යෞවනයන් අසති . . .
පංති ගමන් ගැන කුමක් කිව හැකිද?
“ඔබට පාසැල් වේලාවෙන් නිවාඩුවක් ලැබෙනවා.” “වෙනසක් ලෙස ඔබ යම් අලුත් දෙයක් දකිනවා.” “ඔබට ඔබේ පංති මිතුරන්ව වඩා හොඳින් දැනගන්න ලැබෙනවා.”
මෙලෙස ජර්මන් යෞවනයෝ තිදෙනෙක්, තමන්ට පංති ගමන්වලින් ප්‍රීතිය ලැබීමට හේතුව පැහැදිලි කළහ. ලොව පුරා සිටින යෞවන අය අතර එවැනි විශේෂ ගමන් සෑහෙන ජනප්‍රියයි.
කෙසේවුවත්, පංති ගමන් ගැන වැදගත් කොට සිතන්නේ ශිෂ්‍යයන් පමණක් නොවේ. “හොඳින් සංවිධානය කළ පංති ගමනක් යෞවනයෙකුගේ දැනුම පුළුල් කරවන, ඔහුට දෙපාවාරුවෙන් නැගීසිට කටයුතු කිරීමට උපකාර වන සැබෑ ප්‍රයෝජනය ගෙනෙන්නකි,” යයි එක් ගුරුවරයෙක් ප්‍රකාශ කරයි. “තවදුරටත්, ගුරුවරයා සහ පංතිය අතර සබඳතාව ශක්තිමත් කෙරේ.” පංති ගමනක් අධ්‍යාපනික හා විනෝදජනක එකක් කිරීම සඳහා යුතුකම් නොපිරිහෙළා ඉටුකරන ගුරුවරුන් සහ මනා හැසිරීමකින් යුත් පංතියකට එකතු විය හැකිය.
කෙසේ නමුත්, ක්‍රිස්තියානි යෞවනයන්ගේ සහ ඔවුන්ගේ දෙමව්පියන්ගේ නිසි සැලකිල්ලට භාජන වන සාධක ගණනාවක් ඇතුළත් වී තිබිය හැක. උදාහරණයක් වශයෙන්, ජර්මනියේ සහ වෙනත් යුරෝපීය රටවල, ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයේම ශිෂ්‍යයෝ එකට ඈත පංති ගමන්වල පොදුවේ සංචාරය කරති. මෙයට නිතර නිවසෙන් බැහැරව රාත්‍රිය ගත කිරීම් ඇතුළත්ව තිබේ. බොහෝ විට මෙයින් අදහස් කරන්නේ කරදර ඇතිවන බවය. දාහතර-හැවිරිදි අන්නා-ලෝරා මෙසේ සිහියට නඟයි: “ගමනේ දවස් ස්වල්පයක් ගෙවී ගිය පසු, දේවල් පාලනය කිරීමට නොහැකි වුණා. රාත්රියේදී පවා සාමදායී, සන්සුන් තත්ත්වයක් අපට තිබුණේ නෑ. පංතියේ සිටි බොහෝදෙනෙකු හැසුරුණේ ආත්මාර්ථකාමී හා නොසැලකිලිමත් අයුරකින්.”
එසේනම්, ඔබට පංති ගමනක යෙදීමට ඉඩප්‍රස්තාව ලැබුණහොත් ඔබ කළ යුත්තේ කුමක්ද?
