ගරුබිය දනවන විශ්වය
‘යම් අඩුවක් තිබේ’—ඒ කුමක්ද?
පැහැදිලි, අඳුරු, රාත්‍රි අහසේ තරු දෙස බලා සිට, ඇතුළට පිවිසෙන අපි, ශීතලය නිසා වෙවුලමින්, ඇසිපිය ගසමින්ද, ඉමහත් අලංකාරය හා ප්‍රශ්න රැසක් ඇතිවීම නිසා මනස කැලතුණු තත්වයකද සිටින්නෙමු. විශ්වය මෙහි තිබෙන්නේ මන්ද? එය පැමිණියේ කොතැනින්ද? එය යන්නේ කොතැනටද? බොහෝදෙනෙකු උත්තර දීමට වෙර දරන ප්‍රශ්න මේවාය.
විශ්ව න්‍යාය විද්‍යාව ගැන අවුරුදු පහක් පුරා පර්යේෂණ පවත්වමින්, ඒ සඳහා ලොව වටා සම්මේලන හා පර්යේෂණ මධ්‍යස්ථානවලට යෑමෙන් පසු, විද්‍යා ලේඛක ඩෙනිස් ඕවර්බයි, ලෝක ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකිං සමඟ පැවැත්වූ සංවාදයක් මෙසේ විස්තර කළේය: “අන්තිමේදී මට හෝකිංගෙන් දැනගැනීමට වුවමනා වුණේ, මට කවදත් හෝකිංගෙන් දැනගන්ට වුවමනා වූ දෙයමයි: එනම් අප මැරෙන විට අප යන්නේ කොතැනටද?” යන්නයි.
මේ වදන් ඇනුම්පදයක් සේ ඉදිරිපත් වුවද, අපේ වකවානුව ගැන බොහෝ දේ ඉන් හෙළි වේ. මෙහිදී වැඩිදුරට ප්‍රශ්නයට භාජන වන්නේ තරුවත්, ඒවා අධ්‍යයනය කරන විශ්ව න්‍යාය විද්‍යාඥයන්ගේ මතවත්, පරස්පරවිරෝධී දෘෂ්ටීන්වත් නොවේ. මිනිස්වර්ගයා පසුපස හඹා ඇති මතු දැක්වෙන මූලික ප්‍රශ්නවලට උත්තර ලබාගැනීමට ජනයා තවමත් දැඩි ආශාවක් දක්වති: අප මෙහි සිටින්නේ මන්ද? දෙවිකෙනෙක් සිටීද? මැරෙන විට අප යන්නේ කොතැනටද? මේ ප්‍රශ්නවලට උත්තර කොහේද? එම උත්තර තරුවල ගැබ්ව තිබේද?
මිනිස්වර්ගයා ආගම අත්හැර තිබෙන බැවින් “ලෞකික යුගයට හොඳින්ම ගැළපෙන පූජක තන්ත්රය” බවට විශ්ව න්‍යාය විද්‍යාඥයන් වැනි විද්‍යාඥයන් පත්ව ඇති බව ජොන් බොස්ලෝ නමැති තවත් විද්‍යා ලේඛකයෙක් නිරීක්ෂණය කළේය. “විශ්වයේ අභිරහස් සියල්ල ටිකෙන් ටික දැන් හෙළි කරනු ඇති අය ආගමික නායකයන් නොව ඔවුහුය, ඔවුන් එසේ කරන්නේ ආත්මික එළිදරව් කිරීමක විලාසයකින් නොව, නමුත් විශේෂ වරප්‍රසාද හිමි ඔවුන්ට පමණක් තේරුම්ගත හැකි සමීකරණ භාවිත කරමිනි.” එහෙත් විශ්වයේ අභිරහස් සියල්ල හෙළි කිරීමටත්, මිනිස්වර්ගයා පසුපස හඹා විත් ඇති සෑම ප්‍රශ්නයකටම උත්තර දීමටත් ඔවුන් සමත් වනු ඇද්ද?
