ලෝකය දෙස බැලීම
සරණාගතයන් අතර සූනියම් කිරීම
යුද්ධයෙන් දෙදරා ගිය රුවන්ඩාවෙහි සිට පැමිණි සරණාගතයෝ උතුරු ටැන්සානියාවේ න්ගරා නගරයේ ඇති ඔවුන්ගේ කඳවුරුවල තවත් ප්‍රශ්නයකින් මහත් හිරිහැරයක් විඳිති: එනම් සූනියම් කිරීම. රොයිටර් ප්‍රවෘත්ති සේවාව අනුව, Unhcr (එක්සත් ජාතීන්ගේ අනාථයන් පිළිබඳ මහ කොමසාරිස්) සූනියම් කිරීම කඳවුරුවල “බරපතළ ප්‍රශ්නයක්” බව අවධාරණය කළේය. Unhcr නියෝජිත ක්‍රිස් බවර්ස් අනුව, සෑම රාත්‍රියකම, පුද්ගලයන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු ගුප්ත ආගමික චාරිත්‍රවලදී මරනු ලැබේ. “අපි දන්නවා සූනියම් මෙය හා සම්බන්ධ බව, මන්ද එක් නිශ්චිත ක්‍රමයකට මළකඳන් කපා කොටා තිබේ” යනුවෙන් ඔහු පැහැදිලි කළේය. වර්ෂ 1994 අවසානයේදී පමණ න්ගාරා කඳවුරුවල මිනිසුන් 5,80,000කට ආසන්න ප්‍රමාණයක් ජීවත්වූ අතර, සෑමදිනකම නව සරණාගතයෝ 2,000ක් පමණ පැමිණියහ. එක් එ.ජ. මූලාශ්‍රයක මෙසේ පවසන බව රොයිටර් වාර්තාකරුවෝ උපුටා දැක්වූහ: “සූනියම් කිරීම්වල වැඩිවීමක් තිබෙන අතර, එය සමඟ කටයුතු කරන්නේ කෙසේදැයි අපි නොදනිමු.”
පූජකවරුන් “විසන්ධි කෙරේ”
ජංගම දූරකථනය, සන්නිවේදනයේ වඩාත්ම පහසු මාධ්‍යයක් බව කියා සිටියත්, ෆින්ලන්තයේ එක් බිෂොප්වරයෙක් හොඳ යමක් පවා දරාගත නොහැකි තත්වයකට පත්විය හැකියයි තීරණය කළේය. රොයිටර් වාර්තාකරුවන් අනුව, බිෂොප්වරයා “ජංගම දූරකථන එය පාවිච්චිකරන්නාට සේවයක් පිරිනමනවා මිස, වහලෙකු බවට පත් නොකළ යුතුයි” යනුවෙන් ස්ථිර ලෙස ප්‍රකාශ කළ අතර, පල්ලියේ වැඩකරුවන්ට හා දේවගැතිවරුන්ට මෙම උපකරණවල පාවිච්චිය අවම කරන මෙන් නියෝග කළේය. සමහර දේවගැතිවරුන් දේවමෙහෙය සිදුවන අතරතුර දූරකථන පණිවුඩ ගන්නා බවට, මීසම්වාසීන්ගේ පැමිණිලි බිෂොප්වරයා වෙත පැමිණ තිබූ බව පෙනේ. එවැනි එක් ඇමතුමක් අවමංගල මෙහෙයක් සිදුවන අතරතුර පැමිණි බවට වාර්තා වී තිබිණ. සමානාකාරයෙන්ම, එක් කාන්තාවක පාපෝච්චාරණය කරන විට පූජකයාගේ දූරකථනය නාද වෙනවා තමාට ඇසුණු බව පැමිණිලි කළාට පසුව, පූජකවරුන්ට ඔවුන්ගේ දූරකථන පාපෝච්චාරණ ආසනයට නොගෙනෙන මෙන් මෑතකදී ඉතාලියේ එක් කතෝලික සඟරාවක් අවවාද කළේය.
