නැඟෙනහිර යුරෝපයේ සමාදානයේ දූතයෝ
බිහිරන් සවන් දෙමින් සිටියා! සිරකරුවන් නිදහස ලබමින් සිටියා! පොලීසියට කරන්න කිසි දෙයක් තිබුණේ නැති තරම්! අපි කතා කරමින් සිටින්නේ මොකක් ගැනද? අපි කතා කරමින් සිටින්නේ පසුගිය අවුරුද්දේ ජූලි සහ අගෝස්තු මාසවලදී නැඟෙනහිර යුරෝපයේ පැවැත්වූ යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ ජාත්‍යන්තර සමුළුවලදී සිදු වූ දේවල් ගැනයි.
වැඩසටහනේ තේමාව වුණේ, “දේවසමාදානයේ දූතයෝ” යන්නයි. රුමේනියාවේ පූජකයන් විසින් අවහිරතා ඇති කර තිබුණත්a, දෙවි සහ යේසුස් ක්‍රිස්තුස්ව දැනගැනීමෙන් හටගන්නාවූ සමාදානය යෙහෝවාගේ සාක්ෂිකරුවන් අද්දකින බව හුඟදෙනෙක් දුටුවා.—යෙසායා 26:2, 3; පිලිප්පි 4:7.
චෙක් ජනරජයේ ප්රාග් නගරයේද, හන්ගේරියාවේ බුඩාපෙස්ට් නගරයේද, පෝලන්තයේ වෝර්සෝ හා ලූජ් යන නගරවලද, එස්ටෝනියාවේ ටාලින් නගරයේද, රුමේනියාවේ බ්රාෂොව් හා ක්ලූෂ්-නාපොකෙ යන නගරවලද සමුළු පැවැත්වූවා.
මේ සමුළුවලට විදේශීය රටවල් බොහොමයකින් පැමිණ සිටි නියෝජිතයන්, මේ සුවිශේෂ අවස්ථාවන්ට ජාත්‍යන්තර මුහුණුවරක් එක් කළා. ප්‍රාග්හි පැවැත්වූ සමුළුවට ජ’මනිය, ජපානය, පෝලන්තය සහ එක්සත් ජනපදයෙන් විශාල කණ්ඩායම් පැමිණියා. චෙකියාහි පිහිටි වොච් ටව’ සමිතියේ ශාඛා කාර්යාලයෙන් ලැබුණු වාර්තාවක මෙසේ සඳහන් වුණා: “වෙනත් රටවලින් පැමිණි යෙහෝවා දෙවිගේ අඛණ්ඩතාව රක්ෂා කරන නමස්කාරකයන් බොහෝදෙනෙකුගෙන් අපි මහත් දිරිගැන්වීමක් ලැබුවා. උදාහරණයක් හැටියට, ජපානයෙන් පැමිණ සිටි නියෝජිතයන්ගෙන් වැඩිදෙනෙක් පුරෝගාමීන් වූ අතර, ඔවුන්ගේ විනීත ඇඳුම් පැළඳුම් හා ක්‍රමවත්බව ක්‍රීඩාංගනයේ ඔවුන් අසුන්ගෙන සිටි ප්‍රදේශය අලංකාර කළා. පෝලන්තයෙන් පැමිණි සමුළු නියෝජිතයන්ගේ උණුසුම් මිත්රශීලීකමද, ස්ලෝවැකියානු සහෝදරයන් පෙන්වූ කෘතඥතාවද, ජ’මන් සහෝදරයන්ගේ ත්‍යාගශීලීභාවය සහ අමෙරිකානු සහෝදරයන්ගේ උණුසුම් සෙනෙහසද අපේ අවධානයට යොමු වුණා. ඔවුන් සියලුදෙනාම අපිට ආදර්ශයක් වන විදිහට කටයුතු කළා.”