විශ්ව න්‍යාය විද්‍යාඥයන් දැන් හෙළි කරමින් සිටින්නේ කුමක්ද? අපේ කාලයේ ලෞකික ආගම බවට පත් වී තිබෙන, මහ පිපුරුම් “දේවවේදයේ” යම් සිද්ධාන්තයකට ගැතිකම්පාන බොහෝදෙනෙක්, සුළු සුළු කරුණු සම්බන්ධයෙන් නිතර දබර කරති. “එහෙත් නව මෙන්ම පරස්පරවිරෝධී නිරීක්ෂණ හමුවේ, මහ පිපුරුම් මතය, මැවීමේ අවස්ථාවක් සොයමින්, වුවමනාවට වඩා සරලමතික විස්තරයක් ලෙස ප්‍රගතිශීලීව පෙනී යෑමට පටන්ගනී,” යයි බොස්ලෝ සඳහන් කළේය. “එක්දහස් නවසිය අනූගණන්වල මුල්භාගය වන විට, වඩාත් මූලික ප්‍රශ්නවලට උත්තර දීමට . . . මහ පිපුරුම් මතය වැඩි වැඩියෙන් අසමත් විය.” “එය 1990ගණන් පුරා පවා වලංගුව නොපවතින බවට මතධාරීන් කිහිපදෙනෙකු සිය මත ප්‍රකාශ කර තිබෙන” බව හේ තවදුරටත් පැවසීය.
සමහරවිට වත්මන් විශ්ව න්‍යාය අනුමාන නිවැරදි බවට ඔප්පු විය හැක, සමහරවිට එසේ නොවිය හැක—හරියටම ඔරයන් නීහාරිකාවේ වර්ණ ගහනව පවතින සේයාව තුළ සැබවින්ම ග්‍රහලෝක තිබීමටත් නොතිබීමටත් ඉඩ කඩ තිබෙනවා හා සමානය. මිහිපිට සිටින කිසිවෙකු හරියටම ඒ ගැන නොදැන සිටීම ප්‍රතික්ෂේප කළ නොහැකි කාරණයකි. මත බොහොමයක් තිබුණත්, ව්‍යක්ත අදහස් ප්‍රකාශ කිරීම් හමුවේ, විශ්වය පිළිබඳ විද්‍යාවේ වත්මන් අවබෝධයේ මූලික අඩුවක් පවතින බව පෙනෙන්ට තිබෙන බවට වූ මාර්ගරට් ගෙලර්ගේ නිරීක්ෂණය අවංක නිරීක්ෂකයෝ ප්රතිරාවය කරති.
අඩුව—දරාගත නොහැකි කාරණාවලට මුහුණ දීමට තිබෙන කැමැත්ත
විශ්ව න්‍යාය විද්‍යාඥයන් බොහෝදෙනෙකු ඇතුළුව, විද්‍යාඥයන් බහුතරයක් පරිණාමවාදයට දායක වෙති. මැවීමේදී බුද්ධියට හා අරමුණට භූමිකාවක් හිමි කර දෙන අදහස් ප්‍රකාශ ඔවුන්ට දරාගත නොහැකි තරම්ය, තවද දෙවියන්වහන්සේ මැවුම්කරු හැටියට නම් කිරීමට ඔවුහු බිය වෙති. එවන් මිථ්යාවාදයක් සලකා බැලීමටවත් ඔවුහු ප්‍රතික්ෂේප කරති. කිසිදු ‘සෙවිල්ලක් නොකරන’ අහංකාර පුද්ගලයා ගැන ගීතාවලිය 10:4 අවඥාසහගතව කතා කරයි: “දෙවිකෙනෙක් නැත යනු ඔහුගේ මුළු සිතිවිල්ල වේ.” ඔහුගේ නිර්මාණ දේවතාවා අහඹු සිදුවීම වේ. එහෙත් දැනුම වැඩි වන අතරම වැඩි වන සාක්ෂිවල බර යටතේ අහඹු සිදුවීම් බිඳ වැටෙද්දී, බුද්ධිය හා නිර්මාණය වැනි කලින් ප්‍රතික්ෂේප කළ දේවලට විද්‍යාඥයා වැඩි වැඩියෙන් නැඹුරුවීමට පටන්ගනී. මතු දැක්වෙන උදාහරණ සැලකිල්ලට ගන්න:
“විශ්ව න්‍යාය අධ්‍යයනවලින් සංඝටකයක් පැහැදිලිව ගිලිහී ගොස් තිබේ. රූබික් ඝනකයේ විසඳුමට අවශ්‍ය වන්නාක් මෙන්, විශ්වයේ මූලාරම්භයට බුද්ධිය අවශ්‍ය” බව නක්ෂත්ර භෞතික විද්‍යාඥ ෆ්‍රෙඩ් හොයිල්, දි ඉන්ටෙලිජන්ට් යූනිවර්ස් යන සිය පොතෙහි 189වන පිටුවෙහි ලීවේය.
