කැළි කසළ අතිරික්තය විසඳීමට කොම්පෝස්ට්
ෆින්ලන්තයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
මිනිස්වර්ගයාගේ කැළි කසළ වඩ වඩා ගොඩ ගැසෙත්ම, එය අදදින යුගයේ පවතින අසීරුම උභතෝකෝටික ප්‍රශ්නවලින් එකක් මතු කරයි. නවීන තාක්ෂණය කැළි කසළ නිපදවීමේදී දක්ෂ වුවත්, එය ඉවත් කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වාගේ අසමත් වී තිබෙන බව පෙනෙන්ට තිබේ. බොහෝ කල් පැවත තිබෙන සම්මත වූ සම්ප්‍රදායික විසඳුම් ගැටලුවලින් පිරී පවතී. කැළි කසළ ගොඩ කිරීම තුළින් අවට භූගත ජලය දූෂණය කළ හැකි බැවින්, කැළි කසළ ගොඩ කිරීම නතර කිරීමට බොහෝ රටවල් බල කර තිබේ. තවද, කැළි කසළ පිළිස්සීමේදී, විෂ සහිත රසායනික ද්‍රව්‍ය හා අළු පිටවිය හැකි අතර, මේ දෙකම ඉවත් කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ගැටලු පවතී. මෙසේ බොහෝ ප්‍රදේශවල අධිතාක්ෂණික භස්මීකර ජනප්‍රිය නැත.
කුමන විකල්පයක් ඉතිරි වී තිබේද? ඝන අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා සමහරු ස්වාභාවික ක්‍රමයක් යෝජනා කරති—එය කොම්පෝස්ට් නමින් හැඳින්වෙන යම් ආකාරයක ජීව විද්‍යාත්මක “ගින්නකි”. ගින්නකදී සිදුවන්නාක් මෙන්, කොම්පෝස්ට් ක්‍රියාවලියේදී, තාපය පිටවන අතරතුර, ඓන්ද්‍රිය ද්‍රව්‍ය අතුරු ඵල රාශියකට පරිවර්තනය කරනු ලැබේ. කොම්පෝස්ට් කිරීම තුළින් නිපදෙන අතුරු ඵල බෙහෙවින් ප්‍රයෝජනදායක විය හැකිය. මෙම වායු සහ තාපය ශක්ති ප්‍රභව ලෙස භාවිත කළ හැකිය. තවද ඝන අතුරු ඵලයක් වන හ්‍යුමස්, කෘෂිකර්මයේදී පස සඳහා ඉතා ප්‍රයෝජනවත් පොහොරකි.
කොම්පෝස්ට් කිරීම ජනප්‍රිය වෙමින් පවතී. නිදසුනක් වශයෙන්, ෆින්ලන්තයේ කූර්ෂෝල්ම් නගරයේ හා ඊට යාබද වාසා නගරයේ, කොම්පෝස්ට් ක්‍රියාවලියට භාවිත කරන නවීන පන්නයේ කැළි කසළ පිරියම් පිරියතක් නිපදවා ඇත. එම ප්‍රදේශයේ ගැටලු දෙකක් එකවරම විසඳීමට දක්ෂ මාර්ගයක් එම පිරියතේ සැලසුම්කරුවෝ සොයාගත්තෝය. ඉදි කිරීම සඳහා සහ පාරවල් සඳහා බොරලු, දුර්ලභ ස්වාභාවික සම්පතකි. එබැවින් මීටර් 40ක් ගැඹුරු යටි පාෂාණයේ, පළල් වළක් පුපුරවා හැරීමේ අදහස ඇති විය. බොරලු විශාල ප්‍රමාණයක් නිපදවීමෙන් පසුව, නාගරික අපද්‍රව්‍ය පිළියෙළ කිරීම සඳහා එම වළ විශාල ජීව ප්‍රතික්‍රියාකාරකයක් සඳහා උචිත ස්ථානයක් විය. ප්‍රතික්‍රියාකාරකය තද ගලකින් වට වී තිබීම, පැසවීමේ ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය නියත උෂ්ණත්වය පවත්වාගැනීමට උපකාරවත් වේ.
