ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g99 10/8 16-17 පි.
  • නමින් තුරිතයා ගමනින්—තුරිතයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නමින් තුරිතයා ගමනින්—තුරිතයි
  • 1999 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පියාසර කිරීමට කදිම නිර්මාණයක්
  • මැලියමින් තැනූ කැදලි
  • වන ලැහැබක දරු සෙනෙහස
    2001 පිබිදෙව්!
  • “වන වදුලේ සුන්දරයා”
    2000 පිබිදෙව්!
  • අපගේ පාඨකයන්ගෙන්
    2000 පිබිදෙව්!
1999 පිබිදෙව්!
g99 10/8 16-17 පි.

නමින් තුරිතයා ගමනින්—තුරිතයි

කෙන්යාවේ “පිබිදෙව්!” වාර්තාකරු විසිනි

දෑකැති හැඩැති පියාපත් දෙකක් ආධාරයෙන් ආකාශය දෙවනත් කරමින් පියාසර කරන්නේ මිහිපිට වෙසෙන වේගවත්ම ජීවීන්ගෙන් එක් අයෙකි. ඌ බරින් අවුන්ස අතළොස්සක් වන කුඩා පක්ෂියෙකි. එහෙත් පියාඹන්නේ විදුලි වේගයෙන්. අමෙරිකානා විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) මෙසේ පවසයි: “තුරිතයන්ට ආකාශයෙහි පැයට සැතපුම් 100ක (කි.මී. 160ක) වේගයකින් පියාසර කළ හැකියි.” එසේ නම්, මෙම ජවසම්පන්න පක්ෂීන්ට තුරිතයා (වේගවත්) යන නම යෙදීම කොයිතරම් උචිතද!

කෘමීන් සොයා පොළොවෙන් සෑහෙන උසක සිට ඈත මෑත කැරකි කැරකී අදහන්න බැරි තරම් වේගයකින් ඉහළට ඇදී යන තුරිතයෙකුගේ ගමනට කිසිදු උත්සාහයක් අවශ්‍ය නැති තරම්ය. තුරිතයන් වැඩි කාලයක් ගත කරන්නේ ගුවනෙහි පියාසර කරමින්. උන් ආහාර සොයන්නෙත්, එය අනුභව කරන්නෙත්, ජලය පානය කරන්නෙත්, කැදැල්ලට අවශ්‍ය ද්‍රව්‍ය එකතු කරන්නෙත්, සංසර්ගයෙහි වුවද යෙදෙන්නෙත් ඉගිලෙමින් සිටින විටයි. පියාසර කිරීමට උන් කොතරම් කාලයක් ගත කරනවාද කිවහොත්, අතීතයේදී උන්ව නිරීක්ෂණය කළ අය විශ්වාස කළේ උන් ලගින්නේ අහසෙහි වලා පටලයන්ගෙන් සැඟවී ඇති ස්ථානයක බවයි. ඇතැම් තුරිතයන් වසරෙන් මාස නවයක්ම ගුවනෙහි ගත කරනවා. අරුම පුදුම වූ මෙම පක්ෂීන් නිදන්නෙත් සුළඟේ පාවෙමින් සිටිද්දීයි!

පියාසර කිරීමට කදිම නිර්මාණයක්

තුරිතයන් විශිෂ්ට ලෙස වායුගතික විද්‍යාවට අනුකූලවයි නිර්මාණය වී ඇත්තේ. වෙනත් පක්ෂීන්ගේ ගමන අඩාල කිරීමට බෙහෙවින් හේතු වන බාධාවන්, අඩ සඳක හැඩයක් ගන්නා පසුපසට වක් වී යන උන්ගේ සුමට පියාපත් දෙකින් මඟහැරේ. උන් ගුවනෙහි සැරිසරන විට කරන ශීඝ්‍රවත්, කෙටි අත්තටු ගැසීමකින් උන්ගේ වේගය වැඩි කරමින් විටින් විට කෙටි දුරක් ගුවනෙහි පාවෙවී ගමන් කරනවා.

