33 පාඩම
උද්‍යෝගය සහ උණුසුම ප්‍රකාශ කිරීම
1. උද්‍යෝගය ප්‍රබෝධවත් කරන්නේ කුමක් ද?
1 උද්‍යෝගය කථාවක ජීවයයි. ඔබ කියන දේ ගැන ඔබ උද්‍යෝගිමත් නොවුවහොත්, ඔබේ ශ්‍රාවකයන් ද එසේ නොවනු ඇත. එය ඔබ ව පෙලඹ වීමට අසමත් වුවහොත්, ඔබේ ශ්‍රාවකයන් ව ද පෙලඹ වීමට අසමත් වනු ඇත. එහෙත් කථිකයෙක් හැටියට ඔබ අව්‍යාජ උද්‍යෝගය ප්‍රකාශ කිරීමට නම්, ඔබට කියන්නට ඇති දේට ශ්‍රාවකයන් අවශ්‍යයෙන් ම ඇහුම් කන් දිය යුතු බව ඔබ තරයේ ඒත්තු ගත යුතු ය. මෙයින් අදහස් කරන්නේ ඔබ කථාව සූදානම් කරද්දී, ඔවුන් ව සැලකිල්ලට ගත් බවයි, එනම්, ඔවුන්ට ප්‍රයෝජනවත් විය හැකි අන්දමේ කරුණු තෝරා ගත් බවත් ඒවායේ වටිනාකම ඔබට සවන් දෙන්නන් මහත් කැමැත්තෙන් අගය කරන ආකාරයට ඒවා සකස් කර ඇති බවත් ය. ඔබ මෙසේ කර ඇත්නම්, මහත් උනන්දුවෙන් කථා කිරීමට ඔබ පෙලඹෙන අතර ඔබේ ශ්‍රාවකයන් ද ප්‍රතිචාරය දක්වනු ඇත.
2-5. ප්‍රාණවත් ඉදිරිපත් කිරීම උද්‍යෝගය ප්‍රකාශ කරන්නේ කෙසේ ද?
2 ප්‍රාණවත් ඉදිරිපත් කිරීමකින් උද්‍යෝගය පෙන්නුම් කෙරේ. ඔබේ ඉදිරිපත් කිරීමේ ප්‍රාණවත්කමින් උද්‍යෝගය ඉතා පහසුවෙන් ප්‍රකාශ වේ. ඔබේ ආකල්පය උදාසීන හෝ උනන්දු රහිත විය නොහැක. ඔබේ සාත්වික අභිනයෙන් (මුහුණේ ඉරියව්වෙන්) කට හඬේ තානයෙන් සහ කථාවේ ආකාරයෙන් ද සම්පූර්ණ ප්‍රාණවත්භාවය පෙන්නුම් කළ යුතු ය. එයින් අදහස් කරන්නේ ඔබ ශක්තියෙන් හා ප්‍රාණවත්භාවයෙන් යුක්ත ව කථා කළ යුතු බවයි. ඔබ ඒත්තු ගිය ආකාරයක් පෙන්නුම් කළ යුතු නමුත් ආධානගාහී ව හෙවත් ඔබේ ම මතයෙහි ඇලී නොසිටිය යුතු ය. ඔබ උද්‍යෝගිමත් විය යුතු නමුත් අධි ච්ත්ත වේගීය නොවිය යුතු ය. ආත්ම-දමනය නැති කර ගැනීම යන්නෙන් අදහස් කරන්නේ ඔබේ ශ්‍රාවකයන් ද ඔබට අහිමි වීමයි.
3 උද්‍යෝගය පැතිරෙන සුලු ය. ඔබ ඔබේ කථාව ගැන උද්‍යෝගිමත් වුවහොත්, එම උද්‍යෝගය ඔබේ ශ්‍රාවකයන්ට ද පැතිරෙනු ඇත. ඒ පිළිවෙළින් හොඳ සභා සම්බන්ධයක් ඇත්නම්, එය නැවත ඔබට ප්‍රතිබිම්බිත වන අතර, ඔබ ඔබේ උද්‍යෝගය ප්‍රාණවත් ව තබා ගනු ඇත. අනෙක් අතට, ඔබ මලානික වුවහොත් ඔබේ ශ්‍රාවකයන් ද ඔබ සමඟ මලානික වනු ඇත.
