“භුක්ති විඳීමට හැමදෙනාටම ආරාධනා කරලා නැහැ”
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හෙවත් UNDP විසින් වාර්ෂිකව සම්පාදනය කරන ලද වාර්තාවලින් එකක් වන, 1998 මානව සංවර්ධන වාර්තාව, ලෝකයේ පෙර කිසිදාක නොවූවිරූ ආකාරයක, පරිභෝජනයේ ශීඝ්‍ර වැඩිවීමක් අවධානයට යොමු කෙරුවා. සමස්ත ලෝකය ගත් කල, අපි පාරිභෝගික භාණ්ඩ සඳහා 1950ට වඩා හය ගුණයක්ද, 1975ට වඩා දෙගුණයක්ද දැන් වියදම් කරනවා කියලා එය හෙළි කළා. මෙම පරිභෝජනයේ ශීඝ්‍ර වැඩිවීම තිබියදීත්, “භුක්ති විඳීමට හැමදෙනාටම ආරාධනා කරලා නැහැ” කියලා UNDPහි විධායක අධ්යක්ෂ ජේම්ස් ගුස්ටාව් ස්පෙත් කියයි.
නිදසුනක් වශයෙන්, අනුභව කරන මාළු ප්‍රමාණය බලද්දී, ලෝකයේ වෙසෙන දුප්පත්ම ජනයාගෙන් සියයට 20ක් අනුභව කරන ප්‍රමාණයට වඩා හත් ගුණයක්, ලෝකයේ වෙසෙන ධනවත්ම ජනයාගෙන් සියයට 20ක් අනුභව කරනවා. ඉහත සඳහන් ලෝකයේ ජනයාගෙන් ධනවත්ම සියයට 20 අනුභව කරන මස් ප්‍රමාණය, දුප්පත්ම සියයට 20ට වඩා 11 ගුණයකින් වැඩි වන අතර, ඔවුන් පරිභෝජනය කරන බල ශක්ති ප්‍රමාණය 17 ගුණයකින් වැඩි වෙනවා. එමෙන්ම, භුක්ති විඳින දූරකථන පහසුකම් 49 ගුණයකින්ද, පරිහරණය කරන කඩදාසි ප්‍රමාණය 77 ගුණයකින්ද, අයිති කරගෙන තිබෙන වාහන ප්‍රමාණය 149 ගුණයකින්ද වැඩියි.
පරීක්ෂණයේ මෙම නිගමන සම්බන්ධයෙන් අදහස් පළ කරමින් එ.ජා. ගුවන් විදුලි සේවාව, ලෝකයේ ස්වාභාවික සම්පත්වල ශීඝ්‍ර පිරිහීම ප්‍රමාද කිරීමට නම්, කාර්මික රටවල් අනුගමනය කරන පරිභෝජන රටාවන් වෙනස් කළ යුතුයි කියා පැවසුවා. ඒ අතරවාරයේම, ලෝකයේ දුප්පත් ජනතාවටත් පොළොවේ සම්පත්වලින් ප්‍රයෝජන ලබාගැනීමට නම්, වඩා පොහොසත් රටවල් තම ධනය ඔවුන් සමඟ බෙදාගත යුතුය. ධනය කොතරම් දුරට බෙදාගන්න සිදු වෙයිද?
කාර්මික රටවල් වෙනත් රටවල සංවර්ධනය උදෙසා වාර්ෂිකව සපයන මූල්‍යමය ආධාර දෙගුණ කරනවා නම්, ඒ කියන්නේ ඩොලර් බිලියන 50 බිලියන 100ක් දක්වා වැඩි කරනවා නම්, මිහිතලයේ දුප්පත් ජනතාවට ආහාර, හොඳ ශරීර සෞඛ්‍යයක්, අධ්‍යාපනය සහ ප්‍රමාණවත් නවාතැන් භුක්ති විඳිය හැකි බව ස්පෙත් මහතා ගණනය කරනවා. ඩොලර් බිලියන 50ක් විශාල මුදලක්යයි ඔබට හැඟෙන්න පුළුවන්. නමුත්, “මෙය, වාර්ෂිකව යුරෝපීය රටවල් දුම්පානයට වැය කරන මුදලට සමාන වන අතර, එක්සත් ජනපදය මත්පැන් සඳහා යොමු කරන මුදලින් අඩක් පමණයි” කියා ස්පෙත් මහතා මතක් කරයි.
එසේ නම්, පීඩාකාරි දිළිඳුකම අවසන් කිරීම සඳහා, මේ ලෝකයේ සම්පත් හැකි තරම් දුරට එක සමානව බෙදාගැනීමට සාමූහික ප්රයත්නයක් දැරීම උපකාරවත් වන බව පැහැදිලි වෙනවා. මෙය ඉටු කිරීමට අවශ්‍ය වන්නේ කුමක්ද? එක් එ.ජා. නිලධාරියෙක් මෙසේ නිරීක්ෂණය කෙරුවා: “අන්තිමට බලද්දී, අවශ්‍ය වන්නේ හදවත්, සිතුවිලි සහ චේතනා සම්පූර්ණයෙන් වෙනස් කිරීමයි.” බොහෝදෙනෙක් මෙයට එකඟ වුණත්, වර්තමාන ක්‍රම සම්පාදන සංවිධානවලට කොපමණ යහපත් චේතනා තිබුණත්, මෙවැනි වෙනස්කම් කරනවා තියා, අඩුම තරමින් ගිජුකම වැනි ගුණාංගවත් තුරන් කිරීමට සමත් වී නැති බව ඔවුන්ට වැටහී තිබෙනවා.
එහෙත්, මිනිස් පවුලෙත්, අපේ පෘථිවියෙත් අනාගතය ගැන සැලකිලිමත් වන ජනයාට, බලාපොරොත්තු තබාගත හැකියි. මනුෂ්‍යවර්ගයාගේ ගැටලුවලට විසඳුම් ගෙනෙන බවට පොළොවේ මැවුම්කරු පොරොන්දු වී තිබීම අපව ධෛර්යවත් කරයි. ගීතිකාකාරයා මෙසේ පුරෝකථනය කෙරුවා: ‘පොළොව ස්වකීය වර්ධනය දී තිබේ. දෙවි, එනම් අපේම දෙවි, අපට ආශීර්වාද කරන්නේය.’ ‘කඳු මත ගොයම් ලෙළ දෙයි. ධාන්‍ය බහුලව ඉතිරෙයි.’ (ගීතාවලිය 67:6; 72:16, නව අනුවාදය) එසේය, ඒ කාලයේදී පොළොවේ සියලුම වැසියන්ට ‘භුක්ති විඳීමට ආරාධනා’ කරනු ලබයි!