වියදම ගණන් බැලීම
ලූක් 14:28හි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ පැවසූසේක: “කොතක් ගොඩනගන්ට කැමතිවූ නුඹලාගෙන් යමෙක් ඒක නිමකරන්ට තමාට පුළුවන්දැයි පළමුකොට හිඳ වියදම ගණන් බලන්නේ නැද්ද?” පංති ගමන ඔබට සුදුසු වන යමක් බව ඔබ සහ ඔබේ දෙමව්පියන් තීරණය කිරීමට පෙර, ඇතුළත් වී තිබෙන සියල්ල පරෙස්සමින් සෝදිසි කර බලන්න. සලකා බැලීමට සමහරක් ප්‍රශ්න මෙන්න:
ගමන ඔබව ගෙන යනු ඇත්තේ කොතැනකටද? එයට ඇතුළත් වන්නේ ළඟපාත කෞතුකාගාරයකට යන දවසක ගමනක් වීම හෝ රාත්‍රී ගත කිරීම් සහිත දිගු ගමනක් වීම ලොකු වෙනසක් සිදුකළ හැක. ඊට අමතරව, වියදම් දරන්නේ ඔබේ දෙමව්පියන් නම්, ඔවුන්ට එම වියදම දරන්ට පුළුවන් වේදැයි තීරණය කිරීමට සිදුවනු ඇත.
වැඩසටහනට ඇතුළත්ව තිබෙන්නේ කුමක්ද? හිතකර, උනන්දුව ඇති කරන ක්‍රියාකාරකම්වලින් සෑම දිනක්ම හොඳින් සංවිධානය කර තිබේ නම්, මෙය පංතිය යම් දෙයක් කිරීමෙහි යොදවා තබන අතර වැරදීමක් සිදුවීමට තිබෙන අවදානම අඩු කරයි. එබැවින් පංති ගමන ගැන තීරණය කිරීමට පෙර සැලසුම් කරන ලද වැඩසටහන දෙස හොඳින් බලන්න. කෞතුකාගාරවලට හෝ ප්‍රාණී විද්‍යාව හැදෑරීමට එළිමහන් ගමනක යෙදීම අධ්‍යාපනික එකක් විය හැකිය. එහෙත් එක් පංති ගමනකට සැලසුම් කර තිබුණාක් මෙන් යෝගා සහ ආසියාතික ආගම් සමඟ අත්හදාබැලීම් කිරීම ක්‍රිස්තියානියෙකුට ඇත්තෙන්ම යෝග්‍ය නොවේ.—1 කොරින්ති 10:21.
බලපෑමෙන් යුත් නිරන්තර අධීක්ෂණයක් තිබෙනු ඇත්ද? යූල්යා නමැති 15-හැවිරිදි ක්‍රිස්තියානි ගැහැනු ළමයෙක් මෙසේ සිහිපත් කරන්නීය: “හොඳ ගති පැවතුම් සහිත පංතියක මා සිටිය නිසා මා ගමනට සහභාගි වෙනවාට අම්මයි තාත්තායි අකමැති වුණේ නෑ.” ගුරුවරු ඉතා පරෙස්සමින් අප කෙරෙහි සෝදිසියෙන් සිටියා.” කෙසේවුවද, මේ කාලයේ එවැනි අධීක්ෂණය තිබෙන්නේ කලාතුරකින් විය හැක. එක් ජර්මන් ගුරුවරයෙකු පිළිගන්නා ආකාරයට, සැලකිලිමත් සහ විශ්වාසදායක අධීක්ෂණය “කොහෙත්ම සහතික කළ නොහැක.” ඇත්තෙන්ම, එක් යෞවනයෙක් පංති ගමනකින් පසු මෙසේ පුරසාරම් දෙඩුවේය: “අපි ගුරුවරුන් දෙදෙනාවම, උපායෙන් රැවටුවාට පසු අපට වුවමනා හැටියට අපි වැඩ කළා.”
සමහර යෞවනයන්ව පාලනය කර තබාගැනීමට ගුරුවරුන් සිය උපරිමය කරන විට පවා ඔවුහු කරදර ඇති කරති. කලින් සිටි ගුරුවරියක් මෙසේ සිහිපත් කරන්නීය: “මත්පැන් රහසින් තබාගැනීමට යෞවනයන් දක්ෂ ක්‍රම සොයාගෙන තිබෙන නිසා ඔවුන්ගේ කාමර සෝදිසි කිරීමෙන් ඵලක් නෑ. ගැහැනු ළමුන්ගෙන් එක්කෙනෙක් වමනෙ කරන්න පටන්ගත් විට ඔවුන් අධික ලෙස මත්පැන් පානය කර තිබූ බව මට වැටහුණා.” පැහැදිලිවම, ගමනක් ඉතා හොඳින් අධීක්ෂණය වී තිබේ යයි කියා සහතික වීමට ඉතා අසීරු විය හැක. අධීක්ෂණය සඳහා කුමන විධිවිධාන යොදා තිබේදැයි ඔබ සහ ඔබේ දෙමව්පියන් පරෙස්සමින් සෝදිසි කර බලනවා නම්, ඔබව බොහෝ කනස්සල්ලෙන් සහ ලජ්ජාවට පත්වීමෙන් වැළැක්වීමට ඉඩ තිබේ. හිතෝපදේශ 22:3 මෙසේ පවසයි: “නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි; එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති.”
