පරිච්ඡේද 25
ස්වයංවින්දනය—එය කෙතරම් බරපතළ ද?
“දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ ස්වයංවින්දනය වැරදි ද කියා මම කල්පනා කරනවා. මා කවදා හෝ විවාහ වුවහොත් එයට සහ අනාගතයේ දී මගේ ශාරීරික සහ⁄හෝ මානසික සෞඛ්‍යට එය බලපානු ඇත් ද?”—පහළොස්-හැවිරිදි මෙලිසා.
මෙම සිතුවිලි බොහෝ යෞවනයන්ට හිරිහැරයක් වී ඇත. හේතුව? ස්වයංවින්දනය පැතිර පැවතීම ය. වාර්තා වන ලෙස, පිරිමින්ගෙන් සියයට 97ක් පමණ හා ස්ත්‍රීන්ගෙන් සියයට 90කට වඩා වයස අවුරුදු 21වන විට ස්වයංවින්දනයේ යෙදී ඇත. තවදුරටත්, ඉන්නෝ හා රතු ඇසි පියන්වල සිට අපස්මාරය හා මානසික රෝග දක්වා—සියලු ආකාර රෝග සඳහා මෙම පුරුද්ද දෝෂාරෝපණයට ලක් වී තිබේ.
විසි වන ශතවර්ෂයේ වෛද්‍ය පර්යේෂකයෝ තවදුරටත් එවන් අනතුරු ඇඟවීමේ ප්‍රකාශයන් නොකරති. සැබවින් ම, ස්වයංවින්දනය මගින් ශාරීරික රෝගී භාවයක් ඇති නොකරන බව අද දින වෛද්‍යවරු විශ්වාස කරති. “නිතර නිතර සිදු කළත්, ස්වයංවින්දනය මානසික රෝගී භාවයකට මඟ පාදන බවට තහවුරු කරන ලද වෛද්‍ය සාක්ෂියක් නැත,” යයි විලියම් මාස්ටර්ස් සහ වර්ජීනියා ජොන්සන් යන පර්යේෂකයෝ තවදුරටත් කියා සිටිති. කෙසේ නමුත්, වෙනත් නරක ප්‍රතිඵල තිබේ! තව ද බොහෝ ක්‍රිස්තියානි යෞවනයෝ මෙම පුරුද්ද ගැන යෝග්‍ය ලෙස සැලකිලිමත් වේ. “මා [ස්වයංවින්දනයේ] යෙදුණු විට, යෙහෝවඃ වහන්සේට විරුද්ධ ව වරදක් කළාක් මෙන් මට හැඟුණා,” යයි එක් යෞවනයෙක් ලීවේ ය. “මම සමහර අවස්ථාවල දී දරුණු ලෙස අසහනයට පත් වුණා.”
ස්වයංවින්දනය යනු කුමක් ද? එය කෙතරම් බරපතළ ද, එමෙන් ම නැවැත්වීමට දුෂ්කර පුරුද්දක් බව බොහෝ යෞවනයන්ට පෙනෙන්නේ මන්ද?
යෞවනයන් එයට පහසුවෙන් ගොදුරු වීමට හේතුව
ස්වයංවින්දනය යනු, ලිංගික පිබිදීමක් ඇති කිරීමට හිතාමතා ම කරන ස්වයං-ඇවිස්සීමකි. යොවුන් වියේ මුල් අවධියේ දී, ලිංගික ආශාවන් බලවත් වේ. ප්‍රජනක ඉන්ද්‍රියන්ට බලපාන බලවත් හෝමෝන මුදා හරිනු ලබයි. මෙබැවින් පිනවන සංවේදයන් නිපදවීමට මෙම ඉන්ද්‍රියන් සමත් වන බව යෞවනයෙක් දැනගනියි. තව ද ඇතැම් විට ලිංගික දේ ගැන සිතන්නේ නැතුව පවා යෞවනයෙකුට ලිංගික ව ප්‍රබෝධවත් විය හැක.
