ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 11/8 4-7 පි.
  • පරිණාමවාදයේ බලපෑම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පරිණාමවාදයේ බලපෑම්
  • 1995 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • නොඇදහීම මුල් අදී
  • දර්ශනය හා දේශපාලනය මත බලපෑම්
  • වැඩිදියුණුවක් නොව, අවමානයක්
  • පොතක් ලොව කම්පිත කරයි
    1995 පිබිදෙව්!
  • පරිණාමය හා ඔබ
    1995 පිබිදෙව්!
  • කතෝලික පල්ලිය සහ පරිණාමය
    1997 පිබිදෙව්!
  • විද්‍යාව, ආගම, සහ සත්‍යය සඳහා සෙවිල්ල
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1995 පිබිදෙව්!
g95 11/8 4-7 පි.

පරිණාමවාදයේ බලපෑම්

දහනවවන සියවසේ මුල්භාගයේදී, ආගම හා විද්‍යාව අතර සෑහෙන දුරට සුහද සබඳතාවක් තිබිණ. ජාති සම්භවය ප්‍රකාශයට පත් කිරීමට අවුරුදු දෙකකට පමණ පෙර, ජීව විද්‍යාඥ හා හාර්වඩ් සරසවියේ මහාචාර්ය වූ ලුවී ඇගසි ලීවේ, ජීවමාන ලෝකය “පූර්ව-විමර්ශනය, ප්‍රඥාව, ශ්‍රේෂ්ඨත්වය” පෙන්වන බවත්, ප්‍රාණී විද්‍යාවේ ප්‍රධාන අරමුණ “විශ්වයේ මැවුම්කරුගේ අදහස්” විග්‍රහ කරන බවත්ය.

ඇගසිගේ දෘෂ්ටිකෝණය නුහුරු නුපුරුදු එකක් නොවීය. විද්‍යාව හා ආගම එකට ගැළපෙන බව බොහෝදෙනෙක් සැලකූහ. විද්‍යාවේ සොයාගැනීම් උදාර මැවුම්කරුවෙකු සිටින බවට සාක්ෂි වශයෙන් බොහෝදුරට සලකන ලදි. එහෙත් ආගම හා විද්‍යාව අතර සියුම් විභේදයක් වර්ධනය වෙමින් පැවතිණ.

නොඇදහීම මුල් අදී

වර්ෂ 1830දී පළවූ චාර්ල්ස් ලයල්ගේ ප්‍රින්සිපල්ස් ඔෆ් ජියොලජිහි පළමු කාණ්ඩයේ, (භූ විද්‍යාවේ මූලධර්ම), බයිබලයේ මැවීමේ වාර්තාව පිළිබඳ සැක පහළ කළේය. සැබෑ දවස් හයක් තුළදී කිසිසේත් මැවීම සිදුවිය නොහැකි බව ලයල් කියා සිටියේය. භෞතික විද්‍යාඥ ෆ්‍රෙඩ් හොයිල් මෙසේ ලීවේය: “කෙසේ හෝ ඇතැම් පැතිවලින් බැලූ කල, බයිබලය වැරදිසහගත විය හැකි බවට වූ, එතෙක් සිතාගත නොහැකි තරම් අදහසක් පොදුවේ ලොවට ඒත්තුගැන්වීම සම්බන්ධයෙන් බොහෝදුරට වගකිව යුතු වූයේ ලයල්ගේ පොත්ය.”a

මෙසේ නොඇදහීම සඳහා අඩිතාලමක් තබන ලදි. බොහෝදෙනෙකුගේ කල්පනාවට අනුව, විද්‍යාව හා බයිබලය අතර තවදුරටත් එකඟතාවක් දක්නට නොහැකි විය. තෝරාගැනීමක් හමුවේ, බොහෝදෙනෙක් විද්‍යාවේ පැත්තගත්තෝය. “පරණ ගිවිසුමේ මුල් පරිච්ඡේද සම්බන්ධයෙන් ලයල්ගේ කෘතිය සැක පහළ කළ අතර, එහි තැනගැනීමට ඩාවින්ගේ පොත ඉදිරිපත් වී තිබිණ,” යනුවෙන් ෆ්‍රෙඩ් හොයිල් ලීවේය.

