තවදුරටත් පර්වතයක් හෝ දූපතක් නොවෙමි
හැටගණන්වල ඉංග්‍රීසි ගීයක වචන පෙළක මෙසේ සටහන් විය: ‘මම පර්වතයක්⁄මම දූපතක්⁄පර්වතයට වේදනාව දැනෙන්නේ නෑ⁄දූපතක් කිසිදා හඬන්නේ නෑ.’ මෙය මගේ ප්‍රියතම ගීතය වුණා, මන්දයත් මමත් ජීවත්වුණේ එලෙසටයි. ප්‍රේමය, දයානුකම්පාව සහ අනුකම්පාව බඳු අන් අයට දැනුණ හැඟීම් මට හැඟුණ කාලයක් මට කවදාවත් මතක නැහැ. මම බොරුවට එවැනි හැඟීම් මවාපෑවා, ඇරත් අන් අයත් එසේ කළ බව මම විශ්වාස කළා. වැඩිහිටියෙකු ලෙස මම ඇඬූ දවසක් මට මතක තිබුණේ නැහැ. ඒත් දැන්—වයස අවුරුදු 50ක්ව ක්‍රිස්තියානි සභාවක වැඩිමහල්ලෙකු වශයෙන් සේවය කරමින් සිටින මා, තනියම මගේ නිවසේදී කියව කියවා සිටි පොතක් නිසා දුක දරාගත නොහැකිව අඬමින් සිටියා. මේ “පර්වතයට,” මේ “දූපතට” මෙය සිදුවිය හැක්කේ කොහොමද?
බොස්ටන්හි උපනගරයක 1936දී මා උපත ලැබුවා, දරුවන් අටදෙනෙකුගෙන් හතරවෙනියා මමයි. මගේ තාත්තාත් අම්මාත් මත්පැන්වලට ඇබ්බැහි වූ අයව සිටියා. මට මතක ඇති ඕනෑම ආකාරයකින් අපි හැඟීම් ගැන සාකච්ඡා කළේවත්, එකිනෙකාව වැලඳගත්තේවත්, ප්‍රේමය ප්‍රකාශ කළේවත් නැහැ. මම මාස හයක්ව සිටියදී, යමෙක් මාව නාන ටැංකියකට දමා, එහි ඇබය ගසා ජල කරාමය ඇර ගියා. ගෘහ සේවිකාවට මාව හමු වී ඇය මාව බේරාගත්තා. දරුවෙකු වශයෙන් මට දැනුණ දේවල් නම්, බිය, ත්‍රාසය, කෝපය සහ කායික වේදනාවයි.
මේවා මට උගන්වනු ලැබුවේ මගේ පියා විසින්, ඔහු කේන්තියෙන් පුපුරමින් නොවරදවාම ඔහුගේ මිටෙන් හා පාදවලින් මගේ කුඩා ශරීරය මත එම කෝපය පිට කළා. එවැනි අවස්ථාවලදී ඔහුගේ මුහුණේ භයංකර පෙනුම අඩ ශතවර්ෂයකට පසුව වුවත් තවමත් මට මැවී පේනවා. මෙම පහරවල් මට ලැබුණේ මම නරක ළමයෙක් වූ නිසා යයි මගේ ජීවිතයේ වැඩි කලක් තිස්සේ මා සිතුවා, එහෙත් මට විරුද්ධව ඔහු පිට කළ කෝපය මගේ හොඳ හෝ නරක ගතිවලට කිසි සම්බන්ධයක් නොතිබුණු බව, මට දැන් වැටහෙනවා.
වයස අවුරුදු පහ සහ හයේදී පවුලේ වෛද්‍යවරයාගේ අතින් මා ලිංගික අතවරයට ලක් වුණා. මා පාසැල් යන්ට පටන්ගත් විට, සුදු ඇංග්ලෝ සැක්සන් රෙපරමාදු ජනයා 2,50,000ක් සිටි නගරයක අපි ජීවත්වුණා, මගේ පාසැලේ සහයකයෝ මට වද දී, කුඩා යුදෙව් ජාතිකයා වූ මා පස්සේ එළවාගෙන ආවා. ළමුන් 10දෙනෙකුගෙන් හෝ 12දෙනෙකුගෙන් යුත් මෙම කල්ලි කණ්ඩායම්වලට මා අසු වූ විට, ඔවුන් මගේ ඇඳුම් ගලවා දමා, මට පහරදී, මගේ ඇඳුම් ගස් උඩට විසි කළා. ඒවා නැවත ලබාගැනීම සඳහා නග්නව ගස්වලට නැගීමට මට සිදුවුණා.