4 අප දෙවියන් වහන්සේගේ ආත්මයෙන් (ක්‍රියාකාරී බලවේගයෙන්) දීප්තිමත් විය යුතු බව පාවුල් කියයි. ඔබ එසේ වුවහොත්, ඔබේ ප්‍රාණවත් ඉදිරිපත් කිරීම දෙවියන් වහන්සේගේ ආත්මය ඔබේ ශ්‍රාවකයන් වෙතට ගලා අවුත් ඔවුන් ක්‍රියාවට පොලඹවනු ඇත. අපොලොස් කථා කිරීමේ දී එවැනි ස්වභාවයක් පෙන්නුම් කළ අතර, ඔහු ව්‍යක්ත කථිකයෙක් හැටියට හඳුන්වනු ලැබේ.—රෝම 12:11; ක්‍රියා 18:25; යෝබ් 32:18-20; යෙරෙ. 20:9.
5 කථාවක් ගැන උද්‍යෝගිමත් වීමට නම් ඉදිරිපත් කිරීමට වටිනා යමක් ඔබ සතු ව ඇති බවට ඔබට ඒත්තු යා යුතු ය. කථිකයා හැටියට ප්‍රථමයෙන් ඔබ ප්‍රබෝධවත් කිරීමට යමක් ඔබ සතු ව ඇති බව ඔබට හැඟෙන තෙක්, ඔබ ඉදිරිපත් කිරීමට යන කරුණු සූදානම් කරන්න. එය නව කරුණු වීමට අවශ්‍ය නැත, එනමුත් ඔබට අලුත් ආකාරයකින් විෂයට පිවිසිය හැක. ඔබේ ශ්‍රාවකයන් තමන්ගේ නමස්කාරය ශක්තිමත් කිරීමට, ඔවුන් වඩා හොඳ දේව සේවකයන් කිරීමට හෝ ක්‍රිස්තියනින් කිරීමට, සමත් යමක් ඔබ සතු ව ඇති බවට ඔබට හැඟේ නම්, එවිට ඔබේ කථාව ගැන උද්‍යෝගිමත් වීමට ඔබට සෑම හේතුවක් ම ඇති අතර, ඔබ එසේ වන බවට කිසි ම සැකයක් නැත.
6-9. උද්‍යෝගිමත් ඉදිරිපත් කිරීම කෙරෙහි කෙනෙකුගේ කථාවක අන්තර්ගත කරුණු ඇති කරන බලපෑම කුමක් ද?
6 කරුණුවලට ගැළපෙන උද්‍යෝගය. ඔබේ කථාවේ විවිධත්වය සඳහාත් ඔබේ ශ්‍රාවකයන්ගේ ප්‍රයෝජනය සඳහාත් ඔබේ උද්‍යෝගය මුළු කථාව තුළ එක ම උසස් මට්ටමකින් පවත්වා නොගත යුතු ය. ඔබ එසේ කළහොත් ක්‍රියා කිරීමට පටන් ගැනීමට කලින් ම ඔවුන් විඩාවට පත්වනු ඇත. ඉදිරිපත් කිරීමේ විවිධත්වය තකා ප්‍රමාණවත් ලෙස විවිධ කරුණු සූදානම් කිරීමේ අවශ්‍යතාවය මෙය නැවත අවධාරණය කරයි. මෙයින් අදහස් කරන්නේ ඔබ සාකච්ඡා කරන සමහර කරුණු ස්වභාවයෙන් ම අනෙකුත් කරුණුවලට වඩා උද්‍යෝගිමත් අන්දමින් ඉදිරිපත් කළ යුතු බවත්, මුළු කථාව තුළ ම ඒවා දක්ෂ ලෙස සම්මිශ්‍රණය කළ යුතු බවත් ය.