මව්වරුන්ට හොඳයි—සිඟිත්තන්ට නරකයි
බොහෝ කාන්තාවෝ රක්තහීනතා රුධිරයට ප්‍රාණවත්බවක් ලබා දීම පිණිස, ඔවුන්ගේ සෞඛ්‍යය සඳහා යකඩ අඩංගු පෙති ගත්තත්, එම පෙතිම ලබාගන්නාවූ දරුවන්ට එය කොපමණ අනතුරුදායකවේද කියා සමහරු නොදනිති. සේෆ්ටි+හෙල්ත් සඟරාව අනුව, වයස අවුරුදු හයට අඩු දරුවන් අතර, විෂවීමෙන් සිදුවන්නාවූ මරණවලට ප්‍රධානතම හේතුව යකඩ අඩංගු පෙති වේ. එවැනි පෙති බෝතල්වල අසුරනවා වෙනුවට, විවෘත කිරීමට අපහසු ප්ලාස්ටික් අසුරනවල තනි තනිව අසුරන මෙන් එ.ජ. ආණ්ඩුව යෝජනා කර තිබේ. එය එසේවුවත්, ඔවුන් අනිකුත් පෙති සහ බෙහෙත්වලට කරන්නාක් මෙන් මෙම යකඩ අඩංගු පෙතිද, කුඩා අත්වලට ළඟාවිය නොහැකි ස්ථානයක තබන මෙන් මව්වරුන්ට උපදෙස් දී තිබේ.
තුවක්කු සටන් ජපානයේ වැඩිවෙමින් පවතී
ජපානය ලෝකයේ වඩාත්ම ආරක්ෂාකාරි ජාතීන්ගෙන් එකක් ලෙස ප්‍රකටය. එහි වාර්ෂික මිනීමැරුම් අනුපාතිකය මිනිසුන් 1,00,000කට 1ක් පමණය, නමුත් තායිලන්තය සහ එක්සත් ජනපදය වැනි රටවල අනුපාතය ආසන්න වශයෙන් දසගුණයකින් වැඩිය. එසේවුවත්, මෑතකදී, ගිනිඅවි හා සම්බන්ධ මිනීමැරුම්වලින් ජපානය කම්පාවට පත්වී ඇති බව ඒෂියාවීක් සඟරාව වාර්තා කරයි. වර්ෂ 1990 සිට 1993 දක්වා වසරකට වෙඩි තැබීම් 180ක් සිදුවූ අතර, ඒ සියල්ලක්ම අපරාධ හා සම්බන්ධ සංවිධානය වූ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් සිදුවී තිබේ. එහෙත් භයානක ලෙස, 1994දී වෙඩි තැබීම් ප්‍රමාණය ඉහළ නැඟුණු අතර, ගොදුරුවූවන්ගෙන් හත්දෙනෙකුම සාමාන්‍ය පුරවැසියන් විය. පෞද්ගලික ලෙස තුවක්කු අයිති කරගැනීමට විරුද්ධව ජපානයේ තද නීති තිබුණත්, නීතිවිරෝධී ගිනිඅවි 1,00,000ක් පමණ ප්‍රමාණයක් රට තුළ තිබෙන බව පොලීසිය වාර්තා කරයි. කලකිරුණු කලින් සිටි රෝගියෙකු විසින් ජනයන්ගෙන් පිරි දුම්රියපොළක වෛද්‍යවරයෙකුට වෙඩි තැබීමෙන් පසු, එක් විද්‍යාල ශිෂ්‍යයෙක් පිළිසඳරකදී මෙසේ ප්‍රකාශ කළේය: “මම සිතුවේ මෙය සිදුවිය හැක්කේ අමෙරිකාවේ පමණක් බවයි.”