මේ සමුළු නවකයන්ට බලපෑමක් ඇති කළේ කොහොමද? දියවැඩියා රෝගයෙන් හා පාදයේ තිබූ තුවාලයකින් ඇති වූ වේදනාව ගණන් ගන්නේ නැතුව, අවුරුදු 85ක් වයසැති විශාරදයෙකු, කතුවරයෙකු මෙන්ම භාෂාවේදියෙකු වූ කෙනෙක් සමුළුවට පැමිණියා. ඔහු මාස හයක පමණ කාලයක් දැනුම පොත භාවිත කරමින් බයිබලය පාඩම් කරමින් සිටියා. වැඩසටහන අතරතුර ඔහු අවධානය යොමු කරමින් සිටියේ ඉදිරිපත් කරන කතාවල භාෂාමය සහ ව්‍යාකරණමය පැති ගැන නොව, නමුත් වෙනත් දෙයකටයි. “ඒක හරිම පුදුමයි!” කියා ඔහු තම විමතිය පළ කළා. “ඔයාලා අතර තියෙන ප්‍රේමය සහ සැලකිල්ල වචනවලට වඩා වැඩියෙන් හඬ නඟා කතා කරනවා.”—යොහන් 13:34, 35; 1 කොරින්ති 13:1-8.
ප්රාග්වලට පැමිණි විදේශීය ආගන්තුකයන් ඓතිහාසික ස්ථාන නරඹමින් හා සෑම අවස්ථාවකදීම අවිධිමත්ව සාක්ෂිදරමින් ප්‍රීතිය අද්දැක්කා. නීතිඥයෙකුගේ බිරිඳ වූ අමෙරිකානු සාක්ෂිකාරියක් ප්‍රාග්හි දකුණු ප්‍රදේශයේ පිහිටි බලකොටුවක මුදුනට නැඟ, පඩි පේළි දිගේ ගමන් කරන අයට චෙක් භාෂාවෙන් මුද්‍රණය කළ පත්‍රිකා බෙදා දීම සඳහා බලා සිටියා. පැරණි යුදෙව් සුසාන භූමියක් නරඹමින් සිටි පාසැල් ශිෂ්‍යාවන් කණ්ඩායමක් හමු වූ අවස්ථාවේදී, අනිත් අය ඔවුන්ට පත්‍රිකා බෙදා දුන්නා. ඒ වගේම සමුළු නියෝජිතයන්ට සේවය සලසා දුන්නාවූ සෑම සංචාරක මඟ පෙන්වන්නෙකුටම හා බස් රථ රියැදුරෙකුටම පොත් පත් ලැබුණා.—1 පේතෘස් 3:15.
සාක්ෂිකරුවන් සහ ඔවුන්ගේ හැසිරීම ගැන අගය ප්‍රකාශ කළාවූ සංචාරක මඟ පෙන්වන්නියක් මෙහෙම ලිව්වා: “මගේ ජීවිත කාලය පුරා මේ තරම් මිත්‍රශීලී හා කරුණාවන්ත අයව මට හමු වෙලා නැහැ. මම කතෝලිකයෙක් වුණත්, ආත්මික දේවල් කෙරෙහි ඔයාලා දක්වන ආකල්පයෙන් මගේ සිත ඇදිලා ගියා. තවමත් ලෝකය සම්බන්ධයෙන් බලාපොරොත්තු තියාගන්න පුළුවන් කියලා ඔයගොල්ලන් මට යම් බලාපොරොත්තුවක් දුන්නා. ඔයාලා පෙන්වූ කරුණාවන්තකමට ස්තුතියි. ඔයාලාට දෙවි පිහිටයි!”
