ආගම පැති ගනියි
වර්ෂ 1939 සැප්තැම්බර් 1දා, ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කළ අතර, එනිසා IIවන ලෝක යුද්ධය ඇරඹුණි. සති තුනකට පසුව ද නිව් යෝර්ක් ටයිම්ස්හි මතු සඳහන් වන සිරස්තලය පළවිය: “ජර්මානු සොල්දාදුවන් දිරිගන්වනු ලැබේ.” ජර්මානු පල්ලි සැබවින්ම හිට්ලර්ගේ සටන්වලට අනුබල දුන්නාද?
ඔවුන් එසේ කළ බව වියානා විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සම්බන්ධ රෝමානු කතෝලික විශාරද ෆ්‍රිඩ්රිච් හේර්, පිළිගත්තේය: “ජර්මානු ඉතිහාසයේ ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යතාව ගන්නවා නම්, කුරුසයත් ස්වස්තිකයත් එකිනෙකට බෙහෙවින් සමීපව තිබේ, අවසානයේදී ජර්මනියේ දෙව්මැදුරු කුළුණුවල ලෙළ දුන් ස්වස්තික කොඩි මගින් ජයග්‍රහණයේ පණිවුඩය ප්‍රකාශ වූ අතර, ස්වස්තික කොඩි අල්තාර වටා ඔතා තිබෙනවා දකින්ට ලැබිණ, තවද කතෝලික හා රෙපරමාදු දේවධර්මශාස්ත්‍රඥයන්, දේවගැතිවරුන්, පල්ලියේ සාමාජිකයන් සහ උසස් දේශපාලනඥයන් විසින් හිට්ලර් සමඟ වූ මිත්‍රකම සාදරයෙන් පිළිගනු ලැබීය.”
ඇත්ත වශයෙන්, හිට්ලර්ගේ යුද්ධ ප්‍රයත්නවලට පල්ලියේ නායකයෝ සම්පූර්ණ සහයෝගය දුන්හ, රෝමානු කතෝලික විශාරද ගෝඩන් ට්සාන් ඒ ගැන මෙසේ ලීවේය: “හිට්ලර්ගේ යුද්ධවල සේවය කිරීම සඳහා ආත්මික මඟ පෙන්වීම සහ මාර්ගෝපදේශ සඳහා තම ආගමික නායකයන් දෙස බැලූ ජර්මානු ජාතික කතෝලිකයාට ලැබුණේ බොහෝ දුරට නාට්සි පාලකයාගෙන්ම ලබනු ඇති පිළිතුරුය.”
අනෙක් පැත්තේ ආගම්
එහෙත් ජර්මනියට විරුද්ධ වූ රටවලට අයත් පල්ලි පවසමින් සිටියේ කුමක්ද? වර්ෂ 1966 දෙසැම්බර් 29 දින ද නිව් යෝර්ක් ටයිම්ස්හි මෙසේ වාර්තා විය: “අතීතයේ ප්‍රාදේශීය කතෝලික පූජක මණ්ඩල සෑම විටම වාගේ තමුන්ගේ රටවල යුද්ධවලට අනුබල දී සේනාවන් ආශීර්වාද කර ජයග්‍රහණය සඳහා යාච්ඤා කළ අතර, අනෙක් පැත්තේ සිටි තවත් රදගුරු කණ්ඩායම් ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලය සඳහා ප්‍රසිද්ධියේ යාච්ඤා කළහ.”