තාක්ෂණය සහ සබත් රැහැනින් මිදීමට උපක්‍රම
හලකා හෙවත් පුරාණ යුදෙව් නීති පද්ධතියට අනුව, දැඩි ජීවිතයක් ගත කරන්ට වෑයම් කරන ඉශ්‍රායෙල්වරුන්ට අධිතාක්ෂණ ලෝකයේ ජීවත්වීම යම් සැබෑ අභියෝග ඉදිරිපත් කරයි. ඔර්තඩොක්ස් යුදෙව්වරුන්ට ලෝහ අනාවරකයක් තුළින් ඇවිදගෙන යෑම සිත් වේදනා ගෙන දෙන කරුණකි. ඔවුන්ගේ යතුරු, අනාවරකය ක්‍රියාත්මක කළහොත් ඔවුන් විසින් නොසැලකිල්ලෙන් විද්‍යුත් පරිපථයක් සම්පූර්ණ කර දැමිය හැක. මෙය සබත් දිනයේදී ගින්නක් ඇවිළවීමට විරුද්ධව ඇති හලකා නීතිය උල්ලංගනය කිරීමක්යයි ඔවුහු සිතති. එමනිසා ට්සොමෙට් නමැති සංවිධානය යතුරු කැරැල්ලක් වැනි සාමාන්‍ය භාණ්ඩවලට ප්‍රතික්‍රියා නොකරන අනාවරකයක් නිපදවා ඇත. මේ හේතුවෙන් සබත් දින පැවැත්වීමට මෙය තර්ජනයක් නොවේ. සබත් දිනයේ තම වෘත්තියට අදාළ යම් යම් දේ ලිවීමට සිදුවන ඔර්තඩොක්ස් වෛද්‍යවරුන්ගේ ගැටලුව විසඳීමට තවත් සංවිධානයක් ක්‍රියා කර ඇත. එම සංවිධානය, දවස් කිහිපයකින් අතුරුදහන් විය හැකි තීන්ත වර්ගයකින් ලිවිය හැකි ෆෙල්ට් තුඩ සහිත පෑනක් නිපදවා තිබේ. එය උපකාර වන්නේ කෙසේද? හලකා සබත් දිනයේ ලිවීම තහනම් කරයි, නමුත්, ලිවීම ස්ථාවර ලකුණක් ඉතිරි කිරීමක් ලෙස අර්ථ දක්වයි. “රැහැනින් මිදීමට මඟක් දෙවියන්වහන්සේ ඇති කළා නම්, එය භාවිත කිරීමට ඉඩ තබන” බව රබ්බිවරයෙක් තර්ක කළායයි ද නිව් යෝර්ක් ටයිම්ස් උපුටා දැක්වූයේය.
අනතුරට ලක් යෝධයෝ
ගැලපගොස් දිවයින්වල සිටින යෝධ ඉබ්බන් ජාත්‍යන්තර ලෙස සුප්‍රසිද්ධ වන අතර, අනතුරට ලක් විශේෂයක් ලෙස ආරක්ෂා කර තිබේ. එහෙත් මෑතකදී, මෙම අතිවිශාල උරගයන් නව අන්තරායකට මුහුණ දෙන බව පැහැදිලි වී තිබේ. මාසයකට පමණ ගැලපගොස් දූපත්වල ඇති ඉසබෙලා දිවයින හරහා ගින්නක් මහත් වේගයෙන් පැතිර ගියේය. විපතෙන් මුදවාගන්නා වැඩකරුවෝ දිවයිනේ අගනා ඉබ්බන් 6,000ක් ආරක්ෂා කරගැනීමට අගල් හෑරූ අතර, උන්ගෙන් 400ක් පමණ විශේෂ අභය භූමියකට පවා ගෙන ගියහ. පසුව සඳහන් කරන ලද පියවර ගන්නා ලද්දේ ගින්නට වඩා මිනිසුන්ගෙන් එම කැස්බෑවන් බේරාගැනීම පිණිසය. ද යුනෙස්කෝ කුරියර් අනුව, “ඉබි-දඩයම, නීත්‍යනුකූල නොවුවත්, පැහැදිලිවම එය සම්ප්‍රදායික පුරුද්දකි. ඉබි මස් විශේෂ රසයෙන් සපිරි ආහාරයක් ලෙස සලකනවාට අමතරව, විශේෂයෙන්ම ගැහැනු සතුන්ගේ මස් සහ ලේවල රෝග සුව කිරීමේ ශක්තිය ඇති සංඝටක අඩංගු බවට සලකනු ලැබේ.” මිනිසුන් විසින් අනුභව කර තිබූ මෙම යෝධයන්ගෙන් 42ක පමණ අවශේෂයක් ආරක්ෂකයෝ සොයාගත්හ.
