මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
කිසිදු මනුෂ්‍යයෙකුව මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකිද? මනුෂ්‍යයෙකුගේ ශ්‍රේෂ්ඨත්වය ඔබ මනින්නේ කොහොමද? ඔහුගේ යුද හමුදාමය දක්ෂතාවට අනුවද? ඔහුගේ කායික සවිය පදනම් කරගෙනද? නැත්නම් ඔහුගේ මානසික හැකියාව අනුවද?
ඉතිහාසඥ එච්. ජී. වෙල්ස් පැවසුවේ මනුෂ්‍යයෙකුගේ ශ්‍රේෂ්ඨත්වය මනින්නේ ‘ඔහු මතු පරම්පරාවල දියුණුවට තබා යන දෙයින්’ බවයි. ‘තවද, ඔහු ජනතාවට අලුත් චින්තන රටාවක් හඳුන්වා දී ඇද්ද යන්නත් ඔහුගේ අභාවයෙන් පසුව එම චින්තන රටාවට ඉමහත් පිළිගැන්මක් තිබුණාද, එය දිගින් දිගටම පැවතියාද’ යන්නත් එම ඇගයීමට අයත් වෙනවා. තමා ක්රිස්තියානියෙකුයයි වෙල්ස් කියා නොගත්තත්, “මෙම පරීක්ෂණයෙන් යේසුස්ට පළමු තැන හිමි වේ” කියා ඔහු පිළිගත්තා.
මහා ඇලෙක්සැන්ඩර්, (ජීවත්ව සිටියදීම “මහා” යන පදවිය ලැබූ) ෂාලිමේන් සහ නැපෝලියන් බොනපාට් යන අයද ප්‍රබල පාලකයන් වූවා. ඔවුන්ගේ බිය උපදවන පෞරුෂත්වය ඔවුන්ගේ පාලනය යටතේ සිටියා වූ අය කෙරෙහි මහත් බලපෑමක් ඇති කළා. එහෙත් නැපෝලියන් මෙසේ පැවසූ බව වාර්තා වෙනවා. “අදෘශ්‍යමානව සිටියත් යේසුස් ක්‍රිස්තුස් සිය යටත්වැසියන් කෙරෙහි බලපෑමක් ඇති කරමින් ඔවුන් කෙරෙහි තම අධිකාරය හොබවා තිබෙනවා.”
ඔහුගේ ප්‍රබල ඉගැන්වීම් මගින්ද ඔහු ඒවාට එකඟව ජීවත් වූ ආකාරයෙන්ද ඔහු වසර දෙදහසක පමණ කාලයක් පුරා මනුෂ්‍යයන්ගේ ජීවිතවලට ප්‍රබල බලපෑමක් ඇති කර තිබෙනවා. එක් ලේඛකයෙක් උචිත ලෙස ප්‍රකාශ කළ පරිදි, “මෙතෙක් සේවයේ නිරත වූ සියලුම හමුදාද, මෙතෙක් සාදන ලද සියලුම නාවික බලඇණිද, මෙතෙක් රැස් වූ සියලුම පාර්ලිමේන්තුද, මෙතෙක් පාලනය කළා වූ සියලුම රජවරුන්ද එකට ගත්තත් ඒවා මේ පොළොව මත වෙසෙන මිනිසාගේ ජීවිතයට ඒ තරම් ප්‍රබල ලෙස බලපා නැත.”