එකිනෙකාට විරුද්ධ වූ සේනාවන්ට මෙලෙස අනුබල දීමට වතිකානුවේ අනුමැතිය තිබුණාද? මෙය සලකා බලන්න: වර්ෂ 1939 දෙසැම්බර් 8 දින, එනම් IIවන ලෝක යුද්ධය ආරම්භ වීමෙන් හුදෙක් මාස තුනකට පසුව, XIIවන පයස් පාප්, ආස්පෙරිස් කොමෝටි ආන්ක්සිඑටාටිබුස් යන දේවගැති ලිපිය නිකුත් කළේය. එම ලිපිය යුද්ධ කරන්නාවූ රටවල හමුදා අතර සිටි දේවගැතිවරුන්ට යවා තිබිණ, එමෙන්ම දෙපැත්තේ සිටි අයට තමුන්ට අයත් සේනා රදගුරුවරුන් කෙරෙහි විශ්වාසයෙන් සිටීමට එහි උනන්දු කරනු ලැබීය. “තමුන්ගේ රටවල් වෙනුවෙන් සටන් කරන්නන් වශයෙන් පල්ලිය වෙනුවෙන්ද සටන් කිරීම” සඳහා එම ලිපියෙන් දේවගැතිවරුන්ට අවවාද කරන ලදි.
යුද්ධය සඳහා රටවල් සූදානම් කිරීමෙහිලා ආගම විසින් බොහෝ විට කලහකාරී පෙරමුණක් ගනු ලැබේ. “අපගේ පල්ලිවල පවා අප විසින් සටන් කොඩි දමා තිබේ,” යනුවෙන් රෙපරමාදු දේවගැතිවරයෙකු වූ නැසී ගිය හැරී එමර්සන් ෆොස්ඩික් පිළිගත්තේය. තවද පළමු ලෝක යුද්ධය සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය ජාතික බ්‍රිගේඩියර් ජනරාල් ෆ්‍රැන්ක් පී. ක්‍රෝසර් මෙසේ පැවසුවේය: “ලේ වැගිරවීමේ ආශාව පොලඹවන දක්ෂතම අය වන්නේ ක්‍රිස්තියානි පල්ලියයි, ඇරත් අපි ඔවුන්ගෙන් හොඳට ප්‍රයෝජන ගෙන තිබෙනවා.”
කෙසේවෙතත්, එය වනාහි අතීතයේදී ආගමට තිබූ වාර්තාවයි. වැඩි ජන පිරිසක් රෝමානු කතෝලික හෝ ඔර්තඩොක්ස් ආගමට හෝ අයත්ව සිටින පෙර යූගෝස්ලාවියාවේ සමූහාණ්ඩුවල, යුද්ධයේ මෑතක සිට දරන කාර්ය-භාරය ගැන කුමක් කිව හැකිද?
ආගමේ වගකීම
වර්ෂ 1993 ඔක්තෝබර් 20 දිනැති ඒෂියාවීක් සඟරාවේ සිරස්තලයක මෙසේ ප්‍රකාශ විය: “බොස්නියාව ආගමික ඝට්ටනවල කේන්ද්‍රස්ථානයක් වෙයි.” වර්ෂ 1993 ජූනි 13 දිනැති සැන් ඇන්ටෝනියෝ එක්ස්ප්‍රෙස්-නිව්ස්හි විවරණයකට යොදා තිබූ සිරස්තලයක මෙසේ ප්‍රකාශ විය: “ආගමික ප්‍රධානීන් බොස්නියාවේ විපත්ති අවසානයකට ගෙනා යුතුයි.” ලිපියේ මෙසේ සඳහන් විය: “රෝමානු කතෝලික, පෙරදිග ඔර්තඩොක්ස් සහ මුස්ලිම් ආගම්වලට . . . සිදුවෙමින් පවතින දේට වගකීමෙන් නිදහස් විය නොහැක. මෙවර එසේ කළ නොහැක, මුළු ලෝකයම රැයක් පාසා රැයක් සිදුවෙන දේ දෙස බලා සිටින විට එසේ කළ නොහැක. එය ඔවුන්ගේ යුද්ධයයි. . . . යුද්ධය සඳහා ආගමික නායකයන් වගකිව යුතුය යන ප්‍රතිපත්තිය පැහැදිලි එකකි. ඔවුන්ගේ ව්‍යාජ භක්තියම යුද්ධය ඇතිවීමට සලස්වයි. ඔවුන් එසේ කරන්නේ එක් පැත්තකට විරුද්ධව අනෙක් පැත්තට ආශීර්වාද කිරීමෙනි.”
