යෞවන අය අසති . . .
මගේ ප්‍රධාන ආකෘතිය විය යුත්තේ කවුද?
“පැසි පන්දු ක්‍රීඩකයෙක් හැටියට එයාට තිබුණ කුසලතාව විශිෂ්ටයි. මගේ යාළුවෝ හැමෝම එයාට ආදරේ කළා. එයා මගේ ප්‍රධාන ආකෘතියව සිටියා; ඉතින් මට ඕනෙ වුණා එයා වගේ වෙන්නත්, එයාට තියෙන දේවල්ම තියාගන්නත්.”—ආසියාතික යෞවනයෙක් වන පිං.
අගය කිරීමට හා අනුකරණය කිරීමට පාත්‍ර වූ අයව බොහෝවිට හඳුන්වනු ලබන්නේ ප්‍රධාන ආකෘති කියායි. කර්තෘ ලින්ඩා නෙල්සන් මෙසේ නිරීක්ෂණය කළා: “යෞවනයන් තමන්ට සමාන හැඟීම් හා අදහස් දරන අයව මෙන්ම තමන් ආශා කරන අවධානය හා විපාක ලබන අයව අනුකරණය කරනවා.” එබැවින්, යෞවනයන් ජනප්‍රිය හෝ ආකර්ෂණීය තුල්යයන්ව උසස් කිරීමට නැඹුරු වෙනවා. නමුත් යෞවනයන් බොහෝදෙනෙක් ප්‍රධාන ආකෘති වශයෙන් විශේෂයෙන්ම චිත්‍රපට නළුනිළියන්, සංගීත ක්ෂේත්රයේ සිටින්නන් හා ක්‍රීඩකයන් වෙත ඇදී යනවා.
සැබවින්ම, කීර්තිමත් පුද්ගලයන් වැඩිදෙනෙකුගේ ප්‍රසිද්ධ ස්වරූපය බොහෝවිට මවාපෑමක් වන අතර එය දෝෂ සැඟවීමට, අධික ප්‍රශංසාව ලැබීමට හා සියල්ලටම වඩා, ඔවුන්ගේ මාර්ගයෙන් යමක් ඉපැයීමට සැලසුම් කර, පරෙස්සමින් පිළියෙළ කළ උපායක්! මුලින් සඳහන් කළ පිං මෙසේ පිළිගනියි: “මගේ පැසි පන්දු වීරයාගේ හැම වීඩියෝ පටියක්ම මම මිල දී ගත් අතර, ඔහු අඳින ඇඳුම් හා සපත්තු ජාතියම ඇන්දා.” සමහර යෞවනයන් තමන්ගේ රූපවාහිනි හෝ ක්‍රීඩා පරමාදර්ශයන් වගේ අඳින සහ තමන්ගේ පරමාදර්ශයන් මෙන් තම හිසකේ සකස් කරන අතර තමන්ගේ පරමාදර්ශයන් වගේ ඇවිදීම හා කතා කිරීම පවා කරනවා.
ප්‍රධාන ආකෘති—ඵලදායී හා අඵලදායී
‘නමුත් යමෙකුව උසස් කොට තැකීමේ ඇති වැරැද්ද මොකක්ද?’ කියා ඔබ අසයි. එය රඳාපවතින්නේ ඔබ උසස් කොට තකන පුද්ගලයා මතයි. බයිබලය මෙසේ පවසයි: “ඥාණවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥාණවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.” (හිතෝපදේශ 13:20) බයිබලය අපට මිනිසුන්ගේ අනුගාමිකයන් වීමට දිරි නොගන්වයි. (මතෙව් 23:10) නමුත් එය අපට “ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන්” වන්න කියා පවසනවා. (හෙබ්‍රෙව් 6:12) ඒ වචනවල ලේඛකයා වූ ප්‍රේරිත පාවුල් මුල් ක්‍රිස්තියානීන්ට කදිම ආදර්ශයක් තැබුවා. මෙබැවින්, ඔහුට මෙසේ කීමට හැකි වුණා: “මා [ක්‍රිස්තුස්ව] ආදර්ශයට ගන්නාක්මෙන් . . . මා ආදර්ශයට ගන්න.”—1 කොරින්ති 11:1.
