ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g98 8/8 7-11 පි.
  • සමාජ භීතිකාව පාලනය කිරීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සමාජ භීතිකාව පාලනය කිරීම
  • 1998 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔබේ රෝග ලක්ෂණ පාලනය කිරීම
  • භීතිකාවන් හා බැඳි ඔබේ විශ්වාසයන් පිරික්සීම
  • ඔබේ බියවීම්වලට මුහුණ දීම
  • “අප සමාන ගති ඇති” මනුෂ්‍යයන්
  • සියලු නෙත් ඔබ වෙත යොමු වී ඇතැයි පෙනෙන විට
    1998 පිබිදෙව්!
  • භීතිකාවන්ගෙන් හිරිහැරයට පත්ව
    1998 පිබිදෙව්!
  • කනස්සල්ලට හේතු වෙන හැම බරක්ම යෙහෝවා දෙවිට භාර දෙන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔවුන් විඳින වේදනාව තේරුම්ගනිමු!
    2012 පිබිදෙව්!
තව තොරතුරු
1998 පිබිදෙව්!
g98 8/8 7-11 පි.

සමාජ භීතිකාව පාලනය කිරීම

“භීතිකාවන් තිබෙන ජනයා මතක තබාගත යුතු වැදගත්ම දෙය තමයි, භීතිකා අක්‍රමිකතා, ප්‍රතිකාරයට ප්‍රතිචාරය දක්වන බව. ඔවුන් දිගටම වේදනා විඳිමින් සිටිය යුතු දෙයක් නෙවෙයි ඒක.”—වෛද්‍ය ක්‍රිස් ස්ලෙටන්.

සමාජ භීතිකාවෙන් පෙළෙන බොහෝදෙනෙකුට තම කාන්සාව අඩු කරගැනීමට හා ඔවුන් බොහෝ වසර ගණනක් බිය වූ සමාජ තත්වයන්වලට මුහුණ දීමට පවා උපකාර ලැබී තිබීම සතුටට කරුණක්. ඔබ සමාජ භීතිකාවෙන් පෙළෙනවා නම්, ඔබටත් මේ අක්‍රමිකතාව සමඟ කටයුතු කිරීමට ප්‍රයෝජනවත් ක්‍රම ඉගෙනගත හැකි බවට සහතික වන්න. එසේ කිරීමට, (1) ඔබේ ශාරීරික රෝග ලක්ෂණවලට, (2) ඔබ බිය වන තත්වයන් සම්බන්ධයෙන් ඔබ දරන විශ්වාසයන් හා (3) ඔබේ බියවීම් අනාවරණය කරන හැසිරීම වෙත ඔබ අවධානය යොමු කිරීම අවශ්‍යයි.

උපකාර කිරීමට බයිබල් ප්‍රතිපත්තිවලට හැකියි. දේවවචනය වෛද්‍ය පාඩම් පොතක්වත්, එහි “සමාජ භීතිකාව” යන යෙදුම සඳහන් වෙලාවත් නැති බව ඇත්තයි. එහෙත්, ඔබේ බියවීම් සමඟ කටයුතු කරන විට “ප්‍රායෝගික ප්‍රඥාව හා චින්තන හැකියාව ආරක්ෂා කරගන්න” ඔබට උපකාර කරන්න බයිබලයට හැකියි.—හිතෝපදේශ 3:21, NW; යෙසායා 48:17.

ඔබේ රෝග ලක්ෂණ පාලනය කිරීම

සමාජ භීතිකාවේ ශාරීරික රෝග ලක්ෂණ පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට වෙනස් වෙයි. ඔබ බිය වූ තත්වයකට පත් වෙන විට ඔබේ ශරීරය ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? ඔබේ අත් වෙව්ලනවාද? ඔබේ හෘදය ශීඝ්‍රයෙන් ගැහෙනවාද? ඔබ උදරාබාධ අද්දකිනවාද? ඔබට දාඩිය දානවාද නැත්නම් ඔබව රතු වෙනවාද එහෙමත් නැත්නම් ඔබේ තොල කට වේළෙනවාද?