7 විශේෂයෙන් ප්‍රධාන කරුණු උද්‍යෝගිමත් ලෙස ඉදිරිපත් කළ යුතු ය. ඔබේ කථාව තුළ උච්චාවස්ථා තිබිය යුතු අතර, මෙම උච්චාවස්ථා කරා ඔබේ කථාව වර්ධනය කළ යුතු ය. මේවා ඔබේ කථාවේ වැදගත් කරුණු නිසා, ඔබගේ ශ්‍රාවකයන් ප්‍රබෝධවත් කිරීමටත්, ඔබේ තර්කයේ අදාළත්වය කාවැද්දීමටත්, ඔබේ අනුශාසනයට හේතු පෙන්වා දීමටත් සාමාන්‍යයෙන් මෙම කරුණු සැලසුම් කරනු ලැබේ. ඔබේ ශ්‍රාවකයන්ට කරුණු ඒත්තු ගැන්වීමෙන් පසු, දැන් ඔබට අවශ්‍ය කරන්නේ ඔවුන් ප්‍රබෝධවත් කිරීමෙන් ඔබේ නිගමනවල ප්‍රයෝජන නිරූපනය කිරීමටත්, මෙම ස්ථිර විශ්වාසයන් අනුගමනය කිරීමටත්, ලැබෙන ප්‍රීතිය සහ වරප්‍රසාද පහදා දීමටත් ය. මේ සඳහා උද්‍යෝගිමත් ඉදිරිපත් කිරීමක් අවශ්‍ය ය.
8 කරුණු මෙසේ වුවත්, වෙන අවස්ථාවල දී, ඔබ කිසි විටකත් ඔබේ ඉදිරිපත් කිරීම උදාසීන ආකාරයෙන් නොකළ යුතු ය. ඔබ ඔබේ විෂය උදෙසා ඔබේ දැඩි හැඟීම නැති නොකර ගැනීමට හෝ උනන්දුවේ හීන බව හෝ ප්‍රකාශ නොකිරීමට වග බලා ගත යුතු ය. කුඩා එළිමහනක නිසොල්මනේ තණ උළා කන මුවෙකුගේ චිත්‍රයක් ඔබේ මනසේ මවා ගන්න. බැලූ බැල්මට ඌ නිස්කලංක ව සිටියත්, අන්තරාවක් පිළිබඳ සුළු හෝඩුවාවක් හෝ දුටු විගස ම එක පිම්මට පැන සැඟවිය හැකි ශක්තියක් උගේ සිහින් කකුල්වල ඇත. ඌ පහසුවෙන් සිටියත් නිතර ම සුපරීක්ෂාකාරී ව සිටියි. ඔබ සම්පූර්ණ උද්‍යෝගයෙන් කථා නොකළත්, ඔබටත් එසේ ම සිටිය හැක.
9 එබැවින් මේ සියල්ලෙන් අදහස් වන්නේ කුමක් ද? එනම් ප්‍රාණවත් ඉදිරිපත් කිරීම බල කළ නොහැකි බවයි. ඒ සඳහා හේතුවක් තිබිය යුතු අතර, ඔබේ කරුණු ඒ හේතුව සැපයිය යුතු ය. ඔබේ උද්‍යෝගය ඔබේ කරුණුවලට ගැළපුණේ දැයි යන්න ගැන ඔබේ උපදේශකයා සැලකිලිමත් වනු ඇත. එය ප්‍රමාණය ඉක්මවා ගියා ද? ප්‍රමාණයට වඩා අඩු ද? එසේ නැත්නම්, අනුචිත ද? ඇත්ත වශයෙන් ම, ඔහු ඔබේ පුද්ගලික පෞරුෂත්වය සැබවින් ම සැලකිල්ලට ගනු ලබන නමුත් ඔබ කුළෑටි හෝ වැඩියෙන් කථා නොකරන පුද්ගලයෙක් නම් ඔහු ඔබ ව දිරිගන්වනු ඇත, එමෙන් ම ඔබ කියන සෑම දෙයක් ගැන ම ප්‍රමාණයට වඩා කලබල බව පෙනී ගිය විට දී ද, ඔහු ඔබට අවවාද කරනු ඇත. ඒ නිසා ඔබේ උද්‍යෝගය ඔබේ කරුණුවලට ගළපන්න, එමෙන් ම මුළු කථාව තුළ ඔබේ උද්‍යෝගය තුලනය වන විධියට ඔබේ කරුණු විවිධාකාර කරන්න.
**********
10-12. උණුසුම සහ හැඟීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?
