‘ගඟේ ඇස්’ ගැන පරෙස්සම් වන්න!
ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! වාර්තාකරු විසින්
ඕස්ට්‍රේලියාවේ නොදර්න් ටෙරිටරිහි පුදුමාකාර තෙත් බිම් ප්‍රදේශයක් වන කකාඩූ ජාතික උද්‍යානයේ නැඟෙනහිර ඇලිගේටර් ගංගාවේ අතු ගංගාවක් දිගේ එක් එඩිතර සංචාරක ස්ත්‍රියක් නිසංසලේ ඔරුවක් පදිමින් සිටියාය. හදිසියෙන්ම අනතුරු රහිත ලී කඳක් කියා ඈ සිතූ දෙය ඇගේ ඔරුවට පහර දීමට පටන්ගත්තේය. ඒ භයංකර කරදිය කිඹුලෙක් වූ අතර, වසරේ ඉතාමත් අනතුරුදායක එම කාලයේදී ඊට නියමිත වූ ප්‍රදේශයේ එම සංචාරක ස්ත්‍රිය සිටියාය.
උමතුවෙන් මෙන් ඈ ගස් සමූහයක් දෙසට පදවාගෙන ගියාය. පළමු අතු කිහිපයට ඇගේ කකුලක් තබනවාත් සමඟම, කිඹුලා දියෙන් ඉවතට විත්, ඇයව බිමට ඇද, තුන් වතාවක් ඇයව පෙරළුවේය. ඌ උගේ ග්‍රහණය මාරු කළ සෑම වතාවකම, මෙම කාන්තාව මඩ සහිත ගං ඉවුර දෙසට නැඟීමට දැඩි වීර්යයක් දැරුවාය. තුන්වන වර දැරූ උත්සාහයේදී, ඇයට ගං ඉවුරෙන් ඉවත්වීමට හැකි වූ අතර, කිලෝමීටර් දෙකක් පමණ දුර බඩ ගා යෑමට සිදු විය, එවිට උපකාරය ඉල්ලමින් ඇය වියරුවෙන් කෑගසන හඬ කැලෑ නිලධාරියෙකුට ඇසිණ. බරපතළ තුවාල තිබුණත් මෙම කාන්තාව බේරුණාය.
තව මොහොතකින් කනගාටුදායක පුවතක් වීමට තිබූ මෙම සිද්ධිය සිදු වූයේ 1985දීය. වසර දෙකකට පසු අමෙරිකානු සංචාරක ස්ත්‍රියක් එතරම් භාග්‍යසම්පන්න නොවූවාය. ඇගේ සහයකයන්ගේ අනතුරු ඇඟවීම් නොසලකා හරිමින්, කිඹුලන්ගෙන් ගහන වූ බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රින්ස් රීජන්ට් ගංගාවේ පිහිනීමට ඈ තීරණය කළාය. කරදිය කිඹුලෙකුගෙන් පහර ලැබ ඈ මරුමුවට පත් වූවාය. වතුරේ කිඹුල් පැටවුන් සිටි බවත්, පෙනෙන ආකාරයට කිඹුලිය ඇගේ පැටවුන් ආරක්ෂා කරමින් සිටි බවත් වාර්තා යෝජනා කරයි.
මාරාන්තික ‘ගඟේ ඇස්’
හඳ එළියෙන් මෝය ධීවරයන් දකින එකම දෙය නම්, වීදුරු මෙන් නිසංසල වූ ජලය මත, කෘමියෙකු පතිත වීමෙන් ඇති වන රැළිත්ත පමණි. එසේ වුවත්, ඕස්ට්‍රේලියාවේ ඈත උතුරු ප්‍රදේශයේ ධීවරයෝ නොපෙනෙන්නාවූ දෑ—එනම් ‘ගඟේ ඇස්’ සම්බන්ධයෙන් හැමවිටම සාවධානව සිටිත්. ඔහු සිය විදුලි පන්දම දැල්වූයේ නම්, වතුර මතුපිටින් ඉහළට පැමිණෙන කිඹුල් ඇස් දීප්තිමත් රතු පාටකින් දිලිසෙනු ඇත. ගොදුරු අල්ලා කන්නෙකුගේ බලප්‍රදේශයට ඔහු අනවසරයෙන් ඇතුල්වන්නෙකි.
