ආගමේ දින නියම කර තිබේද?
“ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, ස්වාමීන්වහන්සේ ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.”
යෙසායා, පො.යු.පෙ. 8වන ශතවර්ෂයේ ඉශ්‍රායෙල් ජාතික ප්‍රොපේතවරයෙක්.
දිනක පොළොවේ සියලුදෙනාම සර්වබලධාරි දෙවියන්වහන්සේගේ නමස්කාරයෙහි එක්සත් වන බවට හෙබ්‍රෙව් ප්‍රොපේතවරයෙක් වූ යෙසායා මෙසේ පුරෝකථනය කළේය. කෙසේවුවද, අදදින, වෙන කෙදිනකටත් වඩා එවැනි අපේක්ෂාවක් අපෙන් ගිලිහී ගොස් ඇති බවක් පෙනෙන්ට තිබේ.
උදාහරණයක් වශයෙන්, මෙම ශතවර්ෂයේ මුල්භාගයේදී, පොදු ජනයා නිදහස් කිරීම සඳහා ආගමේ විනාශය අවශ්‍ය පියවරක් වූ බව රුසියාවේ කොමියුනිස්ට් විප්ලවවාදීහු විශ්වාස කළහ. අදේවවාදය, ‘අතීතයේ අගතීන් හා මුළා කිරීම් සම්බන්ධ බරින් වැඩ කරන ජනතාව මුදාහරිනු ඇතැයි’ ඔවුහු කියා සිටියහ. වර්ෂ 1917ට පෙර 40,000 සමඟ සැසඳූ විට, 1939 වන විට, ස්ටාලින්, එක්සත් සෝවියට් දේශයෙහි පවත්වාගෙන ගිය ඔර්තඩොක්ස් පල්ලිවල ගණන 100 දක්වා අඩු කර තිබිණ.
පූර්ණ බලය සඳහා වන තම ගමනට ආගම බාධාවක් බව හිට්ලර්ද සැලකුවේය. “කෙනෙක් එක්කෝ ක්‍රිස්තියානියෙක් එහෙමත් නැත්නම් ජර්මානුවෙක්. ඔබට එකවර දෙදෙනාම වී සිටින්ට බෑ,” යයි ඔහු වරක් ප්‍රකාශ කළේය. ඔහුට පාලනය කළ නොහැකි සියලු ආකාර නමස්කාරයන් ක්‍රමක්‍රමයෙන් පහ කර දැමීමට ඔහු අදහස් කළේය. එම ඉලක්කය මනසේ තබාගෙන නාට්සිවරු යම් ආගමික ස්වභාවයක් දැරූ තමන්ගේම යාච්ඤා, මංගල්‍යයන්, බව්තීස්ම වීම් සහ භූමදාන කිරීමේ සේවාවන් පවා බිහි කළහ. හිට්ලර් ඔවුන්ගේ මෙසියස්වහන්සේ වූ අතර, නිජබිම ඔවුන්ගේ දෙවියා විය. හිට්ලර් අධිෂ්ඨාන කළා නම්, ඕනෑම පාපිෂ්ඨ ක්‍රියාවක් කිරීමට හැකියාව තිබිණ.
ආගමේ අවසාන දවස්?
ආගම යටපත් කිරීමට වූ සිය වෑයමේදී ස්ටාලින් හෝ හිට්ලර් හෝ සාර්ථක නොවීය. එහෙත් දැන්, ප්‍රජා පීඩනයේ තැන උදාසීනභාවය ගෙන ඇති බවක් පෙනෙන්ට තිබේ. බයිබල් ශිෂ්‍යයන්ට මෙම සිදුවීම් පුදුමයක් ලෙස පෙනෙන්නේ නැත. “අන්තිම දවස්වලදී” ජනයා ‘දෙවියන්වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නන්’ වන බව ප්‍රේරිත පාවුල් තිමෝතිට පැවසුවේය.—2 තිමෝති 3:1-4.
ආගමික උදාසීනත්වයෙන් සලකුණු කෙරෙන මෙම “අන්තිම දවස්” සියලු ආගම්වල අභාවයේ ප්‍රාරම්භයක් වනු ඇති බව බයිබලය උගන්වයිද? නැත. සියලු ආගම්වල අවසානය පුරෝකථනය කරනවා වෙනුවට, මහා බබිලෝනිය ලෙස සංකේතවත් කර ඇති බොරු ආගම අවසානයකට පැමිණෙනු ඇති බව බයිබලය පැහැදිලි කරයි.a එළිදරව් පොත මෙසේ පවසයි: “බලවත්වූ දේවදූතයෙක් මහත් ඇඹරුම් ගලක් වැනිවූ ගලක් ගෙන මුහුදේ හෙළා: ඒ මහත් නුවරවූ බබිලෝනිය මහත් වැටීමකින් මෙසේ හෙළනු ලබන්නීය, තවත් කිසිසේත් සම්බ නොවන්නීය.”—එළිදරව් 18:21.
