පරිච්ඡේද 10
පෙනුම කෙතරම් වැදගත් ද?
ඔබේ පෙනුමට ඔබ කැමති නැතැයි ඔබ පවසන්නෙහි ද? පෙනුම ගැන සම්පූර්ණයෙන් ම සෑහීමකට පත් වන අය වෙතොත් ඒ අපෙන් ස්වල්ප දෙනෙකු පමණි. වතුර තටාකයේ වූ තම ඡායාව සමඟ ප්‍රේම බන්ධනයක් ඇති කර ගත් නාසිසස් මෙන් නොව, අපේ ඡායාව අප දකින විට අපගෙන් සමහරෙක් සම්පූර්ණයෙන් ම වාගේ කලකිරීමට පත් වෙති.
‘මගේ ඇඟ ගැන මෙම අකැමැත්ත මට ඇති වෙලා තියෙනවා. මට එතරම් හොඳ පෙනුමක් නැහැයි කියලයි මට සිතෙන්නේ,’ යයි 16-හැවිරිදි මරියා ශෝක වන්නී ය. දහතුන්-හැවිරිදි බොබ්ට ද එවැනි ම දුක් ගැනවිල්ලක් තිබේ: ‘මගේ කොණ්ඩෙ මෙතන පිටි පස්සේ උඩට ඉස්සිලා තියෙන විධියට මං කැමති නෑ.’ කාරණා වඩා දරුණු අතට හැරවීමට, නහඹර යෞවනයෙකුගේ පෙනුම ඉතා සීඝ්රයෙන් වෙනස් විය හැකි බැවින්, එක් මනෝ විද්‍යාඥයෙකු පැවසුවේ, යෞවනයන්ට බොහෝ විට “තමන්ගේ ම ශරීර තුළ අමුත්තන් මෙන් හැඟෙන,” බවයි. මෙබැවින් බොහෝ දෙනෙක් තම මුහුණ, හිස කෙස්, රූපය සහ දේහ ලක්ෂණ නුරුස්සති.
සැබවින් ම, දෙවියන් වහන්සේ ම අලංකාරය අගය කරන සේක. දේශනාකාරයා 3:11 මෙසේ පවසයි: “උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු [සුන්දර NW] ලෙස සලස්වා තිබේ.” තව ද ඇත්තෙන් ම අන්‍යයන් සලකන සහ බලන ආකාරය කෙරෙහි අධික බලපෑමක් ඔබේ පෙනුමට තිබිය හැක. වෛද්‍ය ජේම්ස් පී. කොමර් තවදුරට මෙසේ පවසයි: “ශාරීරික රූපය ආත්ම-මූර්තියේ කොටසකි. පුද්ගලයෙකුගේ ආත්ම-විශ්වාසයට සහ ජීවිතයේ දී ඔහු කරන දේට මෙන් ම නොකරන දේට බලපෑමක් කිරීමට එයට හැක.” එබැවින් ඔබේ පෙනුම ගැන මනා සැලකිල්ලක් දැක්වීම ඉතා නුවණට හුරු දෙයකි. කෙසේ වුවත්, ඔබ ඔබ ගැන ම බෙහෙවින් සිතීමෙන් ඇති වන සබකෝලය නිසා අන්‍යයන්ගෙන් ඈත් වේ නම් හෝ ඔබ ගැන ම නුසුදුසු හැඟීමක් ඇති කර ගන්නේ නම්, එවැනි සැලකිල්ල තවදුරටත් යහපත් නොවේ.
ඔබ ප්‍රියකරු නැතැයි පවසන්නේ කවුද?
පුද්ගලික පෙනුම කෙරෙහි දොම්නස සැමවිට ම සැබෑ ශාරීරික ආබාධයන් හේතු කොට ගෙන නොවීම සැලකිල්ලට ගත යුත්තකි. පංතියේ හිඳ ගෙන සිටින හීන්දෑරි ගැහැණු ළමයෙකු තමා මීට වඩා බරින් වැඩි වූවා නම් යයි සිතන අතර, අනෙක් පැත්තේ සිටින තරබාරු ගැහැණු ළමයෙක් තමා කෙතරම් “මහත” වැඩි දැයි කියා ළතැවෙන්නී ය. එවන් සෑහීමකට පත්නොවීමක් පැමිණෙන්නේ කොතැනින් ද? හොඳින්-වැඩුණු යෞවනයන් තමන් ප්‍රියකරු නැතැයි සිතීමට සලස්වන්නේ කුමක් ද?