ඕස්ට්‍රේලියාවේ කරදිය කිඹුලන්, අන් තැන්වලද දක්නට ලැබෙන අතර, උන් ලෝකයේ විශාලතම සහ ඉතා අන්තරාදායක කිඹුල් විශේෂ 12න් එකකි. ඌට, දිගින් මීටර හතක් දක්වා පමණ වර්ධනය විය හැක. ඉදිරියට පැන ප්‍රහාර එල්ල කිරීමෙන් හා මරණයට පත් කිරීම සඳහා උගේ සුප්‍රසිද්ධ පෙරළීමේ ක්‍රමයෙන් බේරීමට, අනතුරක් ඇතැයි සැක නොකරන ගොදුරක් එම දීප්තිමත් ඇස් දකින විට ප්‍රමාද වැඩිය. ගං ඉවුරේ පිපාසය සංසිඳුවා ගන්නා මී හරක්, ගවයන් සහ අශ්වයන් වැනි විශාල ගොදුරු පවා උන්ගේ ප්‍රහාරවලට ලක්ව තිබේ.
සුඛෝපබෝගීත්වය උන්ගේ පැවැත්මට තර්ජනය කරයි
කිඹුලා උගේ ගොදුර වෙනුවෙන් කුහක ලෙස ශෝකයෙන් කඳුළු සලන බවට ඇති පුරාණ මිථ්‍යා ප්‍රබන්ධය, නවීන සංස්කෘතියට පිවිස තිබෙන්නේ “කිඹුල් කඳුළු” යන ප්‍රකාශය තුළිනි. එහෙත් කිඹුලන් වෙනුවෙන් මිනිසුන් කඳුළු සලා නැති තරම්ය. එසේවුවත්, ජලයට ප්‍රිය මෙම උරගයාව, උගේ වටිනා චර්මය නැතහොත් සම හේතුවෙන් අනුකම්පා රහිත අන්දමින් දඩයමට ලක් කර තිබේ.
ඉතා ආකර්ෂණීය හම් භාණ්ඩ වශයෙන් කිඹුලන් බොහොමයකගේ හම, විලාසිතා නිවෙස්වල නිරූපිකාවන් මගින් ප්‍රදර්ශන පථයන්හි ප්‍රදර්ශනය කොට තිබේ, මන්දයත් කරදිය කිඹුලාගේ හම ලෝකයේ හොඳම හම ලෙස එනම් ලබාගත හැකි වඩාත් සිනිඳු මෙන්ම ශක්තිමත් හම ලෙස සලකනු ලබන බැවිනි. මෑතකදී ලන්ඩනයේ විකිණීම පිණිස එක් කාන්තා අත්බෑගයක් ඩොලර් 15,000කට මිල නියම කර තිබිණ. ලෝකයේ බොහෝ ප්‍රදේශවල කිඹුලාගේ හම තවමත් උසස් තත්වයේ සංකේතයකි.
විශාල ලාභයේ පෙලඹවීම, ඕස්ට්‍රේලියාවේ කරදිය කිඹුලන්ගේ පැවැත්මට තර්ජනයක් වී තිබේ. වර්ෂ 1945 සහ 1971 අතරතුර, නොර්දන් ටෙරිටරිහි පමණක් මෙම උරගයන් 1,13,000ක් පමණ මරණයට පත් කරනු ලැබීය. උන් වඳ වී යෑම වැළැක්වීම පිණිස 1970 ගණන්වල කිඹුලන් දඩයම් කිරීම සීමා කර තිබූ අතර, එහි ප්‍රතිඵලය වූයේ 1986දී පමණ වනාන්තරයේ උන්ගේ සංඛ්‍යාව නැවත යථා තත්වයට පත්වීමයි. කිඹුලන්ගේ වාසභූමිය අනතුරට ලක්ව තිබෙන බවට ඇතමුන් තර්ක කළත්, තවදුරටත් කිඹුලා ඕස්ට්‍රේලියාවේ අනතුරට ලක් වූ විශේෂයක් නොවේ.
