ලෝකය දෙස බැලීම
සන්තෝෂයේ රහස?
ලන්ඩනයේ ද ඩේලි ටෙලිග්‍රාෆ්හි වාර්තා කරන ලද සමීක්ෂණයකට අනුව, බ්‍රිතාන්‍ය ජාතිකයන් දැනට අවුරුදු 25කට පෙර සිටියට වඩා වැඩි යහපත් සෞඛ්‍ය තත්වයකින් හා ධනවත්ව සිටියත්, ඔවුහු සාමාන්‍යයෙන් එතරම් සතුටකින් නොසිටිති. මධ්‍යම සංඛ්‍යාලේඛන කාර්යාලයේ සමාජීය ප්‍රවණතා පිළිබඳ වාර්තාවල මෙම සොයාගැනීම් සමඟ එකඟ වන එක් අමෙරිකානු සමාජ විද්‍යාඥයෙක් තහවුරු කරන ආකාරයට, සැබෑ සන්තෝෂය ඇති වන්නේ “වටිනා ඉලක්ක පසුපස යෑම” ඇතුළත්ව “ජීවිතයේ අරුතක්” තිබීමෙනි. මනුෂ්‍යයන් 400කට ආසන්න සංඛ්‍යාවක් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් පසු, නවසීලන්ත පර්යේෂකයෝ දෙදෙනෙක් එක සමාන නිගමනයකට එළඹුණෝය—එනම් “සිය පැවැත්මේ පිළිවෙළ හා අරමුණ සම්බන්ධයෙන් අවබෝධයක් ඇතුව සිටීම,” සන්තෝෂයට හේතුව ලෙස බොහෝදෙනෙකු සලකන බවය. විවාහක පුද්ගලයන්ට හා ප්‍රබල ආගමික ස්ථාවරයන් ඇති අයට, සෑහීමට පත්වීම සඳහා වැඩි ඉඩ කඩ තිබිය හැක. බ්‍රිතාන්‍යයේ විවාහවල හා ආගමික ඇදහිල්ලේ පිරිහීම සලකා බැලීමෙන්, “අපි ජාතියක් වශයෙන් දිගටම වඩ වඩාත් අසතුටට පත් වන්නෙමු” කියා පුවත්පත නිගමනය කරයි.
ඩීඑන්ඒ හා මළ මුහුදේ අකුළන ලද ලියවිලි
පුරාණ මළ මුහුදේ අකුළන ලද ලියවිලිවල සැඟවුණු අර්ථය තේරුම්ගැනීම, එය 1947දී යුදෙව් කාන්තාරයේදී සොයාගැනීමෙන් ටික කලකට පසු ආරම්භ විය. මේ දක්වා අකුළන ලද ලියවිලි 15ක් පමණ පරිවර්තනය කොට ඇත. වෙනත් අකුළන ලද ලියවිලි සිය ගණනකින් ඉතිරිව ඇත්තේ මහපටැඟිල්ලේ නියපොත්තක තරම් ප්‍රමාණයේ කාණ්ඩ 10,000ක සංඛ්‍යාවක් පමණි. කාණ්ඩ එකිනෙක සම්බන්ධ කිරීම මහත් කලකිරීමක් ඇති කරවන දෙයක් බවට ඔප්පු වී තිබේ. චිත්‍ර ප්‍රහේලිකාවක මෙන් කෑලි එකිනෙකට සම්බන්ධ කිරීමට නොහැකි වන තරමටම එහි දාර බෙහෙවින් දිරාපත් වී ඇති නිසාත්, සෑම කාණ්ඩයකම අක්ෂර ස්වල්පයක් පමණක් අඩංගු වන නිසාත් ඒවා අර්ථවත් ආකාරයකින් එකට සම්බන්ධ කළ නොහැක. ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබ්‍යූන් නමැති පුවත්පතට අනුව, එය විසඳීමට දැන් විද්‍යා තාක්ෂණය තිබේ. ඒ කෙසේද? ලේඛනය සත්ව හම මත කරනු ලැබූ බැවින්, ඒ ඒ කාණ්ඩය සාදා තිබෙන සත්ව විශේෂය, රංචුව හා සත්වයා, ඩීඑන්ඒ වර්ගය තුළින් හඳුනාගත හැක. මෙමගින්, කාණ්ඩ වර්ග කිරීමත්, සම්බන්ධ කිරීමත් වඩාත් පහසු වනු ඇතැයි විශාරදයෝ බලාපොරොත්තු වෙති.