මනෝ චිකිත්සාව පිළිබඳ විශාරදයෙක් වන රිචඩ් එම්. සාල්ස් මෙසේ පවසයි: “නහඹර වයස ශරීරයේ විශාල ප්‍රතිසංවිධානය වීමක් ඇති කරන වෙනස් වන්නා වූ කාල පරිච්ඡේදයකි. . . . අලුත් සහ වෙනස් වන්නා වූ ශරීරයේ නුහුරු භාවය සමඟ ක්‍රියා කිරීමට, බොහෝ යෞවනයන් විශ්වාසය තබන්නේ තම තුල්‍ය කණ්ඩායමේ ආරක්ෂාව මත ය.” එහෙත් ඔබේ තුල්‍යයන්ගේ සුපරීක්ෂාව යටතේ, ඔබ කෙතරම් උස ද, මිටි ද, මහත ද නැතහොත් හීන්දෑරි ද යන්න මහත් කනස්සල්ලක මූලාශ්‍රයක් බවට පත් විය හැක, ඔබේ නහයේ හෝ කන්වල හැඩය ගැන ද සඳහන් කළ යුතු නොවේ. තව ද ඔබට වඩා අන්‍යයන් වැඩි අවධානයක් ලබන විට හෝ ඔබේ පෙනුම ගැන ඔබ තරවටු ලබන විට, ඔබ ගැන ම නුසුදුසු හැඟීමක් ඔබ තුළ ඇති වීමට පහසුවෙන් ම පටන් ගත හැක.
ඉක්බිති රූපවාහිනියේ, පොත්වල සහ චිත්‍රපටිවල ද ව්‍යාප්ත වූ බලපෑම තිබේ. සිත් ඇදගන්නා පුරුෂයෝ සහ ස්ත්‍රීහු රූපවාහිනි රාමුවලින් හා සඟරා පිටුවලින්, සුවඳවිලවුන් පටන් දම්වැල් කියත් දක්වා විකුණමින්, අප දෙස නෙත් හෙලා සිටිති. මෙයාකාරයෙන් අදහස් හුවමාරු කරන මාධ්‍ය, ඔබ පැහැපත් සමකින් යුත් ප්‍රියකරු කෙනෙකු නොවේ නම් හෝ හොඳින් වැඩුණු පුරුෂ දේහ ලක්ෂණ ඇති කෙනෙකු නොවේ නම්, ඔබ කොහේ හෝ මුල්ලකට රිංගා ගත යුතුයි, නැතහොත් අඩු ම තරමින් කිසිදාක ජනප්‍රිය වීම හෝ ප්‍රීති වීම ගැන අමතක කර දැමිය යුතුයි යන්න විශ්වාස කිරීමට ඔබට සලස්වා තිබේ.
‘ඔවුන්ගේ අච්චුව තුළ සිර නොවන්න’!
එහෙත් ඔබ කැත ළමයෙකු යයි නිගමනය කිරීමට පෙර, ඔබේ ශාරීරික දෝෂයන් කෙතරම් සත්‍ය ද—නැතහොත් කෙතරම් මනඃකල්පිත ඒවා ද කියා ඔබෙන් ම අසන්න. ඔබ නුරුස්නා (හෝ සමච්චලයට ලක්වන) මුහුණේ ලක්ෂණය ඇත්තෙන් ම ඒතරමට ම ප්‍රියකරු නොවන්නේ ද? නැතහොත් එය එසේ යයි සිතීමට අන්‍යයන් ඔබ ව පීඩනයට ලක් කර තිබේ ද? බයිබලය මෙසේ අවවාද කරයි: “ඔබ ව ලෝකයේ ම අච්චුව තුළට සිර කර ගැනීමට ඉඩ නොහරින්න.”—රෝම 12:2, ෆිලිප්ස්.
