72වෙනි පරිච්ඡේදය
යේසුස් 70දෙනාව පිටත් කර යවයි
එය ක්‍රි.ව. 32 ශරත් ඍතුවයි. යේසුස්ගේ බව්තීස්මය සිදු වී දැන් අවුරුදු තුනක්ම ගත වෙලා. මීට ටික කලකට පෙර, ඔහුත් ඔහුගේ ගෝලයනුත් කූඩාරම් මංගල්‍යයට සහභාගි වීම සඳහා යෙරුසලමට ගිහින් තිබුණා. පෙනෙන ආකාරයට ඔවුන් දැනුත් සිටින්නේ ඒ අවටයි. ඇත්තෙන්ම යේසුස් තම සේවාවේ ඉතිරිව ඇති මාස හයෙන් වැඩි හරියක් ගත කරන්නේ එක්කෝ යුදයේ එහෙමත් නැත්නම් යොර්දාන් ගඟෙන් එගොඩ පිහිටි පෙරයාව නමැති දිස්ත්රික්කයෙයි. මේ ප්‍රදේශය පුරාත් දේශනා කළ යුතුයි.
ක්‍රිස්තු වර්ෂ 30 පාස්කුවෙන් පසු යේසුස් මාස අටක් පමණ යුදයේ දේශනා කළ බව ඇත්තයි. එහෙත් ක්‍රි.ව. 31 පාස්කුවේදී යුදෙව්වරුන් ඔහුව එහිදී මරන්න තැත් කිරීමෙන් පසු, ඔහු ඊළඟ අවුරුදු එකහමාර මුළුමනින්ම පාහේ ගත කළේ ගලීලයේ උගන්වමිනුයි. ඔහු එම කාලය තුළදී, හොඳින් පුහුණු කරන ලද දේශනාකරුවන්ගෙන් යුත් පුළුල් කණ්ඩායමක් සංවිධානය කළා. ඔහුට එවැනි කණ්ඩායමක් කලින් සිටියේ නැහැ. ඒ නිසා ඔහු දැන් අවසන් වරට යුදයේ ප්‍රබල සාක්ෂි දැරීමේ වැඩසටහනක් දියත් කරනවා.
ගෝලයන් 70දෙනෙකු තෝරා, ඔවුන් දෙන්නා දෙන්නා බැගින් යවමින් යේසුස් මෙම වැඩසටහන ආරම්භ කරනවා. ඒ නිසා, ප්‍රදේශයේ දේශනා කිරීම සඳහා රාජ්‍ය දේශනාකරුවන් දෙන්නා බැගින් යුත් කණ්ඩායම් 35ක් සිටිනවා. යේසුස් තම ප්‍රේරිතයන් සමඟ යෑමට අදහස් කරන සෑම නුවරකටම හා ස්ථානයකටම මෙම දේශනාකරුවන් කලින් යනවා.
සැත්තෑදෙනාට සිනගෝගවලට යෑමට උපදෙස් දෙනවා වෙනුවට යේසුස් ඔවුන්ට පවසන්නේ මිනිසුන්ගේ නිවෙස්වලට යන ලෙසයි. යේසුස් ඔවුන්ට මෙලෙස පැහැදිලි කරනවා. “ඔබ යම් ගෙයකට ඇතුල් වන විට, පළමුකොට, ‘මේ ගෙට සාමය පැමිණේවා’ යයි කියන්න. සාමයේ මිතුරෙකු එහි සිටී නම්, ඔබ පැතූ සාමය ඔහු කෙරෙහි රැඳෙනවා ඇත.” ඔවුන් ගෙන යන පණිවුඩය කුමක්ද? “‘දෙවිගේ රාජ්‍යය ඔබ ළඟට පැමිණ තිබේ’ යයි ඔවුන්ට කියන්න” කියා යේසුස් පවසනවා. සැත්තෑදෙනාගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එක්තරා කෘතියක (Matthew Henry’s Commentary) වාර්තා වන්නේ, “ඔවුන්ගේ ස්වාමියා මෙන් ඔවුනුත් ගිය ඕනෑම තැනකදී, ගෙයින් ගෙට ගොස් දේශනා කළා” කියායි.
යේසුස් මෙම 70දෙනාට දුන් උපදෙස්, මීට වසරකට පමණ කලින් ගලීලයෙහි දේශනා කිරීමේ කර්තව්‍යය සඳහා ඔහු යැවූ 12දෙනාට දුන් උපදෙස්වලට සමානයි. සැත්තෑදෙනා මුහුණ පෑමට යන විරුද්ධවාදිකම් ගැන ඔවුන්ට අවවාද කිරීමෙන් හා නිවැසියන්ට පණිවුඩය ඉදිරිපත් කිරීමට ඔවුන්ව සූදානම් කිරීමෙන් නතර නොවී, රෝගීන්ව සුව කිරීමට බලයද ඔහු ඔවුන්ට දෙනවා. එවිට ටික දවසකින් පසුව යේසුස් එහි පැමිණෙන විට, එවැනි පුදුමාකාර දේවල් කිරීමට බලය ඇති ගෝලයන්ගේ ස්වාමියාව මුණගැසීමට බොහෝදෙනෙක් කැමැත්තෙන් සිටීවි.
