පරිච්ඡේද 34
මත් ද්‍රව්‍ය එපා යයි පැවසිය යුත්තේ මන්ද?
“මා හැඟීම් බරිත ළමයෙකි. ඇතැම් අවස්ථාවල දී මං භය වෙනවා, මගේ ම වයසේ අන් අය පවා මා ව භය කරනවා. අසහනයෙන්, අස්ථිරත්වයෙන් පීඩා විඳින මා සමහර අවස්ථාවල දී දිවි නසා ගැනීමට පවා කල්පනා කළා,” යයි 24 හැවිරිදි යෞවන පුරුෂයෙකු වූ මයික් පවසයි.
“තමා ගැන ම පහත් ලෙස සලකමින් චිත්ත වේගීය ලෙස ඉතා නොමේරූ” කෙනෙකු වශයෙන් 36 හැවිරිදි ඈන් තමා ගැන ම විස්තර කරන්නී ය. ඇය තවදුරටත් මෙසේ පවසන්නී ය: “සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම ඉතා අමාරු දෙයක් බව මට වැටහෙනවා.”
මයික් සහ ඈන්, ඔවුන් ඉතා ළාබාල ව සිටිය දී මත් ද්‍රව්‍ය අත්හදා බැලීමට ගත් තීරණයක ප්‍රතිඵල නෙළා ගනිමින් සිටිති. අද දින යෞවනයන් මිලියන ගණනක් එලෙස ශරීරගත කරමින්, ගිලිමින්, නාසයෙන් උරමින් සහ කොකේන් සිට මරිජුවානා දක්වා සියලු ආකාරයේ ද්‍රව්‍යයන්වල දුම් පානය කරමින් සිටිති. ඇතැම් යෞවනයන් සඳහා, ‘මත් ද්‍රව්‍ය ගැනීම’ ගැටලුවලින් මිදීමට මාර්ගයකි. අනෙක් අය ඊට ඇතුළත් වන්නේ තම කුතුහලය සන්සිඳුවා ගැනීමට ය. එහෙත් තවත් අය කලකිරීම හෝ ජීවිතයේ නිරස ගතිය නැති කරගැනීමට මත් ද්‍රව්‍ය භාවිතා කරති. තව ද පටන් ගත් පසු, බොහෝ දෙනෙක් එය නොකඩවා ම භාවිතා කරන්නේ ඉන් ලැබෙන හුදු විනෝදය සඳහා ය. වයස 17ක් වූ ග්‍රාන්ට් මෙසේ පවසයි: “මම [මරිජුවානා] දුම් පානය කරන්නේ ඉන් ලැබෙන බලපෑම් සඳහා පමණයි. ශාන්තදාන්ත වීමට හෝ සමාජයේ කැපී පෙනීම සඳහා හෝ නොවෙයි. . . . තුල්‍ය පීඩනය නිසා මං කිසි දවසක දුම් පානය කළේ නෑ, නමුත් මට වුවමනා වූ නිසයි එසේ කළේ.”
කෙසේ නමුත්, විගස හෝ පසු ව ඔබ මත් ද්‍රව්‍යයේ බලපෑමකට මූණ දීමට නැතහොත් කෙළින් ම ඉදිරිපත් කිරීමකට ලක්වීමට ඇති ඉඩ කඩ වැඩි ය. “අපගේ පාසලේ මුරකරුවන් පවා ගංජා [මරිජුවානා] විකුණනවා,” යයි එක් යෞවනයෙක් පවසයි. මත් ද්‍රව්‍ය සම්බන්ධිත දෑ බියක් සැකක් නැතුව පෙනෙන සේ තබා තිබෙන අතර විකුණනු ලබයි. එහෙත්, ඒවාට ප්‍රසිද්ධියක් තිබුණත්, මත් ද්‍රව්‍ය එපා යයි පැවසීමට ඔබට හොඳ හේතු තිබේ. එසේ වන්නේ කෙසේ ද?
මත් ද්‍රව්‍ය, වැඩීමට බාධාවකි
මයික් සහ ඈන් මෙන්, ගැටලුවලින් මිදීමට මත් ද්‍රව්‍ය භාවිතා කරන යෞවනයන් ගැන සලකා බලන්න. අපගේ පෙර පරිච්ඡේදයේ පෙන්වා තිබූ ආකාරයට, චිත්ත වේගීය වැඩීම ඇති වන්නේ ජීවිතයේ අභියෝගයන්ට මුහුණ දීමෙන්, සාර්ථකත්වයන් සමඟ කටයුතු කිරීමෙන්, අසමත්වීම්වල දී ධෛර්ය උපදවාගෙන සිටීමෙන් ය. ගැටලුවලින් මිදීමට රසායනික සරණක් කෙරෙහි රැඳී සිටින යෞවනයෝ තම චිත්ත වේගීය වර්ධනයට බාධා පමුණුවා ගනිති. ගැටලුවලට මුහුණ දීම සඳහා අවශ්‍ය වන දක්ෂතාවයන් වර්ධනය කරගැනීමට ඔවුහු අසමත් වෙති.