මෙම දඩයක්කාරයා රැකගැනීම
ඕස්ට්‍රේලියානු ආදි කාලීන ජනතාව දැනුවත්ව හෝ නොදැනුවත්ව ශතවර්ෂ ගණනාවකට කිඹුලන්ගේ සංඛ්‍යාව සංරක්ෂණය කර තිබේ. සමහර ගෝත්‍රිකයන් දක්ෂ ලෙස කිඹුලන් දඩයම්කරන්නන් වූ අතර, අනිකුත් ගෝත්‍රිකයෝ ආගමික කාරණා හේතුකොටගෙන උන් දඩයම් කිරීම තහනම් කර තිබුණෝය.
මෑත වර්ෂවලදී, දැනුවත් කිරීම අවධාරණය කරනවාත් සමඟම කිඹුලන් ගොවි පොළවල්වල ඇති කිරීම, කිඹුලන් ආරක්ෂා කිරීමට දායක වී තිබේ. සංචාරකයන් කිඹුලන් ඇති කරන ගොවි පොළවල්වලට එක්රොක් වන අතර, ඒවායේ මූල්‍ය සාර්ථකත්වය ඉන් සහතික කරනු ලබන බැවින්, බෝ කිරීමේ වැඩසටහන් තුළින් වනචාරී කිඹුලන්ට තර්ජනයක් නොවෙමින් හම් සහ මස් සඳහා ඇති අවශ්‍යතා සපුරාලනු ලැබේ.
මිනිසුන් රක්ෂා කරන්නෙත් ඔවුන්ගේ ඉඩ කඩම් මෙන්ම කාලය යොදන්නෙත්, ඔවුන් ප්‍රේම කරන හා තේරුම්ගන්නා දේවලට පමණක් බව එක් සුප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු කිඹුල් ගොවියෙක් විශ්වාස කරයි. ඔහු මෙසේ අදහස් ප්‍රකාශ කළේය: “එනිසා කිඹුලන්ට එතරම් අවස්ථාවක් දෙනු නොලැබේ. නමුත් උන්ගේ පරිසර විද්‍යාත්මක වටිනාකම ඕනෑම අලංකාර භාණ්ඩයකට සමානය.”
කිඹුල් ගොවිපොළක, වගුරු බිමේ පැහැයට සමාන හමකින් යුත් උරගයෙක් නුදුරින් බැහැදැකීම ප්‍රීතිය දනවන්නකි—නමුත් ආරක්ෂක කම්බි වැටක් පිටුපස සිටය. ගොවිපොළ පාලනය කරන්නෝ බියකින් තොරව වට කර සිටින කිඹුලන් වෙත යන අතර, උන්ට යමක් කිරීමට ආරාධනා කර කුකුළන් සහ වෙනත් මස් වර්ග ත්‍යාග වශයෙන් ලබා දෙති. කෙසේවෙතත්, කිඹුලා සැහැල්ලුවට ගණන් ගැනීම නුසුදුසු බව මෑතකදී එක් ගොවිපොළ පාලකයෙක් ප්‍රබල ලෙස ඉගෙනගත්තේය. බලාපොරොත්තු නොවූ ලෙස, උරගයා හදිසියෙන්ම පහර දීමට ඔහු දෙසට පැන ඔහුගේ වම් බාහුව සම්පූර්ණයෙන්ම ඉරා දැමීය!
අනික් අතට, මාස දොළහක් වයසැති කිඹුලෙක් අල්ලාගෙන සිටීම රසවත් අද්දැකීමක් සහ බොහෝ දේ හෙළි කරන්නකි. උගේ උදරයේ යටි හම සැලකිය යුතු අන්දමින් සිනිඳු නමුත්, ඔස්ටියෝඩර්මාව නමින් හඳුන්වන උගේ පිටුපස වූ කටු සහිත ස්තරය ද්‍රව ආරක්ෂක ආවරණයක් නිර්මාණය කරයි. උන්ගේ හම එතරම් මිල අධික වන්නේ මන්ද කියා තේරුම්ගත හැකිය. එහෙත් මෙම “ළදරුවා” ගෙන් පරෙස්සම් වන්න. හනු බැඳ තබා තිබෙන මාස 12ක් වයසැති කිඹුලෙකු පවා උගේ ප්‍රමාණය අනුව සෑහෙන ශක්තිමත්ය.