සැත්තෑදෙනාගේ දේශනා කිරීම හා ඊට අදාළ යේසුස්ගේ ඉතිරි වැඩ කොටස පවතින්නේ සාපේක්ෂ වශයෙන් කෙටි කලකටයි. වැඩි දවසක් යෑමට මත්තෙන්, රාජ්‍ය දේශනාකරුවන්ගෙන් යුත් කණ්ඩායම් 35 යේසුස් වෙතට ආපසු පැමිණෙන්න පටන්ගන්නවා. ඔවුන් ප්‍රීතියෙන් ඉපිල ගොස් පවසන්නේ, “ස්වාමිනි, ඔබේ නාමය භාවිත කිරීම නිසා, භූතයෝ පවා අපට යටත් වෙති” කියායි. එවැනි කදිම සේවා වාර්තාවකින් යේසුස් සතුටු වන බවට කිසිම සැකයක් නැහැ. මන්දයත් ඔහු මෙසේ පවසනවා. “විදුලියක් අහසෙන් පහතට වැටෙන්නාක් මෙන් සාතන් මේ වන විටත් ස්වර්ගයෙන් පහතට වැටී සිටිනවා මට පෙනුණේය. බලන්න! සර්පයන් සහ ගෝනුස්සන් පාගා දමන්න . . . මා ඔබට අධිකාරිය දී තිබේ.”
අන්තිම කාලයේදී දෙවිගේ රාජ්‍යයේ උපතින් පසු, සාතන් හා ඔහුගේ භූතයන්ව ස්වර්ගයෙන් නෙරපීමට යන බව යේසුස් දන්නවා. එහෙත් දැන් හුදු මනුෂ්‍යයන් විසින් මෙලෙස අදෘශ්‍යමාන භූතයන්ව නෙරපනු ලැබීම, එම සිදුවීමට නියමිත සිද්ධිය සඳහා අමතර සහතිකයක් බඳුයි. ඒ නිසා, අනාගතයේදී සාතන්ව ස්වර්ගයෙන් නෙරපා දමනු ලැබීම ගැන යේසුස් කතා කරන්නේ ඉඳුරාම සිදු වන්නක් වශයෙන්. ඉතිං, සර්පයන් හා ගෝනුස්සන් පෑගීමට 70දෙනාට බලය දෙන ලද්දේ සංකේතවත් අර්ථයකින්. එහෙත් යේසුස් මෙසේ පවසනවා. “ඔබට ආත්මයන් යටත් කර දී තිබෙන නිසා ප්‍රීති නොවන්න. නමුත් ඔබේ නම් ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා ප්‍රීති වන්න.”
මෙවැනි ප්‍රබල ආකාරයකින් ඔහුගේ මෙම යටහත් පහත් සේවකයන්ව යොදාගැනීම ගැන යේසුස් අතිශයින් සතුටු වෙනවා. ඒ නිසා, ඔහු තම පියාට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරනවා. ඉන්පසු තම ගෝලයන් වෙතට හැරී යේසුස් මෙලෙස පවසනවා. “ඔබ දකින දේ දකින ඇස් සන්තෝෂවත්ය. මන්ද, බොහෝ අනාගතවක්තෘවරුන් සහ රජුන් ඔබට පෙනෙන දේ දකින්නද ඔබට ඇසෙන දේ අසන්නද ආශා කළත් ඒවා දුටුවේවත් ඇසුවේවත් නැත.” ලූක් 10:1-24; මතෙව් 10:1-42; එළිදරව් 12:7-12; NW.
▪ යේසුස් තම දේවසේවයේ පළමු අවුරුදු තුන තුළදී දේශනා කළේ කොහේද? තම ජීවිතයේ අන්තිම මාස හයේදී ඔහු ආවරණය කරන ප්‍රදේශය කුමක්ද?
▪ මනුෂ්‍යයන්ව සොයාගැනීම සඳහා යේසුස් 70දෙනාව යවන්නේ කොතැනටද?
▪ ඒ වන විටත් සාතන් ස්වර්ගයෙන් වැටී සිටිනවා තමා දැක්කායයි යේසුස් පවසන්නේ ඇයි?
▪ සැත්තෑදෙනාට සර්පයන් හා ගෝනුස්සන් පෑගිය හැක්කේ කිනම් අර්ථයෙන්ද?