වෙනත් ඕනෑ ම දක්ෂතාවයක් මෙන්, මුහුණ දීමේ හැකියාව ලබා ගැනීම සඳහා පුහුණු වීම අවශ්‍ය ය. නිදසුනක් වශයෙන්: ඔබ කවදා හෝ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකු දැක තිබේ ද? ඔහුට තම හිස සහ පාද මනා ලෙස හසුරුවා ගැනීමට හැකි වීම පුදුම වීමට කාරණයකි! එහෙත්, මෙම ක්‍රීඩකයා එවන් දක්ෂතාවයක් වර්ධනය කරගත්තේ කෙසේ ද? වසර ගණනක පුහුණුව මගිනි. ඔහු ක්‍රීඩාවෙහි දක්ෂයෙකු බවට පත් වෙන තුරු ම, පන්දුවට පහර දීමට, එය සමඟ දිවීමට, උපායන් යෙදීමට සහ එවන් දෑ කිරීමට ඉගෙන ගත්තේ ය.
මුහුණ දීමේ දක්ෂතාවයන් වර්ධනය කරගැනීම එවැනි ම දෙයකි. එයට පුහුණු වීම—පළපුරුද්ද—අවශ්‍යයයි! එහෙත්, හිතෝපදේශ 1:22 හි බයිබලය මෙසේ ඉල්ලා සිටියි: “නුවණ නැත්තෙනි, නුඹලා අනුවණකමට කැමතිවන්නෙත්, . . . අඥානයන් දැනගැන්මට ද්වේෂකරන්නෙත් කොතෙක් කල්ද?” මත්පැනින් හට ගන්වන්නා වූ උද්දාමය තුළින් රැකවරණය සොයන යෞවනයා ‘අනුවණකමට කැමති’ වන්නේ ය; ජීවිතය සමඟ ක්‍රියා කිරීමට අවශ්‍ය දක්ෂතාවයන්ට මුහුණ දීමට සහ දැනගැන්ම වර්ධනය කරගැනීමට ඔහු අසමත් වන්නේ ය. නව යොවුන් වියේ මත් ද්‍රව්‍ය භාවිතා කරන්නන් ගැන ටෝකිං විත් යුවර් ටීන්ඒජර් පොත පවසන පරිදි: “මෙම ද්‍රව්‍ය භාවිතා නොකර ජීවිතයේ වේදනාකාරී අවස්ථාවලින් බේරිය හැකියි යන පාඩම කවදාවත් ඉගෙනගත නොහැක.”
මිදීමක් වශයෙන් මත් ද්‍රව්‍ය භාවිතා කළ ඈන් මෙලෙස වරදකාරී බව පවසන්නී ය: “අවුරුදු 14ක් තුළ මගේ ගැටලු සමඟ කටයුතු කිරීමට ඉගෙන ගන්න මං වෑයම් කර නෑ.” මෙසේ පවසමින් මයික් එවැනි ම අදහසක් ඉදිරිපත් කළේ ය: “මට අවුරුදු 11ක් ව සිටිය දී පටන් මම මත් ද්‍රව්‍ය භාවිතා කර තිබෙනවා. අවුරුදු 22කේ දී මං නැවැත්වූ විට, මා ළාමක පුද්ගලයෙකු මෙන් මට හැඟුණා. සුරක්ෂිත භාවය සෙවීමට වෙර දරමින් මං අනිත් අය වෙත රඳා සිටියා. මම මත් ද්‍රව්‍ය භාවිතා කිරීමට පටන් ගත් විට මගේ චිත්ත වේගීය වර්ධනය නැවතී ඇති බව මට වැටහුණා.”
වයස 13නේ සිට මත් ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතා කළ ෆ්‍රෑන්ක් තවදුරටත් මෙසේ පවසයි, “වැඩීමේ එම අවුරුදු සියල්ල ම මං නාස්ති කළා. මං එය නැවැත්තුවා ම, ජීවිතය සමඟ ක්‍රියා කිරීමට මම කිසිසේත් ම සූදානම් වෙලා සිටියේ නැති බව මට වේදනාකාරී ලෙස වැටහෙන්නට පටන් ගත්තා. වෙනත් ඕනෑ ම යෞවනයෙකු මුහුණ පාන චිත්ත වේගීය වියවුල ම ඇතුව නැවතත් මං වයස 13නේ ම සිටියා.”
මගේ සෞඛ්‍යය තත්ත්වය විනාශ කර දැමීමට මත් ද්‍රව්‍යයට හැකි ද?