සිකුරාදා ප්රාග් නගරයට තදින් වැස්සත්, දේශීය සහ විදේශීය කථිකයන් විසින් බෙදා දුන් ආත්මික ආහාර ගනිමින් රැස්ව සිටි පවුල් ක්‍රීඩාංගනයේ එළිමහනේ වාඩි වී සිටියා. මෙහි බොහෝ ළදරුවන් සිටි නිසා, ඔවුන්ව එහෙ මෙහෙ ගෙන යන ළදරු කරත්ත මගින් ආසන අතර තිබූ මැද මාවත්වල සිදු වන අනතුරු වැළැක්වීම සඳහා ක්‍රීඩාංගනයෙන් පිටත ඒ සඳහා වෙනම තැනක් සකස් කළා.
ප්රාග් නගරයේ පැවැත්වූ සමුළුවට 22,000කට වැඩියෙන් පැමිණියා. අලුතෙන් කැප වූ සාක්ෂිකරුවන් 432ක් බව්තීස්ම වුණා. රෝද පුටුවල සිටි දෙදෙනෙක් හා ආබාධිතයන් පස්දෙනෙක්ද ඒ සංඛ්‍යාවට අයත් වුණා.
බුඩාපෙස්ට්හි බිහිරන් “සවන් දෙයි”
ඩැනියූබ් ගඟ අසල පිහිටා තිබෙන අලංකාර බුඩාපෙස්ට් නගරය, ජූලි මාසයේ පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවක් සඳහා ආගන්තුක නගරය වුණා. පැමිණ සිටි ඉහළ සංඛ්‍යාව 23,893ක් වූ අතර, හන්ගේරියාව හැර රටවල් 11කින් පැමිණි නියෝජිතයන් 3,341දෙනෙක් ඊට අයත් වුණා.
වේදිකාව අසල සාදා තිබූ කුඩාරමක රැස්ව සිටි බිහිරි අය 100දෙනෙක් සඳහා මුළු වැඩසටහනම සංඥා භාෂාවට පෙරළා ඉදිරිපත් කළා. හංගේරියානු භාෂාව හැර වෙනත් භාෂාවලින් සියලුම නියෝජිතයන්ව ඇමතූ පිළිගැනීමේ වචනවලින්, විශේෂයෙන්ම මේ වචන සමඟින් බිහිරි අයව පිළිගනු ලැබුවා: “මුළු වැඩසටහනම සංඥා භාෂාවෙන් පරිවර්තනය කරන්න යන බව අපිට අමතක වෙන්නේ නැහැ. බිහිරි අය අප සමඟ සිටීම ගැන අපි සතුටු වෙනවා.”
අනිත් අය සමඟ සත්‍යය බෙදාගැනීම
පවුලේ සන්තෝෂයට රහස ඇතුළු අලුත් බයිබල් පොත් පත් මේ සමුළුවලදී මුදාහැරියා. මේ ප්රකාශනය ලබාගැනීමෙන් පසු, ප්‍රංශ නියෝජිත පිරිසක් ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයට යෑම සඳහා බස් රථයකට නැඟ්ගා. ඔවුන් ගමන් කරමින් සිටින අතරතුර, මනාල යුවළක් ඔවුන්ගේ විවාහ උත්සවයට සහභාගි වන ආගන්තුකයන් සමඟ සිටිනවා දැක්කා. සහෝදරයන් බසය නතර කරන්න කියා රියැදුරාට කිව්වා. සාක්ෂිකරුවන්ගෙන් එක් කෙනෙක් බසයෙන් බැස, හංගේරියානු භාෂාවෙන් නිකුත් කළ අලුත් පොතේ පිටපතක් මනාල යුවළට දුන්නා. ඔවුන් අගය කිරීමෙන් යුක්තව එම පොත පිළිගෙන, ඒ වෙලාවෙම කියවන්න පටන්ගත්තා. පොත මුදාහැරීමෙන් පසු, බෙදාහැරිය පිටපත් අතර පළමු පිටපත මෙය වූවා විය හැකියි.
