යෞවන අය අසති . . .
උමතු රැඟුම් හානිකර නොවන විනෝදයක්ද?
“මම අත් උඩට ඔසොවගෙන නටන කොට, සංගීතය මගේ ඇඟ පුරාම දුවද්දී, නටන අනිත් අයව දැකලා මාව පණගැන්වෙනවා වගේ දැනෙනවා. ඒක හරියට වශීවීමක් වගේ.”—ජීනා.
එයාකාරයෙන් ජීනා විස්තර කරයි, උමතු රැඟුමකට සහභාගි වීමේ අසිරිය. බොහෝවිට මුළු රැය පුරාම විහිදී යන මෙම නැටුම් සාදයන්, පළමු වරට ප්‍රසිද්ධියට පත් වූයේ බ්‍රිතාන්‍යයේ 1980 වකවානුව තුළදීය. දැන් දැන් ඒවා ලෝක ගෝලයේ සැම තැනම කලඑළි දකිමින් තිබෙනවා. මීට අයත් වෙනවා බෙල්ජියම, කැනඩාව, ජර්මනිය, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව හා එක්සත් ජනපදය.
සමාජ ශාලාවල, අතහැර දැමූ ගබඩා කාමරවල, එළිමහන් පිටිවල—එනම් වියරුවෙන්, නොනැවතී කරන නැටුමක් සඳහා එක් රාත්‍රියකට ජනයාට එක්කාසු විය හැකි ඕනෑම තැනක උමතු රැඟුම් පවත්වනු ලබනවා. “රාත්‍රි සමාජ ශාලාවලට යනවා වෙනුවට, යෞවනයන්ගේ විනෝදාස්වාදයේ තේරීම හැටියට උමතු රැඟුම් ටිකෙන් ටික තැන ගන්නවා” කියා දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හි සන්ඩේ ටයිම්ස් මැගසීන්හි, ඇඩම් ලීවන් ලිව්වා. “ඔබේ නහඹර වියේ දරුවන් ඔබට උමතු රැඟුම් ගැන දැනටමත් සඳහන් කර නැත්නම්, ඔබට අදහස් හුවමාරුවේ යම් ගැටලුවක් තිබෙනවා” කියා ඔහු තවත් එකතු කළා.
උමතු රැඟුමේ දසුන දෙස බැල්මක්
දසුනේ දවස වන තුරු එය පවත්වන ස්ථානය දැනුවත් නොකරමින්, උමතු රැඟුම් බොහෝවිට රහස්‍යභාවයෙන් වැසී පවතිනවා. කෙසේවූවත්, දසත විහිදෙන කරකැවෙන වර්ණවත් ආලෝකයන් හා හද ගැස්ම වැඩි කරවන ටෙක්නො සංගීතය ඇරඹෙත්ම, විකාර ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටින යෞවනයන් දුසිම් ගණනක සිට දහස්ගණනක් දක්වා පැමිණ සිටිනවා විය හැක. “ඒක හරියට එක විශාල එකමුතු පිරිසක් නට නටා තනුවට හැඟීම් පිට කරනවා වගේ දෙයක්” කියා උසස් පාසැලේ දෙවන වසරේ සිටින කේටි පවසයි.
කෙසේවෙතත්, උමතු රැඟුම නිකම්ම නැටුමකට වඩා වෙනස්. එය සංස්කෘතියක්, නැතිනම් උමතු රැඟුම්වලට සහභාගි වෙන්නන් පවසන පරිදි එය ‘දසුනක්.’ වර්ගය, ජාතිය හෝ ලිංගික මනාපය නොතකා, උමතු රැඟුම් දසුනේ ප්‍රතිපත්ති ප්‍රසිද්ධ වී ඇත්තේ සාමය, ප්‍රේමය, එක්සත්කම හා ගෞරවය සඳහායි. “සාදයන්වලදී එක එක සංස්කෘතීන් මිශ්‍ර කරන්න අපි වෑයම් කරමින් ඉන්නවා. ඒකේ තේරුම එකමුතුකමයි. ඉතින් ඒක ඉටු කරගන්න තියෙන හොඳ ක්‍රමයක් තමයි නටන එක” කියා රැඟුම් සංගීතය නිපුණ කරන සාප්පුවක අයිතිකරුවෙක් පවසයි.
