නිවාඩුව අසාර්ථක වීම වළක්වන්න ඔබට හැකි අයුරු
නිවාඩුවකට යෑම—මොන වගේ සිතුවිලිද මනසට නැඟෙන්නේ? හොඳ සෙවණක් දෙන පොල් ගස් ඇති, හිරු එළියෙන් නැහැවුණු මුහුදු වෙරළවල පහසු ගැනීමටද? නැතහොත් කඳුකරයේ සිසිල්, පිරිසිදු මද පවනේ පහස ලැබීමටද?
එහෙත්, ඇති විය හැකි අහිතකර කාලගුණය, ගුවන්තොටුපොළේ ප්‍රමාද වීම්, චාලන රෝගය හා වෙනත් එවැනි දේවල් ගැන ඔබ කරදර වෙනවා විය හැකියි. ඔබේ සිතුවිලි කුමක් වුවත්, හැකි තරම් දුරට ඔබේ නිවාඩුවෙන් උපරිම ආස්වාදයක් ලබන්න ඔබට කළ හැක්කේ කුමක්ද?
මනා සූදානම
ඥානවන්ත නිවාඩුගන්නන් කල්තියා සැලසුම් කරනවා. ඔවුන් සංචාරක හා සෞඛ්‍ය ලියකියවිලි කල්තියා ලබාගන්නවා; එවිට ඔවුන්ගේ ගමන පටන්ගන්නා විට මේවා සුදුසු හා පිළිවෙළකින් යුත් තත්වයක තිබෙයි. ඇති විය හැකි සෞඛ්‍ය උවදුරු ගැන විමසීමෙන්, රෝග වළක්වාගත හැකි ඖෂධ තීරණය කිරීමට ඔවුන්ට හැකි වෙයි.
මැලේරියාව පැතිර ඇති ප්‍රදේශයකට ගමන් කිරීමට සූදානමක් වශයෙන්, බොහෝදෙනෙක් පිටත් වීමට දවස් කීපයකට පෙර මැලේරියා මර්දන ඖෂධ ගැනීමට පටන්ගන්නවා. එහෙත්, ආරක්ෂාවක් වශයෙන්, බොහෝවිට නිර්දේශ කරන්නේ, ඔවුන්ගේ නිවාඩු කාලය පුරාම හා ඊට පසු සති හතරක් යන තෙක් පවා එවැනි ඖෂධ ප්‍රතිකාරයක් දිගටම ගැනීමටයි. මෙයට හේතුව එවැනි කාලයක් පුරා මැලේරියා පරපෝෂිතයන් ශරීරය තුළ රෝග බීජ පෝෂණය කරන නිසායි. නමුත් වෙනත් ආරක්ෂිත මාර්ග ගැනීමත් වැදගත්.
ලන්ඩන්හි සනීපාරක්ෂාව හා නිවර්තන ඖෂධ පාසැලේ වෛද්‍ය පෝල් ක්ලාක් මෙසේ අවවාද කරයි: “සමට හෝ මැණික්කටුවට කෘමී විකර්ෂණ ආලේප කිරීම හා වළලුකර පටි, මදුරු දැල් හා විදුලි බලයෙන් වැඩ කරන කෘමීන් දුරු කරන ‘මැට්’ යන්ත්‍රයක් ඒ හා සමාන වැදගත්කමක් දරයි.” ඔබේ නිවාඩුව ගත කිරීමට යන්න පෙර මෙවැනි උපකරණයක් මිල දී ගැනීම බොහෝවිට හොඳම දෙයයි.
චාලන රෝගය ඕනෑම ගමනක් අප්‍රසන්න කරවනවා. එය ඇති වන්නේ කුමකින්ද? නුහුරු නුපුරුදු පසුබිමකින් ඇති වන අලුත් සංඥාවලින් මොළය බර වන විට චාලන රෝගය හටගන්නා බව එක පර්යේෂකයෙක් ප්‍රකාශ කරයි. නැවේ චලනය, ගුවන්යානයේ දෙදරීම හෝ ඔබේ මෝටර් රථයේ එන්ජිම නංවන හඬ මේ ගැටලුවට හේතුව නම්, යම් ස්ථාවර දෙයක් මත, සමහරවිට ක්ෂිතිජය හෝ ඉදිරියෙහි ඇති පාර වෙත ඔබේ අවධානය යොමු කර තබාගැනීමට උත්සාහ කරන්න. හොඳ වාතාශ්‍රය ඔබට බෙහෙවින් අවශ්‍ය වන ඔක්සිජන් සපයාවි. චාලන රෝගය දරුණු ලෙස වැළඳී ඇති අයට, රෝග ලක්ෂණ අඩු කිරීමට ප්‍රතිහිස්ටමින් ඖෂධ උපකාරවත් විය හැකියි. එහෙත් පරෙස්සම් වීමට යමක් කිව යුතුයි: නිදිමත ගතිය වැනි ඇති විය හැකි අතුරු ආබාධවලින් පරෙස්සම් වන්න; හේතුව යම් තත්වයන් යටතේදී මේවා ඔබව අනතුරකට පත් කළ හැකි නිසයි.