බිත්තරයෙන් පිටතට නොපැමිණි කිඹුල් පැටවුන් උන්ගේ කටුව තුළ සිට බුරන විට ප්‍රේක්ෂකයන් සතුටට පත් වන අතර, උන්ගේ කුඩා හොම්බේ අග තිබෙන තාවකාලික දතක ආධාරයෙන් හදිසියෙන්ම බිත්තරය කඩාගෙන ඉවතට පැමිණේ. පෙනෙන ලෙසට සැබවින්ම කිඹුලෙක් හුරුබුහුටිව පෙනෙන එකම අවස්ථාව මෙය බවට බොහෝදෙනෙක් එකඟ වෙති.
දිගුකල් පැවති සමහර මිථ්‍යාවන් දුරු කෙරේ
කිඹුල් ගොවිපොළවල අධීක්ෂණය යටතේ වැඩෙන මෙම බියකරු උරගයන්ගේ හැසිරීම සමීපව පරීක්ෂා කර බැලීම දිගු කාලීනව පැවති සමහර මිථ්‍යාවන් දුරු කිරීමට උපකාර වී තිබේ. බලාපොරොත්තු නොවූ ලෙස විදුලි කොටන වේගයෙන් පහර දීමට පෙර, කිඹුලා දින ගණනක් හෝ සති ගණනක් පවා ඉවසීමෙන් යුතුව උගේ ගොදුර පසුපස හඹා යන බව බොහෝ කලක් තිස්සේ සිතා තිබේ. කෙසේවෙතත්, කිඹුලන් උන් සංවාසයේ යෙදෙන මෝසම් කාලය අතරතුර උන්ටම වෙන් කළ ප්‍රදේශයේ පමණක් කලහකාරී අන්දමින් සිටින බව මෑතකදී කරන ලද පරීක්ෂණ එළිදරව් කළේය. මෙම කාලය අතරතුරේදී උන් සිටින ප්‍රදේශයට ගොදුරක් ඇතුල් වූයේ නම්, කිඹුලා කලහකාරි ලෙස එය පසුපස ගියත් වසරේ තවත් කාලයකදී, කිඹුලා එම ගොදුර දෙස උනන්දුවක් නොමැතිව දුරක සිට බලා සිටිනු ඇත.
අදදින විනෝදයට යන ප්‍රදේශවල උන්ව දක්නට ලැබූ විට, කිඹුලන් වෘත්තිමය ලෙස දඩයම් කරන්නෝ, උන්ව ඒ තැන්වලින් ඉවතට ගෙන අලුත් තැනක පදිංචි කරති. ඔවුන්ගේ ශිල්ප ක්රමයේ එක් කොටසක් නම් යටි හනුව වටා තොණ්ඩු දමා, එය ඔසවා ඉහළ සහ පහළ හනු යන දෙකම එකට බැඳ තැබීමයි. යටි හනුව වැසීමට උපකාර කරන පේශි ඉතා ශක්තිමත් වන අතර, ඇරීමට උපකාර කරන පේශි දුර්වල බැවින් මෙය ඇත්තෙන්ම කිඹුලාගේ හනුව ශක්ති විරහිත කරයි. කෙසේවෙතත්, දඩයක්කාරයෙක් පරෙස්සම් නොවුවහොත්, කිඹුලාගේ ශක්තිමත් වලිගය මගින් පහසුවෙන්ම ඔහුට ගසා බිමට දැමිය හැක.
සම්පූර්ණයෙන්ම දරුණු සහ සාහසික නොවේ
බරපතළ තුවාල ඇති කිරීමට සමත් මෙම හනු, සියුමැළි අන්දමකින් දේවල් අල්ලා ගැනීමට සමත්ය. නූපන් කිඹුලන් උන්ගේ කටුව කඩාගැනීමට අලස වුවහොත්, එම පැටවුන් ක්‍රියාත්මක වීම පිණිස උන්ව කලතවමින් කිඹුල් මව ඉතා මෘදු ආකාරයකින් පෙරළයි.