“වැඩි වැඩියෙන් මා විශ්වය පරීක්ෂා කරමින් එහි නිර්මාණය හා සම්බන්ධ තොරතුරු අධ්‍යයනයකට භාජන කරත්ම, අප පැමිණෙන බව යම් හෙයකින් විශ්වය දැන සිටින්ට ඇතැයි යන්න පිළිබඳ සාක්ෂි මට වැඩියෙන් සොයාගන්ට ලැබෙනවා.”—ඩිස්ටර්බිං ද යූනිවර්ස්, 250වන පිටුව, ෆ්රීමන් ඩයිසන් විසිනි.
“අප වැනි ජීවීන් මතුවීම සඳහා අත්‍යවශ්‍ය වූයේ විශ්වයේ කවර අංගලක්ෂණද, තවද විශ්වයට මෙම අංගලක්ෂණ තිබීමට හේතුව, යම් අහඹු සිද්ධියක්ද, නැතහොත් ඊටත් වඩා ගැඹුරු හේතුවක් තිබේද? . . . විශ්වය මිනිස්වර්ගයාට හොඳටම ගැළපෙන බවට සහතික කරන වඩාත් ගැඹුරු සැලැස්මක් තිබේද?”—ජොන් ග්රිබන් සහ මාර්ටින් රීස් විසින් රචිත කොස්මික් කොඉන්සිඩන්සස්, xiv, 4වන පිටුව.
ඉහත උපුටා දක්වා තිබෙන සිය පොතෙහි 220වන පිටුවෙහි, ෆ්‍රෙඩ් හොයිල් මේ අංගලක්ෂණ පිළිබඳවද අදහස් දක්වයි: “ස්වාභාවික ලෝකයේ ව්‍යූහය තුළ එවන් අංගලක්ෂණ, සතුටට තුඩු දෙන හදිසි අනතුරු වැලක් මෙන් දිව යයි. එහෙත් ජීවිතයට අත්‍යවශ්‍ය වූ මෙම අරුම පුදුම අහඹු සිදුවීම් එතරම් විශාල සංඛ්‍යාවක් තිබෙන බැවින්, ඒවාට හේතු දැක්වීම සඳහා යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය බව පෙනේ.”
“මිනිසා විශ්වයට සුදුසු අන්දමකින් ගැළපී සිටිනවා පමණක් නොවේ. විශ්වයද මිනිසාට සුදුසු අන්දමකින් ගැළපී තිබේ. සුළු ප්‍රතිශතයකින් එහා මෙහා ගොස් ඇති භෞතික විද්‍යාවේ මානයක් නැති මූලික නියතයන්ගෙන් එකක් හෝ තවෙකක් වෙනස් වී ඇති විශ්වයක් සිතෙහි මවාගත හැකිද? එවන් විශ්වයක් තුළ මිනිසාට කිසිදාක පැවතිය නොහැකි වනු ඇත. මානව මූලධර්මයෙහි මූලික ලක්ෂයකි එය. මෙම මූලධර්මයට අනුව, ලෝකයේ සම්පූර්ණ ක්‍රියාකාරිත්වය හා නිර්මාණය මධ්‍යයෙහි ජීවන-දායක සාධකයක් පවතී.”—දි ඇන්ත්‍රොපික් කොස්මලොජිකල් ප්‍රින්සිපල්,” ජොන් බැරෝ සහ ෆ්රැන්ක් ටිප්ලර් විසිනි, viiවන පිටුව.