කතෝලිකයෙක්ව සිට කොමියුනිස්ට්වාදියෙක් වී, පස්සේ සාක්ෂිකාරයෙක්
මේ සමුළුවේදී බව්තීස්ම වූ 510දෙනා පැමිණ සිටි සංඛ්‍යාවෙන් සියයට 2කට වඩා වැඩි ප්‍රතිශතයක් නියෝජනය කළා. මේ නවක සාක්ෂිකරුවන්ගෙන් තිදෙනෙක් තවමත් සිරගෙදර සිටින අතර, බයිබල් සත්‍යය ඉගෙනගැනීමට කලින් ඔවුන් සිදු කළ අපරාධ වෙනුවෙන් ඔවුන්ට නියම වූ සිර දඬුවමට යටත් වී සිටිනවා. ඒ ප්‍රදේශයේ සහෝදරයෝ ඔවුන්ව බලන්න නිතරම යන අතර, අනිත් අය සමඟ බයිබල් පාඩම් පවත්වනවා. බුඩාපෙස්ට්හි එක් සිරගෙදරක සිරකරුවන් එක්ක බයිබල් පාඩම් 50ක් පවත්වනු ලබනවා.
සාන්ත බෙනඩික්ට් නිකායට අයත් කතෝලික පාසැලක හැදී වැඩුණු මිනිසෙක් කතෝලික සභාව ගැන තිබුණු විශ්වාසය අත්හැර, වයස අවුරුදු 20දී කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක් වුණා. පසුව ඔහු යුද හමුදාවට බැඳී, ලුතිනන් නිලය දක්වා උසස් මට්ටමකට පැමිණියා. හදිසි අවස්ථාවකදී කැඳවනු ලබන හමුදා සේවයේ සාමාජිකයෙක් හැටියට, ඔහු මාක්ස්වාදය හා ලෙනින්වාදය විශ්වවිද්‍යාලයේ ඉගැන්වුවා. “නිදහස, සහෝදරත්වය සහ සමානාත්මතාව” වැනි කොමියුනිස්ට් සටන් පාඨ ඔහු තුළ මහත් කුතුහලයක් ඇති කළා. කොහොම වුණත්, බලයේ සිටින අය විසින් “ජනතාවගේ ආණ්ඩුව” යන සටන් පාඨය වැරදි විදිහට යොදාගැනීම, ඔහුට කොමියුනිස්ට්වාදය ගැන සැක සහිතව බැලීමට සැලැස්සුවා. යම් දෙයක අඩුවක් තිබෙන බව ඔහුට හැඟුණා. පසුකාලයකදී ඔහු විශ්‍රාම ගත්තා. සාක්ෂිකාරයන් ඔහුගේ දොරට තට්ටු කළ විට, ඔහු ඇහුම්කන් දීමට කැමැත්තෙන් සිටියා. ඔහු මේ විදිහට සඳහන් කරනවා: “මෙතැන තමයි සැබෑ සහෝදරත්වය තියෙන්නේ කියල, මම පළමු වතාවට රාජ්‍යශාලාවට ආපු අවස්ථාවේදීම මට වැටහුණා. ක්‍රිස්තුස්ගේ සැබෑ අනුගාමිකයන්ගේ ප්‍රේමයෙන් මං වට වෙලා හිටියා. කොමියුනිස්ට්වාදියෙකුව සිට සාක්ෂිකරුවෙකු දක්වා සම්පූර්ණයෙන්ම වෙනස් වීමට මට අවුරුදු හතරක කාලයක් ගත වුණා. ඒත් දැන් මම සත්‍යය තෝරාගෙන තියෙනවා.” ඔහු මේ සමුළුවේදී බව්තීස්ම වුණා.
