ඔබේ නියපොතු ඔබ ඒවා රැකබලා ගන්නවාද?
ස්වීඩනයේ පිබිදෙව්! වාර්තාකරු විසින්
“කරුණාකරල මට ඔයාගේ නියපොතු ටික පෙන්වන්න පුළුවන්ද?” කියා යමෙක් ඔබෙන් ඇසුවොත් ඔබ එයට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? හොඳින් තබාගෙන සිටින ඔබේ නියපොතු ඔබ සතුටින් පෙන්වන්න යනවාද? එහෙම නැත්නම් ඔබ විගස ඔබේ අත් දෙක පිටුපසට කර සඟවා තබාගන්න යනවාද? ඔබේ නියපොතු සඟවාගන්න ඔබට හොඳ හේතු තිබෙන්න පුළුවන්. සමහරවිට ඒවායේ ප්‍රසන්න පෙනුමක් නොමැති වීම හෝ ඔබ නියපොතු සපන කෙනෙක් වීම ඊට හේතු විය හැකියි. අපේ නියපොතුවල මවිතකර ව්‍යූහය වඩාත් හොඳින් දැනගැනීම, ඒවා වඩාත් හොඳින් අගය කිරීමට හා හොඳින් රැකබලා ගැනීමට අපිට උපකාරවත් වේවි.
ඔබේ නියපොතු ප්‍රධාන වශයෙන් සෑදී තිබෙන්නේ කෙඳිමය ප්‍රෝටීන් කෙරටීන් අඩංගු දැඩි අජීවි සෛලවලිනුයි. නියපොතු වැඩෙන දිග ප්‍රමාණය ඇඟිල්ලෙන් ඇඟිල්ලට හා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. නියපොතු මසකට මිලිමීටර් 3ක පමණ සාමාන්‍ය දිගකින් වැඩෙනවා. කපන්නේ නැතුව වැඩීමට ඉඩහරින නියපොතු සෑහෙන දිගකට වැඩෙන්න පුළුවන්. ද ගිනස් බුක් ඔෆ් ව’ල්ඩ් රෙකෝඩ්ස් 1998හි සඳහන් වන පරිදි, ඉන්දියාවේ මිනිසෙක් තමාගේ වම් අතේ ඇඟිලි පහේ නියපොතුවල මුළු දිග ප්‍රමාණය සෙන්ටිමීටර් 574ක් දක්වා වැඩීමට ඉඩහැරියා. ඔහුගේ මාපටැඟිල්ලේ නියපොත්ත සෙන්ටිමීටර් 132ක් දිගයි.
සංකීර්ණ සැකැස්මක්
නියපොත්තක් කියන්නේ එක කොටසක්, එනම් නිය දේහය පමණක් කියා නියපොත්තක් දෙස බැලූ බැල්මටම ඔබ සිතන්න පුළුවන්. එනිසා, නියපොත්තක පෙනෙන මෙන්ම නොපෙනෙන ප්‍රධාන කොටස් ගණනාවක් තිබෙන බව දැනගැනීමෙන් ඔබ පුදුමයට පත් විය හැකියි. නියපොත්තේ සැකැස්ම දෙස අපි සමීප බැල්මක් හෙළමු.
1. නිය දේහය. සාමාන්‍යයෙන් අපි නියපොත්ත කියා හඳුන්වන ඝන සැකැස්ම මෙයයි. නිය දේහය ඉහළ හා පහළ ස්තරය යනුවෙන් හඳුන්වන ස්තර දෙකකින් යුක්තයි. මේ කොටස් දෙකෙහි තිබෙන සෛල වෙනස් විදිහට සකස් වී තිබෙන අතර, ඒවා වෙනස් වේගයකින් වර්ධනය වෙනවා. ඉහළ පෘෂ්ඨය සිනිඳුයි. ඇතුල් පෘෂ්ඨයේ සමාන්තර ලෙස පිහිටි ශිඛා තිබෙනවා. ඒවා නිය පත්ලේ තිබෙන දාරවලට අනුරූපව පිහිටා තිබෙනවා. මේ වැටි එක් එක් පුද්ගලයාට ආවේණික වන අතර, හඳුනාගැනීමේ මාධ්‍යයක් හැටියට යොදාගත හැකියි.
