ළමුන් උදෙසා තිබෙන සැබෑ බලාපොරොත්තුව
‘‘ස්වල්ප දවසකින් මැරෙන බිළින්දෝ තවත් එහි නොවෙති . . . ඔවුන්ගේ වැඩ නිරර්ථක නොවන්නේය. ඔවුන්ගේ දරුවෝ විපත්තියට පත් නොවන්නෝය. මන්ද, ඔව්හු සමිඳුන්ගෙන් ආශීර්වාද ලත් වංශය වෙති.’’—යෙසායා 65:20, 23, නව අනුවාදය.
දේවල් වැඩි දියුණු කිරීම සඳහා වූ මිනිසුන්ගේ ප්‍රශංසා කටයුතු ප්රයත්න මධ්‍යයෙහි පවා, අලුත උපන් ළදරුවන් මිලියන ගණනක් තවමත් “විපත්තිය” පිණිස නියම වී සිටිත්. එය සෑම විටම එලෙස නොපවතිනු ඇත. සෑම දරුවෙකුටම එක් දිනක සුරක්ෂිත අනාගතයක් තිබෙනු ඇති බවට යෙසායා පොතේ සඳහන් අනාවැකිය අපට සහතික කර දෙනවා පමණක් නොව, නමුත් එබඳු ඉලක්කයක් ඉටු කරගත හැකි වන්නේ කෙසේද කියාත් එය පැහැදිලි කරයි.
යෙසායා 65:17හි දෙවියන්වහන්සේ මෙසේ පවසන සේක: “මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද මවමි. පළමු දේ මතක්කරනු ලබන්නේවත් සිහිවෙන්නේවත් නැත.” ලෝකයේ සිටින ළමුන්ට නිසි ලෙස සාත්තු කිරීම සඳහා, “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” යන දෙකම අවශ්‍ය වේ.
මෙම “අලුත් පොළොව” වනාහි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කියාදුන් ප්‍රතිපත්තිවලට ඇලී සිටින ජනයාගෙන් සමන්විත අලුත් සමාජයකි. එම ප්රතිපත්තිවලින් එකක් මෙය වන බව යේසුස්වහන්සේ පැහැදිලි කළ සේක, එනම් “මෙබඳු කුඩා දරුවන්ගෙන් එක්කෙනෙකු මාගේ නාමයෙන් පිළිගන්නාවූ කවරෙක් නුමුත් මා පිළිගන්නේය.” (මාර්ක් 9:37) සෑම කුඩා දරුවෙකුටම ක්‍රිස්තුස්වහන්සේට මෙන් සලකන සමාජයක්, ඇත්ත වශයෙන්ම “අලුත් පොළොවක්” වනු ඇත! දැනටමත්, මිලියන සංඛ්‍යාත ජනයෝ එම දෙයම කිරීමට වෑයම් කරමින් සිටිත්, එමෙන්ම ලෝකයේ සිටින ළමුන්ගෙන් ඇතැමෙකුට බලාපොරොත්තුවක් දීමෙහි ඔවුහු සාර්ථක වී ඇත්තාහ.
දැන් බලාපොරොත්තුවක් ඇතුව සිටින ළමෝ
ට්සේපෝ ඔහුගේ වැඩිමල් සහෝදර සහෝදරියන් හතරදෙනා සමඟ දකුණු අප්‍රිකාවේ මුඩුක්කු ප්‍රදේශයක ජීවත් වූයේය. වයස අවුරුදු එකක් වන විට, මන්දපෝෂිත දරුවෙකුට සාමාන්‍ය වූ ඉදිමුණු උදරය ඔහුටද තිබුණි. ඔහුගේ දෙමව්පියන් ඔවුන්ගේ සුළු ආදායමින් විශාල කොටසක් බීර සඳහා වියදම් කළේ ඔවුන්ගේ දුක්වේදනාවන් අමතක කරගැනීම සඳහා වූ නිෂ්ඵල වෑයමකිනි. ට්සේපෝට උණු උණුවෙන් ආහාර වේලක් ලැබුණේ කලාතුරකිනි, කුණු කසළ ගොඩේ සහ නිවස වටා තැනින් තැන ඉහිරුණු හිස් බීර කෑන් සමඟ සෙල්ලම් කිරීමට ඔහුට ඉඩ හරින ලදි.
