බිහිරන් යෙහෝවාට ප්‍රශංසා කරයි
නයිජීරියාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
බිහිරි අයට බයිබලය ගැන උගන්වන එක, නයිජීරියාවේ සිටින යෙහෝවාගේ සාක්ෂිකාරයන්ට වසර ගණනාවක සිට අමාරු දෙයක් වුණා. මේ තත්වය ඇති වී තිබුණේ, සංඥා භාෂාව දැන සිටි සාක්ෂිකරුවන්ගේ හිඟයක් තිබූ නිසයි. ඒ වුණත් දැන් ඒ තත්වය වෙනස් වෙමින් පවතිනවා. සංඥා භාෂාව ඉගෙනගෙන තියෙන සාක්ෂිකරුවන් වැඩි වන අතර, බිහිරි අය වෙතට ළඟා වෙමින් සිටිනවා. මේ වර්ධනය සම්බන්ධයෙන් තැබූ වැදගත් පියවරක් වූයේ, අවුරුද්දකට කලින් නයිජීරියාවේ පැවැත්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවයි.
“හැම තැනම පැතිරිලා තිබුණ දැවෙන උද්වේගය හිතට වගේම ගතටත් දැනුණා” කියා නයිජීරියාවේ, ඕටහි පැවැත්වූ සමුළුවට පැමිණි නියෝජිතයෙක් කිව්වා. “එතන අමුතුම භක්තියක් ඒ වගේම පුදුමාකාර හැඟීමක් තමයි තිබුණේ” කියා තවත් කෙනෙක් කිව්වා. එවන් හැඟීම් ඇති වෙන්න හේතු වුණේ මොකක්ද? පළමු වතාවට නයිජීරියාවේදී, මුළු වැඩසටහනම සංඥා භාෂාවට පරිවර්තනය කළා. ඒ අවුරුද්ද ඇතුළත රට පුරා පැවැත්වූ සමුළු 96න් මෙසේ කළ එකම සමුළුව මෙය වුණා.
පැමිණ සිටි දහස් සංඛ්යාතදෙනා අතර බිහිරි අය 43දෙනෙක් සිටියා; ඔවුන් වේදිකාවේ වම්පස ඉදිරි කොටසේ අසුන් ගෙන සිටියා. “සංඥා භාෂාව” යනුවෙන් රතු අකුරින් ලියා තිබූ විශාල සුදු පාට බෝඩ් එකක් ඔවුන්ට ඉහළින් එල්ලා තිබුණා. එහි සිටීමට බිහිරි නියෝජිතයෝ මහත් ආශාවකින් සිටියා. ඔවුන්ගෙන් කෙනෙක් මේ විදිහට ලිව්වා: “මා මෙය ලියන්නේ උතුරා යන ප්‍රීතියකින් හා ගලායන කඳුළු සමඟයි. අනිත් රටවල ඉන්න අපේ අනිකුත් බිහිරි ක්‍රිස්තියානීන් සඳහා පිළියෙළ කර තිබූ ආත්මික සැපයුම් ගැන දැනගත්තාම අපිට මහත් කනස්සල්ලක් දැනුණා. ඒ වුණාට මෙහෙ ඉන්න අපිටත් ඒ ආශීර්වාදයම ලැබෙයි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ.”
පැමිණියේ කවුද?
නයිජීරියාවේ සෑම ප්රදේශයකින්ම බිහිරි අය පැමිණියා. බිහිරි සාක්ෂිකාරියක් ඇගේ බිහිරි බයිබල් ශිෂ්‍යයන්ගෙන් තුන්දෙනෙක්ව සමුළුවට එක්කරගෙන ආවා. යන්න හා එන්න කිලෝමීටර් 700ක දුරක් ගමන් කළ බිහිරි අයගෙන් යුත් තවත් කණ්ඩායමක්, මාස හතක් තිස්සේ ගමන් වියදම් සඳහා මුදල් එකතු කරමින් සිටියා. කොහොමහරි, සමුළුවට යන දවස් නිවාඩු කාලයේ වැටුණ නිසා, රජයේ ප්‍රවාහණ සමාගමෙන් වාහනයක් කුලියට ගන්න ඔවුන්ට බැරි වුණා. ඔවුන්ගේ දුෂ්කරතාව රජය දැනගත් විට, වෙනත් විදිහකට ඔවුන්ගේ ප්‍රවාහණ පහසුකම් සලසාගැනීමට උපකාර කිරීම සඳහා ඔවුන්ට නයිරා 13,000ක් (රුපියල් 8,500ක් පමණ) දුන්නා.