සිතන්න: ජනප්‍රිය වීමට, සාර්ථක වීමට හෝ ප්‍රීති වීමට නම් ඔබට එක්තරා පෙනුමක් අවශ්‍ය ය යන අදහස වැඩි දියුණු කරන්නේ කවරෙක් ද? ආශා කරන ආහාර හෝ මිල අධික රූපාලංකාර ආධාරකයන් මිල දී ගැනීමට ඔබ ඒවා පසු පස යාම මගින් ලාභ ලබන නිෂ්පාදකයන් සහ ප්‍රචාරකයන් නොවේ ද? ඔබේ සිතුවිලි හැඩගැස්වීමට ඔවුන්ට ඉඩ හරින්නේ මන්ද? තව ද තුල්‍යයන් ඔබේ පෙනුම ගැන විවේචනය කරන්නේ නම්, ඔවුන් එසේ කරන්නේ උපකාර වීමට ද—නැතහොත් හුදෙක් ඔබ ව පහත් කිරීමට ද? කෙසේ නමුත්, පසු ව සඳහන් කළ දේ සැබෑ නම්, එවන් “මිතුරන්” අවශ්‍ය වන්නේ කවරෙකුට ද?
බයිබලය තවදුරටත් මෙසේ අවවාද කරයි: “ඥානයට [සියුම් නුවණට NW] නුඹේ සිත යොමුකරන්න.” (හිතෝපදේශ 2:2) ඔබේ ශාරීරික ගති ලක්ෂණ කෙරෙහි සාධාරණ ආකාරයකින් බැලීමට සහ ප්රචාරක මාධ්‍ය සැක සහිත ව පිළිගැනීමට ඔබට සියුම් නුවණ මහෝපකාරී වනු ඇත. සැමදාට ම උසස් විලාසිතා නිරූපකයන් මෙන් පෙනී සිටින්නේ ස්වල්ප දෙනෙකි. තව ද “ප්‍රියකරු භාවය පෙන බුබුලකි.” (හිතෝපදේශ 31:30, බයිංටන්) තම පෙනුමට ගෙවීමක් ලබන ජනයා තම රූපයෙන් උසස් ව සිටින්නේ අලුත් මුහුණක් සඳහා ඔවුන් ව ඉවත් කරන තුරු කෙටි කලකට පමණි. තව ද, රූප ලාවණ්‍ය ද්‍රව්‍ය, පැහැපත් කිරීම් සහ ඡායාරූප නිපුණත්වය මගින් ඔවුන්ගේ පෙනුම සඳහා බොහෝ විට පුදුම දෑ කර තිබේ. (තම රූපාලංකාර-ආධාරක සැලසුම් නොමැති ව සිටින විට කීර්තිමත් තැනැත්තන්ගේ පෙනුම ගැන ඇතැමෙක් පුදුම වෙති!)
මෙබැවින් රූපවාහිනි හෝ සඟරා විලාසිතා නිරූපකයෙකු මෙන් ඔබ නොපෙනෙන නිසා කනස්සලු වීමට හේතුවක් නැත. ඔබ සිත් ඇදගන්නා කෙනෙකු වීමට කෙතරම් උසක්, මිටි භාවයක් හෝ හීන්දෑරි භාවයක් තිබිය යුතුදැයි යන්න ගැන අවසන් විනිශ්චයකරුවන් ඔබේ තුල්‍යයන් නොවේ. ඔබේ පෙනුම ගැන ඔබ සෑහීමකට පත් වන්නේ නම්, ඔබේ තුල්යයන්ට එතරම් අවධානයක් නොදෙන්න. පරස්පර විරෝධී කරුණක් නම්, ඔබේ පෙනුම ගැන ඔබ අකැමැති වන දේ ම වෙනත් කෙනෙකුගේ ඊර්ෂ්‍යාවේ මූලාශ්‍රයක් විය හැක.
ඔබේ ඉතා හොඳ පෙනුමෙන් සිටින්න!
