යෞවන අය අසති . . .
ඇයි මට අම්මා තාත්තා නැතුව ජීවත් වෙන්න වෙලා තියෙන්නේ?
“අම්මා, තාත්තා නැතුව මගේ ජීවිතේ මොන වගේ එකක් වුණා කියලද හිතන්නේ? හුඟාක් හේතු හින්දා ඒක හරිම දුක්මුසු එකක් වුණා කියලයි මට කියන්න තියෙන්නේ. කාටහරි දෙමව්පියන්ගේ සෙනෙහසත් ආදරයත් නැතුව ලොකුමහත් වෙන්න සිද්ධ වෙනවා කියන්නේ හරිම අමාරු දෙයක්.”—හ්වාකින්.
“මම ලොකුම අභියෝගයට මුහුණ දුන්නේ, දෙමව්පියන්ට ඇවිත් පාසැලේ ප්‍රගති වාර්තාවට අත්සන් කරන්න සිද්ධ වෙච්ච දවස්වලයි. මට ලොකු දුකකුත්, තනිකමකුත් දැනුණා. සමහර වෙලාවට මට තාමත් ඒ විදියට හැඟෙනවා.”—16 හැවිරිදි ඇබලීනා.
මිලියන ගණනක් යෞවනයන්ට දෙමව්පියන් නැතුව වැඩෙන්න සිදුවීම අපේ කාලයේ තිබෙන ඛේදවාචකයක්. නැඟෙනහිර යුරෝපයේ දහස් ගණනක් යුද්ධය නිසා අනාථ වී තිබෙනවා. අප්‍රිකාවේ ඒඩ්ස් වසංගතය එවැනිම විනාශයක් සිදු කර තිබෙනවා. සමහර දරුවන්ව නිකම්ම ඔවුන්ගේ දෙමව්පියන් විසින් අතහැර දමා තිබෙනවා. යුද්ධය හෝ ස්වාභාවික ආපදා මගින් පවුල් වෙන් කර තිබෙනවා.
බයිබල් කාලවලදී පවා මෙයාකාර තත්වයන් පොදු දෙයක් වුණා. උදාහරණයකට, මව්පියන් නැති දරුවාගේ දුඃඛිත තත්වය ගැන ශුද්ධ ලියවිලිවල නැවත නැවතත් සඳහන් වෙනවා. (ගීතාවලිය 94:6; මලාකී 3:5) ඒ කාලයේ, යුද්ධ සහ ඛේදජනක තත්වයන් නිසාත් පවුල් දෙකඩ වී තිබුණා. සිරියානු කොල්ලකරුවන් කණ්ඩායමක් විසින් තම දෙමව්පියන්ගෙන් පැහැර ගනු ලැබූ තරුණ කෙල්ලක් ගැන බයිබලයෙහි සඳහන් වීමෙන් මෙය පැහැදිලි වෙනවා.—2 රාජාවලිය 5:2.
ඇතැම්විට ඔබ, දෙමාපියන් නැති මිලියන ගණනක් යෞවනයන් අතුරින් කෙනෙක් වන්ට පුළුවන්. එසේ නම්, එවැනි තත්වයක් කොතරම් වේදනාකාරි විය හැකිද කියා ඔබ දන්නවා. මෙය ඔබට සිදු වී තිබෙන්නේ ඇයි?