කෙසේවුවද, බොරු ආගම අතුරුදහන් වීමේ ප්‍රතිඵලයක් වශයෙන්, අදේව ලෝකයක් හට නොගන්නවා ඇත. ඊට පටහැනිව, ගීතාවලිය 22:27 මෙසේ පුරෝකථනය කරයි: “පොළොවේ සියලු සීමාවෝ සිහිකරමින් ස්වාමීන් වෙතට හැරෙන්නෝය. ජාතීන්ගේ සියලු ගෝත්‍රයෝ ඔබ ඉදිරියෙහි නමස්කාරකරන්නෝය.” එකම සැබෑ දෙවියන්වහන්සේට නමස්කාර කිරීමේදී “ජාතීන්ගේ සියලු ගෝත්‍රයෝ” එකට එක්සත් වන කාලයක් ගැන නිකම් සිතා බලන්න! දෙවියන්වහන්සේගේ රාජ්‍ය පාලනය යටතේ, මෙම අතිවිශිෂ්ට පොරොන්දුවේ මහිමාන්විත ඉටුවීම සිදු වනු ඇත. (මතෙව් 6:9ආ, 10) එම කාලය පැමිණෙන විට—සැබෑ ආගම—ඉමහත් ලෙස වැදගත් වනු ඇත. එහෙත් මේ කාලය ගැන කුමක් කිව හැකිද?
ආත්මික අඩුව පිරවීම
අදදින යුරෝපයේ බෙහෙවින් පැතිර පවතින ආත්මික අඩුව, පළමු ශතවර්ෂයේ රෝමානු අධිරාජ්‍යයෙහි තත්වයට සමානය. පළමු-ශතවර්ෂයේ කිතු දහම එවකට තිබූ ආත්මික අවශ්‍යතා සාර්ථකව සැපිරූ ආකාරය ඉතිහාසඥ විල් ඩූරන්ට් මෙසේ විස්තර කරයි: “එය, මියෙන මිථ්‍යාදෘෂ්ටියේ පවතින සදාචාර රික්තකය තුළට, ස්ටොයිකවාදයේ උදාසීනභාවය හා එපිකූරියවාදයේ දූෂණය තුළට, තිරිසන්භාවය, කෲරත්වය, බලවත් පීඩා හා ලිංගික ව්‍යාකූලත්වය තුළට, ගුණවත් පුරුෂ ගති ලක්ෂණ නැතහොත් යුද්ධයේ දෙවිවරුන් තවදුරටත් අවශ්‍ය නොවන බවක් පෙනෙන්ට තිබෙන තෘප්තියට පත් අධිරාජ්‍යයක් තුළට, සහෝදරත්වයේ, කරුණාවන්තකමේ, නිහතමානීකමේ හා සමාදානයේ නව සදාචාරත්වයක් ගෙනැවිත් තිබේ.”
මුල් ක්‍රිස්තියානීන් විසින් රෝම අධිරාජ්‍යය පුරා දේශනා කරනු ලැබූ එම බලවත් පණිවුඩයම දේශනා කරනු ලැබීම මගින්, අපේ කාලයේ ජන ජීවිත තුළ පවතින සදාචාර හා ආත්මික ශුන්‍යභාවය නැති කළ හැක. එමෙන්ම සවන් යොමන කන් තිබේ. බොහෝ යුරෝපීයයන් පිටතින් ආගමික ලැදිකමක් නොදැක්වුවත්, සිය ජීවිත තුළ දෙවියන්වහන්සේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවට තවමත් ඔවුන්ට හැඟේ. ඔවුන් තවදුරටත් සම්ප්‍රදායානුකූල පල්ලි මෙහෙයන්වලට සහභාගි නොවනවා විය හැකි මුත්, ඇතැමෙකු වෙනත් තැනකින් සිය ආත්මික අඩුව පුරවාගනු ඇත.