ඇතැම් විට යෞවනයන්ට සැබවින් ම මෙවන් අහිතකර රූප ලක්ෂණවල ගැටලු තිබේ: සමෙහි අයහපත් පෙනුමක් හෝ දිස්නයක්, ශරීරයේ තරබාරුකම, නාසයේ නුසුදුසු හැඩය, උස් වූ කන්, ඉතා මිටි වීම. සැබවින් ම, වැඩෙන යෞවනයෙකු වශයෙන්, ඔබේ පෙනුම තවමත් වෙනස් වෙමින් පවතියි. ශරීරයේ කුරුලෑ, බර අඩු වැඩි වීම සහ සීඝ්රයෙන් (හෝ වේදනාකාරී ලෙස හෙමින්) වැඩීම, යෞවන වයසේ දකින දුඃඛදායක දේවල් වේ. කාලයා විසින් එවන් ගැටලු බොහොමයක් විසඳනු ලබනවා ඇත.
අනෙක් ඒවා එසේ නොවේ. තව ද බොහෝ යෞවනයන් තම පෙනුම ඉතා සාමාන්‍යය යන සාධකය ඇති ව ජීවත් විය යුතු ය. ලේඛක ජෝන් කිලිංග මෙසේ පැවසුවේ ය: “බොහෝ දෙනෙකුට, ජීවිතයේ ඉතා වේදනාකාරී සාධකයක් වන්නේ හොඳ පෙනුම නොමැති වීම ය. එය කලින් දැනගෙන ඔවුන්ගේ ජීවිතවල ඉතිරි කාලය තුළ දී කලාතුරකින් මගහරින එකකි.” කෙසේ වුවත්, ඔබේ පෙනුමෙන් ඔබට හැකිතාක් ප්‍රයෝජන ගත හැක!
ශාරීරික අසම්පූර්ණත්වයන් හරිගැස්වීමට ශල්යශාස්ත්රය මිල අධික හා සමහර විට අවදානම් සහගත දෙයකි.a එහෙත්, සරල සෞඛ්‍ය සම්පන්න බව, මිල අධික එකක් නොවන අතර ඔබේ ප්‍රියකරු භාවය වැඩි කිරීම සඳහා බොහෝ දේ කිරීමට ද එයට හැක. චිත්‍රපටි නළුවෙකුගේ හෝ නිළියකගේ මෙන් ඔබේ හිස කෙස් දිස්නය නොදෙනවා විය හැකි නමුත්, එය පිරිසිදු කළ හැකියි; එසේ ම ඔබේ මුහුණ, දෑත් සහ දෑත්වල නිය පිරිසිදු කළ හැකියි. සුදු දත් සහ පිරිසිදු රෝස පැහැති විදුරුමස සහිත ඕනෑ ම සිනහවක්, සිත් ප්‍රමෝද කරනු ඇත. තරබාරුකම ඔබට ගැටලුවක් වී තිබේ ද? ඔබේ බර හොඳින් පාලනය කිරීම සඳහා වැඩිමනත් දෙයක් කිරීමට සමබර ආහාරය සහ (සමහර විට වෛද්‍යවරයෙකුගේ සැලකිල්ල යටතේ) ව්‍යායාමයට හැක.
දෙමව්පිය අනුමැතිය ඇති ව, ඔබේ ශාරීරික දායාදයන් පැහැදිලි කොට දක්වන හා ඔබේ දෝෂයන් අඩු කරන ඇඳුම් ඇඳීමෙන් සහ කොණ්ඩා මෝස්තර දැමීමෙන් ඔබට අත්හදා බැලීමක් ද කළ හැකි ය. උදාහරණයක් වශයෙන්, ලේඛක ෂැරන් ෆේල්ටන් පැවසූ ආකාරයට, ගැහැණු ළමයෙකු “සම්පූර්ණ කොණ්ඩා මෝස්තරයක් දැමීමෙන් හෝ හිස මුදුනට කර කොණ්ඩය බැඳීමෙන්,” විශාල නාසයක කැපී පෙනීම අඩුකර ගත හැක. “රැලි සහිත හෝ බොකුටු කොණ්ඩා මෝස්තරයක්,” දැමීමෙන් එලෙස ම තියුණු, වක්රාකාර ලක්ෂණ අඩු කර ගත හැකි අතර කල්පනාකාරී ව රූප ලාවණ්‍ය භාවිතා කිරීමෙන් ගැහැණු ළමයෙකුගේ මුහුණේ දෝෂයන් අඩු කර ගත හැක. පුරුෂයෙකු හෝ ස්ත්‍රියක වුවත්, ඇඳුම් පැළඳුම් තෝරා ගැනීමෙන් මහත් දෙයක් ඉටු කර ගැනීමට ද ඔබට හැක. ඔබේ සමෙහි වර්ණය පැහැපත් කරන පාට සහ ප්‍රශංසනීය විලාසිතා තෝරා ගන්න. ඇඳුමක ඉරි ගැන අවධානය යොමු කරන්න: කෙලින් ඉරි කෙට්ටු ස්වභාවයක් පෙන්වන අතර හරස් ඉරි, එහි විරුද්ධ පැත්ත පෙන්නුම් කරයි!
