37වෙනි පරිච්ඡේදය
යේසුස් වැන්දඹුවකගේ ශෝකය පහ කරයි
හමුදා නිලධාරියාගේ සේවකයාව සුව කිරීමෙන් අනතුරුව, යේසුස් පිටත්ව යන්නේ කපර්ණවුමට කිලෝමීටර් 32කට වඩා ඈතින් නිරිතදිග දිශාවට වෙන්න පිහිටි නායින් නුවරටයි. ඔහු සමඟ ඔහුගේ ගෝලයන් හා මහත් සමූහයක් පිටත්ව යනවා. ඔවුන් නායින් නුවරේ සීමාවට ළඟා වන්නේ සවස් වරුවේ විය හැකියි. මෙහිදී අවමඟුල් පෙරහැරක් ඔවුන්ගේ නෙත ගැටෙනවා. භූමදානය කිරීම සඳහා තරුණයෙකුගේ දේහයක් නුවරින් පිටතට ගෙන යනු ලබනවා.
මව වැන්දඹුවක් වන නිසාත් මොහු ඇගේ එකම දරුවා වන නිසාත් ඇගේ තත්වය අතිශයෙන්ම දුක්ඛිතයි. ස්වාමිපුරුෂයා මිය ගිය විට ඇගේ පුත්‍රයා ඇය සමඟ සිටි නිසා ඇය යම් අස්වැසිල්ලක් ලබන්න ඇති. ඇගේ සියලු බලාපොරොත්තු, ආශාවන් සහ අභිලාෂයන් ගෙතී තිබුණේ ඔහුගේ අනාගතය වටායි. එහෙත් දැන් ඇයව සනසන්න කවුරුත් නැහැ. නුවර වැසියන් සමඟ ඇය සුසාන භූමිය කරා පියමං කරද්දී ඇයට දැනෙන ශෝකය විස්තර කරන්න වචන නැහැ.
අධික වේදනාවෙන් තැවෙන මෙම ස්ත්රියව දකින විට යේසුස්ට දැනෙන්නේ මහත් අනුකම්පාවක්. එනිසා මෘදු ලෙස සහ නිසැකකමක් ජනිත කරවන ස්ථිරභාවයකින් ඔහු ඇයට පවසන්නේ ‘අඬන්න එපා’ කියායි. ඔහුගේ ඉරියව් හා ක්‍රියාකලාපය වෙතට සමූහයාගේ අවධානය එකවරම යොමු වෙනවා. ඒ නිසා ඔහු දේහය රැගෙන යන දෙණයට ළඟා වෙමින් ඊට අත ගසන විට, එය උසුලාගෙන යන අය ගමන නතර කරනවා. ඔහු දැන් කරන්න යන්නේ කුමක්දැයි කියා සියල්ලන්ම කල්පනා කරනවා ඇති.
යේසුස් සමඟ යන අය ඔහු ආශ්චර්යවත් ලෙස බොහෝදෙනෙකුගේ රෝග සුව කරනවා දැක තිබෙන බව ඇත්තයි. එහෙත් පෙනෙන ආකාරයට ඔවුන් කිසිවිටෙක ඔහු මළවුන් නැඟිටුවනවා දැක නැහැ. ඔහුට එබඳු දෙයක් කළ හැකිද? දේහය අමතමින්, යේසුස් මෙසේ අණ කරනවා. “තරුණය, නැඟිටින්නැයි මම ඔබට කියමි!” එවිට තරුණයා හිඳගෙන කතා කරන්න පටන්ගන්නවා! ඉන්පසු යේසුස් කරන්නේ ඔහුගේ මවට ඔහුව භාර දීමයි.
තරුණයා ඇත්තටම ජීවත්ව සිටින බව ජනයා දකින විට ඔවුන් මෙසේ කියන්න පටන්ගන්නවා. “අප අතරේ උතුම් අනාගතවක්තෘවරයෙකුව නැඟිටුවා තිබේ.” තවත් සමහරෙක් “දෙවි තම සෙනඟ වෙතට අවධානය යොමු කර තිබේ” කියා පවසනවා. මෙම විස්මයජනක ක්‍රියාව පිළිබඳ පුවත මුළු යුදයෙහි සහ අවට සියලු ගම් දනව් සිසාරා ඉක්මනින්ම පැතිරී යනවා.
යොහන් බව්තීස්ත තවමත් සිටින්නේ සිරගෙදර. යේසුස්ට සිදු කළ හැකි ක්‍රියා පිළිබඳව වැඩිදුරට දැනගන්න ඔහුට අවශ්‍යයි. මෙම ප්රාතිහාර්යයන් පිළිබඳව යොහන්ගේ ගෝලයන් ඔහුට පවසනවා. ඔහුගේ ප්‍රතිචාරය කුමක්ද? ලූක් 7:11-18, NW.
▪ යේසුස් නායින් නුවරට පිවිසෙන විට සිදු වෙමින් පවතින්නේ කුමක්ද?
▪ දකින දෙයින් යේසුස්ට ඇති වන බලපෑම කුමක්ද? ඔහු කරන්නේ කුමක්ද?
▪ යේසුස්ගේ ප්රාතිහාර්යයට ජනයා ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?