බයිබලයේ දෘෂ්ටිකෝණය
සතුන්ට හිංසා කිරීම—එය වැරදිද?
මධ්‍යම අමෙරිකාවේ ක්‍රීඩා භූමියක සිටින සියල්ලන්ගේ නෙත් මුළුමනින්ම යොමු වී තිබෙන්නේ කුකුළන් දෙදෙනෙකු වෙතයි. එකෙක් රතු පාටයි, අනෙකා සුදුයි. ඉතා තියුණු මුවහත් පිහියක් පාදයේ ගැටගසා ඇති රතු කුකුළා, සුදු කුකුළාට වැරෙන් පහරක් එල්ල කරන විට පිරිස ඔල්වරසන් දෙයි. තරඟ විනිසුරු කුකුළන් දෙදෙනාව අතින් ඔසවාගනී. සුදු එකා දැන් කිසිම හැලහොල්මනක් නෑ. ඌ මැරිලා, ලේවලින් නැහැවිලා. කුකුල් පොරය අවසන්.
දකුණු පිලිපීනයේ අශ්වයන් දෙදෙනෙකුව එකිනෙකාට එරෙහිව සටන් කිරීමට දමනවා. එකිනෙකාගේ කන්, බෙල්ල, හොම්බ සහ ශරීරයේ අනිකුත් කොටස් සපාකමින් වේදනාවෙන් පෙළෙන අශ්වයන්ගේ බිහිසුණු දසුන නරඹන්නන් බලා සිටිනවා. සමහරවිට දෙදෙනාම භූමියෙන් සමුගන්නේ පණපිටින් වූවත්, අඩුම තරමින් උන්ගෙන් එකෙකුවත් අබ්බගාතව හෝ අන්ධව එසේත් නැතිනම් තුවාලවලින් වේදනා විඳින අතර, අවසානයේදී එය මරණයට හේතු වෙනවා.
රුසියාවේ, සුනඛයන් දෙදෙනෙක් එකිනෙකා හපාකයි. කෙටි කාලයක් තුළදී ඇස් එළියට ඇද දමා, කන් ඉරාගෙන, කැඩුණු පාද ඇතුව උන් එහා මෙහා ගමන් කරමින් සිටින අතර, ඉරීගිය මාංසයෙන් රුධිරය වෑහෙයි.
ශතවර්ෂ ගණනාවක් පුරා ක්‍රීඩාවේ නාමයෙන් මිනිසා සතුන්ව, එකිනෙකාට එරෙහිව සටනට යොදාගෙන තිබෙන අතර, නිතරම ඒ සඳහා පොලඹවන බලවේගය වී තිබෙන්නේ සූදුවයි. ගව සටන්, නරි දඩයම් සහ මකුළු සටන් පවා මෙම ලැයිස්තුවට එකතු වෙනවා. මීට අමතරව විද්‍යාවේ නාමයෙනුත් බොහෝ සතුන් දුක් වේදනා අද්දකිනවා. තවදුරටත්, හිතාමතාම හෝ නොදැනුවත්කමින් උන්ගේ අයිතිකරුවන් උන්ව නොසලකාහැරීම නිසා සතුන් අසංඛ්‍යාත ප්‍රමාණයක් දුක් විඳිනවා.
සමහර රටවල්වල සතුන්ට සලකන ආකාරය හැසිරවීමට සහ හිංසාකාරි ක්‍රියාවන් තහනම් කිරීමට නීති පනවා තිබෙනවා. එක්දහස් හයසිය හතළිස්එක තරම් දුරාතීතයේදී, මැසචුසෙට්ස් ප්‍රජාව විසින් “ස්වාධීන හිමිකම් පිළිබඳ නීති සංග්‍රහය” පිහිටෙවූ අතර, එහි මෙසේ සඳහන් වුණා: “සාමාන්‍යයෙන් මිනිසාගේ ප්‍රයෝජනය සඳහා සිටින කිසිම තිරිසන් සත්වයෙක්ව, කිසි මිනිසෙක් විසින් කෲරත්වයෙන් හෝ හිංසාසහගතව නොසැලකිය යුතුයි.” එවක් පටන්, සතුන්ට එල්ල වන හිංසා කිරීම්වලින් උන්ව ආරක්ෂා කිරීමට නීති සම්මත වී තිබෙන අතර, ඒ සඳහා සංවිධාන පිහිටුවා තිබෙනවා.
