“කිරි බොන දරුවන්ගේද මුඛයෙන්”
දකුණු අප්‍රිකාවේ නටාල්හි බලිටෝවල ස්ත්‍රියක්, මගේ බයිබල් කතන්දර පොත සඳහා උණුසුම් අගය කිරීමක් දැක්වූ අතර, මෙසේ ලීවාය:
“වයස අවුරුදු එකහමාරක් වයසැති, රූඩි නයිඩූ නම් ඥාති පුතෙක් මට සිටින අතර, එම පොතේ පින්තූරු පමණක් බැලීමෙන් එහි අඩංගු සෑම චරිතයක්ම වාගේ නම් කිරීමට ඔහුට හැකියි. පින්තූරුවල ඇතැම් බයිබල් චරිත කරන දේ පවා ඔහු ඔබට පවසනවා. උදාහරණයක් වශයෙන්, කතා අංක 11හි නෝවා පූජා ඔප්පු කරන ආකාරය පෙන්නුම් කරනවා. රූඩි අපට පවසන්නේ, ‘නෝවා—යෙහෝවාට යාච්ඤා කරනවා.’
“කතා අංක 49හි යෝෂුවා කුමක් කරන්නේද කියා ඇසූ විට, රූඩි පින්තූරයේ සිටින යෝෂුවා මෙන් සිටගෙන, ‘සුර්යයා, නිශ්චල වන්න!’ කියා පවසනවා. ඔහුට තවමත් වචන හරියට ශබ්ද කරන්න බැරි වුණත්, ඔහු ඒවා ඔහුටම ආවේණික වූ සිනහ පහළ වන සහ ආදරය ඇති වන ආකාරයකින් පවසනවා.
“මෙම කදිම ප්රකාශනය සඳහා ඔබට නැවතත් ස්තුති කිරීමට මම කැමතියි. සමහර වැඩිහිටියන් පවා නොදන්නා දේවල් පැවසීමට කුඩා දරුවන්ට හැකියි. මතෙව් 21:16හි යේසුස්වහන්සේගේ වචන ඇත්තෙන්ම සැබෑයි: ‘බාලයන්ගේද කිරි බොන දරුවන්ගේද මුඛයෙන් ඔබ ප්‍රශංසාව සම්පූර්ණකර තිබේ.’”
මගේ බයිබල් කතන්දර පොත ලබාගැනීමට හෝ බයිබල් අධ්‍යාපනයේ ඇති වටිනාකම ඔබ සමඟ සාකච්ඡා කිරීමට ඔබගේ නිවසට කෙනෙකු පැමිණෙනවාට ඔබ කැමති නම්, කරුණාකර වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල, 0730 යන ලිපිනයට හෝ 5වන පිටුවේ යෝග්‍ය ලිපිනයකට ලියන්න.