අනිත් අය ඉදිරියේ දාඩිය දැමීම, ගොතගැසීම හෝ වෙව්ලීම ගැන සිතීම අප්‍රසන්න දෙයක් බව පිළිගත හැකියි. නමුත් සිදු විය හැකි දේවල් සම්බන්ධයෙන් කාන්සාවෙන් සිටීම උපකාරයක් වන්නේ නැහැ. යේසු යෝග්‍ය ලෙස මෙසේ ඇසුවා: “කනස්සලුවීමෙන් තමාගේ උසට එක රියනක් එක්කරගන්ට නුඹලා අතරෙන් කවරෙකුට පුළුවන්ද?” (මතෙව් 6:27; සසඳන්න හිතෝපදේශ 12:25.) ඇත්තෙන්ම, ඔබේ රෝග ලක්ෂණ ගැනත්, ඒවා පිළිබඳව අන් අය සිතිය හැකි දේ ගැනත් සිත සිතා සිටීමෙන් සිදු වන්නේ කාරණා තවත් දරුණු වීම පමණයි. “අනිත් අය තමන්ගේ කලබලවනසුලු ගතිය දකියි කියා සිතේ මවාගැනීම සමාජ භීතිකාවෙන් පෙළෙන අයව තවත් කනස්සලු කරවනවා” කියා හාවඩ් මානසික සෞඛ්‍ය පත්‍රය නිරීක්ෂණය කරයි. “ප්‍රතිඵලයක් ලෙස ඇති වන ලජ්ජාව ගැනත්, යමක් හරියට කරගන්න බැරි වෙන එක ගැනත් ඔවුන් සිතනවා; එසේ සිතන නිසා, තැතිගන්වන තත්වයන්ට මුහුණ දෙන විට, තවත් බියක් උද්ගත වීමට හේතු ඉස්මතු වෙනවා.”

ප්‍රාචීරයෙන් සෙමින් හුස්ම ගැනීමට පුහුණු වීම මගින් ඔබේ රෝග ලක්ෂණවල බලවත්කම අඩු කරගැනීමට ඔබට හැකි වෙයි. (“ඔබේ හුස්ම ගැනීම ගැන සැලකිලිමත් වන්න!” කොටුව බලන්න.) එමෙන්ම නිතිපතා ශාරීරික ව්‍යායාමය හා පේශි ලිහිල් කිරීමත් උපකාරවත් වෙයි. (1 තිමෝති 4:8) ජීවන-රටාවේ යම් වෙනස්කම් කිරීමටත් ඔබට සිදු විය හැකියි. උදාහරණයක් වශයෙන්, බයිබලය මෙසේ අවවාද කරනවා: “වෙහෙසීමෙන්ද හිස්වූ උත්සාහයෙන්ද දෑත පුරවාගන්නවාට වඩා නිශ්චලකමෙන් එක මිටක් පුරවාගන ඉඳීම හොඳය.” (දේශනාකාරයා 4:6) එනිසා ඔබ ප්‍රමාණවත් විවේකයක් ගන්නා බවට සහතික වන්න. ඊට අමතරව, ඔබේ ආහාර ගැන සැලකිලිමත් වන්න. ආහාර වේල් අතපසු කිරීම හෝ නුසුදුසු වෙලාවලදී ආහාර ගැනීම නොකරන්න. කාන්සාව ඇවිස්සීමේ මූලික වරදකරු වන කැෆේන් අඩංගු තේ කෝපි පානය අඩු කිරීම අවශ්‍ය විය හැකියි.

සියල්ලටම වඩා, ඉවසිලිවන්ත වන්න. (දේශනාකාරයා 7:8) වෛද්‍යවරුන්ගේ එක් කණ්ඩායමක් මෙසේ වාර්තා කරනවා: “කල් යත්ම, ඇතැම් සමාජ තත්වයන් යටතේ ඔබට තවමත් යම් තරමකට කාන්සාවේ හැඟීම ඇතිවීම යෝග්‍ය වුණත්, ඔබේ ශාරීරික රෝග ලක්ෂණවල බලවත්කම සෑහෙන්න අඩු වන බව ඔබ දකියි. ඊටත් වඩා වැදගත්ව, පුහුණු වීමෙන්, ඔබේ ආත්ම විශ්වාසය වැඩි වනු ඇති අතර, ඔබ බිය වන සමාජ තත්වයන්ට පිවිසීමට ඔබ වඩාත් හොඳින් සූදානම්ව සිටිනු ඇත.”

