ගොරවන සිංහයෙක් අහිංසක බැටළු පැටියෙක් වී
කනිෂ්ඨ එන්රීකේ ටෝරෙස්ගේ කතාව
මම ඉපදුණේ, 1941දී කැරිබියන් මුහුදේ පිහිටා ඇති පුවටෝ රිකෝ කියන දූපතෙයි. එහි පොදුවේ කතා කරන්නේ ස්පාඤ්ඤ භාෂාවයි. සරල ජීවිතයක් ගත කළ මගේ අම්මයි තාත්තයි රෝමානු කතෝලික වුණත්, ඒගොල්ලන්ට කොයිම ආකාරයකින්වත් ආගමික උපදෙස් ලැබුණේ නැහැ. මටවත් මගේ සහෝදරියන්ටවත්, (කුඩා කාලයේ මියගිය) මගේ මල්ලිටවත් එවැනි උපදෙස් ලැබුණේ නැහැ. අපි පල්ලි ගියෙත් කලාතුරකින්.
අපි පවුලක් හැටියට 1949දී එක්සත් ජනපදය බලා පිටත් වුණා. අපි පදිංචි වුණේ නියූ යෝක්හි එල් බාරියෝ ලෙස හඳුන්වන නැඟෙනහිර හාලම්වලයි. අපි 1953 දක්වාම එහි ජීවත් වුණා. මට ඉංග්‍රීසි කතා කරන එක ලොකු අභියෝගයක් වුණ හින්දා මට නොවටිනාබවේ හැඟීම් ඇති වෙන්න පටන්ගත්තා.
නරක ඇසුරේ බලපෑම්
අපි ඊළඟට බෘක්ලින්හි ප්‍රොස්පෙක්ට් හයිට්ස් නම් ප්‍රදේශයට පදිංචිය මාරු කළා. මට වීථි කල්ලියක සාමාජිකයෙක් වෙන්න කියා උනන්දු කළ මගේ මිත්‍රයන්ගේ බලපෑමට මම යටත් වුණේ මේ කාලයේදීයි. කල් යත්ම මාව කල්ලියේ නායකයා වශයෙන් නම් කළ අතර, මම පසුව කාර් සොරකම් කරන වෙනත් කල්ලියක නායකත්වය ලබාගත්තා. ප්‍රදේශයේ රේස් ඔට්ටු අල්ලන අය වෙනුවෙන්, නීති විරෝධී සූදුවෙන් ලබාගත් මුදල් එකතු කරන්නත්, ඊට පස්සේ ගෙවල් බිඳින්නත් මම පටන්ගත්තා. මට වයස අවුරුදු 15 වෙන්න කලින් කිහිප වතාවක්ම මාව අත්අඩංගුවට ගෙන තිබුණා. එතකොට මම ඉස්කෝලේ අත් ඇරලයි තිබුණේ.
මට වයස අවුරුදු 16ක් වෙද්දී, අභියාචනයකින් ඇති වූ සාමූහික තීන්දුවක ප්‍රතිඵලයක් හැටියට අධිකාරීන් අවුරුදු පහකට මාව පුවටෝ රිකෝවලට පිටුවහල් කළා. මාව යැව්වේ මගේ සීයාගේ නිවසටයි. සීයා හොඳ ප්‍රසිද්ධියක් දරපු විශ්‍රාම ලත් පොලිස් නිලධාරියෙක් වූ අතර, මිනිසුන් ඔහුව සැලකුවේ ඉතා ගෞරවයෙන්. කොහොමවුණත් අවුරුද්දකට පස්සේ, බීමත්ව රණ්ඩු වීම, අප්‍රසන්න ගතිපැවතුම් ඇති මිනිසුන් සමඟ ඇසුරු කිරීම සහ ගෙවල් බිඳීම වැනි හේතු උඩ සීයා මාව නැවතත් බෘක්ලින් වෙතට යැව්වා.