පැතිර පවතින පවුල් පිරිහීම
“ලොව වටා ධනවත් මෙන්ම දිළිඳු රටවල, පවුල් ජීවිතයේ ව්‍යුහය තුළ විශාල විපර්යාසයන් සිදු වෙමින් පවතින” බව මෑත වාර්තාවක් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළ ද නිව් යෝර්ක් ටයිම්ස් නමැති පුවත්පත පවසයි. “පවුල තුළ ඇති වන බලවත් කැළඹීම්, එක් කුලයකට හෝ රටකට සීමා නොවේ.” ජනගහන මන්ත්‍රණ සභාව විසින් රටවල් ගණනාවක් සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයක් මත පදනම් වූ වාර්තාව, දික්කසාද අනුපාත මෙන්ම අවිවාහක මව්වරුන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමේ ප්‍රවණතාව සම්බන්ධයෙන් යොමු දක්වයි. “ආර්ථික අවශ්‍යතා සපුරාලන පියෙකු හා චිත්තවේගී සැලකිල්ල දක්වන මවක සිටින පවුලක්, ස්ථිර හා ඒකාබද්ධ ඒකකයක් බවට වූ සංකල්පය මිථ්‍යාවක්” බව එම අධ්‍යයනයේ එක් කර්තෘවරියක් වන ජූඩිත් බෲස් පවසයි. වෙන්වීම, අතහැර යෑම හෝ දික්කසාදය මගින් සිදු වන විවාහ අවලංගු වීම් වේගයෙන් ඉහළ නඟිමින් පවතින අතර, අවිවාහක මව්වරුන් සිටීම සෑමතැනකම පාහේ පොදු දෙයක් බවට පත් වී තිබේ. නිදසුනක් වශයෙන්, උතුරු යුරෝපයේ සිදු වන සෑම උපත් තුනකින් එකක්ම අවිවාහක මව්වරුන්ගෙන් වේ. පවුලේ වෙනස්වීම් බොහොමයකට ප්‍රධාන හේතු සාධකය වශයෙන්, කාන්තාවන්ගේ ආර්ථික තත්වය හා ශ්‍රමබලයේ කාර්යභාරය වැඩිවීම ඇතුළත්ව තිබෙන “කාන්තා විමුක්තිය” වෙත පර්යේෂකයෝ යොමු දක්වති. සාමාන්‍ය ප්‍රවණතාවට වෙනස්ව සැලකිය යුතු විශේෂත්වයක් ජපානයට තිබේ, මන්දයත් එහි තවමත් අවිවාහක මව්වරුන් මෙන්ම තනි දෙමාපිය පවුල් සාපේක්ෂ වශයෙන් දුර්ලභ බැවිනි. කෙසේවෙතත්, එහි සිටින දික්කසාද වූ පියවරුන්ගෙන් හතරෙන් තුනක්ම, දරුවන්ගේ නඩත්තු මුදල් නොගෙවති.