භීතිකාවන් හා බැඳි ඔබේ විශ්වාසයන් පිරික්සීම

මුලින්ම සිතුවිල්ලක් අද්දකින්නේ නැතුව ඔබට හැඟීමක් අද්දැකිය නොහැකි බව පවසා තිබෙනවා. සමාජ භීතිකාව සම්බන්ධයෙන් මෙය සත්‍යයක් බව පෙනෙන්න තිබෙනවා. මේ හේතුවෙන්, ඔබේ ශාරීරික රෝග ලක්ෂණ අඩු කිරීම සඳහා ඒවා පෝෂණය කරන “නොසන්සුන් සිතුවිලි” සෝදිසි කර බැලීමට ඔබට සිදු විය හැකියි.—ගීතාවලිය 94:19, NW.

සමාජ භීතිකාව කියන්නේ ඇත්තෙන්ම ප්‍රතික්ෂේප වීමේ බියක් බව ඇතැම් ප්‍රවීණයන් පවසනවා. උදාහරණයක් වශයෙන්, සමාජ හමුවක සිටිද්දී, සමාජ භීතිකාවෙන් පෙළෙන්නෙක් තමාටම මෙසේ කියාගත හැකියි, ‘මාව මෝඩයෙක් වගෙයි පේන්නේ. මාව මෙතැනට ගැළපෙන්නේ නැති බව මේ අයට තේරෙනවා ඇති. හැමෝම මාව විහිළුවකට ගන්න බව මට ස්ථිරයි.’ සමාජ භීතිකාවෙන් පෙළුණ ට්‍රේසිට එවැනි හැඟීම් තිබුණා. කෙසේවුවත්, කල් යත්ම, ඇය හිතුව විදිහ හරිද කියා ප්‍රශ්න කළා. ඇය ගැන විමසිලිමත් වීමට හා ඇයව විනිශ්චය කිරීමට වඩා හොඳ දේවල් කිරීමට ජනයාට තිබුණ බව ඇය වටහාගත්තා. “මම නිරස දෙයක් කිව්වත්, ඒ නිසාම කෙනෙක් මාව පුද්ගලයෙකු වශයෙන් ප්‍රතික්ෂේප කිරීම සුදුසු දෙයක්ද?” යන නිගමනයට ට්‍රේසි එළඹුණා.

සමාජ තත්වයන්වලදී අන්‍යයන්ගෙන් ප්‍රතික්ෂේප වීමට ඇති ඉඩ කඩ හා අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප වෙයි යන විකෘති සිතුවිලි විග්‍රහ කර බැලීමට ට්‍රේසිට මෙන් ඔබටත් සිදු විය හැකියි. ඔබ වැඩියෙන්ම බිය වන දේ සත්‍යය බවට පත් වෙනවා නම් ජනයා සිත්තැවුලට පත් වෙයි කියා විශ්වාස කිරීමට ඇත්තෙන්ම වලංගු හේතුවක් තිබෙනවාද? සමහරුන්ට එසේ වුණත්, ඔබ අසීරු අද්දැකීමෙන් බේරෙන එකක් නැහැයි කියා නිගමනය කරන්න හේතුවක් තිබෙනවාද? වෙනත් කෙනෙකුගේ මතයක් ඇත්තෙන්ම පුද්ගලයෙකු වශයෙන් ඔබේ වටිනාකම වෙනස් කරයිද? බයිබලය ඥානවන්තව මෙසේ උපදෙස් දෙයි: “මනුෂ්‍යයන් කියන සියලුම වචනවලට නුඹේ සිත යොමු නොකරන්න.”—දේශනාකාරයා 7:21.

ආචාර්යවරුන්ගේ කණ්ඩායමක් සමාජ භීතිකාව ගැන ලියමින් මෙසේ සඳහන් කළා: “ජීවිතයේදී අද්දකින නොවැළැක්විය හැකි ප්‍රතික්ෂේප වීම්වලට ජනයා වුවමනාවට වඩා අර්ථයක් හා වැදගත්කමක් දෙන විට ගැටලු පැනනඟිනවා. ප්‍රතික්ෂේප වීම බෙහෙවින් අධෛර්යයට පත් කරවන්නක් විය හැකියි. ඇත්තෙන්ම වේදනාවට පත් කිරීමට එයට හැකියි. නමුත් එමගින් ඔබ කලබලයට පත් විය යුතු නැහැ. ඇත්තෙන්ම ඔබ එය මහා විපත්තියක් බවට පත් කරගත්තොත් මිසක නැත්නම් එය විපත්තියක් නොවෙයි.”