මගේ 18වන උපන් දිනයට මසකට කලින් නිවසින් නිදහස් වීමේ අටියෙන් මම හමුදාවට එකතු වුණා. ඒ වන තෙක් මා කිසි දිනක මත්පැන්වල රස බලා තිබුණේ නැහැ, එහෙත් එකවරම වගේ මම බොන්ට පටන්ගත් අතර එයාකාරයටම විගසින් මම ඊට ඇබ්බැහි වුණා. මම හමුදාවේ වසර 20ක් සිටිය අතර, බීර බෝතලයක් සඳහා මුදල සිඟමනෙන් ලබාගන්ට හෝ ණයට ලබාගන්ට හෝ සොරකම් කිරීමෙන් හෝ ලබාගන්ට හැකි වූ සෑම විටකදීම මම මත් වී සිටියා. අවුරුදු 24දී මම විවාහ වූ අතර, පුතෙක්ද මට සිටියා, එහෙත් මගේ බිරිඳයි පුතයි ජීවත්වුණේ, ඔවුන් දෙදෙනා බරක් සහ අනවශ්‍ය වියදමක් ලෙස සැලකූ එමෙන්ම මත්පැන්වලට ඇබ්බැහි වූවෙකු—එනම් මා විසින් පාලනය කරනු ලැබූ නිවසකයි.
මම 1974දී හමුදාවෙන් විශ්‍රාම ලබා කෙටි කලකට ව්‍යාපාරයක යෙදුණා, එහෙත් මම ඉක්මනින් ඉන් ඉවත්වුණා. මම තවදුරටත් මත්පැන් බීවේ නැහැ, මන්දයත් මගේ ශරීරයට තවත් මත්පැන් දරන්ට නොහැකි වුණා. බීර බෝතල් එකක් හෝ දෙකක් පමණක් ගත් විට මගේ ඇඟ පුරාම පලු හටගත්තා. දැන් මා ඇබ්බැහි වී සිටියේ මත්ද්‍රව්‍යවලටයි—වැඩියෙන්ම මරිජුවානාවලට, නමුත් ලබාගත හැකි වූ විට අනෙක් ඒවාත් මම පාවිච්චි කළා. මේ නිසා මට රැකියාවක රැඳී සිටීමට නොහැකි වුණා, එමනිසා, මගේ බිරිඳ ඩොනා වැඩට ගිය අතර, මම නිවසේ නතර වී ගෙදර බලාගත්තා.
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ එති
දිනක් උදෑසන මගේ බිරිඳ රැකියාවට යන්ට පිටත් වුණා. වේලාව 7:30යි, ඒ වන විටත් මම මත් වී සිටියා. මෙය ඇයව ඉතා කෝපයට පත් කළා. ඉස්සරහ දොරින් පිට වෙද්දී ඇය සංඥාපතක් මා වෙතට හෙළමින් මෙසේ කෑගැසුවා: “ඒගොල්ලන් ඔයාට හොඳටම වද දුන්නොත් හොඳයි.” එම සංඥාපත ඇය නිතරම ජනේලයේ තබා ගිය එකක්, එහි ලොකු අකුරුවලින් කියවන්ට තිබුණේ, “NO JW’S” (යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් එපා) යනුවෙනි. මම එය කුණු බාල්දියට දැම්මා. ඊළඟ දා උදෑසන ස්ත්‍රීන් දෙදෙනෙක් මගේ නිවස වෙතට ආවා. ඔවුන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්.