මේ අද්විතීය සමුළුවට යන්න පවුල් ඔවුන්ගේ බිහිරි දරුවන් එක්ක ගමන් කළා. ගැමි ප්‍රදේශයක ජීවත් වෙන ස්ත්‍රියකට සමුළුව ගැන දැනගන්න ලැබුණා; ඇගේ බිහිරි පුතා එක්ක ඈ සමුළුවට ආවා. ඇයටවත් ඇගේ පුතාටවත් සංඥා භාෂාව ගැන ඒ තරම් දැනුමක් තිබුණේ නැහැ. ඔවුන් දැක්ක දෙයින් ඇති වුණු පෙලඹවීම නිසා ඔවුන්ගේ ඇස් කඳුළෙන් තෙත් වුණා. දැන් ඔවුන් සංඥා භාෂාව ඉගෙනගන්න අදිටන් කරගෙන තියෙනවා.
පැමිණ සිටි දහස් ගණන අතරින් සමහර අය කිලෝමීටර් සිය ගණනක් දුර ඉඳන් ඇවිල්ලා තිබුණේ, බිහිරි අය වැඩසටහනට “සවන් දෙන” ආකාරය දැකබලා ගන්නයි. ඉරිදා 13,936ක් ඇවිත් සිටියා; නයිජීරියාවේ මෙතෙක් පැවැත්වූ සමුළු 96න් වාර්තා වූ වැඩිම සංඛ්‍යාව වුණේ මෙයයි. පැමිණ සිටි ඒ මහත් සංඛ්‍යාව අතර සිටීම ගැන බිහිරි නියෝජිතයෝ ප්‍රීති වුණා.
බලා සිටින්නන්ගේ සිත්වලට කාවැදී ඇත
බිහිරි අයගෙන් හුඟදෙනෙක් සංඥා භාෂාවෙන් ශුභාරංචියට “සවන් දෙමින්” සිටියේ පළමු වතාවටයි. ඒ වගේම ඇසෙන අය සංඥා භාෂාව දැක්කේ පළමු වතාවටයි. සමුළුවේ හැම දෙයක්ම—ගීතිකා, යාච්ඤා, නිවේදන හා නාට්‍යය පවා සංඥා භාෂාවෙන් විස්තර කරනවා දැකීමෙන්, තමා පුදුම වුණා කියා නියෝජිතයෙක් කිව්වා. “ඒක හරිම පුදුම හිතෙන දෙයක්” කියා තවත් කෙනෙක් කිව්වා.
බිහිරි නියෝජිතයන්ගේ ප්‍රීතිය ඔවුන් ගීතිකා ගායනා කරද්දී පෙනුණා. මහත් උද්යෝගයකින්, ඔවුන්ගේ අත් ඔවුන් පාවිච්චි කළා යෙහෝවාට ප්‍රශංසා කරන්න. බිහිරි අය “ගායනා කරනවා” බලා සිටීම, ඇසෙන අයට හද දනවන අද්දැකීමක් වුණා. එය හුඟදෙනෙකුගේ ඇස්වලට කඳුළු එක් කළා. අමුතුම භක්තියකින් සමුළුවට සහභාගි වූවෙක් “අනේ යෙහෝවා” කියා පවසනවා ඇසී තියනවා. එක් අවස්ථාවකදී, ගීතිකාවක් ගායනා කර අවසන් වූ විට, සංඥා භාෂාව සඳහා වෙන් කර තිබූ කොටස ළඟ වාඩි වී සිටි අය ඉබේම අත්පොළසන් නද දෙන්න පෙලඹුණා.
බව්තීස්ම කතාවට පස්සේ, බව්තීස්ම අපේක්ෂකයන් සිට ගනිද්දි, සංඥා භාෂාව සඳහා වෙන් කර තිබූ කොටසේ සිටි යෞවනයෙකුත් සිටගත්තා. කථිකයා විසින් ඇසූ ප්‍රශ්න දෙකට ඔහු “එසේය” කියා සංඥා භාෂාවෙන් උත්තර දෙද්දී, අගය කිරීම මුමුනන හඬ රැස්ව සිටි පිරිස අතර පැතිරී ගියා.