තිමෝති නම් යෞවන මිනිසෙක් හරියටම ඒ දේම කළා. එක්ව මිෂනාරි සේවයේ යෙදෙද්දී ඔහු පාවුල් සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගත්තා. (ක්‍රියා 16:1-4) පාවුල් තිමෝති ගැන කල්පනා කළේ “[ස්වාමීන්] තුළ [තමාගේ] ප්‍රියවූ විශ්වාස දරුවා” ලෙසයි. (1 කොරින්ති 4:17) පාවුල්ගේ උපකාරයෙන්, තිමෝති විශිෂ්ට ක්‍රිස්තියානි පුරුෂයෙක් බවට පත් වුණා.—පිලිප්පි 2:19-23.
නමුත්, ඔබ වැරදි කෙනාව ප්‍රධාන ආකෘතිය හැටියට තෝරාගත්තොත් කුමක් සිදු විය හැකිද? රිචඩ් නම් යෞවනයෙක් මෙසේ විස්තර කරනවා: “මට අවුරුදු 15ක් වුණහම, මාරියෝ නම් පාසැල් මිතුරෙක් මගේ හොඳම යාළුවා බවට පත් වුණා. මගේ දෙමාපියන් ක්‍රිස්තියානීන් වූ අතර, මට ආත්මිකව උපකාර කරන්න ඔවුන් උත්සාහ කළා. නමුත් මාරියෝට කැමති විදිහකට විනෝද වෙන්න පුළුවන්කම තිබුණා—ඩිස්කෝ සංගීතය, සාදයන්, මෝටර් බයිසිකල් සහ ඒ වගේ දේවල් තිබුණා. ඔහුට ඕන දේ, ඔහුට ඕන වෙලාවට කරන්න ඔහුට පුළුවන් වුණා. මට එහෙම නෑ. ඉතින් මට 16ක් වුණහම, මට ක්‍රිස්තියානියෙක් වෙලා ඉන්න බැහැ කියලා මම මගේ දෙමාපියන්ට කියලා, ඒ විදිහට ක්‍රියා කළා.”
ප්‍රධාන ආකෘති හැටියට කීර්තිමත් පුද්ගලයන්ව හා ක්‍රීඩා වීරයන්ව සැලකීමෙහි එවැනිම අනතුරු තිබෙනවාද? ඔව්, තිබෙනවා. මලල ක්‍රීඩකයෙකුගේ, නළුවෙකුගේ හෝ සංගීත ක්ෂේත්රයේ සිටින්නෙකුගේ දක්ෂකම උසස් කිරීමේ වරදක් නැහැ. නමුත් ඔබෙන් මෙසේ අසන්න, ‘මේ අය ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේදී තබන්නේ මොන වගේ ආදර්ශයක්ද?’ ක්‍රීඩා වීරයන්, සංගීත ක්ෂේත්රයේ සිටින්නන් හා වෙනත් දේ සිදු කරන්නන් බොහෝදෙනෙක් ලිංගික දුරාචාරය, මත්ද්‍රව්‍යය හා මත්පැන් ගැනීමේ නියැලී සිටීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වී නැද්ද? බොහෝදෙනෙක් තමන්ගේ මුදල් හා ප්‍රසිද්ධිය තිබුණත් අසතුටුදායක, අතෘප්තිකර ජීවිත ගත කරන බවත් සැබෑවක් නොවේද? මේ දෘෂ්ටිකෝණයෙන් ඔබ දේවල් දෙස බලන විට, එවැනි අයව අනුකරණය කිරීමෙන් මොන හොඳක්ද සිද්ධ විය හැක්කේ?
කීර්තිමත් පුද්ගලයෙකුගේ කොණ්ඩා මෝස්තරය, ඇඳුම් පැළඳුම් හෝ කතාව අනුකරණය කිරීම සුළු දෙයක් මෙන් පෙනිය හැකියි. නමුත් ලෝකයේ “අච්චුවට ඔබව රිංගවීමට” ලෝකයට ඉඩහැරීමේදී එය මුල්ම පියවර විය හැකියි. (රෝම 12:2, ෆිලිප්ස්) ඒ අච්චුව මුලදී ප්‍රසන්න එකක් මෙන් පෙනිය හැකියි. නමුත් ඔබ සම්පූර්ණයෙන්ම එහි බලපෑමට යටත් වෙනවා නම්, ඔබව ස්ථිරයෙන්ම දෙවි සමඟ විරුද්ධත්වයකට පමුණුවන මාර්ගවල යෑමට සකස් කිරීමට එයට හැකියි. “ලෝකය සමඟ මිත්‍රකම [දෙවිට] සතුරුකම” බව බයිබලයේ යාකොබ් 4:4 පවසනවා.
