පරිච්ඡේද 32
සාර්ථක පූර්ව විවාහ ඇසුරක් මට පැවැත්විය හැක්කේ කෙසේ ද?
“විවාහයේ දී අසමත්වන්නන්ගෙන් බොහෝ දෙනෙකු පූර්ව විවාහ ඇසුරේ දී අසමත් වන අයයි. මෙම කාරණයේ සත්‍යතාවය කියා නිම කළ නොහැක.” එසේ පැවසුවේ පවුල් ජීවිතය පිළිබඳ විෂය සම්බන්ධයෙන් පර්යේෂකයෙකු වන පෝල් එච්. ලැන්ඩිස් ය. මෙම ප්‍රකාශයේ ඉතා නිවැරදි භාවය සනාථ කිරීමට ලුවීස්ට හැක. ඇය මෙසේ පැහැදිලි කරන්නී ය: “මා කළ ලොකු ම වරද වූයේ පුද්ගලයෙකු වශයෙන් ඇන්ඩි කිනම් අයුරක කෙනෙකු දැයි මා දැනගැනීමට පෙර ඔහුට සෙනෙහසින් ආලය කිරීම ය. අපගේ පූර්ව විවාහ ඇසුර අප දෙදෙනා පමණක් සිටි තත්ත්වයන්ට සීමා වී තිබිණ. මෙම ‘ඉතා අනර්ඝ’ තත්ත්වයන්ට පිටත දී ඔහු ප්‍රතික්‍රියා කළ ආකාරය මං කිසිදා දැක්කේ නෑ.” ඔවුන්ගේ විවාහය දික්කසාදය මගින් සුනු විසුනු විය. එවන් දුක්ඛදායක සිද්ධියක් වැළැක්වීමට ප්‍රධාන මඟ කුමක් ද? සාර්ථක පූර්ව විවාහ ඇසුරක යෙදීම ය!
විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ හුදකලා ඇසුරේ යෙදීමට පෙර
“සියුම් නුවණ ඇති මනුෂ්‍යයා [හෝ ස්ත්‍රිය] ඔහු [හෝ ඇය] යන තැන හොඳින් බලා, ඒ ගැන සැලකිලිමත් වේ.” (හිතෝපදේශ 14:15, දි ඇම්ප්ලිෆයිඩ් බයිබල්) එම තැනැත්තා සිත් ඇදගන්නා කෙනෙකු යයි පෙනෙනවා වුවත් ඔබ යන්තම් දන්නා කෙනෙකු කෙරෙහි ප්‍රේමයෙන් බැඳීමේ හැඟීම් වර්ධනය කිරීම විපත්ති කැඳවයි. ඔබෙන් ඉතා දුරස්තර චිත්ත වේගයන් සහ ඉලක්කයන් තිබෙන පුද්ගලයෙකු සමඟ විවාහයකට එය මඟ පෑදිය හැක! එමනිසා ඔබ යම් ආකාරයක විනෝදාස්වාදයක ප්‍රීතිය භුක්තිවිඳින අතරතුර සමහර විට එම තැනැත්තා කණ්ඩායමක් තුළ සිටින විට පළමු ව නිරීක්ෂණය කිරීම නුවණට හුරු ය.
“මා පළමුවෙන් ම පමණට වඩා සමීප වූවා නම්, මගේ විනිශ්චය කිරීමේ හැකියාව අඳුරු කිරීමට මගේ චිත්ත වේගයන්ට හැකි ව තිබුණු බව මම දැනගෙන සිටියා,” යයි දැන් වර්ෂ දහයකට සන්තෝෂවත් විවාහයක් ගත කරන ඩේව් පැහැදිලි කළේ ය. “එබැවින් මා රෝස් කෙරෙහි ඇල්මක් ඇති බව ඇයට නොදැනෙන සේ දුරකින් සිට මා ඇය ව නිරීක්ෂණය කළා. ඇය අන්‍යයන්ට සැලකුවේ කෙසේ ද, නැතහොත් ඇය චපල තැනැත්තියක් ද යන්න දැක ගැනීමට මට හැකි වුණා. සාමාන්‍ය කථා බහේ දී, මං ඇගේ තත්ත්වය සහ ඉලක්කයන් සොයා දැනගත්තා.” එම තැනැත්තා ව හොඳින් දන්නා කෙනෙකු සමඟ කථා කිරීම මගින් ඔහුට හෝ ඇයට තිබෙන්නේ කිනම් අයුරක චරිතයක් දැයි සොයා බැලීම ද උපකාරවත් වන දෙයකි.—හිතෝපදේශ 31:31 සසඳන්න.