ඔබේ ගුරුවරුන්ගේ මඟ පෙන්වීම්වලට ඔබේ පාසැල් මිතුරන් සාමාන්‍යයෙන්ම ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? ඔවුන් පාසැල් ගමනකදී හැසිරෙන්නේ කෙසේදැයි යන්න ගැන මෙය හොඳ අදහසක් දෙයි. එක් වාර්තාවකට අනුව නොහික්මුණු ශිෂ්‍යයන් ගුරුවරුන්ගේ “පැහැදිලි ඉවසිලිවන්ත උපදෙස්” නොසලකා හැරීමේ හේතුවෙන් දින තුනේ පංති ගමනක් කෙටි කිරීමට එක් ජර්මන් ද්විතීයික පාසැලකට සිදුවිය.
යෞවන ජර්මන් ස්ත්‍රියක වන ස්ටෙෆනි අතීතයේදී එවැනි ගමන්වල යෙදුණු අතර, ඇගේ අද්දැකීමේ ප්‍රතිඵලයක් වශයෙන් පහත දැක්වෙන ප්‍රශ්න ඔබෙන්ම අසන්න යයි ඈ නිර්දේශ කරන්නීය: ‘ගුරුවරුන්ට සවන් දීමට තරම් මගේ පංති මිතුරන් සිහිනුවණින් යුක්තද? හොඳ කීර්ති නාමයක් පවත්වාගැනීමට පාසැල වෙර දරනවාද? සුදුසු නායකත්වයක් සැපයීමට තරම් ගුරුවරු ස්ථිරව ක්‍රියා කරත්ද? යෞවනයෝ නිසි සදාචාර ගතිපැවතුම් ගැන බැරෑරුම් ලෙස සලකත්ද? ඔවුහු මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරත්ද?’ “ඔබ පහසුවෙන්ම යටත් වේද නැද්ද යන්න බෙහෙවින් රඳා පවතින්නේ පුද්ගලයෙකු වශයෙන් ඔබ මත,” යයි ස්ටෙෆනි පිළිගන්නා බව සැබෑය. එහෙත් ඔබේ ස්ථාවරය පාවා දෙන තත්ත්වයකට ඔබ හිතාමතාම නිරාවරණය වනවා නම්, ‘ඔබව පරීක්ෂාවට නොපමුණු වන්න’ කියා යෙහෝවඃවහන්සේට යාච්ඤා කිරීමට ඔබට හැක්කේ කෙසේද?—මතෙව් 6:13.
මෙබැවින් දාහත්-හැවිරිදි පෙට්රා පංති ගමන් යෑම ප්‍රතික්ෂේප කළාය. “මගේ පංති මිතුරන් ක්‍රියා කරන ආකාරය මා දැන සිටියා,” යයි ඈ පැහැදිලි කරන්නීය. “මත්පැන් සහ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම ඇතුළත්ව තිබෙන තත්ත්වයන් සැබවින්ම මගේ හෘදය සාක්ෂිය පරීක්ෂාවට දමයි කියා මට කලින්ම තේරුම්ගන්න පුළුවන් වුණා. සිදුවුණේ මෙයයි, පිරිමි ළමයින් පස්දෙනෙකු ගැහැනු ළමයෙකුගේ ඇඳුම් ගලවා ඇගේ පිංතූර ගත්තා, පසුව ඒවා පාසැල පුරා අතින් අතට යවනු ලැබුවා.”