ඵලදායී ප්‍රධාන ආකෘතියක් ඔබට උපකාර කළ හැක්කේ කෙසේද?
කෙසේවුවත්, හොඳ ආදර්ශයක් තබන කෙනෙකුව අනුකරණය කිරීමෙන් ඔබේ ජීවිතයට ඒකාන්ත බලපෑමක් ඇති විය හැකියි! සෙසු ක්‍රිස්තියානීන් අතර, “කථාවෙනුත් හැසිරීමෙනුත් ප්‍රේමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසිදුකමෙනුත් . . . ආදර්ශයක්” වන බොහෝදෙනෙකුව ඔබට සොයාගත හැකියි. (1 තිමෝති 4:12) ක්‍රිස්තියානි සභාවෙන් පවා, ආශ්‍රිතයන් තෝරාගැනීමේදී ඔබට පරෙස්සම් වීමට සිදු වන බව සැබෑයි. (2 තිමෝති 2:20, 21) නමුත් සභාවේ ඇත්තටම ‘සත්‍යතාවෙහි හැසිරෙන්නේ’ කවුද කියන එක නිශ්චය කිරීම සාමාන්‍යයෙන් දුෂ්කර නැහැ. (2 යොහන් 4) හෙබ්‍රෙව් 13:7හි ප්‍රතිපත්තිය මෙසේ ප්‍රකාශ කරයි: “ඔවුන්ගේ හැසිරීමේ කෙළවර බලමින් ඔවුන්ගේ ඇදහිල්ල අනුවයන්නෝ වෙන්න.” ඔබේ තුල්‍යයන්ගෙන් වැඩිදෙනෙක් සම්බන්ධයෙන්, ඔවුන්ගේ හැසිරීම කොයි වගේ එකක් වේද කියන එක දකින්න ලැබෙන්නේ ඉදිරියටයි. නමුත් සභාවේ සිටින වයසින් වැඩි අය තම ඇදහිලිවන්තකම ඔප්පු කර තිබෙන අතර, ඔවුන්ව දැනහඳුනා ගැනීම ඥානවන්ත වෙනවා.
‘වයසින් වැඩි අයව හඳුනාගන්න?’ යයි ඔබ ඇසිය හැකියි. බැලූ බැල්මටම මේක ඒ තරම් සිත්ගන්නා දෙයක් නොවිය හැකි බව ඇත්තයි. නමුත් තම වයසින් වැඩි මිත්‍ර ප්‍රේරිත පාවුල් සමඟ තිමෝතිට තිබූ සබඳතාව සිහියට නඟන්න. පාවුල් තිමෝතිගේ හැකියාවන් දුටු අතර “[දෙවිගේ] දීමනාව පුබුදු කරන හැටියට” ඔහුට දිරිගැන්නුවා. (2 තිමෝති 1:6) ඔබට උපකාර කරන හා දිරිගන්වන කෙනෙක්, දෙවි-දුන් ඔබේ තෑගි රැකබලා ගැනීමට බලවත් ඕනෑකමකින් ඔබෙන් ඉල්ලන කෙනෙක් සිටීම ප්‍රයෝජනදායක නැද්ද?
බ්‍රයන් නමැති යෞවනයෙකුට මෙය ඇත්තක් බව දැනගන්න ලැබුණා. ඔහු, සභාවේ වයසින් වැඩි, තනිකඩ උපස්ථායක සේවකයෙකු සමඟ ඇසුරු කරන්න පටන්ගත් විට තමාවම පහත් කොට සැලකීමේ හැඟීම් එක්ක සටන් කරමින් සිටියා. බ්‍රයන් මෙසේ පවසනවා: “මා ඇතුළු අන්‍යයන් වෙනුවෙන් දක්වන ප්‍රේමනීය සැලකිල්ල, දේවසේවය සඳහා ඔහුගේ ජ්වලිතය හා ඔහුගේ කදිම කතාවල් මම අගය කරනවා.” මේ වයසින් වැඩි ක්රිස්තියානියාගෙන් තමා ලබාගෙන තිබූ පෞද්ගලික අවධානයෙන් බ්‍රයන් මේ වන විටත් ප්‍රයෝජන ලබමින් සිටිනවා. ඔහු අවංකවම මෙසේ පිළිගන්නවා: “මගේ කලින් තත්වය—ලජ්ජාශීලී, උදාසීන පෞද්ගලිකත්වය—වෙනස් කරන්න එය මට උපකාර වෙලා තියෙනවා.”
