2වෙනි පරිච්ඡේදය
උපදින්ට පෙර ගෞරවය ලැබූ කෙනෙක්
ඇය පුතෙකු බිහි කරන්න යන බවත් ඔහු සදහටම රජකම් කරන්න යන බවත් මරියා නම් තරුණ කාන්තාවට ගාබ්රියෙල් දේවදූතයා පැවසූ පසු, ඇය මෙසේ අසනවා. ‘මේ දේ සිදු වන්නේ කෙසේද? මන්ද මා පුරුෂයෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැත.’
ගාබ්රියෙල් ඇයට මෙසේ පැහැදිලි කරනවා. “ශුද්ධාත්මය ඔබ පිට පැමිණ, මහෝත්තමයාණන්ගේ බලය ඔබව වසාගන්නේය. එහෙයින් උපදින තැනැත්තා ශුද්ධයයිද, දෙවිගේ පුත්රයායයිද කියනු ලබන්නේය.”
ඔහුගේ පණිවුඩය විශ්වාස කිරීමට මරියාට උපකාර කිරීම සඳහා ගාබ්රියෙල් තවදුරටත් මෙසේ පවසනවා. “බලන්න! වඳ ස්ත්රියක් ලෙස හැඳින්වූ, ඔබගේ නෑයෙක් වන එලිසබෙත්ද ඇගේ මහලු වියේදී පුතෙකු පිළිසිඳගෙන සිටින්නීය. මේ ඇගේ හයවෙනි මාසයය. මන්ද, දෙවිට ඉටු කළ නොහැකි කිසි දෙයක් නැත.”
මරියා ගාබ්රියෙල්ගේ වචනය පිළිගන්නවා. ඇය ප්රතිචාර දක්වන්නේ කොහොමද? ‘මෙන්න! යෙහෝවාගේ දාසිය! ඔබ පැවසූ දෙයට අනුව මට සිදු වේවා’ යනුවෙන් ඇය පවසන්නේ ඉතා උද්යෝගයෙන්.
ගාබ්රියෙල් එතැනින් පිටත් වුණ විගසම එලිසබෙත්ව බැහැදැකීමට යෑම සඳහා මරියා සූදානම් වෙනවා. එලිසබෙත් ජීවත් වන්නේ සෙකරියා නම් වූ ඇගේ ස්වාමිපුරුෂයා සමඟ යුදයේ කඳුකරයේයි. නාසරෙත්හි පිහිටි මරියාගේ නිවසේ සිට එතැනට ගමන් කිරීමට සමහරවිට දින තුනක් හෝ සතරක් ගත විය හැකියි. එය දීර්ඝ ගමනක්.
අන්තිමේදී මරියා සෙකරියාගේ නිවසට පැමිණ, ගෙට ඇතුල් වී එලිසබෙත්ට ආචාර කරනවා. එවිට එලිසබෙත් ශුද්ධාත්මයෙන් පිරී මරියාට පවසන්නේ මෙලෙසයි. “ඔබ ස්ත්රීන් අතරින් ආශීර්වාද ලද්දේය. ඔබේ කුසේ පලයද ආශීර්වාද ලද්දේය. මාගේ ස්වාමීන්ගේ මව මා වෙතට පැමිණීමේ වරප්රසාදය මට කෙසේ ලැබුණිද? මේ බලන්න! ඔබේ ආචාරය මට ඇසුණු විගසම, මාගේ කුසේ සිටින ළදරුවා මහත් ප්රීතියෙන් ඉපිලී ගියේය.”