බයිබලය දේවවචනය හැටියට පිළිගැනීමට වුවමනා නොවූ අය සඳහා ඉතා උචිත කාලයක ජාති සම්භවය පැමිණියේය. ඒ වන විට මිනිසා හා විද්‍යාව අතර යම් හිතවත් සබඳතාවක් වර්ධනය වී තිබිණ. විද්‍යාවේ පොරොන්දු හා සමර්ථකම් මගින් වශී වූ මහජනයාව ඉන් ඇදගනු ලැබීය. වික්‍රමාන්විත විවාහ බස් යදින්නෙකු මෙන් විද්‍යාව මිනිසාට නවීන පන්නයේ ත්‍යාග අධික ප්‍රමාණයක් ලබා දුන්නේය—එනම් දූරේක්ෂය, අණ්වීක්ෂය, හුමාල එන්ජිම, තවද පසු කාලයකදී, විදුලිය, දූරකථනය හා මෝටර් රථය යනාදී වශයෙන්ය. පොදු ජනයාට පෙර නොවූ විරූ ද්‍රව්‍යමය වාසි සපයා දෙමින් සිටි කාර්මික විප්ලවයක්, තාක්ෂණික විද්‍යාව මගින් එවිටමත් පෝෂණය කර තිබිණ.

ඊට වෙනස්ව, ආගම ප්‍රගතියට මාර්ග බාධකයක් හැටියට සලකනු ලැබීය. ඊට විද්‍යාවේ ශීඝ්‍ර වැඩිවර්ධනය වීම් සමඟ සමගාමීව යෑමට බැරි වූ බැවින්, එය ජනයාව සිහි මුළා වූ තත්වයක රඳවාගත් බව සමහරුන්ට හැඟිණ. අදේවවාදීහු සිය මත ශබ්දනඟා හා එඩිතරව ප්‍රකාශ කිරීමට පටන්ගත්තෝය. ඇත්තෙන්ම, රිචඩ් ඩෝකින්ස් ලියූ පරිදි, “ඩාවින් බුද්ධියෙන් සෑහීමට පත්වූ අදේවවාදියෙකු වීමේ හැකියාව ලබා දුන්නේය.” විද්‍යාව, ගැළවීම සඳහා මිනිස්වර්ගයාගේ නව බලාපොරොත්තුව බවට පත්වෙමින් තිබිණ.

මුලදී, ආගමික නායකයෝ පරිණාමවාදයට විරෝධතා පෑවෝය. එහෙත් දශක ගණනාවක් ගෙවී යෑමත් සමඟ, පොදුවේ ගත් කල පූජක පක්ෂය ජනප්‍රිය මතයට අවනත වෙමින්, පරිණාමයේ හා මැවීමේ සම්මිශ්‍රණයක් පිළිගත්තෝය. නිව් යෝර්ක් ටයිම්ස්හි 1938දී පළ වූ සිරස්තලයක මෙසේ නිවේදනය කර තිබිණ: “එංගලන්ත සභාවේ වාර්තාවක් මගින් මැවීම පිළිබඳ පරිණාමවාදී අදහස තහවුරු කෙරේ.” යෝර්ක්හි අග්‍රබිෂොප් යටතේ පැවති කොමිසමක් මගින් කරන ලද වාර්තාව මෙසේ ප්‍රකාශ කළේය: “උත්පත්ති I හා IIහි දක්නට ලැබෙන මැවීම පිළිබඳ වාර්තා දෙකට මිථ්‍යා මූලාරම්භයක් තිබෙන බවත්, අප සඳහා ඒවායේ වටිනාකම ඓතිහාසික නොව නමුත් සංකේතාත්මක බවත්, උගත් ක්‍රිස්තියානීන් අතර පොදුවේ පිළිගනු ලබන කාරණයක් බැවින්, පරිණාමවාදයකට විරුද්ධව දිව යන කිසිවක් ඒවායින් උකහාගත නොහැක.” එම අග්‍රබිෂොප්ගේ කොමිසමේ නිගමනය මෙසේ විය: “ඔබට කැමති අන්දමකට කල්පනා කළ හැකි අතර, දිගටම ක්‍රිස්තියානි භක්තිකයෙකු විය හැක.”

