බයිබලයේ දෘෂ්ටිකෝණය
විවාහ කලත්‍රයෙක් තෝරාගන්නේ කොහොමද?
“ඔයා කවදාහරි බඳින එක ගැන කල්පනා කරලා තියෙනවාද?” කියා එක් තනිකඩ ස්ත්‍රියකගෙන් අසා තිබුණා. “කල්පනා කරනවා විතරක් නෙවෙයි, ඒක තමයි මගේ හිතට වද දෙන ලොකුම ප්රශ්නය” කියා ඇය එකපාරටම පිළිතුරු දුන්නා.
ආදරය ලැබීමටත් අන්‍යොන්‍ය සබඳතාවක් භුක්ති විඳීමටත් ඇතමෙකුට තිබෙන ආශාව, මෙම ස්ත්‍රියගේ ඉක්මන් පිළිතුරෙන් මනා ලෙස පිළිබිඹු වෙනවා. බොහෝදෙනෙක් විවාහ කලත්රයෙක්ව සොයාගැනීම සලකන්නේ තම ජීවිතයේ වැදගත්ම දේවලින් එකක් හැටියටයි. ඒ නිසා, කලත්‍රයෙකු සොයාගැනීම සඳහා සේවාවන් පිරිනමන මධ්‍යස්ථාන රැසක් දැන් ලෝකයේ දසත පැතිරිලා තියෙනවා. කොහොම වුණත්, ලෝකයේ බොහෝ රටවල විවාහයන් සාර්ථක වෙනවාට වඩා අසාර්ථක වන බවක් දකින්න තිබෙනවා.
බටහිර රටවල සාමාන්‍ය සිරිත වන්නේ, තම කලත්‍රයාව තමා විසින්ම තෝරගැනීමයි. නමුත් ආසියාවේ හා අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල නම් විවාහ යෝජනා ඉදිරිපත් කිරීමේ සිරිත තවමත් ක්‍රියාත්මක වෙනවා. කලත්‍රයෙක් තෝරාගන්නා ක්‍රමය කුමක් හෝ වේවා සැහැල්ලු ආකාරයට තීරණ ගැනීම සුදුසු වන්නේ නැහැ. ඇත්තෙන්ම අපගේ සතුටට හෝ අසතුටට බලපෑ හැකි මෙතරම් වැදගත් තීරණයක් නැති තරම්. ආදරයෙන් පිරුණු විවාහයක් සැබවින්ම සතුට මෙන්ම තෘප්තිය ගෙන දෙන අද්දැකීමක් විය හැකියි. ඊට හාත්පසින්ම වෙනස්ව, රණ්ඩු සරුවල්වලින් පිරුණු සම්බන්ධයක් නිරන්තර මානසික පීඩනයට මෙන්ම වේදනාවට තුඩු දිය හැකියි.—හිතෝපදේශ 21:19; 26:21.
අනිත් මිනිසුන්ගේ මෙන්ම සැබෑ ක්රිස්තියානීන්ගේද ආශාව වන්නේ, සතුට හා තෘප්තිය ගෙන දෙන විවාහයක් භුක්ති විඳීමයි. නමුත් ඒ අතරතුර, දෙවිව සතුටු කරන්නත් ඔහුට ගෞරවය ගෙන දෙන්නත් ඔවුන් කැමැත්තෙන් සිටිනවා. (කොලොස්සි 3:24) මැවුම්කරු මෙන්ම විවාහයේ ආරම්භකයා වශයෙන් ඇත්තෙන්ම අපට අවශ්‍ය වන්නේ කුමක්ද කියාත්, අපට වැඩියෙන්ම ප්‍රයෝජන අත් කර දෙන්නේ කුමක්ද කියාත් දෙවි හොඳාකාරයෙන් දන්නවා. (උත්පත්ති 2:22-24; යෙසායා 48:17-19) ඒ විතරක් නෙමෙයි, මිනිසාගේ පැවැත්මේ ආරම්භයේ සිට මේ දක්වා ඔවුන් ගත කර තිබෙන සාර්ථක මෙන්ම අසාර්ථක විවාහයන් මිලියන ගණනාවක් ඔහු නිරීක්ෂණය කර තිබෙනවා. සාර්ථක වන්නේ හා නොවන්නේ මොකද්ද කියා ඔහු දන්නවා. (ගීතාවලිය 32:8) ඔහුගේ වචනය වන බයිබලය තුළින් ඔහු පැහැදිලි මෙන්ම නිශ්චිත ප්‍රතිපත්ති සපයන අතර, මේවා ඕනෑම ක්‍රිස්තියානියෙකුට දැනුවත් තීරණයක් ගැනීම සඳහා උපකාරවත් වෙනවා. අපි මෙම ප්‍රතිපත්ති කිහිපයක් සලකා බලමු.