ඓතිහාසික පුද්ගලයෙක්
එහෙත්, යේසුස් කවදාවත් ජීවත් වුණේ නැහැයි කියාත් ඔහු පළමු සියවසේ සිටි සමහරුන්ගේ නිර්මාණයක් කියාත් ඇතැමෙක් පවසනවා. මෙය පුදුමයට කරුණක්. එවැනි සැක කරන්නන්ට පිළිතුරු දෙමින්, ගෞරවයට පාත්‍ර වූ ඉතිහාසඥ විල් ඩියුරන්ට් මෙසේ වාද කළා. “එතරම් ප්‍රබල හා සිත්ගන්නාසුලු පෞද්ගලිකත්වයක්, එතරම් උසස් ආචාර ධර්ම සහ මිනිස් සහෝදරත්වය පිළිබඳ එතරම් පොලඹවනසුලු දෘෂ්ටියක් එකම පරම්පරාවක් තුළ විසූ සාමාන්‍ය මනුෂ්‍යයන් කීපදෙනෙක් විසින් අමුතුවෙන්ම නිර්මාණය කිරීම, සුවිශේෂවල වාර්තා කර තිබෙන කිසිදු ආශ්චර්යයකටත් වඩා විශ්වාස කළ නොහැකි දෙයක් වනු ඇත.”
ඔබගෙන්ම මෙසේ අසන්න. කිසිදාක ජීවත් නොවූ පුද්ගලයෙකුට එතරම් ප්‍රබල ආකාරයකින් මනුෂ්‍ය ඉතිහාසයට බලපෑමක් ඇති කළ හැකිද? ද හිස්ටෝරියන්ස් හිස්ට්‍රි ඔෆ් ද වර්ල්ඩ් යන ආශ්‍රේය ග්‍රන්ථය මෙසේ නිරීක්ෂණය කළා. “ලෞකික මට්ටමකින් පමණක් බැලුවත්, ඉතිහාසයේ වෙන කිසිදු කෙනෙකුගේ ක්‍රියාකාරකම්වලට වඩා, [යේසුස්ගේ] ක්‍රියාකාරකම්වලට ඉතිහාසයේ සුවිශේෂ තැනක් හිමි වෙනවා. ලෝකයේ ප්‍රධානතම ශිෂ්ටාචාර මගින් පිළිගෙන තිබෙන පරිදි, ඔහුගේ උපතින් නව යුගයක් ආරම්භ වුණා.”
ඒ ගැන මදක් සිතා බලන්න. අද දින තිබෙන දිනදර්ශන පවා පදනම් වී තිබෙන්නේ යේසුස් උපත ලැබුවායයි සිතනු ලබන වසර මතයි. “එම වසරට පෙර දිනයන් ක්‍රි.පූ. හෝ ක්‍රිස්තු පූර්ව, වශයෙන් දක්වා තිබේ. එම වසරට පසු දිනයන් ක්‍රි.ව. ඇනෝ ඩොමිනි (ක්‍රිස්තු වර්ෂ) වශයෙන් දක්වා තිබේ” යයි ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා පැහැදිලි කරයි.
කෙසේවුවද, විවේචකයන් පෙන්වා දෙන්නේ යේසුස් පිළිබඳව අප සැබෑවටම දන්නා සියලුම තොරතුරු සොයාගත හැක්කේ බයිබලයෙන් පමණක් බවයි. සුවිශේෂ වාර්තා ලියැවුණු කාලයේදී ඔහු පිළිබඳව සඳහන් වූ වෙනත් වාර්තා නැතැයි ඔවුන් පවසයි. එමෙන්ම එච්. ජී. වෙල්ස් පවා මෙසේ ලීවා. “පැරණි රෝම ඉතිහාසඥයන් යේසුස්ව මුළුමනින්ම නොසලකා හැරියා. ඔහු විසූ කාලයේදී ලියවුණු වාර්තාවල ඔහු ගැන කිසිදු සඳහනක් නොමැත.” එහෙත් මෙය සැබෑවක්ද?