දෙමාපියන් ප්‍රධාන ආකෘති වශයෙන්
ඇඩලෙසන්ස්—ජෙනරේෂන් අන්ඩ’ ප්‍රෙෂ’ (යෞවනයන්—පීඩනය යටතේ පරම්පරාව) නම් පොත, “තෘප්තිකර පෞද්ගලිකත්වයක් කරා පැමිණීමට සාමාන්‍යයක් වශයෙන් යෞවනයන්ට ආධාර දීමේදී හෝ වැළැක්වීමේදී” දෙමාපියන් “සම කළ නොහැකි ඉතා වැදගත් බාහිර බලපෑමක් වන බව” පවසනවා. එම පැහැදිලි ආකාරයේ මඟ පෙන්වීම හා පෞද්ගලිකත්වය නොමැතිව යෞවන අය “හරියට පසු කර යන හැම රැල්ලකදීම ක්‍රියාමාර්ගය වෙනස් කරන සුක්කානමක් නැති නැවක් මෙන් වේවි” කියා තවදුරටත් පොතේ පවසනවා.
මේ උපදෙස, යාකොබ් 1:6හි වාර්තා කර තිබෙන පරිදි, වර්ෂ 1,900කට පෙර ශ්‍රාවක යාකොබ් ලියූ මෙම දෙය පිළිබිඹු කරනවා: “අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක්නිසාද අනුමානකරන්නා සුළඟින් ගෙනයන්නාවූ, සෙලවෙන්නාවූ මුහුදේ රැළට සමානය.” හරියටම ඒ වගේ ඉන්න ඇතැම් යෞවනයන් ගැන ඔබ සමහරවිට දන්නවා විය හැකියි. හෙටක් ගැන නොසිතා අද තියෙන සතුට සඳහා ජීවත් වීමට ඔවුන් නැඹුරු වෙනවා.
සභාවේ හොඳ ආදර්ශයක් තබන දේව-භයැති දෙමාපියන් සිටීමේ ආශීර්වාදය ඔබට ලැබී තිබෙනවාද? එසේනම්, ඔබ ඔවුන්ගේ බලපෑමට නැඹුරු වෙනවාද? එසේත් නැත්නම් ඔබට ගැනීමට තිබෙන හැම පියවරකදීම ඔබ ඔවුන් සමඟ රණ්ඩු කරනවාද? ඔබේ දෙමාපියන් පරිපූර්ණ නැති බව ඇත්තයි. නමුත් ඔවුන්ගේ හොඳ ගුණාංග—අනුකරණය කිරීමෙන් ඔබට යහපතක් වන ගුණාංග—නොදැකීමට ඔබව අන්ධ කර නොගන්න. “මගේ දෙමාපියන්ව මම හුඟාක් අගය කරනවා” කියා ජාරෝඩ් නම් යෞවන ක්‍රිස්තියානියෙක් ලියනවා. “දේවසේවයේදී ඔවුන්ගේ විඳදරාගැනීමෙන් යුතු ජ්වලිතය, ආර්ථික දුෂ්කරතාවලට ඔවුන් මුහුණ දුන් ආකාරය හා පූර්ණ-කාලීන දේවසේවයේදී ඔවුන් මට දුන්න දිරිගැන්වීම යන සියල්ල මා කෙරෙහි හොඳ බලපෑමක් වුණා. මගේ දෙමාපියන් හැමවිටම මගේ ප්‍රධාන ආකෘති වී තිබෙනවා.”