එසේ ය, ඔබ ස්වභාවයෙන් ම හොඳ පෙනුමක් උරුම නොවූ කෙනෙකු වුවත්, වෑයමෙන් සහ කල්පනා කිරීමෙන්, සෞම්‍ය පෙනුමක් ඉදිරිපත් කිරීමට ඔබට හැක.
සමබර වීමට අවශ්‍යතාවයක්
ඔබේ පෙනුම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වන අතරතුර ඔබේ පෙනුම ඔබේ ජීවිතයේ වැදගත් ම දෙය කර නොගැනීමට ප්‍රවේසම් වන්න. ජනයාගේ පෙනුම ගැන බයිබලයේ කථා කරන්නේ කෙතරම් ස්වල්ප වශයෙන් ද යන්න ගැන ඔබ කිසිදා සැලකිලිමත් වී තිබෙනවා ද? ආබ්‍රහම්ගේ, මරියාගේ හෝ එපමණක් නොව යේසුස් වහන්සේගේ පවා පෙනුම ගැන අපට පවසා නැත්තේ මන්ද? නිසැක ව ම, දෙවියන් වහන්සේ එය වැදගත් යයි සැලකුවේ නැත.
ඉතාමත් සිත් ඇදගන්නා ආරෝහ පරිණාහයෙන් යුත් කෙනෙකු වූ, එලියාබ් නමැති තරුණ මනුෂ්‍යයා ව රජ තනතුරට පත් කිරීම දෙවියන් වහන්සේ වරක් ප්‍රතික්ෂේප කිරීම සැලකිල්ලට ගත යුතු කරුණකි! යෙහෝවඃ දෙවියන් වහන්සේ ප්‍රොපේත සාමුවෙල්ට මෙසේ පැහැදිලි කළ සේක: “ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න; . . . ස්වාමීන්වහන්සේ [දෙවියන් වහන්සේ NW] මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලන සේක; මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] සිත [හෘදය NW] බලනසේක.” (1 සාමුවෙල් 16:6, 7) සැබවින් ම ගණන් ගන්නා වූ තැනැත්තා වන දෙවියන් වහන්සේට වැදගත් වන්නේ අපේ පෙනුම නොවන බව දැනගැනීමට ලැබීම කෙතරම් සහනයක් ද! ‘උන් වහන්සේ හෘදය බලන සේක.’
සිතා බැලිය යුතු වෙනත් කරුණක් වන්නේ: ඔබේ මිතුරන්ගෙන් වැඩි දෙනෙකු වඩා සාමාන්‍ය පෙනුමකින් නොසිටින්නේ ද? තව ද ඔබේ දෙමව්පියන්ගෙන් එක් කෙනෙකු හෝ මෝස්තර සඟරාවක කවරය සඳහා පෙනී සිටීමට සුදුසුකම් ඇත් ද? පෙනෙන හැටියට නැත. ඇත්තෙන් ම, ඔවුන්ගේ යහපත් ගුණාංග දැන සිටීමෙන්, ඔබ ඔවුන්ගේ පෙනුම ගැන පවා සිතන්නේ ඉතා කලාතුරකින් ය! පුද්ගලයෙකු වශයෙන් ඔබටත් සැබෑ හෝ සිතා ගත් යම් යම් ශාරීරික අඩුලුහුඬුකම්වලට වඩා වැදගත්කමක් ඇති දායාදයන් තිබේ.