ට්සේපෝගේ දෙමව්පියන් කල්පනා කරන ආකාරය වෙනස් කිරීමට යමක් සිදුවූ තෙක් ඔහුට තිබූ අනාගතය, අඳුරු එකක් මෙන් දිස් විය. ජෝර්ජ් යන නම ලත් අසල්වැසියෙක් ඔවුන්ට නොමිලේ බයිබල් අධ්‍යාපන පාඩම් මාලාවක් දුන්නේය. ඉන් ලැබූ ප්‍රතිඵල චිත්තාකර්ෂණීය විය—බීමත්කමේ ගැටලුව අතුරුදහන් වුණි, නිවස පිරිසිදු කෙරුණි, පවුලට හැමදාම උණු උණුවෙන් ආහාර වේලක් අනුභව කිරීමට හැකි වුණි, එමෙන්ම ට්සේපෝ සහ ඔහුගේ සහෝදර සහෝදරියෝ වඩා පිරිසිදුව සිටින්ටත්, හොඳින් ඇඳ පැළඳගෙන සිටින්ටත්, එමෙන්ම සන්තෝෂයෙන් සිටින්ටත් පටන්ගත්හ.
ජෝර්ජ්, ට්සේපෝගේ පවුලට උපකාර කළේ මන්දයත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු වන නිසා, එතරම් භාග්‍යසම්පන්න නොවන අයවලුන් ඇතුළු, සෑම දෙනෙකු වෙනුවෙන් ඔහුට වගකීමක් දැනෙන නිසාය. එම පවුලට ඔවුන්ගේ ජීවන-රටාව වෙනස් කිරීමටත්, දෙවියන්වහන්සේගේ වචනය මත පදනම් වූ අලුත් සාරධර්ම ඔවුන්ට ඉගැන්වීමටත් ඇත්ත වශයෙන්ම බොහෝ කාලය මෙන්ම ඉවසිලිවන්තකම අවශ්‍ය විය. එහෙත් ඒ සඳහා දරන ලද ප්රයත්නය හොඳින් වටින බව ජෝර්ජ්ට හැඟෙයි, ඉන් ළමුන්ට සිදු වී තිබෙන වෙනස ඔහු දකින විට විශේෂයෙන් ඔහුට එසේ හැඟෙයි.
මෙක්සිකානු නගරයක් වන සාන් සාල්වඩෝර් අටෙන්කොහි හෝසේ යන නමින් හඳුන්වනු ලැබූ ගොවියෙක් වාසය කළේය, ඔහු දරුවන් නව දෙනෙකුගේ පියා වූයේය. ඔහු අධික මත්පැන් භාවිතා කරන පුද්ගලයෙකු වූ අතර, මත් වූ විට දරුණු ලෙස ක්‍රියා කළ බැවින් ඔහුගේ දරුවෝ ඔහුට බිය වූහ. ඔවුන්ගේ නිවස හැමවිට අපවිත්‍රව තිබූ අතර, ඕනෑම වේලාවක පවුලට අයිති බූරුවන් සහ ඌරන් නිවසට ඇතුල් වුණි, උන්ගේ ගාල වශයෙන් මිදුල භාවිතා කෙරිණ. එහි විපාකයක් වශයෙන්, ආමාශ යාන්ත්‍රික ආසාදනවලින් දරුවන් පීඩා වින්ද අතර, ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ මුළු ශරීරම පැසවෙන තුවාලවලින් පිරී තිබුණි.
හෝසේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට පටන් ගැනීමෙන් පසුව දේවල් වෙනස්වන්නට පටන් ගැනුණි. ඔහු අධික මත්පැන් භාවිතය නතර කළ අතර ඔහුගේ දරුවන්ට නියම පියෙකු වන්නට පටන් ගත්තේය. “දැන් මගේ තාත්තිත් එක්ක සෙල්ලම් කරන්නත් පුළුවන්!” යනුවෙන් බාල අයගෙන් එක්කෙනෙක් ආඩම්බර ලෙස පවසයි. ඔවුන්ගේ නිවස දැන් නගරයේ තිබෙන වඩාත්ම අපවිත්‍ර නිවස වෙනුවට, වඩාත්ම පවිත්‍ර නිවෙස් අතර වේ. ඌරන් සහ බූරුවන්ව දැන් පිට්ටනියක තබා තිබේ, එමෙන්ම පානය කරන ජලය හැමවිටම නටන තුරු උණු කරනු ලැබේ. වැඩි දියුණු වූ සනීපාරක්ෂාව, ළමුන් වඩාත් සෞඛ්‍යසම්පන්නව සහ සන්තෝෂවත්ව සිටීමට මඟ පෙන්වා තිබේ.