පැරණි ලෞකික ඉතිහාසඥයන් යේසුස් ක්‍රිස්තුස් ගැන අල්ප වශයෙන් හෝ සඳහන් කර ඇත. සියල්ලන්ගේ ගෞරවයට පාත්‍ර වූ පළමු සියවසේ සිටි රෝම ඉතිහාසඥයෙකු වූ, කෝනීලියස් ටැසිටස් මෙසේ ලිව්වා. “[ක්‍රිස්තියානි] යන නාමය පැමිණ ඇත්තේ තිබේරියස්ගේ පාලන සමයේ සිටි පොන්තියුස් පිලාත් නම් ලත් ආණ්ඩුකාරයා විසින් මරණයට පත් කරන ලද, ක්‍රිස්තුස්ගෙනි.” එවකට සිටි වෙනත් රෝම ලේඛකයන් වූ, ස්වීටෝනියස් හා කනිෂ්ඨ ප්ලිනිද ක්‍රිස්තුස් ගැන සඳහන් කළා. මීට අමතරව, පළමු සියවසේ යුදෙව් ඉතිහාසඥයෙකු වූ ෆ්ලේවියස් ජොසීෆස් යාකොබ් ගැන ලියද්දී ඔහුව “ක්‍රිස්තුස්යයි කියන ලද යේසුස්ගේ සහෝදරයා” වශයෙන් හඳුන්වා දුන්නා.
එබැවින් ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා මෙසේ නිගමනය කරයි. “මෙම ස්වාධීන වාර්තාවලින් ඔප්පු වෙන්නේ පුරාණ කාලවලදී ක්‍රිස්තියානි ධර්මයට විරුද්ධ වූවන් පවා යේසුස් සැබෑ පුද්ගලයෙක් වූ බව කිසිවිටකත් අනුමාන නොකළ බවයි. එය පදනම් විරහිතව ප්‍රථම වතාවට මතභේදයට ලක් වූයේ 18වන සියවසේ අගභාගයේදී, 19වන සියවස තුළදී හා 20වන සියවස ආරම්භයේදීය.”
කෙසේවුවද යේසුස් ගැන අප දන්නා තොරතුරු සියල්ල වාර්තා කරන ලද්දේ පළමු සියවසේ සිටි ඔහුගේ අනුගාමිකයන් විසිනුයි. මතෙව්, මාක්, ලූක් සහ යොහන් විසින් ලියන ලද එම වාර්තා සුවිශේෂ වශයෙන් හඳුන්වන බයිබල් පොත්වල ආරක්ෂා වී තිබෙනවා. යේසුස්ගේ අනන්‍යතාව පිළිබඳව මෙම වාර්තා පවසන්නේ කුමක්ද?
ඇත්තටම ඔහු කවුද?
පළමු සියවසේ සිටි යේසුස්ගේ ආශ්‍රිතයන්ද ඒ ප්රශ්නය ගැන කල්පනා කළා. යේසුස් කුණාටු සහිත මුහුදකට තරවටු කරමින් එය ආශ්චර්යවත් ලෙස නිශ්චල කරනවා දුටු විට ඔවුන් පුදුම වී “ඇත්තටම මොහු කවුද” කියා කල්පනා කළා. පසුව වෙනත් අවස්ථාවකදී, “ඔබ මා කවුරුන් කියා කියනවාද” කියා යේසුස් තම ප්‍රේරිතයන්ගෙන් ඇසුවා.—මාක් 4:41; මතෙව් 16:15; NW.
එම ප්රශ්නය ඔබගෙන් අසනු ලැබුවා නම්, ඔබ මොන වගේ පිළිතුරක්ද දෙන්නේ? ඇත්තටම යේසුස් දෙවිද? ඔහු දෙවි බව අද දින සිටින බොහෝදෙනෙක් කියා සිටිනවා. එහෙත්, ඔහුගේ ආශ්‍රිතයන් ඔහු දෙවියයි කිසිකලෙක විශ්වාස කළේ නැහැ. යේසුස්ගේ ප්‍රශ්නයට ප්‍රේරිත පේතෘස්ගේ ප්‍රතිචාරය වූයේ, “ඔබ ක්‍රිස්තුස්ය, ජීවමාන දෙවිගේ පුත්‍රයාය” යන්නයි.—මතෙව් 16:16, NW.