බාහිර අලංකාරයට ඔබ්බෙන් බලන්න
තමාට සුදුසු කලත්‍රයෙක් තෝරාගැනීමට පෞද්ගලික නිදහස තිබෙන රටවල අහම්බෙන් හෝ ඥාති හිත මිතුරන් මාර්ගයෙන් සුදුසු කෙනෙකුව මුණගැසීමට ඉඩ තිබෙනවා. බොහෝ අවස්ථාවලදී, විරුද්ධ ලිංගයේ කෙනෙකු වෙතට මුලින්ම හිත ඇදිලා යන්නේ ඔහුගේ හෝ ඇයගේ බාහිර අලංකාරය හේතුවෙනුයි. මෙය ඇත්තෙන්ම ස්වාභාවික හැඟීමක් වන අතර, එමගින් ප්‍රබල බලපෑමක්ද ඇති කළ හැකියි. හැබැයි විවාහය ගැන කල්පනා කරද්දී, කෙනෙකුගේ බාහිර අලංකාරයට වඩා ඔබ්බෙන් බලන්න කියා බයිබලය අපට උනන්දු කරනවා.
හිතෝපදේශ 31:30 අපට පවසන්නේ, “රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ [යෙහෝවා] කෙරෙහි භය ඇති ස්ත්‍රියටය” කියායි. ඒ වගේම, ප්‍රේරිත පේතෘස්, ‘දෙවි ඉදිරියෙහි ඉතා අනර්ඝව තිබෙන මෘදු වූ නිශ්චල වූ ගතියක් නමැති දිරා නොයන සැරසීම’ ගැන සඳහන් කළා. (1 පේතෘස් 3:4) ඔව්, අනාගත කලත්‍රයෙකුගේ ආත්මික ගුණාංග, ඒ කියන්නේ එම පුද්ගලයා දෙවි කෙරෙහි දක්වන භක්තිය හා ප්‍රේමය මෙන්ම ඔහුගේ ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය බාහිර අලංකාරයට වඩා බොහෝ සේ වටිනවා. එක සමාන ආත්මික ඉලක්ක මෙන්ම දෙවිගේ ශුද්ධාත්මයේ ඵල වර්ධනය කිරීමට වෑයම් කරන කෙනෙකුව තේරීමට කාලය ගැනීම ඉතා වැදගත්. එමෙන්ම එම තේරීම හැඟීම්වලින් යටපත් නොවූ එකක් විය යුතුයි. සන්තෝෂවත් විවාහයක් සඳහා මෙය බොහෝ සෙයින් දායක වන්න යනවා.—හිතෝපදේශ 19:2; ගලාති 5:22, 23.
‘ස්වාමින් තුළ පමණක් විවාහ වන්න’
ඔබගේ අනාගත කලත්‍රයාත් ඔබත් අතර එක සමාන ඉලක්කයන් හා විශ්වාසයන් තිබීම ඉතා වැදගත් කාරණයක්. සෑහෙන දුරට දෙපාර්ශ්වයටම තම ක්‍රියා කලාපයන් හා ආකල්පයන් සකස් කිරීමට සිදු වන නිසා විවාහය ඇත්තටම අභියෝගයකි. ඔබගේ කලත්‍රයාත් ඔබත් අතර සමානකම් වැඩි වන තරමටම, සකස් වීම වඩාත් පහසු වන බවට සැකයක් නැහැ.
ප්‍රේරිත පාවුල් “නොඇදහිලිකාරයන් සමඟ අසමලෙස සම්බන්ධ නොවෙන්න” කියා අවවාද කළේ ඇයි කියා තේරුම්ගැනීමට මෙය අපට උපකාරවත් වෙනවා. (2 කොරින්ති 6:14) එක හා සමාන ඇදහිල්ලක් හා බයිබල් ප්‍රතිපත්ති පිළිබඳ එක හා සමාන වටහාගැනීමක් නොමැති කෙනෙක් සමඟ විවාහ වීම, එකඟ නොවීම් හා භේද ඇති කළ හැකි බව පාවුල් දැන සිටියා. එමනිසා, ‘ස්වාමින් තුළ පමණක් විවාහ වීමට’ දුන් අවවාදය සාධාරණයි. (1 කොරින්ති 7:39) එය දෙවිගේ මනස පිළිබිඹු කරනවා. මෙම උපදෙස් ඥානවන්ත ලෙස පිළිපදින අයට බැරෑරුම් ප්‍රශ්න ගැටලුවලින් ආරක්ෂාවක් ලැබෙයි.—හිතෝපදේශ 2:1, 9.
යෝජනා කළ විවාහයන්
විවාහ යෝජනා ඉදිරිපත් කිරීමේ සිරිත තවමත් ක්‍රියාත්මක වන ප්‍රදේශ ගැන කුමක් කිව හැකිද? උදාහරණයකට, ඇතමෙකුගේ තක්සේරුවට අනුව, දකුණු ඉන්දියාවේ සිදු වන විවාහයන්ගෙන් සියයට 80ක්ම සූදානම් කර තිබෙන්නේ දෙමව්පියන් විසිනුයි. ක්‍රිස්තියානි දෙමව්පියන් මෙම සම්ප්රදාය පිළිපදිනවාද නැද්ද යන්න පෞද්ගලික තීරණයක්. කොහොම වුණත්, එවැනි විවාහයන් සාර්ථක වන්නේ එකිනෙකා තමන්ට මඟ පෙන්වීම සඳහා ආත්මික සාරධර්මවලට ඉඩහරින විටයි.