මෙම උදාහරණ දෙකෙන් දක්නට තිබෙන පරිදි, බොහෝ විට දරුවන්ට උපකාර කිරීමට තිබෙන ප්‍රධාන මාර්ගය වනුයේ දෙමව්පියන්ට උපකාර කිරීමය. ලෝක දරුවන් සඳහා අතිවිශේෂ සම්මේලනයේ වූ ප්රකාශනයේ “දරුවන් පෝෂණය කිරීමේ හා ආරක්ෂා කිරීමේ මූලික වගකීම පවුලට තිබෙන” බව පිළිගැනුණි. එමෙන්ම පවුල් මගින් ඔවුන්ගේ දරුවන්ව පෝෂණය කර ආරක්ෂා කිරීම හෝ නොකිරීම බොහෝ විට ආදායම කෙරෙහි රඳා පවතින්නාක් මෙන්ම අධ්‍යාපනය මතද රඳා පැවතිය හැකිය.
වීදි ළමයෙකු වෙනස් කිරීම
බ්‍රසීලයේ විසූ ඩොමෙංගොස්ගේ පියා මියයන විට ඔහුට වයස අවුරුදු නවයක් පමණි. ඔහුගේ මව යළි විවාහ වූ විට, ඔහුව අනාථ නිවසක ජීවත්වීමට පිටත්කර යවනු ලැබිණ. අනාථ නිවසේදී ඔහුට කුරිරු ලෙස සලකනු ලැබූ නිසා, පලා යෑමට සැලසුම් යොදමින් සිටි කණ්ඩායමක් සමඟ එකතු වීමට ඔහුව පෙලඹුණි. ඔහුගේ සැලසුම් ගැන ඔහුගේ මවට දැනගන්නට ලැබුණු විට ඇය ඔහුව නැවත නිවසට ගත් නමුත්, ඔහුගේ සුළු පියාගෙන් බොහෝ වර ඔහු ලැබූ පහරවල් නිසා නිවසින් පිට වී යෑමට ඔහු තීරණය කළේය. සැවෝ පවුලෝහි දිවි පවත්වා ගැනීම සඳහා, සපත්තු ඔප දමන, සීනි බෝල විකුණන හෝ නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය පවා බෙදාහරින වීදි ළමුන්ගෙන් කෙනෙකු බවට ඔහු පත් වූයේය.
ඩොමෙංගොස් මුල්වරට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍යය ශාලාවකට පැමිණි අවස්ථාවේදී, ඔහු අන් අයව විශ්වාස නොකරන මෙන්ම හොඳ සිරිත් විරිත් නැති පුද්ගලයෙක්ව සිටියේය—ඔහුගේ පසුතලය කල්පනාවට ගන්න විට මෙය පුදුමයක් නොවෙයි. කෙසේවෙතත්, වැඩිහිටි සාක්ෂිකරුවන් ඔහුගේ විශ්වාසය දිනාගත් අතර, පෞද්ගලික බයිබල් පාඩමක් මාර්ගයෙන්, අලුත් සාරධර්ම මාලාවකට හුරු වීමට ඔවුහු ඔහුට උපකාර කළහ. අවසානයේදී දෙවියන්වහන්සේ කෙරෙහිත් අන්අය කෙරෙහිත් විශ්වාසය තැබිය හැකි බව ඔහු ඉගෙන ගත්තේය. ඔහුට මුලදී ගඩොල් බඳින්නෙකුගේ සහකාරයා වශයෙන්ද පසුව කාර්යාලීය කාර්ය සහායකයෙකු වශයෙන්ද රැකියාවක් ලබාගැනීමට සාක්ෂිකරුවෝ උපකාර කළහ. දැන් වසර ගණනාවකට පසුව, ඔහු පූර්ණ කාලීන ක්‍රිස්තියානි දේව සේවකයෙකු වශයෙන් සේවය කරයි.