ඔබේ වරදකින් නොවෙයි
දෙවි යම් ආකාරයකින් ඔබට දඬුවම් කරමින් සිටිනවා කියා ඔබ සිතමින් ඉන්නවාද? නැතිනම් ඔබේ දෙමාපියන්ගේ මියයෑම, හරියට ඔවුන්ගේ උවමනාවෙන් කළ දෙයක් හැටියට සලකා, ඔවුන් කෙරෙහි දැඩි කෝපකාරිබවක් ඔබට හැඟෙන්න පුළුවන්. ප්‍රථමයෙන්ම, දෙවි ඔබත් සමඟ උරණ නැති බවට නිසැක වන්න. ඒ වගේම ඔබේ දෙමාපියන් හිතාමතාම ඔබව අත්හැර යන්න තෝරගත්තේ නැහැ. මරණය අසම්පූර්ණ මනුෂ්‍යයන්ගේ වේදනාකාරි උරුමය වන අතර, එය සමහරවිට තම දරුවන් තවමත් ළාබාලව සිටිද්දී දෙමව්පියන්ට සිදු වෙන්න පුළුවන්. (රෝම 5:12; 6:23) පෙනෙන ආකාරයට යේසුස් ක්‍රිස්තුස් තම ආදරණීය සුරැකි පියා වන යෝසෙප්ගේ මරණය අද්දුටුවා.a ඇත්තෙන්ම එය යේසුගේ පාපයක් හේතුවෙන් සිදු වූවක් නොවෙයි.
“කටයුතු කිරීමට අසීරු, අර්බුදකාරි කාලවල්වල” [NW] අප ජීවත් වන බවත් අවබෝධ කරගන්න. (2 තිමෝති 3:1-5) මේ ශතවර්ෂය තුළ, සැහැසියාව, යුද්ධ සහ අපරාධ හේතුවෙන් මිලියන ගණනක් මිනිසුන්ව ඉවක් බවක් නැතුව මරා දමා තිබෙනවා. වෙනත් අය ඕනෑම කෙනෙක්ට සිදු විය හැකි “කාලයත් හදිසි කාරණාත්” නිසා, ඒවායේ ගොදුරු බවට පත් වී තිබෙනවා. (දේශනාකාරයා 9:11) ඔබේ දෙමාපියන්ගේ මරණය කොතෙක් වේදනාකාරි වෙන්න පුළුවන් වුණත්, එය සිදු වී ඇත්තේ හුදෙක් ඔබේ වරද නිසා නොවෙයි. තමාටම දොස් පවරාගනිමින් වේදනා ඇති කරගැනීමෙන් හෝ ශෝකයෙන් ගිලෙනවාට වඩා, නැවත නැඟිටුවීමේ දෙවිගේ පොරොන්දුවෙන් සහනය ලබාගන්න.b යේසු මෙසේ පුරෝකථනය කළා: “මේ ගැන මවිත නොවෙන්න. මක්නිසාද [සිහිවීමේ, NW] සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ, . . . පිටත්ව එන්නෝය.” (යොහන් 5:28, 29) මුලින් සඳහන් කළ ඇබලීනා මෙසේ පවසනවා: “යෙහෝවාට තියෙන මගේ ප්‍රේමයත්, නැවත නැඟිටීමේ බලාපොරොත්තුවත් මට ලොකු උපකාරයක් වෙලා තියෙනවා.”
