බයිබලයේ දෘෂ්ටිකෝණය
ක්‍රිස්තියානීන් සාමවාදීන් විය යුතුද?
“ක්‍රිස්තියානි ධර්මයේ මුල් ශතවර්ෂවලදී මෙන් පල්ලි යළිත් සාමවාදීන් බවට පත් විය යුතුයි.”—අයිරිෂ් ජාතික ලේඛක හ්යූබ’ට් බට්ල’.
දෙවන ලෝක යුද්ධයෙන් පසු යුගොස්ලාවියාව බලන්න යෑමෙන් අනතුරුව, 1947දී හ්යූබ’ට් බට්ල’ ලියූ රචනාවක ඉහත වචන නිර්භීත ලෙස ලියූවත්, ඉකුත් වසර වෙන තෙක් එය ප්‍රකාශයට පත් කළේ නෑ. “ගණන් කළ නොහැකි තරම් අපරාධ සිදු වෙද්දී, ක්‍රිස්තියානි පල්ලිය ගණන් නොගෙන, ක්‍රිස්තුස්ගේ ඉගැන්වීමෙන් පුළුවන් තරම් ඈත්ව” සිටි ආකාරය දැකීමෙන් ඔහු පුදුමයට පත් වුණා.
අප්‍රසිද්ධ ව්‍යාපාරයන් හෝ කණ්ඩායම් වෙනුවෙන් නිර්භීතව කතා කරන්න බට්ල’ භය වුණේ නෑ. ඔහු එහෙම කතා කළ විට, සාමාන්‍යයෙන් ඔහු කතා කළේ තනිවමයි. ඔහු පල්ලියේ කල්ක්‍රියාව හා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එඩිතර ස්ථාවරය අතර වෙනස දක්වද්දී, කිසි භයක් නැතුව තමාගේ අදහස් ප්‍රකාශ කළා; දි අයිරිෂ් ටයිම්ස් සඟරාවේ සාක්ෂිකරුවන්ව විස්තර කරලා තියෙන්නේ, “සියලුම ආගමික නිකායන්වලින්, සහතිකවම ඉතාමත්ම නිර්දෝෂ, දේශපාලනයෙන් කැළැල් නොවූ ආගමික නිකාය” වශයෙනුයි. “දේශපාලන හා ආගමික ක්ෂේත්රවල ඉන්න ආගමික නායකයන් විසින් යුද්ධය යුක්තිසහගත කරන්න දරන හැම බොරු තර්කයක්ම පාහේ ප්‍රතික්ෂේප කරන/කළ” සාක්ෂිකරුවන් යුද්ධ ව්‍යාපාරයට බැඳෙන්න ප්‍රතික්ෂේප කළ නිසා, යුගොස්ලාවියාවේ අධිකාරීන් ඔවුන්ව නඩු විභාගයට ලක් කරනු ලැබුවා කියලා “යුගොස්ලාවියාව පිළිබඳ වාර්තාව” යන තම රචනයෙහි බට්ල’ ලිව්වා.
කෙසේනමුත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව සාමවාදීන් හැටියට විස්තර කිරීම ශුද්ධ ලියවිලිමය වශයෙන් නිවැරදිද? මේ කාරණය පැහැදිලි කිරීම රඳා පැවතිය හැක්කේ “සාමවාදීන්” යන වචනය මගින් අදහස් වෙන දේ මතයි. බට්ල’ මේ කියමන යොදාගත්තේ, පෞද්ගලිකව විශාල පාඩුවක් සිදු වුණත් යුධ අවි දැරීම නිර්භීත ලෙස ප්‍රතික්ෂේප කිරීම වෙනුවෙන් සාක්ෂිකරුවන්ට ප්‍රශංසා කිරීමේ අටියෙනුයි. එහෙත්, යුද්ධයේ රැල්ලට අසු වී තිබෙන බොහෝදෙනෙක් සාමවාදියෙකු සලකන්නේ, “තම ජාතිය වෙනුවෙන් තමාගේ වගකීම පැහැරහරින්න උත්සුක [වෙන] භයගුල්ලෙක් නැත්නම් ද්‍රෝහියෙක්” හැටියට පමණයි. ඒ දෘෂ්ටිකෝණය හරිද?