බයිබලය හා පරිණාමය එකට දිව යන බව පෙන්වීමට ගත් එවන් උත්සාහයන් මගින් සිදුවූයේ, බොහෝදෙනෙකුට බයිබලයේ විශ්වසනීයත්වය බාල්දු කිරීම පමණි. එහි ප්‍රතිඵලය වූයේ, බයිබලය පිළිබඳ පුළුල්ව පැතිරුණු නොඇදහීමකි, තවද සමහර ආගමික නායකයන් අතර පවා, මෙය තවමත් පවතී. බයිබලය ප්‍රාග්විද්‍යාත්මක යුගයක ලියනු ලැබූ බැවින්, එහි අගතිය හා නොදැනුවත්කම පිළිබිඹු වූ බවට තරයේ කියා සිටි කැනඩාවේ එපිස්කොපල් රදගුරුවරයෙකුගේ අදහස් නිදර්ශනයක් සේ ගත හැක. යේසුස්වහන්සේගේ උපත හා නැවතනැඟිටීම සම්බන්ධයෙන් බයිබලයේ “ඓතිහාසික දෝෂ” හා “අශෝභන අතිශයෝක්ති” අන්තර්ගත වී තිබූ බව හේ පැවසීය.

මෙසේ, පූජක පක්ෂයේ සාමාජිකයන් ඇතුළත්ව, බොහෝදෙනෙකු බයිබලය හෙළාදැකීමට උත්සුක වී තිබේ. එහෙත් එවන් නොඇදහීමක් කොතැනකට මඟ පෙන්වා තිබේද? ඉදිරිපත් කර තිබෙන්නේ කිනම් විකල්ප බලාපොරොත්තුවද? බයිබලය කෙරෙහි දුබල කරන ලද ඇදහිල්ලක් ඇතුව, සමහරුන් දර්ශනය හා දේශපාලනය දෙස සිය නෙත් යොමා ඇත.

දර්ශනය හා දේශපාලනය මත බලපෑම්

ජාති සම්භවය මානව හැසිරීම පිළිබඳ නැවුම් අදහසක් ඉදිරිපත් කළේය. එක් ජාතියක් තවත් ජාතියක් පරාජය කිරීමෙහි සාර්ථක වන්නේ මන්ද? එක් වර්ගයක් තවත් වර්ගයක් අබිබවා නැඟී එන්නේ මන්ද? ස්වාභාවික වරණය හා උචිතෝන්නතිය (යෝග්‍යතමයාගේ ස්ථිතිය) පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ ජාති සම්භවය, 19වන සියවසේ ප්‍රමුඛ පෙළේ දාර්ශනිකයන්ගේ සිත්ගැනීමට සැලැස්වූ පහදා දීම් දුන්නේය.

ෆ්‍රීඩ්රිච් නීච්ච (1844-1900) සහ කාර්ල් මාක්ස් (1818-1883) දේශපාලනය කෙරෙහි ඉමහත් බලපෑමක් කළ දාර්ශනිකයෝ වූහ. ඒ දෙදෙනාගේම සිත් පරිණාමය වෙත ඇදී ගියේය. “ඩාවින්ගේ පොත වැදගත් වන අතර, ඉතිහාසයේ පංති අරගලය සඳහා ස්වාභාවික විද්‍යානුකූල පදනමක් හැටියට මට එය උපකාරවත් වේ,” යයි මාක්ස් පැවසීය. ඉතිහාසඥ විල් ඩ්‍යූරැන්ට් “ඩාවින්ගේ දරුවෙකු” වශයෙන් නීච්චව හැඳින්වීය. ෆිලොසෆි—ඇන් අවුට්ලයින්-හිස්ටරි (දර්ශනය පිළිබඳ ආකෘති සටහනක-ඉතිහාසයක්) යන පොත නීච්චගේ එක් විශ්වාසයක් මෙසේ කැටි කොට දැක්වීය: “ඉදිරියේදී බිහිවන සමාජයට හොඳින්ම ගැළපෙන්නේ, ශක්තිසම්පන්න, නිර්භීත, බලපවත්වන, ආඩම්බර අයයි.”