පොලිසියට නම්, සමුළුවක වැඩ කිරීම සාමාන්‍යයෙන්ම සම්පූර්ණයෙන්ම වෙනස් පැවරුමක්. සාක්ෂිකාරයන්ගේ සමුළුවලදී රාජකාරිය කරන එක හරිම අමාරු දෙයක් කියා ක්‍රීඩාංගනයට ඇතුල් වෙන දොරටුව අසල වැඩ කරන්න පැවරී තිබූ එක් පොලිස් භටයෙක් කිව්වා. හේතුව? මොකද සෑම දෙයක්ම කිසිම කලබලයකින් තොරව සිදු වන නිසා, පොලිසියට ඇහැරගෙන ඉන්න එක අමාරුයි!
පෝලන්තයෙන් සතුටුදායක පුවත් වාර්තා
පෝලන්තයේ සමුළු දෙකක් පැවැත්වුවා. එකක් එහි අගනුවර වන වෝර්සෝහි පැවැත්වූ අතර, ඊට පැමිණි සංඛ්‍යාව 20,000කට වැඩියි. අනිත් සමුළුව පෝලන්තයේ දෙවන විශාලතම නගරය වන ලූජ්වල පැවැත්වූ අතර, එයට 12,000කට ආසන්න සංඛ්‍යාවක් පැමිණියා.
වෝර්සෝහි ප්‍රධාන පුවත්පතක් වන සිහ්ච වාර්ෂාව නමැති පුවත්පතේ මතු දැක්වෙන අංගය පළ වුණා: “‘ප්‍රචාරය කිරීමට ශුභාරංචි තිබේ! එය සමාදානයේ, සැබෑ සමාදානයේ ආරංචියි. වැඩය කර හමාරයි කියා දෙවි පවසන තෙක් අත්නෑර දිගටම දේශනා කිරීමට අපව පොලඹවන්නේ යෙහෝවාටත් අපේ අසල්වැසියන්ටත් තිබෙන අපේ ප්‍රේමයයි’ කියා යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන කැරි බාබ’ පැවසුවා.”
ෂ්ටාන්ඩා’ ම්වාඩිච් නමැති පුවත්පතේ ලේඛකයෙකු මෙසේ පැවසුවා: “වෝර්සෝහි ලෙගීයා ක්‍රීඩාංගනයේ පැවැත්වූ ආගමික එක්රැස්වීමක් සඳහා යෙහෝවාගේ සාක්ෂිකාරයෝ 12,000ක් වගේ සංඛ්‍යාවක් දවස් දෙකක් එක්රැස් වුණා. ආදර්ශවත් පිළිවෙළක් තිබුණා; මම හොඳින් බැලුවත්, පොලිස් මෝටර් රථ තිබෙනවා හෝ කුඩා භට පිරිස් සිටිනවා දැක්කේ නැහැ.
“සාමාන්‍ය පිළිගැනීම අනුව, පෝලන්තය සම්පූර්ණයෙන්ම වගේ කතෝලික රටක්. ඒත් අපේ කතෝලික තරුණයෝ මේ ක්‍රීඩාංගනයටම එකතු වෙන කොට, කලබලයකදී ක්‍රියා කරන්න සූදානමින් ඉන්න විශාල පොලිස් භට පිරිසක් නිතරම ඉන්නවා.
“අපේ කතෝලික තරුණයන් සමූහයක් හැටියට එක්රැස් වුණාම අනතුරුදායක දේවල් කරනවා; ඒ වගේම ඔවුන් කරන මැරකම් වළක්වන්න පොලිස් ආරක්ෂාව අවශ්‍යයි; ඒ වුණත්, කතෝලික ආගමේ ද්‍රෝහියන් හෝ නිකායවාදීන් හෝ වෙන මොනයම් ආකාරයකින් හෝ ඔබ ඔවුන්ව [යෙහෝවාගේ සාක්ෂිකාරයන්ව] හැඳින්වුවත්, පොදු පිළිවෙළට හා ආරක්ෂාවට තර්ජනයක් නොවන විදිහට විශාල සමූහයක් හැටියට එක්රැස් වෙන්න ඔවුන්ට පුළුවන්. ඇත්තෙන්ම ඒක හරිම පුදුමයි. කල්පනා කරල බලන්න හුඟක් දේවල් තියෙනවා.”