මගේ ජීවිතයේ තාත්තාගේ කාර්යභාරය
මම පුවටෝ රිකෝ සිට නැවතත් නියූ යෝක් නගරයට එද්දී, තාත්තා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරමින් සිටින බව මම දැනගත්තා. හැබැයි මගේ ජීවිතය නම් ඊට හාත්පසින්ම වෙනස් එකක් වුණා. දෙවිගෙන් ඈත් වුණු ජීවිතයක් ගත කරමින්, මම මත්පැන්වලටත් මත්ද්‍රව්‍යවලටත් ඇබ්බැහි වෙන්න පටන්ගත්තා. මං ගෙවල් බිඳින්නන්ගේ සහ මංකොල්ලකරුවන්ගේ කල්ලියකට සම්බන්ධ වුණ නිසා, 1960දී මාව නැවතත් අත්අඩංගුවට ගත්තා. මාව වරදකරුවෙකු බවට තීන්දු කරලා අවුරුදු තුනකට සිරභාරයේ දැම්මා.
වර්ෂ 1963දී කොන්දේසි පිට මම සිරභාරයෙන් නිදහස් වුණා. කොහොමවුණත්, ගෙවල් බිඳීම හේතුවෙන් නැවතත් මාව අත්අඩංගුවට ගත් අතර, නියූ යෝක්හි රයික’ස් දූපතේ අවුරුදු දෙකක් මම සිරභාරයේ ගත කළා. මට 1965දී නිදහස ලැබුණත්, එම අවුරුද්දේම මාව මිනිමැරුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා. මං කොයිතරම් අන්තයට ගිහිල්ලා තිබුණද! මං හැසිරුණේ හරියට කෲර සිංහයෙක් වගේයි!
අධිකරණය මට ඩැනිමෝරාහි අවුරුදු 20ක සිර දඬුවමක් නියම කළා. මෙය පිහිටා තිබුණේ නියූ යෝක්වල උතුරට වෙන්නයි. එතැනදී මම සිරගෙදරෙහි පැවතුණු සමාජීය රටාවෙහි කොටසක් බවට පත් වුණා.
කොහොමවුණත්, මම කලින් කියපු විදිහට තාත්තා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ශුද්ධ ලියවිලි අධ්‍යයනය කරමින් සිටියා. පසුව, ඔහු බව්තිස්ම වෙලා හාලම් සභාවේ වැඩිමහල්ලෙක් වශයෙන්ද සේවය කළා. මම හිරේ සිටිද්දී ඔහු නිතරම වාගේ මාව බලන්න ආවා. ඔහු දෙවි ගැනත්, දෙවිගේ නාමය සහ අරමුණ ගැනත් නිතරම මාත් එක්ක කතා කළා.
නමුත් ඩැනිමෝරා කඳවුරේ ඉන්න කොට, මුදල් ගිනිපොලියට දුන්න කට්ටියක් සමඟ මම එකතු වුණා. මේ අතරතුරේදී, 1971දී, නියූ යෝක් ජනපදයේ පිහිටි ඇටිකා පුනරුත්ථාපන කඳවුර ලෙස නම් කළ තවත් සිරගෙදරක කෝලහලයක් හටගත්තා. ඒ සම්බන්ධයෙන් බොහෝ පුවත්පත් සිරස්තලවල සඳහන් කර තිබූ අතර, ගුවන්විදුලිය සහ රූපවාහිනිය මාර්ගයෙන් ලෝකෙ වටේම එයට හොඳ ප්‍රසිද්ධියක් ලැබුණා. කෝලහලයෙන් පසුව ඩැනිමෝරාවල එවැනි දෙයක් සිදුවීම වැළැක්වීමට, සිර ගෙදර පාලකයා නරක බලපෑමක් ඇති කළ හැකියයි සිතූ සිරකරුවන්ව අනික් සිරකරුවන්ගෙන් වෙන් කළා. ඔහු මෙම සිරකරුවන්ව හුදෙකලාවේ, විශේෂ රැඳවුම් ඒකකවල තැබුවා.
