණ්ඩත්වය මා ඉදිරියේ තිබෙන්නේ මන්ද? දබර සහ තරඟ පවතින්නේ මන්ද?” අහිමි වූ දෙය නැවත ස්ථිරයෙන්ම ගොඩ නැගීමේ මාධ්‍යයක් නිර්මාණය කිරීමට හා පිළිතුරු සැපයීමට හැක්කේ දයානුකම්පිත මැවුම්කරුවාණන්ට පමණකි. දැන් පවා, දෙවියන්වහන්සේගේ වචනයේ ප්‍රායෝගික ප්‍රඥාවෙන් ලොව පුරා මිලියන සංඛ්‍යාත දෙනෙක් ප්‍රයෝජන ලබනවා. එමෙන්ම දැන් මෙම රටේ ප්‍රධාන භාෂාව වන සිංහල භාෂාවද මට තවත් අභියෝගයක් වී තිබෙනවා, මන්ද මීට වර්ෂ 37කට පෙර මට ලැබුණු එම ඥානාලෝකය අවංකවම සොයමින් සිටින අයට මට එම භාෂාවෙන්ම උපකාර කරන්නට හැකි නිසායි.
තවත් අභියෝගයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ නව ශාඛා කාර්යාල හා පරිවර්තන මධ්‍යස්ථානයක් ඉදිවෙමින් පවතින නිසා තව බොහෝ දෙනෙක් පුහුණු කිරීමට අවශ්‍යව තිබෙනවා. මා අපගේ ශාඛා කාර්යාලයේ ගිණුම් අංශයේ සේවයට සහාය දෙමින් සිටින නිසා මා කෙමෙන් කෙමෙන් පරිගණකයේ නව භාෂාව ඉගෙන ගනිමින් සිටිනවා.
යෙහෝවඃවහන්සේට සදහටම සේවය කිරීමට වූ මගේ බලාපොරොත්තුව සමඟ මා උන්වහන්සේට සේවය කළ වර්ෂ 33ක කාලය සසඳන විට එය මොහොතක් වැනි කෙටි කාලයකි. බොහෝ දෙනෙක් මෙම වර්ෂවලදී අප සමඟ යෙහෝවඃවහන්සේගේ සේවයෙහි හවුල් වී ඇති අතර කොළඹ රෝහලට ඇතුළු වීමට හා අවශ්‍යවූ ශල්‍යකර්මය සඳහා කටයුතු පිළියෙළ කළ එම දක්ෂ ශල්‍ය වෛද්‍යවරයාද මීට ඇතුළත් වෙනවා. දැන් ඔහුත් යෙහෝවඃවහන්සේට කැපවූ සෙසු සාක්ෂිකරුවෙක්.
යෙහෝවඃවහන්සේ සහ පොළොව මත සිටින උන්වහන්සේගේ සේවක පවුල ඉතා හොඳින් මාව ශක්තිමත් කර තිබෙනවා. උන්වහන්සේගේ ආරක්ෂිත හස්තයන් මාව ආරක්ෂා කරන බව මට දැනී තිබෙනවා, එමෙන්ම උන්වහන්සේගේ පක්ෂපාත ප්‍රේමය හෙන්රිව හොඳින් මතකයේ තබා ගන්නා බවත් මා දන්නවා. අපගේ පරම්පරාව ගෙනැවිත් තිබෙන හද දනවන අභියෝගයන් සියල්ල ගැනත්, ඒවා ජය ගැනීමට යෙහෝවඃවහන්සේ අපට උපකාර කර තිබෙන ආකාරය ගැනත් හෙන්රිට පැවසීම සඳහා තව වතාවක් ඔහුව සාදරයෙන් පිළිගැනීමට සලසනු පිණිස දූවිල්ලේ සිටින මගේ දයාබර තැනැත්තාව නැවත ගෙනා හැක්කේ යෙහෝවඃවහන්සේට පමණයි.—අන්නමා ඒබ්‍රහැම් විසින් පවසන ලදි. g94 1/22
[17 පිටුවෙහි ඇති පින්තූර]
අන්නමා ඒබ්‍රහැම් හා ඇගේ ස්වාමිපුරුෂයා, හෙන්රි
[19 පිටුවෙහි ඇති පින්තූර]
ශ්‍රී ලංකාවේ තේ වතු යායක තේ දළු නෙලන අයට සාක්ෂි දරන අන්නමා