මෙම උදාහරණවලින් පැහැදිලි වන්නේ සැලකිලිමත් ජන සමාජයක් මගින් ලෝකයේ සිටින ළමුන්ගේ ඇතැම් පීඩාවන් තුරන් කළ හැකි බවය. මිනිස් වෑයම් මගින් විපත්තිවලට සම්පූර්ණ පිළියමක් කිසි කලක නොලැබෙන බව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වටහා ගන්න බව සැබෑවකි. ලෝකයේ සිටින ළමුන්ගේ ගැටලුවලට නියත විසඳුමකට මිනිස් බව ඉක්මවූ දක්ෂකමක්, සීමා නොවන ස්වාභාවික සම්පත් සහ සර්වලෝක අධිකාරය අවශ්‍ය වේ.
වඩා හොඳ ලෝකයක් සඳහා “අලුත් අහසක්”
පූර්ණ විසඳුමක් සැපයිය හැක්කේ දෙවියන්වහන්සේට පමණි. මෙම හේතුව නිසා, “අලුත් පොළොව” “අලුත් අහසක්” සමඟ පැමිණෙනු ඇති බව යෙසායාගේ අනාවැකියේ පැහැදිලි කෙරේ. එමෙන්ම “අලුත් අහසක්” පිහිටුවනු ලබන බවට බයිබලය බොහෝවර පොරොන්දු කරයි. (යෙසායා 65:17; 2 පේතෘස් 3:13; එළිදරව් 21:1) සෑම අවස්ථාවකදීම මෙම “අලුත් අහස” පිහිටුවීම විස්තර කර තිබෙන්නේ දුක් වේදනා ඉවත් කිරීමේ හා පොළොවට ධර්මිෂ්ඨකම ගෙන ඒමේ අතිවැදගත් පියවරක් වශයෙනි. මෙම “අලුත් අහස” සැබවින්ම කුමක් වේද?
බයිබලයේ බොහෝ විට “අහස නොහොත් ස්වර්ගය” යන යෙදුම්, දෙවියන්වහන්සේ විසින් හෝ මිනිසුන් විසින් ආණ්ඩුවක් සඳහා සමානාර්ථ පද වශයෙන් භාවිතා කෙරේ. (දානියෙල් 4:25, 26, සසඳන්න.) මෙම අලුත් ආණ්ඩුව ස්වර්ගීය රාජ්‍යයකි, දෙවියන්වහන්සේගේ රාජ්‍යයයි—එනම් යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ට ඉල්ලා යාච්ඤා කිරීමට ඉගැන්වූ රාජ්‍යයයි. (මතෙව් 6:10) ලෝකයේ සිටින ළමුන්ට තර්ජනයක් එල්ල කළ හැකි ඕනෑම ආකාරයක විපත්තියක් තුරන් කිරීමට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට බලය තිබෙන අතර, එය එසේ කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටිනු ඇත.
ඒ ගැන අපට එතරම් ස්ථිර විය හැක්කේ මන්ද? මන්දයත් ආණ්ඩුවක් මගින් එහි පාලකයන්ගේ පෞද්ගලිකත්වය පිළිඹිබු කරන හෙයිනි. එබැවින්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය උන්වහන්සේගේ මෙන්ම උන්වහන්සේගේ පුත්‍රයාණන් එනම්, පත්කරන ලද රජාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රතිපත්තිවලට එකඟව ආණ්ඩු කරනු ඇත. උන්වහන්සේලා දෙදෙනාම ළමුන්ගේ ශුභසිද්ධිය සම්බන්ධයෙන් උණුසුම් උනන්දුවක් විදහාපා ඇත්තාහ.—ගීතාවලිය 10:14; 68:5; මාර්ක් 10:14.