ඉහත සඳහන් කළ සටන් ක්‍රීඩාවලට අනුග්‍රහය දක්වන්නන් තවමත්, තමන් සතුන්ට හිංසා කිරීමට දිරිදෙන්නන් හැටියට පිළිගන්නේ නැහැ. ඇතැම් අය කියා සිටින්නේ, කෲර ලෙස වේදනා විඳීමට හා මියයෑමට සලස්වන එම සතුන්ට ඔවුන් කරුණාව දක්වනවා කියායි. කෑම බඳුනේ සැතපෙන්න ඉරණම අත් වන සාමාන්‍ය කුකුළන්ට වඩා, තමන්ගේ කුකුළන් වැඩි කාලයක් ජීවත් වන බව කුකුළු පොරලෝලීන් පැවසුවත්, ඒක මොන සැනසිල්ලක්ද!
හිංසා කිරීම වැරදි ඇයි?
සතුන්ගෙන් ප්‍රයෝජන ගැනීමට දෙවි අපට අවසර දෙනවා. ආහාර සහ ඇඳුම් පැළඳුම් සපයාගැනීම සඳහා හෝ උපද්‍රවවලින් අපව ආරක්ෂා කරගැනීම සඳහා සතුන්ව මැරීමට බයිබල් ප්‍රතිපත්ති අපට ඉඩ දෙනවා. (උත්පත්ති 3:21; 9:3; නික්මයාම 21:28) කොහොම වුණත්, ජීවිතය දෙවිට පරිශුද්ධයි. සතුන් සඳහා වූ අපේ ආධිපත්‍යය, ජීවිතයට ගෞරවය පෙන්වන ආකාරයෙන් සමබරව පාවිච්චි කළ යුතුයි. පෙනෙන විදිහට හුදු විනෝදය තකා සතුන්ව සහ ඇතැම්විට මිනිසුන්ව පවා ඝාතනය කළ නිම්රොද් නමැති මනුෂ්‍යයෙක් ගැන බයිබලය හෙළාදකිමින් කතා කරනවා.—උත්පත්ති 10:9.
සතුන් සඳහා තිබෙන දෙවිගේ බලවත් සැලකිල්ල මෙම වදන්වලින් යේසු පැවසුවා: “ගේ කුරුල්ලන් පස් දෙනෙක් ශත දෙකකට නොවිකුණද්ද? උන්ගෙන් එකෙක්වත් [දෙවි] ඉදිරියෙහි මතකනැති නොවන්නේය.” (ලූක් 12:6) ඒ වගේම දුෂ්ටකමේ ව්‍යවහාරයන්ගෙන් ගහනව තිබී, පසුව පසුතැවිලි වී තිබුණු නගරයක් විනාශ කිරීමට වූ තම අදහස වෙනස් කළ විට, දෙවි මෙසේ පැවසුවා: “එක්ලක්ෂ විසිදහසකට වඩා මනුෂ්‍යයන්ද බොහෝ මෘගයන්ද සිටින්නාවූ නිනිවය නම්වූ ඒ මහත් නුවර කෙරෙහි මාත් අනුකම්පාකළ යුතු [නොවේද?].” (යෝනා 4:11) නිසැකවම, හිතුමතේට ඉවත දැමිය හැකි දේවල් ලෙස ඔහු සතුන්ව සලකන්නේ නැහැ.
ඉශ්‍රායෙලිතයන්ට විවිධ නීති දෙන විට, සුදුසු ලෙස සතුන්ව බලාගන්න ආකාරය දෙවි ඔවුන්ට ඉගැන්වූවා. මංමුළා වූ සතෙකුව උගේ අයිතිකාරයාට භාර දීමත්, අනතුරකට පත්ව ඇති සතුන්ට උපකාර කිරීමත් ඔහු ඔවුන්ගෙන් අපේක්ෂා කළා. (නික්මයාම 23:4, 5) හරියට මනුෂ්‍යයන්ට වගේම සතුන්ටත් සබත් නිවාඩුවෙන් ප්‍රයෝජන ලබන්න නියමව තිබුණා. (නික්මයාම 23:12) ගොවිපොළේ සිටින සතුන්ව හොඳාකාරයෙන් බලාකියා ගැනීම සම්බන්ධව නීති පනවා තිබුණා. (ද්විතීය කථාව 22:10; 25:4) නිසැකවම, සතුන් තමන්ගේ ප්‍රයෝජනයට අනිසි ලෙස යොදා නොගත යුතු වූ අතර, උන්ව රැකබලා ගත යුතුව තිබුණා.