දෙවියන්වහන්සේ, නිර්මාණය සහ භෞතික විද්‍යාවේ නියත
විශ්වයේ ජීව පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන භෞතික විද්‍යාවේ මූලික නියතයන්ගෙන් සමහරක් මොනවාද? වර්ෂ 1995 ජනවාරි 8වන දින පළ වූ දි ඔරෙන්ජ් කවුන්ටි රෙජිස්ටර් යන්නෙහි වාර්තාවක මෙම නියත කිහිපයක් ලැයිස්තුගත කර තිබිණ. මෙම අංගලක්ෂණ මොනතරම් තියුණු ලෙස සැකසී ඇද්දැයි අවධාරණය කරමින් එහි මෙසේ අදහස් පළ විය: “උදාහරණයක් වශයෙන් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය, ආලෝකයේ අචල ප්‍රවේගය, නැතහොත් ස්වාභාව ධර්මයේ මූලික බලවල ශක්ති අනුපාතය වැනි, විශ්වය නිර්වචනය කරන මූලික භෞතික නියතයන් බොහොමයක ප්‍රමාණාත්මක අගයන් පුදුමසහගත අන්දමකින් නියම ස්වභාවයක පවතී, එනම් ඇතැම් ඒවා 120වන දශම ස්ථානය දක්වා නිරවද්‍ය වේ. ජීවිතය බෝ කරන විශ්වයේ විකසනය මෙම තොරතුරු විස්තරයට අතිශයින් සංවේදී වේ. තත්පර දස බිලියනයෙන් එකක්, මීටර් දස බිලියනයෙන් එකක් වැනි ඉතා කුඩා වෙනස්වීමක් සිදු වූවා නම්, විශ්වය ශුන්‍ය පාළු තත්වයක තිබෙනු ඇත.”
මෙම වාර්තාවේ කර්තෘ, ඊළඟට සාමාන්‍යයෙන් සඳහන් නොකරන දෙයක් සඳහන් කළේය: “මෙම ක්‍රියාවලිය තුළ යම් සැඟවුණු නැඹුරුවාවක් තිබෙන බව උපකල්පනය කිරීම වඩාත් සාධාරණ බව පෙනේ, ඇතැම්විට එය අපේ පැමිණීමට සූදානමක් වශයෙන්, විශ්වය තියුණු අන්දමකින් ගැළපෙන පරිදි සකස් කළ බුද්ධිමත් අභිප්‍රේත බලයක ක්‍රියාකාරිත්වයක් විය හැක.”
ද සිම්බයියොටික් යූනිවර්ස් (සහජීවක විශ්වය) යන සිය පොතෙහි තාරකා ශාස්ත්රයේ හා විශ්ව න්‍යාය විද්‍යාවේ මහාචාර්ය ජෝර්ජ් ග්‍රීන්ස්ටයින්, මෙම නියතයන් පිළිබඳව වඩාත් දීර්ඝ ලැයිස්තුවක් දුන්නේය. ලැයිස්තුගත කළ නියතයන් අතර ඉතා සූක්ෂ්ම ඒවා සඳහන් කෙරිණ, ඒවා ඉතා අල්ප ප්‍රමාණයකින් ඉවත ගොස් තිබුණේ නම්, කිසිදු පරමාණුවක්, තරුවක් විශ්වයක්වත් පැවතීමට අවකාශය නොතිබෙනු ඇත. මේ හා බැඳි සබඳතාවල තොරතුරු මේ සමඟ තිබෙන කොටුවෙහි ලැයිස්තුගත කර තිබේ. භෞතික ජීවිතයක් පැවතීමට නම් ඒවා පැවතිය යුතුය. ඒවා සංකීර්ණ මෙන්ම සෑම පාඨකයෙකුටම තේරුම්ගත නොහැකි වුවද, ඒවා මෙන්ම වෙනත් තොරතුරු රැසක්, මෙම ක්ෂේත්රවල පුහුණුවක් ලද නක්ෂත්ර භෞතික විද්‍යාඥයන් විසින් පිළිගනු ලැබේ.
