18 පාඩම
ඔබේ පිළිතුරු දියුණු කර ගැනීම
1, 2. අප සියලු දෙනා ම හොඳ පිළිතුරු දීමට වෑයම් කළ යුත්තේ මන්ද?
1 හොඳ පිළිතුරු දීමේ හැකියාව සියලු ම ක්‍රිස්තියානින් වර්ධනය කළ යුතු ය. “නුඹලා එකිනෙකාට උත්තරදිය යුතු කෙසේදැයි දැන ගන්නා පිණිස, නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා” යයි පාවුල් ලීවේ ය. (කොලො. 4:6) තව ද අපි අපේ පිළිතුරු දියුණු කර ගැනීමට වෑයම් කිරීම ස්වාභාවික ය. අපි හොඳින් පිළිතුරු දෙන විට අව්‍යාජ ආස්වාදයක් ලබමු. “මනුෂ්‍යයෙකුට තමාගේ මුඛයේ උත්තරයෙන් ප්‍රීතිය ලැබේ; කලට සුදුසු වචනය කොපමණ හොඳද!”—හිතෝ. 15:23.
2 ඔබේ පිළිතුරු දියුණු කිරීමට අවශ්‍යතාවයක් ඔබ හට පුද්ගලික ව ම දැනෙනවා ද? සභාවේ රැස්වීම්වල සහභාගිත්වය ගැන ඔබ සම්පූර්ණයෙන් ම සෑහීමට පත්වන්නෙහි ද? එසේ නැත්නම්, ඔබට විශාල ප්‍රීතියක් ලබා දෙන විධියේ දියුණුවක් කිරීමට ඉඩ තිබේ ද? ඔබේ ක්ෂේත්‍ර සේවයේ දී යම් තත්ත්වයකට වෙනත් ආකාරයකින් මුහුණ දුන්නා නම් හොඳ යයි ඔබට හැඟේ ද? මෙය අප සියල්ලන් ගැන ම සැබෑ වන නිසා අපේ පිළිතුරු දියුණු කර ගන්නා ආකාරය ගැන සලකා බැලීම හොඳ ය.
3, 4. රැස්වීමක දී අසනු ලබන තනි ප්‍රශ්නයකට පිළිතුරු ගණනාවක් දිය හැක්කේ කෙසේ ද?
3 සභා රැස්වීම. මුරටැඹ පාඩම, සභා පොත් පාඩම සහ දිව්‍යාණ්ඩු සේවා පාසලේ වාචික පුනරීක්ෂණවල දී ඇතැම් අය අසනු ලබන ප්‍රශ්නවලට පිළිතුරු දීමට නිතර ම සූදානම් බව යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ බොහෝ සභාවල අපට දකින්නට ලැබෙන දෙයකි. මෙය අහම්බෙන් සිදු වන දෙයක් නොවේ. යෙහෝවඃ වහන්සේගේ සෙනඟ සමඟ ආශ්‍රය කිරීමෙන් සහ අවුරුදු ගණනාවක් තුළ පාඩම් කිරීමෙන් ලබා ගත් දැනුමෙන් ඔවුන් ප්‍රයෝජනය ලබනවා විය හැකි ය. නමුත් බොහෝ අවස්ථාවල දී එදිනට නියමිත කොටස සූදානම් කර ගැනීම ද ප්‍රධාන සාධකයකි. කලින් කරුණු පාඩම් කිරීමට වග බලා ගැනීමෙන් හොඳ පිළිතුරු දීමට අලුතෙන් ආශ්‍රය කරන අයට පවා හැකි වනු ඇත.—හිතෝ. 15:28.