යථාර්ථවාදීව අප දෙස බැලීමට බයිබලය අපට උපකාර කරනවා. එය මෙසේ පිළිගනියි: “බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව.” (යාකොබ් 3:2) එසේය, අසම්පූර්ණත්වය හා එයින් සමහරවිට ඇති වන ලජ්ජාශීලී ප්‍රතිවිපාකවලින් කිසිවෙක් බේරෙන්නේ නැහැ. මෙය අගය කිරීම අන්‍යයන්ගේ දුර්වලකම් ගණන් නොගෙන සිටීමට අපට උපකාර කරන අතර, අපේ දුර්වලකම්වලදීත් අපව තේරුම්ගැනීමට එය අන්‍යයන්ට දිරිගන්වනවා. කෙසේනමුත්, යෙහෝවා දෙවිගේ අනුමැතිය ඇත්තෙන්ම අවශ්‍ය බව ක්‍රිස්තියානීන් දන්නවා; එමෙන්ම ඔහු අපේ වැරදි දෙසටම යොමු වී නොසිටින බවත් දන්නවා.—ගීතාවලිය 103:13, 14; 130:3.

ඔබේ බියවීම්වලට මුහුණ දීම

සමාජ භීතිකාව සමඟ තිබෙන ඔබේ සටන ජයගැනීම සඳහා, කවදාහරි ඔබේ බියවීම්වලට මුහුණ දෙන්න ඔබට සිදු වනු ඇත. මුලදී, මේ සම්බන්ධයෙන් සිතීම පවා තැතිගන්වන්නක් මෙන් පෙනිය හැකියි. ඔබව බියවීමට පොලඹවනු ඇති සමාජ තත්වයන්වලින් සමහරවිට මේ වන තෙක් ඔබ වැළකී සිටින්න ඇති. කෙසේවුවත්, මෙය ඔබේ නිසැකකම දුර්වල කර, තවදුරටත් ඔබව බියෙන් වෙළන්න ඇති. බයිබලය මෙසේ කියන්නේ හොඳ හේතු ඇතුවයි: “තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේම ආශාව පස්සේ යමින්, සියලු යහපත් ප්‍රඥාවට විරුද්ධව ඇවිස්සෙන්නේය.”—හිතෝපදේශ 18:1.

ඊට පටහැනිව, ඔබේ බියවීම්වලට මුහුණ දීම, ඔබේ කාන්සාව අඩු කරගැනීමට ඔබට පෙලඹීමක් විය හැකියි.a වෛද්‍ය ජොන් ආර්. මාෂල් මෙසේ පවසයි: “විශේෂයෙන්ම ප්‍රසිද්ධියේ කතා කිරීම වැනි දෙයක් සම්බන්ධයෙන් බියෙන් කොටු වී සිටින අයට, එනම් සමාජ භීතිකාවෙන් පෙළෙන අපේ රෝගීන්ට අපි බොහෝවිට දිරිගන්වන්නේ, සමාජ සබඳතාවක් අවශ්‍ය තත්වයන්වලදී හා සංවිධානවලදී ක්‍රියාශීලී වීමට නොපැකිල තමන්ව ඉදිරිපත් කරන්න කියායි.”

ඔබ බිය වන තත්වයන්වලට මුහුණ දීමේදී, (1) ලජ්ජාවට පත් වන දෝෂ සිදු වුණත් බොහෝවිට අනිත් අයගේ ප්‍රතික්ෂේප කිරීමකට ලක් වන්නේ නැති බවත්, (2) ප්‍රතික්ෂේප කිරීමකට ලක් වුණත්, ඒක උහුලගන්න බැරි වෙන්නේ නැති බවත් ඔබට ඒත්තුගැන්වෙයි. එහෙත්, ඔබේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඉවසිලිවන්ත වන්න මතක තබාගන්න. එක රැයකින් යථා තත්වයට නොපැමිණෙන අතර, සමාජ භීතිකාවේ සියලු ලකුණු අතුරුදහන් වෙයි කියා අපේක්ෂා කිරීම යථාර්ථවාදීද නොවෙයි. වෛද්‍ය සැලි වින්ස්ටන් පවසන පරිදි, ප්‍රතිකාරයේ ඉලක්කය වන්නේ රෝග ලක්ෂණවලින් මිදීම නොව, නමුත් ඒවා ගණන් නොගෙන සිටීමට සැලැස්වීමයි. ඒවා ගණන් නොගන්නවා නම්, ඒවා පහ වී යයි; එහෙමත් නැත්නම් අඩුම තරමින් අඩු වී යයි කියා ඇය පවසනවා.