පියවරුන්ගේ පාප
තහනම් සබඳතාවලින් ජනිතවූවන් වීම හේතුවෙන්, වෙනත් යුදෙව්වරුන් සමඟ විවාහ වීම තහනම් කර තිබෙන යුදෙව්වන් දහස් ගණනකගේ නම්වල රහසිගත කළු ලැයිස්තුවක් තබාගන්නා බව, ඉශ්‍රායෙලයේ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පිළිගෙන තිබේ. විවාහ වීමට බලාපොරොත්තු වන ඇතැම් යුවළයන් මෙය සොයාගන්නේ, තමන්ගේ විවාහ මංගල්‍ය සැලසුම් කිරීම් අවසානයට ළඟා වන විට පමණක් බව ඔවුහු පවසා සිටිති. අවසාන තීරණය ගන්නේ ඔර්තඩොක්ස් රබ්බිවරුන්ය. ෂෝෂාන හැඩැඩ් හා මාසැඩ් කෝහෙන්, තමන්ගේ සිව් හැවිරිදි පිරිමි දරුවාව අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමට වෑයම් කළ විට, “භාර්යාවගේ පවුලේ කෙනෙකු විසින් අවුරුදු 2,500කට පෙර සිදු කළ වරදක් හේතුවෙන්,” 1982 සිදු කළ ඔවුන්ගේ විවාහය අවලංගු කර තිබූ බව සොයාගත් බව, නිව් යෝර්ක් නගරයේ ඇල්බනිහි, ටයිම්ස් යූනියන් නම් පුවත්පත වාර්තා කරයි. එය තවදුරටත් මෙසේ පවසයි: “එම තීරණය පදනම් වූයේ, ඓතිහාසික කටකතාවක් මතය. ක්‍රිස්තු පූර්ව 580දී පමණ, හැඩැඩ්ගේ ආදි මුතුන් මිත්තෙකු . . . නීති විරෝධී ලෙස දික්කසාද වූ කෙනෙකුව විවාහ කරගත් බවට, රබ්බිවරු විශ්වාස කරති.” එවක් පටන්, හැඩැඩ්ගේ පවුලේ කිසිවෙකුට, කෝහෙන් නම් ලත් කිසිවෙකු සමඟ විවාහ වීමට ඉඩ නොදෙන ලදි. කෝහෙන්වරුන් දේවමාළිගාවේ මුල් පූජකවරුන්ගෙන් පැවතෙන්නන් ලෙස සලකනු ලැබූ අතර, ඔවුන් විශේෂ සීමා තහංචිවලට ඇලී සිටිය යුතු විය. “මුල් දේවමාළිගාව නිර්මාණය කළ කාලයේදී මීමුත්තෙකු යම් වැරැද්දක් කළහොත්, අප අදදින දක්වා ඒ වෙනුවෙන් දුක් විඳිය යුතුද?” කියා ෂෝෂාන විමසුවාය. එම යුවළ විවාහ කර දුන් රබ්බිවරයා මුළා කිරීම සම්බන්ධයෙන්, ඔවුන්ව අපරාධ චෝදනාවකට පවා ලක් විය හැකි බවට ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසයි.
බිහි වෙමින් පවතී: වනාන්තර නොමැති ප්‍රථම ආසියානු රට
පිලිපීනය සම්පූර්ණ වනනාශනයකට මුහුණ දෙන බවට, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (එජාසංවැ) අනතුරු අඟවයි. “ජනගහන පීඩන හා දැරිය නොහැකි ලී ඉරීමේ පුරුදු” මගින්, පිලිපීනයේ ගස්වලින් ආවරණය වූ ප්‍රදේශ වැඩි වැඩියෙන් විනාශ වෙමින් පවතී. දෙවන ලෝක යුද්ධයට පෙර, එම රටේ සියයට 60 සිට 70 දක්වා ප්‍රදේශයක් වනාන්තරවලින් වැසී තිබිණ. අදදින, ඇත්තේ සියයට 15ක් පමණි. “වර්ෂ 2000 වන විට, පිලිපීනය වනාන්තරගත බිම් හා ගස්වලින් ආවරණය වූ ප්‍රදේශ නොමැති ප්‍රථම ආසියානු රට විය හැකි” බවට අප්ඩේට් නමැති එජාසංවැහි පුවත් පත්‍රිකාව වාර්තා කරයි.
“යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ආශීර්වාද ලද්දෝ වෙති”
වෙනත් බොහෝ රටවල මෙන්, ඉතාලියේද රුධිර අපකීර්තියක් මතු වී තිබේ. ප්‍රමාණවත් ආකාරයකින් පිරික්සුම් නොකර හෝ සුදුසු ආරක්ෂිත පූර්වෝපායන් නොමැතිව රුධිර ලීටර දහස් ගණනක් ප්‍රවේශන මධ්‍යස්ථානවලට බෙදාහරිනු ලැබ තිබෙන බව පවසනු ලැබේ, තවද එමගින් ඒඩ්ස් හා යාකෘත් ප්‍රදාහය වැනි රෝග වැළඳීමේ අවදානමට මනුෂ්‍යයන් දහස් ගණනක් අනාවරණය වෙති. පෞද්ගලික සෞඛ්‍යයට ඉහළින් ලාභ ලබාගැනීමේ පුදුම එළවන තත්වය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින්, ඉල් මොනිෆෙස්ටෝ නමැති ඉතාලි පුවත්පතේ සංස්කාරක ලුයිජී පින්ටෝ මෙම වදන් සමඟින් සිය ලිපිය ආරම්භ කළේය: “ආගමික හේතු නිසා රුධිර ප්‍රවේශන ප්‍රතික්ෂේප කරන . . . යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ආශීර්වාද ලද්දෝ වෙති. ඔවුන්ගේ සෙසු මිනිසුන්ට රුධිරය, ප්ලාස්මා හා ඊට සම්බන්ධ ව්‍යුත්පන්න විකුණන හා නිර්දේශ කරන රුධිර සපයන ආයතන හා සායනවල . . . සිදු වෙමින් පවතින දේ සම්බන්ධයෙන් මේ දිනවල පුවත්පත් කියවද්දී, කලබලයට පත් නොවනු ඇත්තේ ඔවුන් පමණි.”
ඇතුන්ට රූපලාවණ්‍ය ශිල්පියෙක්
දකුණු ඉන්දියානු කේරල ප්‍රාන්තයේ වෙසෙන ඇත්තු, උන්ගේ දිග දළවලින් බොහෝවිට අධික බර උසුලති. එහෙත් ඇතුන්ගෙන් බොහෝදෙනෙකුව පන්සලේ පෙරහැරවල හා ආගමික උත්සවවලදීද උපයෝගි කරගනු ලැබේ. මෙම අවස්ථාවන්ට පෙර, වෘත්තීය පුහුණුව ලත් රූපලාවණ්‍ය ශිල්පියෙකු විසින් උන්ගේ මුහුණ හැඩගන්වනවා වෙනුවට, උන්ගේ දළ පිළිවෙළකට අගින් කපා සකස් කරනු ලැබේ. කේරලෙහි මෙම වෙහෙස උපදවන වැඩය කරන එකම පුද්ගලයා පී. කේ. සසීඩ්හරන්ය, ඔහු තම කුසලතා අත් කරගත්තේ තම සීයාගෙනි. අගින් කෙතරම් දුරකට කපාහැරිය යුතුද කියා ඔහු තීරණය කරන්නේ කෙසේද? සම්පූර්ණ විස්තරය, එනම් ඇතාගේ උස, මහත හා දේහ හැඩය මත එය පදනම් වේ, තවද එය පවුලේ හොඳින් රැකගත් රහසකි. සත්වයා සහයෝගය දැක්වුවහොත්, එම ප්‍රතිකාරය සඳහා ගත වන්නේ පැය තුනක පමණ කාලයකි, නමුත් කලහකාරි ඇතෙකු අනතුරු සහිත තත්වයක් ඉදිරිපත් කරන බැවින් ඒ සඳහා වැඩි කාලයක් අවශ්‍ය වනු ඇත. අලංකාරවත් කිරීමේ හේතුවලට අමතරව, බර ඉසිලීම පහසු කරවීම සඳහාද වැඩ කරන ඇතුන්ගේ දළ සෑම අවුරුදු දෙකකට වරක්ම කපාහැරීමට සිදු වේ.
යුද්ධයට ගොදුරු වූ යෞවනයෝ
එක් කලකදී, යුද්ධයේදී වැඩි වශයෙන්ම ගොදුරු වූයේ යුද භටයන්ය. එහෙත් එය තවදුරටත් එසේ නොවේ. ගත වූ වසර දහය තුළදී, යුද්ධවලදී යුද භටයන්ට වඩා දරුවන් වැඩි සංඛ්‍යාවක් ආබාධිත තත්වයකට හා මරුමුවට පත් වී තිබේ. ගත වූ දශකයේදී, දරුවන් මිලියන දෙකක පමණ සංඛ්‍යාවක් යුද්ධවලින් මරුමුවට පත් වී තිබෙන බව, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මගින් කරන ලද ද ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ්ස් චිල්රන් 1995 නම් වාර්තාව පවසයි. ඊට අමතරව, දරුවන් මිලියන 4 සිට 5 දක්වා සංඛ්‍යාවක් අංග විකල වී හා මිලියන 5කට වඩා වැඩි සංඛ්‍යාවකට අනාථ කඳවුරුවලට යෑමට සිදු වී තිබෙන අතර, මිලියන 12කට වඩා වැඩි සංඛ්‍යාවක් අවතැන් වී ඇත. එම වාර්තාව මෙසේ සඳහන් කරයි: “මේවා වනාහි ලජ්ජා විය යුතු සංඛ්‍යාලේඛන වේ. තවද මේවා මතු පරම්පරා මත හා ස්ථාවරත්වය හා සමාජීය ඒකීයභාවය සඳහා ඔවුන්ගේ වීර්යය මත බෙහෙවින් අඳුරු තත්වයක් ඇති කරවයි.”