4 යම් ප්‍රශ්නයකට පිළිතුරු දෙන පළමු වෙනි තැනැත්තා ඔබ නම්, කෙළින් ම පිළිතුරක් දීමෙන් එම ප්රශ්නය සමඟ කටයුතු කිරීම සාමාන්‍යයෙන් හොඳ ය. නමුත් දැනටමත් යමෙක් එම ප්‍රශ්නයට පිළිතුරු දී ඇත්නම්, සාකච්ඡාව එතනින් හමාරයයි නොසිතන්න. එම ප්‍රශ්නයට අමතර පිළිතුරු දීම සඳහා පහත දැක්වෙන ක්‍රියා මාර්ග ඔබට අනුගමනය කළ හැක: ඡේදයේ සඳහන් කර ඇති ශුද්ධ ලියවිලි පද පිළිතුරට අදාළ වන ආකාරය පෙන්නුම් කරමින් එම පිළිතුර විකාශනය කරන්න. එසේ නැත්නම් සාකච්ඡා කරනු ලබන කරුණු අපේ ම ජීවිතවලට බලපාන ආකාරය පෙන්වා දෙන්න. උචිත කරුණු ලෝක තත්ත්වයන් ගැන හෝ බොරු ආගමික වත්පිළිවෙත් ගැන නම්, ඡේදයේ සඳහන් කරන සත්‍යතාවය සනාථ කරන අද්දැකීමක් හෝ ප්‍රදේශයේ තත්ත්වයක් සඳහන් කරන්න. මෙය සාකච්ඡාව වඩා සාරවත් කරයි.
5. ප්‍රශ්නවලට කෙටියෙන් සහ කෙනෙකුගේ ම වචනවලින් පිළිතුරු දීම යහපත් වන්නේ කෙසේ ද?
5 කෙටි සහ මාතෘකාවට අදාළ පිළිතුරු සාමාන්‍යයෙන් වඩා ප්‍රබල ය. අසන්නන්ගේ සිත් තුළට වඩා හොඳින් කාවැද්දෙන සුලු ය. එවැනි පිළිතුරු බොහෝ අවස්ථාවල දී වඩා සුදුසු ය. යමෙක් ඡේදයක ඇති සියලු ම අදහස්, වැල්වටාරම් දොඩමින් කියන්නේ නම්, කිසිවක් කැපී නොපෙනෙන අතර, ප්‍රශ්නයට දෙනු ලබන පැහැදිලි පිළිතුරු මෙන් සවන් දෙන්නන්ගේ දැනුම ද වැඩි නොවේ. එමෙන් ම පිළිතුරු දෙන්නාගේ වචනවලින් ම දෙනු ලබන පිළිතුරු වඩා ප්‍රයෝජනවත් ය. මේ අන්දමින් පිළිතුරු දීමෙන් සපයන්නාට එම තොරතුරු තමාට ම ආවේණික කර ගත හැක. ඇරත් කලින් වටහා ගැනීමට නොහැකි වූ අදහස් තේරුම් ගැනීමට අන්‍යයන්ට ආධාර වේ. සේවා පාසලේ ඔබ දෙන කථා මෙම හැකියාව වර්ධනය කර ගැනීමට ඔබට ආධාර වේ.
6. ප්‍රශ්න අසනු ලැබූ විට, අපේ පිළිතුරු සූදානම් කර තබා ගැනීමේ හැකියාව අපට දියුණු කර ගත හැක්කේ කෙසේ ද?