පෙනෙන්ට ඇති එවැනි මානුෂික පරමාදර්ශයන් ගැන සිතීමෙන් පසු, ‘උමතු රැඟුම්වල ඇති වරද මොකක්ද’ කියා ඔබ අසන්න පුළුවන්. එහෙත් උමතු රැඟුම් දසුනේ ඔබ විසින් සලකා බැලිය යුතු තවත් පැත්තක් තිබෙනවා.
උමතු රැඟුමේ අප්‍රසන්න පැත්ත
උමතු රැඟුම්වලදී මත්පැන් පාවිච්චි වන්නේ කලාතුරකින් බව සමහරු කියා සිටියි. එහෙත් මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම වෙනස් කාරණයක්. “මත්ද්‍රව්‍ය මෙතරම් පුළුල් ලෙස පාවිච්චි නොවුණා නම්, උමතු රැඟුම් දසුන මහජනයා විසින් වඩාත් පහසුවෙන්ම පිළිගැනෙන්න ඉඩ තිබුණාද කියලා කෙනෙක්ට හිතෙනවා” කියා උමතු රැඟුම්වලට සහභාගි වන්නෙක් වන බ්‍රයන් පිළිගනියි. තවදුරටත් ඔහු මෙසේ පවසයි, “හැබැයි ඉතින් තවත් ගොඩක් අය කල්පනා කරනවා, මත්ද්‍රව්‍ය නැතුව උමතු රැඟුම් පවතින්න ඉඩක්වත් තිබුණද කියලා.”
උමතු රැඟුම්වලදී මරිජුවානා හා එල්.එස්.ඩී. ප්‍රසිද්ධත්වයක් ඉසුලුවත්, එම්.ඩී.එම්.ඒ. නැතහොත් සාමාන්‍යයෙන් දන්නා පරිදි එක්ස්ටසි යන නම ගන්නාවූ මත්ද්‍රව්‍යයට වැඩි මනාපයක් දක්වයි. සාපේක්ෂ වශයෙන් ගත් කල, එක්ස්ටසි වඩාත් ආරක්ෂාකාරියයි භාවිතා කරන්නන් කියා සිටියි. ඔවුන් තරයේ කියා සිටින්නේ, මුළු රාත්‍රිය පුරාම නැටීමටත් ප්‍රීති ප්රමුදිතබවේ හැඟීම් ප්‍රබල කිරීමටත් එය දායක වනවා පමණයි කියායි. එහෙත්, “ප්‍රසිද්ධ මත්ද්‍රව්‍යයක් මොළයට හානි පැමිණවීමට ඉඩ ඇත” යන සිරස්තලය යටතේ ද නියූ යෝක් ටයිම්ස්හි, එක්ස්ටසිවලට “ආහාර රුචිය, නින්ද, චිත්ත ස්වභාවය, බලකුරු හැසිරීම හා වෙනත් මානසික ක්රියාකාරිත්වයන් කෙරෙහි දිගු කාලීන, හානිකර ප්‍රතිඵල තිබිය හැකියයි” සටහන් කළා. නමුත් එපමණකින් නවතින්නේ නැහැ. “එක්ස්ටසි මගින් යම් මරණ පවා සිදු වී තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය ප්‍රමාණවලින් ඒවා ගත්ත අය හෘදයාබාධ, අක්මා ආබාධ නැත්නම් අධිමූර්ඡාව අද්දැක්ක අවස්ථා කිහිපයක්ද තිබුණා” කියා වෛද්‍ය හැඋඩ් ම’කිනි කියා සිටියි. හොඳ හේතු ඇතුව වෛද්‍ය සෙල්වන් ඩි මීරාන්ඩා මෙසේ පවසයි: “එක්ස්ටසි ගන්න උමතු රැඟුම්වලට යන අය මරණයත් එක්කයි නටන්නේ.”
ඖෂධීය මත්ද්‍රව්‍ය—එනම් එල්.එස්.ඩී., ඇක්සෙලරේෂන්, ඖෂධීය එක්ස්ටසි නැත්නම් රෂ් හානිකර විය හැකියි. උදාහරණයක් හැටියට, යම් තත්වයන් යටතේදී, ඖෂධීය මත්ද්‍රව්‍යයක් වන ඇක්සෙලරේෂන් හෘදයාබාධයක් හා සමහරවිට මරණය පවා සිදු කරන්න පුළුවන්.