පළමු වරට එකට ආශ්‍රය කිරීම
ඔබේ විවාහ කලත්‍රයා වීමට යමෙකු සුදුසු යයි තීරණය කළායින් පසු, එම පුද්ගලයා වෙත ගොස් එම තැනැත්තා ව වඩා හොඳින් දැනගැනීමට කැමති බව පැවසීමට ඔබට හැක.a ඒකාන්ත ප්‍රතිචාරයක් තිබෙන බව කල්පනා කරන්නේ නම්, ඔබේ ඇසුරේ පළමු දවස් යම් විසිතුරු කටයුත්තක් වීම අවශ්‍ය නැත. සමහර විට දිවා ආහාර වේලක් ගැනීමේ දී ඇසුරු කිරීමෙන් හෝ කණ්ඩායමක් වශයෙන් කරන ආශ්‍රයක කොටසක් ලෙස පවා එකිනෙකා ව වඩා හොඳින් දැන හඳුනා ගැනීමට ඔබට හැකි වෙනු ඇති අතර තවදුරටත් සබඳතාවය පවත්වා ගෙන යනවා ද නැද්ද කියා තීරණය කිරීමට එවිට හැකි වනු ඇත. දේවල් තරමක් අනියම් ව තබා ගැනීමෙන් දෙදෙනාට ම මුලින් දැනිය හැකි බයාදු ගතිය පහසු කිරීමට උපකාරවත් වේ. තව ද බැඳීමේ හැඟීම් ප්‍රමාණයට වඩා කලින් ප්‍රකාශ කිරීමෙන් වැළකීම මගින්, ඔබ දෙදෙනාගෙන් එක් කෙනෙකුගේ උනන්දුව අඩු වුවහොත් ප්‍රතික්ෂේප වීමේ—නැතහොත් ලජ්ජාවට පත්වීමේ—හැඟීම් අඩු කර ගැනීමට ඔබට හැක.
එකට ආශ්‍රය කිරීම සඳහා සැලසුම් කරන ලද ඇසුර කුමක් වුවත්, පිළිවෙළකට හා යෝග්‍ය ලෙස සැරසී වෙලාවට පෙනී සිටින්න. හොඳින් අදහස් හුවමාරු කරන්නෙකුගේ දක්ෂතාවයන් විදහා දක්වන්න. ක්‍රියාශීලී සවන් දෙන්නෙකු වන්න. (යාකොබ් 1:19) එවන් කාරණාවන් සම්බන්ධයෙන් දැඩි නීති නොතිබුණත්, සමාජ චාරිත්‍ර විධි පිළිබඳ දේශීය සිරිත් විරිත් අනුගමනය කිරීමට යොවුන් පුරුෂයෙකුට වුවමනා වනු ඇත. මේවාට ඇතුළත් විය හැක්කේ යෞවනිය සඳහා දොරක් ඇර දීම හෝ ඇගේ ආසනයේ හිඳ ගැනීමට ඇයට උපකාර කිරීම ය. යොවුන් ස්ත්‍රිය, රාජ කුමාරිකාවකට මෙන් සැලකිලි ලබා ගැනීමට අපේක්ෂා නොකරන අතර ඈ සමඟ ආශ්‍රය කරන පුද්ගලයා දරන ප්රයත්නයන්වල දී විනීත ව සහයෝගය දැක්විය යුතුයි. එකිනෙකාට අන්‍යෝන්‍ය ගෞරවයකින් සැලකීම මගින්, අනාගතය සඳහා ආදර්ශයක් තැබීමට යුවළකට හැක. ‘වඩා දුර්වල භාජනයක් වූ තම භාර්යාවට ගෞරව’ කිරීමට ස්වාමිපුරුෂයෙකුට ආඥා කර තිබේ. තව ද භාර්යාවක් “තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක්” දැක්විය යුතු ය.—1 පේතෘස් 3:7; එපීස 5:33, NW.
අත්වැල් බැඳගැනීම, සිපගැනීම හෝ වැළඳගැනීම යෝග්‍ය ද, එය එසේ නම්, කුමන අවස්ථාවක දී ද? ආත්මාර්ථකාමී රාගයකින් තොර සැබෑ සෙනෙහසේ ප්‍රකාශයන් වශයෙන් සිදු කළ විට, ආදරය දැක්වීම් පිරිසිදු හා යෝග්‍ය විය හැක. සාලමොන්ගේ ගීතිකාව යන බයිබල් පොතේ, ෂුලම්මීය ළඳ සහ වැඩි කලක් යාමට පෙර විවාහ වීමට සිටි ඇය ප්‍රේම කළ එඬේර තරුණයා අතර සුදුසු සෙනෙහසේ ප්‍රකාශයන් දක්වා තිබුණු බව සඳහන් වේ. (සාලමොන්ගේ ගීතිකාව 1:2; 2:6; 8:5) එහෙත් එම නිර්මල යුවළ මෙන් ම, ආදරය දැක්වීම් අපවිත්‍ර නොවීමටත්, ලිංගික දුරාචාරයට මඟ නොපෑදීමටත්, යුවළක් තවදුරටත් සැලකිලිමත් වනු ඇත.b (ගලාති 5:19, 21) තර්කානුකූල ලෙස, එවන් සෙනෙහසේ ප්‍රකාශයන් කළ යුත්තේ අන්‍යෝන්‍ය බැඳීමක් වර්ධනය වූ සන්ධිස්ථානයකට පැමිණ සිටින විට හා ස්ථිර බවට සනාථ වී යයි පෙනෙනවා නම් පමණකි. ආත්ම-දමනය පෙන්නුම් කිරීම මගින්, සාර්ථක පූර්ව විවාහ ඇසුර පිළිබඳ මූලික පරමාර්ථයෙන් වෙනතකට යොමු වීමෙන් ඔබට වැළකිය හැක, එනම් . . .