එහෙත් ඔබේ දෙමව්පියන් තවමත් ජීවතුන් අතර සිටියත්, ඔබව අතහැර දමා තිබෙනවා නම් තත්වය කුමක්ද? දරුවන්ව ඇති දැඩි කිරීමත්, ඔවුන්ට සැපයීමත් දෙවි දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. (එපීස 6:4; 1 තිමෝති 5:8) කොහොම වුණත් කනගාටුදායක ලෙස සමහර දෙමාපියන්, පුදුමයට පත් කරවන ආකාරයේ ‘ජන්ම ස්නේහයේ’ ඌනතාවක් තම දරුවන් වෙත විදහාපෙන්වා තිබෙනවා. (2 තිමෝති 3:3) තවත් අය සම්බන්ධයෙන් ගත් විට, අන්තයටම ගිය දුගීබවේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ, සිරගත වීමේ හෝ මත්පැන්වලට ඇබ්බැහි වීමේ අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ අත්හැර දැමීමයි. හුදු ආත්මාර්ථකාමිත්වය නිසා තම දරුවන්ව අතහරින දෙමව්පියනුත් සිටින බව පිළිගත යුතු කාරණයක්. හේතුව කුමක් වුණත්, කෙනෙක් දෙමව්පියන්ගෙන් වෙන් වී සිටීම හරිම ඛේදජනක දෙයක්. නමුත් මෙයින්, ඔබේ යම් වරදක් තිබෙනවා කියා හෝ වරදකාරිබවේ හැඟීමකින් ඔබ වේදනා විඳීමට අවශ්‍යයි කියා හෝ අදහස් වෙන්නේ නැහැ. ඇත්තෙන්ම ඔබට සලකා ඇති ආකාරය, ඔබේ දෙමව්පියන් විසින් දෙවිට ගණන් දීමට සිදු වන කාරණයක්. (රෝම 14:12) ඇත්තවශයෙන්ම, ස්වාභාවික ආපදාවක් හෝ අසනීප වගේ ඔබේ දෙමව්පියන්ට පාලනය කළ නොහැකි තත්වයන්ගේ බලපෑම නිසා, ඔවුන්ට ඔබෙන් වෙන්වීමට සිදු වෙලා තිබෙනවා නම්, ඒ සම්බන්ධයෙන් කිසි කෙනෙක්ට දොස් කියන්න බැහැ. එය සිදු වන කාලය ඈතයි වගේ පෙනෙන්ට තිබුණත් නැවත එක්වීමේ බලාපොරොත්තුව සැමවිටම අප හමුවේ තිබෙනවා.—උත්පත්ති 46:29-31 සසඳන්න.
කම්පිත කරවන අද්දැකීමක්
ඒ අතරතුර, බැරෑරුම් ප්‍රශ්න ගණනාවකට ඔබට මුහුණ දීමට සිදු විය හැකියි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මගින් කළ යුද මැද සිටින දරුවන් නමින් හැඳින්වූ අධ්‍යයනයක් මෙසේ අනාවරණය කරනවා: “වැඩියෙන්ම අනතුරුවලට ගොදුරු වන දරුවන් වන්නේ කිසිම හව්හරණයක් නැති දරුවනුයි. මේ අය පණ කෙන්ද රැකගැනීමට මහත් කටුක බාධකවලට මුහුණ දෙන අතර, සාමාන්‍ය වර්ධනයට අවශ්‍ය උපකාරයවත් හරිහැටි ඔවුන්ට ලැබෙන්නේ නැති අතර, අනිසි ලෙස යොදාගැනීම්වලටද ලක් වෙනවා. දෙමව්පියන්ගෙන් වෙන්වීම, දරුවෙකුට වඩාත් කම්පිත කරවන පාඩුවලින් එකක් වෙන්න පුළුවන්.” ඇතැම්විට ඔබ අසහනකාරි සහ අනාරක්ෂිතබවේ හැඟීම් සමඟ පොරබදිමින් සිටින බව හැඟෙන්න පුළුවන්.
කලින් සඳහන් කළ හ්වාකින්ව නැවත මතක් කරගන්න. ඔහුගේ දෙමව්පියන් වෙන් වූ නිසා ඔහුවත්, ඔහුගේ සහෝදර සහෝදරියන්වත් අතහැර ගියා. ඒ වන විට ඔහුට යන්තමින් අවුරුද්දක් පිරී තිබූ අතර, ඔහුව හදා වඩා ගත්තේ ඔහුගේ අක්කලා විසිනුයි. ඔහු මෙසේ පැහැදිලි කරනවා: “මගේ යාළුවන්ට හිටියා වගේ, අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඇයි අපිට හිටියේ නැත්තේ කියලා අහන්න මම පුරුදු වෙලා හිටියා. ඒ වගේම තාත්තා කෙනෙක් එයාගේ පුතත් එක්ක සෙල්ලම් කර කර ඉන්නවා දැක්කම, එයා මගේ තාත්ත නං කියලා මට හිතුණා.”