උමතු රැඟුම්වලදී පාවිච්චි කරන මත්ද්‍රව්‍ය හානිකර නොවන බවට තවමත් තරයේ කියා සිටින අයට, සලකා බැලීමට තවත් කරුණක් ඇත. එක්ස්ටසි කියා විකුණන මත්ද්‍රව්‍යවලින් සියයට 90ක්ම කොහෙත්ම එක්ස්ටසි නොවන බව කැනේඩියානු පොලිස් පරීක්ෂක ඉයන් බ්‍රිග්ස් පවසයි. “මේවායින් වැඩි හරියක් එක්කෝ පී.සී.පී. නැත්නම් වෙනත් භයානක මත්ද්‍රව්‍ය. මේ මත්ද්‍රව්‍ය විකුණන අය කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සු. මත්ද්‍රව්‍යවල සැර වදින කොට ඒගොල්ලන් ළඟ නැහැ” කියා ඔහු පවසයි.a
සමහරක් උමතු රැඟුම් මත්ද්‍රව්‍යවලින් තොර බව පිළිගත යුත්තක්. කෙසේවෙතත්, උමතු රැඟුම්වලට පැමිණ සිටින්නන්ගෙන් ඕනෑම කෙනෙකුට, බොහෝදෙනෙක් හෝ බහුතරයක් යම් නීති විරෝධී ද්‍රව්‍යයක බලපෑම යටතේ සිටින්න යනවාද කියා බොහෝදුරට කලින් නිගමනය කළ නොහැකි බව උමතු රැඟුම්වලට යන්නන් පවා පිළිගන්නවා.
උමතු රැඟුම් ඇත්තටම ඔබ සඳහාද?
සංගීතයේ හා නැටීමෙහි වරදක් නැති අතර, කාලෙ හොඳින් ගත කරන්න ආශාවීමේද වරදක් නැත. මන්දයත්, “සිනාසෙන්ට කාලයක්” හා “නටන්ට කාලයක්” තිබෙන බව බයිබලය කියනවා. (දේශනාකාරයා 3:4) එමෙන්ම එය මෙසේද අවවාද කරනවා, “නුඹේ යෞවන වයසේදී ප්‍රීතිවෙන්න.” (දේශනාකාරයා 11:9) එසේනම් මැවුම්කරුට ඕනෑ කරනවා ඔබ සන්තෝෂ වනවාට! කෙසේවෙතත්, “මුළු ලෝකයා නපුරාගේ බලය යටතේ පවතින” බව එනම් සාතන් නමැති යක්ෂයා තුළ පවතින බව ඔබ මතක තබාගත යුතුයි. (1 යොහන් 5:19) ඒ හේතුවෙන්, මෙම ලෝකය විසින් මහිමයට පත් කරන විනෝදාස්වාදයේ විවිධ පැති බොහෝවිට අහිතකර මූලධාතූන්ගෙන් කෙලෙසී තිබීම පුදුමයක් නෙවෙයි.
උදාහරණයක් හැටියට, උමතු රැඟුම්වලට සහභාගි වන්නන් ගැන සිතා බලන්න. ‘මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපවම පවිත්‍ර කරගන්න’ කියන බයිබල් අවවාදය ඔවුන් අනුගමනය කරනවාද? (2 කොරින්ති 7:1) උමතු රැඟුම්වලට යන්නන් සාමය, ප්‍රේමය හා එක්සත්කම ඈඳාගන්නා බව සත්‍යයක්. එහෙත්, “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” ‘සාමකාමිත්වයට’ වැඩි යමක්; එය ‘පිරිසිදුවත්’ පවතිනවා. (යාකොබ් 3:15, 17) ඔබගෙන්ම මෙසේ අසන්න, ‘නිතර පාහේ උමතු රැඟුම්වලට යන අයගේ සදාචාරයන් දෙවිගේ වචනය වන බයිබලයේ සොයාගත හැකි ප්‍රමිති සමඟ එකඟ වෙනවාද? ‘දෙවිට වඩා සැපසෙල්ලමට ප්‍රේම කරන්නන්’ සමඟ මුළු රාත්‍රියක්ම ගත කරන්න මට වුවමනාද?’—2 තිමෝති 3:4; 1 කොරින්ති 6:9, 10; සසඳන්න යෙසායා 5:11, 12.
