පුංචි ගුවන්ගත ශූරයෝ
ඉහළින් කැරකෙන මැස්සා දෙස ඔබ බලන්නේ මහත් නොරිස්සුමකිනුයි. ඉලපතක් අතට ගෙන ඔබ මැස්සා යන දෙසට වැරෙන් පහරක් එල්ල කරන්නේ උගෙන් එල්ල වන හිරිහැරය කෙසේ හෝ කෙළවර කිරීමේ අටියෙනුයි. මැස්සා ගැළවී යයි. ඉලපතෙන් එල්ල වූ පහර හේතුවෙන් මදක් චංචල වන වාතාශ්රයේ වීසි වී ගියද, ඌ නැවතත් ස්ථාවරත්වයක් ලබා යටිකුරු වී සිවිලිමට වහන්නේ උගේ දිවි හානි කරන්න ඔබ දැරූ නිෂ්ඵල වෑයමට සරදම් කරන්නාක් මෙනි. උගේ හපන්කම් මවිතකරයි. මැසි පවුලේ සාමාජිකයෝ නොමැති තැනක් නැති තරම්ය. කෘමි රාජධානියේ වඩාත්ම දක්ෂ පියාපත් සලන්නන්ගේ ගණයට වැටෙන්නේ උන්ය. මැස්සන්ට විශේෂයෙන් ආධාර වන්නේ විශිෂ්ට ලෙස නිර්මාණය වී ඇති උගේ තෝලක යුගළයයි. ඒවා සමබරතාව රැකීමට උපයෝගි කරන උපාංග දෙකකි.
තෝලක දෙක කුඩා බට දෙකකට සම කළ හැකියි. එහි කෙළවරෙහි කුඩා ගැටිති දෙකක්ද ඇත. මේවා මැස්සාගේ පියාපත් දෙකට පිටුපසින් උරහිස ළඟින් පිහිටා ඇත. (ඊළඟ පිටුවේ පින්තූරය බලන්න.) මැස්සෙක් තටු ගසන්න පටන්ගනිද්දී, තෝලකද එකම සංඛ්‍යාතයකින් ස්පන්දනය වෙන්න පටන්ගනී. ඒ, හැම තත්පරයකටම සිය වාරයකිනි. ඇත්තෙන්ම මැස්සාට ගුවන්ගත වීමට උපකාරවත් වන මේ තෝලක, කුඩා විභ්රමේක්ෂවලට (වේගයෙන් කැරකෙන බමර වර්ගයක්) සම කළ හැකියි. මේ පුංචි ඈයා සුළං රැල්ලකට හසු වී නැතහොත් ඉලපත් පහරකින් යාන්තම් බේරී විසි වෙද්දී හෝ කැලඹුණු වාතයේ ගහගෙන යද්දී, උගේ ගමනේ දිශාව වෙනස් වේ. ඒ මොහොතේදීම තෝලකවලින් මැස්සාගේ මොළයට එවන් වෙනස් වීම් පිළිබඳව සංඥා යවනු ලැබේ. ගුවන්යානයක සවි කර ඇති විභ්රමේක්ෂයකින් සිදු වන කාර්යයට සමානව, මැස්සා හැරී ඇද්ද, පෙරළී ඇද්ද, එසේ නැතහොත් උස් පහත් වී ඇද්ද යන්න ක්ෂණිකව තෝලක මගින් දැනුම් දෙනු ලැබේ. කෙසේවෙතත්, මැස්සාගේ සියුම් තෝලක ගුවන්යානයේ විභ්රමේක්ෂයටත් වඩා සියුම්ව සකස් වී ඇත. ප්‍රතිඵලයක් වශයෙන් මැස්සා සැණෙකින් තම ගමන නිවැරදි කරගන්නේ කිසිම අසීරුතාවක් අද්නොදැකයි.
සම්මත කැරකෙන විභ්රමේක්ෂවලට වෙනස්ව, තෝලකයන් ඔරලෝසු බට්ටෙකුට සමාන ස්වරූපයක් ගනී. එනමුත් ඒවා මැස්සාට සාපේක්ෂව එල්ලී පවතින්නේවත්, ඍජුව උඩට විහිදෙන්නේවත් නැත. ඒවා උගේ දෙපසින් පිටතට නෙරා පවතී. තෝලක ක්‍රියාත්මක වූ වහාම, ඔරලෝසු බට්ටෙකු මෙන් ඒවා දිගටම දෝලනය වෙන්න නැතහොත් පැද්දෙන්න පටන්ගනී. එසේ දෝලනය වන්නේ චලනය පිළිබඳ නියමයන්වලට එකඟව එකම දිශාවට හෝ එකම තලයක් ඔස්සේය. එමනිසා, මැස්සෙකු ගුවන්ගත වෙද්දී උගේ ගමනේ දිශාව වෙනස් වීමකට ලක් වුවහොත්, දෝලනය වන තෝලක බාහිර බලපෑම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම ඇඹරේ. එම ඇඹරීම ස්නායුවලට දැනේ. ස්නායුවලින් ලද මෙම සංඥා මොළය මගින් විග්රහ කොට, මැස්සාගේ ගමන නිවැරදි කිරීමට පියාපත්වලට විදුලි වේගයෙන් අණ නිකුත් කරයි.
මැස්සන්ටම ආවේණික වූ විශේෂ දායාදවලින් එකක් ලෙස තෝලක නම් කළ හැකියි. මැසි පවුලේ වර්ග 1,00,000ක් පමණ සිටින අතර, ඒවාට අස්මැස්සා, ගෙමැස්සා, නිලමැස්සා, පලතුරු මැස්සා, සෙට්සේ මැස්සා, වැලි මැස්සා සහ දිප්පයා අයත් වේ. මැස්සන්ට, කෘමී ලොවේ සිටින අන් සැම වර්ගයක්ම අබිබවා ගුවනෙහි විශිෂ්ට දස්කම් පෑමට ඉවහල් වන්නේ උන්ගේ ඉතා කාර්යක්ෂම විභ්රමේක්ෂයයි. මැස්සා දෙස අප බොහෝදුරට වපර ඇසින් බැලුවත්, මැවුම්කරුගේ විද්‍යාත්මක කෞශල්‍යයට ඌ විශිෂ්ට සාක්ෂියකි.
[16වන පිටුවේ පින්තූරය]
හැරීම
[16වන පිටුවේ පින්තූරය]
පෙරළීම
[16වන පිටුවේ පින්තූරය]
උස් පහත් වීම
[17වන පිටුවේ පින්තූරය]
සෙබල මැස්සා (විශාල කර), තෝලක සහිතව
[හිමිකම් විස්තර]
© Kjell B. Sandved/Visuals Unlimited
[17වන පිටුවේ පින්තූර]
ගෙමැස්සා
දිප්පයා
[හිමිකම් විස්තර]
Animals/Jim Harter/Dover Publications, Inc.
[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Century Dictionary