ගුවනින් යන දිගු ගමන්වලදී විජලනය වැනි සෞඛ්‍ය උවදුරු ඇති වේ. දිගු කාලපරිච්ඡේද පුරා කිසිවක් නොකර, හිරව ඉඳගෙන සිටීමෙන් සමහරුන්ට කකුලේ රුධිර කැටියක් ඇතිවීමේ අවදානම වැඩි විය හැකියි. කැටිය එතැනින් මිදී, පෙණහැල්ලකට හෝ හෘදයට ගමන් කළොත් ප්‍රතිඵල විශේෂයෙන්ම අනතුරුදායක විය හැකියි. එබැවින්, ගුවනින් දිගු ගමන් යද්දී සමහරුන්ට එහි ප්රවේශමාර්ගයෙහි ඇවිදීමෙන් හෝ ඉඳගෙන සිටින අතරතුරේදීම ඉඟෙහි හා කකුලෙහි මාංස නැවීමෙන් ව්‍යායාමෙහි යෙදීම අවශ්‍ය විය හැකියි. එමෙන්ම විජලනය අඩු කිරීමට, මත් නොවන බීම බහුලව පානය කරන්න.
ඉහත සඳහන ගුවන් ගමන පිළිබඳ ඔබේ භය තවත් තහවුරු කරනවාද? එසේනම්, ගුවනින් ගමන් කිරීම වෙනත් ගමන් ක්‍රමවලට වඩා ආරක්ෂා සහිතයි යන කාරණයෙන් ඔබ සැනසීමක් ලබාගත යුතුයි. එය මෝටර් සයිකලයක් පැදගෙන යනවාට වඩා 500 වතාවක්ද, මෝටර් රථයකින් ගමන් කරනවාට වඩා 20 වතාවක්ද ආරක්ෂා සහිත බව වාර්තා වෙනවා! එහෙත්, එවැනි සංඛ්‍යා ලේඛන පදනම් කරගෙන තිබෙන්නේ, ගමන් කළ දුර ප්‍රමාණයන් අනුව මිස ගමන් මාර්ගය අතරතුරේ ගත කළ කාල ප්‍රමාණය අනුව නොවන බවට වෙනත් අය පෙන්වනු ඇත.
බාල දරුවන් සමඟ ගමන් කිරීම විශේෂ අභියෝගයක් ඉදිරිපත් කරනවා. “හමුදා ව්‍යාපාරයකට ලෑස්ති වෙනවා වගේම ඔබේ ගමනටත් හොඳින් සැලසුම් කරන්න” කියා ප්රචාරිකා කැතී ආනෝල්ඩ් නිර්දේශ කරයි. එසේ කිරීම ඔබට අමාරු විය හැකි වුණත්, දරුවන්ගේ උනන්දුව ග්‍රහණය කර තබාගැනීමට පොත්, සෙල්ලම් කිරීම සඳහා අවශ්‍ය දේවල් හෝ වෙනත් දෑ රැගෙන යන්න. මෙය මුළු පවුලටම ගමන වඩාත් ප්‍රසන්න එකක් කරනු ඇත.
ඔබ පැමිණි විට
‘මං ඉන්න කාලය ප්‍රීතියෙන් සැහැල්ලුවෙන් ඉන්න පටන්ගන්න මට දවස් හතරක් නැත්නම් පහක්වත් ගත වෙනවා’ කියන එක නිවාඩු ගත කරන බොහෝදෙනෙක්ගේ ප්‍රකාශයක්. අලුත් තත්වයන්ට අනුව හැඩගැහෙන්න කාලය ගත වෙන බව ඇත්තයි. ඒ නිසා ඔබ පැමිණි පසු, මුල් දවසේ හෝ දවස් දෙකේ යම් දේවල් කිරීමට හදිසි නොවීම ඥානවන්ත විය හැකියි. වෙනස් කාලසටහනකට අනුව ඔබේ ශරීරය හා මනස සකස් වීමට ඉඩහරින්න. මෙසේ කිරීමට අසමත් වුණොත් වෙහෙස ඇති විය හැකි අතර, ඔබේ නිවාඩුවෙන් සිදු විය හැකි යහපත ගිලිහී යා හැකියි.