කිඹුලාගේ දත්, කැබලිවලට කඩාගන්නවාට වඩා තදින් අල්ලා ගැනීමට නිර්මාණය කර තිබේ. ගොදුර සෑහෙන්න කුඩා නම්, සම්පූර්ණයෙන්ම ගිල දමනු ලැබේ. නැතහොත්, එය කැබලිවලට ඉරා කැබැල්ල බැගින් කා දමනු ලැබේ. මැරුණු කිඹුලන් මත කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ මගින් උන්ගේ උදරය තුළ ගල් තිබූ බව එළිදරව් විය. වුවමනාවෙන්ම කා දැමුවත් නැතත්, මෙම ගල් තුලබරු (ගිලීමට උපකාර කරන ද්‍රව්‍ය) ලෙස ක්‍රියා කරන බව විශ්වාස කෙරේ.
බොහෝවිට අමුත්තන් කිඹුලන් දකින විට උන් ගං ඉවුරේ උන්ගේ විශාල හනු විවෘත කරගෙන සිටිත්. මෙම ඉරියව්ව යම් ප්‍රචණ්ඩකාරි ක්‍රියාවක පෙරනිමිත්තක් බව බොහෝදෙනෙක් සිතාගෙන සිටිති. මීට පටහැනිව, හනු විවෘතව තිබෙන තත්වය පිටත උෂ්ණත්වයට ඌව සකසා ගැනීම සඳහා ඉඩ සලසයි. සියලුම උරගයන් මෙන්, කිඹුලන් නිරන්තරයෙන්ම උන්ගේ ශරීර උෂ්ණත්වය සකසා ගනිති.
කිඹුලා උරගයෙක් වුවත් ඌට ක්ෂීරපායින්ට මෙන් කුටීර හතරකින් යුත් හෘදයක් තිබීම පුදුමයට කරුණකි. කෙසේවෙතත්, කිඹුලා කිමිදෙන විට, වෙනස්කමක් සිදු වන අතර, හෘදය කුටීර 3කින් යුත් එකක් මෙන් ක්‍රියා කරයි.
කරදිය කිඹුලෙකු හා ඇලිගේටයා අතර තිබෙන වෙනස නම්, ඇලිගේටයාට වඩාත් පටු හොම්බක් තිබීම සහ හනු වැසී තිබෙන අවස්ථාවේදී යටි හනුවේ දත් දක්නට ලැබීමය. කුරු කිඹුලන් ජීවත් වන අප්‍රිකාවේ සිට ඉන්දියාව හරහා සහ ආසියාවේ පහළ කොටසේ සිට පැපුවා නවගිනියාව දක්වා නියම කිඹුලන් සොයාගත හැකිය. වතුර අද්දරට මායිම්ව උන් උන්ගේ කැදලි ගොඩනඟන බැවින්, දකුණු ඕස්ට්‍රේලියාව තරම් දකුණුදිග ප්‍රදේශවල සහ කඩොල් ගස් ආශ්රිත පටු සමුද්‍ර තීරයේ මෙන්ම නිවර්තන තෙත් දේශගුණික ප්‍රදේශවල කිඹුලෝ ජීවත් වෙති. මින් සිදු වන ස්වාභාවික හානිය නම්, බොහෝවිට කිඹුල් කලල විශාල ප්‍රමාණයක් ජලගැලීම්වලට හසුවීමයි. විශාල කිඹුලා, බැරමුන්ඩි මාළුවා සහ නැන්කීන් කුරුල්ලා වැනි ගොදුරු අල්ලා ගන්නා සතුන් හේතුකොටගෙන උන්ගේ පළමු වසර දක්වා බේරී ජීවත් වන්නේ, කිඹුල් පැටවුන්ගෙන් සියයට 50ක් පමණි.
මවිතකර දෙය නම්, කිඹුල් පැටවුන් උන්ගේ ආහාර සැපයුමයත් සමඟම බිහිවීමයි. ජීවිතයේ පළමු සති කිහිපය තුළ උන් උන්ගේම ශරීරය තුළ වූ බීජාන්න මඩියෙන් පෝෂණය ලබති. ඒ කෙසේද යත්, උන්ගේ මව උන්ව කටින් මෘදු ලෙස අල්ලාගෙන වතුර අද්දරට ගෙනයනවාත් සමඟම, උන්ගේ නාසය පාවිච්චි කිරීමටත් උන්ට ළඟා විය හැකි දුරක තිබෙන දෑ පැන හපා කෑමටත් උන් පටන්ගනී.