මෙය සැලකිලිමත් විය යුතු වෙනත් පැත්තකි. බොහෝ යෞවනයෝ වටහාගෙන තිබෙන්නේ ඔවුන් ව මරණයට පත් කිරීමට සැර මත් ද්‍රව්‍ය යයි කියන ඒවාට හැකි බවයි. එහෙත් මරිජුවානා වැනි සැර අඩු යයි කියන මත් ද්‍රව්‍ය ගැන කුමක් කිව හැකි ද? ඒවා ගැන ඔබ අසන සියලු අනතුරු ඇඟවීම් ඒවා කෙරෙහි බිය ඇති කිරීමට යොදන උපක්‍රම පමණ ද? පිළිතුරු වශයෙන්, මරිජුවානා නම් මත් ද්‍රව්‍යයට අපි අවධානය යොමු කරමු.
මරිජුවානා (පොට්, රීෆර්, ග්‍රාස්, ගංජා හෝ වීඩ් වශයෙන් ද හඳුන්වා ඇත) විශේෂඥයන් අතර මහත් මත භේදයට යොමු වී තිබෙන්නකි. තව ද පිළිගත හැකි ලෙසින්, මෙම ප්‍රසිද්ධ මත් ද්‍රව්‍ය පිළිබඳ ව බොහෝ දෑ දැනගෙන නැත. එක් දෙයක් නම්, මරිජුවානා අතිශයින් සංකීර්ණ ය; මරිජුවානා දුම්වැටියක දුමේ රසායන සංයෝග 400කට වඩා අඩංගු ය. දුම් වැටියේ දුම පිළිකා හටගන්වන බව වටහා ගැනීමට වෛද්‍යවරුන්ට වර්ෂ 60කට වඩා ගත විය. එලෙස ම මරිජුවානාවල සංයෝග 400 මනුෂ්‍ය ශරීරයට කරන දේ සහතික වශයෙන් දැනගැනීමට පෙර දශකයන් ගණනාවක් ගත විය හැක.
කෙසේ නමුත්, පර්යේෂක ලියවිලි දහස් ගණනක් අධ්‍යයනය කිරීමෙන් පසු, එක්සත් ජනපදයේ ප්‍රසිද්ධ වෛද්‍ය ආයතනයක විශේෂඥයන්ගේ මඩුල්ලක් මෙසේ නිගමනය කළහ: “මේ දක්වා ප්‍රකාශිත විද්‍යාත්මක සාක්ෂිවලින් පෙන්නුම් කරන්නේ මරිජුවානාවලට පුළුල් වශයෙන් පැතිරී පවතින මනෝවිද්‍යාත්මක සහ ජීවවිද්‍යාත්මක බලපෑම් තිබෙන බවත්, ඒවායින් සමහරක්, අඩු තරමින් එක්තරා තත්ත්වයන් යටතේ, මනුෂ්‍ය සෞඛ්‍යයට හානිදායක බවත් ය.” මෙම හානිදායක බලපෑම්වලින් සමහරක් කවරේ ද?
මරිජුවානා—ඔබේ ශරීරයට එය කරන දේ
උදාහරණයක් ලෙස, පෙණහලු ගැන සලකා බලන්න. මරිජුවානාවලට පක්ෂපාත ව සහයෝගය දෙන්නන් පවා ආශ්වාස කරන දුම ඔබට හොඳ නොවන්නට ඉඩ තිබෙන බවට පිළිගනියි. මරිජුවානා දුමේ, දුම් කොළවල දුම මෙන්, තාර වැනි විෂ ද්‍රව්‍යයන් ගණනාවක් අඩංගු වේ.
කනිෂ්ඨ, වෛද්‍ය ෆොරස්ට් එස්. ටෙනන්ට්, එක්සත් ජනපදයේ මරිජුවානා භාවිතා කර තිබූ යුධ හමුදා සෙබළුන් 492ක් සමීක්ෂණය කළේ ය. ඔවුන්ගෙන් සියයට 25ක් පමණ “කැනබිස් දුම් පානය කිරීමෙන් උගුරේ අමාරුවෙන් දුක් වින්ද අතර සියයට 6ක් පමණ බ්‍රොන්කයිටිස්වලින් (සුවාස නාළ ප්‍රදාහයෙන්) දුක් වින්ද බව වාර්තා වී තිබේ.” වෙනත් අධ්‍යයනයක දී, මරිජුවානා භාවිතා කළ 30 දෙනෙකුගෙන් 24 දෙනෙකු හට “පිළිකාවේ මුල් අවස්ථාවන්වල ලක්ෂණයක් වන ශ්වාසනාලීය තුවාල,” තිබුණු බව සොයා ගෙන ඇත.
පසු කලෙක එවන් අය තුළ ඇත්තෙන් ම පිළිකාව වර්ධනය වනු ඇත්දැයි සහතික කිරීමට කිසිවෙකුට නොහැකි බව සැබෑවකි. එහෙත් එම අවදානමට වැටීමට ඔබට වුවමනා ද? ඒ හැර, දෙවියන් වහන්සේ “සියල්ලන්ට ජීවිතයද හුස්මද . . . දෙනසේක,” යයි බයිබලය පවසයි. (ක්‍රියා 17:25) ඔබ පෙණහලුවලට සහ උගුරට හානි කරන යම් දෙයක් වුවමනාවෙන් ම ආශ්වාස කරනවා නම්, ජීවිත දායකයාණන්ට ඔබ ගෞරවය දෙමින් සිටිනු ඇත් ද?