2. චන්ද්‍රිකාව. මෙය නිය දේහය මුල කොටසේ තිබෙන සුදු පැහැති අඩ සඳාකාර හැඩයෙන් යුත් කොටසයි. බාහිරට පෙනෙන චන්ද්‍රිකා හැම ඇඟිල්ලෙම නැහැ. නිය වැඩෙන්නේ මංචය යනුවෙන් හඳුන්වන නිය දේහයේ මුල තිබෙන සජීවි සෛලවලින් සෑදුණු කුඩා ප්‍රදේශයේ සිටයි. නිය පොත්තේ ඉතාම වැදගත් කොටස මෙයයි. නිය මංචයේ කෙළවර චන්ද්‍රිකාව වන අතර, එය සජීවි නියපොත්තේ පෙනෙන කොටසයි. නිය දේහයේ ඉතිරි කොටස අජීවි සෛලවලින් සෑදී තිබෙනවා.
3. නිය නැමුම්, අවිදූර හා පාර්ශ්ව. මේවායින් යොමු දැක්වෙන්නේ නිය දේහය අවට තිබෙන සමටයි. මේ සම හඳුන්වන්නේ නිය නැමුම් කියායි; එය එසේ හඳුන්වන්නේ නිය දේහයේදී කෙළවර නොවී යටට නැමී, ඉස්මතු වෙමින් පවතින නිය දේහය ආවරණය කරන නිසයි. සමේ මෙම නැමුම් නියපොත්තේ අවට ආරක්ෂා කරමින් ඊට ආධාරකයක් වෙනවා.
4. අපිනඛය. මෙය නිය දේහයේ මුල කෙළවර දැකගත හැකි සමේ නැම්මෙන් සෑදී තිබෙන ඉතාමත් කුඩා දාරයක්. ඇතැම් අවස්ථාවලදී මෙය නියමල කියාද හඳුන්වනවා.
5. නියමල. නියම නියමල අපිනඛයට යටින් තිබෙන ඉතා කුඩා විස්තාරයක්. එය පෘෂ්ඨීය නිය දේහය මතුපිටට ඇලී තිබෙන පැතිරුණු සමේ අවර්ණ ස්තරයක්.
6. නිදහස් ගැටිය. ඇඟිලිතුඩ ඉක්මවා වැඩෙන නිය දේහයේ කොටසයි.
7. අධෝනඛය. නියපොත්තේ නිදහස් ගැටිය යට පිහිටා තිබෙන මේ පටකය ජලය ඇතුල් නොවන මුද්‍රාවක් සාදන අතර, එමගින් නිය පත්ල ආසාදිත වීමෙන් ආරක්ෂා වේ.
ඒවායේ ප්‍රයෝජන
අපේ නියපොතු බොහෝ ආකාරවලින් ප්‍රයෝජනවත් වෙනවා; උදාහරණයක් හැටියට කැසීමට යොදාගන්නවා. දොඩම් ගෙඩියක් ලෙලි ගසන විට, ගැටයක් ලිහන විට හෝ පොඩි පොඩි දේවල් කරන විට ඒවා ප්‍රයෝජනවත් වෙනවා. ඒ විතරක් නොවෙයි, සංවේදී මෙන්ම සියුමැලි ඇඟිලි තුඩුවලට, නියපොතු ආධාරයක් සපයමින් ආරක්ෂාව සලසනවා.
නියපොතුවල තිබෙන සෞන්දර්යාත්මක වැදගත්කම අවතක්සේරු නොකළ යුතුයි. අපේ නියපොතු මගින් පිරිසිදුව සිටීමේ—යහපත් හෝ දුර්වල—පුරුදු පිළිබිඹු කරනවා. ඒවා සාමාන්‍ය අංග චලනවලදී වැදගත් කාර්යයක් ඉටු කරන අතර හොඳින් තබාගන්නවා නම් ඒවාට පුළුවන් අපේ අත් අලංකාර කරන්න. ඒවා නැත්නම් අපේ ජීවිතයේ එදිනෙදා වැඩකටයුතුවලට බාධා ඇති විය හැකි අතර, අපේ අත්වල යම් අඩුවක් තිබෙන බව පෙනෙන්න පුළුවන්.
නිසි සැලකිල්ල දැක්වීම ඒවා වඩාත් ශක්තිමත් කරවයි
අපේ මවිතකර සිරුරේ කොටසක් හැටියට අපේ නියපොතුවලට නිසි සැලකිල්ලක් දැක්විය යුතුයි. ඔබේ නියපොතුවල යම් බරපතළ ආබාධයක් තිබෙනවා නම් ඔබේ වෛද්‍යවරයාව හමු විය යුතුයි. ඒ විතරක් නොවෙයි, ඔබේ ඇඟිලිතුඩු අසල යම් ශාරීරික ආබාධ අඟවන ලක්ෂණ තිබිය හැකියි. ඔව්, ඔබේ නියපොතු දෙස බැලීමෙන් සමහර ශාරීරික ආබාධ නිශ්චය කරන්න පුළුවන් කියා පවසනවා.