කතෝලික පාසැලක අධ්‍යාපනය ලැබූ ස්පාඤ්ඤයේ පාම ඩෙ මයෝකවල යෞවන පුරුෂයෙකු වූ හුආන් හොසේ වයස අවුරුදු 13 වන තෙක් පල්ලියේ අල්තාර ළමයෙකු වශයෙන් සේවය කළේය. ඔහු සෑම ඉරිදාවකම ඔහුගේ පවුල් සාමාජිකයන් සමඟ පූජාවට සහභාගි වුවද, ඔහු නහඹරයෙකු වූ විට පල්ලි යෑම නතර කළේය. මන්ද? “එක් දෙයක් නම්, පූජාවට ගියහම කම්මැළිකමක් දැනුණ නිසා,” යයි හුආන් හොසේ පැහැදිලි කරයි. “මා දේවමෙහෙය කටපාඩමින් දැනගෙන සිටියා. මා කලින් අසා තිබුණු සියල්ල පුන පුනා කියන බව පෙනෙන්ට තිබුණා. තවදුරටත්, අපේ ප්‍රදේශයට සේවය කරන පූජකයා ගෝලයන් වන අපට බොහෝවිට සැලකුවේ ඉතා නපුරු විදිහටයි. තවද අවමංගල්‍ය මෙහෙයක් පැවැත්වීම සඳහා දුගී ජනයා, පූජකයෙකුට ගෙවීමට සිදුවීම වැරදි දෙයක්යයි මා සිතුවා.
“දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය මා තුළ ඒ වන විටත් තිබුණා, නමුත් මා කැමති විදිහට පල්ලියෙන් පිට මට සේවය කළ හැකියි කියා මා සිතුවා. යාළුවෝ කට්ටියක් එක්ක මට හැකි උපරිමයෙන් ජීවිතයේ සතුට ලබන්න මා වෑයම් කළා. මා හිතන විදිහට මගේ ජීවිතයේ පළමු තැන විනෝදාස්වාදයට හිමි වූ බව ඔබට පවසන්ට පුළුවන්.
“නමුත් මට 18 වන විට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට මම පටන්ගත්තා. මට පල්ලියෙන් දැනගන්ට නොලැබුණු මොන මොන දේවල් ඔවුන් ළඟ තිබුණාද? සම්ප්‍රදායන් හා මට කවදාවත් තේරුම්ගත නොහැකි ‘අභිරහස්වලට’ වඩා බයිබලය මත පදනම් ස්ථිර ඇදහිල්ලක්. කොහොම නමුත්, මගේ අලුත් විශ්වාසයන් නිසා මා තුළ විශාල වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය වුණා. සෑම සතියකම ඩිස්කෝ සංගීත ශාලාවල සාදයන් සංවිධානය කිරීමට කාලය ගත කරනවා වෙනුවට, මට අලුත ලැබුණු ඇදහිල්ල මගේ අසල්වැසියන් සමඟ බෙදාගැනීම සඳහා මා ගෙයින් ගෙට යෑමට පටන්ගත්තා. අන්‍යයන්ට උපකාර කිරීමෙහි ක්‍රියාශීලීව නිරත වී සිටීමෙන් මගේ ජීවිතය අර්ථවත් වුණා. පසුගිය වසර හත පුරා, මා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ-කාලීන සේවකයෙකු වී සිටිනවා.”
තම ආගමික අඩුව පුරවාගැනීමට වෑයම් කරන්නේ යෞවනයන් පමණක් නොවේ. ස්පාඤ්ඤයේ එක්ස්ට්‍රෙමාඩූරාවල වයෝවෘධ කාන්තාවක් වන ආන්ටෝන්‍යා ඇගේ ජීවිතයෙන් වැඩි කලක් “දෙවියන්වහන්සේව සෙවීම” සඳහා යොදාගත් බව පවසයි. ඇගේ නහඹරවියේදී, ඇය සෑම දිනකම පූජාවට ගිය අතර “කන්‍යාරාමයකදී දෙවියන්වහන්සේව සොයාගත නොහැකි නම් උන්වහන්සේ වෙන කොතැනකින්වත් සොයාගත නොහැකියයි” ඇය විශ්වාස කළ නිසා, අන්තිමේදී කතෝලික කන්‍යාරාමයකට ඇතුල් වූවාය. එහෙත් වර්ෂ තුනකට පසු ඇය කන්‍යාරාමයෙන් පිටව ගියේ පෙරටත් වඩා අපේක්ෂා භංගත්වයේ හා හිස්කමේ හැඟීමකින් යුතුවය.