දේශනාකාරයා 12:6 හි මිනිස් මොළය ගැන කාව්‍යාකාරයෙන් පවසා ඇත්තේ “රන් භාජනය,” ලෙසිනි. මිට මොළවා ගත් ඔබේ අතට වඩා යන්තම් විශාල එමෙන් ම රාත්තල් තුනකට වඩා ස්වල්පයක් බර අඩු මොළය, ඔබේ මතකයන් එකතු ව තිබෙන වටිනා භාජනය පමණක් නොව නමුත් ඔබේ මුළු ස්නායු පද්ධතිය සඳහා ද පණිවුඩ යැවීමේ කේන්ද්‍රය වේ. එය මනසේ තබා ගෙන, වෛද්‍ය ආයතනයේ අනතුරු ඇඟවීම සැලකිල්ලට ගන්න: “මරිජුවානා මගින් රසායනික සහ විද්‍යුත් ශාරීරික වෙනස්කම් ඇතුළු තියුණු ප්‍රතිඵල මොළයේ ඇති කරන බව විශ්වාසයෙන් යුතු ව පැවසීමට අපට හැක.” දැනට, මරිජුවානා ස්ථිර වශයෙන් ම මොළයට හානි කරන බවට සාක්ෂි නැත. කෙසේ නමුත්, මරිජුවානාවලින් කිසියම් අයුරකින් “රන් භාජනයට” හානි කිරීමට ඇති ඉඩකඩ සැහැල්ලු ලෙස නොසලකා නොහැරිය යුතුයි.
දිනක ඔබ විවාහ වී දරුවන් බිහි කිරීමේ බලාපොරොත්තුව ගැන කුමක් කිව හැකි ද? “පර්යේෂණවලට ලක් කරන සතුන් සඳහා ලොකු මාත්‍රාවන් දුන් විට උපත් දෝෂයන් ඇති කරන” බවට මරිජුවානා නම් දරා ඇති බව වෛද්‍ය කර්මය පිළිබඳ ආයතනය වාර්තා කරනු ලැබී ය. මනුෂ්‍යයා කෙරෙහි එම බලපෑම් ම ඉන් ඇති කරයි ද නැද්ද යන්න තවමත් ඔප්පු වී නැත. එහෙත්, බොහෝ විට (DES හෝමෝනය මගින් ඇති කරන්නක් වැනි) උපත් දෝෂයන් මතු වීමට වසර ගණනාවක් ගත වන බව මතක තබා ගන්න. එබැවින්, මරිජුවානා දුම් පානය කරන්නන්ගේ දරුවන්ට—සහ මුණුබුරන්ට—සිදුවන්නේ කුමක් ද යන්න දැක ගත හැක්කේ අනාගතයේ දී ය. මරිජුවානා දුම් පානය කිරීමේ අහිතකර බලපෑම් උරුම වෙනවා ද නැද්ද යන්න කීම අවිනිශ්චිත (ප්‍රවේණි රුලේ ක්‍රීඩාවක් මෙන්)” විය හැකි බව වෛද්‍ය ගේබ්‍රියෙල් නාහාස් පවසයි. දරුවන් ‘යෙහෝවඃ වහන්සේගෙන් වූ උරුමයක්’ වශයෙන් සලකන ඕනෑ ම කෙනෙකුට එවන් අවදානමක් ගත හැකි ද?—ගීතාවලිය 127:3.
මත් ද්‍රව්‍ය—බයිබලය ඒ දෙස බලන අයුරු
සැබවින් ම, බොහෝ ජනප්‍රිය මත් ද්‍රව්‍යවලින් එකකි මරිජුවානා. එහෙත් සතුට සඳහා මනස-වෙනස් කරන ඕනෑ ම ද්‍රව්‍යයක් ගැනීමෙන් වැළකීමට හේතූන් බොහොමයක් තිබෙන බව එය හොඳින් පැහැදිලි කරයි. බයිබලය මෙසේ පවසයි: “යෞවනයන්ගේ අලංකාරය ඔවුන්ගේ කාය ශක්තිය වේ.” (හිතෝපදේශ 20:29, නව අනුවාදය) යෞවන තැනැත්තෙකු වශයෙන්, ඔබ නිසැක ව ම හොඳ සෞඛ්‍යයක් භුක්ති විඳියි. එය ඉවත දැමීමේ අවදානමට ගොදුරු වන්නේ මන්ද?