10 උණුසුම සහ හැඟීමට උද්‍යෝගය කිට්ටු ලෙස සම්බන්ධ ය. කෙසේ වුවත්, ඒවායේ ප්‍රකාශ වෙනස් චිත්ත වේගයන්ගෙන් පොලඹ වනු ලබන අතර ඔබේ ශ්‍රාවකයන් තුළ ද වෙනස් ප්‍රතිඵල ඇති කරයි. කථිකයා හැටියට, ඔබ සාමාන්‍යයෙන් උද්‍යෝගිමත් වන්නේ ඔබ ඉදිරිපත් කරන කරුණු නිසා ය, නමුත් ඔබේ ශ්‍රාවකයන්ට උපකාර කිරීමේ ආශාව ගැන සිතන විට ඔබ උණුසුම් වන්නෙහි ය. කථික උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර ඇති “උණුසුම්, හැඟීම් සහිත,” යන්නට කල්පනාකාරී ව අවධානය යොමු කළ යුතු ය.
11 ඔබ උණුසුම සහ හැඟීම ප්‍රකාශ කරන්නේ නම්, ඔබ ප්‍රේමය, කරුණාව සහ දයානුකම්පාව පෙන්නුම් කරන පුද්ගලයෙක් හැටියට, ඔබේ ශ්‍රාවකයන් දැනගන්නවා ඇත. සීතල රැයක ගින්නක් කරා ඇදෙන්නාක් මෙන් ඔවුන් ඔබ කෙරෙහි ආකර්ෂණය වනු ඇත. ප්‍රාණවත් එඩිතර බවකින් යුත් ඉදිරිපත් කිරීමක් උත්තේජනය කරවන සුලු ය, නමුත් මුදු මොළොක් හැඟීම ද අවශ්‍ය ය. මනස ඒත්තුගැන්වීම පමණක් නිතර ම ප්‍රමාණවත් නැත; ඔබ හදවත ද පෙලඹ විය යුතු ය.
12 නිදසුනක් හැටියට, ගලාති 5:22, 23 හි ප්‍රේමය, ආත්ම-දමනය, කරුණාව සහ මෘදුකම වැනි ගුණාංග යම් පමණකින්වත් ඔබේ ම ස්වභාවයේ පිළිබිඹු නොකොට ඒවා ගැන කියවීම සුදුසු ද? පළමු වන තෙසලෝනික 2:7, 8 හි සඳහන් පාවුල්ගේ වචනවලින් ප්‍රකාශ වන මොළොක් හැඟීම ද සැලකිල්ලට ගන්න. මෙම ප්‍රකාශන සඳහා උණුසුම සහ හැඟීම අවශ්‍ය වේ. එය පෙන්නුම් කළ යුත්තේ කෙසේ ද?
13, 14. සාත්වික අභිනයෙන් උණුසුම ප්‍රකාශ කළ හැක්කේ කෙසේ ද?
13 සාත්වික අභිනයෙන් පැහැදිලි වන උණුසුම. ඔබට ඔබේ ශ්‍රාවකයන් කෙරෙහි උණුසුම් හැඟීමක් ඇත්නම්, එය මුහුණින් ප්‍රකාශ විය යුතු ය. එසේ නොවුවහොත්, ඔබ අවංක ලෙස තමන් කෙරෙහි උණුසුම පෙන්නුම් කරන පුද්ගලයෙක් හැටියට ඔවුන්ට ඒත්තු ගත නොහැකි වනු ඇත. එහෙත් එය අව්‍යාජ විය යුතු ය. එය වෙස් මුහුණක් ලෙස පැළඳ ගත නොහැක. එමෙන් ම උණුසුම් බව සහ හැඟීමෙන් යුතු බව රංජනිකත්වය හෝ නුසුදුසු චිත්ත වේගීය ස්වභාවය සමඟ පටලවා නොගත යුතු ය. කරුණාබරිත සාත්විකභාවය අව්‍යාජත්වය සහ අවංකකම පිළිබිඹු කරයි.