සමාජ බියවීම් ජයගැනීමට ක්‍රිස්තියානීන්ට ශක්තිමත් දිරි දීමක් තිබෙනවා. ඇත්තෙන්ම, “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. . . . අපේම රැස්වීම අත් [නාරිමු]” කියා ඔවුන්ට පවසා තිබෙනවා. (හෙබ්‍රෙව් 10:24, 25) ක්‍රිස්තියානි ක්‍රියාකාරකමට බොහෝවිට අන්‍යයන් සමඟ එකට කටයුතු කිරීම ඇතුළත්ව තිබෙන නිසා, ඔබේ සමාජ බියවීම් පාලනය කිරීමට වෙහෙසී කටයුතු කිරීම ඔබේ ආත්මික දියුණුවට ඉමහත් ආධාරයක් විය හැකියි. (මතෙව් 28:19, 20; ක්‍රියා 2:42; 1 තෙසලෝනික 5:14) යාච්ඤාවෙන් යෙහෝවා දෙවි ඉදිරියේ කාරණාව තබන්න; එවිට “සාමාන්‍යය ඉක්මවූ බලය” දානය කරන්න ඔහුට හැකියි. (2 කොරින්ති 4:7, NW; 1 යොහන් 5:14) අනුන්ගේ අනුග්‍රහය ලබාගැනීමට හා යෙහෝවාට ඕනෑ කරන දේ කිරීමට අවශ්‍ය දක්ෂතා වර්ධනය කිරීම සඳහා සමබර දෘෂ්ටියක් ඇති කරගන්න උපකාර කරන්න කියා යෙහෝවාගෙන් ඉල්ලා සිටින්න.

මෙයින් පෙළෙන හැම කෙනාගේම ගැටලු එක් එක්කෙනාට ආවේණික වන අතර, හැම කෙනෙකුටම විවිධ බාධාවන්ට මුහුණ දීමට හා විවිධ ශක්තීන් ඇති කරගැනීමට සිදු වන බව පිළිගත හැකියි. සාකච්ඡා කර ඇති යෝජනා යොදාගැනීමෙන් සමහරු සැලකිය යුතු දියුණුවක් ලබාගෙන තිබෙනවා. අමතර උපකාරය අවශ්‍ය විය හැකි අය සිටිනවා. උදාහරණයක් හැටියට, සමහරෙකුට ඖෂධ මගින් යහපතක් වී තිබෙනවා.b වෙනත් අය මානසික-සෞඛ්‍යය පිළිබඳ ප්‍රවීණයෙකුගේ උපකාරය පතා තිබෙනවා. පිබිදෙව්! එක්තරා විශේෂ ආකාරයේ ප්‍රතිකාරයක් නිර්දේශ කරන්නේ හෝ අනුමත කරන්නේ හෝ නැහැ. ක්‍රිස්තියානියෙකු එවැනි ප්‍රතිකාරයක් ලබාගත යුතුද යන්න පෞද්ගලික තීරණයක්. කෙසේවුවත්, ඔහු ලබාගන්නා ඕනෑම ප්‍රතිකාරයක් බයිබල් ප්‍රතිපත්ති හා නොගැටෙන බවට ඔහු පරෙස්සම් විය යුතුයි.

“අප සමාන ගති ඇති” මනුෂ්‍යයන්

දෙවිට ඔවුන්ගෙන් ඕනෑ කරන දේ කිරීමට පෞද්ගලික බාධාවන් ජයගත් ජනයාගේ සැබෑ-ජීවිත ආදර්ශ බයිබලයෙහි අඩංගු නිසා එය ඉමහත් දිරිගැන්වීමක් විය හැකියි. එලියා ගැන කල්පනා කර බලන්න. ඉශ්‍රායෙල්වරුන්ගේ ප්‍රමුඛ පෙළේ ප්‍රොපේතවරයෙකු හැටියට ඔහු අධිමානුෂික නිර්භීතකමක් වැනි යමක් විදහාපෑවා. එහෙත්, “එලියා අප සමාන ගති ඇති මනුෂ්‍යයෙක්” බව බයිබලය අපට සහතික කරනවා. (යාකොබ් 5:17) ඔහු අධික බිය හා කාන්සාවේ කාලපරිච්ඡේද අද්දැක්කේ නැතුවා නොවෙයි.—1 රාජාවලිය 19:1-4.