මේ වන විට මගේ ආගම හැටියට මා විසින් බෞද්ධ ධර්මය වැළඳගෙන තිබුණා. මගේ යුදෙව් සහ කතෝලික දෙමව්පියන්ගේ කුහකකම නිසා බොහෝ කලකට ඉහතදී මා විසින් බයිබලය ප්‍රතික්ෂේප කර තිබුණා. මා කලකට දෙවියන්වහන්සේ සෙවීමේ යෙදී සිටිය නමුත්, දෙවිකෙනෙක් නැතැයි කියා සිතමින් එම සෙවිල්ල මා විසින් අත්හැර තිබුණා. මම පරිණාමවාදය විශ්වාස කළ අතර, තද වැස්ස සමඟ විදුලි කොටන මෝසම් සමයකදී එළිමහනේ සිටගෙන අහස දෙස බලා, මට සිතාගත හැකි සෑම ආකාරයේ අසභ්‍ය නම්වලින් දෙවියන්වහන්සේට කෑගසා: “ඔබ සිටිනවා නම්, මට මැරෙන්න පහර දෙන්න” කියා පැවසූ නිසා දෙවිකෙනෙක් නැති බව මා විසින් තහවුරු කර තිබූ බව මට සිතුණා. මම දෙවියන්වහන්සේව සිටියා නම්, මම එසේ කරනවා. උන්වහන්සේ එසේ නොකළ නිසා, දෙවිකෙනෙක් නැත යන නිගමනයට මා එළඹුණා. ලෝකය විනාශ වීම නතර කිරීමට මිනිසාට තිබූ නොහැකිකම නිසා එය විනාශයට නියම වී තිබූ බව මම සිතුවා, ඇරත් මා මත්ව සිටිද්දී ඒ සියල්ල සිදු වෙනවා රූපවාහිනියේ බලාගැනීමට මට හැකි වේ කියා මා බලාපොරොත්තු වුණා.
කොහොමවුණත්, ඊළඟ දා උදෑසන එම ස්ත්‍රීන් දෙදෙනා ආවා. මං මත්ව සිටි අතර, විනෝදවීමට මඟක් සොයමින් සිටියා. විනාඩි 20කට පමණ අප අතර නිරර්ථක සාකච්ඡාවක් පැවතුණා, එය නිම වුණේ ඔවුන් විසින් ශත 25කට කුඩා නිල් පැහැති පොතක් මට ඉදිරිපත් කිරීමෙනි. විනාඩි 20ක විනෝදයට ශත 25ක් වටින බව සිතූ මා, පොත ලබාගෙන කිසි උනන්දුවකින් තොරව එය මේසය මතට විසි කළා.
ඊළඟ දා උදෑසන ටික වේලාවකටවත් මරිජුවානා ගැනීමෙන් වැළකී සිටීමේ අටියෙන් මා කියවන්ට යමක් සොයමින් සිටියා. එම කුඩා නිල් පොත දැක, ඉන් පැයකටවත් වින්දනයක් ලැබීමේ බලාපොරොත්තුවෙන් මා එය අතට ගත්තා. පැය හතරකින් පොත කියවා නිම කළ මා, එය එහි මාතෘකාවේ සඳහන් කළ දෙයම වූ බව ඒත්තුගෙන සිටියා, එනම්: සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය. නිවසේ, මා ළඟ මත්ද්‍රව්‍ය තිබූ අතර, පොත වසා තැබූ විගස මා මත්වන බවත්, මා කියවා තිබූ සියල්ල නොසලකා හරිනු ඇති බවත්, මා දැන සිටියා. පොතේ අන්තිම පිටුවේ එක් ඩොලරයකට බයිබලයක් ඉදිරිපත් කර තිබුණා, ඉතින් මම දෙවියන්වහන්සේට—මගේ ජීවිතයේදී මා කිසි දිනක යාච්ඤා කර තිබුණේ නැහැ—“දෙවියන්වහන්ස, මට කළ හැක්කේ එපමණයි, ඉතිරි කොටස ඔබගේ හස්තයට භාරයි,” යනුවෙන් කියමින්, ඩොලරයක් ලියුම් කවරයක දමා මම එය තැපැල් කළා. මා එය තැපැල් කර, මත් වී, මොහොතකට කලින් මට එතරම් බලපෑමක් ඇති කළ සියල්ල අමතක කර දැම්මා.