විදුලි වේගයෙන් මෙන් එහෙට මෙහෙට ඉගිලීමට උන් දස්කම් පාන්නේ පියාසර කරද්දී එක් තටුවක් අනිකට වඩා වේගයෙන් ගැසීමට සමර්ථව සිටින නිසයි. මෙසේ මද වේලාවක් තටු එකට නොගැසීමෙන්, වේගය අඩු නොකර තියුණු ලෙස දිශාව වෙනස් කිරීමට තුරිතයන් සමත් වෙනවා. ඉගිලෙන කෘමීන් පසුපස කැරකි කැරකී හඹා යමින් කට ඇර උන්ව ගිල දමද්දී, පුදුම දනවන වේගයක් රඳවාගැනීමට මෙය ඉවහල් වෙනවා. තුරිතයන්ගේ ශීඝ්‍රගාමී ජීවන රටාවට අවශ්‍ය අතිමහත් ශක්තිය ලබාගැනීමට නම්, කෘමීන් විශාල ප්‍රමාණයක් අනුභව කිරීමට සිදු වෙනවා. ගුවනෙහි මෙම ශූරයන්ට කෘමීන් සොයා දිනකට සැතපුම් සිය ගණනක් වුණත් පියාසර කළ හැකියි.

බැලූ බැල්මට තුරිතයෙකුට මෙතරම් පුදුම දනවන පියාසර කිරීමේ හැකියාවක් ඇතැයි කිව නොහැකියි. ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම ඇත්තේ ඉතා සාමාන්‍ය අළු හෝ දුඹුරු පැහැති පෙනුමකි. ලොව පුරාම තුරිත වර්ග රැසක් දක්නට ලැබෙන අතර, ඉන් වැඩි හරියක් නිවර්තන සහ උපනිවර්තන රටවල දිවි ගෙවනවා. එහෙයින් සිසිරයේදී උත්තරාර්ධගෝලයෙහි වෙසෙන තුරිතයන් සැතපුම් දහස් ගණනක් ගෙවා උෂ්ණ දේශගුණයන්වලට සංක්‍රමණය කරනවා.

මැලියමින් තැනූ කැදලි

සිය කැදලි තැනීමට තුරිතයන් යොදාගන්නේ සාමාන්‍යයෙන් නොසිතන ද්‍රව්‍යයකි. ඒ තමයි උන්ගේම ඛේටය! උන්ට විශේෂ ඛේට ග්‍රන්ථි තිබෙන නිසා, කැදැල්ල තැනීමට යොදාගන්නා ද්‍රව්‍යවලට මැලියමක් සේ ක්‍රියා කරන ඛේටය විශාල ප්‍රමාණයක් නිපදවාගන්න උන්ට පුළුවන්.

තුරිතයන් සමතලා බිමකට පතිත වන්නේ කලාතුරකින්. වෙනත් පක්ෂීන් මෙන් උන්ට ලගින්නත් බැහැ. උන්ගේ ඇඟිලි කුඩා කොකු වගෙයි. ඒවා කොතරම් කොටද කිවහොත් උන්ට බිම සිට සම්පූර්ණයෙන් විහිදෙන ආකාරයෙන් තටු ගසන්න බැහැ. කෙසේනමුත්, ප්‍රපාත, ගුහා නැතහොත් ගොඩනැඟිලි බිත්ති වැනි සිරස් පෘෂ්ඨවල සිටීමට ඒ පාද කදිමට ගැළපේ. කැදැල්ලක් තැනීමේ වාරය එළඹෙද්දී, වෙනත් පක්ෂීන් කරන්නාක් මෙන් බිමට ගොස් ශාක පත්‍ර, කෝටු හෝ මඩ එකතු කරගන්න තුරිතයාට බැහැ. වෙනත් මඟක් සොයාගැනීමට ඌට සිදු වෙනවා.

දුම්කවුළු තුරිතයා කුඩා කෝටු එකතු කරන්නේ ගසක අතු අතරින් වේගවත්ව ඉගිලී, කෝටුවක් හොටින් අල්ලා, උගේ ගමනේ වේගයෙන් එය කඩාගෙන යෑමෙනි. ඊළඟට උගේ ඇලෙනසුලු ඛේටය යොදා සිරස් පෘෂ්ඨයකට කෝටු එකට සවි කරයි. අමෙරිකානු තල් තුරිතයා ගුවනෙහි කඩිමුඩියේ ඉගිලෙමින්, ලොම්, පිහාටු සහ කපු පුළුන් කැබලි මෙන්ම පාවෙන වෙනත් සැහැල්ලු ද්‍රව්‍ය ඩැහැගන්නා අතර, ඒවා උගේ ඛේටය සමඟ කැදැල්ලක් තැනීමට යොදාගනියි.