ඔබේ ආගමික විශ්වාසයන්ට ගරු කරනු ඇත්ද? උදාහරණයක් වශයෙන්, යෞවන ටිමෝන් මෙසේ සටහන් කළේය: “බොහෝ විට උපන්දින සාදයක් පවත්වනවා, එයින් වැළකී සිටීමට හරි අමාරුයි.” යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් වශයෙන්, ඔහු එවැනි උත්සවවල සහභාගිවීමට ප්‍රතික්ෂේප කරයි.a හදිසියෙන් හෝ එවැනි උත්සවයක් පංති ගමනක කොටසක් බවට පත්වුවහොත් ඔබේ ගුරුවරුන් සහ පංති මිතුරන් ඔබේ දෘෂ්ටිකෝණයට ගරු කරනු ඇත්ද?
ඔබව නිරාවරණය වනු ඇත්තේ කිනම් ආකාරයක ඇසුරකටද? දෙවියන්වහන්සේ දුම්පානය, මත්ද්‍රව්‍ය ගැනීම, මත්පැන් අනිසි භාවිතය හෝ පූර්ව විවාහ ලිංගික සබඳකම් හෙළාදකින බව ක්රිස්තියනීහු දනිති. (1 කොරින්ති 6:9, 10; 2 කොරින්ති 7:1) එවැනි දේවල යෙදෙන යෞවනයන්ගේ ඇසුරෙන් ඥානවන්ත ලෙස වැළකිය යුතු වන්නේ ඒ හේතුවෙනි. (1 කොරින්ති 15:33) හිතෝපදේශ 13:20 මෙසේ අනතුරු අඟවයි: “අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.” පංති ගමනකදී, සාමාන්‍යයෙන් ගත කරනවාට වඩා වැඩි කාලයක් ඔබ එවැනි යෞවනයන් සමඟ ගත කරන අතර මෙය සිදුවන්නේ පහසුවෙන් සිටින වාතාවරණයකය. යෞවන ආන්ඩ්රෙආස් ඒ ගැන මෙසේ පවසයි: “පාසැල් ගමනකදී, ඔබ ලෞකික සංගීතය සහ අශික්ෂිත කථාව සමඟින් ලෝකයේ ස්ප්රීතුවට නිරතුරුව නිරාවරණය වී සිටියි.”
තවත් හේතුවක් නම් ඔබ නිවසෙන් ඈත්ව සිටින විට ඔබට හුදකලා වීමක් හැඟීමට පහසු වීමය. පංති ගමන් නව යොවුන් ප්‍රේම බන්ධනයන් බොහොමයකට පොලඹවා තිබේ. ඔබ නොඇදහිලිකාරයෙකු සමඟ ප්‍රේම බන්ධනයකට ඇතුළු වීමේ අවදානමක් තිබෙනු ඇත්ද? පළමුවන කොරින්ති 10:12 මෙසේ අනතුරු අඟවයි: “තමා කෙළින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලාගනීවා.” ඔබ පරීක්ෂාවන් ප්‍රතික්ෂේප කිරීමට තරම් ශක්තිමත්ව සිටියා නම් වුවත්, එවැනි ගමනකට ඔබ සහභාගි වීමෙන් වෙනත් යෞවන ක්‍රිස්තියානීන්ට ඔබ පැකිළීමේ ගලක් විය නොහැකිද?—සසඳන්න 1 කොරින්ති 8:7-13; 10:28, 29.
දාහතර-හැවිරිදි ඉවෝන් පංතිය සමඟ හිමතරණ ගමනකට සහභාගි වීමට ප්‍රතික්ෂේප කළාය. ඈ මෙසේ පැහැදිලි කරන්නීය: “මට මුළු සතියක්ම ගත කරන්න සිදුවෙන්න තිබුණේ ලෝකයේ යෞවනයන් හා ගුරුවරුන් සමඟ පමණයි. ඒ විතරක් නොවේ, මගේ සහෝදරයන්ගේ ඇසුර, දේශනා වැඩය සහ රැස්වීම්—සැබවින්ම මට අතපසු වෙන්න තිබුණේ එවැනි දේවල්ය. බොහෝ යෞවනයන් කෙරෙහි සෙවිල්ලෙන් නොසිටින විට ඔවුන් හැසිරෙන ආකාරය තවත් හේතුවක් වුණා.”