තමාගේම හැකියාවන් ගැන පැහැදිලිවම බලවත් සැකයන් ඇතුව ප්‍රේරිත පාවුල් “දුර්වලකමින්ද භයින්ද බොහෝ වෙවුලුමෙන්ද” කොරින්තියට ගියා. එමෙන්ම ඔහු යම් දුරකට අනුග්‍රහයක් නොමැති තත්වයකට මුහුණ දුන්නා. ඇත්තෙන්ම, ඇතැම් විරුද්ධවාදීන් පාවුල් ගැන මෙසේ පැවසුවා: “ළඟ සිටින විට ශරීරාකාරය දුර්වලය, කථාවද සුළුය.” එහෙත්, තමා ගැනම හා තමාගේ හැකියාවන් ගැන තමා හිතන ආකාරයට බලපෑම් කිරීමට, පාවුල් අන්‍යයන්ගේ විකෘති මතවලට ඉඩ හළ බවට ඇඟවීමක් නැහැ.—1 කොරින්ති 2:3-5; 2 කොරින්ති 10:10.

“කථාවට අදක්ෂවූ අදක්ෂ දිවක් ඇත්තාවූ කෙනෙක්මියි” පැවසූ මෝසෙස්ට, ඵාරාවෝ වෙත යෑමට තිබූ තම හැකියාව සම්බන්ධයෙන් එතරම් නිසැකකමක් තිබුණේ නැහැ. (නික්මයාම 4:10) ඔහුට උපකාර කරන්න යෙහෝවා දෙවි පොරොන්දු වූ විට පවා, මෝසෙස් මෙසේ ආයාචනා කළා: “නැත, ස්වාමීනි, වෙන කෙනෙක් යැව්ව මැනව.” (නික්මයාම 4:13, ටුඩේස් ඉංග්ලිෂ් ව’ෂන්) මෝසෙස්ට ඔහුගේ හැකියාවන් දකින්න බැරි වුණත්, යෙහෝවාට ඒවා දැකිය හැකි වුණා. ඔහු මෝසෙස්ව සැලකුවේ, පැවරුම ඉටු කිරීමට මානසිකව හා ශාරීරිකව සමර්ථයෙකු හැටියටයි. එහෙත්, යෙහෝවා මෝසෙස්ට ප්‍රේමනීයව උපකාරය සැපයුවා. තනිවම ඵාරාවෝට මුහුණ දෙන්න කියා ඔහු මෝසෙස්ට බල කළේ නැහැ.—නික්මයාම 4:14, 15.

යෙරෙමියාත් මේ සම්බන්ධයෙන් විශිෂ්ට ආදර්ශයක්. ඔහුව දෙවිගේ ප්‍රොපේතවරයා වශයෙන් පත් කළ විට, මේ තරුණ මිනිසා මෙසේ ප්‍රතිචාරය දැක්වුවා: “අනේ, ස්වාමිවූ [යෙහෝවා], මම කථාකරන්ට නොදනිමි, මක්නිසාද මම බාලයෙක්මි.” යෙරෙමියාගේ පැවරුම ඉටු කිරීමට ඔහුට සහජයෙන්ම ශක්තිය ලැබී තිබුණේ නැහැ. එහෙත්, යෙහෝවා ඔහු සමඟ සිටියා. “සුරක්ෂිත නුවරක්ද යකඩ කුළුනක්ද පිත්තල පවුරුද” වීමට ඔහු යෙරෙමියාට උපකාර කළා.—යෙරෙමියා 1:6, 18, 19.

එබැවින්, බියවීම් හා කාන්සාව ඔබව වේදනා විඳීමට පත් කළොත්, ඔබට ඇදහිල්ල නැති බවට හෝ යෙහෝවා ඔබව ප්‍රතික්ෂේප කර ඇති බවට හෝ නිගමනය නොකරන්න. ඊට පටහැනිව, ‘යෙහෝවා බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටින්නේය, තැළුණු ආත්ම ඇත්තන් ගළවන්නේය.’—ගීතාවලිය 34:18.

ඇත්තෙන්ම, බලවත් ඇදහිල්ලේ මිනිසුන් පවා නොසෑහීමේ හැඟීම් සමඟ පොරබැදූ බවට ඉහත සඳහන් කළ බයිබල් ආදර්ශ මගින් පෙන්වනවා. කෙනෙකුට සාධාරණව දිය හැකි දෙයට වඩා ඉල්ලා නොසිටීමෙන්, ඔවුන් අපේක්ෂා කරන්න ඇති දෙයට වඩා වැඩි දෙයක් ඉටු කිරීමට යෙහෝවා එලියාට, පාවුල්ට, මෝසෙස්ට හා යෙරෙමියාට උපකාර කළා. යෙහෝවා ‘අපේ ස්වභාවය දන්න නිසාත්, අප ධූලි බව සිහි කරන’ නිසාත්, ඔබටත් එසේ කිරීමට ඔහුට හැකි බවට සහතික වන්න.—ගීතාවලිය 103:14.