සිරකරුවන් 2,200දෙනෙක් අතරින්, මා ඇතුළුව තෝරාගත් 200දෙනෙක්ව ඔහු හුදෙකලාවේ තැබුවා. පසුව ඒ අතරින්ද කෲර පහර දීම්වලට ලක් කිරීම සඳහා කිහිපදෙනෙක්ව තෝරගත්තා. ඒ විතරක් නෙවෙයි, ඔවුන් “හැසිරීම සකස් කරන ප්‍රතිකාරය” ලෙස නම් කළ යමක් අපිට හඳුන්වලා දුන්නා. ඒකට සම්බන්ධ ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන්, ඔවුන් අපේ කෑමවලට මත් බෙහෙත් දැම්මා.
නොහික්මුණු හැසිරීම හින්දා මං හුදෙකලා ඒකකයකට ගිය ප්‍රථම වතාව මෙය නොවෙයි. හැබැයි මම මීට කලින් නම් මෙතරම් කෲරත්වයක් අද්දැක තිබුණේ නැහැ. ඒ නිසා මට එය හුඟක් ගැඹුරින් බලපෑවා. මගේ අත්වලට මාංචු දාලා, කකුල්වලට විලංගු දාලා තිබුණා. සැරින් සැරේට මුරකරුවන් ඇවිත් හුඟක් දරුණු විදිහට මට තැළුවා. අනිත් එක, මම වෙනස් ජාතියක කෙනෙක් වුණ හින්දා මට නිතරම අපහාසාත්මක විදිහට කතා කළා. මෙම නින්දාසහගත සැලකිලි නිසාත් මට ලැබුණු ගුටි බැට නිසාත්, මම හුදෙකලාවේ හිටිය කාලය පුරා සෑහෙන දුරට උපවාසයේ යෙදුණා. මේ ආකාරයට මම මාස තුනක්ම ගත කළ නිසා මගේ බර රාත්තල් 50ක් විතර අඩු වුණා.
මගේ සෞඛ්‍ය තත්වය ක්‍රමක්‍රමයෙන් නරක අතට හැරීමට හේතුව මොකක්ද කියා තාත්තා සිරගෙදර නිලධාරීන්ගෙන් අහද්දී, ඒගොල්ලන් එයාව ගණන්ගත්තේවත් නැහැ. මගේ අසරණ තත්වය හින්දා මම උපකාරය සඳහා දේශපාලකයන් වෙතට හැරුණා. අද්දකින අසාධාරණකම් ගැන සඳහන් කරමින්, මම ඔවුන්ට ලියුම් ලියන්න පටන්ගත්තා.
විශේෂ රැඳවුම් ඒකකය තුළ සිරකරුවන්ට පහර දුන් ආකාරය හා ඔවුන්ට දක්වපු නින්දාසහගත සැලකිලි ගැනත්, ඔවුන්ගේ කෑමවලට මත් බෙහෙත් එකතු කිරීම ගැනත් තාත්තා කිහිප වතාවක්ම පුවත්පත්වලට දැනුම් දුන්නා. හැබැයි මෙම නින්දිත තත්වයන් ගැන ලිපියක් පළ කළේ, ඇම්ස්ටඩෑම් නියූස් කියන පුවත්පත විතරයි. මගේ තාත්තා සැරින් සැරේට නියූ යෝක් නගරයේ ඇල්බනිවල සිටිය පුනරුත්ථාපන සේවා කොමසාරිස් වෙතටත් ගියා. ගිය හැමවිටම තාත්තාට කිව්වේ මම සාමාන්‍ය රැඳවුම් ඒකකයක සිටින බවයි. සිරගෙදර තත්වයන් සම්බන්ධයෙන් මම දේශපාලකයන්ට දුන් තොරතුරු ගැන ඔවුන් කිසිම පියවරක් ගත්තේ නැහැ. මට උපකාර කරන්න කිසිම කෙනෙක් නැහැයි කියලයි මට හැඟුණේ. මම හොඳටම අධෛර්යයට පත් වුණා.
තාත්තා මට කලින් කියලා දීපු සමහර දේවල් මට මතක් වුණේ එතකොටයි. මම තීරණය කළා උපකාරය ඉල්ලමින් දෙවිට යාච්ඤා කරන්න.