මේවා සලකා බැලිය යුතු වැදගත් ප්‍රශ්න; මන්දයත් පාවුල් ලිව්වේ ‘නරක ආශ්‍රය හොඳ චරිත නරක් කරන’ බවයි. (1 කොරින්ති 15:33) දෙවිගේ අණපනත්වලට කිසිම තැකීමක් නොදක්වන අය සමඟ දිගටම ආශ්‍රය කිරීම විපතට මුල පුරයි, මන්දයත් බයිබලය මෙසේ පවසයි: “ඥාණවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥාණවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.”—හිතෝපදේශ 13:20.
යථාර්ථය නම්, උමතු රැඟුම් ඇත්තෙන්ම මත්ද්‍රව්‍ය සාදයන් වන අතර, ඒවාවලට සහභාගි වන්නන්ට අමිහිරි ප්රතිවිපාකයන් නෙළාගත හැකිවීමයි. උදාහරණයක් හැටියට, ඒවා නීති විරෝධී ලෙස පවත්වන නිසා හෝ ඒවායේ මත්ද්‍රව්‍ය ගැවසෙන නිසා හෝ සමහර උමතු රැඟුම්වලට පොලීසිය කඩා වැදී ඒවා වසා දමනු ලබනවා. නීති ගරුක නොවන අය අතරේ ඔබවත් ගණන් ගනු ලැබීමට ඔබට වුවමනාද? (රෝම 13:1, 2) නීතිය කඩ කිරීමේ දසුනට අයිති නොවූවත්, එවැනි සාදයකට සහභාගි වී ‘ලෝකයෙන් කිලුටු නොවී’ සිටීමට ඔබට පුළුවන්ද? (යාකොබ් 1:27) මංගල්‍ය ඝෝෂා නැත්නම් “අසීලාචාර සාදයන්” (බයිංටන්) බයිබලයේ හෙළා දැක තිබෙන නිසා, උමතු රැඟුමකට පැමිණ සිටීම, දෙවි සහ මනුෂ්‍යයා අතරේ පැහැදිලි හෘද සාක්ෂියක් පවත්වාගැනීමට ඔබට හැකි කරවන්න යනවාද?—ගලාති 5:21; 2 කොරින්ති 4:1, 2; 1 තිමෝති 1:18, 19.
පැහැදිලිවම, උමතු රැඟුම්වල ඇති අන්තරාව පිළිබඳව ක්‍රිස්තියානීන් අවධානයෙන් සිටිය යුතුයි. එහෙත් අධෛර්යය නොවන්න. ඔබට භුක්ති විඳිය හැකි තවත් විනෝදාස්වාදයන් බොහොමයක් තිබෙනවා. උදාහරණයක් හැටියට, යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතරෙන් බොහෝ පවුල් හිතකර එක්කාසු වීම් සඳහා සැලසුම් යොදා තිබෙනවා.b සාවධානී සැලසුම් කිරීමත් අධීක්ෂණයත් නිසා, මේවාට සහභාගි වන සියල්ලන්වම ආත්මිකව හා ශාරීරිකව නැවුම්භාවයකට පත් කරවනවා. වඩා වැදගත් ලෙස, ගොඩනංවනසුලු ආශ්‍රය, තමන්ගේ සෙනඟ ප්‍රීති වෙනවා දකින්න කැමති ‘ශුභාන්විත දෙවි’ වන යෙහෝවාව සතුටු කරවයි.—1 තිමෝති 1:11; දේශනාකාරයා 8:15.
[පාදසටහන්වල]
a පී.සී.පී. (ෆෙනසයික්ලිඩීන්) යනු විවිධාකාර මානසික දර්ශන ඇති කිරීමට නීති විරෝධී ලෙස යොදාගන්නා නිර්වින්දකයකි.
b වැඩි විස්තර සඳහා, මුරටැඹ (ඉංග්‍රීසියෙන්) 1992 අගෝස්තු 15, පිටු 15-20 හා පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) 1997 මැයි 22, පිටු 8-10 බලන්න.