එහෙත්, වඩා වැදගත් දෙය නම්, බයිබලය මේ කාරණය සම්බන්ධයෙන් බලන අයුරු අපට තිබීම ය. අනිසි රසායනික භාවිතයක් මගින් විනාශ කර නොගෙන “සිතීමේ හැකියාව . . . ආරක්ෂා කර ගන්න,” යයි බයිබලය අපට පවසයි. (හිතෝපදේශ 3:21, NW ) එය තවදුරටත් මෙසේ අවවාද කරයි: “මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍රකරගනිමින්, දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණ කරගනිමු.” සැබවින් ම, මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වීම වැනි පුරුදුවලින් වැළකී, ‘සියලු කිලුටුකම්වලින් තමන් ව ම පවිත්‍ර කරගෙන,’ සිටින අයට පමණක්, දෙවියන් වහන්සේ මෙසේ පොරොන්දු වන සේක: “ ‘මම නුඹලා පිළිගෙන, නුඹලාට පියෙක් වන්නෙමි.’ ”—2 කොරින්ති 6:17–7:1.
කෙසේ නමුත්, මත් ද්‍රව්‍ය ගැනීම ප්‍රතික්ෂේප කිරීම පහසු දෙයක් නොවිය හැක.
තුල්‍යයන් සහ ඔවුන්ගේ පීඩනය
එක් සිසිල් ග්‍රීෂ්ම සන්ධ්‍යාවක ජෝ සහ ෆ්‍රෑන්ක්, ඥාති සහෝදරයෝ සහ කිට්ටු මිත්‍රයෝ, ගිවිසුමක් කර ගත්හ. “වෙන අය මොනවා කළත් කමක් නෑ, අපි කිසිදා මත් ද්‍රව්‍ය අරගෙන පිස්සු නටන්නේ නැති ව ඉමු,” යයි දෙදෙනාගෙන් බාලයා වන ජෝ යෝජනා කළේ ය. යෞවනයෝ දෙදෙනා අතට අත දී කාරණය සහතික කර ගත්හ. හුදෙක් වර්ෂ පහකට පසු ව, මත් ද්‍රව්‍ය-සම්බන්ධිත අනතුරක් හේතුවෙන් ජෝ ඔහුගේ මෝටර් රිය තුළ මැරී සිටිනවා සම්භ විය. එමෙන් ම ෆ්‍රෑන්ක් ද දරුණු ලෙස මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටියේ ය.
සිදු වී තිබුණු වරද කුමක් ද? පිළිතුර රඳා තිබෙන්නේ බයිබලයේ තිබෙන මෙම හදිසි අනතුරු ඇඟවීම මත ය: “නොරැවටෙල්ලා. නපුරු සමාගමෙන් හොඳ චරිත නරක්වන්නේය.” (1 කොරින්ති 15:33) ජෝ සහ ෆ්‍රෑන්ක්, දෙදෙනා ම වැරදි ඇසුරට වැටුණාහ. ඔවුන් මත් ද්‍රව්‍ය භාවිතා කළ අය සමඟ වඩ වඩා ඇසුරු කරන්නට පටන් ගත්විට, ඔවුන් විසින් ම මත් ද්‍රව්‍ය අත්හදා බැලීමට පටන් ගන්නා ලදි.
සෙල්ෆ්-ඩිස්ට්‍රක්ටිව් බිහේවියර් ඉන් චිල්ඩ්රන් ඇන්ඩ් ඇඩොලෙසන්ට්ස් යන පොත මෙසේ නිරීක්ෂණය කරයි: “යෞවනයන්ට විවිධ මත් ද්‍රව්‍යවලට ‘උනන්දු කරන්නේ’ හෝ හඳුන්වා දෙන්නේ බොහෝ විට කිට්ටු මිතුරන් විසින් ය. . . . [ඔහුගේ] අභිප්‍රායන් විය හැක්කේ සිත කුල්මත් කරන හෝ සතුටුදායක අත්දැකීමක් හවුලේ බෙදා ගැනීම ය.” ආරම්භයේ සඳහන් කරන ලද, මයික්, මෙසේ පවසමින් මෙය ස්ථිර කරයි: “කටයුතු කිරීමට අසීරු දේවලින් එකක් වුණේ මා වෙත වූ තුල්‍ය පීඩනයයි. . . . මම මරිජුවානා දුම් පානය කළ පළමු වතාවේ, මං එහෙම කළේ මා එක්ක හිටිය හැම කොල්ලෙක් ම ඒක කළ නිසාත්, ඔවුන්ට ගැළපීමට මට වුවමනා වූ නිසාත් ය.”
කෙළින් ම කියනවා නම්, ඔබේ මිත්‍රයන් මත් ද්‍රව්‍ය භාවිතා කරන්නට පටන් ගතහොත්, අනුකූලතාවය දැක්වීමට, ගැළපීමට, ඔබ බලවත් චිත්ත වේගීය පීඩනයකට යටත් වනු ඇත. ඔබ ඔබේ මිතුරු කැල වෙනස් නොකරනවා නම්, පෙනෙන ආකාරයට අන්තිමේ දී ඔබ ද මත් ද්‍රව්‍ය භාවිතා කරන්නෙකු බවට පත් වෙනු ඇත.