‘ගඟේ ඇස්’ යන යෙදුම එතරම් උචිත වන්නේ මන්ද? කුඩා පැටවුන්ව සිටින විටදී පවා රාත්‍රියේ කෘත්‍රිම ආලෝකය යටතේ උන්ගේ කුඩා ඇස් රතු පාටින් බැබළෙන බැවිනි. දෘෂ්ටි පටලයට පිටුපස තිබෙන ස්ඵටික තට්ටුව රාත්‍රි දර්ශන වැඩි කර රතුපාට දීප්තිය ඇති කරයි.
එසේය, සැබවින්ම කිඹුලා කුතුහලය ඇති කරවන උරගයෙකි—නමුත් සෑමවිටම සැලකිය යුතු දුරකින් සිටින්න. ඕනෑම ධීවරයෙක් හොඳින් දන්නා පරිදි, ලෙවියාතන්ව හීලෑ කිරීමට ගන්නා උත්සාහය නිෂ්ඵලය.
යෝබ්ගේ කාව්‍යය කිඹුලා “ලෙවියාතන්” යනුවෙන් යෝග්‍ය ලෙස විස්තර කර තිබේ: “ලෙවියාතන් නම් මුහුදු සර්පයා බිලී කටුවකින් අදින්නට වත්, උගේ දිව කඹයකින් බඳින්නට වත් නුඹට හැකි ද? උගේ නාසයේ ලණු පටක් දමන්නට වත්, උගේ හක්ක උලකින් සිදුරුකරන්නට වත් නුඹට පුළුවන් ද? ඌ නුඹට බොහෝ කන්නලව් කරනු ඇද් ද? නුඹෙන් දයානුකම්පාව අයදිනු ඇද් ද? සදහට ම ඌ නුඹට මෙහෙකරුවකු වන පිණිස, නුඹ සමඟ ගිවිසුමක් කරනු ඇද් ද? සුරතල් පක්ෂියෙකු සමඟ මෙන් නුඹ ඌ සමඟ සෙල්ලම් කරනු ඇද් ද? නොහොත්, නුඹේ යුවතියන්ගේ විනෝදය පිණිස නුඹ ඌ බැඳ තබන්නෙහි ද? වෙළෙඳ පොළේ ධීවරයන් ඌ ගැන කේවෙල් කරනු ඇද් ද? වෙළෙඳුන් අතර කපා බෙදාගනු ඇද් ද? උගේ හම මස් හෙල්ලවලින් වත්, උගේ ඔළුව ඇවුළුම් බිලියකින් වත් සිදුරු කරන්නට නුඹට හැකි ද? නුඹ ඌ සමඟ පොරබැදුවොත් ඒ සටනේ තරම සිතා බලනු; සිතා නිකම් සිටිනු.”—යෝබ් 41:1-8, නව අනුවාදය.
මේවා පරෙස්සම් රහිත සහ කුතුහලයෙන් යුතු වූවන් සඳහා බලවත් ඕනෑකමින් දෙන අවවාදය සහිත ප්‍රඥාවන්ත වචනය: බලවත්, බිහිසුණු කිඹුලා—එනම් ‘ගඟේ ඇස්’ ගැන පරෙස්සම් වන්න!
[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Australian International Public Relations අනුග්රහයෙනි
[25වන පිටුවේ පින්තූරය]
රාත්රියේදී ජලය මතට ආලෝකය දල්වනු ලබන විට, කිඹුල් ‘ගඟේ ඇස්’ රතුපාටින් දිළිසේ
[හිමිකම් විස්තර]
Koorana Crocodile Farm, Rockhampton, Queensland, Australia අනුග්රහයෙනි
[26වන පිටුවේ පින්තූර]
වම්පස: කිඹුල් පැටියෙක් හිටිහැටියේම බිත්තරය කඩාගෙන ඉවතට පැමිණේ
[හිමිකම් විස්තර]
Koorana Crocodile Farm, Rockhampton, Queensland, Australia අනුග්රහයෙනි
මැද: මේරි ගංගාවේ මඩ සහිත ඉවුරේ අව්ව තපින විශාල කිඹුලෙක්
[හිමිකම් විස්තර]
Australian International Public Relations අනුග්රහයෙනි