අගය අඩු වී ඇති පැන්සය
“මේ දිනවල බොහෝ මනුෂ්‍යයන් පැන්සයක් ඇහිදීමටවත් නවතින්නේ නැහැ,” කියා බ්‍රිතාන්‍යයේ රෝයල් මින්ට් වෙනුවෙන් කතා කරන කෙනෙක් පැවසුවේය. එහෙත් මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය තනි වී නැත. එක්සත් ජනපදයේ සෑම දිනකම පැන්ස කෙතරම් නැති වෙමින් හෝ අහක දමමින් තිබෙනවාද කිවහොත්, බැංකුවල පවා ඒවා හිඟ වෙමින් පවතී. මෑතකදී, පැන්ස 50ක් ගෙනෙන ඕනෑම කෙනෙකුට, නිව් යෝර්ක් නගරයේ කී බැංකුව අ.එ.ජ. මුදලින් සත 55ක් ඉදිරිපත් කළේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, සති දෙකක කාලයක් තුළදී කාසි මිලියන පහක් එකතු කරනු ලැබීය. මැසචූසෙට්ස්හි එක් විශාල කැළි කසළ පිළියෙළ කරන මධ්‍යස්ථානයක, අළු පරෙස්සමින් පරීක්ෂා කිරීමෙන්, සෑම දිනකම මාරු කාසිවලින්—වැඩි වශයෙන්ම පැන්සවලින්, ඩොලර් 1,000ක් එකතු කරගන්නා බව ලන්ඩන්හි ද සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
හෘදයාබාධවලට ගොදුරුවූවන්ට බලාපොරොත්තුවක්
“විශාල හෘද හානිවීමකින් පසුව, හෘද් අකරණිය හෙවත් හෘදය ක්‍රියාවිරහිත වීම වැළැක්විය නොහැකි දෙයක් බවට කලින් කල්පනා කරනු ලැබුවත්, සිදු වී තිබෙන හානිය ව්‍යායාම මගින් යළි සකස් කළ හැකි” බව ටොරොන්ටෝ රෝහලේ හෘද පර්යේෂණ අධ්‍යක්ෂක වෛද්‍ය පීටර් ලියූ පවසා සිටී. මීයන් මත කරන ලද ප්‍රතිඵල සහිත පර්යේෂණයකින් පසු, රෝහලේ හෘද ක්‍රියාකාරිත්ව සායනය මගින් හෘදයාබාධ රෝගීන්ට “සෑම දිනකම ඇවිදින දුර ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩි කිරීමට” සැලැස්වූ බව, ද ග්ලෝබ් ඇන්ඩ් මේල් නමැති පුවත්පත වාර්තා කරයි. “දිනකට අඩු තරමින් කිලෝමීටරයක පමණ දුරක් ඇවිදීමෙන්, මනුෂ්‍යයන් තුළ හෘද් අකරණියට පත්වීමේ ‘දරුණු තත්වය’ වැළැක්විය හැකි බව ප්‍රාථමික ප්‍රතිඵල පෙන්නුම් කරයි.” කෙසේවෙතත්, අඩිය තබන වේගය සාපේක්ෂ වශයෙන් වේගවත් විය යුතු අතර, ඇවිදීම කළ යුතු වන්නේ අධීක්ෂණයක් යටතේ බව වෛද්‍ය ලියූ පැවසුවේය.