පොරොන්දු කරන ලද මෙම රාජ්‍යයේ, නැතහොත් “අලුත් අහසේ,” පැමිණීම අප ආශාවෙන් බලා සිටින අතරම, අපගේ අසල්වැසි ප්‍රදේශයේ සිටින ළමුන්ගේ තත්ත්වයන් වඩා දියුණු කිරීම වෙනුවෙන් අපට ක්‍රියා කළ හැකිය. ළමුන් සඳහා වූ ලෝක සම්මේලනයේදී නිවැරදි ලෙස අවසන් කළාක් මෙන්: “සෑම ළමයෙකුටම වඩා හොඳ අනාගතයක් දීමට” තරම් තවත් උතුම් කාර්යයක් නොමැත. g94 5/8
[11 පිටුවෙහි ඇති කොටුව]
ළමුන්ට උපකාර කිරීම සඳහා ප්‍රායෝගික වැඩසටහනක්
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ අධ්‍යාපනික කටයුතු මගින් ළමුන් සඳහා ප්‍රායෝගික මෙන්ම කල්පවතින උපකාරය සපයනු ලබයි. මෙම වැඩසටහනේ සමහරක් පාර්ශ්වයන් වන්නේ:
වැඩිහිටියන් සඳහා වූ අධ්‍යාපනය. මීට අකුරු කියවීමට හෝ ලිවීමට හෝ නොහැකි දෙමව්පියන්ට එසේ කිරීමට උගන්වනු ලබන පාඩම් මාලාවක් ඇතුළත් වේ, මේ සමඟම දරුවන්ට නිසි ලෙස සැලකීම සඳහා අත්‍යවශ්‍ය වූ සාරධර්මයන් පැළපදියම් කිරීම සඳහා වූ බයිබලය මත පදනම් පුළුල් උපදෙස් දෙනු ලැබේ.
පවුල් මාර්ගෝපදේශ. බයිබලය දෙමව්පියන්ට—අතිශයින් දුප්පත් අයට පවා—උනන්දු කරන්නේ ඔවුන්ගේ දරුවන්ව නෑදෑයින් ළඟට යවනවා වෙනුවට, දරුවන් සියලු දෙනාවම රැක බලාගැනීමටය. ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම නමැති පොත විශේෂිත ගැටලු තිබෙන්නාවූ පවුල්වලට උපකාර කිරීමෙහි ප්‍රයෝජනවත් වී ඇත.a
ළමුන් සම්බන්ධ කරගැනීම සහ හැඩගැසීම. අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව යන දේවල ළමුන්ම සම්බන්ධවන විට, වඩා යහපත් ප්‍රතිඵල ලැබේ. ළමුන්ට විශේෂයෙන් ගැළපෙන මගේ බයිබල් කතන්දර පොත සහ යෞවන අය අසති ආදී ලිපි අඩංගු පිබිදෙව්! සඟරාව වැනි ප්‍රකාශන භාවිතා කරමින් නිවසේදී ගැටලුවලට සාර්ථකව මුහුණ දීමටත් ඔවුන්ගේ පෞද්ගලික සෞඛ්‍ය තත්ත්ව දියුණු කරගැනීමටත් උපකාර කිරීම සඳහා සාක්ෂිකරුවෝ බොහෝවිට ළමුන් සමඟ එකට බයිබලය අධ්‍යයනය කරති.b
සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් උපදෙස්. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ පිබිදෙව්! සඟරාව භාෂා 73කින් ප්‍රකාශයට පත් කරති, එමෙන්ම මෙම සඟරාවේ නිතිපතා සෞඛ්‍යය සම්බන්ධ ලිපි හුවා දැක්වේ.
සහනාධාර කටයුතු. හදිසි අවස්ථාවලදී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ඉක්මන් සහනාධාර සැලසුම් සංවිධානය කරන අතර මෙමගින් විපත්තියට පත්වූ ප්‍රදේශයට කෙළින්ම ආධාර සපයනු ලැබේ.
[පාදසටහන්වල]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශයට පත් කරන ලදි
b වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශයට පත් කරන ලදි
[10 පිටුවෙහි ඇති පින්තූරය]
ලෝකයේ සිටින ළමුන්ගේ ගැටලුවලට නියත විසඳුමකට මිනිසත්බව ඉක්මවූ දක්ෂකමක් අවශ්‍ය වේ. එවන් විසඳුමක් සැපයිය හැක්කේ දෙවියන්වහන්සේට පමණි