මෙම ලැයිස්තුව දිගින් වැඩි වූවාත් සමඟම, ග්‍රීන්ස්ටයින් අන්දුන් කුන්දුන් වූයේය. ඔහු මෙසේ පැවසීය: “අහඹු සිදුවීම් විශාල සංඛ්‍යාවක්! මා මේ ගැන වැඩි වැඩියෙන් කියවන විට, එවන් ‘අහඹු අවස්ථා’ අහම්බෙන් සිදු නොවූ බවට මගේ විශ්වාසය තව තවත් තහවුරු වේ. එහෙත් මෙම ඒකාන්ත විශ්වාසය වැඩි වර්ධනය වූ අතරම, තවත් දෙයක් වැඩි වර්ධනය විය. දැන් පවා මේ ‘දෙය’ වචනවලින් විස්තර කිරීම දුෂ්කරය. එය ඉමහත් පිළිකුලකි, ඇතැම්විට එය කට වචනින් හා ක්‍රියාවෙන් පෙන්වීමට තරම් නැඹුරු වූ පිළිකුලකි. මා ඒකාන්තයෙන් අපහසුතාව නිසා බලවත් නොසන්සුන්කමකින් සිටිනු ඇත. . . . අදහස් කරන්නේ නැතුව, අතිශ්‍රේෂ්ඨ ජීවියෙකුගේ පැවැත්මට විද්‍යානුකූල සාක්ෂි තිබෙන බව අප හදිසියේම සොයාගත්තා විය හැකිද? අපේ ප්‍රයෝජනය සඳහා මැදිහත් වෙමින් විශ්වය එතරම් හිතකර අන්දමකින් නිර්මාණය කළේ දෙවියන්වහන්සේද?”
මෙම අදහසින් මහත් පිළිකුලක් දැනී, තැතිගත් ග්‍රීන්ස්ටයින්, විගස එම අදහස නිෂ්ප්‍රභ කොට, සිය ආගමක් බඳු විද්‍යාවෙන් අනුබල ලැබෙන ලෝක සම්මතය යළි පිහිටුවමින් මෙසේ ප්‍රකාශ කළේය: “දෙවියන්වහන්සේ, මේ සඳහා පැහැදිලි කිරීමක් නොවේ.” මෙය හේතුවක් නොවේ—ඔහුට එය කෙතරම් පිළිකුල්සහගත යමක් වූවාද කිවහොත්, එම අදහස දරාගැනීමට ඔහුට බැරි විය!
ස්වාභාවික මිනිස් අවශ්‍යතාවකි
මෙය විශ්ව න්‍යාය විද්‍යාඥයන් ඇතුළුව අවංක විද්‍යාඥයන්ගේ වෙහෙසකර වෑයමට අවමන් කිරීම සඳහා දරන උත්සාහයක් නොවේ. සැබෑ දෙවි වන යෙහෝවඃවහන්සේගේ බලය, ප්‍රඥාව හා ප්‍රේමය හෙළි කරන මැවිල්ල සම්බන්ධයෙන් ඔවුන්ගේ සොයාගැනීම් රාශිය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ විශේෂයෙන්ම අගය කරති. රෝම 1:20 මෙසේ ප්‍රකාශ කරයි: “ලෝකය මැවූ තැන් පටන් දෙවියන්වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන්වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලිලෙස පෙනීයන්නේය; එබැවින් ඔව්හු නිරුත්තරව සිටිති.”
කෑම බීම, ඉඳුම් හිටුම් හා ඇඳුම් පැළඳුම් සඳහා අවශ්‍යතාවට සමානව, විද්‍යාඥයන්ගේ ගවේෂණ හා ප්රයත්න වූ කලි, මිනිස්වර්ගයා තුළ තිබෙන මූලික අවශ්‍යතාවකට තිබෙන ස්වාභාවික මිනිස් ප්රතිචාරයයි. එනම් අනාගතය සහ ජීවිතයේ අරමුණ පිළිබඳ ඇතැම් ප්‍රශ්නවලට උත්තර දැනගැනීමට තිබෙන අවශ්‍යතාව වේ. දෙවියන්වහන්සේ “අතීතය හා අනාගතය පිළිබඳ හැඟීම් [සදාකාලය] මිනිසුන්ගේ සිත්හි තබා ඇත. එසේ වුවත්, දෙවියන් වහන්සේ මුල සිට අග දක්වා කළ කාරණා දැනගන්නට මනුෂ්‍යයාට බැරි ය.”—දේශනාකාරයා 3:11, නව අනුවාදය.