නිදසුනක් වශයෙන්, රෝමානු කතෝලික පල්ලියත් පෙරදිග ඔර්තඩොක්ස් පල්ලිවල සාමාජිකයන් අතරත් තිබෙන වෛරය එතරම් මහත් එකක් වන්නේ මන්ද? ඊට වග කිව යුත්තේ පාප්වරුන්, පල්ලියේ කුලදෙටුවන් සහ වෙනත් පල්ලි නායකයන්ය. වර්ෂ 1054දී මෙම ආගම් අතර තිබූ අවසාන වෙන්වීමේ කාලය පටන්, පල්ලිවල නායකයන් තමන්ගේ සාමාජිකයන් අතර වෛරයටත් යුද්ධවලටත් අනුබල දී තිබේ. පොබේඩා නමැති 1991 සැප්තැම්බර් 20 දිනැති මොන්ටෙනෙග්‍රො පුවත් පතක මෑත සටන් වැදීම පිළිබඳ ලිපියක එම ආගමික භේදයටත් එහි ප්‍රතිවිපාකවලටත් යොමු දක්වන ලදි. “දෙවියන්වහන්සේගේ නාමයෙන් මිනී මරන්නෝ,” යන තේමාව යටතේ එම ලිපිය මෙසේ පැහැදිලි කළේය:
“එය වනාහි [ක්‍රොවේෂියානු ජනාධිපති] ටූෂ්මන් සහ [සර්බියානු නායක] මෙලොෂ්වික් අතර දේශපාලනය පිළිබඳ ප්‍රශ්නයක් නොව නමුත් ඒ වෙනුවට එය ආගමික සටනකි. ප්‍රතිවිරෝධි දෙයක් වශයෙන් ඔර්තඩොක්ස් ආගම තුරන් කිරීමට පාප් තීරණය කර දැනටමත් වසර දහසක් ගත වී තිබෙන බව සඳහන් කළ යුත්තකි. . . . වර්ෂ 1054දී . . . වෙන්වීමට ඔර්තඩොක්ස් පල්ලිය වගකිව යුතු බව පාප් ප්‍රකාශ කළේය. . . . වර්ෂ 1900දී ප්‍රථම කතෝලික සම්මේලනය 20වන ශතවර්ෂයට ඔර්තඩොක්ස් පල්ලියට විරුද්ධව කරන්ට යන වර්ගඝාතනය සඳහා වූ සැලසුම් විවෘත ලෙස පැහැදිලි කළේය. [මෙම] සැලසුම දැන් ක්‍රියාත්මක වෙමින් පවතී.”
කෙසේවෙතත්, මෑත ඝට්ටනය වනාහි මෙම ශතවර්ෂය තුළ සිදු වී තිබෙන ආගමික කලහය සඳහා වූ ප්‍රථම නිදසුන නොවෙයි. වසර 50කට කළින්, IIවන ලෝක යුද්ධ කාලයේදී, එම ප්‍රදේශයෙන් ඔර්තඩොක්ස්ආගම තුරන් කිරීමට රෝමානු කතෝලිකයෝ වෑයම්කළහ. පාප්ගේ අනුබලයත් සමඟ, උස්ටාෂි නමින් හැඳින්වූ ක්‍රොවේෂියානු ජාතිවාදී පෙරමුණ ක්‍රොවේෂියා නමැති ස්වාධීන රාජ්‍යය ආණ්ඩු කිරීමට පටන් ගත්තේය. වතිකානුවේ-අනුමැතිය ලත් මෙම පාලනය, “සර්බියානුවන් හා යුදෙව්වන් සිය දහස් ගණනකගේ ඝාතනය ඇතුළු මෘගාකාර අමුතු ක්‍රියා පිළිවෙළවල්” උපයෝගි කරගත් බව ද නිව්එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා වාර්තා කරයි.