මෙහිදීත් අලුත් ඇදහිලිවන්තයන්ගේ බව්තීස්මය සිදු වුණා. වෝර්සෝ සහ ලූජ් නගරවල පැවැත්වූ සමුළුවලදී පිළිවෙළින් 462ක් හා 278දෙනෙක් බව්තීස්ම වුණා. දහනව වියැති සිල්වියා මොවුන්ගෙන් කෙනෙක්. ඈ නිතරම සාක්ෂිකරුවන්ට විරුද්ධව කතා කළා. එක් වැසි දවසක ඈ වීදියේ ගමන් කරමින් සිටියදී සාක්ෂිකාරියක් ඈ ළඟට ආවා. “මට පුළුවන් වුණා ඇයව එළවගන්න. මම වෙන පැත්තකට ඇවිදගෙන ගියා. ඒත් වැස්සේ තෙමෙමින් සිටි ගැහැනු ළමයෙකුව මගේ කුඩේ යටට ගත්තා. ඇයත් කොහොම හරි සාක්ෂිකාරියක් වගේ! යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු නමැති පොත මට ගෙනත් දෙන්න ඈ ඉදිරිපත් වුණා. ප්‍රතික්ෂේප කිරීම හොඳ නැති නිසා මම ඇයට මගේ ලිපිනය දුන්නා. . . . අද මං බව්තීස්ම වුණා.”
කුඩා එස්ටෝනියාවේ විශාල සාක්ෂිදැරීමක්
එස්ටෝනියාව, ලැට්වියාව හා ලිතුවේනියාව එක්වීමෙන් බෝල්ටික් ජනපද සෑදෙනවා. එස්ටෝනියාවේ ජනගහනය මිලියන 1.5ක් පමණයි. අගනගරයේ 4,50,000ක් පමණ වාසය කරනවා. වර්ෂ 1996 අගෝස්තු මාසයේදී සමුළු දෙකක් එහි පැවැත්වුවා.
මේ විශාල එක්රැස්වීම්වල බලපෑම කොතරම්ද කිව්වොත්, එක් පුවත්පතක මේ විදිහට සඳහන් කරල තිබුණා: “ඇත්තෙන්ම ටාලින් නගරය යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගෙන් පිරිලා. එස්ටෝනියාවේ සියලු ආගම් මෙතෙක් පවත්වා තිබෙන රැස්වීම්වලට පැමිණි විශාලතම සංඛ්‍යාව, ලින්හිල්හි පැවැත්වූ ඔවුන්ගේ සමුළුවට පැමිණ සිටියා කියලා කියනවා.” හෝටල් සියල්ලම සාක්ෂිකරුවන් විසින් කලින් වෙන් කර තිබුණා.
සහෝදර කැරි බාබ’ පසුව මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කළා. එහි ඔහු මෙසේ සඳහන් කළා: “ෆීනිෂ් භාෂාව කතා කරන සහෝදරයන්ද එස්ටෝනියාවට පැමිණීම සඳහා පැවරුම් ලැබූ අනිත් අයද මේ අවස්ථාවේදී සතුටු වීම ගැන පුදුම විය යුතු නැහැ. කුඩා වුවත් අලංකාර මේ රට බලවත් ජාතීන්ගේ මර්දනකාරි ක්‍රියාවන්ට ගොදුරු වී ඇති අතර, හුඟක් දුක් වේදනා අද්දැක තියෙනවා. යෙහෝවාගෙන් පැමිණෙන කල්පවතින සාමය සහ සුරක්ෂිතභාවය ඇති අනාගතයක බොහෝ දෑ භුක්ති විඳීමට එස්ටෝනියාවේ වැසියන් දැන් බලා සිටිනවා.” එස්ටෝනියාවේ ක්‍රියාශීලී සාක්ෂිකරුවන් 3,100කට වැඩියෙන් සිටිනවා. ඔවුන්ගෙන් භාගයක් කතා කරන්නේ රුසියානු භාෂාවයි.