දෙවි වෙතට හැරීම
යේසුස්ට යාච්ඤා නොකර, එයාගේ පියා වන යෙහෝවාට යාච්ඤා කරන්න කියා තාත්තා නිතරම උනන්දු කළ බව යාච්ඤා කරන්න කලින් මට මතක් වුණා. මම සිරකුටියේ බිම වැටී, මගේ ජීවිතයෙන් අඩකට වඩා සිරභාරයේ සිටීමට හේතු වූ මගේ ජීවිතය ගැන මුළු හදින්ම දෙවිගෙන් සමාව ඉල්ලුවා. මාව මේ තත්වයෙන් ගළවගන්න පුළුවන් යෙහෝවාට විතරයි කියා මම තේරුම්ගත් අතර, එසේ කරන්න කියා මම ඉතා බැගෑපත්ව ඔහුගෙන් ඉල්ලුවා.
මම කොච්චර වෙලාවක් යාච්ඤා කළාද කියලා මම දන්නේ නැහැ. ඒත් මගේ පහුගිය ජීවිතයට සම්බන්ධ සියල්ල මතක් කරමින් මම අවංක ලෙස යෙහෝවාගෙන් සමාව ඉල්ලුවා. මම ඔහු සම්බන්ධයෙන් තව තවත් ඉගෙනගන්න වෑයම් කරන බවට පොරොන්දු වුණා. ටික කලකට පසුව, මාව ගුහාවක් වැනි එම හුදකලා සිරකුටියෙන් නිදහස් කරලා අනිත් සිරකරුවන් අතරට දැම්මා. එදා මම උපවාසය නතර කළා.
යෙහෝවා ගැන ඉගෙනගැනීමට කළ පොරොන්දුවට එකඟව, මම ශුද්ධ ලියවිලිවල නවලෝක පරිවර්තනය (ඉංග්‍රීසියෙන්) කියවන්න පටන්ගත්තා. මෙම බයිබල් පරිවර්තනයේ මට හුඟක් සිත්ගත්ත දෙයක් වුණේ, එහි කොළ පාට පිට කවරයයි. අපේ වටේටම, ඒ කියන්නේ අපේ ඇඳුම්, සිරකුටි, බිත්ති හා කොරිඩෝරවල දකින්න තිබුණේ මහා එපා කරපු අළු පාටක්. ඒ හින්දයි මම ඒ බයිබලයට ඒ තරම් කැමති වුණේ. පසුව පුදුමයකට මෙන් මේ හැම දෙයක්ම කොළ පාටට වෙනස් කළා. පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව විසින් මෙම වෙනස කිරීමට තීරණය කළ අතර, එය සිදු කළේ ඇටිකා සිරගෙදර කෝලහලයෙන් පසුවයි.
තාත්තා මට ලැබෙන්න සැලැස්සූ මුරටැඹ සහ පිබිදෙව්! සඟරාද මම කියවන්න පටන්ගත්තා. මම සිරගත වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙකුගේ අද්දැකීම් කියෙව්වා. මටත් වඩා දුක් සහිත තත්වයන්ට මුහුණ දුන්නත් ඔවුන් තම ඇදහිල්ල අත් නෑර සිටි ආකාරය මගේ හිතට ගැඹුරින් කාවැදුණා. ඒගොල්ලන් කිසිම අපරාධයක් කළේ නැතත්, දෙවි කෙරෙහි තමන් දක්වපු ඇදහිල්ල නිසා අසාධාරණ ලෙස දුක් විඳීමට සිදු වුණා. හැබැයි මම නම් දුක් වින්දේ සාධාරණවයි. මෙම අද්දැකීම් මගේ හිතට හුඟක් කාවැදුණ අතර, යෙහෝවා ගැනත් ඔහුගේ සෙනඟ ගැනත් තව තවත් ඉගෙනගන්න මම පෙලඹුණා.