14 වැඩි වශයෙන් ම ඔබ කථා කරන්නට යන්නේ මිත්‍ර ශ්‍රාවකයන්ට ය. එමනිසා, ඔබ සැබවින් ම ශ්‍රාවකයන් දෙස බලන්නේ නම් ඔබ තුළ ඔවුන් කෙරෙහි උණුසුම් හැඟීමක් උපදිනු ඇත. ඔබට නිස්කලංක මිත්‍ර හැඟීමක් ඇති වේ. ශ්‍රාවකයන් අතුරෙන් විශේෂයෙන් මිත්‍ර මුහුණක් ඇති කෙනෙක් තෝරා ගන්න, ස්වල්ප මොහොතකට එම පුද්ගලයාට පුද්ගලික ව කථා කරන්න. තවත් කෙනෙක් තෝරා ගෙන ඔහුට කථා කරන්න. මෙය හොඳ සභා සම්බන්ධය දෙනවා පමණක් නොව, ශ්‍රාවකයන් කෙරෙහි ඔබ ආකර්ෂණය වන බවත් ඔබට හැඟේ. ඔබේ උණුසුම් සාත්විකභාවය නිසා ඔබේ ශ්‍රාවකයන් ඔබ දෙසට ආකර්ෂණය වනු ඇත.
15-19. කථිකයෙකුගේ කට හඬේ උණුසුමට සහ හැඟීමට හේතු වන්නේ කුමක් දැයි පෙන්වා දෙන්න.
15 කට හඬේ තානයෙන් පැහැදිලි වන උණුසුම සහ හැඟීම. ඔබේ කට හඬේ තානයෙන් ප්‍රකාශ වන චිත්ත වේගයන් සතුන්ට පවා තරමක් දුරට අර්ථ කථනය කළ හැකි බවට හොඳින් සනාථ වී ඇත. එසේ නම්, ඔබේ කට හඬේ තානය මගින් ප්‍රකාශ කරනු ලබන උණුසුමට සහ හැඟීමට ඔබේ ශ්‍රාවකයන් ඊට වඩා කොතරම් දුරට, ප්‍රතිචාරය දක්වනු ඇත් ද?
16 ඔබ ශ්‍රාවකයන්ගෙන් ඈත් වී සිටින බව ඔබට හැඟේ නම්, ඔබේ ශ්‍රාවකයන් ඔබ කියන දේට ප්‍රතිචාරය දක්වනුයේ කෙසේ දැයි යන්නට වඩා ඔබ කියන වචන ගැන කල්පනා කරන්නේ නම්, සුපරීක්ෂාකාරී ව සිටින ශ්‍රාවකයන්ගෙන් එය සැඟවීම දුෂ්කර ය. එහෙත් ඔබේ උනන්දුව අවංක ලෙස ඔබ කථා කරන්නන් වෙත යොමු වී ඇත්නම් ද ඔබ සිතන ආකාරයට ඔවුන් ද සිතීමට පෙලඹවීම සඳහා ඔබේ සිතුවිලි ඔවුන්ට ද ප්‍රකාශ කිරීමේ අවංක ආශාවක් ඔබට ඇත්නම් ද ඔබේ කට හඬේ සෑම ප්‍රභේදයකින් ම ඔබේ හැඟීම පිළිබිඹු වනු ඇත.
17 කෙසේ වුවත්, මෙය අවංක උනන්දුවක් විය යුතු බවට පැහැදිලි ය. උද්‍යෝගය මෙන් ම අව්‍යාජ උණුසුම ද ආයාසයෙන් ආරූඪ කර ගත නොහැක. කථිකයෙක් කිසි විටෙක කුහක මිහිරි බවක් පෙන්නුම් නොකළ යුතු ය. එමෙන් ම උණුසුම් බව සහ හැඟීමෙන් යුතු බව රංජනිකත්වය සමඟ හෝ බාල හෙවත් බොළඳ චිත්ත වේගී ස්වභාවයක් ආරූඪ කර ගත් අයගේ වෙවුලන කට හඬ සමඟ මෙය පටලවා නොගත යුතු ය.