කැල්සියම් හෝ විටමින් අමතර ප්‍රමාණයක් ලබාගැනීමෙන් නියපොතු වඩාත් ශක්තිමත් වෙනවාද? මේ ප්‍රශ්නයට උත්තර දෙමින් ස්වීඩනයේ ස්ටාක්හොල්ම්හි පිහිටි කාරොලින්ස්ක් ආයතනයේ නියපොතු පිළිබඳ පර්යේෂක මහාචාර්ය බො ෆොර්සිලින්ඩ් පිබිදෙව්! සඟරාවට මෙසේ පැවසුවා: “ඒ අදහසට අනුබල දෙන කිසිම සාක්ෂියක් නැහැ. සාමාන්‍ය නියපොතුවල අඩංගු කැල්සියම් ප්‍රමාණය විශ්ලේෂණය කිරීමෙන් පෙනෙන්නේ මේ මූලද්‍රව්‍යයේ අංශුමාත්ර පමණයි.”
කොහොමවුණත්, ඔබේ නියපොතු ශක්තිමත්ව හා නම්‍යශීලීව තබාගැනීමට නියත වශයෙන්ම උපකාර කරන්නේ ජලයයි. කලින් සඳහන් කළාක් මෙන් නියපොතුවල කෙරටීන් අඩංගු වෙනවා. නම්‍යශීලී වීම සඳහා මේ කෙරටීන් තන්තුවලට ජලය අවශ්‍යයි. මහාචාර්ය ෆොර්සිලින්ඩ් එයට මෙසේ උදාහරණයක් සපයනවා: “ඔබේ නියපොත්තේ කැබැල්ලක් ඔබ මුලින්ම කපන විට ඒක නම්‍යශීලී විය හැකි වුවත්, දවසකට පසුව එය වියළි තිබෙන නිසා ඒ නියපොත්තම කැපීමේදී එය පහසුවෙන් කැඩෙන්න පුළුවන්.” තෙතමනය ඔබේ නියපොතු නම්‍යශීලී මෙන්ම ශක්තිමත්ව තැබීමට යනවා. නමුත් මේ තෙතමනය ලැබෙන්නේ කොහෙන්ද? නිය දේහය ඝනව පෙනෙන්න තිබුණත් එය පාරගම්යයයි. තෙතමනය නිය පත්ලේ සිට නිය දේහය මතුපිට හරහා ඉහළට විහිදී යනවා; එහිදී එය වාෂ්ප වෙනවා. නියපොතු වියළීම වළක්වා ඔබේ නියපොතු ශක්තිමත්ව තබාගැනීමට කුමක් කළ හැකිද? මහාචාර්ය ෆොර්සිලින්ඩ් මෙසේ පවසනවා: “දිනපතා තෙල් සහිත ද්‍රව්‍ය භාවිතය ප්‍රයෝජනවත් වේවි.”
ඒවායේ වැඩීම හා අලංකාරය කෙරෙහි සැලකිල්ල දැක්වීම
මංචයේ සිට නිය වැඩෙන නිසා නියපොත්තේ මේ කොටසට නිසි සැලකිල්ල දැක්වීම අත්‍යවශ්‍යයි. ක්‍රීම් හෝ තෙල් සමඟින් නිතිපතා සම්බාහනය කිරීම මගින් මංචය උත්තේජනය කිරීම නිය දේහයට උපකාරයක් විය හැකියි. මීට අමතරව, නියපොතුවල නිදහස් ගැටියේ යටට තෙල් බිඳක් දැමීමද උපකාරවත් විය හැකියි; එයින් නියපොතු වියළීම වැළැක්වෙනවා.