අන්තිමේදී, අවුරුද්දකට පසුව, මම කොන්දේසි පිට නිදහස ලබා දීමේ මණ්ඩලය ඉදිරියේ පෙනී සිටියා. විශේෂ රැඳවුම් ඒකකයේ මට විඳින්න සිදු වන දුෂ්කරතාවන් ඇතුළුව, මගේ නඩුව දෙස නැවත වරක් අවධානය යොමු කළා. ඊට පස්සේ, මාව 1972දී කොන්දේසි පිට නිදහස් කරන්න යන බව දැනගත් විට මම හුඟක් සතුටට පත් වුණා.
නිදහස ලැබිලා සති දෙකක් ගත වුණායින් පසු, ස්පාඤ්ඤ භාෂාව කතා කරන ප්‍රදේශයක් වූ හාලම්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය රාජ්‍ය ශාලාවට මම ගියා. ඒත් යෙහෝවාගේ සෙනඟ සමඟ සිටින්න තරම් මම වටින්නේ නැහැයි කියලා මට ඒ වෙද්දිත් හැඟුණා. මට යෙහෝවා ගැනත්, ඔහුගේ සංවිධානය හා සෙනඟ ගැනත් තව හුඟක් දේවල් ඉගෙනගන්නත් තිබුණා. ඒ විතරක් නෙවෙයි, මම සෑහෙන කාලයක් තිස්සේ සිරගතව සිටිය නිසා, මට නැවතත් සමාජයට හැඩගැහෙන්න කාලය අවශ්‍ය වුණා.
කනගාටුදායක ලෙස, මගේ පරණ පුරුදු අත්හැරීමට මම අසමත් වුණා. මම නැවත වරක් අපරාධවලටත් මත්ද්‍රව්‍යවලටත් හැරෙමින් දෙවිව නොසලකන ජීවන මාර්ගයකට පෙලඹුණා. අන්තිමේදී, මෙය මට අවුරුදු 15ක අමතර සිර දඬුවමක් ලැබීමට මඟ පෑදුවා. කොහොමවුණත් යෙහෝවා මාව අත්හැරියේ නැති නිසා, ඔහු මා තුළ යම් යහපතක් දකින්න ඇති කියා මම සිතනවා. ඔබ සිරගතව සිටියත් නැතත්, යෙහෝවා ගැන ඉගෙනගැනීමට නැඹුරුවාවක් තියෙනවා නම්, ඔහු කවදාවත් ඔබව අත්හරින්නේ නැහැයි කියා මට නිසැකවම කියන්න පුළුවන්.
සිරගතව බයිබලය පාඩම් කිරීම
මාව නැවත වතාවක් ඩැනිමෝරා සිරගෙදරට ගෙන ගියා. මේ අවස්ථාවේදී නම්, මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් සමඟ සතිපතා බයිබල් පාඩමක් කිරීමට උදා වුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. පසුව, නියූ යෝක්හි උතුරුකරයේ පිහිටි මිඩ් ඔරෙන්ජ්හි පුනරුත්ථාපන කඳවුරට මාව ගෙන ගියා. එහි ආරක්ෂක පියවර එතරම්ම දැඩි නැති නිසා, අධි ආරක්ෂක පියවර ගත් ඩැනිමෝරා සිරගෙදරට වඩා මම වෙනසක් අද්දැක්කා.
මිඩ් ඔරෙන්ජ් පුනරුත්ථාපන කඳවුරේ අවුරුදු දෙකක් ගත වුණාට පසු, තවත් සිරකරුවෙකු සමඟ සිරගෙදර අධිකාරීන්ගේ අනුමැතිය ඇතුව පැවැත්වූ බයිබල් පාඩමකට මම ඉතා උනන්දුවෙන් සහභාගි වුණා. එයාගේ අම්මා යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වුණ හින්දා, ඔහුත් එක්ක පාඩමක් පැවැත්වීමට කටයුතු පිළියෙළ කර තිබුණා. කාලයත් සමඟ, දිගටම දැනුම ලබාගැනීම නිසා මම බයිබල් ප්‍රතිපත්ති මගේ ජීවිතය තුළ අදාළ කරගන්න පටන්ගත්තා. මෙය මගේ ආත්මික දියුණුවට මඟ පෑදුවා.