18 ඔබට ඇත්තේ දැඩි රළු කට හඬක් නම්, ඔබේ ප්‍රකාශයට උණුසුම අඩංගු කිරීම දුෂ්කර වනු ඇත. එවැනි ගැටලුවක් විසඳා ගැනීමට ඔබ අවංක ලෙසත් කඩිසර ලෙසත් යුහුසුලු විය යුතු ය. එය කට හඬේ ගුණය පිළිබඳ කරුණක් වන අතර ඒ සඳහා කාලය අවශ්‍ය ය, නමුත් ඔබේ කට හඬේ උණුසුම දියුණු කිරීම සඳහා සුදුසු අවධානයට සහ උනන්දුවට සෑහෙන කාර්යයක් ඉටු කළ හැක.
19 හුදෙක් යාන්ත්‍රික දෘෂ්ටි කෝණයකින් බැලූ විට ඔබට උපකාර විය හැකි එක් දෙයක් නම්, කෙටි, කප්පාදු කළ ස්වර කථාව දැඩි කරන බව මතක තබා ගැනීමයි. ස්වර සුදුසු ලෙස ශබ්ද කිරීමට පුරුදුවන්න. මෙය ඒවා මෘදු කිරීමටත් ස්වයංක්‍රීය ව ඔබේ කථාවේ තානය වඩා උණුසුම් කිරීමටත් උපකාර කරනු ඇත.
20, 21. ඉදිරිපත් කිරීමේ දී උණුසුම සහ හැඟීමෙන් යුතු බව කෙරෙහි කථාවක කරුණු බලපාන්නේ කුමන අන්දමින් ද?
20 කරුණුවලට සුදුසු උණුසුම සහ හැඟීම. උද්‍යෝගය සම්බන්ධයෙන් මෙන් ම, ඔබේ ප්‍රකාශවලට ඔබ අන්තර්ගත කරන උණුසුම සහ හැඟීම ද විශාල වශයෙන් රඳා පවතින්නේ ඔබ කියන දේ මත ය. ලියන්නන් සහ ඵරිසිවරුන් දෝෂාරෝපණයට ලක් කිරීම පිළිබඳ ව මතෙව් 23 හි සඳහන් වාර්තාව මෙයට උදාහරණයකි. උන් වහන්සේ උදාසීන අප්‍රාණික ආකාරයකින් තරවටුව ප්‍රකාශ කළ සේකැයි අපට සිතිය නොහැක. මෙම පරුෂ ප්‍රකාශ කිරීම කරන අතරතුරේ දී ම මෘදු මොළොක් අනුකම්පාව ප්‍රකාශ කරන වාක්‍ය ඛණ්ඩයක් ඇත. යේසුස් වහන්සේ තමන් වහන්සේගේ අනුකම්පාව මෙසේ ප්‍රකාශ කළ සේක: “කිකිළි ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක් මෙන් තිගේ දරුවන් එකතුකරගන්ට මම කී වරක් කැමතිවුණෙම්ද? එහෙත් නුඹලා කැමතිවුණේ නැත.” මෙහි මෘදු හැඟීම ප්‍රකාශ වී ඇති බව පැහැදිලි ය. එහෙත්: “බලව, නුඹලාගේ ගෘහය නුඹලාට පාළුකොට අත්හරිනු ලැබේ” යන ඊළඟ ප්‍රකාශය එම චිත්ත වේගය ම පෙන්නුම් නොකරයි. තානය ප්‍රතික්ෂේප කිරීම සහ පිළිකුල දනවන එකකි.
21 එසේ නම්, උණුසුම සහ හැඟීම සුදුසු වන්නේ කොතැනට ද? ක්ෂේත්‍ර සේවයේ දී හෝ ශිෂ්‍ය කථාවක දී ඔබ කියන්නට යන දේ මෙවැනි ප්‍රකාශයන්ට උචිත ය, නමුත් සුවිශේෂ ලෙස උචිත වන්නේ ඔබ තර්ක කරන විට දී, දිරිගන්වන විට දී, අනුශාසනා කරන විට දී, සානුකම්පාව දක්වන විට දී සහ එබඳු වෙනත් අවස්ථාවල දී ය. උණුසුම් වීමට මතක තබා ගන්නා අතර ම සුදුසු තැනේ දී උද්‍යෝගිමත් වීමට ද අමතක නොකරන්න. සෑම කරුණක දී ම සමබර වන්න. එහෙත් ඔබ කියන සෑම දෙය ම හැකි තරම් පූර්ණ ලෙස ප්‍රකාශ කරන්න.