කෙසේ නමුදු, ඔබේ තුල්යයයන්ට පෙනුම වැදගත් වන අතර ඔවුන්ගේ අඳින පළඳින විලාසිතාවලට අනුකූලතා දැක්වීමේ පීඩනයට ඔබ යටත්වෙන බව ඔබට දැනෙන්නට පුළුවන. එම පීඩනයට ඔබ ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේ ද?
[අධෝලිපි]
a ඇද වූ දත් කෙලින් කිරීමට කම්බි දැමීම වැනි, ඇතැම් වෛද්‍ය පිළිවෙත් මගින් සෞඛ්‍යමය හා රූප ලාවණ්යමය වාසි තිබිය හැක.
සාකච්ඡා කිරීමට ප්‍රශ්න
◻ යෞවනයෝ තම පෙනුම ගැන එතරම් සැලකිලිමත් වන්නේ මන්ද? ඔබේ ම පෙනුම ගැන ඔබට හැඟෙන්නේ කෙසේ ද?
◻ ප්රචාරක මාධ්‍යයයන් සහ ඔබේ තුල්යයයන් මගින් පෙනුමේ වැදගත්කම සම්බන්ධයෙන් දියුණු කර තිබෙන්නේ කුමන ආකල්පය ද? එවන් බලපෑමකට ඔබ ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේ ද?
◻ කුරුලෑ සම්බන්ධයෙන් ගැටලුව සමඟ ක්‍රියා කිරීමට ඇතැම් මාර්ග මොනවා ද?
◻ ඔබේ පෙනුමෙන් ඔබට ප්‍රයෝජන ගත හැක්කේ කෙසේ ද? මේ සම්බන්ධයෙන් සමබර වීමේ අවශ්‍යතාවයක් තිබෙන්නේ මන්ද?
[82 පිටුවෙහි හුවා දැක්වීම]
‘මගේ ඇඟ ගැන මෙම අකැමැත්ත මට ඇති වෙලා තියෙනවා. මට එතරම් හොඳ පෙනුමක් නැහැයි කියලයි මට සිතෙන්නේ’
[88 පිටුවෙහි හුවා දැක්වීම]
යම් යම් ශාරීරික අඩුලුහුඬුකම්වලට වඩා වැදගත්කමක් ඇති දායාදයන් ඔබට තිබේ
[84 සහ 85 පිටුවෙහි ඇති කොටුව]
‘මගේ කුරුලෑ සම්බන්ධයෙන් යමක් කිරීමට මට නොහැකි ද?’
කුරුලෑ යනු සමේ ඇති වන ආබාධයකි, එමගින් ලප ඇති වීමට හෝ කුරුලෑ, කළු ලප, රත් පැහැති ඉදි මුම් ඇති වීමට නැතහොත් විසප්පු මගින් අවලක්ෂණ වීමට පවා සලස්වයි. බොහෝ යෞවනයන්ට, එය මාස කිහිපයකට පමණක් පැවත පහවී යන අපහසුතාවයකට වඩා, සමේ වූ ප්‍රබල ආබාධයකි. සෑම වයස් සීමාවක ම ජනයා මින් පීඩා විඳිය හැකි නමුත්, වඩා පීඩා විඳින්නේ යෞවනයන් ය. ඇතැම් ප්‍රවීණයන් පවසන අන්දමට, සියයට 80ක් පමණ යෞවනයෝ යම් ආකාරයක සමේ රෝගවලින් පෙළෙති.