[පාදසටහන්වල]

a මේ පියවර ගන්න අමාරු බවක් පෙනෙනවා නම්, ඔබ බිය වන තත්වය තුළ ඔබ ඉන්නවායයි කල්පනා කරමින් නිකම් පුහුණු වෙන්න කියා සමහර වෛද්‍යවරු නිර්දේශ කරනවා. එවිට සිදු විය හැකි හැම දෙයක්ම වගේ මනසින් මවාගන්න. ඔබේ කාන්සාවේ මට්ටම වැඩි විය හැකියි; නමුත් අන්‍යයන්ගේ ප්‍රතික්ෂේප කිරීම ඔබ හිතන තරමටම දරුණු නොවිය හැකි බව ඔබටම සිහි කරවාගන්න. තවද එම දෘෂ්ටියට රුකුලක් වන අන්දමකින් ඒ තත්වයේ අවසානය ගැන සිතන්න.

b ඖෂධ ලබාගැනීමට කල්පනා කරන අය අවදානම් හා ප්‍රයෝජන කිරා මැන බැලිය යුතුයි. ඖෂධ ප්‍රතිකාරයක් වලංගු වන තරමටම භීතිකාව දරුණුද කියාත් ඔවුන් සලකා බැලිය යුතුයි. භීතිකාවෙන් පෙළෙන්නාගේ බියවීම් හා හැසිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රතිකාරයක් සමඟම ඖෂධ දුන් විට ඒවා වඩාත් හොඳින් ක්‍රියා කරන බව බොහෝ ප්‍රවීණයන්ට හැඟෙනවා.

[8වන පිටුවේ කොටුව]

ඔබේ හුස්ම ගැනීම ගැන සැලකිලිමත් වන්න!

තමන්ගේ හුස්ම ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් තම ශාරීරික රෝග ලක්ෂණවල තිව්‍රතාව අඩු කිරීමට සමාජ භීතිකාවෙන් පෙළෙන සමහරුන්ට හැකි වෙනවා. මුලදී, මෙය අමුතු දෙයක් මෙන් හැඟෙන්න පුළුවන්. අනික, හැම කෙනෙක්ම හුස්ම ගන්න හැටි දන්නවානෙ! නමුත් කාන්සාවේ ගැටලුවලින් පෙළෙන බොහෝදෙනෙක් නිසි ලෙස හුස්ම නොගන්නා බව ප්‍රවීණයන් පවසා සිටිනවා. බොහෝවිට, ඔවුන් ගැඹුරු හුස්මක් ගන්නේ නැහැ; ඉක්මනින් හුස්ම ගන්නවා; එහෙමත් නැත්නම් වුවමනාවට වඩා පපුවෙන් හුස්ම ගන්නවා.

හෙමින් හුස්ම ඉහළට පහළට ගැනීමට පුහුණු වන්න. කටෙන් හුස්ම නොගෙන නාසයෙන් හුස්ම ගන්නවා නම් මෙසේ කිරීම වඩාත් පහසු කරවනවා. එමෙන්ම, ඔබේ උඩු පපුවෙන් හුස්ම ගැනීමෙන් අධික ලෙස හුස්ම ගැනීමේ අවදානම වැඩි වන නිසා, ප්‍රාචීරයෙන් හුස්ම ගැනීමට ඉගෙනගන්න. මේ සම්බන්ධයෙන් ඔබව පරීක්ෂා කිරීම සඳහා සිටගන්නා විට එක අතක් ඔබේ ඉණට උඩින් තබාගෙන, අනිත් අත ඔබේ පපුව මැද තබාගන්න. හුස්මගන්නා අතරතුරේ මොන අතද වැඩියෙන් සෙලවෙන්නේ කියා බලන්න. එසේ සෙලවෙන්නේ ඔබේ පපුව මත තිබෙන අත නම්, ප්‍රාචීරයෙන් හුස්ම ගැනීම පුරුදු වීමට ඔබට සිදු වෙයි.