“සිතේ ඇතුල් මනුෂ්‍යයා” දැනගැනීමට පැමිණීම
පර්යේෂක කණ්ඩායමක් විසින් ජර්නල් ඔෆ් මැරේජ් ඇන්ඩ් ද ෆැමිලි යන 1980 මැයි කලාපයේ මෙසේ වාර්තා කරනු ලැබී ය: “එකිනෙකාගේ ඇතුළාන්තයන් ගැන සාපේක්ෂ වශයෙන් සම්පූර්ණ දැනගැන්මකින් යුතු ව පුද්ගලයන් විවාහයන්ට ඇතුළත් වන්නේ නම් ඒවා කඩාකප්පල් නොවී දිගට ම පැවැත්වීමට හා සඵල වීමට තිබෙන ඉඩකඩ වැඩි ය.” එසේ ය, ඔබේ සහකරුවාගේ “සිතේ [හෘදයේ NW ] ඇතුල් මනුෂ්‍යයා” දැනගැනීමට පැමිණීම අත්‍යවශ්‍ය ය.—1 පේතෘස් 3:4.
එහෙත්, වෙනත් කෙනෙකුගේ හෘදයේ ඇති අදහස් ‘ඇදගැනීම’ සඳහා ප්රයත්නය සහ වටහා ගැනීමේ ශක්තිය අවශ්‍යයි. (හිතෝපදේශ 20:5) එබැවින් ඔබේ සහකරුවාගේ ඇතුළාන්තය දැකීම සඳහා උපකාරවත් වීමට ඉඩ ඇති ක්‍රියාකාරකම් සැලසුම් කරන්න. මුල දී චිත්‍රපටියකට හෝ සංගීත සංදර්ශනයකට යෑම ප්‍රමාණවත් විය හැකි නමුත් (බැඩ්මින්ටන් ගැසීම, පන්දු ක්‍රීඩාවක යෙදීම එමෙන් ම සත්වෝද්‍යාන, කෞතුකාගාර සහ කලාගාරයන් නැරඹීමට යෑම වැනි) වඩා හොඳින් අදහස් හුවමාරු කරගැනීමට තමන්ට හැකි කරවන ක්‍රියාකාරකම්වල සහභාගි වීමෙන් ඔබ එකිනෙකා ව වඩා හොඳින් දැන හඳුනා ගැනීමට ඔබට උපකාරවත් වන වැඩි යමක් කිරීමට හැක.
ඔබේ සහකරුවාගේ හැඟීම් පිළිබඳ යම් දැනුමක් ලැබීම සඳහා, ‘ඔබේ විවේක කාලය ඔබ ගත කරන්නේ කෙසේ ද?’ ‘මුදල් ඉපයීම ඉලක්කයක් ව නොතිබුණි නම්, ඔබ කැමති වන්නේ කුමක් කිරීමට ද?’ ‘ඔබ වඩාත් ම කැමති දෙවියන් වහන්සේට කරන අපගේ නමස්කාරයේ කුමන අංගයට ද? ඒ මන්ද?’ වැනි තත්ත්වයට සුදුසු සේ සකස් කළ සාමාන්‍ය ප්‍රශ්න ඇසීමට වෑයම් කරන්න. ඔබේ සහකරුවා ඉතා අගය කොට සලකන්නේ කුමක් දැයි දැනගැනීමට ඔබට උපකාරවත් වන මෙම ප්‍රශ්න, හද පත්ලෙන් ම පිළිතුරු දීමට සලසයි.