[26වන පිටුවේ කොටුව]
ටෙක්නො යනු කුමක්ද?
සරලව කිව්වොත්, ටෙක්නො යන්නෙන් අදහස් කරන්නේ ඉලෙක්ට්‍රොනික නැටුම් සංගීතයයි. එයට බොහෝ ශෛලීයයන් ඇතුළත්. බොහෝදෙනෙක් ටෙක්නො රිද්මයානුකූල යමක් සේ විස්තර කරනවා; මන්දයත් එය විනාඩියකට තනු 115 සිට 160 දක්වා විහිදෙනවා.
“ටෙක්නොවලට හුරු වී නැති අයට ටෙක්නො ඇසෙන්නේ, හරියට සොදොම සහ ගොමොරාව විනාශ වුණ දවසේ ඇති වුණයි කියලා හිතෙන ශබ්දත්, දන්ත වෛද්‍යවරයාගේ පුටුවේ ඉඳගෙන ඉන්න කොට ඇති වන ශබ්දයත් වගෙයි” කියා ද යූරපියන් පවසයි. කෙසේවූවත්, ටෙක්නොහි රිද්මයානුකූල තනුවට සමහර සවන් දෙන්නන් වශී වෙනවා. “මේ සංගීතය මට නං අසීමිත නිදහසේ ඒ වගේම ස්වාධීනත්වයේ හැඟීමක් දෙනවා” කියා 18 හැවිරිදි ක්රිස්ටීන පවසයි. සොන්යටත් එයාකාරයෙන්ම හැඟෙයි. “මුලින්ම මම ටෙක්නො සංගීතයට කොහෙත්ම කැමති වුණේ නැහැ” කියා ඇය පිළිගනියි. “ඒත් ඒකට වැඩියෙන් ඇහුම්කන් දුන්න තරමටම, ඒකට තියෙන පිළිගැනීමද වැඩි වෙනවා. ඒකෙ ශබ්දය හොඳටම වැඩි කළොත්, හද ගැස්සෙන තනුවෙන් බේරෙන්න බැරි තරම්. ඉබේම නැටවෙනවා. ප්‍රවේසම් වුණේ නැත්නම්, තනුව මුළු ඇඟම පාලනය කරනවා.” දහනව වියැති ෂර්ලි ඊට වඩා ගැඹුරු යමක් ටෙක්නො තුළ දකිනවා. “ඒක නිකම්ම සංගීතයට වඩා වැඩි දෙයක්; ඇඳුම්වලිනුයි භාෂාවෙනුයි විස්තර වෙන සම්පූර්ණ ජීවන රටාවක් ඒක” කියා ඇය කියයි.
ක්‍රිස්තියානීන්ගේ ආශාව නම් ‘ස්වාමීන්ට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාග කිරීමයි.’ (එපීස 5:10) එමනිසා, වෙනත් ඕනෑම සංගීතයකින් මෙන් ටෙක්නොවලින්ද ඔවුන් පරෙස්සම් වන්න අවශ්‍යයි. ඔබ ටෙක්නො වෙතට ඇදී යන බවක් පෙනේ නම්, ඔබෙන්ම මෙසේ අසන්න: ‘මේ සංගීතය මට බලපාන්නේ කොහොමද? ඒක මට සන්තෝෂයේ, නිසංසල ඒ වගේම සාමකාමී හැඟීමක් දෙනවාද? එහෙම නැත්නම් ඒක මාව කලබල කරනවාද? එහෙමත් නැත්නම් කෝපයේ නැත්නම් දුරාචාරමය හැඟීම් ඇති කරනවාද? මේ සංගීත රටාවට තියෙන මගේ ඇල්ම මාව එහි ජීවන රටාවට තවත් සමීප කරයිද? උමතු රැඟුමකට සහභාගි වෙලා මේ සංගීතයට ඇහුම්කන් දෙන්න නැත්නම් ඒකට නටන්න මාව පෙලඹෙයිද?’
ඇත්තෙන්ම, මෙහි හරය මෙයයි: සංගීතය සඳහා ඔබේ රසය කුමක් වුණත්, එය ඔබ සහ ඔබගේ ස්වර්ගීය පියා අතරට පැමිණෙන්න කිසිවිටකත් ඉඩ නොදෙන්න.