ඔබේ නියපොතු ඔබ පීරිගාන හෝ කපන ආකාරයෙන් ඒවා ශක්තිමත් හෝ දුර්වල විය හැකියි. ඔබේ නියපොතු කෙළවරේ සිට නියපොත්තේ මැද දෙසට පීරිගෑම නිර්දේශ කෙරෙනවා. කොන් පීරිගෑමේදී නියපොත්ත දුර්වල වෙන බව මතක තබාගන්න. මෙසේ කිරීමෙන් උල් වූ නියපොත්තක් සෑදෙන්න යනවා; එම උල් නියපොත්තට පැතිවලින් කිසිම ආධාරයක් නැති නිසා එය දුර්වලම හැඩයයි. ශක්තිමත් කෙටි නියපොතු සඳහා ඔබේ නියපොතුවල පැතිවලදී කෙළින් අතට මිලිමීටර් 1.5ක් පමණ වැඩීමට සලස්වා ඇඟිලි තුඩුවල හැඩයට අනුව රවුමට පීරිගෑම නිර්දේශ කෙරෙනවා.
තමන්ගේ නියපොතු ටිකක් දිගට වවන්න සමහර කාන්තාවන් කැමති විය හැකියි. නමුත් පරෙස්සම් වීමට වචනයක් මෙන්න. හුඟාක් දිග නියපොතු මගින් අනවශ්‍ය ලෙස අවධානය ඇදගත හැකි අතර, සාමාන්‍ය වැඩකටයුතු කිරීමෙන් ඔබව වැළැක්විය හැකියි. එනිසා ඔබේ නියපොතුවල දිග ප්‍රමාණය ගැන සමබර දෘෂ්ටියක් තබාගන්න. ඔබ එසේ කරනවා නම්, ඔබේ නියපොතු ඔබට ප්‍රයෝජනදායක යමක් වන අතර ඔබ ගැන අනිත් අය තුළ හොඳ හැඟීමක් ඇති කරාවි.
කවදාවත් උල් උපකරණයකින් ඔබේ නියපොතු හාරන්න එපා කියා විශේෂඥයන් පවසනවා. මෙයින් අධෝනඛයට, එනම් නියපොත්තේ නිදහස් ගැටියට පහළින් තිබෙන පටකවලට හානි පැමිණිය හැකියි. මේ පටක මගින් නියපොත්ත යට ආරක්ෂා කරන තද මුද්‍රාවක් සාදනවා. මේ ස්ථානයට හානි වුණොත් නියපොත්ත නිය පත්ලෙන් වෙන් වෙන්න පවා පුළුවන්; ඒ වගේම ආසාදිත විය හැකියි. නියපොතු යට පිරිසිදු කිරීම සඳහා ඉතා සිනිඳු බුරුසුවක් පාවිචිචි කරන්න.
ශක්තිමත් හා නිරෝගි නියපොතු යම් දුරකට උරුම වූ සාධකවල ප්‍රතිඵලයක් වෙනවා. ඒ නිසයි සමහරුන්ට ශක්තිමත් හා නම්‍යශීලී නිය දේහයන් තිබුණත් තවත් අයට වියළි හෝ පහසුවෙන් කැඩෙනසුලු නියපොතු තිබෙන්නේ. ඔබේ නියපොතුවල තත්වය කුමක් වුවත් ඔබට පුළුවන් යම් ප්‍රමාණයකට නිතිපතා සැලකිල්ල දැක්වීම මගින් ඒවායේ පෙනුම වැඩිදියුණු කරගන්න. ඇත්තෙන්ම, නියපොත්තේ කොටස්වල සැකැස්ම, කාර්යයන් හා නිසි සැලකිල්ල දැක්වීම යනාදිය වටහාගැනීමෙන් ඔබට හොඳ දැනුමක් ලැබෙනවා. ඒ තොරතුරු නැණවත්ව යොදාගැනීමෙන් හොඳ ප්‍රතිඵල ලැබේවි.
ඇත්තෙන්ම නියපොතු මිනිස් සිරුරේ මවිතකර කොටසක්. ඒවායේ සැකැස්ම හා කාර්යයන් මගින් ඒවායේ පිටුපස තිබෙන බුද්ධිමත් මනසට සාක්ෂි සපයනවා. පුරාණයේ විසූ දාවිත් රජ, ගීතාවලිය 139:14හි වාර්තා වන පරිදි තමාගේ මැවුම්කරු සඳහා තම අගය නිහතමානී ලෙස මෙසේ ප්‍රකාශ කළා: “මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි.”
[29වන පිටුවේ රූප සටහන]
(For fully formatted text, see publication)
1. නිය දේහය,
2. චන්ද්‍රිකාව,
3. නිය නැමුම්, අවිදූර හා පාර්ශ්ව,
4. අපිනඛය,
5. නියමල,
6. නිදහස් ගැටිය,
7. අධෝනඛය,
8. මංචය,
9. නිය පත්ල