එක් ඇස්තමේන්තුවකට අනුව, සෑම වසරකම විදේශගත වීමේ අවදානමට ලක් වන ලොව පුරා මිලියන සියදහස් ගණන් ජනතාවකින් අඩුම තරමින් අඩක්වත් යම් ආකාරයක අසනීපයක් හෝ ශාරීරික හානියක් විඳිනවා. මෙබැවින්, ට්රැවෙලස් හෙල්ත්හි සංස්කාරක, වෛද්‍ය රිචඩ් ඩේවූඩ් පැහැදිලි කරන්නේ, “සෞඛ්‍යය සඳහා ආරක්ෂිත මාර්ග ගැනීම, සංචාරකයෙක් අතපසු නොකළ යුතු ක්‍රියාමාර්ගයක්” කියායි. වායුගෝලයෙහි, ආහාරවල හා වතුරේ විවිධ බැක්ටීරියාවන් ගණනාවකට සකස් වීමට සංචාරකයෙකුගේ ශරීරයට අවශ්‍ය වන නිසා, මුල් දවස් කීපයේදී ඔබ කෑමට ගන්නා දේ සම්බන්ධයෙන් පරෙස්සම් වීම විශේෂයෙන්ම වැදගත් වෙනවා.
“ආහාර අලුත් මෙන්ම හොඳින් උයා (ජීවාණුහරණය වන තෙක් රත් කර) තිබිය යුතු අතර මස් නම්, රතු පැහැය නැති වන තෙක්ම පිසිය යුතුයි; එහෙම කළේ නැතත් හානියක් නොවෙයි කියා කවදාවත් නොසිතිය යුතුයි” කියා වෛද්‍ය ඩේවූඩ් අවවාද කරයි. එහෙත්, රත් කළ ආහාර පවා සැක සහිත විය හැකියි. එනිසා, “අද කෑමට ගන්නා දවල් ආහාරය, යළි රත් කළ, යළි පිළියෙළ කළ ඊයේ හවස ආහාරය නොවන බවට සහතික වන්න.”
මෙබැවින්, ඔබ නිවාඩුව ගත කරන්නේ, ඔබ ජීවත් වන ස්ථානයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රදේශයක නම්, හරියටම ඔබට ඕන වෙලාවේදී, ස්ථානයේදී හා ඕන දේ ඔබට කන්න නුපුළුවන් විය හැකියි. නමුත් මෙය, සියලු ජාත්‍යන්තර සංචාරකයන්ගෙන් පහෙන් දෙකකට බලපා ඇතැයි වාර්තා වන පාචනය ගැන බලද්දී සුළු අපහසුතාවක්.
පානය සඳහා බෝතල් කළ ජලය, සාමාන්‍යයෙන් ලබාගත හැකි ජලයට වඩා බොහෝවිට ආරක්ෂා සහිතයි. එහෙත්, ගැටලුවලින් වැළකීම සඳහා, බෝතල් කළ හෝ ටින් කළ බීම නිතරම ඔබ ඉදිරියේදීම විවෘත කිරීමට සැලැස්වීම ඥානවන්ත දෙයක්. අයිස් කැට දැමීමෙන් වැළකීමද ඥානවන්ත දෙයක් විය හැකියි. ඔබ එය ආරක්ෂිත බව නොදන්නවා නම්, සැමවිටම ඒ දෙස සැකයෙන් බලන්න.
ප්‍රීතිමත් නිවාඩුවකට වැදගත්
ඇගේ පාඨකයන්ව යොදාගෙන කළ සමීක්ෂණයකින් පසුව, සංචාරක සංස්කාරකවරියක් මෙසේ වාර්තා කළා: “නිවාඩුවක් සාර්ථක වුණාද නැද්ද කියා තීරණය කිරීමට කාලගුණය එක් වැදගත් සාධකයක් නම්, මිත්‍රයන් සිටීම හෝ නොසිටීම ඊටත් වඩා බලපාන සාධකයක්.” ඇත්තවශයෙන්ම, “හෝටල්වලින් පිරිනැමූ හොඳ සේවාවක්, අපහසුතාවලින් තොරව ගමන් කිරීමට හැකියාව, හොඳ ආහාර හා දැකීමට ප්‍රිය සිත්ගන්නා දර්ශන යනාදියට වඩා” ප්‍රීතිමත් නිවාඩුවකට දායක වන සාධකයක් වශයෙන් දෙනු ලැබුවේ “හොඳ ආශ්‍රයයි.”
නමුත් නිවාඩුවක් ගත කරන විට හිතකර නව මිතුරන් හමුවීමට ඔබට හැක්කේ කොතැනකදීද? ඇත්තෙන්ම, එසේ කිරීමට හැකි එක මාර්ගයක් වන්නේ, ඔබ නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන රටේ වොච් ටවර් සමිතියේ කාර්යාලයට කලින් ලිවීමයි. ඔබ නවතින තැනට නුදුරුම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවේ ලිපිනයත්, ඒ වගේම එහි පැවැත්වෙන රැස්වීම්වල වෙලාවත් ඔවුන් ඔබට සපයනු ඇත. මේ කාර්යාල කීපයක ලිපින මෙම සඟරාවේ 5වන පිටුවේ ඇති අතර, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මෑත වාර්ෂික පොතකින් (ඉංග්‍රීසියෙන්) වඩාත් පුළුල් ලැයිස්තුවක් සොයාගත හැකියි.