හිතෝපදේශ 12:10හි පැහැදිලිව දෙවිගේ දෘෂ්ටිය මෙසේ සඳහන් කරනවා: “ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ ප්‍රාණය ගැන සලකන්නේය; එහෙත් දුෂ්ටයන්ගේ මෘදු අනුකම්පා කෲරය.” බයිබල් විස්තර විචාරයක මෙම බයිබල් පදය මෙයාකාරයෙන් විස්තර කෙරේ: “ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ගේ කරුණාව තිරිසන් සතුන් වෙත පවා විහිදී යනවා; නමුත් තමා මෘදු ලෙස සලකනවාය කියා සිතන විටදී පවා, දුෂ්ට මනුෂ්‍යයා කෲරයි.”—විලියම් මැක්ඩොනල් විසින් සම්පාදනය කළ, අදහන්නන්ගේ බයිබල් විවරණය (ඉංග්‍රීසියෙන්).
ධර්මිෂ්ඨ මනුෂ්‍යයා සතුන්ට කරුණාවන්තව සලකන අතර, උන්ගේ අවශ්‍යතාවන් දැනගැනීමට උත්සුක වෙනවා. දුෂ්ට පුද්ගලයෙක් කට වචනයෙන් සතුන්ට කරුණාව ප්‍රකාශ කළ හැකි නමුත්, ඔහුගේ ‘මෘදු අනුකම්පාව’ පවා ඇත්තෙන්ම කෲරයි. ඔහුගේ මනසේ තිබෙන ආත්මාර්ථකාමී අභිප්රායන් ඔහුගේ ක්‍රියා තුළින් හෙළි වෙනවා. මුදල් දිනාගැනීමේ අටියෙන් සතුන්ව එකිනෙකාට එරෙහිව සටනට යොදන අය සම්බන්ධයෙන් මෙය කොතරම් සැබෑද!
සතුන්ට සහනය
දෙවිගේ මුල් අරමුණ වූයේ, මිනිසා විසින් “මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම්” කිරීම බව ඇත්තයි. (උත්පත්ති 1:28) එම අරමුණ තුළ, සතුන්ට හිංසා කිරීමට කිසිම තැනක් දී නැහැ. සතුන්ව අමානුෂික ආකාරයෙන් සැලකීම සදහටම පවතින්න යන්නේ නැහැ. දෙවි විසින් සියලුම අනවශ්‍ය දුක් වේදනාවන් නතර කරයි කියා සිතීමට අපට හේතු තිබෙනවා. නමුත් කොහොමද?
දුෂ්ට සහ කෲර මනුෂ්‍යයන්ව අතුගා දමන්න ඔහු පොරොන්දු වෙනවා. (හිතෝපදේශ 2:22) සතුන් සම්බන්ධයෙන් හොෂෙයා 2:18හි මෙසේ පවසනවා: “ඒ කාලයේදී මම ඔවුන් උදෙසා වනයේ මෘගයන්ද ආකාශයේ පක්ෂීන්ද භූමියේ බඩගායන සතුන්ද සමග ගිවිසුමක් කරන්නෙමි. . . . ඔවුන් සුවසේ සැතපෙන්ට සලස්වන්නෙමි.” අවංක මනුෂ්‍යයන් පමණක් නොවෙයි නමුත් සතුන් පවා සාමකාමී තත්වයෙන් ප්‍රයෝජන ලබන විට, එම කාලය තුළ ජීවත් වීමට ලැබීම මොනතරම් ආශ්චර්යවත් දෙයක් වෙයිද!
[26වන පිටුවේ පින්තූරය]
ෆ්රැන්සිස්කෝ ගෝයාගේ “ගම්මානක ගව සටන”