හත් වාරයක් කොන්දේසි පිට නිදහස ලබාගන්න දැරූ වෑයම් අසාර්ථක වුණත්, අටවෙනි වර මම කළ ඉල්ලීමට අකමැත්තෙන් වුවද අවසර දුන්නා. කලින් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප වූයේ මට “අපරාධ කිරීමට නැඹුරුවාවක්” තිබූ නිසයි. අවුරුදු 15ක සිර දණ්ඩනයෙන් අවුරුදු 8ක් ගත වුණායින් පසුව මට නිදහස ලැබුණා.
අවසාන වරට අන්ධකාරයෙන් නිදහස
මගේ නිදහසත් සමඟම සුළු කලකට මම නැවතත් මත්ද්‍රව්‍යවලට හැරුණා. මම 1972 සිට විවාහ නොවී ස්ත්‍රියක් සමඟ ජීවත් වෙමිනුත් සිටියා. කොහොමවුණත් මම 1983 සිට නැවතත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ මගේ බයිබල් පාඩම ආරම්භ කළා. මම එතැන් පටන් ක්‍රිස්තියානි රැස්වීම්වලට නිතිපතා යන්න පටන්ගත්තා. හැබැයි පාඩම ආරම්භ කිරීමටත් රැස්වීම්වලට යන්නත් පෙර, මම මත්ද්‍රව්‍ය ගැනීමත් දුම්පානයත් නතර කළා.
කොහොමවුණත්, විවාහය පිළිබඳ දෙවිගේ නීතියට පටහැනිව මම නීත්‍යනුකූලව විවාහ නොවී මගේ පෙම්වතියත් සමඟ ජීවත් වෙමින් සිටියා. මගේ හෘදය සාක්ෂියට මෙය වද දුන්න නිසා මම එයාට බයිබල් පාඩමක් කරන්න උනන්දු කරල අපගේ විවාහය නීත්‍යනුකූල කරන්න උත්සාහ කළා. ඒත් එයා මට කිව්වේ, බයිබලය, ස්ත්‍රීන්ව පාලනය කරන්න පුරුෂයන් විසින් ප්‍රබන්ධ කළ පොතක් කියලයි. විවාහය අවශ්‍ය නැති බව එයා පැවසුවා.
දිගටම දුරාචාරමය සම්බන්ධයක් පවත්වමින් විවාහය සම්බන්ධයෙන් දෙවිගේ නීතිවලට ගරු නොකරන ස්ත්‍රියක් සමඟ ජීවත් විය නොහැකි බව මට වැටහුණා. ඒ නිසා මම අපේ සම්බන්ධය නවත්වා බෘක්ලින්වලට මගේ පදිංචිය මාරු කළා. දෙවිගේ නීතිවලට එකඟව මම ජීවත් වුණේ නැත්නම්, අනුන්ට ඔහු ගැනත් ඔහුගේ අරමුණු ගැනත් කියා දිය නොහැකි බව මට තේරුණා.
අවුරුදු තුනක් බයිබලය පාඩම් කර, ශුද්ධ ලියවිල්ලට පටහැනි සියලු ක්‍රියාවන්ගෙන් ඈත් වී මම පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතුව දෙවිගේ කැමැත්ත කිරීමට මගේ ජීවිතය කැප කළා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකදී මගේ කැපවීම බව්තිස්මයෙන් මම සංකේතවත් කළා. මගේ තාත්තා නිතරම නමින් හැඳින්වූ දෙවි ගැන ඉගෙනගැනීමට මම කළ පොරොන්දුව සම්බන්ධයෙන් මම කවදාවත් පසුතැවෙන්නේ නැහැ. ඒ වගේම, යෙහෝවා තම වචනයේ පොරොන්දු වී තිබෙන බොහෝ ආශීර්වාද ලැබෙන තෙක්, ඩැනිමෝරා හිරගෙදරදී යෙහෝවාට මම කළ පොරොන්දුව ඉටු කිරීම මගේ නිරන්තර අධිෂ්ඨානයයි.