අවසානයේදී, තම 50ගණන්වල සිටින විට ඈ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියක් බවට පත් වූවාය. “සාක්ෂිකරුවන් මා බැහැදැකීමට පැමිණ මගේම බයිබලයෙන් මගේ ප්‍රශ්නවලට උත්තර සැපයූ විට, මම ඉමහත් සතුටක් ලැබුවා. මා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියක වූ දා පටන් මගේ ජීවිතයට අරමුණක් තිබෙනවා. මට මගේ ගැටලු තිබුණත්, දැන් සැබෑ දෙවියන්වහන්සේව සම්බ වී තිබෙන නිසා මට ඒවා සමඟ සාර්ථකව කටයුතු කරන්න පුළුවන්.”
ඇත්තේ මෙම අද්දැකීම් දෙක පමණක් නොවේ. ආගමික ප්‍රවණතාවට එරෙහිව, වැඩි වැඩියෙන් ජනයා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කරන අතර, තම ඇදහිල්ලට අනුව ජීවත්වීමෙන් හා එය අන්‍යයන්ට දේශනා කිරීමෙන් ඔවුන්ගේ ජීවිතවලට අර්ථයක් හා අරමුණක් ලැබෙන බව සොයාගෙන ඇත.
වෙන කවරදාටත් වඩා සැබෑ ආගම වැදගත් කාරණයක් වේ
බොහෝදෙනෙකු ආගම ප්‍රතික්ෂේප කරන කාලයක අප ජීවත් වනවා වුවත්, සියලු ආගම් ඵලක් නැති බව විනිශ්චය කිරීම අනුවණ දෙයක් වනු ඇත. විසිවන ශතවර්ෂයේදී ජනයා අර්ථවත් නොවන වත් පිළිවෙත්, යල්පිනූ හා ශුද්ධ ලියවිලිවලට පටහැනි එල්බගත් මත ඉවතලන අතර, පෙනුමට පමණක් පල්ලි යෑම දෙස ඔවුන් අවඥාසහගත ලෙස බලන බව සැබෑය. ඇත්තෙන්ම, කුහක ආගම්වලින් සම්පූර්ණයෙන්ම ඈත්වීමට බයිබලය අපට නිර්දේශ කරයි. “අන්තිම දවස්වලදී” ඇතමුන්ට ‘දේවභක්තියේ බාහිර පෙනුම තිබෙන මුත් ඔවුන් එහි බලය එපා කර’ සිටිනු ඇතැයි ප්‍රේරිත පාවුල් පුරෝකථනය කළේය. එවන් අය ආගම පිළිබඳව බොරු මවාපෑමක් කළත්, එහි වලංගුතාව ඔවුන්ගේ හැසිරීමෙන් නිෂ්ප්‍රභ කෙරේ. එවැනි ආගමික කුහකකමකට අප ප්‍රතික්‍රියා කළ යුත්තේ කෙසේද? “එබඳු අයගෙන් අහක්වෙයන්න,” යයි පාවුල් අවවාද කළේය.—2 තිමෝති 3:1, 5.
එහෙත් “ආගම උපරිම ප්‍රතිලාභ උපදවයි” කියාද පාවුල් පැවසීය. (1 තිමෝති 6:6, නිව් ඉංග්ලිෂ් බයිබල්) පාවුල් කතා කරමින් සිටියේ ඕනෑම ආකාරයක ආගමක් ගැන නොවේ. මෙහි “ආගම” යනුවෙන් පරිවර්තනය කර තිබෙන යූ·සෙʹබෙයි·ආ යන ග්‍රීක් වචනයෙන් අදහස් වන්නේ, “දෙවියන්වහන්සේ වෙත ඇති භක්තිය නැතහොත් ප්‍රණාමය” යන්නය. සැබෑ ආගමට, අව්‍යාජ දේවභක්තියට “දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු” තිබේ.—1 තිමෝති 4:8.
ඉහත සඳහන් වූ උදාහරණ පෙන්වන ආකාරයට, අපේ ජීවිතවලට අර්ථයක් ගෙන දීමටත්, ධෛර්යයෙන් යුතුව ගැටලුවලට මුහුණ දීමට අපට උපකාර කිරීමටත් සැබෑ ආගමට හැක. ඊටත් වඩා, සැබෑ ආගම සදාකාල අනාගතයක් සහතික කරයි. අවසානයේදී එයින් ‘පොළොව පිරීයන’ බවට අපට සහතික කර තිබෙන බැවින්, එවන් නමස්කාරයක් ලුහුබැඳීම වටින්නේය.b (යෙසායා 11:9; 1 තිමෝති 6:11) වෙන කවරදාටත් වඩා සැබෑ ආගම ගණන් ගත යුතු වන්නේ මේ කාලයේ බවට කිසි සැකයක් නැත.
