රුසියානු විනිශ්චය මණ්ඩලය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව නිදොස් කරයි
ජන සන්නිවේදන මාධ්‍යය මගින් තමන් ගැන ඉදිරිපත් කරන වාර්තා වගකීමකින් යුතුව සූදානම් කර ඇති විට, යෙහෝවාගේ සාක්ෂිකරුවන් එවන් වාර්තා කැමැත්තෙන් පිළිගනියි. තවදුරටත්, තමන් ගැනත් තම ආගමික විශ්වාසයන් හා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමටත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් කැමතියි. කොහොම වුණත්, තමන් ගැන සාවද්‍ය හෝ අවමන්සහගත ලිපියක් පළ වූ විටෙක, සාක්ෂිකරුවන් තම ආගමික හා සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩුමය අධිකාරීන්ට අභියාචනා කරයි. මෑතකදී සිදු වූ සිද්ධියක් සලකා බලන්න.
වර්ෂ 1997 අගෝස්තු 1වනදා, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව බරපතළ ලෙස වරදවා වටහා දුන් ලිපියක්, ප්‍රසිද්ධ රුසියානු පුවත්පතක් වන කොම්සොමොල්ස්කාය ප්රාව්ඩහි, ශාන්ත පීට’ස්බ’ග් ප්‍රාදේශීය අතිරේකයේ පළ වුණා. “පීට’ස්බ’ග් නිකාය. මෙහි නුවරක්-දේවමාළිගාවක් තිබෙනු ඇත” යන සිරස්තලය යටතේ ඔලෙග් සෙරෝසින්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ විශ්වාසයන් මගින් හිංසා පමුණුවන බවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් රුසියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කරන බවත් ප්‍රකාශ කර සිටියා. ප්රහාරයන් සැමෙකක්ම එල්ල වූයේ මූලික වශයෙන් සාක්ෂිකරුවන්ගේ බයිබලය මත පදනම් කරගත් විශ්වාසයන් විකෘති කොට දක්වමිනි; රුධිර ප්‍රවේශනයන් හා පවුල් සබඳතා මේවාට නිදසුන් වෙයි. තවදුරටත්, එම ලිපිය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව “නිකායක්” හැටියට හංවඩු ගැසූ අතර, සමහරුන්ගේ මතයට අනුව එය “සියලුම නිකායන් අතුරින් වඩාත්ම භයානකම එක” යයි කියා සිටියා.
රුසියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය ආගමික සංවිධානයේ පරිපාලන කේන්ද්‍රය, මාධ්‍යවේදී ගැටුම් පිළිබඳ රුසියානු ෆෙඩරල් ජනාධිපති විනිශ්චය මණ්ඩලයට අභියාචනා කළා; ඊට හේතුව වූයේ, යෙහෝවාගේ සාක්ෂිකරුවන් එම ලිපියේ අඩංගු ප්‍රකාශයන් සාවද්‍යයයි විශ්වාස කිරීම වූ අතර, ඒවා නැවත සලකා බලන හැටියට ඉල්ලා සිටීමයි. වර්ෂ 1998 පෙබරවාරි මස 12වනදා පැවති විනිශ්චය මණ්ඩලයේ සැසිවාරයේදී, විනිශ්චය මණ්ඩලයේ අය ඇතුළු පත්රකලාවේදීන් හා නීතිඥයන් විසින් ඉදිරිපත් කළ නොයෙකුත් ප්‍රශ්නවලට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නියෝජිතයන් උත්තර සැපයුවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇත්තටම විශ්වාස කරන්නේ හා උගන්වන්නේ කුමක්ද කියා පැහැදිලි කරගැනීමට, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කරන පොත් පත් විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් පරෙස්සමින් අධ්‍යයනය කළා; ඒ අතුරින් පවුලේ සන්තෝෂයට රහස නමැති පොත ප්‍රධාන තැනක් ගත්තා.
රුසියානු ෆෙඩරලයේ රාජ්‍ය ඩූමාහි නියෝජ්‍යවරයා වන වී. වී. බොර්ෂියොෆ්ට වැටහුණේ “නිකාය” යන්නෙහි පූර්ණ වශයෙන් නිෂේධාත්මක හැඟීමක් ඇති බවයි. බොර්ෂියොෆ් මහතා මෙසේ පැවසුවා: “නිදහස [එවන් ආකාරයකට අනිසි ලෙස භාවිත කිරීමත්] ඔවුන්ව හංවඩු ගැසීමත් ඇත්තෙන්ම භයානක දෙයක්. විනිශ්චය මණ්ඩලය විසින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නඩුව පිළිගැනීමෙහි ඇත්තෙන්ම වැදගත්කමක් තිබෙනවා. ලියාපදිංචි කර ඇති ආගමික සංවිධානවලට කරන මෙවන් ප්‍රකාශයන් හා මඩගැසීම් වහාම නැවැත්විය යුතුයි.”
