අධිමානුෂික දේවලට මිනිසුන් ඇදී යන්නේ ඇයි?
ශාස්ත්‍ර බැලීම, පේන කීම, නිමිති බැලීම, තොවිල් කිරීම වැනි විවිධ අධිමානුෂික ක්‍රියාවලට මිනිසුන් ඇදී යනවා. ඊට හේතුව ඔවුන් අදහන ආගම හෝ ඔවුන්ගේ සංස්කෘතිය විය හැකියි. ඒ වගේම පහත සඳහන් කරුණු නිසාද මිනිසුන් ඒ ගැන වැඩි උනන්දුවක් දක්වනවා.
● කුතුහලය. ඕනෑම දෙයක් දැනගැනීමේ ආශාවක් මිනිසුන් තුළ තිබෙනවා. යම් අද්භූත දෙයක් සම්බන්ධයෙන් නම් දක්වන උනන්දුව ඊටත් වඩා වැඩියි. සමහර අය ශාස්ත්‍ර බැලීම වැනි දේවල් කිරීමට පෙලඹෙන්නෙත් කුතුහලය නිසයි.
● විනෝදය. මෑත කාලවලදී අද්භූත දේවල් සහ විවිධ මිථ්‍යා ආගමික විශ්වාසයන් තේමා කරගෙන පොත්, චිත්‍රපටි සහ පරිගණක ක්‍රීඩාද බොහොමයක් නිෂ්පාදනය කර තිබෙනවා. සමහර ඒවාවල ප්රචණ්ඩ ක්‍රියා හා කාමුක දේවල්ද ඇතුළත්.
● හෙට දවස ගැන තිබෙන බිය. “අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව” බයිබලයේ සඳහන් වෙනවා. (2 තිමෝති 3:1) මෙවැනි තත්වයක් නිසා බොහෝදෙනා කරන්නේ අනාගතය ගැන දැනගැනීමට ශාස්ත්‍ර, නිමිති හා හඳහන් බලන අය වෙත යෑමයි. “ආර්ථික අර්බුද නිසා වෙනත් ව්‍යාපාර බිඳ වැටුණත් අපට නම් කිසිම පාඩුවක් නැහැ” කියා එක් ශාස්ත්‍ර කියන පුද්ගලයෙක් පැවසුවා. කැනඩාවේ සිටින හඳහන් බලන තැනැත්තියක් පැවසුවේ මෙසේයි. “මිනිස්සු සතුටින් ඉන්නකොට නම් අපි ළඟට එන්නේ නැහැ. නමුත් ඉස්සර අපි ළඟට ආවේ නැති ලොකු ව්‍යාපාරිකයන් පවා දැන් දැන් හොර රහසෙන් හරි අපෙන් උදව් ඉල්ලනවා.”
● ලෙඩ රෝග. සමහර රටවල අය කරන්නේ කෙනෙකුට බරපතළ රෝගයක් වැලඳුණ විට වෛද්‍යවරයෙකු ළඟට යනවා වෙනුවට යන්ත්‍ර මන්ත්‍ර වැඩ කරන ඇදුරෙක් වෙත යෑමයි. රෝගී වී සිටින්නේ යම් යක්ෂ දෝෂයක් හෝ ශාපයක් නිසා කියා එම ඇදුරා නිශ්චය කළොත් ඊට ප්‍රතිකාර කිරීම සඳහා විශාල මුදලක් වුණත් ඔවුන් වියදම් කරනවා.
● ආරක්ෂාව සහ වාසනාව උදා කරගැනීම. අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල සිටින අය යකැදුරෙක්ව ගෙන්වාගෙන යක්ෂයන්ව දුරු කිරීමට පුරුදු වී සිටිනවා. එමෙන්ම මතුරන ලද ජලය පානය කිරීමද ඔවුන්ගේ සිරිත් විරිත්වලට ඇතුළත්. තවත් සමහර අය තමන්ගේ භූමිය ආරක්ෂා කරගැනීමට හෝ නිවසට වාසනාව ගෙන දෙන්න කියා භූතයන්ට පුද පූජා පවත්වනවා.
● දරුවන්ව ආරක්ෂා කරගැනීම. පැපුවා නිව් ගිනියාවේ සිටින සමහර මව්වරුන් අඳුර වැටුණු පසුව තමන්ගේ අලුත උපන් දරුවන් රැගෙන එළියට යන්නේ නැහැ. ඔවුන් එසේ කරන්නේ කුඩා දරුවන්ව භූතයන්ගෙන් ආරක්ෂා කරගැනීමටයි. ඒ වගේම උගන්ඩාවේ බොහෝ මව්වරුන් තම දරුවන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්ගේ අතේ හෝ කකුලේ නූලක් බඳිනවා.
● පවුලේ කෙනෙක්ගේ මරණය. සමහර අය තම පවුලේ කෙනෙක් හෝ ඥාතියෙක් මිය ගිය විට ඔහු සමඟ කතා කිරීමට උත්සාහ කරනවා. ඒ සඳහා ඔවුන් මළවුන් සමඟ කතා කරන අය වෙත යනවා. අනික් අතට සමහර පල්ලි ඇතුළු විවිධ ආගම් උගන්වන්නේ මරණයට හේතුව භූතයන් කියායි. ඒ නිසා ඔවුන්ගෙන් මුළු සමාජයම ආරක්ෂා කරගැනීමට මිල අධික විවිධ වත්පිළිවෙත්වල යෙදෙන්න කියා ආගමික නායකයන් බල කරනවා.
● මරණයට තිබෙන බිය. මරණය සහ මිය ගිය අයගේ තත්වය ගැන මිනිසුන් තුළ විවිධ මත තිබෙනවා. ඉන් ප්‍රධාන එකක් වන්නේ කෙනෙක් මිය ගිය විට නොමියන ආත්මයක් ඉතිරි වෙනවා යන විශ්වාසයයි. ඒ නිසා බොහෝ අය මිය ගිය තැනැත්තාට තමාගේ ආදරය පෙන්වීමට විවිධ සිරිත් අනුගමනය කරනවා. උදාහරණයකට පැසිෆික් දූපත්වල සිටින සමහර අය ස්වාමිපුරුෂයා හෝ භාර්යාව මිය ගිය විට කලු ඇඳුම් අඳින අතර මාස ගණන් නිවසටම කොටු වී සිටිනවා. ඒ කාලය අතරතුර මිය ගිය තැනැත්තා ප්‍රිය කළ කිසිම ආහාරයක් ඔවුන් අනුභව කරන්නේ නැහැ. මෙවැනි සිරිත් විරිත් නිසා ඔවුන් මානසික පීඩනයට, රෝගී වීමට හෝ මරණයට පවා පත් විය හැකියි.
අධිමානුෂික හා අද්භූත දේවලට මිනිසුන් ඇදී යෑමට හේතු රැසක් තිබෙන බව පැහැදිලියි. නමුත් මෙවැනි දේවල් පිටුපස යම් කෙනෙක් හෝ බලවේගයක් සිටිනවාද? එම ප්‍රශ්නයට පිළිතුර දැනගැනීම අත්‍යවශ්‍යයි. මේ සම්බන්ධයෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක් බයිබලයෙන් ලබාගත හැකියි.