උපකාරය ලබාගැනීම
දෙමාපියන් නැතුව ඇති දැඩි වීම ඉතාමත් අසීරු කාර්යයක් විය හැකි වුණත්, ඔබ අසාර්ථක පුද්ගලයෙක් වෙන්න යන බව එයින් අදහස් කරන්නේ නැහැ. උපකාරය සහ සහයෝගය ලැබීම තුළින් නිකම්ම ජීවිතය ගැටගහගන්න විතරක් නෙවෙයි, නමුත් ඔබගේ ජීවිතය සඵල කරගන්න පවා පුළුවන්. විශේෂයෙන්ම ඔබ දුකින් සහ දැඩි ශෝකයෙන් පෙළෙනවා නම් මෙය විශ්වාස කිරීමට අමාරු දෙයක් හැටියට පෙනෙන්න පුළුවන්. කොහොම වුණත්, එයාකාර හැඟීම් සාමාන්‍ය බවත්, ඒවා සදහටම ඔබව පීඩාවට ලක් කරන්නේ නැති බවත් අවබෝධ කරගන්න. දේශනාකාරයා 7:2, 3හි අපට මෙසේ කියවීමට තිබෙනවා: “මංගල්‍ය ගෙදරට යාමට වඩා වැලපීමේ ගෙදරට යාම හොඳය. . . සිනාසීමට වඩා ශෝකවීම හොඳය. මක්නිසාද මුහුණේ දුඃඛිතකමෙන් ආත්මයට හොඳක් සිදුවේ.” ඉතාමත් දුක්මුසු අවස්ථාවක් උද්ගත වී තිබෙන විට, හැඬීම සහ ශෝකවීම ඇත්තෙන්ම සාමාන්‍ය දෙයක් වන අතර එය මනසට සුවය ගෙන දෙයි. ඒ වගේම තේරුම්ගත හැකි මිතුරෙකුට හෝ සභාවේ සිටින මේරූ ක්රිස්තියානිවරයෙකුට විශ්වාසයෙන් යුතුව කීමත්, ඔබ අද්දකිමින් සිටින වේදනාව ගැන කතා කිරීමත් ප්‍රයෝජනවත් බව ඔබට වැටහෙන්න පුළුවන්.
හුදකලාව සිටීමට ඔබවම වෙන් කරගන්න පෙලඹවීමක් ඇති වෙන්න පුළුවන් බව ඇත්තයි. නමුත් හිතෝපදේශ 18:1හි මෙසේ අනතුරු අඟවනවා: “තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේම ආශාව පස්සේ යමින්, සියලු යහපත් ප්‍රඥාවට විරුද්ධව ඇවිස්සෙන්නේය.” කරුණාවන්ත සහ තේරුම්ගන්නාසුලු කෙනෙකුගේ උපකාරය සොයන එක වඩාත් සුදුසුයි. හිතෝපදේශ 12:25, නව අනුවාදයෙහි මෙසේ සඳහන් වෙනවා: “සිත්තැවුල මිනිස් සිතට පීඩා කරයි. කාරුණික වචනය සිතට ප්‍රීතිය දෙයි.” ඔබට එම “කාරුණික වචන” ලබාගත හැක්කේ ඔබ කාටහරි ඔබේ “සිත්තැවුල” ගැන පැවසුවොත් විතරයි.
කා සමඟද ඔබට කතා කරන්න පුළුවන්? උපකාරය ක්‍රිස්තියානි සභාව තුළින් සොයන්න. ඔබට ආදරය කරන ඔබ ගැන සැලකිලිමත් වන “සහෝදරයන්ද, සහෝදරියන්ද, මවුවරුන්ද” එහිදී ඔබට සොයාගත හැකි බවට යේසු පොරොන්දු වෙනවා. (මාර්ක් 10:30) හ්වාකින් මෙසේ මතකයට නඟනවා: “ක්‍රිස්තියානි සහෝදරයන් එක්ක ආශ්‍රය කිරීම ජීවිතය වෙනස් විදිහකින් දකින්න මට හැකි කෙරෙව්වා. හැමදාම රැස්වීම්වලට යෑම යෙහෝවාට වැඩියෙන් ප්‍රේම කරන්නත් ඔහුට සේවය කරන්නත් මඟ පෑදුවා. මේරූ සහෝදරයන් මගේ පවුලට ආත්මික උපකාර සහ උපදෙස් දුන්නා. අද, මගේ සමහර සහෝදර සහෝදරියන් පූර්ණ කාලීන සේවකයන්.”