එහි ප්‍රතිඵලය? බොහෝදුරට, මෙම ප්‍රදේශයේ කැළි කසළ ගැටලුව මෙම නවීන පිරියත මගින් විසඳා තිබේ. එමගින් කැළි කසළවල පරිමාව සියයට 75කින්ද, බර සියයට 66කින්ද අඩු කරනු ලැබේ. මෙය කිරීමට හැකිවන්නේ කෙසේද? අපි මෙම පිරියත නැරඹීමට යමු.
විශිෂ්ට කැළි කසළ පිරියම් කිරීමේ පිරියතක්
අප පැමිණි විගස මෙම ස්ථානය සම්මත කැළි කසළ ගොඩවලට වඩා ඉඳුරාම වෙනස් බව අපට මුලින්ම වැටහේ. මෙහි මීයන් හෝ දුගඳක් නොමැත. මෙහි අපද්‍රව්‍ය පාලනය, නිකම්ම තවත් ඵලදායක කර්මාන්තයක් ලෙස පමණක් පෙනෙන්ට තිබේ.
එම පිරියතේ සිදුවන්නේ කුමක්ද කියා පෙන්වීමට එහි කළමනාකරු පළමුව අපට සටහනක් පෙන්වා පැහැදිලි කරයි. පළමුව කොම්පෝස්ට් කිරීමෙන්ද, ඉන් අනතුරුව දිරාපත් වීමට සැලැස්වීමෙන්ද යන පියවර දෙකකින් යුත් ක්‍රියාවලියක් මගින් කැළි කසළ ද්‍රව්‍යයේ විශාලත්වය හා පරිමාව අඩු කෙරේ. කොම්පෝස්ට් කිරීමේදී, අපද්‍රව්‍ය වාතයට අනාවරණය වීමෙන් වියෝජනය වේ; දිරාපත් වීමේදී, එය වාතයට අනාවරණය නොවී පැසේ. එහෙත් මේ ක්‍රියාවලීන් එකක්වත් ආරම්භ වීමට කලින් අපද්‍රව්‍ය පොඩි කරනු ලැබේ.
යන්ත්‍ර හසුරුවන කාමරයේ ජනේලයක් තුළින්, කැළි කසළ ට්‍රක් රථයක් විශාල දොරක් තුළින් පසු පසට ගමන් කරන අයුරු අපට පෙනේ. එය විශාල පුනීල හැඩැති වළක් තුළට කැළි කසළ දමන අතර, පසුව එය විශාල පටි වාහකයක් තුළින් තීරු කපන යන්ත්‍රයක් තුළට දමනු ලැබේ. බයිසිකල් රාමු, මෝටර් රථ ටයර්, දුම් පිට කරන පයිප්ප සහ ප්ලාස්ටික් කැබලි බහුතරයක් වැනි වඩාත් විශාල ද්‍රව්‍ය දොඹකරයකින් ඉවත් කරනු ලැබේ. පරණ ශීතකරණ සහ අධිශීතකරණ ලැබෙන විට ඒවා අලුත්වැඩියා කර, ඌන සංවර්ධිත රටවල්වලට විකුණනු ලබන බව අපගේ සත්කාරක පැහැදිලි කරයි.
පළමු පොඩි කරනු ලැබීමෙන් පසුව අපද්‍රව්‍ය රළු පෙනේරයක් තුළින් ගමන් කරන අතර, මිලිමීටර් 50කට වඩා කුඩා ද්‍රව්‍ය සියල්ලක්ම එය අතරෙන් වැටේ. මෙය කැළි කසළවලින් අඩක් පමණ වේ, ඉන්පසුව එය එහි ජීව විද්‍යාත්මකව පිරියම් කිරීමේ පළමු පියවර වන කොම්පෝස්ට් කිරීම වෙත පැමිණෙයි. මෙය විශාල ටැංකියක සිදු කරනු ලැබේ, මෙහිදී පොඩි කරනු ලැබූ අපද්‍රව්‍ය නගරයේ කැළි කසළ පිළියෙළ කිරීමේ පිරියතෙන් ලබාගන්නා ගොහොදු මඩ සමඟ මිශ්‍ර කරනු ලැබේ.