සබඳතාවය වඩා ගැඹුරට යන විට සහ ඔබ දෙදෙනා වඩා බරපතළ ලෙස විවාහය ගැන සලකා බලන විට, වැදගත් ප්‍රශ්න සම්බන්ධයෙන් බැරෑරුම් ලෙස කථා කිරීමට අවශ්‍යතාවයක් ඇත, එනම් ඔබේ සාරධර්මයන්; ඔබ කොතැනක කෙසේ ජීවත් වනු ඇත් ද යන්න; දෙදෙනා ම නිවසෙන් පිටත රැකියාවක් කරනු ඇත්දැයි යන්න ඇතුළු, මූල්‍යමය කාරණා; දරුවන්; උපත් පාලනය; විවාහය තුළ දී එකිනෙකාගේ කොටස පිළිබඳ සංකල්පයන්; තව ද කෙටි-කාලීන සහ දිගු-කාලීන ඉලක්ක එමෙන් ම මේවා අත්කර ගැනීමට ඔබ සැලසුම් කරන්නේ කෙසේ ද වැනි වැදගත් ප්‍රශ්න ගැන සන්සුන් ව කථා කිරීමේ අවශ්‍යතාවයක් තිබේ. යෙහෝවඃ වහන්සේගේ යෞවන සාක්ෂිකරුවන්ගෙන් බොහෝ දෙනෙක් පාසල් කාලය අවසන් කළ පසු පූර්ණ කාලීන එවැන්ජලිස්තවරුන් බවට පත් වෙන අතර විවාහයට පසු එයාකාරයෙන් නොකඩවා ම සේවය කිරීමට ආශාවෙන් සිටිති. ඔබ දෙදෙනාට ඔබේ ආත්මික ඉලක්කයන් අනුකූල ව තිබෙන්නේ දැයි සහතික වීමට කාලය දැන් ය. සමහර විට ඔබේ විවාහයට බලපෑ හැකි ඔබේ අතීතය ගැන දේවල් හෙළි කිරීමට ද සිදුවනු ඇත. විශාල ණය හෝ යුතුකම් මේවාට ඇතුළත් ව තිබිය හැක. දරුණු රෝගයක් වැනි සෞඛ්‍ය පිළිබඳ කාරණා, මෙන් ම ඒවායේ ප්‍රතිඵල ගැන ද විවෘත ව සාකච්ඡා කළ යුතු ය.
එවන් සාකච්ඡාවල දී, එලීහුගේ ආදර්ශය අනුගමනය කරන්න, ඔහු මෙසේ පැවසුවේ ය: “මම මගේ හෘදයෙන් ම එමෙන් ම අවංක ව ම කථා කරන්නෙමි.” (යෝබ් 33:3, ද හෝලි බයිබල් ඉන් ද ලැන්ග්වේජ් ඔෆ් ටුඩේ, විලියම් බෙක් විසිනි) එස්තර්, ඇගේ පූර්ව විවාහ ඇසුර සන්තෝෂවත් භාවයෙන් යුත් විවාහ ජීවිතයකට ඇය ව සූදානම් කළ අයුරු පැහැදිලි කරමින් මෙසේ පැවසුවා ය: “මට වෙනස් ආකාරයකින් හැඟුණ වෙලාවට මම ජේයි සමඟ එකඟ වූ බව පවසන්නට හෝ එකඟ වූ බව ‘බොරුවට අඟවන්නට’ හෝ කිසිදා වෑයම් කළේ නෑ. තවමත් මම එසේ කරන්නේ නෑ. මං සැමවිට ම අවංක වීමට වෑයම් කරනවා.”
ඔබේ සහකරුවා අසීරු තත්ත්වයකට පත්වේ යයි බියෙන් හැඟීම් ඇවිස්සිය හැකි සංවේදනීය විෂයන් සම්බන්ධයෙන් මඟ හැරීම හෝ යටපත් කිරීම හෝ නොකරන්න. බෙත්, ජෝන් සමඟ පූර්ව විවාහ ඇසුරේ යෙදෙන අතරතුරේ දී මෙම වරද කළා ය. මුදල් නාස්ති නොකර අනාගතය සඳහා ඉතිරි කිරීම සුදුසු යයි තමා විශ්වාස කළ බව බෙත් පැවසුවා ය. ජෝන් එකඟ වූ බව ඔහු පැවසී ය. මුදල් පිළිබඳ කාරණයන් සම්බන්ධයෙන් ඔවුන් සම්පූර්ණයෙන් එකඟ වූවා යයි සිතමින් බෙත් ඉන් එහාට හාරා ඇවිස්සුවේ නැත. එහෙත් අනාගතය සඳහා ඉතිරි කිරීමේ දී ජෝන්ගේ අදහස වූයේ නවීන පන්නයේ මෝටර් රථයක් සඳහා ඉතිරි කිරීම බව අවසානයේ දී හෙළි විය! විවාහයෙන් පසු මුදල් වියදම් කරන ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ගේ එකඟතාවයේ අඩු ව වේදනාකාරී ලෙස පැහැදිලි වීමට පටන් ගති.