මෙය ඇසූ විට, මරියා මුළු හදින්ම කෘතඥ වී මෙසේ ප්රතිචාරය දක්වනවා. “මම යෙහෝවාට ප්රශංසා කරන්නෙමි. මාගේ ගැලවුම්කරු වන දෙවි ගැන මාගේ ආත්මයට අතිශයින් ප්රීතිමත් නොවී සිටීමට කිසිසේත් නොහැක. මන්ද, ඔහු තම දාසියගේ පහත් තත්වය සලකා තිබේ. එහෙයින්, බලන්න! මෙතැන් පටන් පරම්පරා සියල්ල මා සන්තෝෂවත්යයි ප්රකාශ කරන්නෝය. මන්දයත්, බලවත් තැනැත්තා මා වෙනුවෙන් මහත් දේ කර තිබේ.” ඇයට අනුග්රහය පෙන්වා තිබුණත්, මරියා ගෞරවය දෙන්නේ දෙවිටයි. “ඔහුගේ නාමය ශුද්ධය. ඔහුගේ දයාව ඔහුට භයෙන් සිටින්නන් කෙරෙහි පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේය” කියා ඇය පවසනවා.
දේවානුභාවයෙන් ලත් අනාවැකිමය ගීතිකාවකින් දිගින් දිගටම දෙවිට ප්රශංසා කරමින් මරියා පවසන්නේ මෙසේයි. ‘ඔහු තම හස්තයෙන් බලවත් ලෙස ක්රියා කර තිබේ. තම සිත්වල උඩඟු අදහස් තිබෙන අයව ඔහු විසුරුවාහැර තිබේ. ඔහු බලවතුන්ව සිංහාසනවලින් ඉවත් කර, යටහත් අයව උසස් කර තිබේ. කුසගින්නෙන් සිටි අයව හොඳ දේවලින් සම්පූර්ණයෙන්ම තෘප්තිමත් කර, ධනවතුන්ව හිස් අතින් යවා තිබේ. ඔහු තම සේවකයා වන ඊශ්රායෙල්ට පිහිට වී තිබෙන්නේ අපේ මුතුන්මිත්තන්ටත්, ආබ්රහම්ට සහ ඔහුගේ වංශයටත් පොරොන්දු වූ ලෙස, දයාව සදහටම සිහි කර දීමටය.’
මරියා එලිසබෙත් සමඟ මාස තුනක් පමණ නැවතී සිටිනවා. ගර්භිණීව සිටින එලිසබෙත්ගේ මෙම අන්තිම සති කීපය තුළදී මරියා ඇය සමඟ සිටීම ඇයට මහත් උපකාරයක් වන බව නිසැකයි. දෙවිගේ උපකාරය ඇතුව ගැබ්ගෙන සිටින මෙම භක්තිමත් ස්ත්රීන් දෙදෙනාට, තමන්ගේ ජීවිතවල මෙම ආශීර්වාද ලත් කාලය තුළදී එකට සිටින්න ලැබීම කදිම ප්රස්තාවක් නොවේද!
උපදින්ටත් පෙර යේසුස්ව ගෞරවයට පත් කළ ආකාරය ඔබ දුටුවාද? එලිසබෙත් ඔහුව ඇමතුවේ “මාගේ ස්වාමීන්” ලෙසයි. ඒ විතරක් නොවෙයි, මරියාව මුලදී දකින විට ඇගේ කුසෙහි සිටි නූපන් දරුවා ප්රීතියෙන් ඉපිලී ගියා. එහෙත් අප ඉගෙනගැනීමට යන පරිදි, වෙනත් අය පසු කලෙකදී මරියාට සහ ඇගේ උපදින්ට සිටින දරුවාට අගෞරවනීය ලෙස සලකනවා. ලූක් 1:26-56, NW.
▪ මරියා ගැබ්ගන්නා ආකාරය තේරුම්ගැනීමට උපකාර කිරීම සඳහා ගාබ්රියෙල් ඇයට පවසන්නේ කුමක්ද?
▪ ඉපදීමට පෙර යේසුස්ව ගෞරවයට පත් කළේ කෙසේද?
▪ දෙවිට ප්රශංසා කරමින් ගයන අනාවැකිමය ගීතිකාවේදී මරියා පවසන්නේ කුමක්ද?
▪ මරියා එලිසබෙත් සමඟ කොපමණ කලක් නැවතී සිටිනවාද? මෙම කාලයේදී මරියා එලිසබෙත් සමඟ නැවතී සිටීම උචිත වන්නේ ඇයි?