නිදසුනක් ලෙස, විවිධ කරදර, බිය හෝ කලකිරීම් මගින් ඇති කරන අවිනිශ්චිත භාවයන්ට, පිරිමි ළමයෙකුගේ සංවේදී ස්නායු පද්ධතියට බලපෑම් ඇති කළ හැකි අතර ලිංගික පිබිදීමක් ඇති කිරීමට ද හැක. අනෙක් අතට, ගොඩනැගෙන ශුක්‍රාණු ඔහු ව ලිංගික ඇවිස්සීමකින් පුබුදු වන්නට පුළුවන. නැතහොත් සාමාන්‍යයෙන් ම කාමුක සිහිනයක් මගින් රාත්‍රී කාලයේ මෝචනයක් ඇති කිරීමට එයට හැක. එලෙස ම, අදහස් නොකර ම තමන් ලිංගික ව ඇවිස්සී සිටින බව ඇතැම් යෞවන ගැහැණු ළමුන්ට දැනෙන්නට පුළුවන. හුදෙක් තම ආර්තව කාලයට පෙර හෝ පසු ව බොහෝ අයට බලවත් වූ ලිංගික ආශාවක් තිබේ.
එබැවින් ඔබ එවන් පිබිදීමක් අත්දැක තිබේ නම්, ඔබ තුළ වරදක් නැත. මෙය යෞවන ශරීරයක සාමාන්‍ය ප්රතිචාරයකි. එවන් සංවේදයන්, ඉතා බලවත් ව තිබුණත්, ඒවා සිය කැමැත්තෙන් ම නොකරන බැවින්, ස්වයංවින්දනය හා සමාන නොවේ. තව ද ඔබ වැඩෙන විට, මෙම නව සංවේදනයන්ගේ බලවත්වීම අඩු වී යනු ඇත.
එහෙත්, මෙම නව සංවේදනයන් ගැන කුතුහලය හා නුහුරු බව, ඇතැම් යෞවනයන්ට තම ලිංගේන්ද්‍රියන් අතගෑමට හෝ ඒ සමඟ සෙල්ලම් කිරීමට හෝ මඟ පාදයි.
‘මානසික ඉන්ධන’
දුරාචාර ස්ත්‍රියක මුණ ගැසෙන තරුණ මනුෂ්‍යයෙකු ගැන බයිබලය විස්තර කරයි. ඇය ඔහු ව සිප මෙසේ පවසන්නී ය: “වරෙන්න, . . . අපි ප්‍රේමය බොමු; ආදරයෙන් ප්‍රීති වෙමු.” ඉන් පසු සිදු වන්නේ කුමක් ද? “ගොනෙකු මරණයට යන්නාක් මෙන්ද . . . ඔහු එකෙනෙහිම ඇය කැටුව යන්නේය.” (හිතෝපදේශ 7:7-22) නිසැක ව ම, මෙම යෞවනයාගේ කාමාශාවන් ඇවිස්සුනේ හුදෙක් ඔහුගේ හෝමෝන ක්‍රියාත්මක වෙමින් තිබූ නිසා නොව නමුත් ඔහු දුටු හා ඇසූ දේ නිසා ය.
එලෙස ම, එක් තරුණ මනුෂ්‍යයෙක් මෙසේ පිළිගනියි: ‘ස්වයංවින්දනයෙන් ඇති වූ මගේ මුළු ගැටලුවට හේතු වූයේ මගේ මනසට මා ඇතුළත් කළ දේවල් ය. මම දුරාචාරය ඇතුළත් ව තිබෙන රූපවාහිනි වැඩසටහන් නරඹන අතර ඇතැම් අවස්ථාවල දී නිරුවත පෙන්වන වැඩසටහන් කේබල් රූපවාහිනියෙන් නරඹන්නෙමි. එවන් දර්ශන එතරම් ම කම්පනයක් ඇති කරන බැවින් ඒවා දිගට ම මා සමඟ සිටියි. ඒවා ස්වයංවින්දනයේ යෙදීමට අවශ්‍ය මානසික ඉන්ධන සපයමින් ඒවා නැවතත් මගේ මනසේ සක්මන් කරයි.’
එසේ ය, බොහෝ විට කෙනෙකු කියවන, බලන හෝ අසන දේ, මෙන් ම කෙනෙකු කථා කරන හෝ මෙනෙහි කරන දේ මගින් ස්වයංවින්දනය හට ගනී. එක් 25ස් හැවිරිදි ස්ත්‍රියක් මෙසේ වරද පිළිගත්තා ය: “මට හුදෙක් එම පුරුද්ද නැවැත්වීමට නොහැකි වූවාක් මෙන් ය. කෙසේ වුවද, මම ප්‍රේම බන්ධන නවකථා කියවන්නට යෙදුණු අතර මෙය ගැටලුවට දායක වුණා.”