මෙය එතරම් අසුභ පුවතක් නොවේ. මිනිස්වර්ගයාට කවදාවත් සෑම දෙයක්ම දැනගන්ට නොහැකි බවත්, එනමුත් ඉගෙනගැනීමට අලුත් දේවල් සම්බන්ධයෙන් අඩු පාඩුවක් කිසිදා අද්දකින්නේ නැති බවත් ඉන් අදහස් කෙරේ: “මම දෙවියන්වහන්සේගේ මුළු වැඩය වන ඉර යට කෙරෙන වැඩය මනුෂ්‍යයාට තේරුම්ගන්ට බැරි බව දුටිමි. මක්නිසාද මනුෂ්‍යයා ඒක සොයා දැනගන්ට කොපමණ උත්සාහකළත් ඒක තේරුම්ගන්ට පුළුවන්වෙන්නේ නැත; ප්‍රඥාවන්තයා ඒක දැනගන්ට සිතන නුමුත් ඔහුට පවා තේරුම්ගන්ට බැරිවන්නේය.”—දේශනාකාරයා 8:17.
ගැටලුවකට “විසඳුම” දෙවියන්වහන්සේ වීමට සැලැස්වීම, තවදුරටත් පර්යේෂණවල යෙදීමට තිබෙන පෙලඹීම අඩපණ කරන බව පවසමින් ඇතැම් විද්‍යාඥයෝ විරෝධතා පළ කරති. කෙසේවෙතත්, දෙවියන්වහන්සේ අහසේද පොළොවේද මැවුම්කරු වශයෙන් පිළිගන්නා පුද්ගලයෙකුට සොයාබැලීමට සිත්ගන්නා තොරතුරු හා සෝදිසි කර බැලීමට, කුතුහලය ඇති කරවන තවත් අභිරහස් රැසක්ද තිබේ. සොයාබැලීමේ හා ඉගෙනගැනීමේ ප්‍රිය උපදවන රසවත් අද්දැකීමට මුල පිරීම සඳහා ඔහු අවසර ලැබ තිබෙනවා හා සමානය.
යෙසායා 40:26හි ඇරයුමට නොපෙලඹෙන්නේ කවුද? “නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලාපල්ලා.” මෙම පිටු කිහිපය තුළදී අප අපේ ඇස් ඉහළ ඔසවා ඇති අතර, විශ්ව න්‍යාය විද්‍යාඥයන්ට ග්‍රහණය කරගන්ට බැරි වූ ‘අඩුව’ අප දැක තිබේ. යුග ගණනක් පුරා මිනිසාගේ මනසට ඉමහත් කරදරයක් වී තිබෙන නැවත නැවත මතුවන එම ප්‍රශ්නවලට මූලික උත්තරද අප සොයා තිබේ.
පොතකින් උත්තර සොයාගත හැක
උත්තර කවදත් තිබී ඇත, නමුත් යේසුස්වහන්සේගේ කාලයේ විසූ ආගමිකයන්ට සමානව, තම මිනිස් මතවලට හෝ තෝරාගත් ජීවන රටාවට නොගැළපෙන උත්තරවලට බොහෝ ජනයා සිය ඇස් අන්ධ කරගෙන තිබේ, කන් වසාගෙන තිබේ, ඇරත් සිය හදවත් දැඩි කරගෙන තිබේ. (මතෙව් 13:14, 15) විශ්වය පැමිණියේ කොතැනින්ද, පොළොව සාදනු ලැබුවේ කෙසේද හා ඒ මත ජීවත්වනු ඇත්තේ කවුද කියා යෙහෝවඃවහන්සේ අපට පවසා තිබේ. පෘථිවියේ මිනිස් වැසියන් එය වගා කළ යුතු බවත්, ඔවුන් සමඟ එය හවුලේ භුක්තිවිඳින වෘක්ෂලතාදිය හා සත්වයන් ප්‍රේමනීයව රැකබලා ගත යුතු බවත් උන්වහන්සේ අපට පවසා ඇත. ජනයා මියයන විට සිදු වන දේත්, ඔවුන්ට නැවත ජීවත්වීමට හැකි බවත්, පොළොව මත සදාකල් ජීවත්වීමට ඔවුන් කළ යුතු දේ පිළිබඳවත් උන්වහන්සේ අපට පවසා තිබේ.