තැපෑලෙන් බයිබලය ලැබුණා, නමුත් මා එය අහක දැම්මා. ඉන් අනතුරුව සාක්ෂිකරුවන් දෙදෙනෙක් ඇවිත් මා සමඟ බයිබලය පාඩම් කිරීමට ඉදිරිපත් වුණා, මං එයට එකඟ වුණා. මා එම පාඩම් භුක්තිවින්ද නමුත්, වැඩියෙන්ම දර්ශනවාදය සම්බන්ධයෙන් මගේ දැනුමෙන් ඔවුන්ගේ සිත් ඇදගැනීමට වෑයම් කළ නිසා, මම දියුණු වුණේ නැහැ. ඊට අමතරව, ඔවුන් පිටත් වූ විගස මා මත්ද්‍රව්‍ය ගත්තා, එමනිසා එදාට මා ලැබූ ඕනෑම ප්‍රගතියක් එයින් අවලංගු වුණා.
අන්තිමේදී, වසරකට පසුව, එම සාක්ෂිකරුවන්ගෙන් එක්කෙනෙක්, එනම් ජිම් ඇවිත් මට එසකියෙල් 33:9 කියවන්ට කීවා. මා එසේ කළා, එහි මෙසේ සඳහන් විය: “එසේවී නුමුත් තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස නුඹ ඒ ගැන දුෂ්ටයාට අවවාදකළ කල්හි ඔහු තමාගේ මාර්ගයෙන් නොහැරුණොත්, ඔහු තමාගේ අයුතුකම නිසා නසිනවා ඇත, නුඹ නුඹේ ප්‍රාණය ගළවාගත්තෙහිය.” ඉන් අනතුරුව, එයින් අදහස් කළේ කුමක් කියා මා සිතුවාදැයි ඔහු මගෙන් විමසුවා. “ඔබ නැවත නොපැමිණෙන බවත්, මා මැරෙන්ට යන බවත්, ඉන් අදහස් කරනවා,” කියා මා පිළිතුරු දුන්නා. “ඒක හරි,” යයි පැවසූ ඔහු, පිටවී ගියා.
සාක්ෂිකරුවා නැවත පැමිණෙයි
මට තවමත් හෘදය සාක්ෂියක් තිබෙන බව එවිට මට දැනගැනීමට ලැබුණ බව පවසන්න මා සතුටු වෙනවා—බොහෝ කලකට ඉහතදී මා විසින් එය මරා තිබූ බව මා සිතාගෙන සිටියා. බයිබලයෙන් මා දැනගත් අනාගතය පිළිබඳව මට යම් උනන්දුවක් දැනුණ නිසා, මත්ද්‍රව්‍ය භාවිතය අත්හැරීමට මා වෑයම් කළා. සති ගණනකට මා තනියෙන් වෑයම් කළත්, මා අසාර්ථක වුණා. එක් සැන්දෑවකදී, මගේ බිරිඳ “අර මිත්‍රයාට,” එනම් සාක්ෂිකාර ජිම්ට, දුරකථනයෙන් අමතන මෙන් යෝජනා කළා. ඔහු නැවත නොපැමිණෙන බව පවසා තිබූ බවත්, ඔහුගේ දුරකථන අංකය මා නොදන්න බවත්, මා ඇයට පැවසුවා. සම්පූර්ණයෙන්ම කලකිරුණ ස්වභාවයක් මට දැනුණා.
ඊළඟ දවසෙම, අපගේ ඉස්සරහ දොරේ මුරටැඹ සඟරාවක් හිරකර තිබූ අතර, එහි ජිම්ගේ දුරකථන අංකය ලියවී තිබුණා. “කිසි විශේෂ හේතුවක් නැතිව” ඔහුගේ බිරිඳ විසින් එය තබා ගොස් තිබුණා. මං දුරකථනයෙන් ඔහු අමතා මගේ මත්පැන් හා මත්ද්‍රව්‍ය ගැටලුව පවසා ඔහුට මට උපකාර කළ හැකිද කියා ඔහුගෙන් විමසුවා. මා මත්ද්‍රව්‍ය අත්හරිනවා නම්, දිනපතාම පැමිණ මා සමඟ පාඩම් කරන බව ඔහු මට පැවසුවා.