[පාදසටහන්වල]
a ඉපැරණි බබිලෝනී නගරයේ ශුද්ධ ලියවිලිමය නොවන බොහෝ අදහස් හටගත් බැවින්, එය බොරු ආගමික ලෝක අධිරාජ්‍යයේ සංකේතයක් වශයෙන් බයිබලයේ යොදාගැනේ. ශතවර්ෂ ගණනක් පුරා මෙම බබිලෝනීය සංකල්ප ලෝකයේ ප්‍රධාන ආගම්වලට කාවැදීමට පටන්ගත්තේය.
b සැබෑ ආගම අඳුනාගන්නා ආකාරය සම්බන්ධ සාකච්ඡාවක් සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් 1995දී ප්‍රකාශිත සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොතෙහි “දෙවියන්වහන්සේ පිළිගන්නේ කාගේ නමස්කාරයද?” යන 5වන පරිච්ඡේදය බලන්න.
[10වන පිටුවේ පින්තූරය]
ගොඩනැඟිලි දෙකක කතාවක්
ස්පාඤ්ඤය ආගමික ගොඩනැඟිලිවලින් පිරී ඇති මුත්, මිල අධික ආසන දෙව්මැදුරු ඉදි කිරීම සඳහා තිබූ බලවත් ආශාව වියැකී ගොස් ඇති බවක් පෙනෙන්ට තිබේ. උදාහරණයක් වශයෙන්, මැඩ්රිඩ්හි සීමාවේ පිහිටි මෙහොරාඩා ඩෙල් කාම්පොවල ආකර්ෂණීය කතෝලික පල්ලියක් ඉදි වෙමින් තිබේ. ශාන්ත බෙනඩික්ට් නිකායේ කලින් සිටි පූජකයෙකු වන හුස්ටෝ ල්යෙගෝ මාර්ටිනෙස් ව්‍යාපෘතිය පටන්ගත්තේ වර්ෂ 20කට පමණ පෙරය. එහෙත් ගොඩනැඟිල්ල තවමත් හිස් සැකිල්ලකි. ගොඩනැඟීම තනියෙන් කරගෙන යන මාර්ටිනෙස් දැන් පසුවන්නේ 60වන වියේ බැවින්, පල්ලිය කවදා හෝ සාදා නිම කරනු ඇති බවක් පෙනෙන්ට නොමැත. කෙසේවුවද, දකුණේ කිලෝමීටර් 300කට එහායින් වෙනත් කතන්දරයක් දිග හැරිණ.
ස්පාඤ්ඤයේ මාර්ටොස් හාඒන්හි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවක් දෙදිනකින් ඉදි වූ ආකාරය, ප්‍රාදේශීය පුවත්පතේ පළ වූයේ ‘ඇදහිල්ල කඳු අහක් කරයි’ යනුවෙනි. “ආත්මාර්ථකාමිත්වය මත පදනම් වූ මෙම ලෝකයෙහි, වේගවත්කම, පරිපූර්ණත්වය හා සංවිධානාත්මකභාවය සඳහා සියලු වාර්තා බිඳහෙළමින්, ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා [ස්පාඤ්ඤයේ] විවිධ පළාත්වලින් ස්වේච්ඡා සේවකයන් පරාර්ථකාමී ලෙස මාර්ටොස් වෙත පැමිණීම සිදු විය හැක්කේ කෙසේදැයි” ප්‍රාදේශීය පුවත්පතක් විමසීය. මෙම ප්‍රශ්නයට උත්තර දීමේදී, ස්වේච්ඡා සේවකයෙකු පැවසූ දෙය ලිපියෙහි මෙසේ සඳහන් විය: “ඇත්තෙන්ම හැකි වී තිබෙන්නේ අප යෙහෝවඃවහන්සේ විසින් උගන්වනු ලබන ජනතාවක් යන කාරණය නිසයි.”
[10වන පිටුවේ පින්තූර]
මෙහොරාඩා ඩෙල් කාම්පො
මාර්ටොස්හි රාජ්‍ය ශාලාව