හොඳම ප්‍රධාන ආකෘතිය
ඉතිහාසයේ උතුම්ම පුද්ගලයා කවුරු කියලද හිතන්නේ කියා ගැලප් සමීක්ෂණ සංවිධානය, එක්සත් ජනපදයේ ඇතැම් යෞවනයන්ගෙන් ඇසූ විට, වැඩිදෙනෙක් තේරුවේ අමෙරිකානු දේශපාලනඥයන්වයි. යේසුස් ක්‍රිස්තුස්ව තේරුවේ සියයට 6ක් පමණයි. කෙසේවුවත්, යේසුස් ක්‍රිස්තුස් “ඔහුගේ අඩිපාර සමීපයෙන්ම යන පිණිස [අපට] ආදර්ශයක් දී ගියේය” කියා බයිබලය අපට පවසනවා. (1 පේතෘස් 2:21, NW; හෙබ්‍රෙව් 12:3) ඔහුගෙන් ඉගෙනගන්න කියා ඔහු තම ගෝලයන්ට දිරිගන්වනවා. (මතෙව් 11:28, 29) නමුත් ඔබට එසේ කළ හැකි වන්නේ කෙසේද?
යේසුගේ ජීවිතය සම්බන්ධයෙන් හොඳින් දැනහඳුනා ගන්න. මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයාa පොත ඇතුළු සුවිශේෂවල වාර්තා සියල්ල කියවීමට වෑයම් කරන්න. යේසු ඉගැන්වූ ආකාරය, ඔහු ජනයා සමඟ දයානුකම්පිතව කටයුතු කළ ආකාරය හා පීඩනය යටතේ ඔහු දැක්වූ නිර්භීතකමත් නිරීක්ෂණය කරන්න. ඔබට අනුගමනය කළ හැකි හොඳම ප්‍රධාන ආකෘතිය යේසු බව ඔබ සොයාගනීවි.
පරිපූර්ණ ප්‍රධාන ආකෘතිය සමඟ ඔබ වඩාත් හොඳින් හුරු වෙන තරමටම, අහිතකර තුල්‍යයන් හෝ කීර්තිමත් පුද්ගලයන් වෙත ඔබ ඇදීයෑම අඩු වී යයි. පිං මෙන්ම ක්‍රීඩා වීරයෙක් සඳහා ඔහුගේ අගය කිරීම ඔබගේ සිහියට නැඟෙනවාද? පිං තවමත් ඉඳහිට පැසි පන්දු ක්‍රීඩාවකින් සතුටක් ලබන නමුත්, කීර්තිමත් පුද්ගලයන් පස්සේ යමින් ඔහුගේ ආකෘතිය ගොඩනඟාගැනීම මෝඩකමක් බව ඔහුට වැටහී තිබෙනවා.
එමෙන්ම රිචඩ් ගැන මොනවද කියන්න පුළුවන්? ඔහුගේ ප්‍රධාන ආකෘතිය තේරීම ඔහුට ක්‍රිස්තියානි ඇදහිල්ල අත්හැරීමට මඟ පෑදුවා. කෙසේවුවත්, රිචඩ්ට තම 20 ගණන්වල සිටි සයිමන් නම් යෙහෝවාගේ සාක්ෂිකාර යෞවනයෙකුව දැනහඳුනා ගන්න ලැබුණා. “සයිමන් මට පිහිට වුණා” කියා රිචඩ් පවසනවා; “කෙනෙකුට බයිබල් ප්‍රතිපත්ති පාවා නොදී ජීවිතය සතුටෙන් ගත කළ හැකි ආකාරය දැනගන්න ඔහු මට උපකාර කළා. මම ඉක්මනින් සයිමන් කෙරෙහි ගෞරවයක් ඇති කරගත් අතර ඔහුගේ ආදර්ශය, සභාවට මගේ යළි පැමිණීමේදී හා යෙහෝවාට මගේ ජීවිතය කැප කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළා. මම දැන් ගොඩක් සතුටින් ඉන්නවා; ඒ වගේම මගේ ජීවිතයට සැබෑ අර්ථයක් තිබෙනවා.”
ඔව්, ප්‍රධාන ආකෘති සම්බන්ධයෙන් ඔබ කරන තේරීම ඉතාමත්ම වැදගත්!
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.
[22වන පිටුවේ පින්තූරය]
හොඳ නමක් ලැබූ වයසින් වැඩි අයව ඇසුර ඔබට උපකාරයක් විය හැකියි