එවන් වරදවා තේරුම් ගැනීම් වැළැක් විය හැක. කලින් සඳහන් කරන ලද ලුවීස්, ඇගේ පූර්ව විවාහ ඇසුරේ අතීතය දෙස බලමින් මෙසේ පවසන්නී ය: “ ‘මා ගර්භිණී වුණොත්, ඔබට දරුවෙකු අවශ්‍ය ව නොතිබුණා නම් ඔබ කරන්නේ මොනවා ද?’ නැතහොත්, ‘අප ණය වී සිටියා නම්, මට නිවසේ නැවතී අපගේ දරුවා රැකබලා ගැනීමට සිදු වුණා නම්, ඔබ කාරණා හසුරුවන්න යන්නේ කොහොම ද? වැනි ප්‍රශ්න බොහොමයක් මට අසන්නට තිබුණා. මා ඔහුගේ ප්‍රතික්‍රියාවන් ප්‍රවේසමෙන් සැලකිල්ලට ගත යුතු ව තිබුණා.” විවාහයට පෙර හොඳින් ම දැක ගත යුතු ව තිබුණා වූ හෘදයේ ගුණාංග මතුපිටට ගෙන ඒමට එවන් සාකච්ඡාවන්ට හැක.
ඔහුගේ හෝ ඇගේ සාමාන්‍ය හැසිරීම දෙස බලන්න!
“ඔබ සමඟ පමණක් සිටින විට පුද්ගලයෙකු ඉතා ප්‍රිය බවකින් සිටිය හැක,” යයි එස්තර් පැහැදිලි කළා ය. “නමුත් අන් අය අවට සිටින විට, ඔවුන්ට බොහෝ විට අපේක්ෂා නොකළ තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වෙයි. ඔබේ මිතුරන්ගෙන් කෙනෙක් ඔබේ සහකරුවා කැමති නොවිය හැකි යමක් ඔහුට පැවසිය හැක. පීඩනය යටතේ ඔහු ප්‍රතික්‍රියා කරන්නේ කෙසේදැයි දැන් ඔබට දැක ගැනීමට පුළුවන. ඔහු එම පුද්ගලයාට බැණ වදියි ද නැතහොත් ඇනුම්පද කියයි ද?” ඇය මෙසේ නිගමනය කරන්නී ය: “අපගේ පූර්ව විවාහ ඇසුරේ දී එකිනෙකාගේ මිතුරන් සහ පවුල අතර සිටීම ඉතා විශාල ලෙස උපකාරයක් වුණා.”
විනෝද වීමට අමතර ව, එකට වැඩ කරමින් කාලය ගත කරන්න. දෙවියන් වහන්සේගේ වචනය පාඩම් කිරීම සහ ක්‍රිස්තියානි දේව සේවයේ යෑම ඇතුළු, ක්‍රිස්තියානි ක්‍රියා හවුලේ කරන්න. තව ද, ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීම, ආහාර වේලක් පිළියෙළ කිරීම, දීසි සේදීම සහ නිවස පිරිසිදු කිරීම යන විවාහයෙන් පසු ජීවන මාර්ගයක් බවට පත් වන ඇතැම් දෛනික වැඩ කොටස්වල යෙදෙන්න. සැබෑ-ජීවන තත්ත්වයන් යටතේ එකට සිටීමෙන්—ඔබේ සහකරුවා, ඔහුගේ හෝ ඇගේ නරක ම ස්වභාවයේ පවා සිටින විට—බොරු රඟපෑමට පිටුපසින් සිටින පුද්ගලයා ව තේරුම් ගැනීමට ඔබට හැකි වේ.
සාලමොන්ගේ ගීතිකාවේ සඳහන් එඬේර තරුණයා තමා ප්‍රේම කළ තැනැත්තිය අධෛර්යට පත් වී සිටිය දී හෝ ඩහදිය හෙළමින් මහන්සි වී අව්වේ පිච්චෙමින් වැඩ කරමින් සිටිය දී ඇය ක්‍රියා කළ අයුරු ඔහු දුටුවේ ය. (සාලමොන්ගේ ගීතිකාව 1:5, 6; 2:15) ඇය පක්ෂපාත ව පොහොසත් සාලමොන් රජුගේ පෙලඹීම්වලට විරුද්ධ ව සිටි ආකාරය බැලීමෙන් පසු ව ද, ඔහු මෙසේ සතුටින් පැවසී ය: “මාගේ සොඳුරිය, නුඹ මුළුමනින්ම රුව ඇත්තීය; කැලලක් නැත්තීය.” (සාලමොන්ගේ ගීතිකාව 4:7) නිසැක ව ම ඇය පරිපූර්ණ කෙනෙකු යයි ඔහු අදහස් කළේ නැත, නමුත් මූලික සදාචාර දෝෂයක් හෝ කැලලක් ඇයට තිබුණේ නැත. ඇගේ සදාචාර ශක්තිය මගින් ඇගේ ශාරීරික රුව වැඩි වූ අතර එය ඇගෙන් සිදු වන ඕනෑ ම දුර්වලකමකට වඩා වැදගත් විය.—යෝබ් 31:7 සසඳන්න.