“ප්‍රති ශාන්තිකරයක්”
පුරුද්ද නැවැත්වීමට එතරම් දුෂ්කර විය හැක්කේ මන්දැයි යන්නට විශාලතම හේතුව වන්නේ කුමක් ද කියා මෙම යෞවන ස්ත්‍රියගේ අත්දැකීමෙන් නිසැක ව ම හෙළි කරයි. ඇය තවදුරටත් මෙසේ පවසන්නී ය: “පීඩනයෙන්, ආතතියෙන් හෝ කාන්සාවෙන් මිදීමට මම සාමාන්‍යයෙන් ම ස්වයංවින්දනයේ යෙදෙනවා. එම ක්ෂණික සතුට, මත්පැනට ඇබ්බැහි වූ කෙනෙකු තම බිය සන්සිඳු වීමට ගන්නා බීම මෙන් විය.”
සුසෑන් හා අර්විං සාර්නොෆ් යන පර්යේෂකයෝ මෙසේ ලියති: “තමන් යම් දෙයක් ගැන බාධාවට පත් ව සිටින විට හෝ තමන්ට බියක් දැනෙන ඕනෑ ම විටෙක සැනසිල්ල සඳහා තමන් ස්වයංවින්දනයට හැරීම පුරුද්දක් බවට පත් විය හැක. කෙසේ වුවද, තමන් ඉතා උග්‍ර චිත්ත වේගීය වෙහෙසකට පත් ව සිටින විට, අන්‍යයන් මෙයාකාරයට පිහිට පතන්නේ කලාතුරකින් පමණකි.” ප්රත්යක්ෂ ලෙස, සිත්තැවුලෙන්, අසහනයෙන්, තනි වී හෝ අධික වෙහෙසක් යටතේ සිටින විට එලෙස ම අන් අය මෙම පුරුද්දේ පිහිට පතන්නෝ ය; ඔවුන්ගේ ගැටලු නැති කර ගැනීමට එය “ප්‍රති ශාන්තිකරයක්” බවට පත්වේ.
බයිබලය පවසන්නේ කුමක් ද?
යෞවනයෙක් මෙසේ ඇසුවේ ය: “ස්වයංවින්දනය සමාව නොදිය හැකි පාපයක් ද?” බයිබලයේ ස්වයංවින්දනය ගැන කොහෙත් ම පවසා නැත.a බයිබල් කාල තුළ දී ග්‍රීක් බස කථා කරන ලෝකයේ මෙම පුරුද්ද සාමාන්‍ය එකක් ව තිබුණු අතර, පුරුද්ද විස්තර කිරීමට ග්‍රීක් වචන කිහිපයක් භාවිතා කර තිබුණි. එහෙත් මෙම වචනවලින් එකක්වත් බයිබලයේ භාවිතා කර නැත.
බයිබලයේ කෙළින් ම ස්වයංවින්දනය හෙලා දැක නැති බැවින්, එය අනතුරු රහිත බව මින් අදහස් කරයි ද? නිසැක ව ම නැත! එය වේශ්‍යාකම වැනි බරපතළ පාපයන්ගේ ගණයේ ලා නොගැණුනත්, ස්වයංවින්දනය ඇත්ත වශයෙන් ම අපවිත්‍ර පුරුද්දකි. (එපීස 4:19) මෙබැවින් දෙවියන් වහන්සේගේ වචනයේ ප්‍රතිපත්ති පෙන්නුම් කරන්නේ ඔබ ස්ථිරයෙන් ම මෙම අපවිත්‍ර පුරුද්දෙන් වැළකීමෙන් “ඔබට ම ප්‍රයෝජන ලබා” ගත හැකි බව ය.—යෙසායා 48:17, NW.
“ලිංගික අභිරුචිය” ඇවිස්සීම
“එබැවින්, පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් . . . කාමරාගය [ලිංගික අභිරුචිය NW ] . . . නසාපල්ලා,” යයි බයිබලය තදින් අවවාද කරයි. (කොලොස්සි 3:5) “ලිංගික අභිරුචිය” යයි සඳහන් වන්නේ සාමාන්‍ය ලිංගික හැඟීම්වලට නොව නමුත් පාලනයෙන් තොර රාගයටයි. මෙබැවින් රෝම 1:26, 27 හි පාවුල් විසින් විස්තර කළ ලෙස, එවන් “ලිංගික අභිරුචිය” අශික්ෂිත ක්‍රියාවල නියැලීමට මඟ පෑදිය හැක.