ඔබේ නිවාඩුව ප්‍රීතියෙන් භුක්ති විඳීමට හා ඒත් එක්කම යම් පසුතැවීම් සිදුවීමෙන් වැළකීමට බයිබලයේ මෙම ඥානවන්ත අවවාදය පිළිපැදීම වැදගත්: “නොරැවටෙන්න. නපුරු සමාගමෙන් හොඳ චරිත නරක්වන්නේය.” (1 කොරින්ති 15:33) යම් හුදෙකලා ස්ථානයක නිවාඩුව ගත කරද්දී, ක්‍රිස්තියානි ප්‍රමිතිවලින් හා ක්‍රියාකාරකම්වලින් මිදීමට ඔබට යම් ආශාවක් ඇති වෙනවා නම්, මෙය දුර්වලකමක් හැටියට නැණවත්ව වටහාගන්න; තවද එම ආශාවට එරෙහිව සටන් කිරීමට දිව්‍යමය උපකාරය පතන්න. දෙමාපියන්ද තම දරුවන්ගේ ක්‍රියාකාරකම්වලට අවධානය දීම අවශ්‍යයි. ඔබ කොතැන සිටියත් මේවා “කටයුතු කිරීමට අසීරු, අර්බුදකාරි කාලවල්” බව මතක තබාගන්න.—2 තිමෝති 3:1, NW.
පවුලක් හැටියට ඔබ නිවාඩුව ගත කරන විට, මව නිවසේ සාමාන්‍යයෙන් කරන සියල්ල කරයි කියා නොසිතන්න. දෛනික වැඩකටයුතුවලදී සහය වීමට කැමැත්තෙන් ඉන්න; එමෙන්ම සහයෝගී ස්වභාවයක් පෙන්වන්න. එවැනි ආකල්පයක් නිවාඩුව සම්බන්ධයෙන් සෑමදෙනාගේම සතුටට බෙහෙවින් දායක වෙයි.
ඔබේ නිවාඩුව ප්‍රසන්න එකක් වනු ඇද්ද? ඡායාරූප, තැපැල් කාඩ්පත් හා සිහිවටන කීපයක් මෙන්ම සමහරවිට ඒ ප්‍රදේශයෙන් අත්කම් සමහරක් තෝරාගැනීමෙන් පවා සතුටුදායක මතකයන් යළි ගෙන එන බව ස්ථිරයි. නමුත් අලුත ලැබුණ මිත්‍රයන් විශේෂයෙන්ම මතකයේ රැඳෙන බවට නිසැකයි. ඔවුන් සමඟ සම්බන්ධකම් තබාගන්න. උනන්දුව ඇති කරවන අද්දැකීම් විස්තර කිරීමට ලිපි හුවමාරු කරගන්න. ඔබේ නිවාඩුව ඇත්තෙන්ම ප්‍රීතිමත් එකක් කරගැනීමට හැකි බොහෝ ක්‍රම තිබෙනවා.
[17වන පිටුවේ කොටුව]
නිවාඩු සිහිගැන්වීම් සමහරක්
ඔබ පිටත්ව යෑමට පෙර
• අත්‍යවශ්‍ය වලංගු ගමන් හා සෞඛ්‍ය ලියකියවිලි සියල්ල ළඟ තබාගන්න
• අවශ්‍ය පමණ ආරක්ෂිත ඖෂධ ලබාගන්න
ගමනේ යෙදෙද්
• මත් නොවන දියර බහුලව පානය කරන්න; දිගු ගුවන් ගමනකදී ව්‍යායාමයේ යෙදෙන්න
• බාලයන්ගේ සිත්ඇදගන්නා දේවල් රැගෙන යන්න
පැමිණි විට
• ඔබේ ශරීරයට හා මනසට සකස් වෙන්න කාලයක් දෙන්න
• ආරක්ෂිත ආහාර හා පානයට, ඔබේ ආහාර සීමා කරන්න
• සදාචාරය සම්බන්ධයෙන් පරීක්ෂාකාරි වන්න
• පවුලේ අනිත් සාමාජිකයන් සමඟ දෛනික වැඩකටයුතුවල හවුල් වන්න
[16වන පිටුවේ පින්තූරය]
නිවාඩුවක් ගත කරන විට, ඔබේ ආශ්‍රිතයන් ගැන සැලකිලිමත් වන්න