යුද්ධයට හෝ ප්‍රචණ්ඩත්වයට එරෙහිව
සාමවාදියෙක් වනාහි “ගැටුම්වලට, විශේ[ෂයෙන්ම] යුද්ධයට තදින්ම මෙන්ම ක්‍රියාශීලී ලෙස එරෙහිව සිටින” තැනැත්තෙක් බව වෙබ්ස්ට’ස් නයින්ත් නියූ කලීජියට් ඩික්ෂනරි පවසයි. එහි “සාමවාදය” නිර්වචනය කරන්නේ “ආරවුල් සමථයකට පත් කිරීමේ මාධ්‍යයක් වශයෙන් යුද්ධයට හෝ සැහැසියාවට එරෙහි වීම; නියතවශ [යෙන්ම]: සදාචාර හෝ ආගමික හේතු මත යුධඅවි දැරීමට ප්‍රතික්ෂේප කිරීම” වශයෙනුයි. මුල් ක්‍රිස්තියානි සභාවේ ඇදහිලිවන්තයන්ට මේ අර්ථ දැක්වීම් අදාළ වෙන්න යන්නේ කොහොමද?
ඔවුන් ‘සදාචාර හා ආගමික හේතු මත යුධඅවි දැරීම ප්‍රතික්ෂේප’ කළා; සියලු ‘ගැටුම් හා යුද්ධවලින්’ වැළකුණා. ඇයි? තම අනුගාමිකයන් ‘ලෝකයේ කොටසක් නොවන’ බවත්, “කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශව[න]” බවත් යේසු කියා තිබෙන බව ඔවුන් දැනගෙන හිටිය නිසයි. (යොහන් 15:19; මතෙව් 26:52) “අඩුම තරමින් මාකස් ඔරලස්ගේ පාලන සමය [පො.යු. 161-180] තෙක්, කිසිම ක්‍රිස්තියානියෙක් තමන්ගේ බව්තීස්මයෙන් පස්සේ සොල්දාදුවෙක් වුණේ නෑ” කියලා දි අ’ලි ච’ච් ඇන්ඩ් ද ව’ල්ඩ් (මුල් පල්ලිය සහ ලෝකය) පොතේ ඉතිහාසඥයෙක් අපට කියා සිටියි. ද නියූ ව’ල්ඩ්ස් ෆවුන්ඩේෂන්ස් ඉන් දි ඕල්ඩ් (පැරණි ලෝකයෙහි නව ලෝක අත්තිවාරම්) ප්රකාශනයේ තවත් තැනැත්තියක් මෙහෙම පවසනවා: “අධිරාජ්‍යයාට සොල්දාදුවන් අවශ්‍ය වුණත්, සටන් කරන එක වැරදියි කියලා සිතුව මුල් ක්‍රිස්තියානීන් හමුදාවේ සේවය කළේ නෑ.”