“මෙම ක්‍රියාවලිය නිර්මාණය කරද්දී අපි සැමවිටම පරිසරය ගැන කල්පනා කළා,” කියා අපගේ සත්කාරක පැවසුවේය, “එනිසා පොඩි කරනු ලැබුවායින් පසුව ලැබෙන දූවිල්ල පවා අප වෙන් කරනවා. මීට අමතරව, සමජනනය කරනු ලබන සහ සෙල්සියස් අංශක 40ක [ෆැරන්හයිටි අංශක 104] පමණ උෂ්ණත්වයකට රත් කරනු ලබන අපද්‍රව්‍ය සහ ගොහොදු මඩ මිශ්‍රණය තිබෙන කොම්පෝස්ට් කිරීමේ යන්ත්‍රයේ ටැංකිය තුළට අපි වාතය පුරවනවා. අපි එය පළමුවෙන්ම පෙරහනයක් තුළින් යැවුවේ නැත්නම්, ස්වායු දිරාපත්වීම හේතුවෙන් පිට වන වාතයේ බලවත් දුගඳක් ඇති වෙනවා.”
එම ද්‍රව්‍ය කොම්පෝස්ට් කිරීමේ යන්ත්‍රය තුළ දින එකක් හෝ දෙකක් තිබීමෙන් පසුව, එය මීටර් 40ක ප්‍රමාණයෙන් යුත් ප්‍රධාන අධිජීවවායු ප්‍රතික්‍රියාකාරකය තුළට ඇතුල් වේ. මෙහිදී කුමක් සිදු වේද? හොඳයි, ඔක්සිජන් රහිත පරිසරයක් තුළ ජීවත් විය හැකි ඉතා කුඩා ක්ෂුද්‍ර ජීවීන් මගින් මෙම මිශ්‍රණයේ ඓන්ද්‍රිය සංඝටක වියෝජනය කරනු ලැබේ. ක්‍රියාවලියේ මෙම අවදිය සරල වශයෙන්ම දිරාපත්වීම ලෙස හඳුන්වනු ලැබේ. මේ සඳහා සෙල්සියස් අංශක 35ක උෂ්ණත්වයක් යටතේ දින 15ක් ගත වේ. මෙහි අවසාන ඵල වන්නේ ජීවවායුව සහ සියයට 85 සිට 90 දක්වා ජලය අඩංගු හ්‍යුමස් ස්කන්ධයයි. මෙම ජලයෙන් බොහොමයක්ම ඉවත් කරනු ලැබ නැවතත් ප්‍රතික්‍රියාකාරකය තුළට ඇතුල් කරනු ලැබේ.
එහෙත් පෙනේරය තුළින් නොගිය කැළි කසළවලින් අඩකට සිදු වූයේ කුමක්ද? මෙම කොටසේ ප්‍රධාන වශයෙන්ම කඩදාසි සහ ප්ලාස්ටික් අඩංගු බැවින්, මෙය ඉතා පහසුවෙන්ම දහනය කළ හැකි බව අපගේ මාර්ග උපදේශකවරයා පවසයි. එහෙත් මෙම අපද්‍රව්‍ය සුරක්ෂිත ලෙස දහනය කිරීම සඳහා සෙල්සියස් අංශක 1,000කට වඩා උෂ්ණත්වයක් අවශ්‍ය වනු ඇත—තවද එවැනි භස්මීකරයක් අහල පහළ නැත. “එනිසයි අප ඉතිරි අපද්‍රව්‍ය නැවත වරක් පොඩි කර එම ක්‍රියාවලිය තුළට ඇතුල් කරන්නේ,” කියා ඔහු පවසයි. “ජීව විද්‍යාත්මක ක්‍රියාවලියට ප්ලාස්ටික් ද්‍රව්‍ය කුඩා කැබලිවලට වෙන් කිරීමට නොහැකි බව සැබෑ වුණත්, අවසානයේදී හ්‍යුමස් සංයෝග බවට පත් වන මෙම අපද්‍රව්‍යවලින් වැඩි හරියක්ම කඩදාසියි.”