ද යුගොස්ලාව් ඖෂ්විට්ස් ඇන්ඩ් ද වැටිකන් නමැති පොතේ මෙම සමූලඝාතන ලේඛනගත කොට තිබෙනවා පමණක් නොව නමුත් ඒවායෙහි වතිකානුවෙහි සම්බන්ධයද ලේඛනගත කොට තිබේ. මීට ගොදුරුවූවෝ දසදහස් ගණන් සම්බන්ධ වී සිටිති.
අනෙක් අතට, සර්බියානුවන්ගේ සටන්වලට ඔර්තඩොක්ස් පල්ලියේ අනුබලය ලැබී ඇත. ඇත්ත වශයෙන් කියනවා නම්, එක් සර්බියානු සේනාංකයක නායකයෙකු මෙසේ පැවසූ බව උපුටා දක්වා තිබේ: ‘කුලදෙටුවා මගේ ආඥාදායකයායි.’
බොස්නියාවේ හා හර්සගොවිනාවේ පමණක් 1,50,000 දෙනෙකු තරම් මරුමුවට පත්කොට ඇති හෝ අතුරුදහන් වීමට සලස්වා ඇති මෙම ඝාතන කිරීම් නතර කිරීමට කුමක් කළ හැකිව තිබුණිද? “සැන් ඇන්ටෝනියෝ එක්ස්ප්‍රෙස්-නිව්ස්හි ෆ්‍රෙඩ් ෂ්මිට් ප්‍රකාශ කළේ, පාප්වරයා, කොන්ස්ටන්ටිනෝපල්හි කුලදෙටුවා සහ බොස්නියා-හර්සගොවිනාවේ අධිකරණයක් දරන කතෝලික, නැගෙනහිර ඔර්තඩොක්ස් සහ මුස්ලිම් පල්ලිවල [වෙනත් නායකයන්] මෙතැන් සිට සිය සටන්කරුවන්ට සටන්වැදීම නතර කිරීමට උනන්දු කොට ඔවුන්ගේ බැතිමතුන් අන් ඇදහිලිවල අය සමඟ අසල්වැසියන් මෙන් එකට ජීවත්වීමට තම සිත් හදාගත හැකි අයුරු තීරණය කිරීමට එකට රැස්වන මෙන් කියා සිටින විධිමත් සම්මතයක්” එ.ජ. ආරක්ෂක සභාව ස්ථිර කරගත යුතු බවය.
සමාන අදහස් දක්වමින්, ඇරිසෝනාහි ස්කොට්ස්ඩේල් සඟරාවක් වන ප්‍රෝග්‍රෙස් ට්‍රිබ්‍යූන්හි විවරණයක් යුද්ධය “නවතා දැමිය හැකි වන්නේ එහි සිටින ආගමික නායකයන් එය නවතා දැමීම ගැන බැරෑරුම් ලෙස සැලකුවා නම් බව නිගමනය කළේය. ඔවුන් එය කරන්නේ “සරයේවෝ වෙතට වෙඩි උණ්ඩයක් එල්ල කරන ඕනෑම සභා සාමාජිකයෙක් නෙරපා දැමීමෙන්” ඔවුන්ට එය කළ හැකි බව එම ලිපිය යෝජනා කළේය.