මේ සියලුම සාක්ෂිවලට සවන් දීමෙන් පසු, කොම්සොමොල්ස්කාය ප්රාව්ඩහි දක්නට ලැබුණු ලිපිය නීතිවිරෝධී බවත් සාරධර්මයන්ට පටහැනිව දිවයන බවත් පැවසීමෙන් විනිශ්චය කමිටුව නිගමනයකට එළඹුණා. තවද එම ලිපිය සදොස් එකක් බවත් පදනම් රහිත වූවක් බවත් සොයාගනු ලැබුවා. “කතුවරයා මෙහිදී මොනයම් සුවිශේෂී කරුණක්වත් සඳහන් නොකරයි . . . කතුවරයා පත්රකලාවේදියෙකු සතු අයිතිවාසිකම් අයථා සේ යොදාගනිමින්, කටකතා රඳාපැවතිය හැකි වාර්තා සේ පැතුරුවා” කියා විනිශ්චය මණ්ඩලය පැවසුවා. පුවත්පත වාර්තා කළ දේට පටහැනිව, යෙහෝවාගේ සාක්ෂිකරුවන් නීතිගරුක මිනිසුන් බවත් තම ආගමික විශ්වාසයන් පිළි නොගන්නාවූ පවුලේ සාමාජිකයන් මෙන්ම හිතමිත්‍රාදීන් සමඟ සමාදානයෙන් සිටීමට උගන්වන බවත් විනිශ්චය මණ්ඩලයට සොයාගන්න ලැබුණා.
අවසන් සාක්ෂි අසා පැයකට පසු, විනිශ්චය මණ්ඩලය තම තීන්දුව නිකුත් කළා:
“1. ‘පීට’ස්බ’ග් නිකාය. මෙහි නුවරක්-දේවමාළිගාවක් තිබෙනු ඇත’ යන ලිපිය ප්‍රකාශයට පත් කිරීම ‘ජන සන්නිවේදන මාධ්‍යය’ යන රුසියානු ෆෙඩරල් නීතියේ 4, 49 හා 51 යන වගන්ති කඩ කිරීමක් ලෙස හඳුනාගන්නා හැටියට.
“2. මුද්‍රිත තොරතුරු පිළිබඳ වගකීම දරන රුසියානු ෆෙඩරල් රාජ්‍ය කමිටුව, කොම්සොමොල්ස්කාය ප්රාව්ඩ නමැති පුවත්පතේ සංස්කාරක මණ්ඩලයට අනතුරු ඇඟවීමක් නිකුත් කළ යුතුය යන ප්රශ්නය යළි සලකා බැලිය යුතු බව යෝජනා කිරීමට.
“3. පත්රකලාවේදී ඕ. සෙරෝසින්ට තරවටුවක් දිය යුතු බවට.
“4. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ආගමික සංවිධානය පදනම් විරහිතව අවමානයට ලක් කරන, රඳාපැවතිය නොහැකි තොරතුරු ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්, කොම්සොමොල්ස්කාය ප්රාව්ඩ පත්‍රයේ සංස්කාරක මණ්ඩලය විසින් සමාව අයැදීමක් නිකුත් කරන හැටියට.”
ආගමික විශාරදයෙකුද දර්ශනය හදාරන කෙනෙකුද වන සියෙර්ගේ ඊවාන්යෙන්ක විසින් එළඹී ඇති නිගමනයන්ට විනිශ්චය මණ්ඩලයේ තීරණය එකඟයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් පරෙස්සමින් අධ්‍යයනය කිරීමෙන් හා ඔවුන්ව ඇසුරු කිරීමෙන් පසු, යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් නොවන ඊවාන්යෙන්ක මහතා විසින් ලියන ලද ලිපියක් මොස්කව් නියූස්හි 1997 පෙබරවාරි 20-26 යන පිටපතෙහි පළ වුණා.a ඊවාන්යෙන්ක මෙම නිගමනයට එළඹෙයි: “බයිබලයට අනුව ජීවත් වීමේ ස්ථිරසාර විශ්වාසය මගින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් කැපීපෙනෙනවා. . . . යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට බයිබලය, ව්‍යවස්ථා සමූහයක්, සිවිල් නීති සංග්‍රහයක් සහ සත්‍යයේ උසස්ම ප්‍රකාශයක් වෙනවා. . . . යෙහෝවාගේ සාක්ෂිකරුවන් බයිබල් සත්‍යයට කැප වී සිටීම නිසාත් පරාර්ථකාමී ලෙස තම විශ්වාසයන් වෙනුවෙන් ස්ථිරව සිටීමට ඇති ඔවුන්ගේ කැමැත්ත නිසාත්, ඔවුන්ගේ සෙසු පුරවැසියන්ට ආදර්ශයක් වශයෙන් ඔවුන්ව සැලකිය හැකියි.”
එහෙයින් විනිශ්චය මණ්ඩලයෙන් හා ඊවාන්යෙන්ක මහතාගේ අදහස්වලින් යළිත් තහවුරු කරන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි ආගම සමාජයට තර්ජනයක් ඉදිරිපත් නොකරන බවත්, ඒ වෙනුවට, අවංක හෘද ඇත්තන්ගේ යහපත උදෙසා කටයුතු කරන බවත්ය. යෙහෝවාගේ සාක්ෂිකරුවන් “ඔවුන් තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන ඔවුන්ගෙන් අසන සියල්ලන්ට උත්තර දෙන්ට නිතර සෑදී සිටින නමුත්, එසේ කරන්නේ මෘදුකමින් හා ගැඹුරු ගෞරවය ඇතුවයි.”—1 පේතෘස් 3:15, NW.
[පාදසටහන]
a “අපි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට බිය විය යුතුද?” යන සිරස්තලයෙන් යුත් ඊවාන්යෙන්ක මහතාගේ ලිපියෙන් වැඩි ප්‍රමාණයක්, අවසර ඇතුව 1997 සැප්තැම්බර් 8 පිබිදෙව්! කලාපයේ 22-27 පිටුවල නැවත ප්‍රකාශයට පත් කෙරුණා.