මෙනිසා ගැඹුරු පාඩම් කිරීමේ කාලපරිච්ඡේදයක් ආරම්භ වුණා, ඒ සඳහා දිවා රෑ දෙකම මුළුමනින්ම වැය වුණා. ඔහු දිනපතාම මා සමඟ පාඩම් කළා පමණක් නොව, නමුත් බයිබල් පාඩම් පොත්ද, මුරටැඹ ලිපිද ඔහු මට සැපයුවා. මා රැයකට නිදාගත්තේ පැය හතරක් පමණයි—මෙය මත්පැන්වලට ඇබ්බැහි වූවන්ට තිබෙන සාමාන්‍ය ගැටලුවකි—එමෙන්ම මගේ ඉතිරි කාලය සම්පූර්ණයෙන්ම කැප කර තිබුණේ බයිබල් පාඩමටයි. මත්ද්‍රව්‍ය නොමැතිව, පසුගිය වසර තුළ මා විසින් ඉගෙනගෙන තිබූ සියල්ලද සෑම දවසකම පැය 18 සිට 20ක් දක්වා මා අධ්‍යයනය කිරීමෙන් ඉගෙනගත් සියල්ලද එකවරම කාවැදුණා.
ඊට අමතරව, සාක්ෂිකරුවන්ගේ රැස්වීම් සියල්ලට යෑමටද මා පටන්ගත්තා. සති ස්වල්පයකින් පමණක්, මගේ ජීවිතයේ මා කළ පළමු සැබෑ යාච්ඤාව දක්වා මා දියුණු වුණා, මෙය මගේ කැපවීමේ යාච්ඤාවද වුණා. මා දොරින් දොරට යන්ට පටන්ගත් අතර, හඳුනන සියලුදෙනාටම දේශනා කළා. පාඩම් හතක් ආරම්භ කරනු ලැබූ අතර, ඉන් පහක් බව්තීස්මය දක්වා දියුණු වුණා, මගේ බිරිඳත් පුතත් ඔවුන් අතර සිටියා. වර්ෂ 1976 මැයි 23වන දා චාරිකා එක්රැස්වීමකදී මා බව්තීස්ම වුණා, එය හරියට “අර මිතුරාට” දුරකථනයෙන් අමතා මාස තුනක් පමණි. මා පුරෝගාමි සේවය (පූර්ණ-කාලීනව දේශනා කිරීම) පටන්ගෙන අවුරුදු 13කට එහි රැඳී සිටියා.
දැන් මා ඇවිත් සිටින්නේ මම මේ කතාව පටන්ගත් තැනටයි—එනම් අවුරුදු 50ක් වයසැතිව, තනියම නිවසේදී, කියවමින් සිටි පොතක් නිසා අඬ අඬා සිටි තැනට. පෞද්ගලික-උපකාරය සඳහා වූ පොත් 80ගණන්වලදී ඉතා ජනප්‍රිය වූ අතර, ඉන් එකක් මම කියෙව්වා. ඇත්තම කියනවා නම්, පෞද්ගලික-උපකාරය දැක්වූ කොටස මට උපකාරවත් වුණේ නැහැ. ඉන් ඉදිරිපත් වූ ලෞකික කල්පනා රටාව අනුගමනය කිරීමට මා තුළ නැඹුරුවාවක් තිබුණේ නැහැ. එහෙත් මගේ ළමාවියේ පලුදු වූ වසර ගණනාව මෙන්ම ප්‍රේමය නොලැබීමෙන් ඒ සඳහා වූ චිත්තවේගීය අවශ්‍යතා, මාව චිත්තවේග අතින් බෙලහීන කර තිබූ ආකාරය මට පළමුවරට තේරුම්ගැනීමට එම පොත උපකාරවත් වුණා. ගලාගියේ ප්‍රීතියේ කඳුළුය—මන්දයත් චිත්තවේගීය හැඟීම් දැනීමේ හැකියාව මට දැන් තිබුණා—එමෙන්ම චිත්තවේගීය මිනිසෙකු වශයෙන් චිත්තවේගීය ලෙසින් ප්‍රතිචාර දැක්වීමට නොහැකිව වසර 50කට මා වින්ද මහත් පාඩුව සඳහාද මා ශෝකයේ කඳුළු හෙළුවා. මගේ ජීවිත කාලය පුරාම බොහෝ අවස්ථාවලදී මා දුක්වින්ද විෂාදයට හේතුව එනිසා මට පැහැදිලි වුණා.