ක්‍රිස්තියානීන්ගේ බලපැවරුම වුණේ ශුභාරංචිය දේශනා කිරීමයි. (මතෙව් 24:14; 28:19, 20) දෙවිගේ සතුරන්ට එරෙහිව යුද්ධ කරන්නවත්, තවත් විදිහකින් කියනවා නම්, දෙවිගේ වධකයන් හැටියට ක්‍රියා කරන්නවත් තමන්ට බලය පවරා නැති බව ඔවුන් තේරුම්ගත්තා. (මතෙව් 5:9; රෝම 12:17-21) බට්ල’ ප්‍රකාශ කළ පරිදි, නාමික ක්‍රිස්තියානීන් ‘ක්‍රිස්තුස්ගේ ඉගැන්වීමෙන් ඈත් වුණහම’ විතරයි, ඔවුන් ජාතීන්ගේ යුද්ධවල පටලැවෙන්නේ. අනතුරුව පූජකයන් හමුදාවලට ආශීර්වාද කරන අතර, ජයග්‍රහණය උදෙසා බොහෝවිට සටනක දෙපැත්තම වෙනුවෙන් යාච්ඤා කරනවා. (යොහන් 17:16; 18:36 සසඳන්න.) උදාහරණයකට, මධ්‍යකාලීන යුගයේදී, රෙපරමාදු හා කතෝලික බැතිමතුන් ලේ වගුරුවන යුද්ධ බොහොමයක සටන් වැදුණා; ප්‍රතිඵලය වශයෙන් “බටහිර යුරෝපය මත භීතීන් [පතිත වූ] අතර, දෙපක්ෂයම කියා සිටියේ තමන් දෙවිගේ උදහසේ මෙවලම් කියලයි” යනුවෙන් සිවිලයිසේෂන් (ශිෂ්ටාචාරය) නමැති තම පොතේ කෙනත් ක්ලා’ක් ලියයි. මෙයාකාර යුද්ධය යුක්තිසහගත කරන තර්ක විතර්කයන් “පැහැදිලිවම ඇති වී තිබෙන්නේ සිවිල් අධිකාරීන් හා සමඟි වීමේ ආශාවක් ඇතුවයි; තවද ඒවා පැරණි ක්‍රිස්තියානි ධර්මයටත්, මුළු සුවිශේෂයේම සැබෑ අර්ථයටත් පැහැදිලිවම විරුද්ධයි” කියා මැක්ලින්ටොක් සහ ස්ට්රෝන්ගේ සයික්ලොපීඩියා ඔෆ් බිබ්ලිකල්, තියලොජිකල්, ඇන්ඩ් එක්ලිසිඇස්ටිකල් ලිටරෙච’ (බයිබලය, දේවධර්මය හා පල්ලි සාහිත්‍යය පිළිබඳ විශ්වකෝෂය) පවසයි.—යාකොබ් 4:4.
සම්පූර්ණයෙන්ම යුද්ධයට විරුද්ධද?
කෙසේනමුත් ‘පැරණි ක්‍රිස්තියානි ධර්මය හා සුවිශේෂයේ මුළු අර්ථය’ ඇත්තෙන්ම සාමවාදීව තිබුණාද? කලින් අර්ථ දැක්වූ ආකාරයට, මුල් ක්‍රිස්තියානීන්ව සැබවින්ම සාමවාදීන් හැටියට විස්තර කළ හැකිද? බෑ! ඇයි බැරි? එක දෙයක් නම්, ඔවුන් විසින් යුද්ධ කරන්න දෙවිට ඇති අයිතිය වටහාගත් නිසයි. (නික්මයාම 14:13, 14; 15:1-4; යෝෂුවා 10:14; යෙසායා 30:30-32) ඊට අමතරව, ඉශ්රායෙල් ජාතිය පොළොව මත තම එකම මෙවලම හැටියට සේවය කරද්දී, ඔහු වෙනුවෙන් සටන් කරන්න එම ජාතියට බලය පැවරීම සම්බන්ධයෙන් දෙවිට ඇති අයිතිය ගැන ඔවුන් කිසිවිටකත් වාද කළේ නෑ.—ගීතාවලිය 144:1; ක්‍රියා 7:45; හෙබ්‍රෙව් 11:32-34.