යේසුස් කිසිවිටකත් තමා දෙවියයි කියා නොගත්තත්, තමා පොරොන්දු කරන ලද මෙසියස් හෝ ක්‍රිස්තුස් බව ඔහු පිළිගත්තා. තමා දෙවි නොව “දෙවිගේ පුත්‍රයා” කියාද ඔහු පැවසුවා. (යොහන් 4:25, 26; 10:36, NW) එහෙත්, යේසුස් වෙනත් මනුෂ්‍යයන්ට සමාන කෙනෙක් කියා බයිබලය පවසන්නේ නැහැ. අනෙක් සියලුම දේවලට ප්‍රථමයෙන් දෙවි විසින් ඔහුව මවා තිබූ නිසා, ඔහු සුවිශේෂ පුද්ගලයෙක් වූවා. (කොලොස්සි 1:15) භෞතික විශ්වය පවා මැවීමට පෙර අසංඛ්‍යාත වසර බිලියන ගණනක් පුරා යේසුස් ස්වර්ගයෙහි ආත්ම පුද්ගලයෙක් වශයෙන් ජීවත් වූ අතර සිය පිය වූ උදාර මැවුම්කරු වන යෙහෝවා දෙවිගේ කුලුපග ආශ්‍රය ඔහු භුක්ති වින්දා.—හිතෝපදේශ 8:22, 27-31.
ඉන්පසු, වසර දෙදහසකට පමණ පෙර, දෙවි තම පුත්‍රයාගේ ජීවිතය ස්ත්‍රියකගේ ගර්භාශයට මාරු කළ අතර යේසුස් දෙවිගේ මනුෂ්‍ය පුත්‍රයෙකු වශයෙන් සාමාන්‍ය අයුරින් ස්ත්‍රියකගෙන් උපත ලැබුවා. (ගලාති 4:4) ගර්භාශය තුළ වැඩෙද්දීත්, තම ළමා කාලය ගත කරද්දීත් යේසුස් තම භූමික දෙමව්පියන් වශයෙන් දෙවි විසින් තෝරාගත්තවුන් කෙරෙහි රඳා සිටියා. යේසුස් වැඩිහිටිභාවයට පැමිණි පසු, ස්වර්ගයෙහි සිටියදී ඔහු හා දෙවි අතර තිබූ සම්බන්ධය පිළිබඳ පූර්ණ මතකය ඔහුට දෙනු ලැබුවා.—යොහන් 8:23; 17:5.
ඔහු ශ්‍රේෂ්ඨතම තැනැත්තා වීමට හේතු
ඔහු තම ස්වර්ගික පියාණන්ව කිට්ටුවෙන් අනුකරණය කළ නිසා, යේසුස් මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයායි. විශ්වාසවන්ත පුත්‍රයෙකු වශයෙන්, යේසුස් සිය පියාණන්ව පූර්ණ ලෙස අනුකරණය කළ නිසා, තම අනුගාමිකයන්ට මෙසේ පැවසීමට ඔහුට හැකි වුණා. “මාව දැක ඇති තැනැත්තා පියාණන්වද දැක තිබේ.” (යොහන් 14:9, 10, NW) ඔහු මිහිපිට මුහුණ දුන් සෑම තත්වයකදීම ක්‍රියා කළේ තම පිය වූ සර්වපරාක්‍රම දෙවි ක්‍රියා කරනු ඇතැයි සිතිය හැකි ආකාරයටයි. “මා මගේම අදහසකට අනුව කිසිවක් නොකර, පියාණන් මට ඉගැන්වූ ලෙසම මා මේ දේවල් කියන” බව යේසුස් පැහැදිලි කළා. (යොහන් 8:28, NW) එබැවින් යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිතය ගැන අධ්‍යයනය කරන විට, දෙවි ඇත්තටම කෙබඳු කෙනෙක්ද යන්න ගැන අපට පැහැදිලි අවබෝධයක් ලැබෙනවා.
