90වෙනි පරිච්ඡේදය
නැවත නැඟිටීමේ බලාපොරොත්තුව
යේසුස් අවසානයේදී යෙරුසලමේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි ගම්මානයක් වන බෙතානිය ආසන්නයට පැමිණෙනවා. ලාසරුස් මිය ගොස් ඔහුව මිහිදන් කර දැන් ගත වී ඇත්තේ දින කීපයක් පමණයි. ඔහුගේ සහෝදරියන් වන මරියා සහ මාර්තා තවමත් ශෝක වෙමිනුයි සිටින්නේ. ඔවුන්ව සැනසීමට බොහෝදෙනෙක් ඔවුන්ගේ නිවසට පැමිණ සිටිනවා.
ඔවුන් ශෝක වෙමින් සිටින අතරතුරේදී යමෙක් මාර්තාට දන්වනවා යේසුස් පැමිණෙමින් සිටින බව. ඒ නිසා, ඇය නිවසෙන් පිට වී ඔහුව හමුවීමට දිව යනවා. පෙනෙන විදිහට, ඇය මෙසේ කරන්නේ ඇගේ සහෝදරියට නොදන්වායි. මාර්තා යේසුස් වෙතට ගොස්, ඇය මෙන්ම ඇගේ සහෝදරිය ගෙවී ගිය දවස් සතර තුළදී අනන්ත වාරයක් පවසන්නට ඇති මේ වචන නැවතත් පවසනවා. “ස්වාමිනි, ඔබ මෙහි සිටියා නම් මාගේ සහෝදරයා මැරෙන්නේ නැත.”
එහෙත්, යේසුස් දැන් පවා ඇගේ සහෝදරයා වෙනුවෙන් යමක් කරාවි යන බලාපොරොත්තුව ඇතුව මාර්තා මෙසේ පවසනවා. “ඔබ දෙවිගෙන් ඉල්ලන ඕනෑම දෙයක් දෙවි ඔබට දෙන බව මම දනිමි.”
“ඔබේ සහෝදරයා නැඟිටින්නේය” යනුවෙන් යේසුස් පොරොන්දු වෙනවා.
මාර්තා සිතන්නේ, ආබ්‍රහම් සහ දෙවිගේ වෙනත් සේවකයන් අපේක්ෂාවෙන් බලා සිටි අනාගතයේදී සිදු වන භූමික නැවත නැඟිටීම ගැන යේසුස් පවසමින් සිටිනවා කියායි. ඉතිං, “අන්තිම දවසේ නැවත නැඟිටීමේදී ඔහු නැඟිටින බව මම දනිමි” කියා ඇය පිළිතුරු දෙනවා.
එහෙත්, සහනය විගස ලැබෙන බවට බලාපොරොත්තු ජනිත කරවමින් යේසුස් පිළිතුර දෙන්නේ මෙසේයි. “නැවත නැඟිටීමත් ජීවනයත් මමය.” දෙවි තමාට මරණය කෙරෙහි බලය දී තිබෙන බව මතක් කරමින් ඔහු මෙසේත් පවසනවා. “මා කෙරෙහි ඇදහිල්ල පෙන්වන්නා මිය ගියත්, නැවත ජීවනයට පැමිණෙන්නේය. ජීවත්ව සිටින, මා කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම කිසි කලක මිය යන්නේ නැත.”
යේසුස් මාර්තාට කියා සිටින්නේ එවකට ජීවත්ව සිටින විශ්වාසවන්ත අය කවදාවත් මිය නොයන බවක් නොවෙයි. ඔහු කාවද්දන්න වෑයම් කරන්නේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වීම සදාකාල ජීවනයට මඟ පෙන්විය හැකි බවයි. අන්තිම දවසේදී නැවත නැඟිටුවනු ලබන විට මනුෂ්‍යයන් වැඩිදෙනෙකුට එවැනි ජීවිතයක් භුක්ති විඳීමට පුළුවන්. එහෙත් විශ්වාසවන්තව සිටින වෙනත් අය මේ පොළොවේ පවතින සමාජ ක්රමයේ අවසානයෙන් බේරී ජීවත් වෙනවා. ඔවුන් සම්බන්ධයෙන් යේසුස්ගේ මේ වදන් වචනානුසාරයෙන්ම ඉටු වෙනවා නියතයි. ඔවුන් කිසි කලකත් මිය යන්නේ නැහැ! මෙම මවිතකර ප්‍රකාශයෙන් පසු, “ඔබ මෙය විශ්වාස කරනවාද” යනුවෙන් යේසුස් මාර්තාගෙන් අසනවා.
“එසේය ස්වාමිනි. ඔබ දෙවිගේ පුත් ක්‍රිස්තුස් බවත්, ලෝකයට එන්නාවූ තැනැත්තා බවත් මම විශ්වාස කරමි” කියා ඇය පිළිතුරු දෙනවා.
ඉන් අනතුරුව, මාර්තා තම සහෝදරිය කැඳවාගෙන ඒම සඳහා දුව ගොස් ඇයට රහසින් කතා කර මෙසේ පවසනවා. “ගුරුතුමා ඇවිත් සිටියි. ඔහු ඔබට හඬගසන්නේය.” මරියා විගස නිවසින් පිටතට එනවා. ඇය යන බව අන්‍යයන් දකින විට, ඇය සොහොන් ගෙය ළඟට යනවායයි සිතා ඔවුනුත් ඇය පිටුපසින් ගමන් කරනවා.
යේසුස් වෙතට පැමිණි මරියා ඔහුගේ පාමුල වැටී ඉතා දුකින් අඬනවා. ඇය පවසන්නේ, “ස්වාමිනි, ඔබ මෙහි සිටියා නම්, මාගේ සහෝදරයා මැරෙන්නේ නැත” කියායි. මරියා සහ ඇය පසුපස එන පිරිස අඬමින් සිටිනවා දකින විට යේසුස්ගේ හද මහත් අනුකම්පාවකින් පිරී යනවා. ඔහු මෙසේ අසනවා. “ඔබ ඔහුව තැන්පත් කර තිබෙන්නේ කොතැනද?”
ඔවුන් පිළිතුරු දෙන්නේ, “ස්වාමීනි, ඇවිත් බලන්න” කියායි.
යේසුස්ද කඳුළු සලනවා. එය දකින යුදෙව්වරුන් මෙසේ කියනවා. “මොහුට ඔහු ගැන මොන තරම් ආදරයක් තිබුණාදැයි බලන්න!”
යේසුස් මාස කීපයකට පෙර කූඩාරම් මංගල්‍යයේදී, උපතින්ම අන්ධව සිටි තරුණයෙකුව සුව කළ බව ඇතමෙකුට සිහි වී මෙසේ අසනවා. “අන්ධයාගේ ඇස් පැහැදූ මේ මිනිසාට, මොහුගේ මරණය වළක්වන්න බැරි වුණාද?” යොහන් 5:21; 6:40; 9:1-7; 11:17-37; NW.
▪ යේසුස් අවසානයේදී බෙතානිය ආසන්නයට පැමිණෙන්නේ කවදාද? එහි උද්ගත වී ඇති තත්වය කුමක්ද?
▪ නැවත නැඟිටීම කෙරෙහි විශ්වාස කිරීමට මාර්තාට තිබෙන පදනම කුමක්ද?
▪ ලාසරුස්ගේ මරණය යේසුස්ට බලපාන්නේ කෙසේද?