එස්ටෝනියාවේ අයට, රුසියානු භාෂාව කතා කරන එස්ටෝනියාවේ හා ලැට්වියාවේ සහෝදරයන්ට, ලිතුවේනියාවේ අයට මෙන්ම රටවල් 15කින් පැමිණි ආගන්තුක නියෝජිතයන්ට මේ සමුළු සකස් කර තිබුණා. බ්‍රිතාන්‍යයෙන් පැමිණ සිටි 155දෙනෙක්ද ෆින්ලන්තයෙන් පැමිණ සිටි 300දෙනෙක්ද මේ නියෝජිත පිරිසට අයත් වුණා.
එස්ටෝනියාවේ බිහිරන්ද “සවන් දෙයි”
එස්ටෝනියාවේ ටාලින් නගරයේ සිටින බිහිරි අය සඳහා තමාට කළ හැකි දෙය ගැන සොයා බැලීම සඳහා, ෆින්ලන්තයේ බිහිරි වැඩිමහල්ලෙක් අවුරුදු තුනකට කලින් ඒ රටට ගියා. එහෙ සිටින කිසිම බිහිරි කෙනෙකුව ඔහු දැන සිටියේ නැහැ. එනිසා ඔහු මුරටැඹ සඟරා මිටියක් හා වෙනත් පොත් පත් රැගෙන ටාලින් නගරයේ බිහිරි අය එක්රැස්වෙන ස්ථානයට ගියා. එස්ටෝනියාවේ වෙසෙන බිහිරි අය ඔහුව සාදරයෙන් පිළිගත් අතර, ඔහු ළඟ තිබෙන දේවල් දැකබලා ගැනීමට මහත් කුතුහලයෙන් සිටියා. ඔහුගේ පළමු බැහැදැකීමේදීම ඔහු පොත් පත් සියල්ලම බෙදා දුන් අතර, උනන්දුව දැක්වූ අයගේ නම් හා ලිපිනයන් ලියාගත්තා. ඒ අයගේ ගණන 70ක්.
සියලුදෙනාටම වගේ බයිබල් පාඩමක් අවශ්‍ය වුණා. මේ සහෝදරයාට තේරුණා, මේ පාඩම් සියල්ලම පවත්වන්ට ඔහුට බැරි බව. එනිසා වැඩියෙන්ම උනන්දුව දැක්වූ අයව තෝරාගන්න ඔහුට සිදු වුණා. ඔහු පළමු වතාවට එස්ටෝනියාවට ගිය විගසම බයිබල් පාඩම් 30ක් පැවැත්වුවා. තව 40දෙනෙක් ඉදිරියේදී බයිබල් පාඩම් සඳහා බලා සිටිනවා. ටාලින්හි සිටින බිහිරි අය වෙනුවෙන් සංඥා භාෂා පරිවර්තකයන් හතරදෙනෙක් දැන් ඉන්නවා.