“ආණ්ඩුව විසින් කරන ලද මරණ”
ඉහත සඳහන් කරන ලද්දේ හවායි විශ්වවිද්‍යාලයේ ආර්. ජේ. රමල්ගේ නව පොතේ මාතෘකාවය. මෙම ශතවර්ෂය අතරතුර මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් ආණ්ඩුවට ඇති භූමිකාව යන විෂය යටතේ වසර අටකට වැඩි කාලපරිච්ඡේදයකට, රමල් මහතා විසින් “දහස් ගණන් මූලාශ්‍රවලින්” දත්ත එකතු කරන ලදි. ද හොනලුලු ඇඩ්වටයිසර්, පොතේ මෙසේ සඳහන් කරයි: “ආසන්න වශයෙන් මිලියන 170ක් පමණ පිරිමි, ගැහැනු සහ දරුවන්ට වෙඩි තබා, ගසා, වධහිංසා කර, පිහියෙන් ඇන, පුලුස්සා, හාමතෙන් සිටීමට සලස්වා, අධික ශීතලයෙන් සිටීමට සලස්වා, තලා හෝ අධික වෙහෙසෙන් මැරෙන පිණිස වැඩ ගෙන ඇත; ජීවත්ව සිටියදී වැළලීම, දියේ ගිල්වා, එල්ලුම් ගස් යවා, බෝම්බවලින් නැතහොත් අසංඛ්‍යාත ගණන් උපක්‍රම යොදා මරුමුවට පත් කරමින් ආණ්ඩු විසින් යුදඅවි නැති අසරණ පුරවැසියන් සහ විදේශිකයන් කෙරෙහි මරණය පමුණුවනු ලැබ තිබේ.” රමෙල් මෙසේ පවසයි: “නවීන මහමාරියකින් අපගේ වර්ගයාව වනසා ඇත්තාක් මෙනි.” රමෙල්ගේ සොයාගැනීම් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පත්‍රය මෙසේ වාර්තා කරයි: “මෙතරම් විශාල ඝාතන ප්‍රමාණයක් කිසිම ශතවර්ෂයක් තුළ දැක නැහැ.”
ප්‍රයෝජනවත් පණුවෝ
“ඉන්දියාවේ තවත් වසංගතයක පැතිරීම වැළැක්වීමට ගැඩවිලා රහසිගත ආයුධයක් වේ,” යනුවෙන් නිව් සයන්ටිස්ට් සඟරාව වාර්තා කරයි. කසළ එකතු වූ විට මාරාන්තික රෝග පතුරුවන මීයන් සහ අනිකුත් පළිබෝධකයන් බහුල වේ. දැන් අවට ප්‍රදේශවල දක්නට ලැබෙන සහජ වර්ගයක් වන පෙරටිමා ඉලොන්ගටා, යන ගැඹුරට-හාරායන පණුවන්, කසළ ප්‍රයෝජනදායක කොම්පෝස්ට් බවට පෙරළීමට යොදවාගෙන තිබේ. මෙම පණුවෝ කැලි කසළ දමන ස්ථානවලට හඳුන්වා දුන් විට, උන් ඒ තුළින් ගමන් කර කසළ කා පහසුවෙන් විශ්ලේෂණය කළ හැකි හොඳ කොම්පෝස්ට් නිපදවයි. මෙම ශිල්ප ක්‍රමය දැනටමත් බොම්බායේ ක්‍රියාත්මක වන අතර, සෑමදිනකම මස් මඩුවල ටොන් හතරක කසළ මෙම ක්‍රියාමාර්ගයට යටත් වේ. දැනට භස්මකාරක සහ පස් පිරවීම කෙරෙහි රඳා පවතින ප්‍රාදේශික බලමණ්ඩල දැන් මෙම ප්‍රයෝජනවත් පණුවන් දෙස උනන්දුවෙන් බලා සිටිති.