බයිබලය නමැති දෙවියන්වහන්සේගේ ආනුභාවය ලද වචනයේ අදහස් තුළින් එම උත්තර ලබාගැනීමට ඔබ උනන්දුවක් දක්වන්නෙහි නම්, කරුණාකර මතු දැක්වෙන ශුද්ධ ලියවිලි පාඨ කියවන්න: උත්පත්ති 1:1, 26-28; 2:15; හිතෝපදේශ 12:10; මතෙව් 10:29; යෙසායා 11:6-9; 45:18; උත්පත්ති 3:19; ගීතාවලිය 146:4; දේශනාකාරයා 9:5; ක්‍රියා 24:15; යොහන් 5:28, 29; 17:3; ගීතාවලිය 37:10, 11; එළිදරව් 21:3-5.
එක් සැන්දෑවක ඔබේ පවුල හෝ අසල්වැසියෙකු හෝ මිත්‍රයන් කණ්ඩායමක් හෝ සමඟ මෙම ශුද්ධ ලියවිලි පාඨ නොකියවන්නේ මන්ද? එය තොරතුරු බරිත ප්‍රාණවත් සාකච්ඡාවකට මඟ පාදන බවට නිසැක වන්න!
විශ්වයේ අභිරහස් ඔබ තුළ කුතුහලයක් හා එහි අලංකාරය ඔබ තුළ පෙලඹීමක් ඇති කරයිද? එය මැවූ තැනැන්වහන්සේ වඩාත් හොඳින් දැන හඳුනාගැනීමට වෑයම් නොකරන්නේ මන්ද? අපේ කුතුහලය හා පුදුමය ගැන අප්‍රාණික අහසට වැදගත්කමක් නැත, නමුත් ඒවායෙහි මැවුම්කරු වන යෙහෝවඃ දෙවියන්වහන්සේ අපේ මැවුම්කරුද වනසේක, තවද උන්වහන්සේ ගැනත් ස්වකීය මැවිලි ගැනත් ඉගෙනගැනීමට උනන්දුවක් දක්වන මොළොක් ගුණැති අය ගැන උන්වහන්සේ සැලකිලිමත් වනසේක. මෙම ඇරයුම දස දෙස දැන් විහිද යන්නේය: “වරෙන්නැයි කියති. අසන්නාද: වරෙන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.”—එළිදරව් 22:17.
මෙය යෙහෝවඃවහන්සේගෙන් ලැබෙන මොනතරම් හද උණුසුම් කරවන ඇරයුමක්ද! අඥාන, අරමුණක් රහිත පිපිරීමකින් සිදුවනවා වෙනුවට, අනියත බුද්ධියකින් හා නිශ්චිත අරමුණකින් යුත්, මුල පටන් ඔබව මනසෙහි පෙරදැරි කරගෙන ක්‍රියා කළ දෙවිකෙනෙකු විසින් මේ විශ්වය මවන ලදි. ස්වකීය අසීමිත වූ බලශක්ති සංචිත පරෙස්සමින් පාලනය කරනු ලබන අතර, ඒවා ස්වකීය සේවකයන්ට හැම අවස්ථාවකම ලබාගත හැකි තත්වයක පවතී. (යෙසායා 40:28-31) උන්වහන්සේ දැන හඳුනාගැනීමෙන් ඔබ ලබන තිළිණය මහිමාන්විත විශ්වය මෙන් නිමක් කොනක් නැති යමක් වනු නියතය!
“අහස දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශකරයි; ගුවන්තලය උන්වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි.”—ගීතාවලිය 19:1.