“නව ගිවිසුමේ දැක්වෙන නාට්‍යයේ අලුත් කතාංගයක්”
සාක්ෂිකාරියක් තොටුපොළක් අසලට වී, සමුළුවට පැමිණි අයට සුභපතමින් සිටියා. මේ විශාල සමුළුව ගැන තමා සිතන්නේ මොකක්ද කියා ඇය එස්ටෝනියානු සංචාරක මඟ පෙන්වන්නියක් ළඟට ගොස් ඇසුවා. යුරෝපීය රටවල් ගණනාවකින් පැමිණ සිටි සාක්ෂිකාර කණ්ඩායම් කිහිපයකට ඈ මඟ පෙන්වීම සැපයූ බවත් සාක්ෂිකරුවන් සැමවිටම හොඳින් හැසිරෙන, යහපත් අය බව තමා දුටු බවත් සංචාරකයන්ට මඟ පෙන්වන තැනැත්තිය ඇයට පැවසුවා. පූහාන්ගූ වීදියේ පිහිටි වොච් ටව’ සමිතියේ කාර්යාලය දැකබලා ගැනීමට ඇයට ආරාධනා කරනු ලැබුවා. එහි තිබූ නිසි පිළිවෙළ සහ කරුණාවන්ත හා සන්තෝෂවත් යෞවනයන්ව දැකීමෙන් ඈ පුදුම වුණා. සාක්ෂිකරුවන්ට නඟන චෝදනා අසත්‍ය බව පැහැදිලි කරුණක් වුණත්, ඔවුන්ට දරුණු විරුද්ධවාදිකම්වලට හා බොරු චෝදනාවලට මුහුණ දීමට සිදු වන හේතුව ඈට තේරුම්ගන්න බැරි වුණා. “මම දකින විදිහට, ඔයාලා කරන වැඩය හා ඔයාලාගේ සේවය හරියට නව ගිවිසුමේ දැක්වෙන නාට්‍යයේ අලුත් කතාංගයක් වගෙයි.”
ඇත්තෙන්ම, සමාදානයේ දූතයන් හැටියට යෙහෝවාගේ සාක්ෂිකරුවන් අපේක්ෂා කරන්නේ, ඔවුන්ගේ ගෞරවනීය හැසිරීම සඳහාත් අමුත්තන්ට ඔවුන් දක්වන කරුණාවන්තකම සඳහාත් ලොව පුරා යහපත් කීර්තියක් ඇති කරගැනීමටයි. (1 පේතෘස් 3:16) ආගමික සතුරන් හා ඇදහිල්ල අතහැර යන්නන් විසින් සිදු කරන නින්දා අපහාස මධ්‍යයෙහිත් යෙහෝවාගේ ආශීර්වාදය ඔහුගේ සාක්ෂිකරුවන්ට තිබෙන බවත්, බලාපොරොත්තු නැති තත්වෙකට පත් වී යුද්ධයෙන් විනාශ වී තියෙන, වෛරයෙන් පිරුණු ලෝකයට අවශ්‍ය කරන සමාදානයේ පණිවිඩය ඔවුන් ප්‍රකාශ කරන බවත්, නැඟෙනහිර යුරෝපයේ පැවැත්වූ මේ සමුළුවලින් පැහැදිලිව පෙනී යනවා.—යෙසායා 2:2-4; මාර්ක් 13:10.
[පාදසටහන]
a රුමේනියාවේ පැවැත්වූ සමුළු ගැන වැඩි විස්තර සඳහා 1997 පෙබරවාරි 22, එවේක්! සඟරාවේ පළ වූ, “විරුද්ධවාදිකම් හමුවෙහි රුමේනියාවේ පැවැත්වූ සමුළු” නමැති ලිපිය බලන්න. ඉදිරිපත් කළ වැඩසටහන පිළිබඳ විස්තර සඳහා 1997 ජනවාරි 15, මුරටැඹ සඟරාවේ පළ වූ “දේවසමාදානයේ දූතයෝ රැස්වෙයි” නමැති ලිපිය බලන්න.
[27වන පිටුවේ පින්තූරය]
වැස්ස ගණන් ගන්නේ නැතුව, රැස්ව සිටි පවුල් වැඩසටහනට කිට්ටුවෙන් අවධානය යොමු කළා
[28වන පිටුවේ පින්තූරය]
සන්තෝෂවත් පෝලන්ත සාක්ෂිකරුවෝ, තමන්ගේ අලුත් ප්‍රකාශනත් සමඟ
[29වන පිටුවේ පින්තූරය]
තමන්ටම ආවේණික වූ ජාතික ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටින ප්‍රීතිමත් එස්ටෝනියානු සාක්ෂිකරුවෝ