අනාගතයේදී “වඩාත් පහත් වර්ග අසීමිත ගණනක් වඩාත් උසස් ශිෂ්ටසම්පන්න වූ වර්ග මගින් තුරන් කරනු ලැබ තිබෙනු ඇතැයි” ඩාවින් විශ්වාස කළේය—තවද මිතුරෙකුට ඔහු ලිපියක් තුළින් ඒ කාරණය දැනුම් දුන්නේය. යුරෝපීය ජාතිකයන් විසින් අනුන් යටපත් කිරීම පූර්වාදර්ශයක් වශයෙන් යොදාගත් හේ, මෙය “ජීවන සටනේ” ප්‍රතිඵලයක් වශයෙන් සිදුවන යමක් බව පැවසීය.

බලවත්හු එවන් ප්‍රකාශන තම වාසිය සඳහා යොදාගැනීමට උත්සුක වූහ. එච්. ජී. වෙල්ස්, දි අවුට්ලයින් ඔෆ් හිස්ටරිහි මෙසේ ලීවේය: “දහනවවන සියවසේ අවසානයේදී ජීවත්වූ බලපවත්වන ජනයා තමුන් බලපැවැත්වූයේ, බලවත් හා කපටි අය විසින්, දුර්වල හා අහිංසක අය යටපත් කරනු ලබන ජීවන සටන හේතුකොටගෙන බව විශ්වාස කළෝය. තවද ඔවුන් තවදුරටත් විශ්වාස කළේ, ඔවුන් ශක්තිසම්පන්න, ක්‍රියාශීලී, දයාවිරහිත, ‘ප්‍රායෝගික’ හා ආත්මාර්ථකාමී විය යුතු බවය.”

මෙසේ “උචිතෝන්නතිය” යන යෙදුමට බොහෝදුරට අද්භූත අන්දමින් දාර්ශනික, සමාජීය හා දේශපාලනමය අර්ථ ආරූඪ වීමට පටන්ගති. “සමහරදෙනෙකුට යුද්ධ කිරීම ‘ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක්’ බවට පත්වූයේ” යයි මයිල්ස්ටෝන්ස් ඔෆ් හිස්ට්‍රි යන පොත පැවසීය. තවද ඊළඟ සියවසේදී, “ඩාවින්වාදී අදහස් වාර්ගික ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ හිට්ලර්ගේ ධර්මයේ අනිවාර්ය කොටසක් බවට පත්වූ” බව මෙම පොත සඳහන් කළේය.

තම අදහස් අදාළ කරගන්නා අන්දමවත්—නැතහොත් වරදවා අදාළ කරගන්නා අන්දමවත් දැකගැනීමට ඩාවින්වත්, මාක්ස්වත්, නීච්චවත් ජීවත් නොවූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඇත්තෙන්ම, ජීවන සටන මිනිසාගේ ජීවන තත්වය වැඩිදියුණු කරාවියයි ඔවුහු අපේක්ෂා කළෝය. “සියලුම ද්‍රව්‍යමය හා මානසික උරුමයන් පරිපූර්ණත්වය කරා ප්‍රගතියක් ලැබීමට ප්‍රවණතාවක් දක්වන” බව චාර්ල්ස් ඩාවින් ජාති සම්භවය තුළ ලීවේය. විසිවන සියවසේ පූජක මෙන්ම ජීවවිද්‍යාඥ පියේර් ටෙයැර් ඩ ෂැර්ඩැන් මෙයට එකඟ වූයේය, ඔහුගේ මතය අනුව අන්තිමේදී, ‘මුළුමහත් මිනිස්වර්ගයාගේ මනස්වල පරිණාමයක් සිදුවනු ඇත; සියලුදෙනාම එක ඉලක්කයක් කරා සමඟියෙන් වැඩ කරනු ඇත.’

වැඩිදියුණුවක් නොව, අවමානයක්

එවන් වැඩිදියුණුවක් ඇතිවන බව ඔබ දකින්නෙහිද? ක්ලිඟිං ටු ඒ මිත් (මිථ්‍යාවකට ඇලී සිටීම) යන පොත ඩ ෂැර්ඩැන්ගේ ශුභවාදී මත ගැන මෙසේ අදහස් පළ කළේය: “මිනිස් ලේ වැගිරවීම පිළිබඳ ඉතිහාසය ගැනත්, දකුණු අප්‍රිකාවේ වර්ණභේදය වැනි ජාතිවාදී පිළිවෙත් ගැනත්, ඩ ෂැර්ඩැන් සෑහෙන දුරට අවබෝධයක් නැතුව සිටින්ට ඇත. හරියටම පෙනෙන්නේ ඔහු මේ ලෝකයේ ජීවත් නොවන මිනිසෙකු හා සමාන බවය.” සමඟිය කරා ප්‍රගතියක් ලබනවා වෙනුවට, මෙම සියවසේ මිනිස්වර්ගයා පෙර නොවූ විරූ පරිමාණයකින් වාර්ගික හා ජාතික භේද අද්දැක ඇත.

