ලොව වටා සෞඛ්‍ය තත්වය දියුණුයි—නමුත් සැමටම නොවේ
ජගත් සෞඛ්‍ය සංවිධානය (WHO) මගින් පළ කෙරුණු 1998 ලෝක සෞඛ්‍ය වාර්තාවට අනුව, වඩාත් නිරෝගී, වැඩි ආයුෂ ප්‍රමාණයකින් යුත් ජීවිතයක් භුක්ති විඳීම සඳහා ලොව වටා ප්‍රවණතාවක් දක්නට තිබෙනවා. එම වාර්තාවෙහි උදාහරණ කිහිපයක් සඳහන් වෙනවා.
වැසිකිළි මෙන්ම වෙනත් සනීපාරක්ෂක පහසුකම්, ආරක්ෂා සහිත ජල සැපයුම් සහ අවම සෞඛ්යාරක්ෂක පහසුකම් වෙන කිසිදාකටත් වඩා වැඩි ජන පිරිසක් භුක්ති විඳිනවා. මීට අමතරව, ලෝකයේ දරුවන්ගෙන් බහුතරයක් ප්‍රධාන ළමා රෝග හයට එරෙහිව එන්නත් ලබා සිටිනවා.a ප්‍රතිඵලයක් වශයෙන් මියයන දරුවන්ගේ සංඛ්‍යාව පහත බැස තිබේ. වර්ෂ 1955දී වයස අවුරුදු පහෙන් පහළ දරුවන් දශලක්ෂ 21ක් මියගියා. කෙසේවෙතත් 1997දී එම සංඛ්‍යාව දශලක්ෂ 10 දක්වා පහත බැස්සා. මීට අමතරව, මෑත දශක කිහිපය තුළදී කාර්මික රටවල් කිහිපයක හෘදයාබාධ හේතුවෙන් මියයන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩු වී තිබෙනවා.
කෙසේවෙතත්, සෞඛ්‍යය සම්බන්ධයෙන් ලැබී ඇති ප්‍රගතිය ලොවේ හැම තැනකම සිදු වී නැහැ කියාද එම වාර්තාව පවසනවා. එච්අයිවී/ඒඩ්ස් රුදුරු රකුසෙකු මෙන් දිගටම පවතී. වසර 1981ට කලින් සැඟවුණු රෝගයක් වූ ඒඩ්ස්, එහි ආරම්භයේ සිට මේ දක්වා ජීවිත දශලක්ෂ 11.7ක් බිලිගෙන තිබෙනවා. ඉදිරියෙහි ඒ සඳහා පිළියමක් පේන තෙක් මානයකවත් නැහැ. වසර 1996දී අවුරුදු 15න් පහළ දරුවන් 4,00,000කට එච්අයිවී බෝවුණා. වසර 1997දී එච්අයිවී අලුතෙන් බෝවූ එම වයස් පරතරයටම අයත් දරුවන් සංඛ්‍යාව 6,00,000කට ආසන්න වුණා.
දුගීකම තවමත් සෞඛ්‍යයට අහිතකරය
විශේෂයෙන් සෞඛ්‍ය තත්වයේ දියුණුවක් දැක නැත්තේ දුගීකමේ ග්‍රහණයට හසු වී සිටින කෝටි ගණන් ජනතාවයි. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් දිළිඳු රටවලයි ජීවත් වෙන්නේ. එම රටවල රෝගවලින් එල්ල වන තර්ජනය වැඩියි, අනාගත බලාපොරොත්තු මායාවක් බඳුයි. ජීවිතයද කෙටිය. WHOහි හිටපු අධ්‍යක්ෂක-ජනරාල් ආචාර්ය හිරෝෂි නකාජීමා මෙසේ පවසනවා: “සෞඛ්‍යය සම්බන්ධයෙන් ධනවතුන් සහ දුප්පතුන් අතර තිබෙන පරතරය අඩුම තරමින් මීට වසර පනහකට පෙර තිබුණු තත්වයට බොහෝදුරට සමානයි.” හැබැයි එක් WHO විශේෂඥයෙකුට අනුව, “මෙම පරතරය තව තවත් වැඩි වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් දෙමුහත් කඩුවකින් පහරකන නිසයි. ඔවුන් නිදන්ගත වූ නවීන රෝග සමඟ පමණක් නොව, තවමත් පවතින නිවර්තන කලාපීය රෝග සමඟත් පොර බදිනවා.”
කෙසේවෙතත්, දියුණු වීමට සම්පූර්ණයෙන්ම මං ඇහිරී නැහැ. ඇත්තෙන්ම සිදු වන දශලක්ෂ ගණන් අකල් මරණ දැන් වුවත් මඟහැරිය හැකියි. නිදසුනක් වශයෙන්, “වසරකදී අඩුම තරමින් දරුවන් විසිලක්ෂයක්වත් මියයන්නේ එන්නත් මගින් වැළැක්විය හැකි රෝගවලට ගොදුරු වීමෙන්” බව ආචාර්ය නකාජීමා පවසයි. ධනවතුන් සහ දුප්පතුන් අතර සෞඛ්‍ය මට්ටමේ පරතරය අඩු කළ යුතු බවට හේතු දක්වමින් ආචාර්ය නකාජීමා තවදුරටත් මෙසේ පවසයි: “සෞඛ්‍යය සමස්ත ලෝක ප්‍රශ්නයක් බව තේරුම්ගැනීමට කාලය මෙයයි.” “සමාජීය මට්ටමින් යුක්තිය, සාධාරණත්වය සහ එක්සත්කම පදනම් කරගත් අන්තර්ජාතික සහයෝගයක්” ඇති කිරීම ලෝකයේ පවතින හදිසි අවශ්‍යතාවකි.
මෙවැනි සහයෝගයක් ලබාගැනීමට සෑහෙන කාලයක් ගෙවී යා හැකි වුවත්, හැම රටකටම තම ජනයාගේ සෞඛ්‍ය තත්වය නංවාලීමට දැන් වුවත් යමක් කළ හැකියි කියා 1998 ලෝක සෞඛ්‍ය වාර්තාව පවසයි. ඒ කෙසේද? රෝග වැළැක්වීමට හෝ අවම කිරීමට තුඩු දෙන ආකාරයකින් “ඥානවන්තව සහ සෞඛ්‍යයට හිතකර ආකාරයකින් ජීවත් වීමට” ජනයාව දැනුවත් කිරීමෙන්. WHO ව්‍යවස්ථාවලියේ මෙසේ සඳහන් වේ: “සෞඛ්‍ය තත්වය වැඩිදියුණු කිරීමට බෙහෙවින් ඉවහල් වන්නේ මහජනයාගේ පැත්තෙන් ක්‍රියාශීලීව සහයෝගය දැක්වීම සහ දැනුවත් වීමයි.”
[පාදසටහන]
a ළමා රෝග හය මෙසේය: සරම්ප, පෝලියෝමයිලයිටිස්, ක්ෂය රෝගය, ඩිප්තීරියාව, උත්කාසය (කක්කල් කැස්ස) සහ නවජ සූති (අලුත උපන් දරුවන්ට වැළඳෙන) පිටගැස්ම.