“ඤාණවන්තයන් කැටුව යන්න”
“ඤාණවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඤාණවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය,” යයි හිතෝපදේශ 13:20 පවසයි. කාරණය පැහැදිලි කරනු වස්, ඔබ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමෙන් වැළකීමට උත්සාහ දරනවා නම්, ඉන් අසාදිත අය සමඟ කිට්ටු ඇසුරකින් ඔබ වළකින්නේ නැද්ද? “එවැනි ම අයුරකින්, මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වීමෙන් . . . අප වළකින්නට නම් . . . සුවදායක සමබර තත්ත්වයන් පවත්වා ගෙන යෑමට අපට අවශ්‍ය වන අතර හානිදායක බලපෑම්වලට අනාවරණය වීම අඩු කිරීමට ද අවශ්‍යයි,” කියා ඇඩොලෙසන්ට් පියර් ප්‍රෙෂර් යන පොත ප්‍රකාශ කරයි.
එබැවින් මත් ද්‍රව්‍ය එපා යයි කීමට ඔබට වුවමනා ද? එසේ නම් ඔබ ඇසුරු කරන්නේ කවරෙකු දැයි යන්න ගැන කල්පනාකාරී වන්න. මත් ද්‍රව්‍ය නොගෙන සිටීමට ගත් ඔබේ අධිෂ්ඨානයට සහයෝගය දක්වන දේව-බියැති ක්‍රිස්තියානින්ගේ මිත්‍රත්වය සොයන්න. (1 සාමුවෙල් 23:15, 16 සසඳන්න.) නික්මයාම 23:2 හි වචන ද සැලකිල්ලට ගන්න. මුලින් යොමු කර තිබුණේ දිවුරුම් සාක්ෂිය දෙන සාක්කිකරුවන්ට වුවත්, ඒවා යෞවනයන්ට යහපත් උපදෙස් වේ: “නපුරක් කිරීමට සමූහයක් අනුව නොයන්න.”
කිසිත් නොවිමසා තම තුල්‍යයන් අනුගමනය කරන කෙනෙකු වහලෙකුට වඩා නොවෙනස් ය. බයිබලයේ රෝම 6:16 (න ඉන්ටර්නැෂනල් වර්ෂන්) මෙසේ පවසයි: “දාසයන් වශයෙන් යමෙකුට කීකරු වීමට ඔබ ව ම ඉදිරිපත් කරන විට, ඔබ කීකරු වන තැනැත්තාට ඔබ දාසයන් වන බව නොදන්නෙහි ද?” යෞවනයන්ට “සිතීමේ හැකියාව,” වර්ධනය කරගැනීමට බයිබලයේ දිරිගන්වන්නේ එමනිසයි. (හිතෝපදේශ 2:10-12) ඔබ සඳහා ම කල්පනා කිරීමට ඉගෙන ගන්න, එවිට හිතුවක්කාර යෞවනයන් අනුගමනය කිරීමට ඔබ නැඹුරු නොවනු ඇත.
මත් ද්‍රව්‍ය සහ ඒවායේ බලපෑම් ගැන දැනගැනීමට ඔබ කුතුහලයෙන් සිටිනවා විය හැකි බව සත්‍යයකි. එහෙත් මත් ද්‍රව්‍ය මිනිසුනට කරන්නේ කුමක් දැයි දැනගැනීමට ඔබ ඔබේ ම මනස සහ ශරීරය දූෂණය කරගැනීමට අවශ්‍ය නැත. ඔබේ වයසේ සිටින මත් ද්‍රව්‍ය ඇබ්බැහි වූවන්—විශේෂයෙන් දිගු කලක් පුරා ඇබ්බැහි වූවන් බවට පත් වී සිටින අය—ගැන ම නිරීක්ෂණය කරන්න. ඔවුන් අවදි ව සහ තීක්ෂ්ණ ව සිටින බව පෙනෙන්ට තිබේ ද? ඔවුන් අධ්‍යාපනයේ උසස් මට්ටමක් පවත්වා ගෙන තිබේ ද? නැතහොත් ඇතැම් විට ඔවුන් අවට සිදු වෙමින් තිබෙන්නේ කුමක් දැයි තේරුම් ගත නොහැකි වීමට පවා ඔවුන් බුද්ධි හීන සහ අනවධානාත්මක ද? එවැන්නවුන් ව විස්තර කිරීමට මත් ද්‍රව්‍ය භාවිතා කරන්නන් විසින් ම වචනයක් ප්‍රබන්ධ කරගෙන තිබුණි: “දැවී-යන්නන්.” එහෙත් බොහෝ “දැවී-යන්නන්” කුතුහලය නිසා මත් ද්‍රව්‍ය භාවිතා කරන්නට පටන් ගත්තා විය හැක. එසේනම්, අනිසි කුතුහලය යටපත් කිරීමට සහ “නපුර සම්බන්ධයෙන් බිලින්දෝ” වීමට බයිබලය ක්‍රිස්තියානින්ට බලවත් සේ උනන්දු කිරීම පුදුමයක් නොවේ.—1 කොරින්ති 14:20.