මිනිසා පරිපූර්ණත්වය කරා, යටත් පිරිසෙයින් වැඩිදියුණුව කරා ප්‍රගතියක් ලබන බවට වූ ජාති සම්භවය තුළ ඉදිරිපත් වූ බලාපොරොත්තුව බෙහෙවින් ඉටු නොවූ තත්වයක පවතී. තවද කාලයාගේ ඇවෑමෙන් එම බලාපොරොත්තුව තවත් අඳුරුවන්නේය, මන්දයත් පරිණාමය පොදුවේ පිළිගත් දා පටන්, මිනිස් පවුල හැමවිටම පාහේ ම්ලේච්ඡත්වය තුළට බැස ඇති බැවිනි. මෙය සලකා බලන්න: මෙම සියවස තුළදී යුද්ධ හේතුකොටගෙන මිලියන 100කට වැඩි ජන සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වී ඇත, දෙවන ලෝක සංග්‍රාමයේදී පමණක් නැසීගිය මිලියන 50ත් මීට ඇතුළත්ය. එමෙන්ම රුවන්ඩාව හා කලින් යුගෝස්ලාවියාව වැනි ප්‍රදේශවල මෑතකදී සිදුවූ වාර්ගික ඝාතන සලකා බලන්න.

පසුගිය සියවස් තුළ යුද්ධ හා කෲරකම් සිදු නොවූ බව මින් අදහස් කෙරේද? නැත, ඇත්තෙන්ම එසේ සිදුවිය. එහෙත් මෙම කෲර ජීවන සටන ආශ්‍රිත මානසික ආකල්පය, මෙම උචිතෝන්නතිය පිළිබඳ අදහස, එනම් පරිණාමවාදය පිළිගැනීම, මිනිසාගේ තත්වය වැඩිදියුණු කිරීමට දායක වී නැත. එබැවින් පරිණාමය මිනිසාගේ කරදර සියල්ලකටම වගකිව යුතු නොවුවත්, වෙන කිසිදාකට වඩා ප්‍රබල වූ වෛරය, අපරාධ, සාහසිකකම, දුරාචාරය හා අවමානය තුළට මිනිස් පවුල ඇදදැමීමට එය උපකාරවත් වී තිබේ. මිනිසුන් මෘගයන්ගෙන් පැමිණි බවට පොදුවේ පිළිගන්නා බැවින්, වැඩිවෙමින් පවතින ජන පිරිසක් මෘගයන්ට සමානව ක්‍රියා කිරීම පුදුමයට හේතුවක් නොවේ.

[පාදසටහන]

a ඇත්තෙන්ම, පෘථිවිය සැබෑ දවස් හයක් (පැය 144ක්) තුළදී මවනු ලැබූ බව බයිබලය උගන්වන්නේ නැත. මෙම වරදවා වටහාගැනීම සම්බන්ධයෙන් තවත් තොරතුරු සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්‍රකාශිත ලයිෆ්—හෞ ඩිඩ් ඉට් ගෙට් හියර්? බයි එවලූෂන් ඕර් බයි ක්‍රිඒෂන්?, පිටු 25-37 බලන්න.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘ඩාවින්ගේ පොත ඉතිහාසයේ පංති අරගලය සඳහා විද්‍යානුකූල පදනමක් හැටියට මට උපකාරවත් වේ.’—කාර්ල් මාක්ස්

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘වඩාත් පහත් වර්ග වඩාත් උසස් ශිෂ්ටසම්පන්න වූ වර්ග මගින් තුරන් කරනු ලැබ තිබේවි.’—චාර්ල්ස් ඩාවින්

[6වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

U.S. National Archives photo

[6වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ප්‍රතිරූපණ අයිතිය British Museum

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න