6 පිළිතුරු සූදානම් කර තබා ගැනීමේ හැකියාව ඔබට දියුණු කර ගත හැකි ද? මේ සඳහා කලින් සූදානම් වීම අවශ්‍ය ය. නමුත් එසේ සූදානම් විය යුත්තේ ඡේදය කියවනු ලබන විට දී හෝ වෙනත් අය පිළිතුරු දෙන විට දී නොවේ. එසේ කිරීමෙන් රැස්වීමෙන් ලැබෙන ප්‍රයෝජන බොහොමයක් ඔබට අහිමි වනු ඇත. කලින් ම ඔබේ පිළිතුරු ලකුණු කර ගැනීම පුරුද්දක් කර ගන්න. දීර්ඝ වාක්‍ය ඛණ්ඩ හා වගන්ති වෙනුවට ප්‍රධාන වචන කිහිපයකට යටින් පමණක් ඉරි ගසා ඇත්නම්, එම ප්‍රධාන වචන දෙස බැලූ විගසින් ඔබට අදහස් මතක් වෙන අතර, පිළිතුරු දීමට ඔබ සූදානම් ව සිටින්නෙහි ය. ඡේදයකට සම්බන්ධ ප්‍රශ්නයක් “අ” සහ “ආ” යනුවෙන් කොටස් දෙකකට බෙදා ඇත්නම් “අ” අදාළ කොටස කුමක් ද “ආ” අදාළ කොටස කුමක් ද කියා පිටුවේ තීරුවේ ලකුණු කර ගැනීමෙන් පාඩම් පවත්වන්නා ප්රශ්නය ඇසීමට කලින් පිළිතුරු දීමෙන් වැළකීමට ඔබට හැකි වනු ඇත. අදාළ කොටසට සූදානම් කළ ප්‍රශ්න නොමැතත්, ප්‍රධාන කරුණු යයි ඔබ සිතන ඒවා ලකුණු කිරීමෙන්, ශ්‍රාවක සහභාගිත්වයක් බලාපොරොත්තු වූ විට ඔබ එයට පිළිතුරු දීමට සූදානම් ය. මෙසේ ස්වේච්ඡාවෙන් පිළිතුරු දීමට ඔබට ලැබෙන හැකියාව නිසා සාකච්ඡාව ප්‍රාණවත් එකක් වනු ඇත. රැස්වීමක දී එක් වරක් පමණක් පිළිතුරු දීමෙන් පසු ඉතිරි පිළිතුරු වෙනත් අයට පවරා ඔබ නිසොල්මන් නොවන්න. නිදහසේ පිළිතුරු දෙන්න.
7. රැස්වීම්වල දී පිළිතුරු දීමට අපි සියලු දෙනාට ම වගකීමක් ඇතැයි අප සිතිය යුත්තේ මන්ද?
7 වෙනත් අයට තමන්ට වඩා හොඳින් පිළිතුරු දිය හැකි යයි සිතමින් සමහර අය පිළිතුරු දීමට මැලිවන්නට පුළුවන. එහෙත් සහභාගිත්වය ගැන අපේ පුද්ගලික වගකීම අගය කිරීමට බයිබලය අප ව ධෛර්යවත් කරයි: “අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; . . . තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබා ගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම් අත් නෑර, . . . වඩ වඩා එකිනෙකාට අවවාදකරමු.” යනුවෙන් ප්‍රේරිත පාවුල් ලීවේ ය. (හෙබ්‍රෙ. 10:23-25) පිළිතුරු දීමෙන් අපි අන්‍යයන් ප්‍රේමයටත් යහපත් ක්රියාවලටත් දිරිගන්වන්නන් වෙමු. එමෙන් ම, අපි ඔවුන්ගේ හදවත් උණුසුම් කරමින් ඔවුන් ධෛර්යවත් කරමු. එමෙන් ම අපි ද, ප්‍රයෝජන ලබන්නෙමු. මක්නිසා ද දීමේ ප්‍රීතිය අපි අද්දකින අතර, එය තුළින් අපි පුද්ගලික ලෙස ධෛර්යවත් වන්නෙමු.
8-12. ක්ෂේත්‍ර සේවයේ විරෝධයන්ට මුහුණ දෙන ආකාරය ගැන යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන්න.
8 ක්ෂේත්‍ර සේවයේ දී විරෝධයන්ට පිළිතුරු දීම. ඔබ විධිමත් ව පුද්ගලික පාඩමේ යෙදෙමින් රැස්වීම්වලට පැමිණෙන්නේ නම්, ගෙයින්-ගෙට සේවයේ දී මතු වන ප්‍රශ්නවලට පිළිතුරු දීම එතරම් ගැටලුවක් නොවනු ඇත. එහෙත් අසනු ලබන ප්‍රශ්නයකට පිළිතුර ඔබ නොදන්නේ නම්, ඒ බව නිවැසියාට කීමට මැලි නොවන්න. ඉන් පසු තොරතුරු රැගෙන නැවත පැමිණීමට ඉදිරිපත් වන්න. පුද්ගලයා අවංක නම්, ඔබ එසේ කිරීම ගැන ඔහු ප්‍රීති වනු ඇත.