එපා යයි කීමට ඔබට හැක!
මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ජාතික ආයතනය මගින් ප්‍රකාශිත පොත් පිංචයක් අපට මෙසේ සිහිගන්වයි: “මත් ද්‍රව්‍යයක් භාවිතා කිරීමට තිබෙන ඉඩ ප්‍රස්තාව ප්‍රතික්ෂේප කිරීම . . . ඔබේ අයිතිවාසිකමයි. ඔබේ තීරණය සම්බන්ධයෙන් ඔබ කෙරෙහි අනිසි බලපෑම් කරන ඕනෑ ම මිත්‍රයෙකු නිදහස් පුද්ගලයෙකු වශයෙන් වූ ඔබේ අයිතිවාසිකම් ක්‍රමක්‍රමයෙන් පැහැරගනිමින් සිටියි.” යමෙකු ඔබට මත් ද්‍රව්‍ය ඉදිරිපත් කරනවා නම් ඔබට කළ හැක්කේ කුමක් ද? එපා යයි කීමට ධෛර්යය ඇතුව සිටින්න! මත් ද්‍රව්‍යට ඇබ්බැහි වීමේ නරක විපාක සම්බන්ධයෙන් අනිවාර්යයෙන් ම දේශනාවක් දීම මින් අදහස් නොවේ. එම පොත් පිංචයේ ම සරල ලෙස උත්තර දීමට යෝජනා කර තිබේ, “ස්තුතියි එපා, මට දුම් පානය කරන්න වුවමනාවක් නෑ” නැතහොත් “නෑ, කරදර ඇති කර ගැනීමට අවශ්‍ය නෑ” හෝ එපමණක් නොව දක්ෂ උපායෙන්, “ශරීරය දූෂණය කර ගැනීමට මට වුවමනා නෑ,” යයි පැවසීමට ද හැක. ඔවුන් නිරතුරු ව ම එය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ නම්, ස්ථිර විශ්වාසයෙන් යුතු ව එපා යයි පැවසීමට ඔබට සිදු විය හැක! ඔබ ක්‍රිස්තියානියෙකු බව අන්‍යයන්ට දැනගැනීමට ඉඩ හැරීම ද ආරක්ෂාවක් බව ඔප්පු විය හැක.
වැඩීම පහසු දෙයක් නොවේ. එහෙත් වැඩීමේ වේදනාවන් මත් ද්‍රව්‍ය භාවිතය මගින් අඩු කරගැනීමට ඔබ වෑයම් කරන්නේ නම්, වගකීමක් දැරිය හැකි, මේරූ වැඩිහිටියෙකු බවට පත්වීමට ඇති ඉඩකඩ බලවත් ලෙස වළක්වා ගැනීමට ඔබට හැක. ගැටලුවලට කෙළින් ම මුහුණ දීමට ඉගෙන ගන්න. පීඩනයන් දරාගත නොහැකි බව පෙනෙන්ට තිබේ නම් රසායනික සහනයක පිහිට නොසොයන්න. දේවල් විසඳා ගැනීමට ඔබට උපකාර කළ හැකි දෙමව්පියෙකු හෝ වෙනත් වගකීමෙන් යුතු වැඩිහිටියන් සමඟ ඒ දේවල් කථා කරන්න. බයිබලයේ මෙම අවවාදය ද මතක තබා ගන්න: “කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමග යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වාපල්ලා. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය . . . නුඹලාගේ සිත්ද [හදවත් ද NW ] සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.”—පිලිප්පි 4:6, 7.
එසේ ය, එපා යයි පැවසීමට යෙහෝවඃ දෙවියන් වහන්සේ ඔබට ශක්තිය දෙනු ඇත! කිසිදාක ඔබේ අධිෂ්ඨානය දුර්වල කිරීමට ඔබට බල කිරීමට අන්‍යයන්ට ඉඩ හරින්න එපා. මයික්ගේ බලවත් ඉල්ලීම පරිදි: “මත් ද්‍රව්‍යවලින් අත්හදා බැලීම් කරන්න එපා. ඔබේ ජීවිතයේ ඉතිරි කාලයේ දී ඒ නිසා ඔබ දුක් විඳිනු ඇත!”
සාකච්ඡාව සඳහා ප්‍රශ්න
◻ යෞවනයන් එතරම් බොහෝ දෙනෙක් මත් ද්‍රව්‍ය ගැනීමට හවුල් වන්නේ මන්ද?