දෙවියන්වහන්සේව මුළුමනින්ම ප්‍රසන්න කිරීම
පංති ගමන් සාමාන්‍යයෙන් ක්‍රිස්තියානීන්ට තහනම් කර තිබෙන ආගමට, දේශපාලනයට හෝ වෙනත් ක්‍රියාකාරකම්වලට කෙළින්ම සම්බන්ධ නොවන නිසා, එවැනි ගමනක යෙදීම නුවණට හුරුදැයි ශිෂ්‍යයෙකුට සහ සිය දෙමව්පියන්ට තීරණය කිරීමට සිදුවනු ඇත. (සසඳන්න යෙසායා 2:4; එළිදරව් 18:4.) තත්ත්වයන් සහ අවස්ථාවන් ස්ථානයෙන් ස්ථානයට මෙන්ම එක පංතියකින් තවත් එකකට වෙනස් වේ; එමනිසා, එක ප්‍රදේශයක සිටින ක්‍රිස්තියානීන්ට වෙනත් ප්‍රදේශයක සිටින ක්‍රිස්තියානීන්ට වඩා වෙනස් ගැටලු සමඟ පොරබදන්ට සිදුවිය හැකිය.
“මගේ පංතියේ යෞවනයන්ව මගේ මව හොඳින් දැන සිටි අතර, ගුරුවරයාද වගකීමකින් යුත් මනසකින් කටයුතු කරන බව දැනගෙන සිටියා. එනිසා පංති ගමන සාර්ථක එකක් වුණා,” යයි ෂ්ටෙෆාන් ප්‍රකාශ කරයි. “නමුත් මා තවත් වයසින් වැඩුණු විට, අවසාන පංති ගමන යෑම එළඹෙද්දී, ගමන යෑම සම්බන්ධයෙන් ප්රශ්නය සම්පූර්ණයෙන්ම වෙනස්ව තිබුණා.” මන්ද? ඔහු මෙසේ පවසයි: “වර්ෂ තුනකට පවා පෙර මගේ පංති මිතුරන් ප්‍රසන්නව හා ගෞරවනීයව ක්‍රියා කර තිබුණා. ඒ කාලයේ පටන් මත්ද්‍රව්‍ය සහ දුරාචාරය ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත් වී තිබෙනවා. එනිසා මා ගමනට සහභාගි වුණේ නෑ. අවසාන ගමන සම්පූර්ණ කිරීමට පෙර නතර කරන්න සිද්ධ වූ බව සඳහන් කළ යුතුයි.”
එහෙත්, අවසාන විග්රහයේදී, ඔබ සහ ඔබේ දෙමව්පියන් ඇතුළත්ව තිබෙන සියලු කාරණා සලකා බලා ඔබේම තීරණය ගත යුතුය. ඔබ කුමක් තීරණය කළත්, ඔබේ ඉලක්කය “ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] ඔබිනලෙස සියලු ආකාරයෙන් ප්‍රසන්නව හැසි[රීම],” බවට ස්ථිර වන්න.—කොලොස්සි 1:12ආ. g94 10/22
[පාදසටහන්වල]
a “හොලිඩේස්—වයි සම් චිල්ඩ්රන් ඩු නොට් සෙලිබ්රේට් දෙම්” යන 1993 අපගේ නොවැම්බර් 22 එවේක්! කලාපය බලන්න.
[19වන පිටුවේ පින්තූරය]
ඔබ රාත්‍රියක් ගත කරන පංති ගමනක යෙදුණා නම් ඔබව නිරාවරණය වන්න තිබුණේ කුමන ආකාරයේ ඇසුරකටද?