විවාහ යෝජනාවලට වැඩි කැමැත්තක් දක්වන අය සිතන්නේ, එමගින් තීරණ ගැනීමේ වගකීම අද්දැකීම් ලත් මේරූ අයට බාර වෙනවා කියායි. “ඒගොල්ලන්ගේ දරුවන් වයසින් අඩු නිසා, අනාගත කලත්‍රයෙකුගේ ආත්මිකත්වය මනින්න තරම් ඔවුන්ට අද්දැකීම් නැහැයි කියා සමහර දෙමව්පියන් සිතනවා” කියා අප්‍රිකාවේ එක් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් පවසනවා. ඉන්දියාවේ සංචාරක අවේක්ෂකයෙක් කියා සිටියේ, “යෞවන අයට අද්දැකීම් අඩු නිසා, හැඟීම්වලින් යටපත් වූ තීරණ ගැනීමට ඉඩ තිබෙනවා” කියායි. වෙන කිසිම කෙනෙකුට වඩා දෙමව්පියන් තම දරුවන්ගේ පෞද්ගලිකත්වය ගැන දන්නා නිසා, තම දරුවන් වෙනුවෙන් ඥානවන්ත තේරීමක් කරන්න තමන්ට අද්විතීය හැකියාවක් තියෙනවා කියා ඔවුන් සිතනවා. නමුත් ඔවුන් මෙසේ කරද්දී, තරුණයාගේ හා තරුණියගේ අදහස් සැලකිල්ලට ගැනීම නුවණට හුරුයි.
කොහොම වුණත්, කාලයක් ගත වී විවාහයේ යම් ප්‍රශ්නයක් මතු වුණොතින් තත්වය කුමක්ද? දෙමව්පියන් බයිබල් ප්‍රතිපත්ති නොසලකා හැර ඇත්නම් ඔවුන්ට පසුතැවීමට සිදු වේවි. අනාගත කලත්‍රයන්ට එකිනෙකාව හොඳින් දැනහඳුනා ගැනීම සඳහා ඒ තරම් අවස්ථාවක් නැති නිසා, ප්‍රශ්න මතු විය හැකියි. එමෙන්ම ප්‍රශ්නවලට මුහුණ දෙන විට, “සාමාන්‍ය සිරිත වන්නේ දෙමව්පියන්ට දොස් පැවරීමයි” කියා ඉන්දියාවේ එක් ක්‍රිස්තියානි පියෙක් පැහැදිලි කරනවා.
තම දරුවන් වෙනුවෙන් විවාහයක් යෝජනා කරන විට, ක්‍රිස්තියානි දෙමව්පියන් තම චේතනාවන් සලකා බැලිය යුතුයි. විවාහ කලත්‍රයෙක් තේරීමේදී ද්‍රව්‍යවාදී ඉලක්කවලින් හා කීර්තියක් ලබාගන්න තියෙන ආශාවෙන් පාලනය වෙනවා නම්, අනිවාර්යයෙන්ම ප්‍රශ්න හටගනියි. (1 තිමෝති 6:9) එමනිසා විවාහ යෝජනාවක් ඉදිරිපත් කරන කෙනෙක් තමාගෙන්ම මෙසේ අසාගත යුතුයි: ‘මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ, ඒ දෙදෙනාගේ සන්තෝෂය හා ආත්මික ශුභසිද්ධිය සහතික කරගැනීම සඳහාද? එහෙමත් නැත්නම් එසේ කරන්නේ, පවුලේ සමාජීය තත්වය උසස් කරගැනීමට හෝ ආර්ථික තත්වය වැඩිදියුණු කරගැනීම සඳහාද? නැත්නම් මූල්‍යමය වාසියක් ලබාගැනීමටද?’—හිතෝපදේශ 20:21.
බයිබලයේ උපදෙස් පැහැදිලි මෙන්ම ප්‍රයෝජනදායකයි. කලත්‍රයෙක් තෝරද්දී, තෝරාගන්නා ක්‍රමය කුමක් හෝ වේවා, මුල් තැන දිය යුත්තේ පුද්ගලයාගේ ආත්මිකත්වයට හා ඔහු විදහාපෙන්වන යහපත් ගුණාංගවලටයි. මෙසේ කරද්දී, විවාහ විධිවිධානයේ ආරම්භකයා වන යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන අතර, යුවළට ස්ථිර පදනමක් මත තම විවාහ ජීවිතය ආරම්භ කළ හැකියි. (මතෙව් 7:24, 25) මෙය සැබවින්ම සන්තෝෂය හා තෘප්තිය ගෙන දෙන සම්බන්ධයකට මඟ පාදයි.