තම රටේ වෙනත් ප්‍රදේශවල සිටින ආත්මික සහෝදර සහෝදරියන්ව හමු වෙන්න ලැබීම බිහිරි නියෝජිතයන්ට මොනතරම් සතුටක්ද! බිහිරි අය එකිනෙකාව දැන අඳුනා ගනිද්දි, අත් සහ ඇඟිලි වේගයෙන් එහෙ මෙහෙ ඇදී ගියා. අතට අත දීම් හා ලිපිනයන් හුවමාරු කරගැනීම් හුඟක් සිදු වුණා.
රටේ විවිධ ප්‍රදේශවලින් (සංඥා භාෂා) පරිවර්තකයන් නවදෙනෙක් පැමිණියා. සිත්ගන්නා විදිහට ඔවුන්ගේ අත්වලින් සියලුම කතා සහ ගීතිකා සංඥා භාෂාවෙන් විස්තර කරද්දී, ඒක බලන්න හරිම ලස්සනයි. වැලඳගැනීම්, අතට අත දීම් සහ ප්රශංසාත්මක වචනවලින් ඔවුන්ගේ උත්සාහයන්ට විපාක ලැබුණා. මේ ප්‍රශ්න අසන අයගෙන් ඔවුන් වට වෙලා හිටියා: ඔයා ඉගෙනගත්තේ කොහොමද? මට ඉගෙනගන්න පුළුවන් කොහොමද? සංඥා භාෂාව උගන්වන පොත් පත් එහෙම තියෙනවාද?
අලුත් ක්ෂේත්රයක් විවෘත වේ
බිහිරි අය සඳහා, සමුළුවේ විශේෂාංගයක් වුණේ, සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොතේ සංඥා භාෂාවේ අනුවාදයක් වීඩියෝ පටයකින් මුදාහැරීමයි. මේ ඉගැන්වීමේ ආධාරකයෙන් සැපයෙන උපකාරය ඇතුව සංඥා භාෂාව ඉගෙනගෙන, නයිජීරියාව පුරා සිටින බිහිරි අය වෙත ළඟා වෙන්න හුඟදෙනෙක්ව දිරිමත් කළා. එසේ කරන්න මේ සමුළුවෙන් බොහෝදෙනෙකු තුළ අධිෂ්ඨානයක් ඇති කළා.
“ඉස්සර අපි දේවසේවයේ යන කොට අපිට බිහිරි කෙනෙක්ව හමු වුණොත්, අපි කරන්නේ නිකම්ම ඊළඟ ගෙදරට යන එකයි” කියා සහෝදරියක් කිව්වා. “දැන්, අපි දන්නවා මොනවද කරන්න ඕනෑ කියල.” මිලියන පහක් හැටියට ගණන් බලා තියෙන ඇසීමේ ආබාධ ඇති නයිජීරියානු වැසියන් දෙස බලන විට, ඇත්තෙන්ම දියුණු කළ හැකි විශාල ක්ෂේත්රයක් තියෙනවා. සහෝදරයෙක් මෙහෙම කිව්වා: “මෙය ආරම්භයක් විතරයි. දැන් අපි මේ අද්විතීය අලුත් ක්ෂේත්රය වැඩිදියුණු කරන්න ඕනෑ.”
සමුළුවෙන් පසු මාසවලදී, සිදු වෙමින් තිබෙන්නේ එයයි. නයිජීරියාවේ සිටින ඇසීමේ ආබාධ ඇති මිලියන ගණනට දේවවචනයේ සත්‍යයන් ඉගැන්වීම සඳහා සියලුදෙනාම එක්සත් ප්රයත්නයක් දරමින් සිටිනවා. දේවරාජ්‍යය යටතේ පැමිණෙන නව ලොව ගැන ශුභාරංචිය ඔවුනුත් ඉගෙනගන්න ඕනෑ; මොකද නව ලොවේදී ආශ්චර්යවත් සුව කිරීමක් සිදු වන අතර, ‘බිහිරන්ගේ කන් ඇරෙන්න යනවා.’—යෙසායා 35:5.