එහෙත් ස්වයංවින්දනය මගින් මෙම ආශාවන් ‘නැසෙන්නේ’ නැද්ද? නැත, ඊට පටහැනි ව, එක් යෞවනයෙක් වරද පිළිගත්තේ මෙයාකාරයට ය: “ඔබ ස්වයංවින්දනයේ යෙදෙන විට, ඔබේ මනසෙන් වැරදි ආශාවල් ගැන ඔබ සිතන අතර ඉන් සිදු වන සියල්ල වන්නේ ඒවාට ඔබේ අභිරුචිය වැඩි වීම ය.” බොහෝ විට දුරාචාර මනඃකල්පිතයන් ලිංගික සතුට වැඩි දියුණු කිරීමට භාවිතා වේ. (මතෙව් 5:27, 28) එබැවින්, නිසි අවස්ථාවක් ඇති වුවහොත්, කෙනෙකු පහසුවෙන් දුරාචාරයට වැටිය හැක. එක් යෞවනයෙකුට මෙය සිදු විය, ඔහු මෙසේ පිළිගනියි: “එක් අවස්ථාවක දී, ස්ත්‍රියක සමඟ මා සම්බන්ධ නොවී, කලකිරීමෙන් ඉවත් කිරීමට ස්වයංවින්දනයට පුළුවන් වෙයි කියා මට සිතුණා. ඒත් මා තුළ එසේ සම්බන්ධ වීමට මැඩලිය නොහැකි ආශාවක් වර්ධනය වුණා.” ඔහු වේශ්‍යාකමෙහි යෙදුණේ ය. ස්වයංවින්දනයේ යෙදුණු යෞවනයන්ගෙන් වැඩි දෙනෙක් ද වේශ්‍යාකමේ යෙදී සිටි බව [එ.ජ.] රට පුරා අධ්‍යයනයක දී හෙළි වීම පුදුම වීමට කරුණක් නොවේ. කන්‍යාවන් ව සිටි අයට වඩා සියයට 50කින් ඔවුන්ගේ ගණන අධික විය!
මානසික ව හා චිත්ත වේගීය ව දූෂ්‍ය කරවන්නකි
ස්වයංවින්දනය මගින් මානසික ව දූෂණය වන ඇතැම් ආකල්පයන් ද සිතේ පැල පදියම් කරයි. (2 කොරින්ති 11:3 සසඳන්න.) ස්වයංවින්දනයේ යෙදෙන විට, පුද්ගලයෙකු ඔහුගේ ම හෝ ඇගේ ම ශාරීරික සංවේදයන් තුළ නිමග්න ව සිටී—එය මුළුමනින් ම තමා ගැන ම සිතීමකි. ලිංගික සම්බන්ධය ප්‍රේමයෙන් වෙන් කිරීමට මඟ පාදන අතර ආතතිය මුදා හැරීමේ ප්‍රතික්‍රියාවක් හැටියට ගෞරවනීය බවින් පහත වැටේ. එහෙත් දෙවියන් වහන්සේ අදහස් කළේ, ලිංගික ආශාවන් තෘප්තිමත් කළ හැක්කේ ලිංගික සබඳතාවල දී—එනම් පුරුෂයෙකු හා ඔහුගේ භාර්යාව අතරේ ප්‍රේමය දැක්වීමක දී බව ය.—හිතෝපදේශ 5:15-19.
ස්වයංවින්දනයේ යෙදෙන්නෙකු, විරුද්ධ ලිංගයේ අය හුදෙක් ලිංගික භාණ්ඩ—ලිංගික තෘප්තිය සඳහා මෙවලම්—යයි සැලකීමට ද නැඹුරු විය හැක. මෙලෙස ස්වයංවින්දනය මගින් උගන්වනු ලබන වැරදි ආකල්පයන් කෙනෙකුගේ ප්‍රබල ව පවතින මානසික නැඹුරුවාවන් දූෂ්‍ය කරයි. සමහරෙකු හට, ස්වයංවින්දනයෙන් ඇති කළ ගැටලු විවාහයෙන් පසු ව පවා පවතියි! හොඳ හේතු ඇති ව, දෙවියන් වහන්සේගේ වචනය මෙසේ තදින් අවවාද කරයි: “ප්‍රේමවන්තයෙනි, . . . මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්රකරගනිමු.”—2 කොරින්ති 7:1.