පුදුමයට හේතුවක් නොව, තමන් ගැන ම තමන් වඩාත් ම අකමැති දෙය කුමක්දැයි යෞවනයින් 2,000ක ගෙන් විමසූ විට, අන් සෑම පැමිණිල්ලකට ම වඩා සම සම්බන්ධයෙන් වූ ගැටලු ගණනින් වැඩි විය. තවදුරටත් උසස් පාසලේ ඉගෙනුම ලබන විට කුරුලෑ නිසා අති දරුණු ලෙසින් පීඩා විඳි සැන්ඩ්‍රා නමැති යෞවනිය මෙසේ සිහිපත් කරන්නී ය: “ මට බෙහෙවින් කුරුලෑ තිබුණ නිසා, මං හැම වෙලාවේ ම අනිත් අයගෙන් මුහුණ සඟවා ගත්තා. මා ව පෙනුණු විධිය ගැන මං ව්‍යාකූල ව සිටි නිසා මා ලැජ්ජාවට පත් ව සිටියා. . . . මා ව ඒ තරමට ම කැතට පෙනුණා.”—Co-Ed සඟරාව.
ඔබේ පෙනුම උපරිමයෙන් තිබීමට ඔබට වුවමනා වන කාලයේ ම—එනම් ඔබේ යෞවන කාලයේ ම මෙම මහත් පීඩාව ඇති වනුයේ මන්ද? ඔබ වැඩෙමින් සිටින නිසා ය. වැඩි වියට පත් වන අවධියේ, සමේ ග්‍රන්ථි එහි ක්‍රියාකාරිත්වය වේගවත් කරයි.
සිදු වන්නේ කුමක් ද? ද වර්ල්ඩ් බුක් එන්සයික්ලෝපීඩියා සරල ආකාරයෙන් මෙසේ පැහැදිලි කරයි: සෑම ග්‍රන්ථියක් ම කේශයක් සමඟ ඇති කුහරයකට—එනම්, සෑම කේශ ධාතුවක් වටා වූ කුඩා කෝෂයක් තුළට වගුරුවයි. සාමාන්‍යයෙන් ම, සමේ ඇති සිදුරක් තුළින් තෙල් වෑස්සෙන නමුත්, ඇතැම් විට සිදුර ඇහිරී තෙල් විගස පිටට ගලා ඒමට නොහැකි වේ. රැඳෙන තෙල් ඔක්සිකරණය වී, වියළී, කළු පැහැ ගැන්වීමේ හේතුවෙන් ඇහුරුණු සිදුර දැන් කළු ලපය නම් වූ කැලල බවට පත්වේ. සැරව සෑදෙන විට කුරුලෑවක් හටගනී. එකතු වී ඇති තෙල්වල විෂබීජ වැඩීමට පටන් ගන්නා විට කෝෂ්ඨයන් (cysts) සෑදේ. ස්ථිර තුවාල කැළැල් ඇති කරන්නේ මෙම කෝෂ්ඨවලිනි. බොහෝ විට කුරුලෑ මිරිකීමේ හෝ කැඩීමේ ප්‍රතිඵලයක් වශයෙන් විෂ වෙනවා නම් මිස නැත්නම් කුරුලෑ කැළැල් ඇති නොවේ.—එබැවින් මිරිකීමෙන් හෝ කැඩීමෙන් වළකින්න!
සැලකිය යුතු කරුණක් වන්නේ, ආතතියට (සිතේ කලබල ගතියට) හා චිත්ත වේගීය තැවුල්වලට සමේ ග්‍රන්ථි ක්‍රියාත්මක කිරීමට හැකි වීම ය. හුදෙක් වැදගත් සිදු වීමකට පෙර නැතහොත් විභාගයට පෙර සහ විභාගය පවතින කාලයේ දී, විශාල කුරුලෑවක් හටගන්නා බව ඇතැමෙක් අත්දකිති. මෙබැවින් යේසුස් වහන්සේගේ වචන මෙසේ ප්‍රායෝගික වේ: “ හෙට දවස ගැන කනස්සලු නොවෙල්ලා. හෙට දවස ඒ ගැනම කරදරවන්නේය.”—මතෙව් 6:34.