දෙවිට අයිතියක් විතරක් නෙවෙයි, පොළොවෙන් දුෂ්ට ජනයා ඉවත් කිරීමට යුක්තියේ පදනම මත වගකීමකුත් තිබෙනවා. දුෂ්ටයන්ට තමන්ගේ මාර්ගවලින් හැරෙන්න කියා දෙවි කරන ඉවසිලිවන්ත ආයාචනාවලට ඔවුන්ගෙන් හුඟදෙනෙක් කවදාවත් ප්‍රතිචාරයක් දක්වන එකක් නෑ. (යෙසායා 45:22; මතෙව් 7:13, 14) දුෂ්ටයන් පිළිබඳව දෙවිගේ ඉවසීමට සීමා තියෙනවා. (යෙසායා 61:2; ක්‍රියා 17:30) මෙබැවින්, අවසානයේදී දෙවි දුෂ්ට ජනයාව පොළොවෙන් අනිවාර්යයෙන්ම තුරන් කරන්න යන බව ක්‍රිස්තියානීන් වටහාගන්නවා. (2 පේතෘස් 3:9, 10) බයිබලය පුරෝකථනය කරන පරිදි, “ස්වාමිවූ [යේසු] තමන්ගේ පරාක්‍රමයේ දූතයන් සමඟ ඇවිළෙන්නාවූ ගින්නෙන් යුක්තව ස්වර්ගයෙන් එළිදරව්වී, [දෙවි] නාඳුනන්නන්ටත් අපගේ ස්වාමිවූ [යේසුගේ] ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල දෙන කල” එය සිදු වෙයි.—2 තෙසලෝනික 1:6-9.
බයිබලයේ අන්තිම පොත මේ ගැටුම විස්තර කරන්නේ, “සර්වපරාක්‍රමවූ [දෙවිගේ] මහත් දවසේ යුද්ධය” නැතහොත් අර්මගෙදොන් වශයෙනුයි. (එළිදරව් 16:14, 16) යේසුස් ක්‍රිස්තුස් මේ සම්බන්ධයෙන් පෙරමුණ ගෙන ‘ධර්මිෂ්ඨකමින් යුද්ධ කරන’ බව එහි පවසනවා. (එළිදරව් 19:11, 14, 15) යේසුස් ක්‍රිස්තුස්ව “සමාදානයේ කුමාරයායයි” උචිත ලෙස නම් කර තියෙනවා. (යෙසායා 9:6) නමුත් ඔහු සාමවාදියෙක් නෙවෙයි. දෙවිගේ සියලු කැරලිකාර සතුරන් අතුගා දමන්න ඔහු දැනටමත් යුද්ධයක් කර හමාරයි. (එළිදරව් 12:7-9) “පොළොව විනාශකරන්නවුන් විනාශකරන්[න]” වැඩි කල් නොගොස් ඔහු තවත් යුද්ධයක් කරන්න යනවා. කොහොමවුණත්, පොළොවේ ඉන්න ඔහුගේ අනුගාමිකයන් එම දිව්‍යමය විනිශ්චයේ පංගුකාරයන් වෙන්න යන්නේ නෑ.—එළිදරව් 11:17, 18.
සැබෑ ක්‍රිස්තියානීන් සාමයට ප්‍රේම කරනවා. ලෝකයේ හමුදාව, දේශපාලනය හා ජනවාර්ගික ගැටුම් සම්බන්ධයෙන් ඔවුන් සිටින්නේ සම්පූර්ණයෙන්ම මධ්‍යස්ථවයි. නමුත්, හරියටම කියනවා නම්, ඔවුන් සාමවාදීන් නොවෙයි. ඇයි? මන්දයත්, අවසානයේදී දෙවිගේ කැමැත්ත පොළොව පිටට ගෙනෙන දෙවිගේ යුද්ධය—එනම් විශ්ව ලෝක පරමාධිපත්‍යයේ මහා ප්රශ්නය සමථයකට පත් කරන හා සාමයේ සියලු සතුරන්ව සදහටම පොළොවෙන් තුරන් කරන යුද්ධයක්—ඔවුන් විසින් ඉත සිතින් පිළිගන්න නිසයි.—යෙරෙමියා 25:31-33; දානියෙල් 2:44, 45; මතෙව් 6:9, 10.
[22වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Christ Mocked/The Doré Bible Illustrations/Dover Publications, Inc.