වරද ගැන සමබර අදහසක්
බොහෝ යෞවනයන් මෙම පුරුද්ද ජය ගැනීමේ දී සාමාන්‍යයෙන් ම සාර්ථක වුවත්, ඉඳ හිට නැවත එහි යෙදෙති. භාග්‍යයකට, දෙවියන් වහන්සේ ඉතා දයානුකම්පිත ය. “මක්නිසාද ස්වාමිනි [යෙහෝවඃ වහන්ස NW ], ඔබ යහපත්ය, කමාවෙන්ට සූදානම්සේක,” යයි ගීතිකාකරු පැවසුවේ ය. (ගීතාවලිය 86:5) ක්‍රිස්තියානියෙකු ස්වයංවින්දනයට යටත් වන විට, ඔහුගේ හෘදය බොහෝ විට තමා ව ම දෝෂාරෝපණයට ලක් කරයි. එහෙත්, “දෙවියන් වහන්සේ අපේ සිතට [හෘදයට NW ] වඩා උතුම් බවත්, උන් වහන්සේ සියල්ල දන්නා බවත්,” බයිබලය සඳහන් කරයි. (1 යොහන් 3:20, නව අනුවාදය) අපේ පාපයන්ට වඩා වැඩි දේවල් දෙවියන් වහන්සේ දකින සේක. සමාව සඳහා අපගේ අවංක ආයාචනයන්ට සානුකම්පාවෙන් සවන් දීමට උන් වහන්සේගේ උතුම් දැනගැන්මට හැකියාවක් තිබේ. එක් තරුණ ස්ත්‍රියක් ලීවේ මෙයාකාරයට ය: “වරද කළ බවට යම් දුරකට මට හැඟී තිබෙනවා, නමුත් ප්‍රේමනීය දෙවියන් වහන්සේ කවුදැයි යන වගත්, උන් වහන්සේට මගේ හෘදය කියවන්න හැකි බවත්, මගේ සියලු වෑයම් හා පෙලඹීම් දන්නා බවත්, දැන සිටින නිසා යම් අවස්ථාවක දී මා අසමත් වන විට මහත් අසහනයක් දැනීමෙන් මා වළක්වනවා.” ස්වයංවින්දනයේ යෙදීමට ඇති ආශාව සමඟ ඔබ සටන් කරනවා නම්, වේශ්‍යාකමේ බරපතළ පාපය ඔබ සිදු නොකිරීමට ඉඩ ඇත.
වර්ෂ 1959 සැප්තැම්බර් 1, ද වොච්ටවර් කලාපයේ මෙසේ සඳහන් විය: “අපට වැටහී තිබෙනවාට වඩා අපගේ පෙර ජීවන රටාව තුළ වඩා ප්‍රබල ව මුල් බැස ගෙන තිබෙන යම් නරක පුරුද්දක් කෙරෙහි බොහෝ අවස්ථාවල දී අප පැකිළෙන හා වරදට වැටෙන බව අපට දැනේ [දැනෙන්නට පුළුවන]. . . . බලාපොරොත්තු නැති කර ගන්න එපා. ඔබ සමාව නොලැබිය හැකි වරදක් කර ඇතැයි නිගමනයට එළඹෙන්න එපා. සාතන් හුදෙක් කැමති වන්නේ ඔබ එලෙස තර්ක කරනවාට ය. ඔබට ශෝකයක් හා සිත් වේදනාවක් දැනෙනවා යන කාරණය ම ඔබ එතරම් දුරකට ගොස් නැති බවට ඔප්පුවකි. දෙවියන් වහන්සේගෙන් සමාව සහ පවිත්‍ර කිරීම සහ උපකාරය සෙවීමට උන් වහන්සේ වෙතට අවංක ව හා යටහත් පහත් ව හැරීමට කිසිදා වෙහෙසට පත් වන්න එපා. එක ම දුර්වලකම කෙතරම් වාරයක් සිදු කර ඇතත්, කරදරයට පත් වී සිටින විට දරුවෙකු තම පියා වෙතට යන්නාක් මෙන් උන් වහන්සේ වෙතට යන්න, යෙහෝවඃ වහන්සේගේ මිල කළ නොහැකි කරුණාවන්තකම නිසා උන් වහන්සේ දයාන්විත ව ඔබට උපකාර කරන අතර ඔබ අවංක නම්, පවිත්‍ර වූ හෘදය සාක්ෂියක් ඇති බවට වැටහීමක් උන් වහන්සේ ඔබට දෙනු ඇත.”