එවැනි ම තක්සේරුවක් කිරීමට කාලය අවශ්‍යයි. එබැවින් හදිසි පූර්ව විවාහ ඇසුරකින් වළකින්න. (හිතෝපදේශ 21:5) සාමාන්‍යයෙන් ම එකිනෙකාගේ ප්‍රේමය දිනාගැනීමට පුරුෂයෙක් සහ ස්ත්‍රියක් හැකි සෑම උත්සාහයක් ම දරති. එහෙත් ප්‍රමාණවත් කාලයකට ඉඩ හැරියා නම්, අප්‍රසන්න පුරුදු සහ නැඹුරුවාවන් කෙසේ හෝ හෙළි වේ. කාලය ගන්නවා පමණක් නොව නමුත් පූර්ව විවාහ ඇසුර තුළ එම කාලය ඉතා හොඳින් ම පාවිච්චි කරන යුවළක්, විවාහයෙන් පසු තමාට වඩා පහසුවෙන් සකස්වීමට හැකි බව සොයා ගනු ඇත. හොඳ අවබෝධයකින් යුතු ව සිටීමෙන්, පැන නැගෙනු ඇති එකඟ නොවීම් විසඳා ගැනීමට හැකි වන බවට නිසැකකමකින් යුතු ව ඔවුනට විවාහයට ඇතුළත් විය හැක. සාර්ථක පූර්ව විවාහ ඇසුර ඔවුන් ව සූදානම් කර ඇත්තේ සාර්ථක සහ සන්තෝෂවත් විවාහයක් සඳහා ය.
[අධෝලිපි]
a මෙය අදාළ වන්නේ විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ හුදකලා ඇසුර සිරිතක් ව හා ක්‍රිස්තියානින්ට සුදුසු දෙයක් වශයෙන් සලකන රටවල ය. සාමාන්‍යයෙන් ම පිරිමියා පළමු පියවර ගන්නා නමුත් යෞවන පුරුෂයෙකු ලජ්ජාශීලී ව හෝ දෙගිඩියාවෙන් සිටින බව පෙනෙන්නට තිබෙන විට විනීත අයුරකින් තම හැඟීම් ප්‍රකාශ කිරීමෙන් යොවුන් ස්ත්‍රියක වළක්වනු ලැබීමට ශුද්ධ ලියවිලිමය ප්‍රමිතියක් නැත.—සාලමොන්ගේ ගීතිකාව 8:6 සසඳන්න.
b “පූර්ව විවාහ ලිංගික ඇසුරට නැත යයි පැවසීමට මට හැක්කේ කෙසේ ද?” යන 24වන පරිච්ඡේදය බලන්න.
සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න
◻ පූර්ව විවාහ ඇසුරේ ප්‍රාථමික ඉලක්කය කුමක් ද, විවාහයේ සන්තෝෂයට එය කෙතරම් වැදගත් ද?
◻ වෙනත් කෙනෙකුගේ ‘ඇතුළාන්ත පුද්ගලිකත්වය’ දැනගැනීමට ඔබට උපකාර කරනු ඇත්තේ කුමක් ද?
◻ සාර්ථක පූර්ව විවාහ ඇසුරකට දායක වන්නේ කිනම් ආකාරයේ සංවාදයන් ද?
◻ විවිධාකාර තත්ත්වයන් යටතේ එකට කාලය ගත කිරීම උපකාරවත් වන්නේ මන්ද?
◻ සබඳතාවයක් සදොස් බවට අඟවන ඇතැම් ලක්ෂණ කවරේ ද?
◻ පූර්ව විවාහ ඇසුරක් නැවැත් විය යුත්තේ කිනම් අවස්ථාවේ ද?
[255 පිටුවෙහි හුවා දැක්වීම]
“ එකිනෙකාගේ ඇතුළාන්තයන් ගැන සාපේක්ෂ වශයෙන් සම්පූර්ණ දැනගැන්මකින් යුතු ව පුද්ගලයන් විවාහයන්ට ඇතුළත් වන්නේ නම් ඒවා ආරක්ෂා වීමට හා සඵල වීමට තිබෙන ඉඩකඩ වැඩි ය.”—ජර්නල් ඔෆ් මැරේජ් ඇන්ඩ් ද ෆැමිලි
[256, 257 පිටුවෙහි ඇති කොටුව]
අප වෙන් විය යුතු ද?
ප්‍රේම සම්බන්ධය තීරණයක් ගැනීමේ මං සන්ධියකට පැමිණෙන විට, සැකයන් ඇති වීම අසාමාන්‍ය දෙයක් නොවේ. ඔබ ඇසුරු කරන පුද්ගලයා තුළ බරපතළ දෝෂ නිසා එවැනි සැකයන් ඇති වී නම් හෝ සබඳතාවය තුළ ම දෝෂ ඇති නිසා සැක ඇති වී නම් කුමක් ද?