සාමය සඳහා සැබෑ බලවේගයක් නොමැත
කෙසේවෙතත්, එබඳු ක්‍රියා මාර්ග ගැනීමට සෙසු කතෝලිකයන් ඉල්ලා සිටියද, යුද්ධයේදී දරුණුතම මිනී මරුවන්ව පවා නෙරපා දැමීමට පාප්වරුන් දිගටම ප්‍රතික්ෂේප කර තිබේ. නිදසුනක් වශයෙන්, අමෙරිකා එක්සත් ජනපදයේ සින්සින්නාටි ඔහයෝහි කැතොලික් ටෙලිග්‍රාෆ්-රෙජිස්ටර් නමැති පුවත් පතේ, “කතෝලිකයෙකු වශයෙන් ඇතිදැඩි කරනු ලැබූ නමුත් ඇදහිල්ල කෙලෙසයි කියා පාප්ට වූ විදුලි පණිවුඩයක සඳහන් වේ,” යන මාතෘකාව යටතේ මෙසේ වාර්තා විය: “රයිච්ස්ෆ්‍යූරර් ඇඩොල්ෆ් හිට්ලර් නෙරපා දැමීමට XIIවන පයස්ගෙන් ඉල්ලීමක් කර තිබේ. . . . ‘ඇඩොල්ෆ් හිට්ලර්, කතෝලික දෙමව්පියන්ට උපත ලැබුවෙක්ය, කතෝලිකයෙකු වශයෙන් බව්තීස්ම කරනු ලැබූ අතර, එබන්දෙකු වශයෙන් ඇති දැඩි කරනු ලැබ අධ්‍යාපනයද ලැබුවේ’ [යයි විදුලි පණිවුඩයේ] කොටසක සඳහන් විය.” එසේ වුවත් හිට්ලර් කිසි දිනක නෙරපා දමනු ලැබුවේ නැත.
ඉතා කුරිරු සටන් පැවත ඇති අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල තත්ත්වයද සලකා බලන්න. අප්‍රිකානු රටවල් වන බුරුන්ඩි, රුවන්ඩා, ටැන්සානියා, උගන්ඩා සහ සයරේහි සිටින කතෝලික රදගුරුවරු 15දෙනෙක් පිළිගත්තේ, එම ප්‍රාන්තයේ බව්තීස්ම ලත් බොහෝ “ක්‍රිස්තියානීන්” සිටියත්, “රට අභ්‍යන්තර ගැටුම්, සමූලඝාතන, විනාශය සහ ජනයා බලෙන් ඉවත් කිරීම යනාදියට මඟ පෙන්වා තිබෙන බවය.” ගැටලුවට මූලික හේතුව වනුයේ “ක්‍රිස්තියානි ඇදහිල්ල ප්‍රමාණවත් ආකාරයකින් ජනයාගේ ස්වභාවයන් තුළට කාවැදී නැති” බව රදගුරුවරු පිළිගත්හ.
“ප්‍රධාන වශයෙන් කතෝලික ජනගහනයක් ඇති කුඩා අප්‍රිකානු රට වන [බුරුන්ඩිවල] ඝට්ටන පිළිබඳ අලුත් වාර්තා ගැන පාප් ‘අතිශය වේදනාවට’ පත් වූ බව, 1994 අප්‍රියෙල් 8හි නැෂනල් කැතලික් රිපෝටර් සඳහන් කළේය.” ජනගහනයෙන් සියයට 70ක් පමණ කතෝලික වන රුවන්ඩාහි සිදුවන ඝාතනවලට “කතෝලිකයන් පවා වගකිව යුතු” බව පාප් පැවසුවේය. එසේය, මීට පෙර සිදු වී තිබෙන අසංඛ්‍යාත යුද්ධවලදී ඔවුන් කර තිබෙන්නාක් මෙන්, පැති දෙකේ සිටියාවූ කතෝලිකයන් විසින් එකිනෙකාව ඝාතනය කොට ඇත. එමෙන්ම, අප විසින් දැක තිබෙන පරිදි, වෙනත් ආගම් විසින්ද එම දේම කර තිබේ.
එසේ නම් සියලුම ආගම් යුද්ධයේදී පැති ගන්නා බව අප විසින් නිගමනය කිරීම සුදුසුද? සාමය සඳහා සැබෑ බලවේගයක් වන්නා වූ කිසියම් ආගමක් තිබේද? g94 10/22
[5වන පිටුවේ පින්තූරය]
මෙහි බාසාලෝ ඩි ටොරෙග්‍රොසා නම් පාප්ගේ දූතයා සමඟ සිටින හිට්ලර්, කිසි දිනක නෙරපා දමනු ලැබුවේ නැත
[හිමිකම් විස්තර]
Bundesarchiv Koblenz