සොඳුරු සිතුවම් මවනා ටිංගාටිංගා
ටිංගාටිංගා කියන්නේ මොකක්ද? එය අපට නුහුරු නුපුරුදු වචනයක් වුණත් එය අප්‍රිකාවේ ප්‍රසිද්ධ චිත්‍ර කලාවක්. ටිංගාටිංගා චිත්‍ර කලා සංගමයේ කලමාණාකාරිය වන ඩැනියෙල් ඔගස්ටා එම කලාව විස්තර කළේ මේ ආකාරයටයි. “අපි හැමදෙනා තුළම සැඟවුණු ළමා සිතුවිලි තියෙනවා. ටිංගාටිංගා චිත්‍ර කලාවෙන් කරන්නේ ඒ සිතුවිලි චිත්‍රයට නඟන එකයි. එම චිත්‍ර ඉතා වර්ණවත් වන අතර ඒවායින් සතුට හා හාස්‍යය උපදවනවා.”
එම චිත්‍ර කලාවට එහි නම පටබැඳුණේ එඩ්වඩ් සායිඩ් ටිංගාටිංගාගෙන් පසුවයි. වර්ෂ 1932දී ඉපදුණු ඔහු හැදී වැඩුණේ අප්‍රිකාවේ ටැන්සානියා රටේ පිටිසර ගම්මානයකයි. එහි දුව පැන සෙල්ලම් කළ පුංචි එඩ්වඩ්ට එහි පරිසරය හා විවිධ සතුන් මතකයේ රැඳුණා. පසු කාලයකදී ඒ සොඳුරු මතකයන් ප්‍රසිද්ධ චිත්‍ර කලාවක් බවට පත් වෙයි කියා ඔහු හීනෙකින්වත් සිතන්න නැතුව ඇති. වයස අවුරුදු 20 ගණන්වල මැදභාගය වන විට රැකියාවක් කර උසස් තැනකට ඒමේ අරමුණින් එඩ්වඩ් ගෙදරින් පිටත් වුණා. පසුව ටැන්සානියාවේ අගනුවරෙහි උයන්පල්ලෙක් ලෙස සේවය කළ ඔහු දවස අවසානයේදී තම කලා හැකියාවන් සංගීතයෙන් හා නර්තනයෙන් එළිදැක්වුවා. ඔහු මුලදී ප්‍රසිද්ධව සිටියේ එම ක්ෂේත්රවලිනුයි.
වර්ෂ 1968දී එඩ්වඩ්ට රෝහලක සාත්තු සේවකයෙකු ලෙස සේවය කිරීමට අවස්ථාවක් ලැබුණා. ඒ කාලයේදී ඔහු තමාටම ආවේණික චිත්‍ර ශෛලියක් යොදාගත් අතර එතැන් සිට තම ළමා අවදියේ මතකයන් සිත්තමට නැඟුවා. සිත්තරුවන් භාවිත කරන පින්සලක්වත් සායම්වත් කැන්වස් රෙද්දක්වත් මිල දී ගන්න ඔහුට ඒ ප්‍රදේශයේ පහසුකම් තිබුණේ නැහැ. ඒ නිසා බයිසිකල්වල ආලේප කරන එනැමල් තීන්ත හා ෆයිබර් බෝඩ් භාවිත කරමින් ඔහු වෛවර්ණ සිතුවම් අඳින්න පටන්ගත්තා. චිත්‍රයට දිස්නය දීමට ඒවා ඔහුට කදිම උපකාරයක් වුණා. ටිංගාටිංගා චිත්‍ර කලාව පටන්ගත්තේ ඒ ආකාරයටයි.
එඩ්වඩ්ගේ චිත්රවල තිබුණේ ඉතා සරල ශෛලියක්. පසුබිම වර්ණවත් කිරීමට ඔහු භාවිත කළේ පාට වර්ග එකක් හෝ දෙකක් පමණයි. ඒ වගේම එක් සිතුවමකට එක වර්ගයක රූප භාවිත කළ අතර බොහෝවිට ඒවාවල දකින්න තිබුණේ සතුන්ගේ රූපයි.
ඔහු සිත්තම් කරනවා බලා සිටි ඔහුගේ මිතුරන් හා නෑදෑයන් කිහිපදෙනෙක්ද පසුව එම කලාව ඉගෙනගත්තා. ඒ ආකාරයට දවසින් දවස එඩ්වඩ්ගේ චිත්‍ර කලාව ප්‍රසිද්ධ වුණා.
මුල්ම සිතුවමේ සිට ටිංගාටිංගා චිත්රවල විශේෂත්වය වුණේ දීප්තිමත් පාට හා විවිධ හැඩතල භාවිත කරමින් අඳින ලද සරල රූපයි.
සිතුවම් කළ රූප
අප්‍රිකාව ගැන මනාව කියවෙන ටිංගාටිංගා සිතුවම්වල මුවන්, මීහරක්, අලි ඇතුන්, ජිරාෆ්, හිපපොටේමස්, සිංහයන්, වඳුරන්, සීබ්රා, කුරුල්ලන් හා මාළු වැනි සතුන්ද ගස්වැල් හා මල්ද විවිධ වර්ණවලින් සිත්තම් කර තිබෙනවා. ටැන්සානියාවේ තිබෙන කිලිමන්ජාරෝ නමැති ප්‍රසිද්ධ කන්ද මෙම චිත්රවල පසුබිම සඳහා යොදැගැනීම සිත්තරුවන් අතර ජනප්‍රියයි. එය අප්‍රිකාවේ පිහිටි උසම කන්දයි.
මුල්ම චිත්රවලට වඩා වෙනස්ව නවීන දින ටිංගාටිංගා චිත්රවල අප්‍රිකාවේ මිනිසුන් හා ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ විවිධ සිදුවීම් මෙන්ම ඔවුන්ගේ සංස්කෘතිය හා සම්බන්ධ දේවල් සිත්තම් කර තිබෙනවා.
ටිංගාටිංගා චිත්‍ර කලාව අප්‍රිකාවේ ජීවත් වන සිත්තරුවන්ට තම දස්කම් පෑමටත් එය තම ජීවන මඟ කරගැනීමටත් උපකාරවත් වී තිබෙනවා. එම චිත්‍ර ශිල්පීන්ගේ සංගමයක් ටැන්සානියාවේ අගනුවරේ පිහිටා තිබෙනවා. සමහර සිත්තරුවන් චිත්‍ර ඇඳීමට තවමත් භාවිත කරන්නේ එනැමල් තීන්තයි. කලා ලොවට අලුත් මුහුණුවරක් එක් කළ එඩ්වඩ් ටිංගාටිංගා අප අතර සිටියා නම් (ඔහු 1972දී මිය ගියා) ඔහුගේ චිත්‍ර කලාවට ලැබී ඇති ප්‍රසිද්ධිය දැක කොතරම් සතුටු වෙයිද!