එම “පවිත්‍ර වූ හෘදය සාක්ෂිය” අත් කරගත හැක්කේ කෙසේ ද?
[අධෝලිපි]
a ‘තම ශුක්‍ර ධාතු බිම වැගිරෙන්නට’ සැලැස්වීම නිසා දෙවියන් වහන්සේ ඕනාන් ව මරණයට පත් කළ සේක. කෙසේ වුවද, මීට සම්බන්ධ ව පැවතුණේ බාධා පැමිණෙවූ ලිංගික සම්බන්ධයයි, ස්වයංවින්දනය ඊට ඇතුළත් ව නොතිබුණි. තවදුරටත්, ඕනාන් ව මරණයට පත් කරනු ලැබුවේ ඔහුගේ මළ සහෝදරයාගේ පවුල් පෙළපත දිගට ම ගෙන යෑම සඳහා ඥාති-සොහොයුරු විවාහයක් සිදු කිරීමට ඔහු ආත්මාර්ථකාමී ලෙස අසමත් වූ බැවිනි. (උත්පත්ති 38:1-10, නව අනුවාදය) ලෙවී කථාව 15:16-18 හි සඳහන් වී ඇති “[ශුක්‍ර] ධාතු මෝචනය” ගැන කුමක් කිව හැකි ද? පෙනෙන ලෙස මෙහි සඳහන් වන්නේ, ස්වයංවින්දනය නොව, නමුත් රාත්‍රියෙහි සිදු වන මෝචනය මෙන් ම විවාහ ලිංගික සබඳතාවයන් ගැන ය.
සාකච්ඡාව සඳහා ප්‍රශ්න
◻ ස්වයංවින්දනය යනු කුමක් ද, එමෙන් ම ඒ සම්බන්ධයෙන් පවතින ඇතැම් ජනප්‍රිය වැරදි හැඟීම් කවරේ ද?
◻ යෞවනයන්ට බොහෝ විට ඉතා බලවත් ලිංගික ආශාව දැනෙන්නේ මන්ද? මෙය වැරදි යයි ඔබ සිතන්නේ ද?
◻ ස්වයංවින්දනයට ආශාව සඳහා ඉන්ධන විය හැක්කේ කිනම් දේවල් ද?
◻ ස්වයංවින්දනය යෞවනයෙකුට යම් අනතුරක් කරයි ද?
◻ ඔබට හැඟෙන්නේ ස්වයංවින්දනය කෙතරම් බරපතළ පාපයක් කියා ද? සමහර විට ඉන් ජය ගැනීමට ගැටලු තිබුණත්, ඊට විරුද්ධ ව ක්‍රියා කිරීමට වෑයමක් දරන යෞවනයෙකු ගැන යෙහෝවඃ වහන්සේ සලකන්නේ කෙසේ ද?
[200 පිටුවෙහි හුවා දැක්වීම]
පීඩනයට යටත් ව හෝ ආතතියෙන්, තනි වී, නැතහොත් අසහනයට පත් වී හෝ සිටින විට ඇතැමෙකුට ස්වයංවින්දනයේ යෙදීමට බලවත් උනන්දුවක් දැනේ
[202 පිටුවෙහි හුවා දැක්වීම]
‘ස්වයංවින්දනය සමඟ මගේ මුළු ගැටලුවේ මුලට හේතු වූයේ මගේ මනසට මා ඇතුළත් කළ දේවල් ය’
[204 පිටුවෙහි හුවා දැක්වීම]
“මා [ස්වයංවින්දනයේ] යෙදුණු විට, යෙහෝවඃ දෙවියන් වහන්සේට විරුද්ධ ව වරදක් කළාක් මෙන් මට හැඟුණා”
[198 පිටුවෙහි ඇති පින්තූරය]
ස්වයංවින්දනයට බලවත් වරදක් කළ බවට හැඟීම් ඇති කළ හැකි වුවත්, දෙවියන් වහන්සේගේ සමාව සඳහා අවංක යාච්ඤාවෙන් හා පුරුද්දට එරෙහි ව සටන් කිරීමට වෑයමක් දැරීමෙන් කෙනෙකුට යහපත් හෘදය සාක්ෂියක් ලබා දිය හැක
[203 පිටුවෙහි ඇති පින්තූරය]
කාමුක චිත්‍රපටි, පොත්පත් සහ රූපවාහිනි දර්ශන බොහෝ විට ස්වයංවින්දනය සඳහා ‘මානසික ඉන්ධන’ වේ