බයිබලයේ යෙහෝවඃවහන්සේ ගැනත්, මට පවා උන්වහන්සේට තිබූ ප්‍රේමය ගැනත් මම කියවූ විට, මීට කලින් කිසි දිනක මට පෞද්ගලිකව නොහැඟුණා වූ චිත්තවේගීය හැඟීම් ක්‍රමක්‍රමයෙන් මා තුළ පහළ වුණා. මගේ බිරිඳ සහ පුතාට ප්‍රේමයත්, දෙවියන්වහන්සේගේ සභාවන් තුළ සහෝදර සහෝදරියන්ට ප්‍රේමයත්, එමෙන්ම, මෙහි පොළොව මත යෙහෝවඃවහන්සේ විසින් පොරොන්දු කර තිබෙන ධර්මිෂ්ඨකමේ නව ලොවේ ජීවත්වීමේ හැකියාව ලැබෙන පිණිසත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය ගැන දේශනා කළ අය උදෙසා ප්‍රේමයත් මට පහළ වුණා.
ප්‍රේම කිරීමටත් ප්‍රේම කරනු ලැබීමටත් මවනු ලැබීම
අපව මවනු ලැබුවේ ප්‍රේම කිරීමටත් ප්‍රේම කරනු ලැබීමටත්ය. දරුවෙකු උපත ලබන විට, ඔහුට ප්‍රේමය අවශ්‍ය වේ, එමෙන්ම පිළිගනු ලැබීමටද ඔහුට අවශ්‍ය වේ. දරුවෙකුට දෙමව්පියන්ගෙන් ප්‍රේමය සහ පිළිගැනීම නොලැබෙන විට, තමාට ප්‍රේමය ලැබිය නොහැකිය යන හැඟීමක්ද, ආත්ම-වටිනාකමේ හැඟීම් නොමැති බවක්ද, ඔහුට හැඟේ. මා ඉතා කුඩාව සිටි කාලයේදී, අතට ගනු ලැබීමට, වඩාගෙන ආදරය දක්වනු ලැබීමට මට දැඩි ආශාවක් තිබුණා. නිවසට අමුත්තන් පැමිණි කල, සෙල්ලම් කොටුව තුළ සිටි මා දෙස ඔවුන් බැලූ විට, ඔවුන් මාව වඩා ගනීවි කියා මා ආශාවෙන් බලා සිටි ආකාරය මට තවමත් සිහිවෙනවා. ඔවුන් කවදාවත් එහෙම කළේ නැහැ, කිසි කෙනෙක් කිසිදිනක මාව වඩා නොගත්ත නිසා මා අඬන්ට පටන්ගත්තා.
ළමාවියේ ඇති වූ එබඳු කැලැල් ස්වාමිපුරුෂයෙකු ලෙස සහ ගෘහ මූලිකයා ලෙස මගේ කාර්යභාරය ඉටු කිරීමෙහි දුර්වල වීමටත්, ස්වර්ගීය පියාණන් වන යෙහෝවඃවහන්සේට මට ප්‍රේම කළ හැකි බව විශ්වාස කිරීමටත්, නොහැකි කර තිබුණා. යෙහෝවඃවහන්සේ පිළිබඳ වූ සත්‍යය ක්‍රමක්‍රමයෙන් මාව වෙනස් කළා, උන්වහන්සේ සම්බන්ධයෙන් වූ මගේ ආකල්පය මගේ මනසින් මගේ හෘදයට ගිය අතර, යෙහෝවඃවහන්සේ මට මුළුමනින්ම ප්‍රේම කරන බව මං දැන් දන්නවා. එම ප්‍රේමය උපයාගැනීමට කිසි ක්‍රමයක් නොමැති බවත් මම දන්නවා. එය ප්‍රේමයේ දෙවි වන, යෙහෝවඃ දෙවියන්වහන්සේගෙන් අප ලබන්ට නොවටිනා තරම් වූ කරුණාවකි.