වෙනත් තුරිත වර්ගයකට කැදැල් තුරිතයා යන යෝග්‍ය නාමය දී ඇත. උගේ කැදැල්ල සම්පූර්ණයෙන්ම වගේ උගේම හයි වූ ඛේටයෙන් සෑදී ඇත. සියවස් ගණනාවක් පුරා මෙම කැදැල්ල සෑදීමට යොදාගන්නා ඛේටය ප්‍රාචීන රටවල භුක්ති විඳින ප්‍රණීත කුරුලු කැදලි සූපයේ ප්‍රධාන රසද්‍රව්‍යය වී තිබෙනවා. කටට රස මෙම ආහාරයට වසරක් වසරක් පාසා කැදලි දශලක්ෂ ගණනාවක්ම යොදාගන්නා බවට වාර්තා වේ.

අප්‍රිකානු තල් තුරිතයා උගේ මැලියම් බඳු ඛේටය යොදා ඉතා සිත්ගන්නාසුලු කැදැල්ලක් නිර්මාණය කරයි. මෙම කුඩා පක්ෂියා තාල වර්ගයේ ගස්වල පත්‍රයක යටි පැත්තේ කුඩා පිහාටු තට්ටුවක් අලවයි. මුණින් අතට පිහිටන සේ සාදා ඇති තරමක් වකගැසුණු මෙම කැදැල්ල නිතරම සුළඟින් දැඩි ලෙස පහරකයි. එහි අන්තර්ගත කුඩා බිත්තරය එතුළම රැඳී පවතින්නේ කෙසේද? ජෛව ලෝකයේ අසීරුතා (ඉංග්‍රීසියෙන්) යන තම පොතෙහි ඩේවිඩ් ඇටන්බරෝ මෙසේ පැහැදිලි කරයි: “මෙම කුඩා කැදැල්ලේ ඒ බිත්තර රැඳී පවතින එක අදහාගන්න බැරි තරම් දෙයක්. ඇත්තෙන්ම අඩ කෝප්පයක් බඳු කැදැල්ල ශාක පත්‍රයටත්, බිත්තරය කැදැල්ලටත් අලවා තිබුණේ නැත්නම් එය අනිවාර්යයෙන්ම කැදැල්ලෙන් වැටෙනවා.” ඔව් කැදැල්ල හා බිත්තරය යන දෙකම තාල පත්‍රයට හොඳින් සවි වී ඇති නිසා, මාපිය පක්ෂීන් තම ඇඟිලිවලින් කැදැල්ලේ කොන් අල්ලා, මාරුවෙන් මාරුවට බිත්තරය රැකීමෙහි නිරත වෙයි. පැටවා බිත්තරයෙන් එළියට ආ පසු, තටු දෙක හොඳින් වර්ධනය වී පියාසර කිරීමට හැකි වන තෙක් ඌ සුළඟින් පහරකන කැදැල්ල අල්ලාගෙනම සිටිනවා.

තුරිතයන් දහස් ගණනක් එහෙ මෙහෙ ගුවනෙහි සැරිසරමින්, ඉමහත් උද්‍යෝගයකින් මෙන් හඬ නැඟීම ඇත්තෙන්ම චමත්කාරජනක දර්ශනයකි. පොළොවේ සිට උන් දෙස බලද්දී, පියාසර කිරීමෙන් උන් භුක්ති විඳින නිදහස දකින අපට පුදුමයක් දැනෙන අතර, උන් බුද්ධිමත්ව නිර්මාණය කර ඇති ආකාරය සම්බන්ධයෙන් අගයකුත් ඇති වෙනවා. ඇත්තවශයෙන්ම, පුදුමාකාර වේගයක් මෙන්ම ජවයක් ඇති මෙම ආකාශ ශූරීන්ට තුරිතයන් යන නම යෙදීම මොනතරම් කදිමද කියා මනාව පැහැදිලි වෙනවා.

[17වන පිටුවේ පින්තූර]

ඇල්පයින් තුරිතයා

පොදු යුරෝපීය තුරිතයා

[හිමිකම් විස්තර]

Animals/Jim Harter/Dover Publications, Inc.

[17වන පිටුවේ පින්තූරය]

දුම්කවුළු තුරිතයා

[හිමිකම් විස්තර]

© Robert C. Simpson/Visuals Unlimited

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© D. & M. Zimmerman/VIREO

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න