9 එවැනි ප්‍රශ්නවලට අමතර ව සමහර විට විරෝධතාවයන්ට මුහුණ දීමට ඔබට සිදු විය හැක. එවිට ඔබ ක්‍රියා කරන්නට යන්නේ කෙසේ ද? විරෝධතාවයන්ට පිළිතුරු දීමට කලින් පුද්ගලයා කල්පනා කරන ආකාරය ගැන යමක් දැනගෙන සිටීම ඔබට උපකාරයකි. ඔහුගේ විරුද්ධතාවයට හේතුව කුමක් දැයි ඔබට විමසිය හැක. නිදසුනක් හැටියට ඔබ ක්‍රිස්තුස් වහන්සේ ගැන විශ්වාස නොකරන බවට තමා අසා ඇතැයි කියමින් පුද්ගලයෙක් ඔබට විරුද්ධ විය හැක. එහෙත් ඇත්ත වශයෙන් ම සිදු වී ඇත්තේ ත්‍රිත්වය ගැන ඔහුගේ සිතේ අවුලක් හට ගෙන තිබීමයි. බොහෝ විරුද්ධතා එවැනි වැරදි වැටහීම්වල ප්රතිඵලයකි. සාකච්ඡාවක් ආරම්භ කිරීමට කලින් ප්‍රධාන වචනවල අර්ථය ගැන අන්‍යෝන්‍ය වැටහීමක් ඇති කර ගැනීම වැදගත් ය. ඇත්ත වශයෙන් ම මෙය ම විරෝධයට පිළිතුරක් විය හැකි අතර, අදාළ කාරණය ගැන අමතර සාකච්ඡාවක් අනවශ්‍ය විය හැක.
10 විරෝධයක් හට ගත් විට එම කාරණය අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන බව සලකා හැකි සෑම අවස්ථාවක දී ම එය ඔබ දෙපල භේද කරවන කරුණක් කර ගැනීමෙන් වැළකී සිටීම හොඳ දෙයකි. විරෝධයක් නිරස, අප්‍රිය කරුණක් හැටියට සලකනවා වෙනුවට, එය නිවැසියාට සැබවින් ම වැදගත් දෙයක් බවට සලකන්න. මෙය සිතේ තබා ගෙන එම කාරණය ඔහු මතු කිරීම ගැන ඔබ සන්තෝෂ වන බව කියන්න. සාකච්ඡාව අඛණ්ඩ ව ගෙන යාම සඳහා අවශ්‍ය වැදගත් කරුණක් හැටියට පුද්ගලයාගේ මනස බයිබල් සත්‍යයන්ට විවෘත කරන කරුණක් හැටියට එය සලකන්න. විරෝධයන්ට මුහුණ දීමට අවශ්‍ය කරන විධියේ පසු බිම් ඔබේ කථාවට ඇතුළත් කරමින් සේවා පාසලේ දී මේ සඳහා පුහුණු නොවන්නේ මන්ද?