මේ සියල්ලේ ප්‍රධාන දෙය වනුයේ, යෙහෝවඃවහන්සේගේ ආශීර්වාද හේතුකොටගෙන, මගේ බිරිඳටත් මටත් දැන් හොඳ ජීවිතයක් ගත කිරීමට හැකි වීමයි. අප දැනට සේවය කරමින් සිටින්නේ රාජ්‍යය දේශනාකරුවන් සඳහා අවශ්‍යතාවක් වැඩියෙන් තිබෙන, කුඩා ප්‍රේමනීය සභාවක් පිහිටි ඇරිසෝනා කඳුකරයේ අලංකාර කුඩා නගරයකයි. සභාවේ මුලසුන භාර අවේක්ෂක හැටියට මා සේවය කරන අතර, සභා පොත් පාඩමක්ද පවත්වනවා, එමෙන්ම දිව්‍යාණ්ඩු සේවා පාසැල පැවැත්වීමටත් හැකිවීම මට මහත් ප්‍රීතියක්. මගේ විශ්‍රාම වැටුපේ මදිපාඩු පිරිමසාගැනීම සඳහා මං ජනෙල් සේදීමේ කුඩා ව්‍යාපාරයක් පවත්වනවා, එමනිසා ද්‍රව්‍යමය වශයෙන් අපට අවශ්‍ය සියල්ලත්, අපගේ දේව සේවයත් අපගේ ප්‍රේමනීය ස්වර්ගීය පියාණන්ට වූ අනෙකුත් සේවාවන් සියල්ල සඳහා ප්‍රමාණවත් කාලයත්, අපට තිබේ.
මගේ භාර්යාව “යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් එපා” යන එම සංඥාපත මා වෙතට විසි කළ එම උදෑසනේ මා සිටි තත්වය වෙතට හැරී බැලීමේදී, මගේ ස්වර්ගීය පියාණන් මට කර තිබෙන දේ උදෙසා කෘතඥපූර්වතාවෙන් මා පිරී සිටිනවා. රැකියාවක් පවත්වාගෙන යෑමට නොහැකි වූ මා සමඟ, අන් සියලුදෙනාද මරනු ලැබීම දැකගැනීමේ බලාපොරොත්තුව පමණක් ඇති ඇබ්බැහි වූවෙකුගේ තත්වයේ සිට, මම දැන් පොළොව මත තිබෙන්නාවූ යෙහෝවඃවහන්සේගේ දෘශ්‍යමාන සංවිධානයේ සාමාජිකයෙක්ව සිටින අතර, ලෝකයට තිබෙන එකම බලාපොරොත්තුව වන, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය හැකි තරම් ජනයාට දැන්වීමෙහි මා කැපවී සිටිනවා. තවද මට නිතරම වුවමනා වූ දේවල්: එනම් ප්‍රේමය, විශ්වාසය සහ පිළිගනු ලැබීම යන දේවල් මට දෙන්නාවූ ජනයාගෙන් මගේ ජීවිතය යෙහෝවඃවහන්සේ විසින් පුරවා තිබෙනවා.
මම තවදුරටත් කිසි වේදනාවක් දැනෙන්නේ නැති “පර්වතයක්” හෝ කවදාවත් අඬන්නේ නැති “දූපතක්” වීමට වෑයම් කරන්නේ නැහැ.—ලැරි රූබන් පැවසූ පරිදි. g94 11/22
[17වන පිටුවේ පින්තූරය]
ලැරි රූබන් සහ ඔහුගේ බිරිඳ, ඩොනා