“කිසි මිනිසෙක් . . . දෙවිව දැක නැත” යයි ප්‍රේරිත යොහන් පිළිගත්තත් “දෙවි ප්‍රේමයය” කියා ලිවීමට ඔහුට හැකි වුණා. (යොහන් 1:18; 1 යොහන් 4:8; NW) යොහන්ට මෙසේ ලිවීමට හැකි වුණේ, තම පියාව පරිපූර්ණ ලෙස පිළිබිඹු කළ යේසුස් තුළින් දෙවිගේ ප්‍රේමය ඔහු දැක්ක නිසයි. යේසුස් දයානුකම්පිත, කාරුණික, නිහතමානි හා ළඟා විය හැකි පුද්ගලයෙක් වූවා. දුර්වල හා පීඩිත මනුෂ්‍යයන්ට ඔහු සමඟ සිටියදී පහසුවක් දැනුණා. ඇත්තෙන්ම පුරුෂයන්ට, ස්ත්රීන්ට, ළමුන්ට, ධනවතුන්ට, දුප්පතුන්ට, බලවතුන්ට මෙන්ම බරපතළ පව්කාරයන් ඇතුළු සියලු ආකාරයේ මනුෂ්‍යයන්ට එලෙස දැනුණා. ඔහුට අකමැති වූයේ දුෂ්ට හදවත් තිබුණු අය පමණයි.
යේසුස් නිකම්ම එකිනෙකාට ප්‍රේම කිරීමට තම අනුගාමිකයන්ට ඉගැන්වූවා පමණක් නොව, එසේ කරන ආකාරයද ඔහු පෙන්නුවා. “මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම ඔබත් එකිනෙකාට ප්‍රේම [කළ යුතුයි]” යනුවෙන් ඔහු පැවසුවා. (යොහන් 13:34, NW) “ක්‍රිස්තුස්ගේ ප්‍රේමය” අවබෝධ කරගැනීම “දැනුම අබිබවා යන” බව ඔහුගේ ප්‍රේරිතයන්ගෙන් කෙනෙක් පැහැදිලි කළා. (එෆීස 3:19, NW) එසේය, ක්‍රිස්තුස් විදහා පෑ ප්‍රේමය පොතට පමණක් සීමා වී නැහැ. ඉන් ඊට වඩා වැඩි දෙයක් ඇඟවෙනවා. එය අන්‍යයන් තුළ ‘බල පවත්වමින්’ ඊට ප්‍රතිචාරය දැක්වීම සඳහා ඔවුන්ව පොලඹවයි. (2 කොරින්ති 5:14, NW) මෙසේ යේසුස් මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා බවට පත් වූයේ ප්‍රේමය පෙන්වීම සම්බන්ධයෙන් වූ ඔහුගේ අතිඋත්කෘෂ්ට ආදර්ශය නිසයි. යට ගිය සියවස් ගණන පුරා ඔහුගේ ප්‍රේමය දශලක්ෂ ගණන් මනුෂ්‍යයන්ගේ හදවත් ස්පර්ශ කර ඇති අතර, ඔවුන්ගේ ජීවිතවලට ඉන් යහපත් බලපෑමක් ඇති කර තිබෙනවා.
එහෙත්, ඇතමෙකු මෙසේ විරෝධය පළ කළ හැකියි. ‘කුරුස යුද්ධ, අධර්ම මර්දනාධිකරණය මෙන්ම ක්‍රිස්තියානියයි කියාගන්නාවූ දශලක්ෂ ගණන් අයවලුන් ප්‍රතිවිරුද්ධ සටන් පෙරමුණුවල සිට එකිනෙකාව මරණයට පත් කළ යුද්ධ වැනි ක්‍රිස්තුස්ගේ නාමයෙන් සිදු කර තිබෙන සියලුම අපරාධ දෙස බලන්න.’ නමුත් ඇත්ත තත්වය නම්, මෙම මනුෂ්‍යයන් තමන් යේසුස්ගේ අනුගාමිකයන් බව කියා සිටියත්, ඔවුන් ක්‍රියා කරන්නේ ඊට පටහැනිවයි. ඔහුගේ ඉගැන්වීම් හා ජීවන රටාව මගින් ඔවුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු වෙයි. හින්දු භක්තිකයෙක් වූ මොහන්දාස් ගාන්ධි පවා මෙසේ පැවසීමට පෙලඹුණා. ‘මම ක්‍රිස්තුස්ට ආදරෙයි, නමුත් ක්‍රිස්තියානීන් ක්‍රිස්තුස් ජීවත් වූ ආකාරයට ජීවත් වන්නේ නැති නිසා මම ඔවුන්ව හෙළා දකිනවා.’