11 සමහර අවස්ථාවල දී උනන්දුවක් පෙන්වූ පුද්ගලයෙක් සමඟ ඔබ කථා කරමින් සිටින විට, ඔබේ සාකච්ඡාව කඩාකප්පල් කිරීමේ අරමුණෙන් වෙනත් කෙනෙක් විරෝධතා මතු කළ හැක. එවැනි අවස්ථාවල දී කරුණ සනාථ කිරීමේ වගකීම විරෝධය මතු කළ තැනැත්තාට ම භාර කිරීමට ඔබට හැකි වනු ඇත. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේශනා සේවයට බාධා කිරීමට වෑයම් කළ තැනැත්තන් නිශ්ශබ්ද කිරීමට උන් වහන්සේ ප්‍රති-ප්‍රශ්න උපයෝගි කර ගත් සේක. (මතෙ. 22:41-46) එබැවින් යම් කරුණක් මතු කරන තැනැත්තා මත ම එම කරුණ සනාථ කිරීමේ වගකීම පැවරෙන බව මතක තබා ගන්න. නිදසුනක් හැටියට, “ඔබ ත්‍රිත්වය විශ්වාස කරන්නේ නෑ නේද?” යනුවෙන් එවැනි විශ්වාසය ක්රිස්තියානිවරුන්ට අත්‍යවශ්‍ය බව අඟවන ස්වරයකින් නිවැසියෙක් විරෝධයක් ප්‍රකාශ කළ හැකි ය. එවිට, ඔබට මෙසේ පිළිතුරු දිය හැක. “බයිබලය උගන්වන සෑම දෙයක් ම මා විශ්වාස කරනවා. මා එම ඉගැන්වීම විශ්වාස කළ යුත්තේ මන්ද කියා කරුණාකර මට බයිබලයෙන් පෙන්වා දෙනවා ද?” එවිට තමා සත්‍ය යයි පවසන කරුණ සනාථ කිරීමේ වගකීම අනික් පක්ෂයට පැවරෙනු ඇත.
12 බයිබලය පිළිගන්නා බවට කියන යමෙකුට දිය හැකි අධිකාර පූර්වක පිළිතුරු දෙවියන් වහන්සේගේ ම වචනයෙන් කෙළින් ම උපුටා ගත් එකකි. අප පුද්ගලික ව කියන ඕනෑ ම දෙයකට වඩා එය ඉතාමත් ඒත්තු ගන්වන සුලු ය. ඔබේ ප්‍රශ්නකරුගේ ආකල්පය කුමක් වුවත්, ඔබ පිළිතුරු දෙන විට සන්සුන් ව ආචාරශීලී ලෙස සිටිය යුතු ය. මෙය දේව සේවකයෙකුට ඔබින දෙයකි.
13, 14. ගෘහ බයිබල් පාඩම්වල දී ශිෂ්‍යයෙකුගේ ප්‍රශ්න සමඟ කටයුතු කළ හැක්කේ කෙසේ ද?
13 බයිබල් පාඩම්වල දී. කාරණා සම්බන්ධයෙන් තර්කානුකූල ව සලකා බැලීමට තුඩු දෙන මිත්‍ර සන්සුන් වාතාවරණයක් සාමාන්‍යයෙන් බයිබල් පාඩම්වල දී පවතී. එබැවින් ශිෂ්‍යයෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දුන් පසු ඔහු සෑහීමට පත් වී ඇත්දැයි ඇසීම හොඳ පුරුද්දකි. සමහර විට, යම් කරුණක් ගැන ඔහුගේ මනසේ පැහැදිලි අදහසක් නොතිබෙන්නට පුළුවන. සුවිශේෂ කරුණක් ගැන ඔබට ස්ථිර නැත්නම්, ඔහු සඳහා ඒ ගැන සොයා බැලීමට ඉදිරිපත් වන්න. අමතර උදව් අවශ්‍ය නම් වඩා පළපුරුදු ප්රචාරකයෙකුගෙන් ඔබට විමසිය හැක. යමෙකුට බයිබල් සත්‍යයන් ගැන ගැඹුරු දැනුමක් ලබා ගැනීමට උපකාර කිරීමෙන් ඔබ ඒ තැනැත්තාට සත්‍යය මාර්ගයෙහි පිහිටු වීමට උදව් කරන බව ද මතක තබා ගන්න. ධර්ම දූත පිලිප් ඉතියෝපිය නපුංසකයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් කළේ ද එම කාර්ය ම ය.—ක්‍රියා 8:26-39.