පල්ලිය සහ යුද්ධ
සර්බියානු ඔර්තඩොක්ස් පල්ලිය බෝල්කන් ප්‍රදේශයේ තිබෙන ගැටුම තුළ රඟ දක්වා ඇති භූමිකාව කුමක්ද? එංගලන්තය, ජර්මනිය, ග්‍රීසිය, රුසියාව, සර්බියාව, ස්වීඩනය, ස්විට්සර්ලන්තය සහ එක්සත් ජනපදය යන රටවල ඔර්තඩොක්ස් සහ රෙපරමාදු පල්ලි නායකයන් අතර මෑතක සිදුවූ වටමේස සාකච්ඡාවකදී එම ප්‍රශ්නය සැලකිල්ලට භාජන කරන ලදි. එම සාකච්ඡාවන් සංවිධානය කරන ලද්දේ පල්ලිවල ලෝක මන්ත්‍රණ සභාව විසින් වන අතර, එය ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ පවත්වන ලද බව ජර්මනියේ ප්‍රකාශයට පත් කරන ලද කතෝලික ප්‍රවෘත්ති පත්‍රයක් වන ක්‍රයිස්ට් ඉන් ඩෙර් ගේගෙන්වාර්ට් (සමකාලීන ක්‍රිස්තියානියා), වාර්තා කළේය. සර්බියානු ඔර්තඩොක්ස් පල්ලිය යුද්ධයේදී පැතිගන්නා බවටත්, එයට කැමති පැත්තට “මහත් උපකාරයක් දෙන බවටත්” කළ චෝදනාවලින් පසු, මෙම සාකච්ඡා කරන ලදි. බරපතළ චෝදනාවන් තිබියදීත්, “අදහස්වල විවිධත්වයන් සියල්ලම නිරවුල් කිරීමට නොහැකි” වුවත් සර්බියානු ඔර්තඩොක්ස් පල්ලියට, පල්ලිවල ලෝක මන්ත්‍රණ සභාවේ සාමාජිකත්වයේ පැවතී සිටින්ට ඉඩ දීමට සාකච්ඡාවලට සහභාගි වූ වැඩිදෙනෙක් කැමැත්ත ප්‍රකාශ කළහ.
මත්ද්‍රව්‍ය ව්‍යාපාරය යෝධ ව්‍යාපාරයකි
ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්ති පත්‍රයක් වන ද සිඩ්නි මෝනිං හෙරල්ඩ් මෙසේ පවසයි: “ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වෙළඳාම යුද්ධායුධ ව්‍යාපාරයට පසු, ලෝකයේ වැඩිම ලාභ උපදවන දෙවන ව්‍යාපාරය වේ, වාර්ෂිකව එ.ජ. ඩොලර් බිලියන 400ක් ඇදගනු ලබන අතර, ආසියාවේ දේශපාලන පද්ධති අඩපණ කරයි.” මෙම මුදල් ප්‍රමාණයට “සියලුදෙනාම පාහේ දූෂණය කිරීමට බලය තිබේ” යනුවෙන් ඉන්ටර්පොල් සංවිධානයේ ලේකම්-ජනරාල් පවසයි. මියන්මාර්, තායිලන්තය සහ ලාඔස් යන රටවල මායිම අසල පිහිටි රන් ත්‍රිකෝණය සහ ඇෆ්ගනිස්තානය, පකිස්තානය අසල පිහිටි රන් චන්ද්‍රවංකය තුළ ලෝකයේ නිෂ්පාදනය කරන හෙරොයින් ප්‍රමාණයෙන් සියයට 80ක්ම නිෂ්පාදනය කරන බැවින් ආසියාව මෙහිදී විමසිල්ලට ලක් වේ. “ත්‍රස්තවාදයේ ප්‍රධාන උපයන මාර්ගය මත්ද්‍රව්‍ය වී ඇති” බව ඉන්ටර්පෝල් ආයතනයේ මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රධානියා තවදුරටත් කියයි.