උදාහරණයක් ලෙස, එකිනෙකාට ප්‍රේම කරන අය පවා සමහර අවස්ථාවල දී එකඟ නොවිය හැකි බව සත්‍යයකි. (උත්පත්ති 30:2; ක්‍රියා 15:39 සසඳන්න.) එහෙත් හුදෙක් සෑම දෙයක් ගැන ම ඔබ එකඟ නොවන්නේ නම්, සෑම සංවාදයක් ම බැණ වැදීමකට හැරේ නම් හෝ ඔබේ සබඳතාවය අවසන් නොවන තරහෙන් වෙන් වීමේ සහ නැවත ආදරයෙන් එක් වීමේ ක්‍රියා දාමයකින් යුක්ත වේ නම්, ප්‍රවේසම් වන්න! වෛද්‍යවරු 400කගේ ඡන්ද විමසුමකින් හෙළි වූයේ නොකඩවා සුළු දේ ගැන නිතර දබර කිරීම “විවාහය සඳහා චිත්ත වේගීය ව සූදානමක් නැති බවට” බලවත් ප්‍රකාශ කිරීමකි, සමහර විට “යුවළ අතර සමගි කළ නොහැකි විරෝධතාවයක්,” පවා ඉන් හෙළි විය හැකි ය.
සැලකිලිමත්වීම සඳහා වෙනත් හේතුවක් විය හැක්කේ විවාහ වීමට බලාපොරොත්තු වන කලත්‍රයාගේ, ඔබ ව කලබලයට පත්කරන්නා වූ පුද්ගලිකත්ව දෝෂයන් තිබෙන බව ඔබ සොයා ගැනීම ය. දරුණු හදිසි කෝපයක්, එපමණක් නොව ආත්මාර්ථකාමී භාවය, නොමේරූ භාවය, අස්ථාවර චිත්ත ස්වභාවයක් නැතහොත් මුරණ්ඩු භාවය දැකීමෙන්, මෙම පුද්ගලයා සමඟ ඔබේ ජීවිතයේ ඉතිරි කාලය ගත කිරීමට ඔබට වුවමනා වන්නේ දැයි ඔබට සිතීමට සැලැස් විය හැක. එහෙත් සෑම වෑයමක් ම දරා සබඳතාවය පවත්වා ගෙන යෑමට බොහෝ දෙනෙකුට කැමැත්තක් තිබෙන බව පෙනෙන්නට තිබෙන අතර ඔවුහු එවැනි අඩුලුහුඬුකම් නොසලකා හරිති, නැතහොත් ඒවා සඳහා නිදහසට කාරණා දැක්වීමට වෑයම් කරති. මෙසේ වන්නේ මන්ද?
සැබෑ ක්‍රිස්තියානින් අතර පූර්ව විවාහ ඇසුර බරපතළ ලෙස සලකන බැවින්—ඇරත් එසේ විය යුතු බැවින්—තමන් එකට ඇසුරු කරන පුද්ගලයා සමඟ විවාහ විය යුතු ම යයි ඇතැමෙකුට හැඟේ. මුහුණ දීමට සහ සමහර විට මෙම පුද්ගලයා ව රිද වීමට සිදු වන නිසා ඔවුන් බිය වීමට ද හැක. විවාහ වීමට වෙනත් කෙනෙකු සම්බ නොවේ යයි කියා අන් අය හුදෙක් බිය විය හැක. කෙසේ නමුත්, මේවා ගැටලුවලින් ගහණ ව පවතින පූර්ව විවාහ ඇසුරක් තවදුරටත් පැවැත්වීම සඳහා හොඳ හේතු නොවේ.
පූර්ව විවාහ ඇසුරේ අරමුණ නම් විවාහ විය හැකි දැයි පරීක්ෂා කර බැලීම ය. තව ද ක්‍රිස්තියානියෙකු හොඳ විශ්වාසයකින් යුතු ව පූර්ව විවාහ ඇසුර ඇරඹුවත්, එය සදොස් බව ඔප්පු වෙනවා නම්, එය දිගට ම පවත්වා ගෙන යෑම සඳහා ඔහුට හෝ ඇයට බැඳීමක් නැත. ඒ හැර, ‘මට වෙනත් කෙනෙකු සම්බ වෙන එකක් නෑ?’ යයි සිතා ගෙන ක්‍රමයෙන් නරක අතට හැරෙන සබඳතාවය දිගට ම ගෙන යෑම වැරදි සහ ආත්මාර්ථකාමී නොවනු ඇත් ද? (පිලිප්පි 2:4 සසඳන්න.) මෙබැවින් යුවළක් වශයෙන් ඔබේ ගැටලු මඟ නොහැර ඔබ එයට මුහුණ දීම වැදගත් ය. ඔබ ඇසුරු කරන පුද්ගලයා ව හොඳින් සැලකිල්ලට භාජනය කිරීමෙන් කටයුත්ත අරඹන්න.