සැබවින්ම, හැම හුස්ම ගැනීමක්ම ප්‍රාචීරයෙන් එන්න අවශ්‍ය නැහැ. (ප්‍රාචීරයෙන් සහ පපුවෙන් හුස්ම ගැනීම අතර අනුපාතය 4ට 1ක් විතර වන නමුත්, සමහර අවස්ථාවලදී මෙය වෙනස් වනු ඇත.) පරෙස්සම් වීමට වචනයක් මෙන්න: එම්පිසිමාව නම් පෙණහලු රෝගය හෝ ඇදුම වැනි නිදන්ගත ස්වසන තත්වයන්වලින් පෙළෙන්නන් හුස්ම ගැනීමේ අලුත් ක්‍රම අත්හදා බැලීමට පෙර වෛද්‍යවරයෙකු හමු විය යුතුයි.

[9වන පිටුවේ කොටුව]

බිය සන්ත්‍රාසයට මඟ පාදන විට

සමාජ භීතිකාවෙන් පෙළෙන සමහරුන්ට කාන්සාව කෙතරම් අධික වෙනවාද කියනවා නම් එය සන්ත්‍රාස ප්‍රහාරයකට මඟ පාදයි. මෙම හදිසි, මැඩලිය නොහැකි බිය බොහෝවිට ඊට ගොදුරුවන්නාව අධික ලෙස හුස්ම ගැනීමට, කලන්තේ ගතිය ඇතිවීමට මෙන්ම තමාට හෘදයාබාධයක් තිබෙනවායයි ඔහුට හෝ ඇයට විශ්වාස කිරීමට සලස්වයි.

ප්‍රහාරයට එරෙහිව සටන් නොකිරීම හොඳම දෙය බවට ප්‍රවීණයන් පවසනවා. ඒ වෙනුවට, කාන්සාව පහවන තුරුම එය ‘විඳදරාගන්න’ කියා ඔවුන් එයින් පෙළෙන්නාට උපදෙස් දෙනවා. “ඒක ඇති වුණහම නවත්වගන්න බැහැ” කියා ජෙරලින් රොස් පවසනවා. “ඒකෙ මුළු ක්‍රියාවලියම සිද්ධ වෙන්න ඕනෙ. ඒක බියගන්වනසුලු වුණත් හානියක් නැහැයි කියා දිගටම ඔබටම කියන්න. ඒක පහ වෙලා යයි.”

අංගණභීතිකාවට ප්‍රතිකාර කරන ආයතනයක අධ්‍යක්ෂක මෙල්වන් ග්‍රීන් මේ ප්‍රහාරය මුහුදු වෙරළ කරා ඇදී එන්නාක් මෙන් පෙනෙන කුඩා රැල්ලකට සමාන කරනවා. “ඒක ඔබේ කාන්සාවේ මුල් හැඟීම් නියෝජනය කරනවා” කියා ඔහු පවසයි. “රැල්ල ගොඩ බිම කරා ළඟා වෙද්දී එය එන්න එන්නම විශාල වෙනවා. ඔබේ කාන්සාවේ හැඟීම් වර්ධනය වීම එමගින් නියෝජනය වෙනවා. මොහොතකින් රැල්ල ඉතා විශාල වී ඉහළටම නඟිනවා. ඊට පස්සේ ඒක මුහුදු වෙරළෙහි විසිරී යන තුරුම, ක්‍රම ක්‍රමයෙන් කුඩා රැලි බවට පෙරළෙනවා. මේ රූපය කාන්සා ප්‍රහාරයේ පටන්ගැන්ම හා අවසානය නියෝජනය කරනවා.” එයින් පෙළෙන්නන් හැඟීම්වලට එරෙහිව සටන් නොකළ යුතු නමුත්, ඒවා පහ වී යන තුරුම ඒවායේ ක්‍රියාවලිය සිදුවීමට ඉඩහැරිය යුතුයි කියා ග්‍රීන් පවසනවා.

[8, 9 යන පිටුවේ පින්තූර]

කාන්සාව අඩු කිරීමට ඔබේ ආහාර ගැන සැලකිලිමත් වන්න; නිතිපතා ව්‍යායාමයේ යෙදෙන්න; නිසි විවේකය ලබාගන්න

[10වන පිටුවේ පින්තූරය]

ඔවුන් අපේක්ෂා කරන්න ඇති දෙයට වඩා වැඩි දෙයක් ඔවුන්ගේ සේවයේදී ඉටු කිරීමට යෙහෝවා මෝසෙස් වැනි මිනිසුන්ට උපකාර කළා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න