14 කල්යාමේ දී බයිබල් පාඩමක දී මතු කරනු ලබන සියලු ම ප්‍රශ්නවලට එකවර ම පිළිතුරු නොදී ඉදිරි පාඩමක දී ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා සමහරක් ඒවා ඉතිරි කර ගැනීම හොඳ ය. එමෙන් ම ශිෂ්‍යයාගේ ම ප්‍රගතිය පෙරදැරි කර ගෙන තමා විසින් ම පිළිතුරු සොයා ගත හැකි ආකාරය ඔහුට පෙන්වා දීම හොඳ ය. සමිතියේ ඇති සූචි හෝ පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක යන්නෙහි සුදුසු පරිච්ඡේදයකට ඔහුගේ අවධානය යොමු කළ හැක. ඉන් පසු ඔහු සොයා ගත් තොරතුරු මොනවා ද යන්න ගැනත් ඒවා වටහා ගත් ආකාරය ගැනත් ඔහුගෙන් ප්‍රශ්න කරන්න. ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු දීම ගැන පමණක් නොව ඔහුගේ ආත්මික වර්ධනය ගැන ද ඔබේ මනසේ තබා ගන්න.
15-18. නිලධාරින් සඳහා ප්‍රශ්නවලට පිළිතුරු දීමට අපට නියෝග කරනු ලබන විට අප දැරිය යුත්තේ කුමන ආකල්පය ද?
15 නිලධාරින් ඉදිරියට කැඳවනු ලැබූ විට. පීඩා ගැන සාකච්ඡා කරද්දී ප්‍රේරිත පේතෘස් මෙසේ ලීවේ ය: “නුමුත් නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේ කොට ක්‍රිස්තුස්වහන්සේට ගෞරවකරපල්ලා. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තර දෙන්ට නිතර සෑදී සිටපල්ලා, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය.” (1 පේතෘ. 3:14, 15) උසාවි ඉදිරියේ දී හෝ අප විශ්වාස කරන දේවල් ගැන හා එසේ විශ්වාස කිරීමට හේතු ගැන අපෙන් ප්‍රශ්න කිරීමට බලය ලත් රජයේ නියෝජිතයන් ඉදිරියේ දී පිළිතුරු දීම සඳහා කැඳවනු ලැබීමට අවස්ථා එළඹිය හැක. “නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේ කොට ක්‍රිස්තුස්වහන්සේට ගෞරව කරපල්ලා” යයි ප්‍රේරිතයා අවවාද කළේ ය. ඔබේ හද පත්ලෙන් නොකෙලෙසෙන පරිශුද්ධ තත්ත්වයක්, අති උත්තම ගෞරවයක් ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දානය කිරීමට ස්ථිර වන්න. එවිට සාංකා වීමට කිසි හේතුවක් නැත. මුළු පොළොවට ම රජු වශයෙන් දෙවියන් වහන්සේ විසින් ආලේප කර ඇති තැනැන් වහන්සේ ව අප සතුටු කරන්නේ නම්, ඉහළ තනතුරු දරන අය ප්‍රතික්‍රියා කළ හැකි ආකාරය ගැන වික්ෂිප්ත වීමට හේතුවක් නැත.
16 කෙසේ වුවත්, රෝම 13:1-7 දක්වා සඳහන් කර ඇති ඔවදන්වලට එකඟ ව බලය ලත් අයට ගෞරව පෙන්වන්න. ඔබෙන් ප්‍රශ්න කරන්නා ඔබට වැරදි චේතනා ආරූඪ කළත් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට විරුද්ධ තැනැත්තෙක් හැටියට අදහස් ප්‍රකාශ කළත් රළු පිළිතුරකින් ඔහුගෙන් පළි නොගන්න. (රෝම 12:17, 21; 1 පේතෘ. 2:21-23) ඔබ එහි සිටින්නේ සාක්ෂියක් දැරීමට බව මතක තබා ගන්න. එම නිලධාරින්ගෙන් එක්කෙනෙක්වත් ප්‍රතිචාරයක් දක්වනවා විය හැකි ද? අඩු තරමින් අපේ දේශනා සේවයට අනුග්රහාත්මක ආකල්පයක් ලබා දීමට එය සමත් විය නොහැකි ද? ඔබේ හැසිරීම සහ ඔබේ කථාව සත්‍යය මාර්ග පිළිබඳ ව හොඳ නියෝජනයක් වේවා.—මතෙ. 10:18-20.