උදාහරණයක් ලෙස, මෙම ස්ත්‍රිය යටහත්, සමර්ථ භාර්යාවක් වන බවට සාක්ෂි තිබේ ද? (හිතෝපදේශ 31:10-31) මෙම පුරුෂයා ආත්ම පරිත්‍යාගි ප්‍රේමයක් දක්වන්නෙකු හා දක්ෂ සපයන්නෙකු වන බවට සාක්ෂි තිබේ ද? (එපීස 5:28, 29; 1 තිමෝති 5:8) පුද්ගලයෙකු දෙවියන් වහන්සේගේ ජ්වලිත සේවකයෙකු බවට සුදුසුකම් කියා සිටිය හැකි නමුත්, කියා සිටින එවැනි ඇදහිල්ලට අනුව ක්‍රියාත් තිබේ ද?—යාකොබ් 2:17, 18.
සැබවින් ම, සබඳතාවයක් ගොඩ නැගීමේ දී ඔබ බොහෝ කාලය සහ චිත්ත වේගය යොදා තිබෙනවා නම්, ඔහු හෝ ඇය පරිපූර්ණ නැතැයි ඔබ සොයා ගත් නිසා ම එය අත්හැරීමට ඉක්මන් නොවන්න. (යාකොබ් 3:2) සමහර විට පුද්ගලයාට තිබෙන්නේ ඔබට ජීවත් විය හැකි දෝෂයන් ය.
ඒවා එසේ නොවනවා නම් කුමක් ද? එකිනෙකා අතරේ කාරණා කථා කර ගන්න. ඔබේ ඉලක්කවල හෝ දේවල් දෙස බලන ආකාරයේ මූලික වෙනස්කම් තිබේ ද? නැතහොත් හුදෙක් වරදවා තේරුම් ගැනීම් තිබුණා ද? ඔබ දෙදෙනාට ‘තමාගේ සිත මැඩපවත්වා’ ගන්නා ආකාරය සහ කාරණා වඩා සන්සුන් ව සමතයකට පත් කර ගන්නා ආකාරය ඉගෙන ගැනීම හා සම්බන්ධ කාරණයක් විය හැකි ද? (හිතෝපදේශ 25:28) කෝපය අවුස්සන පුද්ගලිකත්ව විලාශයන් ඔබට හිරිහැරයක් නම්, ඔහු හෝ ඇය යටහත් පහත් ව අඩුලුහුඬුකම් පිළිගන්නා අතර හරිගස්වා ගැනීමට ආශාවක් දක්වනවා ද? ඔබේ කොටස වශයෙන් සංවේදි වීම අඩු කිරීමට, වහා අමනාප වන ස්වභාවය අඩු කිරීමට අවශ්‍යතාවයක් තිබේ ද? (දේශනාකාරයා 7:9) ‘එකිනෙකා ගැන ප්‍රේමයෙන් ඉවසා’ සිටීම හොඳ විවාහයක ජීවනදායක රුධිරයයි.—එපීස 4:2.
ඔබේ සබඳතාවය විනාශ කර දමනවාට වඩා, කාරණා කථා කර ගැනීමෙන් අනාගතයේ දී එය වැඩි දියුණු වීම සඳහා ඇති හැකියාව හොඳින් හෙළි විය හැක! එහෙත් සාකච්ඡාව හුදෙක් වෙනත් කලකිරවන වෙන් වීමක ප්‍රතිඵලයක් වන්නේ නම් ආසන්නයේ පවතින විපත්තියේ පැහැදිලි ලකුණු නොසලකා නොහරින්න. (හිතෝපදේශ 22:3) විවාහයෙන් පසු දේවල් බොහෝ දුරට හොඳ අතට හැරිය නොහැක. පූර්ව විවාහ ඇසුර නවතා දැමීම ඔබ දෙදෙනාගේ ම යහපතට විය හැක.
[253 පිටුවෙහි ඇති පින්තූර]
කණ්ඩායමක් තුළ සිටින විට එකිනෙකා ව නිරීක්ෂණය කිරීම ප්‍රේමයෙන් බැඳීමකින් තොර ව හොඳින් දැන හඳුනා ගැනීමට ඔබට සැලැස්විය හැක
[254 පිටුවෙහි ඇති පින්තූර]
සමාජ චාරිත්‍ර විධි පිළිබඳ දේශීය සිරිත් විරිත්වලට සහ ආචාර ධර්මවලට කීකරු වීමෙන් විවාහය තෙක් ගෙන යා හැකි අන්‍යෝන්‍ය ගෞරවයේ ආදර්ශයක් තබයි
[259 පිටුවෙහි ඇති පින්තූර]
පූර්ව විවාහ ඇසුර සුදුසු අන්දමින් ක්‍රියාත්මක වන්නේ නැතැයි පෙනෙන්නට තිබෙන විට, කිරීමට සුදුසු කරුණාවන්ත දෙය නම් සබඳතාවය අවසන් විය යුත්තේ මන්දැයි පැහැදිලි කරමින් මුහුණට-මුහුණ ලා සංවාදයක් පැවැත්වීම ය