ඔහු ගැන ඉගෙනගැනීමෙන් ප්‍රයෝජන ලබන්න
යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිතය හා දේවසේවය පිළිබඳව අධ්‍යයනය කරනවාට වඩා වැදගත් අධ්‍යයනයක් අද කාලයේ කොහෙත්ම තිබෙන්න බැහැ. ‘යේසුස් දෙසම බලා සිටින්න. . . . ඒ තැනැත්තා ගැන හොඳින් කල්පනා කර බලන්න’ කියා ප්‍රේරිත පාවුල් උනන්දු කළා. තවද තම පුත්‍රයා පිළිබඳව දෙවිම මෙලෙස අණ කළා. “මොහුට සවන් දෙන්න.” එසේ කිරීමට මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා යන පොත ඔබට උපකාරවත් වනු ඇති.—හෙබ්‍රෙව් 12:2, 3; මතෙව් 17:5; NW.
ඔහු ඉදිරිපත් කළ කතා සහ ඔහුගේ උපමා හා ප්රාතිහාර්යයන් ඇතුළුව, සුවිශේෂ පොත් සතරෙහි දැක්වෙන යේසුස්ගේ භූමික ජීවිතයේ සෑම සිද්ධියක් ගැනම මෙම පොතෙහි සඳහන් කිරීමට උත්සාහයක් දරා තිබෙනවා. හැකි තාක් දුරට, සෑම දෙයක්ම විස්තර කර තිබෙන්නේ ඒවා සිදු වූ අනුපිළිවෙළටයි. සෑම පරිච්ඡේදයකම අවසානයේදී, එම පරිච්ඡේදය පදනම් වී තිබෙන බයිබල් පාඨවල ලැයිස්තුවක් දක්වා තිබෙනවා. මෙම පාඨ කියවා සපයා තිබෙන පුනරීක්ෂණ ප්‍රශ්නවලට පිළිතුරු දෙන ලෙසට අප ඔබව උනන්දු කරනවා.
“ගත වූ වසර දෙදහස තුළ ලියවුණාට වඩා, පසුගිය වසර විස්ස තුළදී යේසුස් ගැන බොහොමයක් දේ ලියා තිබේ” යයි මෑතකදී චිකාගෝ සරසවියේ විශාරදයෙක් කීවා. කෙසේනමුදු සුවිශේෂ වාර්තා පෞද්ගලිකව අධ්‍යයනය කිරීම ඉතා අවශ්‍යයි. මක්නිසාද දි එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා පවසන පරිදි, “නූතන ශිෂ්‍යයන්ගෙන් බොහෝදෙනක් යේසුස් ගැනත් සුවිශේෂ පොත් ගැනත් තිබෙන එකිනෙකට පටහැනි මත පිළිබඳව බොහෝ සෙයින් සැලකිලිමත් වන බැවින්, මෙම මූලික මූලාශ්‍ර වෙන වෙනම අධ්‍යයනය කිරීමට ඔවුන් උනන්දුවක් දක්වා නැත.”
අගතිසහහත හැඟීම් පසෙක දමමින් සුවිශේෂ වාර්තා හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසුව, මිනිස් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සිද්ධිය සිදු වූයේ රෝමයේ සීසර් ඔගස්ටස්ගේ පාලන සමයේදී නාසරෙත්හි යේසුස් අප උදෙසා සිය ජීවිතය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ අවස්ථාවේදී බවට ඔබ එකඟ වනු ඇතැයි කියා අපට නිසැකයි.