◻ මත් ද්‍රව්‍ය ගැනීමෙන් ඔබේ චිත්ත වේගීය වර්ධනයට බාධා විය හැක්කේ කෙසේ ද?
◻ මරිජුවානා ශරීරයට බලපාන ආකාරය ගැන දන්නා දෑ මොනවා ද?
◻ සතුට සඳහා මත් ද්‍රව්‍ය ගැනීම ගැන බයිබලය බලන අයුර කුමක් ද?
◻ මත් ද්‍රව්‍යවලින් නිදහස් ව සිටීමට ඔබේ ආශ්‍රිතයන් ගැන කල්පනාකාරී වීම වැදගත් වන්නේ මන්ද?
◻ මත් ද්‍රව්‍ය එපා යයි පැවසිය හැකි ඇතැම් මාර්ග මොනවා ද?
[274 පිටුවෙහි හුවා දැක්වීම]
“අපේ පාසලේ මුරකරුවන් පවා ගංජා විකුණනවා,” යයි එක් යෞවනයෙකු පවසයි
[279 පිටුවෙහි හුවා දැක්වීම]
“මම මත් ද්‍රව්‍ය භාවිතා කිරීමට පටන් ගත් විට මගේ චිත්ත වේගීය වර්ධනය නැවතී ඇති බව මට වැටහුණි,” කලින් මත් ද්‍රව්‍ය භාවිතා කරන්නෙකු වූ—මයික්
[278 පිටුවෙහි ඇති කොටුව]
මරිජුවානා—පුදුමාකාර නව මත් ද්‍රව්‍යයක්
ග්ලෝකෝමාවට සහ ඇදුමට ප්‍රතිකාර කිරීමේ දී එමෙන් ම රසායන චිකිත්සාවක දී පිළිකා රෝගීන් අත්දකින ඔක්කාරය පහසු කර වීමේ දී මරිජුවානාවලට චිකිත්සීය වටිනාකමක් තිබිය හැකි බවට බොහෝ ප්‍රකාශයන් කර තිබේ. එක්සත් ජනපදයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආයතනය මෙම ප්‍රකාශයන්ට යම් සත්‍යයක් තිබේ යයි පිළිගන්නා බවට වාර්තා කරයි. එහෙත් නුදුරු අනාගතයේ දී වෛද්‍යවරුන් විසින් මරිජුවානා දුම්වැටි, බෙහෙත් වට්ටෝරුවල නියම කරනු ඇතැයි කියා මින් අදහස් කරයි ද?
විය නොහැක, මරිජුවානාවල ඇති 400කට වැඩි රසායනික සංයෝගයන්වලින් සමහරක් යම් කලකට ප්‍රයෝජනවත් බව ඔප්පු විය හැකි වුවත් මරිජුවානා දුම් පානය කිරීම එවන් ඖෂධ ගැනීමට තර්කානුකූල මාර්ගය නොවන බවට කිසි සැකයක් නැත. “මරිජුවානා භාවිතා කිරීම, පෙනිසිලින් ලබා ගැනීම සඳහා පුස් ඇල්ලූ පාන් මිනිසුනට කෑමට දෙනවා වාගේ වනු ඇත,” යයි ප්‍රසිද්ධ බලය ලත් වෛද්‍ය. කාර්ල්ටන් ටර්නර් පවසයි. එබැවින් යම් මරිජුවානා සංයෝගයන් කවදා හෝ සැබෑ ඖෂධයන් බවට පත්වීමේ නැඹුරුවාවක් තිබේ නම්, වෛද්‍යවරුන් විසින් නියම කරනු ඇත්තේ ඒවාට සමාන රසායනික සංයෝගයන්, එනම් මරිජුවානා “ව්‍යුත්පන්නයන් (අනෙකකින් ඇදගත්) හෝ සදෘශයන්,” ය. එසේනම්, එ. ජ. සෞඛ්‍යය හා මිනිස් සේවාවන් පිළිබඳ ලේකම් මෙසේ ලිවීම පුදුමයක් නොවේ: “ඇති විය හැකි චිකිත්සීය ප්‍රයෝජනයන් මරිජුවානාවල තිබුණත් එහි නිෂේධාත්මක සෞඛ්‍යය බලපෑම්වල සැලකිය යුතු වෙනස්කමක් සිදු නොකරන බවට අවධාරණය කළ යුතු ය.”
[275 පිටුවෙහි ඇති පින්තූර]
මත් ද්‍රව්‍ය එපා යයි පැවසීමට ධෛර්යය ඇතුව සිටින්න
[276, 277 පිටුවෙහි ඇති පින්තූර]
දැන් ගැටලුවලින් මිදෙන්නේ මත් ද්‍රව්‍යවලින් නම් . . . පසු ව වැඩිහිටියෙකු වශයෙන් ගැටලුවලට මුහුණ දීමට අසීරු බව ඔබට දැනිය හැක