17 ඉතා අල්ප වශයෙන් කථා කිරීම ඥානවන්ත වන අවස්ථා ද එළඹිය හැක. තම නඩු විභාගයේ දී ප්‍රේරිත පාවුල් කළාක් මෙන් ඔප්පු කිරීමේ කාර්යය ප්‍රතිවාදියාට පැවරීම ඔබේ කැමැත්ත විය හැක. (ක්‍රියා 24:10-13) එසේ නැත්නම් නිසොල්මන් වීමට ඔබ තීරණය කළ හැක. තමන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමට අවංක ආශාවක් නැති දුෂ්ට මිනිසුන් ඔබට උගුලක් ඇටවීමට හෝ ඔබට සරදම් කිරීමට හෝ මාන බලද්දී ඔබට ගත හැකි හොඳ ම ක්‍රියා මාර්ගය මෙය විය හැක. (ලූක් 23:8, 9) එසේ නැත්නම් ඔබ මගින් ඔබේ සහෝදර සාක්ෂිකරුවන්ට හානි පැමිණ වීම ඔවුන්ගේ අරමුණ නම්, නිසොල්මන්වීම ඥානවන්ත බව ඔබට හැඟෙන්නට පුළුවන. ගීතිකාකාර දාවිත් මෙසේ කීවේ ය: “දුෂ්ටයා මා ඉදිරියේ සිටින අතර, කටකලියාවකින් මාගේ මුඛය රැක ගන්නෙමියි කියාත් කීයෙමි.” (ගීතා. 39:1, 2) විශේෂයෙන් ම සැබෑ ක්‍රිස්තියානි ධර්මයට දැඩි විරුද්ධතාවයක් ඇති රටවල “නිශ්ශබ්ද වීමට කාලය” සහ “කථා කිරීමට කාලය” කුමක් දැයි තෝරා බේරා ගැනීමට හැකි වීම අවශ්‍ය ය.—දේශ. 3:7.
18 ප්‍රශ්නවලට පිළිතුරු දීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ හැකියාව ගැන විස්තර කරමින් බ්‍රිතාන්‍ය පුවත් පතක් මෙසේ කීවේ ය: “සාක්ෂිකරුවෙක් කරන සෑම දෙයකට ම පිටුපස ශුද්ධ ලියවිලිමය හේතුවක් ඇත. ඇත්ත වශයෙන් ම ඔවුන්ගේ එක ම මූලික ධර්මතාවය නම් බයිබලය මුළුමනින් ම, වචනයේ පරිසමාප්තියෙන් සහ විශිෂ්ට ලෙස සත්‍ය බව හඳුනා ගැනීම ය. ඔවුන්ගේ දෙවෙනි ශක්තිය රඳා පවතින්නේ මෙම කාරණය මත ය. සියලු ම ප්‍රශ්නවලට ඔවුන්ට පිළිතුරක් සැපයිය හැක.” මිනිසුන්ගේ ව්‍යාකූල ප්‍රශ්නවලට පිළිතුරු දීමේ හැකියාව අපට ලැබෙන්නේ දේව වචනය මගින් සහ එය මත අප තබන විශ්වාසය මගින් ය. උන් වහන්සේට සියලු ගෞරවය සහ නම්බුව හිමි වේවා. එහෙත් පිළිතුරු දීමේ හැකියාව දියුණු කිරීමට වෑයම් කිරීමෙන් අපි යෙහෝවඃ වහන්සේට උතුම් මහිමයක් ගෙන දෙමු, අපේ ම ප්‍රීතිය ශක්තිමත් කරමු, එමෙන් ම දෙවියන් වහන්සේ සමඟ සාමය ඇති කර ගැනීමට අන්‍යයන්ට මඟ පාදමු.