30වෙනි පරිච්ඡේදය
චෝදනා කරන්නන්ට උත්තර දීම
යේසුස් සබත කඩ කළ බවට යුදෙව් ආගමික නායකයන් චෝදනා කරන විට ඔහු පිළිතුරු දෙන්නේ මේ ආකාරයටයි. “මාගේ පියාණන් මේ දක්වා වැඩ කරමින් සිටින්නේය. මමත් වැඩ කරමින් සිටිමි.”
පරිසිවරුන් කුමක් කිව්වත් යේසුස් කරන්නේ සබත් නීතිය මගින් තහනම් කර තිබෙන ආකාරයේ වැඩ නොවෙයි. දේශනා කිරීමේ හා සුව කිරීමේ වැඩය ඔහුට පවරා ඇත්තේ දෙවියි. ඒ වගේම දෙවිගේ ආදර්ශය අනුගමනය කරමින් ඔහු එම වැඩය දිනපතාම කරනවා. නමුත් ඔහු දෙන පිළිතුර නිසා යුදෙව්වන් පෙරටත් වඩා කෝපයට පත් වී ඔහුව මරන්න වෑයම් කරනවා. ඒ ඇයි?
යේසුස් සබත කඩ කරමින් සිටින බව ඔවුන් විශ්වාස කරනවාට අමතරව ඔහු දෙවිගේ පුත්‍රයා කියා පැවසීම දේව අපහාසයක් බවත් ඔවුන් විශ්වාස කරන නිසයි. නමුත් යේසුස් බිය වන්නේ නැහැ. දෙවි සමඟ ඔහුට තිබෙන කිට්ටු සබඳතාව සම්බන්ධයෙන් ඔහු තවදුරටත් මෙසේ පවසනවා. “පියාණන්ට පුත්‍රයා කෙරෙහි සෙනෙහසක් තිබෙන හෙයින් තමා කරන සියල්ල ඔහුට පෙන්වන්නේය.”
“පියාණන් මළවුන්ව නැඟිටුවා ජීවත් කරන්නාක් මෙන්ම, පුත්‍රයාද තමන් කැමති අයව ජීවත් කරන්නේය” කියා යේසුස් තවදුරටත් පවසනවා. ඇත්තෙන්ම, පුත්‍රයා දැනටමත් ආත්මික ආකාරයකින් මළවුන් නැඟිටුවනවා! “මාගේ වචනය අසා මාව එවූ තැනැත්තාව අදහන්නා . . . මරණයෙන් ජීවනයට පැමිණ සිටී” යනුවෙන් යේසුස් පවසනවා. ඔව්, ඔහු තවදුරටත් පවසන්නේ මෙසේයි. “දෙවිගේ පුත්‍රයාගේ හඬ මළවුන්ට ඇසෙන පැය පැමිණෙන්නේය. එය දැනටමත් පැමිණ තිබේ. එය සිතට ගන්නා අය ජීවත් වන්නෝය.”
මේ වන තෙක් යේසුස් වචනයේ පරිසමාප්තියෙන්ම කිසිවෙකුව නැවත නැඟිටෙවූ බවට කිසිම වාර්තාවක් නොතිබුණත්, ඉදිරියේදී එවැනි නැවත නැඟිටීමක් සිදු වන බව ඔහු තම චෝදනාකරුවන්ට පවසනවා. ‘මේ ගැන මවිත නොවන්න. මන්ද සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ, ඔවුහු පිටතට එන්නෝය.’
පෙනෙන විදිහට මේ වන තෙක් දෙවිගේ අරමුණ තුළ තමාට හිමි අතිවැදගත් කාර්යභාරය පිළිබඳව යේසුස් ප්‍රසිද්ධියේ එතරම් නිශ්චිත හා හොඳ පැහැදිලි කිරීමක් කර නැහැ. එහෙත් මේ දේවල් පිළිබඳව යේසුස්ගේ සාක්ෂියට අමතර සාක්ෂියක් ඔහුගේ චෝදනාකරුවන්ට තිබෙනවා. යේසුස් ඔවුන්ට මෙසේ මතක් කර දෙනවා. “ඔබ යොහන් වෙතට මිනිසුන් යැවූහ. ඔහු සත්‍යය ගැන සාක්ෂි දැරුවේය.”
වසර දෙකකට පෙර තමාට පසුව එන තැනැත්තා පිළිබඳව යොහන් බව්තීස්ත මේ යුදෙව් ආගමික නායකයන්ට පවසා තිබුණා. ඔවුන් වරක් දැන් සිරගත වී සිටින යොහන්ව ඉතා ගෞරවයෙන් සැලකූ බව ඔවුන්ට සිහිගන්වමින් යේසුස් මෙසේ පවසනවා. “ඔබ කෙටි කලකට ඔහුගේ ආලෝකයෙහි මහත් සේ ප්‍රීති වන්න කැමැත්තෙන් සිටියහුය.” යේසුස් ඔවුන්ට මෙය සිහිගන්වන්නේ ඔවුන්ට උපකාර කිරීමේ අදහසින්. ඔව්, ඔවුන්ට ගැලවීම අත් කර දීමේ බලාපොරොත්තුවෙනුයි. එහෙත් යොහන්ගේ සාක්ෂිය මත ඔහු රඳා පවතින්නේ නැහැ.
“[මොහොතකට පෙර සිදු කළ ප්රාතිහාර්යය ඇතුළුව] මා ඉටු කරන දේවල්, පියාණන් විසින් මාව එවූ බවට සාක්ෂි දෙයි.” නමුත් ඊට අමතරව යේසුස් මෙසේ පවසනවා. “මා එවූ පියාණන්ම මා ගැන සාක්ෂි දරා ඇත.” උදාහරණයක් වශයෙන්, යේසුස්ගේ බව්තීස්මයේදී දෙවි ඔහු ගැන මෙසේ සාක්ෂි දී තිබුණා. “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය.”
ඇත්තෙන්ම, යේසුස්ව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් යේසුස්ගේ චෝදනාකරුවන්ට නිදහසට කරුණක් ඉදිරිපත් කළ නොහැකියි. ඔවුන් අධ්‍යයනය කරමින් සිටින ලියවිලිම යේසුස් ගැන සාක්ෂි දෙනවා! යේසුස් අවසාන වශයෙන් මෙසේ පවසනවා. “ඔබ මෝසෙස්ව විශ්වාස කළා නම්, මාව විශ්වාස කරනවා ඇත. මන්ද ඔහු මා ගැන ලීවේය. නමුත් ඔබ ඔහුගේ ලියවිලි විශ්වාස කරන්නේ නැත්නම්, ඔබ මාගේ වචන විශ්වාස කරන්නේ කොහොමද?” යොහන් 5:17-47; 1:19-27; මතෙව් 3:17; NW.
▪ යේසුස්ගේ වැඩය සබත කඩ කිරීමක් නොවන්නේ ඇයි?
▪ දෙවිගේ අරමුණ තුළ තමාට හිමි අතිවැදගත් කාර්යභාරය යේසුස් විස්තර කරන්නේ කොහොමද?
▪ තමා දෙවිගේ පුත්‍රයා බව ඔප්පු කිරීම සඳහා යේසුස් කාගේ සාක්ෂියටද අවධානය යොමු කරන්නේ?