යෙහෝවා “පියා නැත්තන්ට පියෙක්” වන බවත් මතක තියාගන්න. (ගීතාවලිය 68:5, 6) බයිබල් කාලවලදී, කාත් කවුරුත් නැති අනාථ වූ දරුවන් සමඟ අනුකම්පාසහගතව සහ සාධාරණ ලෙස කටයුතු කිරීමට දෙවි ඔහුගේ ජනයාව පෙලඹෙව්වා. (ද්විතීය කථාව 24:19; හිතෝපදේශ 23:10, 11) එමෙන්ම දෙමාපියන් නැති දරුවන් සඳහා ඔහුගේ තිබූ ඒ සැලකිල්ල අදත් එලෙසම තිබෙනවා. එමනිසා, ඔහු ඔබ කෙරෙහි සැලකිල්ල දක්වන බවටත් ඔහු පිළිතුරු දෙන බවටත් නිසැකකමකින් යුතුව යාච්ඤාවෙන් දෙවි වෙතට හැරෙන්න. දාවිත් රජ මෙසේ ලිව්වා: ‘මාගේ පියාද මවුද මා අත්හැරියෝය, නමුත් යෙහෝවා මා පිළිගන්නේය. යෙහෝවා කෙරෙහි බලාසිටුව. ශක්තිමත් වෙව, ඔබගේ සිත ධෛර්යවත් වේවා.’—ගීතාවලිය 27:10, 14.
ඒ වුණත් දෙමව්පියන් නැති දරුවෙක් එදිනෙදා අභියෝග ගණනාවකට මුහුණ පානවා. ඔබ ජීවත් වෙන්නේ කොහේද? ඔබ ආර්ථිකමය අතින් රැකෙන්නේ කොහොමද? මෙම සමහරක් අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ආකාරය ඉදිරි ලිපියකින් සාකච්ඡා කරන්න යනවා.
[පාදසටහන්වල]
a යේසු තම මරණයට ප්‍රථමයෙන්, තම මවව රැකබලා ගැනීමට ඔහුගේ ගෝලයෙක් වන යොහන්ට බාර දුන්නා. නමුත් මේ වගේ දෙයක් ඔහුගේ සුරැකි පියා වන යෝසෙප් ජීවතුන් අතර සිටියා නම්, ඇති නොවෙන්ට ඉඩ තිබුණා.—යොහන් 19:25-27.
b දෙමාපියෙකුගේ මරණය සමඟ සාර්ථකව කටයුතු කිරීම සම්බන්ධව තොරතුරු දැනගැනීමට 1994 දෙසැම්බර් 8වනදා සහ 1995 ජනවාරි 8වනදා පිබිදෙව්! කලාපවල “යෞවන අය අසති . . .” ලිපි බලන්න.
[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“යෙහෝවාට තියෙන මගේ ප්‍රේමයත්, නැවත නැඟිටීමේ බලාපොරොත්තුවත් මට ලොකු උපකාරයක් වෙලා තියෙනවා”
[13වන පිටුවේ පින්තූරය]
ඇතැම් අවස්ථාවලදී තනිකමේ හැඟීම්වලින් ඔබ යටපත් වී සිටිනවා විය හැකියි
[14වන පිටුවේ පින්තූරය]
ඔබට උපකාර කරන්න සහ ඔබව ධෛර්යවත් කරන්න පුළුවන් මිත්‍රයන් සභාවේ සිටිනවා