පාරාදීසය දෙස බලා සිටිමින්
යෙහෝවා මෙම මුළු පොළොවම ලස්සන පාරාදීසයක් බවට පත් කරන කාලය එන තෙක් මම හුඟක් ඕනෑකමින් බලා සිටිනවා. (ගීතාවලිය 37:11, 29; ලූක් 23:43) මම තවත් පොරොන්දුවක ඉටුවීමක් ඉතා උනන්දුවෙන් අපේක්ෂා කරනවා. ඒ තමයි, මළවුන්ට පොළොව මත සදාකාල ජීවනයේ ප්‍රස්තාව අත් කර දෙන නැවත නැඟිටීමේ පොරොන්දුව. (යොහන් 5:28, 29; ක්‍රියා 24:15) මගේ තාත්තා, චූටි මල්ලි ඇතුළු අකාලයේ මැරුණු වෙනත් ආදරණීය අයව පිළිගැනීමට ලැබෙන එම ප්‍රස්තාව කොයිතරම් මවිතකර එකක් වේවිද! මෙම බලාපොරොත්තුව ගැන මම විටින් විට මෙනෙහි කරන අතර, එයින් මට මහත් ප්‍රීතියක් ලැබෙනවා. මට ප්‍රීතිවීමට පුළුවන් තවත් කරුණක් වන්නේ, මගේ සහෝදරියන් දෙන්නා සහ ඒගොල්ලන්ගේ දරුවන් කිහිපදෙනෙක්ම දැන් යෙහෝවාට තම ජීවිත කැප කර බව්තිස්ම වී තිබීමයි.
මම දැන් මගේ ඇදහිල්ල ගැනත්, මගේ ජීවිත අද්දැකීම ගැනත් අනුන් සමඟ කතා කරන ගමන් ගීතාවලිය 72:12-14හි සඳහන් ගීතිකාකරුගේ වචන ඔවුන්ට පෙන්වද්දී මට ලොකු ප්‍රීතියක් දැනෙනවා. එහි මෙසේ පවසනවා: ‘ඔහු මොරගසන දිළිඳාද උපකාරකයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. ඔහු දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පා කරන්නේය. දිළිඳුන්ගේ ප්‍රාණයන් ගළවන්නේය. ඔහු ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය; ඔවුන්ගේ ලේ ඔහුගේ ඇස් හමුයෙහි අනර්ඝ වන්නේය.’
යෙහෝවා මා සම්බන්ධයෙන් දැක්වූ ඉවසීම නිසා මගේ හෘදය උණු වී යන අතර, එමගින් මිනිසුන් වර්ධනය කරනවාට ඔහු කැමති ගුණාංග, කෲර සිංහ ගතිගුණ නොව, හැබැයි බැටළු පැටියෙකු හා සමාන සාමකාමි, කරුණාවන්ත හා යටහත් ගතිගුණ මට ඉගෙනගැනීමටත් ක්‍රියාවට නැංවීමටත් අවස්ථාවක් සපයලා දීලා තියෙනවා. මෙය අත්‍යවශ්‍ය දෙයක්. එයට හේතුව, දෙවිගේ වචනය තුළ මෙසේ සඳහන් කිරීමයි: ‘ඔහු යටහතුන්ට කරුණාව දෙන්නේය.’—හිතෝපදේශ 3:34.
[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“ගෙවල් බිඳීම හේතුවෙන් නැවතත් මාව අත්අඩංගුවට ගත් අතර, නියූ යෝක්හි රයික’ස් දූපතේ අවුරුදු දෙකක් මම සිරභාරයේ ගත කළා. මට 1965දී නිදහස ලැබුණත්, එම අවුරුද්දේම මාව නැවතත් මිනිමැරුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා. මං කොයිතරම් අන්තයට ගිහිල්ලා තිබුණද! මං හැසිරුණේ හරියට කෲර සිංහයෙක් වගේයි!”
[13වන පිටුවේ පින්තූරය]
මම බව්තිස්ම වූ දිනය