කීමට කනගාටුයි, ආශ්චර්යවත් සුව වීමක් ඇත්තේ නැත. කෙසේ වුවද, ජල්ලි වර්ග, ලේපයන්, බෙහෙත් වතුර, ශෝධක ද්‍රව්‍ය, සබන් වර්ග සහ මුහුණු ආරක්ෂකයන්, කුරුලෑ පාලනය කර තබා ගැනීමට උපකාර විය හැකි බෙන්සොයිල් පෙරොක්සයිඩ් (විෂබීජ නාශක කාරකයක්) අඩංගු දේ වැනි ගණන් කළ නොහැකි ඖෂධ තිබේ. (වඩා ප්‍රබල ක්‍රියා කිරීමක් අවශ්‍ය නම් ඔබ පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගත හැක.) සබන්වලින් හොඳින් සේදීමෙන් හෝ බෙන්සොයිල් පෙරොක්සයිඩ් අඩංගු දෙයකින් සේදීමෙන් හෝ තම සම පිරිසිදු කර ගැනීමට උපකාරවත් වන බව බොහෝ දෙනෙකුට පෙනී යයි. කෙසේ නමුත්, තෙල් සහිත සබන් හෝ තෙල් අඩංගු රූප ලාවණ්‍ය ද්‍රව්‍යවලින් වළකින්න.
ඇතැම් යෞවනයෝ ව්‍යායාමය බහුල ව ගැනීමෙන් ද, හැකි තරම් දුරට පිරිසිදු වාතය ආශ්වාස කිරීමෙන් ද, ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමෙන් ද, තම සෞඛ්‍ය තත්ත්වය ගැන විශේෂයෙන් සැලකිලිමත් වීමෙන් තම කුරුලෑ ඇති වීමේ තත්ත්වය යහපත් අතට හැරෙන බව සොයා ගෙන ඇත. තව ද මේදය-රහිත ආහාර පමණක් ගැනීමේ ප්‍රයෝජන ගැන සමහරුන් වාද කර තිබෙන අතර, ක්ෂණික ආහාරවලින් වැළකීම, මෙන් ම සමබර ආහාර ගැනීම ද නිසැක ව ම නුවණට හුරු දෙයකි.
ඕනෑ ම සිද්ධියක දී, ඉවසීම අත්‍යවශ්‍ය ය. මතක තබා ගන්න: ගැටලුව වැඩි දියුණු වූයේ සෑහෙන කාලයක් තුළ වන බැවින් එය එක් රැයකින් නිරාකරණය නොවනු ඇත. කලින් සඳහන් කරන ලද සැන්ඩ්‍රා මෙසේ පවසන්නී ය: “ මගේ සම මුළුමනින් ම පැහැදිලි වීමට අවුරුද්දක් පමණ ගත වෙන්නට ඇතැයි මා සිතන නමුත්, සති හයක් තුළ දී මගේ සමේ වෙනස්වීම් දැක ගැනීමට මට හැකි විය.” යම් කාල පරිච්ඡේදයක් පුරා ඔබේ ප්‍රතිකාරයේ නියැලි සිටීමෙන්, ඔබට යම් සහනයක් අත්දැකීමට හැක.
ඒ අතරතුර, ඔබේ ආත්ම-අභිමානය මැඩලීමට හෝ අනෙක් අය සමඟ ඔබේ කථා බහ වැළැක්වීමට කුරුලෑ කිහිපයකට ඉඩ නොදෙන්න. ඔබ ඔබේ සම ගැන බෙහෙවින් සිතිය හැකි නමුත් ඔබ සිතනවාට වඩා ඉතා අඩුවෙන් අන්‍යයන් එය දකිනවා වෙන්නට පුළුවන. එබැවින් ඒකාන්ත, සන්තෝෂවත් ස්වභාවයක් තබා ගැනීමට වෑයම් කරන්න. තව ද ඔබේ කුරුලෑ සම්බන්ධයෙන් ඔබට කළ හැකි දෙයක් දැන් ම කරන්න!
[83 පිටුවෙහි ඇති පින්තූර]
ඔබේ පෙනුම ගැන ඔබ අකැමැති වන දේ ම වෙනත් අය විසින් ඊර්ෂ්‍යා කරනු ලබනවා විය හැකියි
[86 පිටුවෙහි ඇති පින්තූර]
සඟරාවල විලාසිතා නිරූපකයන්ට රූපාලං කාර-ආධාරක කාණ්ඩායමක සේවයන් තිබෙන බව වටහා ගැනීමට බොහෝ විට යෞවනයෝ අසමත් වෙති