[13වන පිටුවේ කොටුව]
ජීවිත පැවැත්මට අත්‍යවශ්‍ය භෞතික නියතයන් සමහරක් පිළිබඳ ලැයිස්තුවක්
ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝනවල ආරෝපණය එක සමාන විය යුතුය, ප්‍රතිවිරුද්ධ විය යුතුය; නියුට්‍රෝනය ප්‍රෝටෝනයට වඩා කුඩා ප්‍රතිශතයකින් බරින් වැඩි විය යුතුය; ප්‍රභාසංශ්ලේෂණය ඇතිවීමට නම්, සූර්යයාගේ උෂ්ණත්වය හා හරිතප්‍රදවල අවශෝෂක ගුණ අතර සමානත්වයක් පැවතිය යුතුය; ප්‍රබල ශක්තිය මදක් දුර්වල වූයේ නම්, න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මගින් ශක්තිය උත්පාදනය කිරීමට සූර්යයාට නොහැකි වනු ඇත, නමුත් එය ඊට වඩා මදක් ප්‍රබල වූයේ නම්, ශක්තිය උත්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන දරුණු අස්ථායි තත්වයක තිබෙනු ඇත; රතු යෝධ තරුවල හරය තුළ න්‍යෂ්ටීන් අතර සිදු වන පුදුමසහගත අනුනාද දෙකක් සිදු වූයේ නැත්නම් හීලියම් හැර වෙනත් කිසිදු මූලද්‍රවයක් නොසෑදෙනු ඇත; අවකාශ ත්‍රිමානයට වඩා අඩු මාන ගණනකින් යුක්ත වී නම්, රුධිර ගලා යෑම සහ ස්නායු පද්ධතිය සඳහා අවශ්‍ය වන අන්තර්සම්බන්ධ ක්‍රියා සිදු නොවනු ඇත; තවද අවකාශය ත්‍රිමානයට වඩා වැඩි මාන ගණනකින් යුක්ත වී නම්, ග්‍රහයන් සූර්යයා වටා ස්ථාවරව කක්ෂගත ගමනක නොයෙදෙනු ඇත.—ද සිම්බයියොටික් යූනිවර්ස්, 256-7 පිටු.
[14වන පිටුවේ කොටුව]
මගේ නැති වුණු ස්කන්ධය කවුරුන් හෝ දැක ඇද්ද?
සියලුම සර්පිලාකාර මන්දාකිණි හා සමානව, ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය, හරියටම යෝධ සැඩ කුණාටුවකට සමානව මැනවින් භ්‍රමණය වේ. බොහෝ මන්දාකිණිවල භ්‍රමණ අනුපාතය ආලෝක වර්ණාවලියෙන් ගණනය කිරීමට තාරකා ශාස්ත්‍රඥයන්ට හැක, තවද එසේ කරන විට, ඔවුහු වටහාගැනීමට වඩාත් දුෂ්කර යමක් සොයාගනිති. භ්‍රමණ අනුපාත සිදු විය නොහැක්කක් සේ පෙනී යයි! සර්පිලාකාර මන්දාකිණි සියල්ල පමණ ඉක්මවා භ්‍රමණය වන බව පෙනේ. මන්දාකිණියේ දෘශ්‍යමාන වූ තරු අන්ධකාර පදාර්ථවලින් සෑදුණු, දූරේක්ෂයට නොපෙනෙන වඩාත් විශාල වූ රැස් වළල්ලක් තුළ ගිලී තිබෙනවා හා සමානව ඒවා හැසිරෙයි. “අඳුරු පදාර්ථවල ස්වභාවය අප දන්නේ නැත” යයි තාරකා ශාස්ත්‍රඥ ජේම්ස් කේලර් පිළිගනී. සොයාගැනීමට බැරි ස්කන්ධයෙන් සියයට 90ක් ගැන තොරතුරක් නැති බව විශ්ව න්‍යාය විද්‍යාඥයෝ තක්සේරු කරති. දැවැන්ත නියුට්‍රීනෝ වශයෙන් නැතහොත් නොදන්නා නමුත් බහුලව ලබාගත හැකි පදාර්ථ වශයෙන් හෝ එය සොයාගැනීමට ඔවුහු වියරු උත්සාහයක යෙදෙති.
එම නැති වූ ස්කන්ධය සොයාගැනීමට ඔබ සමත් වන්නෙහි නම්, ඔබේ ප්‍රදේශයේ වෙසෙන විශ්ව න්‍යාය විද්‍යාඥයාට එය දැන්වීමට අතපසු නොකරන්න!