මෙම සංකීර්ණ ක්‍රියාවලිය නිපදවන්නේ කුමක්ද? අපගේ සත්කාරක මෙසේ පිළිතුරු දෙයි: “මූලික වශයෙන්ම අපට ඵල දෙකක් ලැබෙනවා, එනම් හ්‍යුමස් සංයෝගය සහ ජීව වායුවයි. වෘක්ෂලතාදිය වවන ප්‍රදේශ වර්ධනය කිරීමට සහ භාවිත නොකරන ලද පුරවා තිබෙන බිම් වැසීමට අප හ්‍යුමස් ස්කන්ධ විකුණනවා. දැන් බොහෝ පරණ කැළි කසළ ගොඩවල් වසා තිබෙන බැවින් මේ සඳහා විශාල අවශ්‍යතාවක් තිබෙනවා. වීදුරු සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය ඉවත් කළායින් පසුව මෙය අනාගතයේදී, කෘෂිකර්මයේදී භාවිත කළ හැකිද කියා අප බැලිය යුතුයි. මෙතේන් සියයට 60ක් සහ කාබන්ඩයොක්සයිඩ් සියයට 40ක් ජීව වායුවේ අඩංගු වෙනවා. එය ස්වභාවයෙන් ගත් කල, භූමි වායුවට අනුරූප වන අතර, එකම ආකාරයට භාවිත කරනවා. ළඟම පිහිටා තිබෙන කාර්මික පිරියතවලට බෙදාහැරීම සඳහා අපට නළ මාර්ග පද්ධතියක් තිබෙනවා.”
කැළි කසළවල සහ ගොහොදු මඩවල තිබෙන වැඩි ඝනත්වයකින් යුත් ලෝහ සම්බන්ධ ගැටලු පිළිබඳව කුමක් කිව හැකිද? අපගේ සත්කාරක තවදුරටත් මෙසේ පවසයි: “මෙම වැඩි ඝනත්වයකින් යුත් ලෝහ ජලයේ මිශ්‍ර වී තිබෙනවා. එනිසා අනාගතයේදී, වැඩි ඝනත්වයකින් යුත් ලෝහ ජලයෙන් ඉවතට ගැනීමට උපකරණ ලබාගැනීමට අප අදහස් කරනවා. එතකොට අපගේ නිෂ්පාදනය සෑම දෙයක් සඳහාම හොඳ වෙයි. අප අනාගතය සම්බන්ධයෙන් කතා කරන කොට, මගේ සිහිනය ගැන ඔබට කිව යුතුමයි, එනම් පවුලේ සියල්ලන් විසින්ම තමන්ගේ කැළි කසළ වෙන් කර මින්පසු අපට වීදුරු, ප්ලාස්ටික් හෝ ලෝහ ලබා නොදීමයි. ඒවා සියල්ලක්ම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දේවල්. කෘත්‍රිම රෙදි පිළි, ප්ලාස්ටික් භාණ්ඩ සහ රබර්ද ප්‍රතිචක්‍රීකරණය කරන්ට පුළුවන්.”
මිනිසුන් 1,00,000කගේ අපද්‍රව්‍ය සමඟ කටයුතු කිරීමට මෙම පිරියතට හැකියාව තිබේ. මෙය ෆින්ලන්තයේ වැදගත් දෙයකි. වර්ෂ 2000 වන විට මෙම රටේ කැළි කසළවලින් අඩක් පමණ අමු ද්‍රව්‍ය වශයෙන් හෝ ශක්තිය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට එය සැලසුම් කරයි.
කැළි කසළ අතිරික්තය සම්බන්ධයෙත් යම් දෙයක් කළ හැකි බව පෙන්වීමට, අපගේ සංචාරය තුළින් අපට සැබෑ සාක්ෂි ලැබී තිබේ. අප ජීවත් වන ප්‍රදේශයේ ප්‍රතිචක්‍රීකරණ නීති කුමක් හෝ වේවා, අප සැමට ඒවාට සහයෝගය දීමට හැක. කෙසේනමුත්, අපගේ මාර්ග උපදේශකවරයාගෙන් සමුගැනීමට පෙර, මෙයාකාරයෙන් ඵලදායකව කැළි කසළ පිළියෙළ කරන තවත් බොහෝ පිරියත් තිබෙනවාදැයි අපි ඇසුවෙමු. “ඒක කියන්න අමාරුයි,” කියා අපගේ මාර්ග උපදේශකවරයා පිළිතුරු දෙයි. “මෙවැනි පිරියත් ගැන මම දන්නේ නැහැ. සමහරවිට බොහෝ ප්‍රදේශවල මෙම ගැටලුව කොතරම් විශාලද කියනවා නම්, මේ ගැන සිතන්ටවත් කවුරුවත් උත්සාහ කරලා නැතුවා වෙන්න පුළුවන්.”